උඳුගොඩ අපිට ඉන්න ලැබෙන්නේ හරිම කෙටි කාලයයි. මට හිතෙන්නේ අවුරුදු තුනක් වගේ කාලයක්. ආපහු සැරයක් අපේ තාත්තාව ගම්පොළට මාරු කරනවා. ඒකාලේ වෙනකොට ගංගා නංගි සහ මල්ලිත් ඉස්කෝලෙ යන වයසට ඇවිත්. මේ මාරුවීම ලැබෙන්නේ තාත්තාගේ ගමට නිසා තාත්තා ටිකක් සතුටු වෙනවා. මොකද තාත්තාගේ නෑදෑ පරම්පරාවම එහේ ඉන්න නිසා අපිව බලාකියා ගන්න එක වුණත් එයාට ඒ හැටි ප්‍රශ්නයක් නොවුණ නිසා. මේ පාර තාත්තා අපිව උඩහේන්තැන්න සේනාධිකාරි විද්‍යාලයට ඇතුළත් කරනවා. අපි තුන්දෙනාම ඉස්කෝලෙ යන්නේ තාත්තාගේ මහ ගෙදර ඉඳලා. ඉස්කොලේ තිබුණේ තාත්තාගේ මහ ගෙදර වුණු යටපාන ඉඳලා කිලෝ මීටරයක් විතර දුරින්. උදේට අපි තුන්දෙනා මේ දුර ඇවිදගෙන යන්න ඕන. ඉස්කෝලේ ට යන්න තේ ගස් අතරින් ලොකු කන්දක් නඟින්න ඕන.
මට අමතක නොවනම අත්දැකීම් ටිකක් මේ ඉස්කෝලෙත් එක්ක තිබෙනවා. ඉස්කෝලෙ නිල ඇඳුම වුණේ නිල්පාට රෙද්දකුයි සුදු පාට මන්ත හැට්ටයකුයි. නංගිටයි මටයි ඇත්තටම රෙද්ද හැට්ටේ ඇඳලා පුරුද්දක් තිබුණේ නෑ. ඒ වුණාට අපි දෙන්න රෙද්ද හැට්ටේ ඇඳගෙන ඉස්කෝලෙ යන්න පුරුදු වුණා. ගම්පොළට නිතරම වහින නිසා වැස්ස දවසට තමයි අමාරුම වුණේ. අපේ ගංගා නංගි ඒකාලේ පුදුම දඟ ළමයෙක්. එයා රෙද්දයි හැට්ටෙයි ඇඳන් ඉස්කෝලෙ යන්නේ පාරවල් දිගේ දුව දුව. බොහෝ අවස්ථාවල එයා පය ලිස්සල වැටුණු වෙලාවන් වැඩියි. ඇඟ පුරාම මඩ තැවරුණාට පස්සේ ඉස්කෝලෙට යන්න පුළුවන් කමක් නෑ. ඒ වෙලාවට මම ඉතින් කරන්නේ නංගිවත් අරගෙන ආපහු ගෙදර එන එක.එහෙම කරපු අවස්ථා ඒ කාලේ ඕන තරම් තිබුණා.
මේ කාලෙත් අම්මා අපිව බලන්න ගම්පොළට එනවා. අපි රෙද්ද හැට්ටේ ඇඳගෙන යන හැටියි, ඉස්කෝලෙට පයින් යන හැටියි දැක්කම අම්මගේ හිතට හරි නෑ. අනිත් පැත්තෙන් තාත්තටත් අපි වෙනුවෙන් ලොකු සල්ලියක් වියදම් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ කාලේ තාත්තගේ බාල මල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ වෙනුවෙනුත් තාත්තා කිසියම් මුදලක් වියදම් කළා. ඉස්කෝලෙ ගමන දුෂ්කර වුණත් අපි ගම්පළ මහ ගෙදර හිටියේ සතුටින්. අපිට මෙහෙ ඥාති සහෝදර සහෝදරියන් ගොඩාක් හිටියා. ඒ අයත් සමඟ කාලය ගත කරන එකට අපි තුන්දෙනාම කැමැති වුණා.
කොහොම වුණත් අම්මගේ මැදිහත් වීම මත මාව ගම්පොළින් මහනුවර පුෂ්පදාන බාලිකාවට ගෙනියනවා. ඒ වෙනවිට මම ටිකක් දැනුම් තේරුම් ඇති වයසට ඇවිත් නිසා මාව අම්මා අම්මගේ මහ ගෙදර නවත්වනවා. මම පුෂ්පදානෙට යන්න පටන් ගන්නේ එහෙම. නමුත් නංගියි මල්ලියි දෙන්නා දිගටම ගමේ ඉස්කෝලෙටම යනවා.
ඔහොම ඉන්න අතරතුර තමයි තාත්තව මොනරාගලට මාරු කරන්නේ. තාත්තා ට පළවෙනි පන්තියේ නිලධාරියෙකු හැටියට
උසස්වීමකුත් සමඟ තමයි මේ මාරුවීම ලැබෙන්නේ. මේ අවස්ථාවේ නම් තාත්තා මාව මොනරාගලට ගෙනියන්න උත්සාහ කරන්නේ නෑ. ඒ වෙනකොට අත්තම්මාගේ ගෙදර ඉඳන් මම පුෂ්පදාන බාලිකාවට යන්න හොඳටම පුරුදු වෙලයි හිටියේ. නමුත් තාත්තා නංගිවයි මල්ලිවයි දෙන්නම ගම්පොළ ගමේ ඉස්කෝලෙන් අස්කරගෙන මොනරාගල මහානාම විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ දෙන්නත් තාත්තාත් එක්ක මොනරාගල ජීවත් වෙනවා. තාත්තාට වැඩිකල් එහේ ඉන්න ලැබෙන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් යනවිට නුවරට මාරුවක් ලැබෙනවා මහනුවර උප තැපැල් කාර්යාලයට. තැපැල් කාර්යාලයට අල්ලලාම තියෙන නිල නිවෙසත් තාත්තාට ලැබෙනවා. මේ මාරුවත් එක්කම ආයෙත් නංගිටයි මල්ලිටයි ඉස්කෝලයක් නැති වෙනවා. ඒ ප්‍රශ්නෙට හැමදාමත් වගේ මැදිහත් වෙන්නේ අම්මා. අම්මගේ සම්බන්ධතා පාවිච්චි කරලා මේ පාරත් අම්මා නංගිවයි මල්ලිවයි දෙන්නම නුවර ඉස්කෝල දෙකකට දා ගන්නවා. නංගිව පුෂ්පදානෙට ඇතුළත් කර ගන්න අතර මල්ලිව මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ වෙලාවෙත් තාත්තා අම්මගේ වචනෙට පිටුපෑවේ නෑ. අපේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එයාට මැදිහත් වෙන්න ඉඩ දුන්නා. මම අටේ පන්තියට විතර වෙනකම් පුෂ්පදාන බාලිකාවට ගියා.
මේ කාලේ වෙනකොට අපේ චූටිම නංගිලා දෙන්නත් ටිකක් ලොකුයි. අම්මා කොළඹ ඉඳන් අපිව බලන්න නුවර එනකොට ඒ දෙන්නත් එක්කගෙන එනවා. විද්‍යායි යමුනයි දෙන්නත් අපිත් එක්ක ඉන්න හරි කැමතියි. සමහර දවසට අම්මා ෂූටිං යනවා නම් නංගිලා දෙන්න අපේ ගෙදරින් බස්සලා යනවා. අපේ තාත්තා තමයි අපි පස් දෙනාවම බලා ගන්නේ.
මේ විදියටත් අපිට දිර්ඝ කාලයක් ඉන්න ලැබෙන්නේ නෑ. තාත්තාට තැපැල් පරීක්ෂකවරයෙකු වශයෙන් උසස්වීමක් ලැබිලා බදුල්ලට මාරුකරනවා. මුළු බදුල්ල දිස්ත්‍රික්කයම එයාට ආවරණය කරන්න වෙනවා. සමහර උප තැපැල් කන්තෝරු තිබුණේ මහියංගනය කෙළවරේ. මේ හැම තැනම පරීක්ෂණ කරන්න තාත්තට යන්න සිද්ධවුණා. එයා උදේ රැයින් පිටත් වුණාම රෑට රෑ වෙලා තමයි ගෙදර ආවේ. මේ කාලේ එයා අපේ පදිංචිය සඳහා තෝරා ගත්තේ බණ්ඩාරවෙල. ඒ සැරේ නම් එයා මාව මහනුවර දාල එන්න කැමති වුණේ නෑ. එයාට නිතර නිතර ඇවිත් මාව බලලා යෑමත් අපහසු කරුණක් වුණා. ඒ වගේම අම්මත් හිටියේ කොළඹ නිසා එයාටත් නිතර යන්න එන්න නොහැකි වුණා. ඒනිසා එයා මාවත් බණ්ඩාරවෙලට ගෙනියන්න තීරණය කළා.
1973 දි තමයි තාත්තා තැපැල් පරීක්ෂකවරයෙක් විදියට බණ්ඩාරවෙලට එන්නේ. ඒ අනුව මම සහ නංගි බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලයටත් මල්ලි බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයටත් ඇතුළු කරනවා. මේ පාර තාත්තා අපි තුන්දෙනාවම නවත්වන්නේ බෝඩිං වල. එයත් එයාගේ යාළුවෙක් සමඟ තැනක බෝඩිං වෙනවා. හැබැයි හැම සති අන්තයකම අපි තුන්දෙනා බලන්න එයා බෝඩිං වලට එනවා. ඒ ආවම හැමදාමත් තාත්තාට අහන්න ලැබෙන්නේ අපේ දුක් ගැනවිලි තමයි. අපි තුන්දෙනා බෝඩිං වල ඉන්න කැමැති වුණේම නෑ. තුන්දෙනාම කිව්වේ අපිට තාත්ති ගාවට එන්න ඕන කියලයි. හැමදාමත් තාත්තාට මේ දුක් අඳෝනා ඉවසන්න බැරි නිසාම වෙන්න ඇති ඔහු බණ්ඩාරවෙලින් (අමුණුගම) ගෙයක් කුලියට ගන්නවා. උදුගොඩ ඉන්න කාලේ අපිව බලාගත් අක්කාත් මේ ගෙදරට ගෙන්නාගෙන අපි තුන්දෙනත් බෝඩිං වලින් අයින් කරගෙන අපි ඔක්කොම එක ගෙදරක ඉන්න පටන් ගන්නවා. මේ කාලේ තමයි හාල් සීනි පොලු දාපු කාලේ. අපේ ගෙදර සාමාජිකයෝ වැඩි නිසා අපට ලැබෙන දේවල් මදි. නමුත් තාත්තා තැපැල් පරීක්ෂක නිසා සමහර කඩ වලින් අපිට සීනි, පාන් වගේ දේවල් ටිකක් වැඩිපුර ලැබුණා මට මතකයි.
මම අපො.ස. සාපෙළ විභාගය ලියන්නේ බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයෙන්. මට මතකයි මම පාඩම් වැඩ අහගන්න තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටපු හැටි. එයා මහියංගනේ පැත්තේ ඇවිදලා රැට රෑවෙලා අඳුරත් අරගෙන තමයි ගෙදර ආවේ. ඒත් කවදාවත් මහන්සි කියලා බලන්නේ නැතිව එයා මගේ පාඩම් කියලා දුන්නා. අපොස සා. පෙළ විභාගය හොඳීන් සමත් වෙලා මම උසස්පෙළ කරන්න තේරුණා. මම තෝර ගත්ත විෂයන්ට අනුව යුරෝපා ඉතිහාසය ඒ දවස්වල බණ්ඩාරවෙල විශාඛාවේ තිබුණේ නෑ. ඒනිසා මම උසස්පෙළ කරන්න බණ්ඩාරවෙල මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. මාස හයකටත් වැඩි කාලයක් මම බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබනවා. එහෙම ඉන්නකොට තමයි තාත්තාව නැවත වතාවක් මහනුවරට මාරු කරන්නේ.
ලබන සතියේ……
උසස්පෙළ කරන්න බණ්ඩාරවෙලින් නැවතත් මහනුවරට