” අපෙ අප්පච්චි මේ තරම් දුරක් එන්න වින්ද දුක්ගැහැට අපමණයි..හැම තිස්සේම අපෙ අප්පච්චි අපට කියාදුන්නෙ තමන්ගෙ සාර්ථකත්වය කරා යන ගමනට කෙතරම් බාධා ආවත් කවදාවත් අතහරින්න එපා කියලා .. ඒ වගේම අපෙ අප්පච්චි ඒ බව ආදර්ශයෙන්ම අපට පෙන්වූවා…”
” අපෙ අප්පච්චිට දීර්ඝායුෂ දෙන්න අපෙ අම්මා තමන්ගෙ ආයුෂ අඩුකරගත්තදෝ කියලත් වෙලාවකට මට හිතෙනවා..ඒ තරම් අපෙ අම්මා අප්පච්චි රෝගාතුර වුණාම පුදුම කැපවීමක් කළා..”
මෙවර සරසවිය මවුපිය වරුණ වෙනුවෙන් මා පැමිණි ගමනේදී පෙරදා සතුටින් පිරුණු මේ නිවස දැන් මහත් පාළුවක ගිලී ඇතැයි මට සිතේ.
අපේ මෙවර කතාවේ සොඳුරු කතා නායකයාණෝ ප්‍රතාපවත්ය. ජනහදවතෙහි ලැගුම්ගත් ජනකාන්ත ගායන ශිල්පියකු වුවද ඊටත් එහාගිය අපරිමිත ගුණ සමුදායකට හිමිකම් කියනා වචනයේ පරිසමාප්තියෙන්ම ආදරණිය ස්වාමියකු මෙන්ම පින්සාර පියකු බව අදත් දනන් තුඩ තුඩ කියැවෙති.
මේ අසහාය ගායන ශිල්පියා හෙවත් ගුවන් විදුලියේ සේම ප්‍රසංග වේදිකාවේදී ද රසාලිප්ත ගැයුම් සිරිතෙන් සුවහසක් ගීත ශ්‍රාවකයින් සනහාලූ ඔහු අන් කවරකු හෝ නොව අපේ ප්‍රේමණීය ප්‍රියා සූරියසේන නම් සොඳුරු කතා නායකයාණෝය..
ඔහු පිළිබඳ යටගිය තතු සොයා ගිය ගමනේදී මට හමුවූයේ සිය පියාණන් පිළිබඳ අපරිමිත ස්නේහයෙන් පසුවන ඔහු ආදරණිය පුත් ලක්ෂිත සූර්යසේන මහතාය..
” අපෙ අප්පච්චිගෙ ජීවිත කතාව බැලුවාම අපට විතරක්ම නෙවි..ජීවිතය දිනාගන්න හැටි පිළිබඳ වටිනා ග්‍රන්ථයක් වගේ කියා හිතෙනවා. අප්පච්චි ආ ගමන තුළ ඕනෑම අයකුට ගතහැකි අගනා ආදර්ශ රැසක් තියෙනවා..”
මා සමීපයේ ම සුවපහසු අසුනකට බරදී පසුවන අපේ ආදරණිය ලක්ෂිත සූර්යසේන පුතුගෙන් තම පියාණන් පිළිබඳ කුදුමහත් ගෞරවනීය බව ඔහු කෙරෙන් පිළිබිඹු වෙයි.
සරසවිය පුවත්පතට සිය හෘදයාංගම ස්තූතිය ද පිරිනැමූ ලක්ෂිත තමන් අසල ඇති ආදරණිය අප්පච්චිගේ සේයාරුව දෙස නිහඬව බලා හිඳීන්නේය..
හිටිවන කවි ලතාවෙන් එවක නාත්තන්ඩිය ප්‍රදේශයේ ගම්දනව් අතර මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ..එවකට ගමේ මැම්බර් පදවියෙන්ද බුහුමන් ලද මඩවල ලියනගේ ජේමිස් අප්පුහාමි මහතා සහ අධිකාරි මුදියන්සේලාගේ පොඩි මැණිකේ මවුපිය දෙපළට දියණියන් තිදෙනකු හා එක් පුතකු විය.
නොඑසේනම් එම පවුලේ දෙවන දරුවා ලෙසින් 1944ක්වූ ඔක්තෝබර් මස 27 වැනිදා උපන්නේ මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍රියදර්ශී සූරියසේන නම් පිරිමි දරුවාය..ඒ පසුකලෙක ලොවක් ගීයෙන් සනහාලූ අපේ ආදරණිය ප්‍රියා සූර්යසේනයන්ය..
නාත්තන්ඩිය ගම් පියසේ ප්‍රාථමික විදුහලේ ඉගෙනුමට ගිය හෙතෙම පසුව මාදම්පෙ මධ්‍ය මහා විද්‍යාලයට පිවිසියේ ය..මේ අතරේදී හිටිවන කවියෙන් ද පරසිදු තම පියාණන් කවිකාර මඩුවකට…යන ගමනේදී තම පුතුගේ අතකින් අල්වාගෙන කැඳවා යන්නටද අමතක නොකළේය..කොලු පැටියාටද මහත් සතුටක් ගෙනදුන් ඒ ගමන්වලදී එකවරට සියවරක් හිතුණේ ” මටත් මෙහෙම වේදිකාවේ කවි කියන්නට ඇත්නම් කියාය..ගෙදරදීද ඇසෙන්නේ තම පියා හඬ නගා කියන කවි සිරිතය ..ඒ දැක පුතුද තාත්තා අනුකරණය කරන්නේය.
මම අපේ පුතු ලක්ෂිත දෙස බලමි..ඔහු සිය කටහඬ අවදි කරන්නේය.
“අපෙ අප්පච්චිට හොඳ කටහඬක් තියෙනව කියල අප්පච්චිටත් ඒ වේදිකාවෙ අවස්ථා ලැබිලත් තියෙනවා..ඒ වගේම පාසල් වේදිකාවෙදිත් එහෙමයි….ඕනෑම දෙයකට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන ගතිය අප්පච්චිට තිබුණා. මාදම්පෙ පාසලේ හිටපු මහීපාල කියන සංගීත ගුරුතුමා අපෙ අප්පච්චිව බොහොම අගය කරමින් සංගීතය උගන්වලත් තියෙනවා. ”
නාත්තන්ඩිය ප්‍රදේශය මහත් ග්‍රාමීය බවක් උසුලයි. පාර අද්දර ගලා බසිනා ඇල සේම කැලෑබද ප්‍රදේශ අපේ කතා නායකයාගේ ළමා විය රසමුසු කළේය..ඊටම ගැළපෙන ගමේ කොලු රෑනක්ද ඔහුට සිටියහ. පාසල ඇරී නිවසට පැමිණි සැණින් හේ මිතුරන් හා එක්ව ඇලට පැන මාළු බාති. එහි දිය බුං ගසා පිහිනා සතුටුවෙති. තවත් දිනෙක ඔහු වනරොදට පැන පලතුරු කඩා කන්නේය..
” දන්නවද අන්කල්..අපෙ අප්පච්චි හොඳට පිහිනන්න දන්නවා.. මුහුදේ වුණත් කි.මීටර ගානක් එකදිගට පිහිනන්න අප්පච්චිට පුලුවන් ..අප්පච්චි පුදුම දඟයෙක්ලු.. හරිම ක්‍රියාශීලියිලු. පාසලෙත් ෆුට්බෝල් වොලිබෝල් වලදිත් කැපී පෙනෙන හොඳ ක්‍රීඩකයෙක්.. ඒ අතරෙදි අප්පච්චි සංගීතයත් ඉතා හොඳීන් ඉගෙන ගත්තා..”
ලක්ෂිත කියන්නේය..
ගමේ ප්‍රසංග වේදිකාවක් ඉදිවුණිද එතැන අපේ කතා නායකයාට ඉහළම තැනක් තිබුණේය..ඒ ඔහු ගායකයකු ලෙසින් හොඳ නමක් දිනාසිටි බැවිනි..මේ අතරේ ගම් පියසේ තමන්සේ සංගීතයට ඇලුම් කරනා දක්ෂයින් එකතු කරගත් හේ සංගීත කණ්ඩායමක්ද හදාගත්තේය.
” අපේ අප්පච්චි ඒ කාලෙ හදාපු ගෲප් එකේ දැන් ජීවතුන් අතර ඉන්නෙත් එක්කෙනයි..”
අපේ සොඳුරු කතා නායකයාණෝ පාසල් අධ්‍යාපනයෙන් පසුව රජයේ සංගීත විද්‍යාලයට පිවිසුණේය..වයලීනයට හා සර්පිනාවට මහත්සේ පෙමින් බැඳුණු හේ වැයුමෙහි දක්ෂයකුද වූයේය..
ඔහුගේ එකම අධිෂ්ඨානය වූයේ ගුවන් විදුලියේ ගීත ගයන්නටය. නොඑසේනම් ගායකයකු වන්නටය..
” අපෙ අප්පච්චිගෙ ගෙදර රේඩියෝවක් තිබිලත් නැහැ..රේඩියෝවක් තිබෙන යාළුවන්ගෙ ගෙවල් හොයාගෙන ගිහින් සින්දු අහනවලු.. ගොඩාක් ආසා කලේ හින්දි ගීතවලට..ලතා මංගේෂ්කාර් ..මොහොමඩ් රාෆි ..මන්නාඩේ වැනි අයගෙ ගීතවලට හරිම කැමතියි. භාරත නළු නිළියන්ගෙ වතගොත ඉතා හොඳීන් දැන ඉඳල තියෙනවා . අද කාලෙ වගෙ පහසුකම් එදා නැහැනේ..මිතුරෙක් එක්ක බයිසිකලේ නැගල හින්දි චිත්‍රපට බලන්න හෝල් ගානෙ යනවාලු. ඩබල් දාල එන ගමන් එහි ගීත කටපාඩම් කර කරලු ගෙදරට එන්නෙ..ගෙදරට එද්දී ඒ සින්දු හොඳට කට පාඩම්ලු..”
පුතු ලක්ෂිත කියන්නේය. තමන්ට රැකවරණය මෙන්ම තමන්ගේ අනාගත සිහිනයන් සපුරාගන්නට එකම අත්වැල වූ තම පියාණන්ගේ අභාවයත් සමගින් ඔහු මහත් කම්පාවට පත්වූයේය..ගෙදර අගහිඟතාද මතුවිණි.. එහැම බලාසිටිනු බැරි තැනදී අපේ කතා නායක තෙමේ සමුපකාරයක භාණ්ඩ පිසදමන්නට ගියේය. පසුව ඔහු පිළිබඳ පැහැදෙමින් එහි අයකැමි තනතුරකට පත් කෙරිණි. එහෙත් සිහිනය හදවතේ එහෙමමය..
ගී පද රචනා කිහිපයක්ද අතැතිව හෙතෙම හිමිදිරියේම බස්රියක නැගී නාත්තන්ඩියේ සිට කොළඹ ගුවන් විදුලි මධ්‍යස්ථානය අසලට යන්නේ අදවත් මම සාර්ථක වේවා කියා සිතමිනි…එහෙත් එහි ඔහු දන්නා හඳුනන කිසිවකු නැති. ගුවන් විදුලි සංස්ථා භූමිය අසල ඒ මේ අත යමින් තමන්ට සවන්දෙන අයකු ඔහු සොයන්නේය. කිසිවකු සවන් නොදුන් කල හේ අතැති ගී පද රචනා කිහිපය තවත් තුරුලු කරගනිමින් සිත් වේදනාවෙන් මහ රෑ ජාමයේ ගෙදර බලා එන්නේය..
මාරවිලට සේන්දු වනවිට බොහෝ රෑ බෝවී තිබිණි. බස්රියෙන් බැසගත් මේ තරුණයා තවත් දුරක් යා යුතුය..ඒ මහත් පාළු බවක් ඉසිලූ කනත්ත අසලිනි. හාත්පස මහඝනඳුරය. හිත තැතිගැන්මද අඩු නැති. ගී පද රචනා ටික පරිස්සමට සාක්කුවකය. පාරේ වාහනයක් යන්නේද ඉඳහිටය. වාහනයක් එනතුරු සසල සිතින් බලා හිඳීනා හේ දුර එන වාහනයේ අඳුර කපා විහිදෙන ආලෝකයට පින්සිදුවන්නට කනත්ත පසුවනතෙක්ම දෙපයට වීරිය ගෙන දිවයන්නේ ඉතිපිසෝ ගාථාවද මුමුනමිනි. කනත්ත සීමාව පසුවූ පසු හිතට සැනසුමකි. ඉතිරි දුර සැහැල්ලුවෙන් යන්නේය.
නැවතත් පසුදා ගුවන් විදුලි සංස්ථාව අසලට යන්නේය. රාත්‍රී අන්තිම බස්රිය වැරදුණු කල හේ බස් නැවතුමේ තැනෙක නිදාගන්නේය..ඒ හිමිදිරියේ පිටත්ව යන බස්රිය බලාපොරොත්තුවෙනි.. මේ අයුරින් අපේ ආදරණිය කතා නායක තෙමේ ගායකයකු වීමේ දැඩි අදිටනින් බොහෝ කටුක දෑ අත් වින්දේය.. එහෙත් ඒ සියල්ල විඳදරා ගනිමින් තම ඉලක්කය සපුරාගැන්මේ නොතිත් ආශාවේම පසුවූයේය..
“අපෙ අප්පච්චිට ගම් පළාතේ ගායකයකු විදිහටලොකු තැනක් තිබුණා.. හින්දි චිත්‍රපට ගීත කටපාඩම් නිසා දිවා රෑ තනුව හදනවා..රාගධාරී සංගීතය හැදෑරුවා..නින්ද නැතිව පුහුණු වෙනවා..මේ අතරෙදි තමයි ගේ ළඟ රෝහණ මද්දුමරාල කියල කෙනෙක් අප්පච්චිට ” අඳුර අඳුර මගේ..සොඳුර සොඳුර මගේ…” රචනාකර දුන් ගීතයට අප්පච්චි ටියුන් එකත් දාගෙන ඉඳල තියෙන්නෙ. ඉතින්… දවසක් ගුවන් විදුලියෙ වැඩකරන එල්මෝ ප්‍රනාන්දු කියන මහත්තයාව හමුවෙලා තියෙනවා..අප්පච්චි එයාව අඳුරන්නෙ නැතිවුණත් අනේ අපෙ අප්පච්චි එයාට කියල තියෙනව මට ගුවන් විදුලියේ ගීතයක් ගයන්න උදව් කරන්න කියලා… එයා ප්‍රේමකීර්ති මහත්තයාව මුණගස්වා තියෙනව..එතැනදි ප්‍රේමකීර්ති මහත්තයා අප්පච්චිට ” හෙට දවසේ අප දෙදෙනා…අද වාගෙම හමුවිය යුතුවේ..” කියන වචන පෙලක් ලියා දීල මට ප්‍රවෘත්ති කියන්න යන්න තියෙනව..හෙට එන්න කියල ගියාම පසුදාත් අප්පච්චි කොළඹ ගිහින් ඉතිරි පද ටික ලියාගෙන තියෙන්නේ”
ලක්ෂිත පුතුගේ දෑස් කඳුළට බරව ඇතැයි මට පෙනේ..ඔහු එය වසන් කරන්නාක් මෙනි.
මේ එක්දිනෙක ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වන්නට පැමිණියේ ගුවන් විදුලියේ වාදක කණ්ඩායමකි..ගමේ ඇත්තෝද ඔවුන් සමඟ කදේ වැටී සිටියදී අපේ ආදරණිය කතා නායකයා පෙන්වමින් ” මේ ඉන්නෙ අපේ දක්ෂ නියම කොල්ලෙක්..මෙයාට තැනක් අරන් දෙන්නම ඕනා..” යි කියාය..
දැන් ඒ වාදක කණ්ඩායම අපේ ආදරණිය කතා නායකයාගේ නිවසේය…සත්කාර සංග්‍රහයෙන් හෙතෙම ඔවුනට රාත්‍රිය පුරා සලකමින් ඔවුන්ගේ ඉල්ලීම මත තම නිසග ගායන කුසලතාවද මොනවට සිරිමත් කළේය.. ඒ අසහුන් කණ්ඩායමේ ඒකමතික තීරණය වූයේ අපේ කතා නායකයාට ගුවන් විදුලියේ ගී ගයන්නට අවස්ථාව ලබාදිය යුතු බවමය.
අපේ සොඳුරු කතා නායකයාණෝ පියෙන් පිය ඉහළටම නැගෙමින් තම ඉලක්කය සපුරා ගනිමින් සිටී… ” අඳුර අඳුර මගේ..” ” පැතුම් පිරීලා” හෙට දවසේ..” ආදී තවත් රසමිහිරි ගී එකතුවකින් එලිදැක්වූ කැසට්පටද උණුකැවුම් මෙන් අලෙවි වූයේය..ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන්ද ඉහළින්ම සමත් වූ ඔහු හෘද ආමන්ත්‍රණයක් බඳු රමණීය හඬ සිරිතට රටපුරා ගීත ලෝලීහු අසීමිතව පෙම් බැන්දාහ..
එක රැයෙක තම නිවසේ රැඳී සුවපහසුව නින්දක් ලබන්නට ලැබෙන්නේ දැන් නම් අහඹුවෙනි..එතරම් රටපුරා සංගීත ප්‍රසංගයනට ඔහුට ලොකු ඉල්ලුමකි…මේ වෙද්දී අපේ ප්‍රේමණීය විශිෂ්ට කතා නායකයාණෝ ප්‍රේමාන්විත ගීතයෙන් කිරුළු පැලැඳුවාසේය.. ප්‍රියා සූර්යසේන නාමයද හැම සිතකම නිදන් වූවාසේය..
ගමේ ප්‍රසංග වේදිකාවට රුවැති යුවතියක්ද පැමිණ ගී ගයන අයුරු ඔහු දැක ඇති වුවද කෙදිනකවත් කතාබස් කොට නම් නැති. රජයේ සංගීත විදුහලින්ද සාමාර්ථ්‍ය ලබා පැමිණ…කටුනේරිය මහ විද්‍යාලයේද ශ්‍රී විජයාරාම විද්‍යාලයේද කැලණිය ගුරු කුලයේද.. කළුබෝවිල විද්‍යාලයේ ද දෙහිවල මහා විද්‍යාලයේ ද සංගීත ගුරුවරයා වූ ප්‍රියා සූර්යසේනයන් තවත් ගුරුවරුන් යටතේ මහත් උනන්දුවකින් යුතුව තවදුරටත් සංගිතය හදාරද්දී එම සංගීත පන්තියට පැමිණියේ පෙර කී යුවතියයි. දෙදෙනාට දෙදෙනා හඳුනාගත්තේද මෙතැනදීය. ඕ පසුව සංගීත ගුරුවරියක වූවාය..සංගීත පන්තියේදී දැනහඳුනාගත් ඇයම අපේ කතා නායකයාගේ ජීවන අත්වැල වූවාය..ඕ තොමෝ නමින් තමරා කුමාරි සෙනරත් වීරසිංහ මෙනවියය. එම විවාහයෙන් මේ ආදරණිය මවුපිය දෙපලට තිළිණ වූ දූ දරුවන් අතරින් පළමුවැන්නී කළුතර..නාගොඩ රෝහලේ වෛද්‍යවරියක වන මිනූෂී සූරියසේන මහත්මිය ය..දෙවැන්නී බැංකු ක්ෂෙත්‍රයේ විධායක නිලධාරිනියක වන ඉරෝෂි සූරියසේන මහත්මියයි. තෙවැන්නා මා හා තවමත් ආදරණිය සංලාපයක පසුවන කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ගණිත අංශයෙන් ඉහළින්ම සමත්ව මොරටුව සරසවියට පිවිස ශිෂ්‍යත්වයකින් වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාව බලා ගොස් ඉංජිනේරු අංශයෙහි නිපුණ බව ප්‍රකට කොට අනතුරුව පී.එච්.ඩී උපාධියකින්ද සම්මානිතව …මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසින් ද කටයුතු කරන..අපේ ආදරණිය ලක්ෂිත සූරියසේන මහතාය.. නොඑසේනම් අප රටෙහි නැමෝ තාක්ෂණය පිළිබඳ හෙතෙම කීර්තිමත් විද්වතෙකුද වන්නේය..”
” කෙනකුට නොලැබෙන තරමේ අවස්ථා මම ජයග්‍රහණය කළා ” යැයි අපේ ලක්ෂිත කියන්නේද එබැවිනි…
එපමණක් නොව තම පියාණන් ගත් මඟ යමින් සංගීත ක්ෂෙත්‍රයේ ද පසුවන අපේ ආදරණිය ලක්ෂිත සූරියසේන ගායනයට පමණක්ම නොව ගී පද රචනයේහි මෙන්ම තනු නිර්මාණයෙහිද විසල් සමත්කම් පාන්නෙකි.
මේ සොඳුරු කැදැල්ලේ පවුලේ බාලම දියණිය වන්නේ හෙදියක වන ගයාෂි සූරියසේන මහත්මිය ය..
අපේ ආදරණිය ලක්ෂිත යමක් කියන්නට මෙනි.
“මේ අපේ ජයග්‍රහණයන් පිටුපස ඉන්නේ අපෙ අප්පච්චි වගේම අපෙ අම්මා …අප්පච්චි හැමදාමත් කිව්වෙ ඉලක්කය අතහරින්න එපා. කුමන බාධා දුක් ආවත් ඒවා දරාගෙන ඉදිරියටම යන්න කියලා. අප්පච්චි කට වචනයෙන් නෙවි උත්සාහය ඇත්නම් තම අභිමතාර්ථ ජයගත හැකි බව ආදර්ශයෙන් පෙන්වා දුන් කෙනෙක් ..කොහේ ගියත් අප්පච්චිට..නිදහසක් නැතිවුණත් අපේ ජීවිතවලට කැපවුණා.. අපෙ අප්පච්චි අම්මා වෙනුවෙන් අප වෙනුවෙන් කළ කැපවීම් වචනයෙන් කියන්නට බැරිතරම්..ඒ වගේම අපත් අපේ අප්පච්චිගෙ සිහින සැබෑ කළා…අප්පච්චිගෙ මහන්සියට අපත් ජයග්‍රහණය ලබා ඉහළටම ඇවිත් පෙන්නුවා…විදෙස් සංචාරයකට ගයන්න ගියත් ඒ විරාමයකදි අප්පච්චි හොයනව ඒ රටේ කුමන දේද එයාගෙ දරුවන් ට ගැළපෙන්නෙ කියලා..අප්පච්චිගෙ වටිනාකම් කියා නිමකරන්න බැහැ…”
” කවදාවත් අපෙ අම්මා අප්පච්චිගෙ ජනප්‍රියත්වයෙන් බැබළෙන්න හැදුවෙ නැහැ. අම්මාත් සංගීතයටත් ලැදි ගුරුතුමියක්නෙ..විදේශ සංචාරයකට යන්න කතා කළත් අපෙ අම්මා අප්පච්චිට කියන්නෙ..ඔයා ගිහින් පරිස්සමින් එන්න..මං ගියොත් දරුවන්ගෙ ඉගෙනිමට බාධා වෙනවනෙ කියලා. ඒ වගේමයි අපෙ අම්මයි තාත්තායි හැම අතින්ම ආදර්ශමත්..”
ලක්ෂිත ඒ ටික කීවේ මා විමසූ පැනයකදීය..
අපේ ලක්ෂිත බිමබලාගත්වනම ය..තම සොඳුරු පියාණන් පිළිබඳ මතක අතරේ පසුවෙතැයි මට හැඟේ..ඔහු කටහඬ බිඳුණු ස්වරයකි..
අපේ ආදරණිය කතා නායකයා වෙහෙසව හම්බ කළදේ ඉතිරි කළේය..සැපසම්පත් මත්තේ හඹා නොගියද හේ ප්‍රේමණීය හඬින් හරිහම්බ කරගත් දෑ අරපරිස්සම් කරමින් තම පවුලේ ආදරණීයන්ගේ ජීවනය සුව යහනක් කළේය..
අපේ කතා නායක තෙමේ කෙතරම් ජනප්‍රියත්වයෙන් ඉහළට නැගුණිද සමාජ ඇසුරේදී කිසිවකු හෝ ඔහුට විශේෂ නොවන්නේය..මැති ඇමැතිලාද…කලාකරුවන් ද පදිකයේ අයකුද ඔහුගේ මනුස්සකමට එක හා සමානය . දුම්වැටියක් අත රැඳෙනු නොදුටුවද සිය ප්‍රියයන් සමඟ මධුවිත හේ ප්‍රිය කළේය..
” මට මතකයි.. මට වයස පහේදි තරමෙදි ඔය ජෝති..මිල්ටන් ක්ලැරන්ස් අන්කල්ලා අපෙ ගෙදර එනවා..ජෝති අන්කල්ගෙ ප්‍රියතම ගීතය ” අඳුර අඳුර මගේ” ගීතයයි. ”
ලක්ෂිත කියන්නේය.
අපේ මේ සොඳුරු කතා නායකයාණෝ ජනප්‍රිය ගායන ශිල්පියකු වීමේ තිරසාර අරමුණින් හෙතෙම රැකියාවට සමු දුන් සැටිද ලක්ෂිත කියන්නේය.
” අප්පච්චි ගායකයකු විදිහට කාර්ය බහුල වෙද්දි ගුරු රස්සාවෙන් ඉවත් වුණෙත් රෑ නිදිවරාගෙන ප්‍රසංගවලට ගිහින් පසුදා පාසලට පමාවී ගිහින් ඉගැන්වීම අසාධාරණයක් විදිහට හිතලයි.. ”
” ජනප්‍රියත්වය එකතැනෙක නැහැ..එය ඉහළ පහළ යන දෙයක්. ඒ නිසා හම්බ කරනදේ ඉතිරි කළ යුතුයි….” හෙතෙම දරුවන්ට කියා දුන්නේය…
රැය ගතකරන සංගිත දිවියේදී ආපසු නිවසට එනවිට තද නින්දක සිටියේද ප්‍රිය බිරිඳ තමරා කුමාරි වහා අවදිව ඔහු හා කතාබහ කරද්දී පැයෙන් පැය තමන් ගතකළ සැටි..ඇසදුටු කතා..කියන්නේද සිරිතක් ලෙසිනි. ඇය ආදරයෙන් අසා හිඳී..
” අනේ නැහැ..කවදාවත් අපට සංගීතය තෝරාගන්න කියලනම් අප්පච්චි කිව්වෙම නැහැ. වෘත්තීය පැත්තෙන් සංගීත කලාව හොඳ මදි..එදාට වඩා අද වෙනස්නෙ..සංගීතය ඉගෙන ගන්න..ගීත ගයන්න..ඒක අමතර සුදුසුකමක් හැටියට තියාගන්න..ඔය ටිකමයි අප්පච්චි මට කිව්වෙ”
ලක්ෂිත කියන්නේය.
අධ්‍යාපනයෙන් ඉහළම වත්කම් ලද ලක්ෂිත තමන්ගේ ගීත නිර්මාණ පහකට අමතරව ගීතයක් රචනා කළේය..ඒ තම සාඩම්බරනීය පියාණන් පිළිබඳව ය.. එය නම් කෙරුණේ ” පිය සෙනෙහස” නමිනි.
‘” පිය සෙනෙහස ඇයිදෝ ඔබ සඟවන්නේ…
මව මෙන් නැහැ ඔබ කඳුළු සලන්නේ…”
තම ප්‍රේමනීය පුතු ලක්ෂිත සමග අපේ ආදරණිය කතා නායකයා ගැයුවේ එම ගීතයයි..එය තනුවද රචනයද ආදරණිය පුතු ලක්ෂිත ගේමය.
” ඒ ගීතය පටිගත කරන්න මාව දිරිමත් කළේද අපෙ අප්පච්චි…කල් දමන්න එපාය කියලා”
” අපේ රටේ රසිකයන්ට තවමත් අසන්ට නොලැබී ඇති අප්පච්චිගෙ ගීත රාශියක් ම තියෙනවා..වික්ටර් අන්කල් එක්ක ගැයූ මිහින්තලේ ගීතයත් එහෙමයි..තවමත් අපවත් අසා නැහැ .”
අපේ සොඳුරු කතා නායක තෙමේ රෝගාතුර වූයේය..අසනිපයක් කියා දෙයක් නොතිබිණි ද හේ ගිලන් වූයේය..වරින්වර රෝගාතුර වූයේය..මොළයේ ලේ කැටි ගැසීමක් බවද වෛද්‍යවරුන් කීහ.
” අප්පච්චිට සැත්කම් හතරක් කළා…”
ලක්ෂිතගේ හඬ සිහින්ව ඇසේ..
ඔහු හොඳටම දුර්වලව ගිය ගතිනි. ජාතික රෝහලේ වාට්ටුවක ගිලන් යහනේ වැතිර ” චූටි පුතා කෝ..” යැයි මලානික හඬින් බිරිඳ තමරාගෙන් අසන්නේය..ඔයාලට බුදු සරණයි යැයි යළි කියන්නේය. බිරිඳ තමරා ඔහුගේ සෙවණැල්ල මෙනි.
ලක්ෂිත දෑස නැඟි කඳුළක් වසන් කරන්නට අසාර්ථක වෑයමකය..
” මමයි අප්පච්චියි එක්ව ගැයූ පිය සෙනෙහස ගැන ගීතය ඒ අපෙ අප්පච්චි ගැයූ අවසාන ගීතයයි කියල මට හිතුණේම නැහැ”
” අපෙ අප්පච්චිට දීර්ඝායුෂ අරන් දෙන්න අපෙ අම්මා තමන්ගෙ ආයුෂ අඩුකරගත්තාද කියලත් මට හිතෙනවා..අනේ ඒ තරම් අම්මා තුන්තිස්පැයේම අප්පච්චි මත්තේම උන්නා..අපි ඔක්කෝම එහෙමයි.”
තමන් තනු නිර්මාණය කෙරෙමින් තමන් ගැයූ ගීත පහ සේම තම පියාණන් ගැයූ සියලු ගීත ආරක්ෂා කිරීම තමන්ගේ එකම අරමුණ යැයිද ලක්ෂිත කියන්නේය.
” මා විමසූ පැනයකට පිළිතුරු දෙමින්…
” කවදාවත් අප්පච්චි සම්මාන බලාගෙන මුකුත්ම කළේ නැහැ..අපට නිතර කිවෙ ඔය සම්මාන ඇතත් නැතත් උත්සාහය කැපවීම සමග වාසනාවත් එකතු වූ තැන ජයග්‍රහණය ස්ථිරයි කියලමයි”
අපේ ආදරණිය කතා නායක තෙමේ ..ගායන දිවියේදී සිග්නීස් අන්තර්ජාතික අගැයීම් සම්මානයෙන්ද (2015) ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරිය උත්තම අභිනන්දන සම්මානයෙන්ද (2024) ජගත් කලා පදනමේ ප්‍රවීණතා සම්මානයෙන්ද යූ.ඩබ්ලිව් .සුමතිපාල අනුස්මරණ සම්මානයෙන්ද (2024) හරසරින් පිදුම් ලැබුවේය.
ලක්ෂිත දිගු සුසුමක් හෙළමින් ඉවත බලා හිඳී…ඒ දෑස රත්පැහැගැන්වී පෙනේ…
” අපෙ අප්පච්චිගෙ අසනිපය වෙනුවෙන් අපට මේ දේ කරන්න බැරිවුණා කියන කිසිම දෙයක පසුතැවිල්ලක් අපි කාටවත්ම නැහැ..අප්පච්චි තව ගොඩාක් කල් සිටියානම් ඒක තමයි හොඳ ..ඒත් අප්පච්චි වෙනුවෙන් අන්තිම මොහොත දක්වාම අපි උපරිමයෙන් කැපවුණා.”
සිය අරමුණ සඵල වනතුරුම අනේක බාධා කම්කටුලු විඳදරා ගනිමින් ගීත ලොව හිණිපෙත්තටම සපැමිණි ජනප්‍රිය කලාකරුවකු…අගනා සහෘදයකු…ආදරණිය ස්වාමියකු සේම ආදර්ශමත් පියකු ලෙසින්ද සිය ජීවන සිරිත සිරිමත් කළ ප්‍රියා සූරියසේන නම් අපේ සොඳුරු කතා නායක විශිෂ්ටයා කිසිවකුට හෝ කිසිවක් ම නොකියා නොදන්වාම සිය දෑසපියාගත්වනම වයසින් අවුරුදු අසූ එක්වියෙහිදී යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය…
ඒ 2024ක් වූ දෙසැම්බර් මස 24 වැනිදාය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ