මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී ලකුණක් සනිටුහන් කළ ගායක ගායිකා යුවළක් වශයෙන් අබේ – නිරංජලා සුසංයෝගය කාගේත් සම්භාවනාවට පාත්‍ර වේ. සුභාවිත ගීතයේ අභිවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවුණු ගායක ගායිකා යුවළක් ලෙසින් ඔවුහු මෙරට ගීත සාහිත්‍යයට දායාද කළ නිර්මාණ සංඛ්‍යාවෙන් ගත්කල විශාලය. ගුවන්විදුලි ගීත, කැසට් ගීත, චිත්‍රපට ගීත , ටෙලිනාට්‍ය ගීත වශයෙන් විවිධ ගණයේ නිර්මාණ රැසක් ඔවුන් දෙපළගේ නිර්මාණ ජීවිතය තුළ වේ.
අබේවර්ධන බාලසූරිය නම් ගායන ශිල්පියා 2010 වසරේ අප අතරින් සමුගන්නා තෙක්ම ගායන ක්ෂේත්රයේ ඔහුත් සමඟ එක මඟ ගිය ඔහුගේ ප්‍රිය බිරිය නිරංජලාවන්ද ඔහුගේ සමු ගැන්මෙන් පසු ගීත ගායනයෙන් සමුගත්තාය. එහෙත් ඔවුන් දෙදෙනා දශක ගණනාවක් පුරා කලා කෙත අස්වද්දන්නට දායක කළ නිර්මාණ කිසිදු දිනක අප අතරින් වියැකි යන්නේ නැත. මේ ඉතිහාස ගත කරුණු මතු යම් දිනක අනාගත පරපුරේ දැන ගැනීම උදෙසාත් , මෙරට ගීත සාහිත්‍යයේ අබේ – නිරංජලා ලකුණ ලියා තැබීම සඳහාත් නිරංජලාවන් උනන්දු වූයේ අබේවර්ධන සමු ගැනීමෙන් පුරා වසර 14ක් ගතවීමෙන් පසුවය. ඒ අනුව ඇය ප්රවිණ ලේඛකයකු මෙන්ම ගීත රචකයකුද වන සමුද්‍ර වෙත්තසිංහ වෙත මෙහි සංස්කාරකත්වය බාර දුන්නාය. නූතන ගීතයේ අබේ – නිරංජලා සුසංයෝගය කෘතිය බිහිවන්නේ ඒ අනුවය.
‘‘ ඇත්තටම මම හිතුවා ඒක මගේ අතින් සිදුවිය යුතු යුතුකමක් විදියට . අබේගේ ජීවිතේ අවසන් වීමෙන් පස්සේ මට හිතුණා මගේ ගායන දිවියටත් නැවතීමේ තිත තබන්න. ඒක පැත්තකින් ඒක මම අබේ වෙනුවෙන් කරන උත්තම පුජාවක්. මගේ ජිවිතේ ඇත්තටම ගොඩ නැගෙන්නේ අබේගේ සුවිසල් සෙවන යට. ඉතින් ඔහුගේ අහිමිවීම සැබවින්ම මට දරා ගැනීමට අපහසු වුණා. නමුත් ඉතින් අපි යථාර්ථයට මුහුණ දිය යුතුනේ. අබේගේ වියෝවෙන් වසර 14ක් ගෙවුණ තැන මට අවශ්‍ය වුණා අපි දෙන්නගේ ජිවිතේ සුවිශේෂී සන්ධිස්ථාන සමඟ අපේ ගීත, අපේ විදේශ සංචාර, අපේ කැසට් පට, අපි දෙන්නගේ ජිවන වෘත්තාන්තය කොහේ හෝ සටහන් වෙනවා දකින්න. ඒ අනුව තමයි මම මේ ග්‍රන්ථය සංස්කරණය කරන්න සමුද්‍ර වෙත්තසිංහට බාර දෙන්නේ. අපි පසුගිය වසරේ පදනම් ආයතනයේ පැවති ලොකු උත්සවයක් සමඟ තමයි මේ ග්‍රන්ථය දොරට වැඩියේ. ඇත්තටම දැන් එවර මුද්‍රණය කළ පොත් සියල්ලම අවසන්. අපි දැන් දෙවැනි මුද්රණයකටත් ඇවිත් තිබෙන්නේ. ‘‘
අබේ – නිරංජලා වෙනුවෙන් නිර්මාණය වුණු අති විශාල රසික ප්‍රජාවක් අපේ රට තුළත් ඉන් පරිබාහිරවත් විදේශ රටවලත් ජීවත් වේ. ඔවුන් තවමත් මේ දෙදෙනාගේ ගීත වලට පෙම් බඳීන බව නොරහසක්. ඒ රසික ප්‍රජාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ තොරතුරු එක්තැන් වු ග්රන්ථයක් ඒ වනතුරු ප්‍රකාශයට පත්වි නොතිබුණි.
‘‘ ඇත්තටම අපි දෙන්නා ගැන දශක ගණනාවත් තිස්සේ විවිධ පුවත්පත්වල පළවුණු ලිපි රාශියක් තිබුණා. ඒ වුණාට ඒ තොරතුරු එක්තැන් වී තිබුණේ නෑ. විවිධ ස්ථානවල සම්මුඛ සාකච්ඡා සඳහා ගියාමත් බොහෝ දෙනෙක් ඇහුවා ග්රන්ථයක් ලෙස එක්තැන් වී නැතිද කියලත්.එතකොට මට අදහසක් ආවා අයියා වෙනුවෙන් ඒදේ මම කරන්න ඕන කියන එක.ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙක් ගෙන් මේකට ලොකු සහයෝගයක් ලැබුණා. මේ පොතේ දක්නට ලැබෙන තවත් සුවිශේෂි දෙයක් වෙන්නේ අපි දෙන්නට ගීත රචනා කරපු ගීත රචකයන් තමන්ගේ අත් අකුරින් අපිට ලියලා දුන්න ගීතවල මුල් පිටපත් මේ පොතට එකතු කර තිබීම. මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්තිද අල්විස්, ලුෂන් බුලත්සිංහල වැන්නන් ගේ අත් අකුරු මේ පොතේ ඇතුළත් වෙනවා.
අබේ නිරංජලා මෙරට ගීත ක්ෂේත්රයට නිර්මාණ දායක කළේ තම අතින් මුදල් වැය කරමින්ය. ඒ තරමට ඔවුන් සුභාවිත ගීතය වෙනුවෙන් සහ මෙරට ගීත ක්ෂේත්රයේ අභිවෘද්ධිය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළ බැවිනි. අබේ නිරංජලා විශිෂ්ට ගී යනුවෙන් ඔවුන් ගීත කැසට් 13 ක් ඉදිරිපත් කළේය. එසේම ඔහු මියයෑමට ආසන්නව සිටියදීද තවත් ගීත එකතු ද්විත්වයක් එළි දක්වන්නට සූදානම් කර ද තිබුණි.
‘‘ අබේ අන්තිමට එළිදක්වන්න සූදානම් කරගෙන හිටිය නිර්මාණ එකතු දෙකම ඔහු ජීවත්ව ඉන්නා අතරතුර එළි දක්වා ගන්නට බැරි වුණා. ඉන් එකක් ‘ රන් දිවයින‘ නමින් අපි දෙන්නා ගායනා කරපු දේශාභිමානි ගීත එකතුවක්. අනිත් නිර්මාණ එකතුව තමයි ‘ අප ගැයු ප්‍රේම් ගේ ගී‘ කියන එක. ඒ නිර්මාණ එකතුවට අයත් වුණේ ප්‍රේමකීර්ති ද අල්විස් අපි දෙන්නට ලියූ ප්‍රේම ගීත එකතුවක්. නමුත් අබේ මිය ගියාට පස්සේ මම පදනම් ආයතනයේදි ‘ රන් දිවයින‘ එළිදැක්වූවා. ඊට පස්සේ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ‘ අප ගැයු ප්‍රේම් ගේ ගි‘ එළිදැක්වූවා. අපේ ගීත සංරක්ෂණය කිරීමේ පරමාර්ථය තමයි අබේ ගේ හිතේ තිබුණේ. ඉතින් මට පුළුවන් ආකාරයෙන් ඒඔහුගේ බලාපොරොත්තුව මම ඉෂ්ට සිද්ධ කරනවා.
බහුතරයක් අපේ ගීත අපි නොදන්නා අය ගායනා කරනවා. කොහේ හෝ සඳහනක් තියෙන්න ඕන මේ මුල් ගීතය ගැයුවේ කවුද කියන එක ගැන. අපි දෙන්නා ගීත 470ට ආසන්න ප්‍රමාණයක් ගායනා කරලා ගිබෙනවා. ඒ ගීත නාමාවලිය මේ පොතට ඇතුළත් කරලා තිබෙනවා. ඊට අමතරව ජනප්‍රියම ගීත කිහිපයක පද මාලාවන් මෙහි ඇතුළත් කරලා තිබෙනවා.
ගීත හාරසිය ගණනක් ගීත ලෝකයට දායාද කරනවා යන්න ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළ ශ්‍රමය, ධනය, කාලය කොයි තරම් වේදැයි අපට විනිශ්චය කළ නොහැකිය. .තමන් තුළ කලාව කෙරෙහි පවතින්නාවූ සැබැ ආදරයෙන්ම ඔවුන් මේ කාර්යයයේ නියුතු වුණා මිස කිසිදු විටෙක ඉන් අනිසි ප්රතිලාභ ඔවුන් බලාපොරොත්තු වූයේද නැත.
‘‘ පසුගිය දිනවල ‘ කොහොම අතැර දමා යමිද මේ හිතවත්කම්‘ කියන මම ගායනා කරපු ගීතය ගොඩාක් ජනප්‍රිය වුණා. මිදොරි කරුණාරත්න එය ගායනා කිරිමෙන් තමයි මේ තත්වය ඇතිවුණේ. ඇය මගෙන් ඒ සඳහා අවසර අරගෙන තමයි ගායනා කළේ .නමුත් හුඟාක් අය දන්නේ නෑ ඒ ගීතයේ මුල් හිමිකාරිය මම කියලා. මේක මුහුණු පොත හරහා වයිරල් වුණා හරියට. මම ඒක මගේ ගීතයක් කියලා දැම්මම තමයි හුඟාක් දෙනෙක් දැන ගත්තේ ඒ ගීතය මගේ කියලා. මෙන්න මේ වගේ අවස්ථා වර්තමානයේ හුඟාක් තිබෙනවා. ‘
අබේගේ වියෝගයෙන් පසු නිරංජලා ගීත ගායනයෙන් සමු ගත්තද ඇගේ හඬ පෞරුෂය කිසිදා අපේ සිත් වලින් ඈත් නොවන්නේය. මේ ගීත ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඇසිය යුතුය. ඒ වෙනුවෙන් ඇය ඇගේ ගීත ගායනයට සිය ඥාති දියණියන් දෙදෙනෙකුට අවසරය ලබා දී ඇත.
‘‘ මම මගේ ඥාති දියණියන් දෙදෙනාට (අනුරාධා නන්දසිරි සහ සෙව්වන්දි රණතුංග) මේ ගීත පවරලා නෑ. නමුත් මම ඔවුන්ට ඒ ගීත ගායනය කරන්න අවසර ලබා දීලා තිබෙනවා. මම හැම මොහොතේම දියණියන් දෙදෙනාට කියලා තිබෙන්නේ ‘ පුතේ ඔයාලා මගේ හරි අබේ බාප්පාගේ හරි ගීතයක් ගයනවා නම් අපිව පොඩ්ඩක් මතක් කරන්න කියලා. මේක මගේ පුංචි ගේ ගීතයක්. මේක අබේ බාප්පගේ ගීතයක් කියලා කියන්න කියලා. අපි කොච්චර අමාරුවෙන්ද මේ ගීත නිර්මාණය කළේ. ඒ වෙනුවෙන් තොච්චර මුදල් වියදම් කරාද? නම හදාගන්න කොයි තරම් වෙහෙස වුණාද?
මම හරියට සතුටු වෙනවා මේ ගීත වලින් ඒගොල්ල ඉදිරියට යන එක ගැන. නමුත් අර මුල් ගීතයේ හිමිකාරිත්වය ගැන කියන්න කියලා තමයි මම ඒ දෙන්නට කියලා තියෙන්නේ. ඕන තරම් අය මගේ ගීත ගායනා කරලා මට එවන අවස්ථා තිබෙනවා. මම හරිම සතුටින් ඒවා දිහා බලලා වැරැද්දක් තිබෙනවා නම් පෙන්වා දෙනවා. මට ඒ වගේ විවෘත හදවතක් තිබෙනවා. මම ඊර්ෂ්‍යා නම් ඒක කරන්නේ නෑනේ.
මිදොරි වුණත් මගෙන් ඇහුවා සරසවි උයන වැඩසටහනට මේ ගීතය ගයන්නද කියලා. මම හරිම සුතුටින් තමයි කිව්වේ එයාට ඒ ගීතය ගයන්න කියලා.
මේ මොහොත වනවිට අබේවර්ධන බාලසූරිය අපෙන් වෙන්වී වසර 15 ක් ගෙවී හමාරයි. ගෙවුණු වසර 15 ඇතුළත ඇය ගෙවූ ජීවිතය කෙබඳු වේද?ජීවත්ව සිටි අවධියේ මේ දෙදෙනා හැමදාමත් එක්ව ගමන් ගියා විනා කිසිදු දිනක වෙන් වෙන්ව ගමන් යනු අපි දැක නොමැත්තෙමු.
අබේ ජීවතුන් අතර ඉන්නකාලේ හැමදේම එයා තමයි කළේ. ඔහු ඉතාම පිළිවෙළට වැඩ කරපු කෙනක්. මට මේ පොත කරන්න වුණත් ඔහුගේ ඒ පිළිවෙළ නිසා හරිම පහසු වුණා. ඔහු අපි දෙන්න පිළිබඳ ලියවුණු සියලු තොරතුරු හරිම පිළිවෙළට ෆයිල් වල දාලා සුරක්ෂිත කරලා තිබුණා. මේ පිළිවෙළ දැක දැක තමයි අබේ ගේ පිටුපස්සේ මම ජීවත් වුණේ. ඉතින් ඔහු නැති වුණාමත් ඔහුගේ ඒ පිළිවෙළ මම ඉගෙන ගෙන තිබුණ නිසා මට ජිවත් වෙන්න පහසු වුණා.
දැන් මම හිත හදාගෙන ඉන්නවා. තනිකම නං මට කොහොමටවත් නැති කර ගන්න බෑ. නමුත් ඉතින් අපි ජිවිතයට මුහුණ දෙන්න ඕන නේ. එහෙම හිතලා හිත හදා ගන්නවා හැම වෙලාවෙම ඔහුව මතක් වෙනවා. නමුත් මම දුක් වෙන්නේ නැ. ඉස්සර මම මාස් පතාම කනත්තට ගියා. නමුත් මට හුඟාක් අය කිව්වා එහෙම යන්න හොඳ නෑ කියලා. ඒ නිසා දැන් මම යන්නේ සුවිශේෂ අවස්ථාවකට විතරයි. මම එයාව අල්ලගෙනවත් බදාගෙනවත් නෑ. මම යන්නේ එයා නරක තැනක ඉන්නවා නම් හොඳ තැනකට යන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පින් දෙන්න. දැන් මම තනියම වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නේ. එයා ඉන්නකම් වාහනයක් එළෙව්වේ වත් නෑ. නමුත් එයා මට එළවන්න පුරුදු කරලා තිබුණා. දැන් මම සින්දු කිව්වෙ නැති වුණාට කලා කටයුතු වලට මම හරියට සහභාගි වෙනවා. බොහෝ වෙලාවට බොහෝ තරග විනිශ්චයන් සඳහා මට කතා කරනවා. මිනිස්සුන්ගේ පිළිගැනීම මට පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ කියලා මට දැනෙනවා. අබේ කරපු දිනචරියාවේ වැඩ මම ඒ විදියටම කරගෙන යනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න