” මගෙ තාත්තා ගැන මට තියෙන මතක අතර නිතර මතක් වෙන්නේ චිත්‍රපට වැඩවලට ගිහින් මහ රෑ ජාමේ ගෙදරට ඇවිත් තද නින්දෙ ඉන්න අපිව ඇහැරවලා අනේ ..අපෙ තාත්තා ගෙනාපු කෑම එයාගෙ අතින්ම බලෙන්ම වගේ අපට කවපු හැටි…”
එදා අපේ හෙළ සිනමා රිදී තිරය මත තේජාන්විත චරිත රඟපෑ ඔහු ..තම සැබෑ ජීවිතයේදී නිහතමානී කරුණාබර මිනිසා වූයේ ද ඔහුමය..දඩබ්බර ගති ඇති තරුණයකු හෝ මංකොල්ලකරුවකු හෝ අන්තර්ජාතික හොරෙක් හෝ රිදී තිරයේ දැකගන්නට ලැබුණේ වී නම් ඒද ඔහුමය.. ඔහුගේ අපූර්වතම දෙබස් උච්චාරණය තවමත් අපේ ප්‍රේක්ෂකයාට අමතකව නැති තරමි..ජන්මයෙන් ලද ඔහුගේ කතා විලාසයද සැබැවින්ම අපූරුය…
සිනමා ප්‍රේක්ෂකයාට අමතක නොවන චරිතයක්ම බවට පත්වූ මෙවර අප කතාවේ සොඳුරු කතා නායක තෙමේ අන් කිසිවකු හෝ නොව අපේ සේනාධීර රූපසිංහ නම් රංගවේදී කෘතහස්තයාණන් ය..
නොඑසේ නම් එදා ගාමිණී ෆොන්සේකා සමඟින් කරට කර රඟපෑ අපේ ආදරණිය සේනාධීර රූපසිංහයන් පිළිබඳ අසිරිමත් යටගියාව ආවර්ජනය කරන්නට දැන් මා සමීපයේම පසුවන්නේ ඔහුගේ දියණියක වන වන්නිආරච්චිලාගේ නිලූකා සේනාධීර මහත්මියය..
දිගු කලෙක සිට ඇමෙරිකාවේ පදිංචියේ පසුවන ඕ කෙටි නිවාඩුවකට මවුබිමට පැමිණි පසුගියදාක මෙලෙසින් හමුවූයේ සීදූවේ ඇයගේ සොහොයුරියගේ නිවහනේදීය…
1937 ක්වූ සැප්තැම්බර් මස 15 වනදා කිරිඳීවැල..තිඹිරිගම..මිල්ලතේ ..උපත ලද සේනාධීර පතිරන්නැහැලාගේ රූපසිංහ නමැති ඔහුට සහෝදරයන් පස්දෙනකු හා එක් සහෝදරියක්ද වූ අතර පවුලේ තෙවැනි පිරිමි දරුවා වූයේ ඔහුය..
මුලින්ම ඉගෙනුම පිණිස ඌරාපොල බෞද්ධ පිරිමි පාඨශාලාවට ඇතුළත් ව පසුව ගම්පහ විද්‍යාශේඛර හා නිට්ටඔුවේ සංඝබෝධි විදුහල්වලින් අධ්‍යාපනය ලබන අතරේදී කඹුරාගල්ලේ පණ්ඩිත පඤ්ඤාජෝති හිමියන්ගේද ඇසුරට පත් ආදරණිය සේනාධීරයන් සිංහල හා පාලි විෂයයන් උගත්තේය.. ඔහු සතු සාහිත්‍ය දැනුමද ඉහළින්ම තිබිණි..
තම ආදරණිය පියාණන්ගේ සේයාරු කිහිපයක්ද අතැතිව එදෙසම නිහඩවම බලා පසුවන දියණිය නිලූකා පසුව කටහඬ අවදි කරන්නීය..
” අපෙ තාත්තා ගැන ඕනතරම් කාලයක් කතා කරන්න පුළුවන්..ඒ තරම් අපෙ තාත්තා හරිම ආදරණිය චරිතයක්..අපි ඉතින් පොඩිනේ..මහ රෑ ගෙදරට පයගහපු ගමන් කෙළින්ම එන්නෙ අපි නිදා ඉන්න කාමරේට..අපි සුව නින්දෙ..ඔන්න අපි ඔක්කොමලවම ඇහැරවනවා..අපට ඕන නිදාගන්නයි..ඒත් අපෙ තාත්තා වදෙන් පොරෙන් අපව ඇහැරවලා ඇඳේ එක පේළියට වාඩි කරවනවා..ඔන්න ඉතින්..එයා අපට ගෙනාපු කෑම මේං මයෙ දුවට…මේං මේ කට මගෙ පුතාට කිය කිය එයාගෙ අතින්ම කෑම කවනවා…”
ඈ මුවමත රැඳී සිනහව අතුරුදන්ව ඇත..ඒ වෙනුවට ඈ මුහුණ මලානික ව ඇති අයුරු පෙනෙයි..ඕ මට රහසේ පිටඅත්ලෙන් දෑස පිසදාගන්නට වෑයම් කරන්නීය..
පාසල් ජීවිතයට ආයුබෝවන් කී අපේ කතා නායකයා ෂෙල් සමාගමේ කාර්මික අංශයේ වසර එකහමාරක සිට නිරතව හුන් රස්සාවට අතහැරීමට හේතුවූයේ වරායේ රැකියාවල නියුතු තම මිතුරන් දෙතුන් දෙනකු ඉන්දියාවට ගිය ගමන්වලදී ඇසදුටු එහි සිනමාව පිළිබඳ කතා ඇසීමෙන් පසුවය..එහි චිත්‍රාගාර..එහි නළු නිළියන් පිළිබඳව අසා ඉන් මහත්සේ සතුටට පත් අපේ කතා නායක තෙමේ පසුව මදුරාසිය බලා ගියේය..ඒ 1951 වසරේදීය..එහිදී හඳුනාගත් ඉන්දීය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජීව් රාඕ මහතා යටතේ වැඩ කළේය..පුංචිම තැනින් පටන්ගෙන සහය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කිරීම දක්වා එහිදී උගත්තේය…තිරනාටකයක් ලියනසැටි..පිරිස හසුරුවන සැටි..ඇතුළු බොහෝදේ සංජීව් රාඕ ඔහුට කියා දුන්නේය..එම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ වූ දාස් ගුප්තාද ඔහුගේ සමීපතමයෙක්ම වූයේය.
මේ 1956 වසරයි.. සීමාසහිත සිනමාස් සමාගමේ ප්‍රචාරක අංශයේද …එහි සංස්කරණය කළ ” කලා” සඟරාවේද කටයුතු කළේය…
සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ශාන්ති කුමාර් සෙනෙවිරත්න “ජීවිත සටන” චිත්‍රපටය හදන්නට සූදානමිනි.. දිනෙක ඔහු “සේනාධීර කැමැති නැද්ද මගෙ ජීවිත සටන චිත්‍රපටයෙ රඟපාන්න…” හෙතෙම විමසුවේය…ඒ වනවිට මුදල් ප්‍රශ්නද තිබූ නිසාවෙන් අපේ සේනාධීරයන් එකසිතින්ම ඊට කැමැත්ත පළකළේය..
එවක ප්‍රකට නිළි අයේෂා වීරකෝන්ගේ සැමියා ලෙසින් චරිත නිරූපණය කළ අපේ සේනාධීරයනට ඒ වෙනුවෙන් ගෙවූ මුදල රුපියල් 750 කි.
“ඒක එදා මට ලොකු මුදලක්..” ඔහු පසුකලෙක හිතවත් මාධ්‍යවේදියකුට කීවේය..
“අපේ තාත්තා හරිම විනෝදකාමීයි..ඒ විනෝදකාමී ගතියට අපිත් හරි ම ආසයි..එයා හරිම කරුණාවන්තයි.. චිත්‍රපටවල ඔය දාමරික සැරපරුෂ චරිත ඇත්තටම වගේ රඟපෑවාට අනේ අපෙ තාත්තාගෙ හිත හරිම මොලොක්…අපෙ තාත්තාට මදි නොකියන්න යාළුවන් නම් හිටියා…හිතවත්කමට තමන්ගෙ පණවුණත් දෙන්න සූදානම් එක්කෙනෙක්…හැමෝම එක්ක හරිම මිත්‍රශීලියි..අපි හිතමු..කවුරු හරි තාත්තාගෙන් උපකාරයක් ඉල්ලුවාය කියලා..ආයෙ දෙපාරක් හිතන්නෙ නැහැ..ගෙදර තියෙන දේ හරි දෙනවා..”
බොහෝ වෙලාවකට පසුව නිලූකාගේ මුවමත යළි.සිනාව පහළ විණි..
දැන් අපේ කතා නායකයාණෝ ඉන්දියාවේ දෙවසරක් ගෙවා දමා ලංකාවට පැමිණ පසුවන්නාහ..හැඩිදැඩි සිරුරකින් යුතු වුවද ඒ හිත සියුමැළිය. සංවේදීය..එහෙත් රංගනයේදී තමන්ට පැවරෙන්නේ රසිකයා කෝපකරවන සුලු තරමේ දුෂ්ට රෞද්‍ර චරිතයක් වේද හේ එයට එපරිද්දෙන් ම ජීවය දුන්නේය..
අපේ සේනාධීර රූපසිංහයන් දැන් දැන් හෙළ සිනමාවේ දක්ෂතම රංගවේදියකු ලෙසින් නම් පතල ය..වැල නොකැඩී චිත්‍රපට ඔහු සොයා ගලා ආයේය..සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ රංග සෙනෙවි..කළ කළදේ පල පලදේ…හි නන්දසේන නම් අහිංසක තරුණයාය..මහ රෑ හමුවූ චිත්‍රපටයේ ජස්ටින් සුරවීරය..සූර චෞරයා හි භයානක මංකොල්ලකරුවාය..හරි මඟ..හි නැටුම් ගුරුවරයාය..ස්වකීය සිනමා ගමනේ ඔහු ප්‍රථම වරට දුෂ්ටයා බවට පත්වූයේ කිංකිණි පාද… චිත්‍රපටයෙනි..
තමන්ට පැවරෙන චරිතයට උපරිමයෙන් සාධාරණය ඉටුකිරීමට සමත් වූ අපේ විශිෂ්ටයාණෝ නළුවකු වන්නට නම් සිහින මැව්වේ නැති…තිරනාටක රචකයකු ..අධ්‍යක්ෂවරයකු හෝ සහය අධ්‍යක්ෂවරයකු…දෙබස් රචකයකු ලෙසින් සිනමාවේ රැඳී ඉන්නට තිර අදිටනක පසුවුවද දෛවෝපගතව ඔහු දක්ෂතම නළුවකු ලෙසින් ප්‍රකට වූහ…
” ඒ වුණාට අපෙ තාත්තාගෙ හිතේ තිබුණු හීනයත් සැබෑ කරගත්තා …අධ්‍යක්ෂණයට..තිරනාටකය ලියන්නට..දෙබස් ලියන්නට තාත්තා හපනකු බව අපෙ තාත්තා ඔප්පු කළා…” යැයි අසුනෙහි තවත් හරිබරි ගැසෙමින් ආදරණිය නිලූකා කියන්නී…..
” අපෙ තාත්තා තිරනාටකයක් හරි දෙබස් හරි ලියනවානම් ලියන්නෙ මේසයක් ළඟ පුටුවක වාඩිවෙලා නම් නෙවි..අනේ මට දැනුත් මැවි මැවී පේනවා..ගේ ඇතුළෙ තාත්තා හ්ම් නැතිව එහාට මෙහාට සක්මන් කරනවා..නවතිනවා..ලියනවා..ඇවිදිනවා.. හැබැයි තාත්තාගෙ අතේ සිගරට් එක නම් වරදින්නෙම නැහැ..උඩ බලාගෙන දුම්ගුලි පිට කර කර මතක් වුණ දෙයක් ළඟම තියෙන කඩදාසියෙ ලියා ගන්නවා..ඒ වෙලාවට ඉතිං අපිත් සද්ද කරන්නෙ නැහැ..වැඩේ ඉවරවෙද්දි සිගරට් කීයක් බිව්වාද කියල තාත්තාටත් මතක නැතිව ඇති…මයෙ හිතේ..”
නිලූකා සිනාසෙන්නීය..
” අටවන පුදුමය සූරයන්ගෙත් සූරයා..හි සහය අධ්‍යක්ෂකවරයා වූයේ ඔහුමය..දැන් මතකද චිත්‍රපටයේ දෙබස් රචනයද ඔහුගේ ය..
කිසිදු අභියෝගයකට බියක් නැති හේ සටන් දර්ශනවලදී තාත්විකව රඟපෑවේය..ප්‍රවීණ සටන් නළුවකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ද ඔහුගේ සටන්කාමී බව අගය කළේය.. අසාමාන්‍ය නළුවන් අතර අපේ කතා නායක තෙමේ සුවිශේෂී වූයේය…
අපේ ආදරණිය සේනාධීර රූපසිංහයන්ගේ ජීවන අත්වැල වූයේ විමලා මංගලිකාය..එම විවාහයෙන් එම දෙපළට තිළිණ වූයේ පුතුන් තිදෙනෙකි..දියණියන් දෙදෙනෙකි…
” අපෙ අම්මා ට අපෙ තාත්තා හමුවෙලා තියෙන්නෙ සීගිරි කාශ්‍යප චිත්‍රපටයෙ දි…ශේෂා පලිහක්කාර මහත්තයගෙන් අපෙ අම්මා නැටුම් පුහුණු වෙලා තියෙනවනෙ.”
” ලොකු අයියා ජපානයෙ..එයා තමයි ප්‍රියන්ත…දෙවැන්නී මේ මමයි..මට පස්සේ චමින්ද මල්ලි .. ඊළඟට මොහාන්.. මංජුල මල්ලි …බාලම නංගි තමාරා…ඇමෙරිකාවෙ ඉඳල මේ මං ඇවිත් ඉන්නෙ මගෙ නංගියාගෙ ගෙදරට..නංගි එදා හරි පුංචියිනෙ…”
“ඔව්..ඇත්තමයි. මට මගෙ තාත්තා හරියට සිහිනයක් වගේ..යාන්තමින් වගෙ මතකයි…..අනේ අපෙ තාත්තා අදත් හිටියානම් කියල දහස්වරක් අපට හිතෙනවා..” අපේ කතාවට එකතු වූ තමාරා ඒ ටික කීවේ බිඳුණු හඬකිනි..
අපේ කතා නායකයා ප්‍රධාන පෙම්වතා වූයේ චීදුරු ගෙවල් චිත්‍රපටයෙනි.. හරිම බඩු තුනක් හි සහය අධ්‍යක්ෂක වෙමින් ඔහු එහි සම නිෂ්පාදකවරයකු ද වූයේය..
” ඒ දවස්වල අපෙ තාත්තා හැමෝටම ප්‍රසිද්ධියේ කීවෙ මම නළුවා..මගේ බිරිඳ විමලා තමයි මගෙ විවේචකයා කියලා…”
නිලූකා කියන්නීය..
ඔහුට විවේක දිනයක් එනතුරු බිරිඳ විමලාත් දරුවන්ද නොඉවසිල්ලෙනි..එදවස ඔහු තම දරුපවුල සමඟින් කොහේ හෝ ඇවිදින්නට යන්නේය..නෑ ගෙදරකට..මුහුදු වෙරළකට..ආච්චි අම්මාගේ ගෙදරට…කැඳවා යති..
” අප්පේ…මහපාරට ගියාම එහෙම අපෙ තාත්තාව මිනිස්සු වටකර ගන්නවා .බදා ගන්නවා..සමරු පොත්වලට අස්සන් ගන්නවා..ඒ තරම් මිනිස්සු තාත්තා ට ආදරය කරන හැටි දැක්කාම අපට පුදුමත් හිතුණා..”
ඒ ටික නිලූකා කියන්නේ ලොකුකරගත් දෑසිනි..
පාසල් අධ්‍යාපනය සේම තම දරුවන් දහම් පාසලටද යා යුතුමය..ඒ ඔහුගේ නියමයකි..
“ඇත්තමයි තාත්තාගෙ නමට අදත් ලොකු ගෞරවයක් ලැබෙනවා..ඒක අදත් අපට ආඩම්බරයක් ..තාත්තා අපේ ඥාතීන්ටත් අපටත් නිතර කීවෙ මගෙ නම කැතවන මුකුත් කරන්න එපා කියලා..” දියණිය නිලූකා එසේ කියද්දී ඉදිරියට ආ බාලම දියණි තමාරා නිලූකා දෙස බලා ඇසුවේ..
” කුරක්කන් පිටිවලින් හදාපු කෑම කන්න තාත්තා හරිම ආසයිලු නේද අක්කේ” කියාය.
” අපෙ තාත්තා ට සින්දු කියන්න නම් බැහැ..ඒත් හින්දි ගීතවලට ගොඩක් ප්‍රියයි..තාත්තා ගෙදර ඉන්නකොට හරිම ෂෝක්..අපට කතා කරල කියනව සින්දු කියන්න කියලා ” යි කී නිලූකා තම නංගී තමාරා දෙසද බලන්නීය..
“උදෙන්ම තාත්තා ව්‍යායාම කරන එක අනිවාර්යයි..අපට කරාටේ සටන් ක්‍රම කියාදෙනවා.. ආ …දන්නවද දවසක් චමින්ද මල්ලිවයි මාවයි සටනකට දැම්මා..තාත්තා බලා ඉන්නවා..අනේ එදා.. මගෙ නළලත් තුවාල වුණා.. මේං මෙහෙම කරාටේ කරන හැටි අපට කියා දුන්නේ…” යැයි කී නිලූකා හුන්තැනම හිඳ සිය දෑත ඒ මේ අත කිහිපවාරයක් විසිකොට දෑතින් අත්පුඩියක්ද ගසමින් උස්හඬින් සිනාසෙන්නට වන්නීය..මගෙ නැටුම් ගුරුතුමිය රංජනී ටීචර් හිටියෙ අපේ ගේ ඉස්සරහ..මම බොරුවක් කියල තාත්තාගෙන් සතපනහක් ඉල්ලාගත්තා. නාට්ටියක් බලන්න යන්න තියෙනව කියලා..රංජනී ටීචර් තාත්තාට කියල තියෙනව එහෙම නාට්ටියක් බලන්න යන්නෙ නැහැ කියලා..තාත්තා මට එදා බොරු කිව්ව කියල ගැහුවෙ නැහැ..බැන්නෙත් නැහැ..අපට හරිම ආදරෙයිනෙ..ඇයි දුවේ බොරු කිව්වෙ…මින්පස්සෙ බොරුවක් කියන්නවත් එපා..සල්ලි ඉල්ලුවානම් මම දුවට දෙනවනේ කියල තාත්තා කීව හැටි මට තවමත් හොඳට මතකයි..”
නිලූකා බිමබලාගත්වනමය..
අපේ විශිෂ්ටයා දුම්වැටියට මධුවිතට සමීපවම සිටියහ….දුම්වැටිය අතේමය . සවසට මධුවිත වරදින්නේම නැති..
” අනේ අපෙ තාත්තා ඒවට එච්චරම ළංවුණේ නැතිනම් කොච්චර හොඳද..කියල අද මට හිතෙනවා..”
නිලූකා ඒ ටික කියන්නී විඩාපත් ස්වරයෙනි..
අපේ සේනාධීර රූපසිංහයන්ට හිතැති නළු නිළියන් නිතර ඔහු දැකුමට නිවසට එති..ගාමිණී ෆොන්සේකා මහතා බාර නොගන්නා චිත්‍රපටවේද ගාමිණී එසැණින් නම් කරන්නේ අපේ ආදරණිය කතා නායකයාය…..
ගාමිණී සමඟ කරටකර රඟපෑමට දක්ෂයකු වන්නේ අපේ කතා නායක බවද එකල සිනමා පුවත්පත්වලද පළවිණි..
” අනේ මෙහෙම කතා කරද්දි පුදුම සැනසිමක් සතුටක් දැනෙන්නෙ..අපෙ තාත්තා ආයෙත් අපි ළඟට එනවානම්.. තාත්තා හැමදේම කතා කරන්නෙ අම්මා එක්කමයි.. මට වයස පහේදි මාව චිත්‍රපටයකට දැම්මා ඇන්තනි සී අන්කල් එක්ක රඟපාන්න…අනේ තාත්තා අදත් උන්නානම්…”
නිලූකා සුසුමක් හෙළන්නීය..
දැන් දැන් අපේ සේනාධීරයන් රෝගාතුර වෙයි…දියවැඩියාවෙන්..ද වකුගඩු අමාරුවකින්ද පෙළෙන්නට වී…
” අපෙ තාත්තා ට එයාගෙ ජිවිතය ගැන අවදානමක් තියෙන්න ඇති..චමින්ද මල්ලිට දවසක් තාත්තා කියා තියෙනව තාත්තා ට හදිසියෙ මොනව හරි වුණොත් අපේ මුළු පවුලම හොඳීන් බලාගන්න කියලා .මොනව හරි තාත්තා ට හිතෙන්න ඇති..”
ඈ දෙකොපුල් මත කඳුළු බිඳුවක් පහළට රූරා වැටෙයි..” සොරි ” යැයි කියමින් තම අත්ලෙන් දෑස පිසදාගත් ඕ දෑතින් මුහුණ වසාගත්වනම පසුවන්නීය.
” අපෙ තාත්තා එකපාරටම ලේ වමනය දැම්මා..දරුවන් ව වාට්ටුවට එක්ක එන්න එපාය කියල තාත්තා අම්මා ට කියලා තිබුණා. දරුවන් දුක්වෙයි බයවෙයි කියලත් තිබුණලු..අපෙ තාත්තා ට මිනිස්සු මේ තරමට ආදරය කළාද කියල අපට හොඳටම දැනුණේ අපෙ තාත්තා නැතිවුණ දවසේ..තාත්තා ගැන ආඩම්බරය අදටත් අපෙ හිත්වල තියෙනවා..අපෙ තාත්තා එදා අපිව දාල යද්දි මට වයස අවුරුදු එකොළහයි…තාත්තා මොන තරම් හිතේ බරකින් ඇස් පියාගන්න ඇතිද…
” අනේ අපෙ තාත්තා ඉන්න තැනක් දන්නවා නම් මම ගිහින් එක්කගෙන එනවා…”
දියණිය නිලූකා බිඳුණු හඬින් කියන්නීය…
දේහධාරී රූ සපුවකට හිමිකම් කීවද මුහුණින් හා හදවතින් අතිශය සංවේදී මානව දයාවෙන් පිරිපුන් අපේ ආදරණිය කතා නායක සේනාධීර රූපසිංහයන් …සිනමා රිදීතිරය අයස්කාන්ත රඟ ශෝභාවෙන් හැඩකළ අපේ ප්‍රවීණ රංගවේදී සේනාධීර රූපසිංහයන් කිසිවකුට හෝ නොකියා නොදන්වා රහසේම නික්ම යන්නට වූයේ 1979 ක්වූ ජුලි මස 11 වනදාය..
ඒ වනවිට ඔහු පසුවූයේ වයසින් අවුරුදු 42 වන වියේය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ