2019 ශ්‍රී ලංකාවේ ප්‍රශස්ත ම නිවේදිකාව ලෙස සමස්ත ලංකා යෞවන සම්මාන දිනා ගන්නා ඇය සිය වෘත්තීය ගමනේ තවත් සුවිශේෂ මං සලකුණක් සටහන් කරමින් 2024 වර්ෂයේදී ප්‍රශස්ත ම රූපවාහිනී නිවේදිකාව වශයෙන් ද පීපල්ස් එක්සලන්සි සම්මානය දිනා ගනී.
කට ඇති පුතුත් රුව ඇති දියණියත් දායාදයක් ලෙස සැලකූ අතීත සමාජ මතයට තවත් ආලෝකයක් හා හැඩයක් එක්කරමින් රුවත් කටත් දෙකම ඇති දියණියක ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඈ එමතු ද නොව බුද්ධිමත් දියණියක ලෙස හැදු වැඩු මව්බිමට ආලෝකයක් ගෙනෙයි. අද ඒ කැපවීමත් උත්සාහත් අතරින් මේ වන විට දක්ෂ සන්නිවේදිකාවක ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින ජයනි විමලසූරිය සිය ගමන් මඟ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
මාධ්‍ය ක්ෂේත්‍රය ට ඔබේ පිවිසීම සිදු වන්නෙ කොහොම ද ?
මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස වසර හතක් විතර දැන්. මාධ්‍ය ක්ෂේත්‍රයේ මගෙ මුල් අත්දැකීම අරගත්තෙ ජාතික ගුවන්විදුලියෙන්. ගම්පහ කිරිඳීවැල මගෙ උපන් ගම. කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මම පාසල් අධ්‍යාපන කටයුතු කළේ. මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධිය හදාරමින් ඉන්නේ. 2019 තමයි ලංකාවෙ ප්‍රශස්තතම නිවේදිකාව වශයෙන් යෞවන සම්මාන ලබාගන්නෙ. මේ වනවිට ජාතික ගුවන්විදුලියේ වගෙම සියත ටීවී හි සන්නිවේදිකාවක් විදියට කාර්‍යබහුල ජීවිතයක් ගත කරනවා.
නූතන මාධ්‍ය භාවිතාවන් ගැන මොන වගෙ අදහසක් ද ඔබට තිබෙන්නේ ?
මාධ්‍ය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව මුද්‍රිත විද්‍යුත් මාධ්‍යයෙන් එහාට ගොස් පුළුල් මාධ්‍ය භාවිතාවක්, ක්‍රියාකාරිත්වයක් දක්වා සමාජ මාධ්‍ය පැතිරිලා තිබීම. එබඳු තැනකට එය පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ගමන ඇතුළෙ ඕනෑම කෙනෙකුට හරි ඉක්මනින් ප්‍රවෘත්තියක් සමාජගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතනදි අණපණත් නීති රීති බාධා අපට නෑ.
එතනදි අපි දකින හොඳ දේ තමයි හැම කෙනෙකුට ම තමන්ගෙ අදහස හෝ යෝජනාව ජනගත කරන්න පුළුවන් වේදිකාවක් හැදිල තිබීම. ඒ වගේම තමයි එහි අහිතකර පැත්ත. ඒ වගෙ වගකීමක් වගවීමකින් තොරව තොරතුරු මුදාහැරීම ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත වීමේ හානිය වෙන්න පුළුවන්. ඒ වගේම දැනටමත් මාධ්‍යයේ ඉන්න සන්නිවේදකයන් යම් අය මාධ්‍ය වගකීම නිසි ලෙස හඳුනගෙන තියෙනවා ද කියල ගැටලුවකුත් තියෙනවා . මමත් තවමත් එය හොයාගෙන යන ගමනක ඉන්නෙ. එතනදි සන්නිවේදකයන් තමාගෙ හෘද සාක්ෂියට එකඟව වගකීමක් හා වගවීමක් එක්ක නිවැරැදිව කටයුතු කරනවා නම් මම හිතන්නෙ හොඳ මාධ්‍ය භාවිතාවක යෙදෙන්න පුළුවන්. මගෙ කැමැත්තත් ඒක.
ඇත්තෙන්ම වැඩසටහනක් අවසානයේ අද ඒක ලස්සනට ම ඔයා කළා, ප්‍රෝගෑම් එක ගැන මට සතුටුයි කියන එක කවුරු හරි මට කිව්වොත් සන්නිවේදිකාවක ලෙස ඒක මට ලොකු සතුටක් ශක්තියක්. ගෞරවයක්. හැබැයි මට එතනින් නවතින්න බෑ. සියයට සියයක් තෙක් මා තව ගමන් කළ යුතුයි. සන්නිවේදිකාවක විදියට. ඒ හැඟීමෙන් තමයි මම නිතරම වැඩ කරන්නේ. පහසු නෑ, කෙටි කාලයක් ඇතුළෙ ආපු, නිදි නැති රැයවල් ගොඩක් පසු කර, යමින් සිටින උත්සාහවත් ගමනක්.
මොන වගේ වැඩසටහන් ගැනද වැඩි ඇල්මක් තිබෙන්නේ ?
රසවින්දනාත්මක වැඩසටහන් පිළිබඳ මම වඩාත් උනන්දු යි . මොකද ඒ ආකාර වැඩසටහන් මිනිසුන්ට සමීප යි. විරහව ආදරය වැනි කාරණා සර්වකාලිනයි. ඒ ඔස්සේ මිනිස්සුන්ට කතා කරන එක සතුටක්. ගීතයට කවියට සමීප වූ මිනිස් පරපුරක් තමයි සමාජය සුවපත් කරන්නේ. ලස්සන කරන්නේ. ඉතින් ඊට යම් විදියකින් දායක වෙන්න පුළුවන් නම් මට සතුටුයි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ ගමන කොහොම ද පැහැදිලි කරන්නේ ?
හරි පරිස්සමෙන් ගමන් කළ යුතු මාවතක්. හැබැයි අපේ අරමුණ පැහැදිලි නම් මාධ්‍යකරුවෙක් විදියට හොඳ ගමනක් යන්න බැරි නෑ. අභියෝග හමුවේ වුණත්. කට්ටක් කන්න ඕන. අත්දැකීම් ලබන්න ඕන එක පැත්තකින්. එතකොට තමයි අපි වැඩ කරන බවක් දැනෙන්නේ.
නූතන පරපුරේ සන්නිවේදිකාවක විදියට ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට ගුණාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීමේලා කුමනාකාර වූ කරුණු කෙරේ සැලකිලිමත් වෙනවාද ?
දැනුමෙන් සන්නද්ධ වීම අවශ්‍ය යි. ඒ වගේම දැනුම යාවත්කාලීන විය යුතුයි. මිනිස්සු එදා හොයපු තොරතුරු ප්‍රවෘත්ති ටික නෙවෙයි අද සොයන්නෙ. මේක මූලිකව අවබෝධ කරගන්න ඕන. අද ඉන්න ප්‍රේක්ෂකයාව හඳුනාගෙන වැඩසටහන් පෙළ ගැස්වීම අවශ්‍ය වෙනව. එක් පැත්තකින් මාධ්‍යකරුවා නිතරම නියෝජනය කරන්නෙ මහජනතාව. අපේ එහා පැත්තෙ වාඩි වෙන සම්පත් දායකයා ඉදිරියේ එක් පසෙකින් අපි නියෝජනය කරන්නෙ මහජනතාව. ඒ වගේම අපේ සම්ප්‍රදායන් අතීතය අපට අමතක කරන්න බෑ. මේ සාධක සියල්ල ඔළුවෙ තියාගෙන අපි ප්‍රේක්ෂකයන්ට අපේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ඕන. ඒක හරියටම කරන්න පුළුවන් නම් අපට ප්‍රේක්ෂකයා එක්ක හොඳ සබඳතාවක් ගොඩනඟා ගන්න පුළුවන්.
නූතන මාධ්‍ය භාවිතාව ගොනු වී තිබෙන්නේම ප්‍රේක්ෂකයන් ඉල්ලන දේම දීම ප්‍රමුඛව යන්න එල්ල වන චෝදනාවක්. ඔබේ අදහස මොකක්ද ?
එතන දි අපට ටිකක් නැවතී බලන්න වෙනව. එතන ඇත්තටම තියෙන්නෙ මිනිස්සු ඉල්ලන දේම දෙනව කියන තත්වය ම නෙවෙයි. මහජන රුචිකත්වයෙන් මුළුමනින් බැහැර වුණොත් මාධ්‍යයේ පැවැත්ම කොතැනකට විතැන් වේවිද කියන කාරණයයි ඇත්තටම. ජනයාට ප්‍රිය වූ වටපිටාවක් ඔස්සේයි ජනමාධ්‍ය ගොඩනැඟෙන්න ඕන. ඒක අවශ්‍ය යි. ඉතාම වෙහෙසකර කලබලකාරි ජීවන රටාවන්වල ජීවත් වන ජනයාට කලාව රස විඳීන්න වෙලා තිබෙන්නේත් නිස්කාංසුවක් නැතිව. ජීවන අරගලය මැද. සමහර විට යන එන ගමන්, කෝච්චියේ බස් එකේ. එතැනදි ඕනෑම මාධ්‍යයක් කටයුතු කරන්නෙ තමාගෙ මාධ්‍ය ජනතාවට ප්‍රිය වන ලෙස ගොඩනඟන්නයි. නමුත් ඇතැම් අවස්ථාවල ඇතැම් මාධ්‍ය එසේ ජනතාවට ප්‍රිය වන හැමදේම දීම වෙනුවෙන් මාධ්‍ය වගකීම අතහැර ගත් අවස්ථා තිබෙනවා. එතනදි ජනතාව ම තමයි නැවතත් කියන්නෙ මේ මාධ්‍ය ක්‍රමය අපට එපා. අපට වෙනත් දෙයක් හරි දෙයක් දෙන්න කියල. ඒ නිසා මම හිතන්නෙ ජනයා ට ප්‍රියවන, මාධ්‍ය සංස්කෘතියත් ආරක්ෂා වන මැද මාවතක යන එක තමයි ගොඩක්ම සුදූසු කියල.
එතනදි පෞද්ගලික ව මට ඇසුරු කරන්න ලැබුණු මුල් මාධ්‍ය ඔස්සේ හොඳීන් ගොඩනැගෙන්න ඉඩකඩක් නිර්මාණය වුණා කියන දේ මම විශ්වාස කරනවා. ඒ ජාතික ගුවන්විදුලිය ඇසුරේ. ඒ නිසා මම හිතනව හැම සන්නිවේදකයකුම නැතිනම් මාධ්‍යවේදියකුටම අවස්ථාවක් තියෙනවා නම් රාජ්‍ය මාධ්‍යයක් ඔස්සේ පෝෂණය වී ක්ෂේත්‍රයේ කටයුතු කරන්න මම හිතනව ඔවුන් තුළ වැඩි බරක් තියෙනව නැතිනම් වැඩි වගකීමක් සහිතව කටයුතු කරන්න ඔවූන්ට වැඩි පුහුණුවක් හා පසුබිමක් තියෙනවා කියල.
මාධ්‍ය අද සන්නාම ප්‍රවර්ධන කාර්‍යයේ වැඩි අවධානයත් දී කටයුතු කිරීම සුභාවිත කලාවට අගතියක් ඇති කිරීමට හේතුවක් බව ඔබ විශ්වාස කරනවා ද ?
ඒක ජනප්‍රිය සංස්කෘතියත් එක්ක අපට මුහුණ දෙන්න වී තියෙන දෙයක්. මුළු සමාජය ම තරගකාරි යි. ඒ නිසා තමයි එහෙම කරන්න වෙලා තිබෙන්නේ. එතනදි මේකට උත්තරයක් හොයා ගන්න නම් සියලු මාධ්‍ය එක තැනකට එන්න වේවි. ඇවිත් මේ ගැන කතා කරගන්න වේවි කොහොම ද මේ තරගකාරී වෙළෙඳපොළ රටාව තුළම සුපෝෂී මාධ්‍යයක් හදාගත හැක්කේ කියන කතිකාව ඇතිකරගන්න.
ඔබේ ඉදිරි අරමුණු මොනවාද ?
පළමුවැනි දේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. ඒ වගේම මගෙ පශ්චාද් උපාධිය සම්පූර්ණ කර ආචාර්යවරියක් වන්න. ඒක ලොකු සිහිනයක්. ඒවගේම කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නත්. දැනටමත් මම බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනව විශ්වවිද්‍යාල කීපයකට සම්බන්ධ වී. ඒ අරමුණු පෙරදැරිව සාර්ථක ගමනක් යන්න තමයි අපේක්ෂා කරන්නෙ.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් කියමු
මගෙ අම්මයි තාත්තා යි නංගී යි තමයි පවුලෙ ඉන්නෙ. සංචාරය කරන්න මම ගොඩක් ආසයි. විශේෂයෙන් පවුලේ අයත් එකතු කරගෙන සංචාරය කරන්න මම ගොඩක් ආසයි. තාලයට රිද්මයට ගීතයටත් ඒ වගෙම කැමති යි. ඒ නිසා ගීත ඇසීමටත් මම හරිම කැමතියි.
මිනිස්සුන්ට ඔවුන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්නත් ඒ වගේම මිනිස්සුන්ට ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් වැඩකරගන්න පුළුවන් වටපිටාවක් තිබෙන සමාජයක් බිහිවනවා දකින එක මගෙ ආශාවක්. හැම කෙනෙක්ට ම තමාට ආවේණික වූ ජීවිතය හොයාගෙන යන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වනවා නම් සමාජය වඩා යහපත් තැනකට ඒවි කියන හැඟීම මා තුළ තියෙනවා.
සමුද්‍රිකා වර්ණකුල