නිවස විශේෂාංග අම්මාට රසිකයන් මෙච්චර ආදරේ කළ බව දැනුණේ ඇගේ මළ ගෙදරින්

අම්මාට රසිකයන් මෙච්චර ආදරේ කළ බව දැනුණේ ඇගේ මළ ගෙදරින්

මානෙල් චන්ද්‍රලතාගේ පුතු සංජීව ආරියරත්න කියයි

by Mahesh
August 8, 2024 12:30 am 0 comment

– අපේ අම්මා හරිම නිවිච්ච කෙනෙක්
– අපේ අම්මා ගැනත් මා තුළ තියෙන්නෙ ලොකු ගෞරවයක් වගේම ලොකු ආඩම්බරයක්
– කොච්චර ජනප්‍රිය වුණත් අම්මා උඬඟු වුණේ නැහැ. කා සමඟත් සුහදව හිටියා
– මං ප්‍රාර්ථනා කරන්නේ අපෙ අම්මා ට සාත්තු කරන්න මට නැවත ලැබේවා කියා

අපේ හෙළ සිනමා රිදී තිරය මත වඩාත් හාස්‍ය රංගනයෙන් සේම චරිතාංග රූපණවේදිනියක ලෙසින් නමක් තැබූ ඕ තොමෝ රසික දනන් වඩාත් හොඳීන් හඳුනා ගත්තේ අපේ අසහාය රංගනවේදී ෆ්‍රෙඩී සිල්වා නම් කලාකරුවාණන් සමඟ බොහෝ අවස්ථාවලදී එකට එක්ව රඟපෑ නිසාවෙන් යැයි හැඟේ…ඇයගේ හාස්‍ය රංගන විලාසය තවමත් රසික සිත්සතන්හි නිදන්ව ඇතැයිද දැනුදු හැඟේ…

සරසවිය වෙනුවෙන් ඇය පිළිබඳව යටගිය වගතුග සොයා ගිය ගමනේදී අපට මුණගැසුණු ඇයගේ එකම පුතු සංජීව ආරියරත්න මහතා අප සමඟ අව්‍යාජ කතාබහකට එක්වූයේය ..කිවයුත්ත සෘජුව පවසනා හෙතෙම තම ආදරණිය අම්මා වෙනුවෙන් කතාබහ කරන්නට සරසවිය පුවත්පතටද මුවපුරා ස්තූතිවන්ත වූයේය..

ආදරණිය සරසවිය පාඨක ඔබ හමුවට එන මේ රංගන ශිල්පිනිය නමින් මානෙල් චන්ද්‍රලතා මහත්මිය ය… නොඑසේනම් ගෙදරට…ගමට…නැදෑයිනට..දන්නා කියන අයට වඩාත් හුරුපුරුදු “මානික්කි” ය.

“අපෙ අම්මා ට කවුරුත් කතාකළේ “මානික්කි” කියලනෙ…”

එකම පුතු සංජීව කියන්නේය…

කොළඹ ..ගල්කිස්සේ පදිංචිව සිටි කිරිනේරිස් සහ ඩබ්ලිව්. මාගරට් යන දෙපළට දූ දරුවන් ම නව දෙනෙකි. අපේ ආදරණිය කතා නායිකාව මේ අය අතර අටවැන්නිය ලෙසින් 1959 ක්වූ මැයි මස 24වනදා මෙලොව එළිය දුටුවාය.. ඕ පොඩිසිංහ දේවගේ මානෙල් චන්ද්‍රලතා නම් වූවාය..ඇයගේ තාත්තා කිරිනේරිස් මහතා එවක සිරිලක ප්‍රවාහන බස්රථ සමාගමක් වූ ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරයේ බස් රියදුරකු විය.

අපේ කතා නායිකාවගේ ලොකු අයියා සිරිපාලය. ලෙස්ලි දෙවැන්නාය. තෙවැන්නා නෙල්සන්ය. සිව්වැන්නිය ඇයගේ අක්කා සෝමාවතීය… ශ්‍රියාලතා පස්වැන්නිය වන අතර කිංස්ලි ඇගේ අයියාය. ඊළඟට සිරිවර්ධන ය. පවුලේ අටවැන්නිය වන අපේ මානෙල් චන්ද්‍රලතාට පසුව ඇයගේ බාල සොහොයුරා ලක්ෂ්මන් ය…

“අපෙ අම්මා ගල්කිස්ස බෞද්ධ බාලිකාවෙ ඉගෙන ගත්තෙ…හරිම නිවිච්ච කෙනෙක් අපෙ අම්මා ..කවදාවත් ලොකු ඉල්ලීම් නම් ඇත්තේම නැතිලු…අපෙ ආච්චි අපෙ අම්මා ගැන එහෙම කියල තියෙනවා…කොහොමත් අපෙ අම්මාගෙ පවුලත් හරි බරපතළයිනෙ ..ඉතිං එහෙම විශේෂ කියල දෙයක් නම් ඉල්ලන්නෙම නැහැලු.. පවුලේ අමාරුකම් හෙමත් වැඩිලුනෙ..”

අපේ සංජීව කියයි.

පාසල් අවධියේදීද අවිහිංසක ගතිපැවතුමින් යුතු වූ අපේ සොඳුරු කතා නායිකාව වූ තම අම්මා ගැන සිදුවීමක්ද සංජීව කියන්නට වන්නේය..

” දවසක් අපෙ ආච්චි අම්මා ව කඩේට යවල තියෙනව බිත්තර දෙකක් ගේන්න.. ඉතින් ආච්චි උයන ගමන් බල බල ඉන්නවලු කඩේට ගිය මානික්කි තවම නැත්තෙ මොකද කියලා. හොයලා බලනකොට අපෙ අම්මා එක බිත්තරයක් අතේ තියාගෙන ගෙයි පිලිකන්නට වෙලා හඬ හඬ ඉන්නවලු. මොකද දන්නවද..ගේන්න කියාපු බිත්තර දෙකින් එකක් මඟදි බිඳීලලු. ඒ බයට එහෙම ඉඳල තියෙන්නෙ…ඇත්තමයි.. එයා අහිංසකයි…”

පාසල් ගමනින් පසුව ඕ හමීඩියා නම් ඇඟලුම් ආයතනයක රැකියාවට ගියාය..ඈ එහි සාම්පල් මසන්නීය..මැහුම් ගෙතුම් වැඩට ඈ දක්ෂය…ඒ හැකියාව ඇයට ලබාදුන්නේ ඇයගේ අක්කා ශ්‍රියාලතාය..මේ වනවිට ඇයගේ සෝමාවතී..ලෙස්ලි..කිංස්ලි නෙල්සන් හා සිරිපාල සොයුරු සොයුරියන්ද ජීවතුන් අතර නැති..

බුදු දහමට කුඩාවියේ සිටම ළැදි ඕ තොමෝ ගමේ විහාරස්ථානයේ දහම් පාසලේ දී එහි ළමුනට ඉගැන්නුවාය…

“මේ ළඟදි දවසකත් ලොකු හාමුදුරුවෝ මා එක්කළ කිව්ව අපෙ අම්මා දහම් පාසලට ඇවිත් ඉගැන්නුවා කියලා..”

එසේ කීවේද අපේ සංජීවය.

අපේ ආදරණිය කතා නායිකාව කලා කටයුතුවලට වඩාත් ආසක්ත වුවද පාසලේදීද කලා කටයුතු කිසිවකට දායක නොවූවාය…ගෙදර තිබෙන ගුවන් විදුලිය ඇයට ගෙදර තිබෙනා ඉහළම සම්පතකි. ඈ රේඩියෝව වෙතින් ඉවතට ගියේනම් ඒ අත්‍යාවශ්‍ය කාරණයකටම පමණි. ඈ තුන්තිස්පැයේ ඒ සමීපයේම හිඳ ගීත අසන්නීය..

“අපෙ අම්මා ට ගමේ මිනිස්සු හැමෝම වගෙ හරිම ආදරෙයි. මානික්කී කියල කියාගත් ගමන්…

“අපෙ අම්මා පාසලේ නැතිවුණාට දහම් පාසලේදී නම් ළමුන්ට සමඟ කලා කටයුතුවලට සම්බන්ධ වුණා…ළමයි එක්ක නාට්‍ය රංගනයත් කළා…..”

පුතු සංජීව තම අම්මා පිළිබඳව ආදරණිය හැඟීමකින් යුතුව කතා කරන්නේය ..ඒ බව ඔහු මුහුණින්ද මොනවට පළවෙයි….

මේ දවස්වල හාස්‍යය පිරි ගීතයට සේම සිනමාවේ හාස්‍ය සපිරි රංගනයටද අපේ ෆ්‍රෙඩී සිල්වා නම් අසහාය ගායකයා..රංගන ශිල්පියා ඉහළින්ම නමක් දිනා සිටියේය..ඔහුගේ අලුත්ම ගීතයක් ගුවන් විදුලියේ විකාශනය වන්නේය..එය අසා සිටි අපේ සොඳුරු කතා නායිකා මානෙල් චන්ද්‍රලතා අතෙකින් මුව වසාගෙනම කොක්හඬලා සිනාසෙන්නීය…ඇයගේ සිනාහඬ අසා ඇසෙන ගීතයටද සවන යොමා සැවොම සිනාසෙති.

“මොකද මන්දා එයා බල්ලෙක් ගැන සින්දු කියන්නෙ..ඔහුගේ ගීතවලට අපමණ ව ආසක්ත ව පසුවූ ඇය ඒ ටික කීවේ තමන්ටම මෙනි.

“හිටියා උදාර කොල්ලෙක්

ඌට හිටියා හොඳ සැර බල්ලෙක්

පළාතෙ එන් නෑ බිල්ලෙක්

උගෙ ඇඟේම නෑ එක මැක්කෙක්.. ”

කලා පුවත් දැනගන්නට ලොල් වූ ඈ සරසවිය සිනමා පුවත්පතක සඳහන් ව තිබූ අපේ ෆ්‍රෙඩී ගේ ලිපිනය දැක ඉහවහා ගිය සතුටකට පත්ව ඔහුට ලිපි ලියුවේය. දිගටම ලියුවේය..දිනෙක ඔහුගෙන් ඇයට ආවේ ඊට පිළිතුරු ලිපියකි. ඒ දැක ඕ සතුටින් ඉහවහා ගියාය. දැන් දැන් ඔහු හා ඇය ලිපි මඟින් බොහෝ දුර ගොසිනි.

“අපෙ අම්මා අවුරුදු දහඅටේදී ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණානෙ…තාත්තා මැණික් ව්‍යාපාරයට සම්බන්ධ රස්සාවක් කළේ..ඒ විවාහයට පස්සෙ අපෙ අම්මා ට මාව හම්බ වුණා. අපෙ අම්මාගෙ පවුල් ජීවිතය ඉරිතලා යන්න තරම් ප්‍රශ්න කරදර ඇතිවෙලත් තියෙනවා. අන්තිමේදී අම්මා තාත්තා දෙපැත්තට වෙන තරමට කාරණා දිග්ගැස්සිලා තියෙනවා..

පුතු සංජිව කියන්නේය.

මේ වනවිට දුරකතන පහසුකම් නැති අවධියේදී ලිපි හුවමාරුවෙන් වඩාත් සමීපව පසුවූ අපේ ෆ්‍රෙඩී සිල්වා ඇය දකින්නට ඇයගේ නිවහනට පැමිණියේය..

ඇයටද චිත්‍රපටවල රඟපෑමට ඔහු අවස්ථාව ලබා දුන්නේය. බොහෝ චිත්‍රපටවල ඔහු සමඟම ඇය විකට චරිතයෙහි රඟන්නීය.. කෙටි කලකින් මානෙල් චන්ද්‍රලතා නාමය රසික දනන් සිත්හි ළැඟුම් ගත්තේ ඇයට ඉමහත් ප්‍රසිද්ධයද ළඟා කරවමිනි.

එපමණක් ද නොව අපේ ෆ්‍රෙඩී සිල්වා තැනූ දොන්ත බබක්කා..මන්ත්‍රී ආදී තවත් වේදිකා නාට්‍ය වලද ඇය චරිත නිරූපණය කළාය. මේ නාට්‍යය සහ ෆ්‍රෙඩී සමඟින් ඕ රටපුරා ගියාය..

“අපෙ අම්මා තාත්වික චරිත වගේම විවිධ චරිත කළා. අම්මාට දිනෙන් දින ජනප්‍රියතාවයත් වැඩිවුණා..”

අපේ ආදරණිය කතා නායිකාව නොම්මර 17..නැව ගිලුණත් බෑන් චූන්..ඡායා මායා..ආදී ජනප්‍රිය තවත් චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කළාය…

“අපෙ අම්මා හිටිය තැනින් ඉහළටම මතුවී ආවා. ඒ කොච්චර ජනප්‍රිය වුණත් අම්මා උඬඟුවුණෙත් නැහැ. කා සමඟත් සුහදව හිටියා.. විශාල රසික පිරිසක් අම්මා වටා එකතුව සිටියා.. සමහර චිත්‍රපටවලට ෆ්‍රෙඩී අන්කල් නැතිව රඟපෑවා…අවුරුදු උත්සව..වෙනත් උත්සව වලට අම්මා ට ආරාධනා ලැබුණා…නිහතමානීව හිටියේ.. හැමෝම එක්ක සිනාවෙන් හිටියේ. .”

අපේ ආදරණිය සංජීව තම අම්මා ගැන කතා කරන්නේ..වරෙක සෝකී ස්වරයකිනි. ඔහු කාටත් ආදරේමය…

“අපෙ අම්මා සිනමාවට එකතු වනවිට මට වයස දහයක් විතර ඇති. අම්මා ට වයස විසි හතක් විතර ඇති.. අපෙ ආච්චි අම්මා අපෙ අම්මා ට ගල්කිස්සෙ මහගෙදරත් ලියාදුන්නා..එහෙම මහගෙදර අම්මා ට ලියාදෙන්න ඇත්තෙ අම්මාගෙ යහපත් ගුණාංග තිබුණු නිසාත් වෙන්නැති. මට එහෙමයි හිතෙන්නෙ..”

මේ වනවිට ඕ චිත්‍රපට පනහකට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණයෙහි ඉහළම නමක් දිනා සිටින්නීය..

මෙලෙසින් කාලය ගතවිණි. අපේ අසහාය කලාකරු ෆ්‍රෙඩී සිල්වා රෝගාතුර ව සිට මියගියේය..

“ෆ්‍රෙඩී අන්කල් නැතිවුණා..ඒ එක්කම අපෙ අම්මා ට චිත්‍රපටත් නැතිව ගියානෙ..”

ඉනික්බිති අපේ ආදරණිය සංජීව එතෙර බලා රැකියාවකට ගියේය. ඒ සයිප්‍රස් රටටය..

” පුතා මාවත් ඔයා ළඟට ගන්න…”

තමන් අසීමිත ව ප්‍රේමනීය අම්මා කළ ඒ ඉල්ලීම ඉවතට නොදමා පුතු සංජීව අම්මාවද එරටට කැඳවා ගත්තේය. කලක් තම පුතුගේ නවාතැනේම එකට උයාපිහාගෙන කල්ගෙවූ ඕ පසුව එහි ගෘහ සේවිකාවක ලෙසින් සේවයට බැඳුණාය. නිවසේ ඇයගේ “මැඩම්” ඇය පිළිබඳව පැහැදුණු තරම කිවහොත් ඇය තම සේවිකාවක නොව තම සහෝදරියකසේ සමීපව පසුවූවාය..

“අපෙ අම්මා ඉන්න විදිහට ඒ ගෙදර මැඩම් පැහැදී උන්නා”

එරට මව සහ පුතු දෙදෙනා වසර නවයක් පමණ රැඳී සිටියහ..

තවත් කලකින් දෙදෙනාම මවුරටට පැමිණියහ…දිනක් රූකඩ සංදර්ශනයක් නැරඹීමට තම මව සමඟින් ගිය පුතුට තම මවගේ උදරය අස්වාභාවික අයුරින් ඉදිරියට නෙරා තිබීම ගැන පුදුමයටත් බියටත් පත්වූයේය.. හෙතෙම වහා පානදුරේ හිතවත් වෛද්‍යවරයකු වෙතට මව කැඳවා ගියේය…බෙහෙත් පාවිච්චියේදී සිරුර කෘෂව ගියේය.

“අම්මාව කාසල් රෝහලට එක්ක යන්න ඇහුවාම බැහැ කියල අම්මා කට්ටි පැන්නා. මොකක් නමුත් ලොකු අසනීපයකින් ඉන්න බව මට තේරුණා. පස්සෙ මං අම්මා ව බලෙන් වගේ එක්කගෙන ගියා..එතැනදී පරීක්ෂණ කෙරුණා. පරික්ෂණ වාර්තා මහරගම අපේක්ෂා රෝහලටත් යවලා..අපෙ අම්මා ට පිළිකාවක්…ගර්භාෂය ඉවත් කරන්න සිද්ධ වුණා..එතකොට මගෙ පළමුවන පුතාත් ඉන්නවා. අම්මා නිතර නිතර අසනීප වෙනවා..”

අපේ සංජීව කතා කරන්නේ හැඬුම් ස්වරයෙනි…

” අපෙ අම්මා ට පිළිකාව හැදෙනවිට මගෙ තාත්තා ඒ එක්කම අංශබාග රෝගියෙක් විදිහට එක්තැන් වුණා. අදටත් මගෙ තාත්තා ඉන්නෙ මං ළඟ. ඉතින් ..අමාරුව තියෙද්දි මම අම්මා ව අරන් පිටරටත් ගියා.. ලංකාවට ආවාට පස්සෙ තමයි දැනගත්තෙ අම්මා ට පිලිකාවක් කියලා. ගර්භාෂය ඉවත් කරල බෙහෙත් කළාට තත්ත්වය නරක අතටම හැරුණානෙ”

තවත් ටික කලක් ගතවිය ..ගැලවී ඉවතට ගිය ඇයගේ කේශ කල්‍යාණය නැවතත් හොඳීන් වැඩී ආයේය..යම් නීරෝගී බවක්ද ඈ වෙතින් පෙන්නුම් කළද යළි ඈ රෝගාතුර විය.

බුදු දහමත් කිතු දහමත් එකට ඇදහූ ඕ වරෙක බුදුන් යැද්දාය. වරෙක දෙවියන් යැද්දාය.. විවිධ ප්‍රතිකාර මධ්‍යයේ ඈ නීරෝගී බවක් පළකළාය..එන්නත් විටින් විට ලබාදිය යුතු බැවින් තවත් ඉතිරිව තිබුනේ අවසන් එන්නත දීමට පමණි.

“අනේ..ඒ ඉන්ජෙක්ෂන් එක දීගන්න තිබුණා නම් කියා හිතෙනවා. අපෙ අම්මා ට සාත්තු සප්පායම් කරමින් හරි ඉන්න අදටත් මගෙ අම්මා උන්නානම් කියල දහස්වරක් මට හිතෙනවා. අපෙ අම්මා හරිම හොඳ කෙනෙක්…අපෙ අම්මා ට සාත්තු කරන්න මට නැවත ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරන්නේ…”

අපේ ආදරණිය කතා නායිකා මානෙල් චන්ද්‍රලතා වටා පසුවූ මිතුරු මිතුරියන් දැන් අහලකවත් නැත. අපේ දිල්හානි අශෝකමාලා තවමත් සමීපවමය. එහෙත් ඇය හොඳටම රෝගාතුරවය.

රංගනයට පිවිසි කල ගායිකාවක වීමේ ආසාවකින් පසුවූ ඕ ගායනයට පුරුදු පුහුණු වන්නට උනන්දු වූවාය..

“අපෙ අම්මා ලස්සනට ගයනවා කියල මට හිතුණා”

ප්‍රිය සාදවලදී ඈ ගැයුවාය.

“පිටරට ගියත් අපෙ අම්මා ව මිනිස්සු හඳුනා ගත්තා. රට සිටියදිත් ලාංකිකයන් සංවිධානය කළ උත්සව වලට අම්මා ට ආරාධනා ලැබුණා. අම්මා සතුව තිබූ කලාව අම්මා එය හරිහැටියට සාර්ථක ව ඉටු කළා කියා මම කියන්නේ. .අම්මා සම්මානිත වුණා…හැබැයි ෆ්‍රෙඩී අන්කල් නැතිවුණාම අම්මා ට කලාවට අවස්ථාව නැතිවී ගියා..ඇසුරු කළ බොහෝ අයත් දුරස්ව ගියා.

අපේ සංජීවද චිත්‍රපටවල සුළු චරිත රඟපාමින් අගයට බඳුන් වූයේය.ඒ තම මව සමග රූපගතකිරීම් වලට යාමෙනි.

“ඒත් මං කලාව පස්සෙ හඹාගෙන ගියේම නැහැ”

සංජීව කියයි.

“අපෙ අම්මා මට කියූ හැමදේම මම කළා..අඩුපාඩු නැතිවම මම අම්මා ට හැමදේම කළා…ඒ සතුට මම ලබනවා..”

තම දෙපා හිරිවැටෙන බව කී ඇය තම වෑන්රිය පැදවීමෙන් ඉවත් වූවාය..කෑමකට බීමකට දැන් ඇයට හිතක් නැති. ඇය යළි රෝහල් වාට්ටුවේ ගිලන් යහනේය. තමනට පණවන් සංජීව එකම පුතුගේ සත්වියැති සුරතල් බිනුග විනුජය පුතුටද දියණිය පස්වියැති උතාරා මන්දිනීටද අවුරුද්දකුත් මාස 4ක් වයසැති තම සංජීව පුතුගේ බාලම දියණිය දෙව්නි චෙයානාටද මිත්තනිය වූ ඇය අතිශයින් ආදරය කළාය..තම පුතුගේ බිරිඳ වසන්තී කුමාරි ද තම හිමි සංජිව සමඟ එක්ව ඇය වෙනුවෙන් වෙහෙසුණාය…මේ සියල්ල ඉදිරියේ ඇය එන්න එන්නම අසාධ්‍ය වන්නීය.

පුතු වාට්ටුවට රැගෙන ගිය කුරක්කන් කැඳ උගුරු කිහිපයක් ඕ පානය කළාය. ඈ කජු කෑමටද දැක්වූයේ මහත් ආසාවෙකි.

පුරා වසර හතක් තිස්සේ පිළිකාවකට ගොදුරුව පසුවන අපේ සොඳුරු කතා නායිකාව තොල් මතුරමින් “බබා..බබා..”යි හුදෙකලාව සිට අමතන්නීය. ඒ අන් කිසිවකුට හෝ නොව තම ආදරණිය එකම පුතු සංජීවටය.

“ඔව්..අම්මා මට බබා කියලත් කතා කරනවා..”

සංජිව බිඳුණු ස්වරයෙන් කියන්නේය.

මේ පාන්දර වෙලාව 3.30 ට පමණ ය…

අපේ ආදරණිය සංජීව තම බිරිඳ වසන්තීද සමඟ එක්ව බාල දියණිය ද වඩාගත් ගමනින් මහපාන්දර යාමයේ ගිලන් යහනේ නිහඬව ම පසුවන අම්මා ළඟට පැමිණ නතරව බලා සිටියේය…

අම්මා යැයි කීපවරක් ම කතාකළද ඇයගෙන් පිළිතුරක් නොලැබිණි …ඔහු දෑස කඳුළට බරවිණි.

“ලෙඩා පාන්දර 3.30 ට විතර නැතිවෙලා තියෙන්නෙ..”

කවුදෝ තමන්ට කියනු ඔහුට ඇසිණි. පුතු සංජීව එකතැනම ගල්ගැසී ගියාක් මෙන් තම ආදරණිය අම්මා දෙස බිමබලාගත්වනම සිටියේය..

හාස්‍ය රසයෙන් සේම විවිධ චරිත නිරූපණයෙන් රටක් සනසමින් සිනමා තිරය…වේදිකාව ඔපලූ අපේ ආදරණිය රූපණවේදිනිය මානෙල් චන්ද්‍රලතා මහත්මිය 2024ක්වූ ජූලි මස 16 වන දින එලෙසින් කිසිවකුටවත් නොකියා නොදන්වා රහසේම නික්ම ගොස් තිබුණා ය..

සංජීවගේ දෑස රත්පැහැගැන්වී තියේ..

“අපෙ අම්මා ගෙ අන්තිම අවස්ථාවට ඇවිත් ගෞරව බුහුමන් දක්වමින් හඬා වැලපුණු මහපිරිස දැක්කාම අපෙ අම්මා ට මේතරම් ආදරය කළ පිරිසක් හිටියාද කියල මම අදත් පුදුම වෙනවා….”

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT