නිවස විශේෂාංග අම්මට නැටුම් උගන්වන්න ඉන්දියාවට යවන්න යෝජනා කළේ රුක්මණි දේවි

අම්මට නැටුම් උගන්වන්න ඉන්දියාවට යවන්න යෝජනා කළේ රුක්මණි දේවි

පද්මිණී දහනායකගේ දියණිය රංගනා නවෝදිනී ආරියදාස කියයි

by Thanushika
September 19, 2024 9:38 am 0 comment

” අපෙ අම්මා කවදාවත් එතුමියගේ කලා ජීවිතයයි ගෙදර ජීවිතයයි පටලවා ගත්තේ නැහැ…අම්මයි තාත්තයි කාටත් ආදර්ශවත් යුග ජීවිතයක් ගතකළා වගේම සිත සතුට පිරුණු ජීවිතයක් ගතකළා..”

ආදරණිය සරසවිය පාඨක ඔබට මෙවර හමුවන අපේ සොඳුරු කතා නායිකාව හඳුන්වා දීමේදී වඩාත් අටුවාටීකා අවශ්‍ය නැති බවම වරෙක සිතේ…එතරම් ඕ තොමෝ හැම සිතකටම ආශක්ත ය.

ලාංකේය කලා රසික දනන් හට භරත නාට්‍යම් සම්ප්‍රදාය මුල්වරට හඳුන්වා දුන් ප්‍රථම සිංහල කාන්තාව වන්නේද ඇයමය… හෙළ සිනමාවේ සිනමා සිත්තම් රැසක එවක ජනකාන්ත රූපණවේදිණියන්ගේ නර්තන රංගනයට අධ්‍යක්ෂකවරිය වූයේද ඇයමය.. එපමණක් ද නොව සිය කුසලතා මහිමය නිසාවෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නර්තන උපදේශිකාව ලෙසින් ගුරු පත්වීමකින් පිදුම් ලබා පාසල් රැසක පුරා වසර ගණනාවක් භරත…කථක්..මණිපූරි. සම්ප්‍රදායයන් ඉගැන්වීම් තුළින් කීර්තිමත් නාමයක් හිමිකරගත්තේ ද ඇයමය.

ඇය පිළිබඳව සරසවිය වෙනුවෙන් කතාබහ කරන්නට මට මුණගැසුණු ඇයගේ දියණියක වන රංගනා නවෝදිනී ආරියදාස මහත්මිය දැන් මා සමීපයේ ය.. සිය මවුතුමිය මෙන්ම රුවැත්තියක වන ඕ තොමෝ මුව පිරුණු සිනාවෙනි..මේ අපේ ආදරණිය රංගනා නවෝදිනීද තම මව ගත් ගමන් මඟම යමින් වසර ගණනාවක් භරත නාට්‍යම් ශිල්පිනියක ලෙසින් අනේක හරසරට බඳුන්ව මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසින් කටයුතු කරන්නීය..

” සරසවිය පුවත්පතට මම හදවතින් ම ස්තූතිවන්න වෙනවා…”

අපේ ආදරණිය රංගනා කටහඬ අවදි කරන්නීය.

අපේ සොඳුරු කතා නායිකාවගේ උප්පැන්නයේ සඳහන් නාමය වන්නේ පද්මිණී මානෙල් දහනායක ය.. ගාල්ලේ සැම්සන් දහනායක සහ සරලීනා කරුණාරත්න වීරමන් දම්පතීනට හිමි දූ දරුවන් පස් දෙනකු අතර ඇය එම පවුලේ සිව්වැන්නිය ලෙසින් උපන්නේ 1941ක්වූ මාර්තු මස 08 වනදා ලෝක කාන්තා දිනය දාමය..

ඇයගේ ලොකු අයියා ප්‍රකට සිනමා නළු මොරිස් දහනායකයන්ය.. දෙවැන්නී රංජනී සල්ගාදුය. ප්‍රකට වෙළඳ ව්‍යාපාරිකයකු වූ රංජිත් දහනායකයන් පවුලේ තුන්වැන්නාය. අපේ ආදරණිය පද්මිණී සිව්වැන්නිය වූ අතර පස්වැන්නා හෙවත් පවුලේ බාලයා වූයේ අජිත් ශාන්ත දහනායකයන්ය.

කොළඹ ..මියුසියස් බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලද පද්මිණී මානෙල් දහනායක නම් අපේ ආදරණිය කතා නායිකාව පුංචි සන්දියේ පටන් නර්ථනයට තිබුණේ ඉහවහා ගිය කැමැත්තකි.. ඇය නර්තනයෙහි යෙදෙන විට කාගේත් මුවින් කියැවුණේ බෝනික්කි නටනවා යැයි මුවපිරුණු සතුටු වදන්ය.

මම අපේ ආදරණිය රංගනා දෙස බලමි.

“ඔව්..අපෙ අම්මා පුංචි කාලෙ ආච්චි සීයා එක්කල කොහෙ හරි ගමනක් ගියා කියමු..එතැන සංගීතයක් ඇසුණාය හිතමු. කිසිම පැකිළීමක් නැතිව අපෙ අම්මා නටනවාලු..පොඩි කාලෙ ඉඳන් ම අපෙ අම්මා නැටුමට හරිම ආසයි…”

අපේ රංගනා කියන්නීය..

එක් දිනෙක මවුපිය දෙපළ ඇයද කැටුව මංගල උත්සවයකට ගියහ. අපේ සංගීත ක්ෂෙත්‍රයේ ප්‍රකට පී.ඇල්.ඒ සෝමපාල මහතා සහ චිත්‍රා සෝමපාල මහත්මියගේ මංගල සාදය එයය. එහිදී පැමිණ සිටි කාගේත් ආදරය හිමිවූයේ අපූරුවට නර්තනයක යෙදුණු මේ අපේ පුංචි කතා නායිකාවටය…

“මේ දුව බෝනික්කි වගේ හරිම ලස්සනට නටනවානේ ..” එහි පැමිණ සිටි එක් කතකගේ මුවින් කියැවුණු එම කතාව ඇයගේ අම්මාගේ හදවතෙහි තදින් ඇලී ගියා වැන්න…

ඒ වනවිට මේ පුංචි දියණිය එවක ප්‍රකට නැටුම් ගුරු යුවළක් වූ චන්ද්‍රසේන ..වජිරා යටතේ උඩරට නර්ථනයද හදාරමින් සිටියාය…

“අපෙ අම්මාගෙ නර්තන හැකියාව දැකපු අය එහෙම වර්ණනා කළාම ශාන්ති නිකේතනයට අම්මාව ඇතුළත් කරන්න අපෙ ආච්චි ඒ වෙලාවෙම තීරණයක් අරන් තියෙනවා..”

නර්තනය පිළිබඳ ප්‍රවීණ ශිල්පියකු වූ රාම් ගෝපාල් මහතා ඉන්දියාවේ සිට අප රටට පැමිණියේ මේ වකවානුවේදීමය..

මේ ඉන්දියානු නැටුම් ශිල්පියාගේ නැටුම් සංදර්ශනය නරඹන්නට මවුපියන් අපේ පුංචි පද්මිණී ද කැටුව ගියහ…එහිදී රාම් ගෝපාල්ගේ ඉන්දීය නර්තන රංගනය දුටු මවුපියන් ඊට මහත් ඇල්මක් දැක්වීය.

කෙසේ හෝ වේවා පසුව තම පද්මිණී දියණිය ශාන්ති නිකේතනයට ඇතුළත් කරවන්නට තිබූ අදහස අතැර දැමූ ඇයගේ අම්මා බ්‍රාහ්මණ කුල ඉන්දීය කාන්තාවක වන ශ්‍රීමතී රුක්මණී දේවී අරුන් ඩේල් නම් නිර්මාතෘවරියගේ ඉන්දියාවේ මදුරාසියේ අඩයාර් ප්‍රදේශයේ පිහිටි කලා ක්ෂේත්‍ර නර්තන පාසලට ඇතුළත් කරවන්නට තම සැමියා සමඟ උනන්දුවෙන් කතාබස් කළාය..

අපේ ආදරණිය රංගනා යමක් කියන්නට සැරසෙයි.

” අපේ එඩී ජයමාන්න රුක්මණී දේවී දෙපළ අපෙ ආච්චි සීයා එක්කල බොහොම හිතවත්නෙ.. ඒ දෙන්නාට දරුවොත් නැහැනෙ..ඉතින් අමල්..අපෙ අම්මා ට ඒ දෙන්නා කොච්චර ආදරය කළාද කිව්වොත් සෑම සිකුරාදාම ඇවිත් අපෙ අම්මාව එයාලාගෙ ගෙදරට එක්ක ගිහින් ආපසු ගෙදරට ඇවිත් අපෙ ආච්චිට අම්මා ව බාරදෙන්නේ ඉරිදා හවසලු.. ඒ විතරක් නෙවි. රුක්මණී දේවි මහත්මිය අපෙ ආච්චිට යෝජනා කරල තියෙනව මේ පද්මිණී දුවට නැටුම් උගන්වන්න අපි ඉන්දියාවට යවමු කියලත්..ඉතින් එහෙම තමයි අපෙ අම්මාට ඉන්දියාවට ගිහින් කලා ක්ෂේත්‍ර නර්තන පාසලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුනෙ..”

අපේ රංගනා සිනාසෙන්නීය.

සැම්සන් මහතාට තම දියණිය තම ඇස්දෙක හා සමානය. ඇය ඉන්දියාවට කැඳවා ගියේද තාත්තාමය. වයසින් අවුරුදු එකොළහක් පමණ වන නොමේරූ තම දියණිය ඉන්දියාවට යවන්නට තරම් එදා තම ආච්චි ගත් දැඩි තීරණය ගැන තවමත් පුදුම වන්නේ රංගනාය..

“අපේ සීයා අපෙ අම්මාවත් එක්කගෙන ඉන්දියාවට ගිය ගමනට හැම අතින්ම මුල්වුනේ සීයාගෙ හිතවත් දොස්තර බාලේන්ද්‍රා කියන මහත්මයා තමයි.”

එදවස 1954 ක්වූ ජුලි මස 12 වනදාය.

ප්‍රකට සිනමාපටයක් වූ “සැඩසුළං ” චිත්‍රපටයේ රඟපාන්නට නවක නැටුම් ශිල්පිනියන් අවශ්‍ය බවට දැනගත් පුවතකින් සතුටට පත්ව ගිය සැම්සන් මහතා තම දියණිය පද්මිණී නමින් ඉල්ලුම් පතක් යැව්වේය..අනතුරුව එහි සම්මුඛ පරීක්ෂණයටද දියණිය කැඳවා ගියේය…ඒ වනවිට පාසල් ශිෂ්‍යාවක වූ නිසාම දියණියට පාසලින් මේවාට තහංචිද මතු වීමෙන් එහැම හොර රහසේම කරන්නට මවුපියන් වගබලා ගත්හ..

“ජීවන ගමන මේ සංසාරේ ” ප්‍රකට යුග ගීතය සැඩසුළං සිනමා සිත්තමේය. එහි ප්‍රධාන නිළිය ෆ්ලොරිඩා ජයලත් මහත්මිය රඟපෑ අතර ඇයගේ ළමා අවධිය නිරූපණය කළේ අපේ සොඳුරු කතා නායිකාව වන පද්මිණී ය. එහි ප්‍රධාන චරිතයට ජීවය දුන් ප්‍රේම් ජයන්ත් මහතාගේ ළමා කාලය රඟපෑවේ අපේ කීර්තිමත් කරුණාරත්න අබේසේකරයන්ගේ සොහොයුරු දයා අබේසේකරයන්ය. එය තිරගත වූයේ 1955 වසරේදී ය.

මා සමීපයේ සුවපහසු අසුනකට බරදී මා හා ප්‍රිය සංලාපයක පසුවන ආදරණිය රංගනා විමෝදිනී මහත්මිය බිමබලාගත්වනම බර කල්පනාවක යැයි මට පෙනෙයි. ඕ තම ප්‍රේමනීය මවුතුමිය පිළිබඳ මතක සැමරුම් අතර පසුවෙතැයි මට හැඟෙයි.

යමක් මතක්වූවාක් මෙන් රංගනා මදෙස බලන්නීය..

“අපෙ අම්මා ඉන්දියාවේ අවුරුදු පහක ශාස්ත්‍රීය නර්තන ශිල්පය හදාරල ලංකාවට ආවෙ 1959 දි…

දන්නවද අමල්…අපෙ අම්මා භරත නාට්‍යම් කියන නර්තන සම්ප්‍රදායත් හදාරල අප රටට එය මුලින්ම හඳුන්වා දුන් පළමු සිංහල කාන්තාව තමයි අපෙ අම්මා . ”

තම මවුතුමිය පිළිබඳ සිත උපන් අභිමානනීය හැඟීම් ඈ මුහුණින් පළවෙයි.

මවුරටට පැමිණි ඕ තොමෝ ඒක පුද්ගල කලා ප්‍රසංගයක් පැවැත්වූවාය. එය “ච්චදජඥපඵ ර්‍ණට ධ්දඤඪච” නමින් විය. ඒ 1959 ක්වූ නොවැම්බර් මස 25 වනදාය.. ශ්‍රී ලංකා ආබාධිත සංගමයට ආධාර පිණිස එය පැවතියේ කොළඹ රාජකීය විද්‍යාලයීය රඟහලේදීය. එම ප්‍රසංගයේදී අපේ ආදරණිය කතා නායිකා පද්මිණී මානෙල් දහනායක ශිල්පිනිය කථක්…මණිපූරි..භරත නාට්‍යම්..සම්ප්‍රදායයන් ඉදිරිපත් කිරීමේදී සපැමිණි රසික දනන් අතර ප්‍රධාන ආරාධිතයා ලෙසින් ඉදිරි පෙළෙහි පසුවූ සමීප ඥාතිවර එවක අගමැති විජයානන්ද දහනායක මහතාද මහත් සතුටට පත්වූයේය..

එම කලා ප්‍රසංගය එළිදැක්වීමත් සමඟින් ඇයට නර්තන ප්‍රසංග සඳහා ඇරයුම් ගලා එන්නට වූවාය ..

අල්ලපු ගෙදර..ධීවරයෝ..යටගිය දවස..අමතක වුණාද..සුභ සරණ සැප සිතේ..කෝසියන් සහෝදරයෝ..දෙමෝදර පාලම..ආදී සිනමා සිත්තම් රැසක නර්ථනය රඟන්නට අවස්ථාව ලැබුවාය. නර්තනය පිළිබඳ අධ්‍යක්ෂිකාවක වෙමින් ඕ ජීවරාණි..සන්ධ්‍යා…විජිත මල්ලිකා…ක්ලැරිස් ද සිල්වා..සබීතා පෙරේරා ආදී තවත් සිනමා නිලියනට නර්තන රංගනය කියා දෙන්නිය..මේ වනවිට පද්මිණී මානෙල් දහනායක ඇගේ කීර්තිමත් නාමයද සිවිදොර පැතිරී තිබිණි.

“අපෙ අම්මා ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ නිර්දේශය මත නර්තන උපදේශිකාවක හැටියට ගුරු පත්වීමක් ලැබුණා. ඒ ගෞරවය අම්මා ට ලැබුණෙ අම්මා සතු කුසලතාව නිසයි…”

පද්මිණී දියණිය රංගනා විමෝදිනී කියන්නීය…

ගුරු පත්වීමකින් පිදුම් ලද ඇය මුල්වරට ගම්පොළ සහිරා විදුහලේද…පසුව මරදානේ ගෝතමී බාලිකා විද්‍යාලය..සීවලී මහා විද්‍යාලය…අනුරුද්ධ මහා විද්‍යාලයේද ඉටුකළ වසර ගණනාවක ගුරු සේවය ඈ නිමාකළේ මාලිගාකන්ද මහා විද්‍යාලයෙනි.

කොළඹ ..මරදානේ වෙසෙන ඈ නිවස ඉදිරිපිට ඇත්තේ බස් නැවතුමකි. යස පෙනුමැති තරුණයකු රැකියාවට යන්නට මෙතැනට එන්නේය. ඔහු දෑස් මේ නිවසටය..පත්තරයක් ගන්නට සිතා තවත් වරෙක ඔහු නිවස ඉදිරිපිටින් එහා මෙහා යන්නේය…ඒද ඔහු දෑස ගේ දෙසටය..දිනෙක දන්නා කියන කාන්තාවක් ගෙදරටම පැමිණ මවුපිය දෙදෙන හමුවී කාරණය කීවේලු.

අපේ ආදරණිය කතා නායිකාව කෙරෙහි බැඳුණු සිත් ඇති එම තරුණයා එවූ පණිවිඩකාරියකි ඒ..

“ඒ දරුවා පද්මිණී දුව ගැන හිතාගෙන ඉන්නෙ.. යස ඉලන්දාරියා..විධායක ශ්‍රේණියේ ඉහළ රස්සාවක..මොකද කියන්නේ. .”

පැමිණි කත එලෙසින් විමසුවාය…ඇයගේ වැඩිහිටියන් එම තරුණයා ගැන සෙවුම් බැලුම් අවසන මාතර ..අත්තුඩාවේ ගම් පියස වූ…කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරියකුද වූ ලේනදූව ලොකුගේ ආරියදාසයන් ගාලිල..අම්බලන්වත්තේ.. අපේ ආදරණිය පද්මිණී සමඟ අතිනත ගත්තේ 1969 ක්වූ ඔක්තෝබර් මස 23 වනදාය.

එම විවාහයෙන් ඔවුනට දුවක හා පුතකු හිමිවිණි.

තවමත් මා සමඟ ආදරණිය පිළිසඳරක පසුවන රංගනා විමෝදිනී ආරියදාස එකම දියණියය. පුතු චන්ද්‍රීන් ජයවන්ත් ආරියදාසය. මියුසියස් විද්‍යාලයේ රංගනා ඉගෙනුම ලැබූ අතර පුත් චන්ද්‍රීන් උගත්තේ ආනන්ද විදුහලෙනි. දියණිය ද සිය මව මෙන්ම කලා ක්ෂේත්‍රයෙන් නර්තන පාසලට සම්බන්ධ වී භරත නාට්‍යම් සම්ප්‍රදාය උගත්තාය.

“අපෙ තාත්තා අපෙ අම්මා ගෙ හැම කටයුත්තකදී ම දියහැකි හැම සහයක්ම නොපිරිහෙළා ලබා දුන්නා.ඒ දෙන්නාට දෙන්නා පුදුම බැඳීමකින් ජීවත් වුණේ…ඇත්තමයි…ඒ දෙන්නා නොහොඳ මෝක්කාඩු..අමනාප වෙච්ච එක දවසක්වත් අපි දැකලාම නැහැ…අම්මා ගෙදරදි හොඳ බිරිඳක්..දක්ෂ ගෘහණියක්. කලා ලොවේදි හොඳ දක්ෂ ගුරුවරියක්…කොටින්ම අමල්..අපේ මවුපියන්ගෙන් දරුවන් වන අපට කවදාවත් රින සිතිවිලි අඳුරු දේවල් අහන්න දකින්න ලැබිල නැහැ..ඒ දෙන්නා ජීවිතය වින්දා..”

ඒ ටික කීවේද අපේ රංගනාය.

“අපෙ අම්මා තරහ හඳුනන්නෙ නැහැ ..මං ටිකක් දඟයි පොඩි කාලෙදි. ඒත්..අපට දඩුවම් දෙන්නවත් අපෙ අම්මා දන්නෙ නැහැ…හරීම ඉවසිලිවන්තයි…තාත්තා නම් ටිකක් විතර සැරයි..තාත්තා තමයි මගෙ හැම දෙයකදිම ළඟින්ම හිටියෙ..අපට එයාලා බරක් දීලත් නැහැ…අනේ අපෙ අම්මා කොච්චර හොඳ කෙනෙක්ද..”

දෑස නැගි කඳුළක් මට රහසේ පිටඅත්ලෙන් පිසදාගත් ඈ බිමබලාගත්වනම නිහඬව ම පසුවන්නීය..

තවත් ටික වේලාවක් එලෙසම හුන් රංගනා යළි කටහඬ අවදි කරන්නීය

“මගෙ මල්ලිත් අහිංසකයි. අපි දෙන්නා වැඩුනෙ හරිම ආදරණිය පවුලක..අවුරුදු 54ක හොඳ පවුල් ජිවිතයක් ඒ දෙන්නා ගතකළේ..”

රංගනාගේ සොහොයුරු සූපවේදියකු ලෙසින් වසර 28ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය…අපේ රංගනා විවාහ වූයේ ශාලිත උදය කුමාර මහතා සමඟිනි. රංගනා හා ශාලිත දෙදෙනාට උපන් දියණිය තොරාෂි තිලෝත්තමාය..ඈ දැනට මියුසියස් විදුහලේ උගෙන උපාධිධාරිණියකව ඕස්ට්‍රේලියාවේ සිටින්නීය.

ඉන්දියාවේ වසර පහකට නොවැඩි කලක් ඉගෙනුම නිමාකර පැමිණි අපේ ආදරණිය රංගනා බාහිර නර්තන උපදේශිකාවක ලෙසින් කටයුතු කරන්නීය.

ඇයගේ මුල්ම පත්වීම මහරගම ජාතික තරුණ සේවා සභාවටය. අනතුරුව මහවැලි කේන්ද්‍රය …සරසවි පායේ ඉගැන්වීම් කටයුතු ද කරමින් ත්‍රිවිධ හමුදා නර්තන කණ්ඩායම් නර්තන උපදේශිකාවක වන ඕ වසර 17 ක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ භරත නැටුම් ශිල්පිනියක හා කථිකාචාර්යවරියකව කටයුතු කරන්නීය.

මේ වනවිට අපේ සොඳුරු පද්මිණී මානෙල් දහනායක රෝගාතුරවය…ඇයගේ වයසද දැන් 81 කට ළඟය.. තමන් රටට දුන් දෑ ඕ ගිලන් යහනේ සිට දියණියට කියන්නීය…දියණිය අම්මා අස්වසන්නීය…

නිහඬ පරිසරයට රළු වැස්සක් පතිත වූවාක් මෙනි..අපේ රංගනා ඉකිබිඳුමින් හඬන්නට වූවාය..මම නිහඬව පසුවෙමි.

“අපෙ අම්මා අනේ..නිතර අපි දිහා..අපෙ තාත්තා දිහා බල බලා කිව්ව…මං මැරෙන්න බය නෑ..මට ඔයාලව දාල යන්න බෑ..කිය කිය දුක් වුණා.. අනේ අපෙ අම්මා …තාත්තා ට එයා පණවගේ ආදරෙයි. කොවිඩ් එන්නත් වලින් පස්සෙ අම්මා අතුරු ආබාධ වලට ගොදුරු වුණා..අපෙ අම්මා මාස හයක් විතර අසනීප ව උන්නා…”

ඈ හඬන්නීය..

රටට සිය කුසලතාවෙන් බොහෝ දේ ඉටුකරමින් සිසු පරපුරකට අතහිත දුන් විශිෂ්ට නර්තන උපදේශකවරියක සේම නර්තන ශිල්පිනියක වන පද්මිණී මානෙල් දහනායක මහත්මිය ප්‍රේමනීය කිසිවකු හට හෝ නොකියා නොදන්වා කොහේදෝ රහසේ ම නික්ම ගොස් තිබුණාය..

ඒ දවස 2023 ක්වූ මැයි මස 15 වනදාය…

 

[email protected]

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT