නිවස සංවාද අම්මා, තාත්තා මට මෙය ලියන්න පෙලඹෙව්වේ නැහැ

අම්මා, තාත්තා මට මෙය ලියන්න පෙලඹෙව්වේ නැහැ

යොවුන් ලේඛක දිල්නුක සිල්වා

by Thanushika
August 29, 2024 11:06 am 0 comment

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ නමවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ. එස්. දිල්නුක සිල්වා ශිෂ්‍යා විසින් රචිත ‘නොදුටු මුත්තා’ ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ ලේඛකයන් පත්‍ර කලාවේදීන් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිස් රැසකගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 13 වැනිදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්වීමට නියමිතය. තම මුත්තණූුවන් වූ මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ පරම්පරා කිහිපයකම නායකත්වය දුන් ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතා පිළිබඳ මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘවරයකු සේම නවයුගය, තරුණි, මිහිර පුවත්පත් හි ආරම්භක කර්තෘවරයා වූ ‘ශි‍්‍ර ලාල් හික්කඩුව ලියනගේගේ පිළිබඳ එතුමන්ගේ මීමුණුබුරෙකු වූ දිල්නුක සිල්වා මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රබල පුවත්පත් කතුවරයකු පිළිබඳ ඔහුගේ අප්‍රකට ජීවන තොරතුරු ඇතුළත්ව මෙම ග්‍රන්ථය කුඩා පාසල් ශිෂ්‍යයකු විසින් රචනා කර තිබීම මෙහි තිබෙන තවත් සුවිශේෂි බවක් වේ. මෙම සුවිශේෂි බවට උරුම කරුවා වී සිටින දිල්නුක හා කතාබස් කරමු.

දිල්නුක පුතා කළ සුවිශේෂ කටයුත්ත ගැන පැහැදිලි කිරීමක් කළොත්?

මගේ මුත්තණුවන් කෙනෙකු වූ මෙරට ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතා ගේ ජීවිත කතාව ඇතුළත්ව පොතක් ලිව්වා.

මේ පොත කවර නමකින් ද එළි දක්වන්නේ. නොදුටු මුත්තා කියලා.

කවදටද මේ ග්‍රන්ථය ඔබ එළි දක්වන්න සූදානම් කරල තියෙන්නේ?

සැප්තැම්බර් මස 13 වැනිදා සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තමයි මගේ පොත දොරට වඩින්නේ.

පුතා ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාව තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණද?

එතුමා මගේ මුත්තණුවන් කෙනෙක්. මම එතුමා ගැන අහල තිබුණ දේවල් ගැන හිතෙන කොට මට හිතුණා එතුමා ගැන තව තව හොයල බලන්න ඕනේ කියලා. විස්තර හොයල ගන්න කොට මට හිතුණා මුත්තණුවන් ගැන කරුණු එකතු කළොත් හොඳයි කියලා.

කොහොමද ඔබ මේ උත්සාහය ජයගත්තේ?

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මුත්තණුවන් රැකියාව කළ ලේක්හවුස් ආයතනයෙන් මුත්ත උපන් ගම හික්කඩුව දොඩංගොඩ ආශි‍්‍රතව, මුත්ත ඉගෙනගත් පන්සල කුමාර කන්ද රජමහා විහාරය. ඒ වගේ විවිධ ස්ථාන රැසකට ගිහින් මම කරුණු හොයා මුත්තා ගැන ලියවුණු පුවත්පත් ලිපිලේඛන කියෙව්වා. මුත්තා ගේ පරම්පරාවේ දැනට ජීවතුන් අතර ඉන්න අයගෙන් තොරතුරු විමසීමක් කළා. ඒ හැම කරුණු කාරණාවක් ඔස්සේම තමයි මම මේ පොත රචනා කළේ.

මීට කලිනුත් පොත පත ලියල තියනවද?

නෑ. මේක මගේ පළමු උත්සාහය.

පාසලේ ලේඛන කටයුතු සාහිත්‍ය කටයුතු වලට දායක වීමක් කරනවද?

ඔව්. සාහිත්‍ය දිනයට පාසලේ පවත්වන තරඟවලට පද්‍ය රචනා ආදී තරඟ සඳහා පාසලේ දී සහභාගී වෙලා තියනවා. ජයග්‍රහණ දිනාගෙන තියනවා. ප්‍රථම ස්ථානය තෙවන ස්ථානය වශයෙන්.

නොදුටු මුත්තා ග්‍රන්ථයට පුතා ඇතුළත් කරල තියෙන්නේ මොනවගේ කරුණු කාරණා ද?

අපේ මුත්තාගේ උපතේ සිට එතුමා මියයන තුරාවට එතුමන්ගේ ජිවිත කතාව පිටු 315ක විතර පොතක්.

ඉදිරියේදීත් මේ ආකාරයට පොතපත ලියන්න අදහසක් තියෙනවාද?

ඔව්. මගේ ලොකු කැමැත්තක් තියනවා ලේඛනයට හා ජනමාධ්‍යයට. අසවල් පැත්තේ පොත පතලියනවා කියල තෝරාගැනීමක් නෑ. පොතපත කියවන්න මම ගොඩක් කැමැතියි.

නවකතා කෙටි කතා ලියන්න අදහසක් නැද්ද ඉදිරියටත් චරිතාපදාන ලියන්නද වැඩි කැමැත්ත

එහෙම නෑ. ඉදිරියේදී ඒක කොයි ආකාරයෙන් වෙයි ද කියලා කියන්න බෑ. එහෙම අදහසක මම නෑ. පුවත්පත් කලාව ලේඛනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම කැමැති.

පුවත්පත් වලට එහෙමත් ලිපි ලියනවාද?

ඔව්. මිහිර, විජය ළමා පුවත්පත් වලට මම ලිපි ලියල තියනවා. තරුණී පුවත්පතටත් අපේ මුත්තනුවන් වූ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතා ගැන ලිපියක් ලියල තියනවා.

කොපමණ කාලයක පටන් ද ලිපි ලියන්න පටන් අරන්?

මම ඉස්කෝලේ හත්වැනි ශ්‍රේණියේ ඉදල තමයි ලිපි ලියන්න පටන් ගත්තේ. 2021 වසරේ ඉඳල මට අදහස ඇතිවුණා. හයවන ශ්‍රේණියේ දී තොරතුරු හොයල ලියන්න පටන් ගත්තා හත්වැනි ශ්‍රේණියේ දී මම පුවත්පත් වලට ලියන්න පටන් ගත්තා මුත්ත ගැන ලියන්න පටන් ගත්තෙත් 2021 වසරේ ඉඳල මිහිර විජය පත්තරවලට මම වැඩිපුර ලිව්වේ කවි.

පුතාගේම අදහසකට ද මේ පොත ලිවීම පටන් ගත්තේ නැත්තම් දෙමාපියන්ගේ යෝජනාවකට ද මෙවැනි දෙයක් තෝරගත්තේ?

මේක මගේම අදහසක් මත වූ දෙයක්. අම්ම තාත්තා මට මේක ලියන්න කියල පෙළඹෙව්වේ නෑ. 2021 වසරේ මම ලියන්න අදහස් කළත් මට තොරතුරු සොයාගන්න සෑහෙන කාලයක් ගත කරන්න සිද්ධ වුණා. පොත මුලින් ලියනකොට මෙච්චර දෙයක් කරන්න හිතුවේ නෑ. මටත් නොදැනීම මගේ උත්සාහය පොතක් ලෙස එළිදක්වන කටයුත්ත දක්වා කරගන්න ලැබුණා.

අම්මාත් තාත්තත් ලේඛන කලාවට සම්බන්ධව ද කටයුතු කරන්නේ?

නෑ. මගේ අම්මා නදීරා නිශානි සිල්වා ගණකාධිකාරිවරියක් මගේ පියා රනිල් සිල්වා ආයුර්වේද වෛද්‍යවරයෙක්.

නොදුටු මුත්තා ඔබ දුටුවේ කොයි ආකාරයෙන් ද?

මගේ මුත්තණුවන් හික්කඩුවේ සාමාන්‍ය පවුලක ඉපදිලා ඉතාමත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තමයි රටේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් බවට පත්වන්නේ. එතුමන්ගේ ස්ව උත්සාහයෙන් තමයි හැමදෙයක්ම කරගෙන තියෙන්නේ. ගොඩක් අප්‍රකට තොරතුරු තමයි තියෙන්නේ. රටටත් පුවත්පත් කලාවටත් මගේ මුත්තනුවන් කළ ඒ විශිෂ්ට මෙහෙවර ඉස්මතු කරන්න තමයි මගේ මේ උත්සාහය.

පුතාගේ මේ කර්තව්‍ය සාර්ථක කරගන්න උදවු උපකාර කරන විශේෂ පුද්ගලයොත් ඇති නේද?

ඔව්. ගොඩක් ඉන්නවා ඒ අතරින් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සිළුමිණ, නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ඉනෝකා සමරවික්‍රම මහත්මිය ඒ වගේම ක්ෂේත්‍රයේ පත්‍ර කලාවේදීන් මාධ්‍යවේදීන් තොරතුරු ලබාදෙනවා මාව දිරිමත් කරනවා. පසුගිය කාලයේ මේ සඳහා මට උදවු කළ අය සමහරු අද ජීවත්තුන් අතර මේ වෙනකොට නෑ. කුරුවිට බණ්ඩාර මහත්තයා තමයි මේ ග්‍රන්ථයේ සෝදුපත් බැලීමේ සිට ග්‍රන්ථය මුද්‍රණය කරන සරසවි ප්‍රකාශකයන් දක්වා හඳුන්වා දීම මගපෙන්වීම සිද්ධ කළේ.

පුතා අධ්‍යාපණය ලබන පාසලෙන් මේ පොත ලියන කාර්යට මොනවගේ සහයක් ද ලබාදෙන්නේ?

විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හරිම සතුටින් මගේ මේ උත්සාහයට වචනයෙන් පවා මාව දිරිමත් කරනවා.

දිල්නුක පුතා කුඩාම සන්දියේ පටන් පොතපතට ද වඩාත් ඇල්මක් දැක්වුයේ ?

ඔව්. මට සෙල්ලම් බඩු නෙමේ ඕනෙ කළේ. පොත්පත් කොහේගියත් මම අම්මගෙන් ඉල්ලුවේ පොතක් අරන් දෙන්න කියලා කුඩාම අවධියේ ඉඳල මම කවි පොත් කියෙව්වා. ගොඩක් කවි පොත් මට කට පාඩම්. මම පළවෙනි ශ්‍රේණියේ ඉදල පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනගත්තේ මහරගම ධර්මාශෝක ප්‍රාථමික විද්‍යාලයේ.

දිල්නුක දෙවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයේ ගෙදර පත්තර අලෙවි කළා කියල කියන්නේ ඇත්තද?

මම හාෆ්ෂීට් කොළ කීපයක් එකතු කරල පත්තරේ විධියට නවල එකේ කවි ලියනවා චිත්‍ර අදිනවා. පුංචි රචනා ලියනවා. එහෙම කරල පත්තරේ වගේ හදල මගේ අම්මා වැඩ ඇරිල එනකොට එයාට පෙන්වනවා මේක කීයක් වටිනවද කියලා. ඉතිං අම්මා කියනවා පුතේ රුපියල් පනහක් කියලා. මම ඒක මගේ ගෙවල් ළඟම ඉන්න මගේ මාමල දෙන්නට ගිහින් විකුණල රුපියල් සීයක් හොයාගන්න දවස් තිබුණා ඔය වගේ සුන්දර වැඩත් කරපු අවස්ථා තිබුණා පත්තරවලට ආශාව මගේ පුංචිම කාලේ ඉදල තිබුණ දෙයක්. මුල්ම කාලේ මිහිර විජය පත්තර කියවපු මම ටිකක් ලොකුවෙන කොට සිළුමිණ, බුදුසරණ පත්තර දෙකත් නොවැරදීම කියවන්න පටන් ගත්තා. මට ඒවා අම්මා ගෙනත් දුන්නා.

ඇත්ත ද මේ ගෙදර මුත්තණුවන් නමින් පුස්තකාලයකුත් තියනවා කියන්නේ?

ඔව්. මට මුත්තණුවන්ගේ නමින් ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ අනුස්මරණ පුස්තකාලය කියලා මගේ ගෙදර පුස්තකාලයක් පවත්වාගෙන යනවා. දැනට පොත් 850ක් එහි තියනවා. ගමේ අය ඇවිත් පොත් කියවනවා. පොත් අරගෙන ගිහින් කියවන අයත් ඉන්නවා. මගේ එකම ආශාව තියෙන්නේ පොත්වලට.

මුලින්ම පුතා මුත්තණුවන් දකින්නේ කොහොමද?

මගේ පාසලට ගෙනාව පින්තූර කොලයකින් ඒ පින්තූර කොලයේ තිබුණ ලේක්හවුස් ආයතනය. මම අම්මගෙන් ඇහුවා ලේක්හවුස් ආයතන කියන්නේ මොකක් ද කියල. ඒ පාර අම්මා කිව්වා අම්මාගේ සීයා වැඩ කළේ ඔතන ඔතනින් තමයි පත්තර මුද්‍රණය කරන්නේ කියලා. අම්මා කිව්වා ආච්චි අම්මගෙන් වැඩි විස්තර දැනගන්න අම්මාගේ සීය ගැන කියලා. අද මගේ ආච්චි අම්මා අසනීපයෙන් ඉන්නේ. මම ගොඩක් ආදරෙයි මගේ ආච්චි අම්මාට ආචිච් අම්මාගෙන් මුත්තණුවන් ගැන මම ගොඩක් දේ අහල දැනගත්තා. අනුල ද සිල්වා මහත්මිය ලිව්ව බේරේ ගෙදර පොත මට කියවන්න ලැබුණා. ඒ පොත කියවපු දවසේ තමයි මට සිතුවිල්ලක් ආවේ. මුත්තණුවන් ගේ ජීවිත කතාව ලියන්න ඕනේ කියල ඒ දවස තමයි 2021 අගෝස්තු 29 වැනිදා.

මුත්තණුවන් ගැන ලියන්න සිතුවිල්ලක් පහල වී වසර තුනකට පසු තමයි ඔබ ඒ සිතුවිල්ල මල්ඵල ගන්වා ගන්නේ?

මගේ මේ කෘතිය සැප්තැම්බර් මාසයේදී එළි දක්වන්නත් විශේෂ කාරණයක් තියනවා. එක් කාරණයක් ඒ මාසය සාහිත්‍ය මාසය වීම. අනෙක් කරුණ තමයි මගේ මුත්තණුවන් මියගිහින් ඒ මාසයට වසර විසිහයක් සපිරෙනවා. මගේ මුත්තණුවන් මියගියේ 1998 සැප්තැම්බර් තිස්වෙනි දා.

 

[email protected]

සේයාරූ – චින්තක කුමාරසිංහ

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT