සේනක විජේසිංහ යනු කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අතිශයින්ම ජනපි‍්‍රය චරිතයක්ව සිටියෙකි. එහෙත් පසුගිය කාල වකවානුව පුරා ඔහු මෙකී මාධ්‍යය ඔස්සේ හෝ වෙනත් කලා කටයුත්තකින් හෝ සිනමාවෙන් හෝ අපට හමු නොවූ තරම්ය. මෙවර අපි සේනක විජේසිංහ හමුවූයේ ඔහුගේ රංගන කාර්යයත් ගැන කතා කිරීමට නොවේ. ඉන් එහා ගිය එහෙත් කලාවට සම්බන්ධ වූ වෙනත් වැඩ කටයුත්තක් වෙනුවෙන් මේ දිනවල ඔහු කාර්ය බහුල වි සිටින්නේය.
මේ කුමන කාර්යයන් උදෙසාද යන්න දැන ගැනීමට පසුගිය දිනක ඔහු අපි සරසවියට කැඳවා ගත්තෙමු.
‘සේනක අලුතින් කරන්න හදන මේ වැඩේ මොකක්ද?’
අපේ පිළිසඳර ආරම්භ වූයේ එලෙසිනි.
‘ඇත්තටම මීට වසරකට විතර කලින් ශ්‍රී ශාක්‍යසිංහ සරසවිය කියන සංවිධානය පිහිටුවා ගත්තා. ඒක පාර්ලිමේන්තු පනතකින් සම්මතව විධිමත් ආකාරයෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයක්. මේ සංවිධානයේ අනු කමිටු කිහිපයක්ම තිබුණ කලාකරුවන් හා කලාව ආශි‍්‍රතව අනු කමිටුවක් පිහිටුවන්න කියලා. මේ සංවිධානය මට ආරාධනා කළා. මෙතනදි මම විශේෂයෙන්ම අවධාරණය කළේ මේ සංවිධානය කලාකරුවන් විකුණා මුදල් හම්බ කරන සංවිධානයක් නොවිය යුතුයි කියලයි. ඒ වගේම තමයි එහි දේශපාලන පක්ෂ පාට භේදයක් නොතිබිය යුතුයි යන්න. මේ දේවල් වලට එකඟ නම් මට මේ සංවිධානය පිහිටුවන්න කැමති බව කීවා. ඔවුන් ඊට එකඟ වුණු නිසා අපි සංවිධානයන් පිහිට වූවා. අපි ඒකට නම තිබ්බේ Ceylon Artist Council කියලා. මේ පිහිටුවාගන්න සංවිධානය අපි එකපාරට ක්‍රියාත්මක වුණේ නෑ. අවුරුද්දක් විතර යනතුරු What app Group එකක් හරහා විවිධ සාකච්ඡා පැවැත්වූවා. මේ වන විට මේ Group එකේ කලාකරුවන් හයසිය ගණනක් අපිත් සමඟ ඉන්නවා.
කලා සංගම් කිව්වම හැමදාම එතන පෙරමුණ ගත්තේ නළු නිළියෝනේ. මම ඒකට එකඟ නෑ. කලාව කියලා ගත්තම මම කියන්නේ විවිධ කලාවන් තියෙනවානේ. ගමේ ඉන්න බෙර ගහන කෙනා, ගොක්කොළ කලා කරන කෙනා, කවි කියන, ලියන කෙනා, පවා අයිතිවෙන්නේ කලා කරුවන් ගණයට. ඒ නිසා මම මේ කලා හවුලට මේ ඔක්කොටම ඇරියුම් කළා. දිගින් දිගටම අපි Wahatapp group එක තුළ ඉන්න විට සමහරු මේ පිළිබඳ විශ්වාසයෙන් ඉන්නවා කියලා අපිට දැනුණා. ඒ වගේම අවිශ්වාසයෙන් ඉන්න අයත හිටියා. කාලයක් යනවිට සමහරු group එකෙන් අයින් වුණා. හැබැයි මේ අයින්වීම 10%ක් නම් එකතු වෙන ප්‍රමාණය 25%ක් වගේ වුණා. තව සමහරු තවමත් බලාගෙන ඉන්නවා අපි මොනවද කරන්නේ කියලා.
‘ඉතින් ඇත්තටම දැන් මොනවද ඔබලා කරන්න හදන්නේ?’
ඒක ගැන තමයි දැන් කියන්න හදන්නේ, මේ group එක දීර්ඝ කාලයක් මේ විදිහට පවත්වාගෙන ඇවිත්, අපි ඒක දිනයක් යොදගෙන මේ සඳහා නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තා. මම තමයි මෙහි සභාපතිවරයා වුණේ. ලේකම්වරයා හැටියට මේනක සංජිව පත්වුණා. දැනට අපි සියයට ආසන්න ප්‍රමාණයක් මේ හා සම්බන්ධ වෙලා සිටිනවා. පළවෙනිම රැස්වීම සඳහා 85ක පමණ ප්‍රමාණයක් සහභාගි වුණා. ප්‍රවීණ සහ නවක කලාකරුවන් මේ ඇතුළත ඉන්නවා. යම් යම් අවස්ථාවලදී විවිධ විෂබීජත් ඇතුළු වුණා. නමුත් විවිධ හේතු කාරණා නිසා ඒක අයින් කරන්නත් සිදුවුණා. ඒ අය මා පිළිබඳ ගන්නා හා දරන තීන්දු තීරණ කුමක් වුවත් මෙතෙක් කල් මාව දිගින් දිගටම වැරදි කාරයෙක් කරන්න කාටවත් පුළුවන් වෙලා නෑ. මම දේශපාලනය සහ සමාජය ගැන කෙළින්ම හදාරපු කෙනෙක් නිසා මට බොහෝ දේවල් වේලාසනින්ම දැනෙනවා. ඒකට මට මම පුරුදු කරපු මාර්ෂල් ආර්ට් එකත් හේතුවක් වෙන්න ඇති.
අපේ සංගමයේ පළවෙනි රැස්වීම ඉවර වන විටම ඉන්දීය චිත්‍රපට සමාගමක් සහ තුර්කිය චීනය ඩුබායි වැනි රටවල්වල සමාගම් කිහිපයකුත් අපිත් සමඟ එකතුවෙලා වැඩ කරන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. මුලින්ම කියන්න ඕන අපේ සංගමයේ දැක්ම හැටියට මම තීරණය කළේ මේක මළ ගෙවල් වලට සල්ලි එකතු කරන බැනර් එකක් දාන වර්ගයේ සමිතියක් විය යුතු නැති බවයි. එවැනි සංවිධාන ඕන තරම් අපේ රටේ තිබෙනවා. මේ සංවිධානය ඉන් එහා ගිය එකක් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපේ සංවිධානයේත් ඉන්නවා කවි ලියන කෙනෙක්. එයා කවි ගොඩක් ලියලා තිබෙනවා. නමුත් පොතක් කරගත නොහැකිව ඉන්නවා. එවැනි අවස්ථාවක අපේ සංගමය මැදිහත් වෙලා අනුග්‍රාහකයෙක් හොයලා දෙන්න පුළුවන්. අපට සල්ලි නෑ තමයි. නමුත් අපට ඊට මැදිහත් විය හැකියි. වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක්, පොතක් වෙන්න පුළුවන්. සින්දුවක් වෙන්න පුළුවන්. මේ හැම නිර්මාණයම එළිදක්වන්න උත්සාහ කරනවා. කලාකරුවන්ගේ කලා කටයුතු සවිබල ගැන්වීමේ සංවිධානයක් විදිහට තමයි මේ සංවිධානය ජනගත වෙන්නේ. ඒක නිසා මේ සංවිධානය ජනගත කිරීමේ අදහස ඇතිව අපි සාකච්ඡා කළා මොනවද අපි ඉස්සෙල්ලා කරන්නේ කියලා.
සාමාන්‍ය පරිදි Musical show එකක් කරනවද? මේ දන් දීමේ කඳවුරක් කරනවද? වැනි දේවල් ගැන කල්පනා කළා. නමුත් ඉන් එහාට ගිය මහා පරිමාණයේ වැඩක් කරන්න ඕන කියලා හිතලා අපි කලාකරුවන් උදෙසා සම්මාන උලෙළක් පවත්වන්නට තීරණය කළා.
කවදා? කෙසේද? කොතැනද? මේ සම්මාන උලෙළ තියන්න බලාපොරොත්තු වෙන්නේ?
එහෙම දෙයක් කරනවා නම් ඒක ජාතික මට්ටමේ වැඩක් වෙන්න ඕන. කොළඹ BMICH වැනි තැනක පවත්වන්න ඕන. අනික් පැත්තෙන් හොඳම ටෙලිනාට්‍ය, හොඳම රූපවාහිනී නාලිකාව ආදී වශයෙන් සම්මාන දෙන සම්මාන උලෙළ අපට තිබෙනවා. ඒ නිසා මම හිතුවා එහෙම අවශ්‍ය නෑ. අපි අතින් අතහැරුණ ප්‍රවීණ කලාකරුවන් රැසක් ඉන්නවා. ඒ අය අතරින් තෝරා ගත් පිරිසකට මේ සම්මාන පුදන්න. ඒ අනුව අපි මේ අගෝස්තු 29 වැනිදා සවස තුනට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී මේ සම්මාන ප්‍රධානෝත්සවය පවත්වනවා. අපි මේ සම්මානය හඳුන්වන්නේ CAL AWARD කියලා. CAL කියන්නේ Ceylon Artist Council කියන එකයි.
කලාකරුවන් 22ක් එදිනට සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි අනුග්‍රාහක භවතුන් උදෙසාත් අපි සම්මාන 22ක් ප්‍රදානය කරනවා. ඒ අනුව සම්මාන 44ක් ප්‍රධානය කරනවා.
මෙවර කාවද සම්මානයට පාත්‍ර වෙන්නේ?
සම්මාන උලෙළ මූලික සාකච්ඡාවට ගත්දී මාලිනී ෆොන්සේකා මහත්මිය ජීවතුන් අතර හිටියා. ඒනිසා ඇය තමයි මුලින්ම සම්මානයට පාත්‍ර කරන්න තෝරා ගත්තේ. දැන් එය අපි අතර නැති වුණත් ඒ සම්මානය ඒ විදිහටම අපි ප්‍රධානය කරනවා. ඊට පස්සේ රවීන්ද්‍ර රන්දෙණිය, අයිරංගනී සේරසිංහ, සිරිල් වික්‍රමගේ, වික්ටර් රත්නායක, ලතා වල්පොල, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රෝහණ බැද්දගේ, මැණිකේ අත්තනායක, සූර්ය කුමාර් මුත්තලගේ, කලාවතී, ධර්මසිරි බණ්ඩාරනායක, හෙක්ටර් කුමාරසිරි, නීල් අලස්, වෛද්‍යවතී නර්තනාචාර්යතුමිය, එම්.ඩී. මහින්දපාල, ප්‍රියංකර පෙරේරා, සෝමපාල ලීලානන්ද, සිරි කහවල, සේන සමරසිංහ, ආතර් යූ අමරසේන මේ අතර ඉන්නවා.
මේක සම්මාන උලෙළක් පමණක්ද? එසේ නොවේනම් නැටුම් ගැයුම් වැයුම් සහිත ප්‍රසංගයක් ද?
අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම ප්‍රසංගයක් කරන්න තමයි. නමුත් අපි ඉතාමත් කෙටි වේලාවක් ඇතුළත මේ ප්‍රසංගය සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සඳහා සහභාගි වෙන බොහෝ දෙනෙකුට වැඩි කාලයක් වාඩිවෙලා ඉන්න අමාරුයි.
ඇත්තටම ඔබ පහුගිය කාලයේ කලා නිර්මාණ වලින් දකින්න නොලැබුණේ ඇයි?
කට හින්දා මාළුවා විතරක් නෙවෙයි මමත් නැහිලා තියෙන්නේ. පළවෙනිම කාරණය ඒක. 2007 දී විතර මම මෙගා නාට්‍යවලට විරෝධීව හඬක් නැගුවා. මම එහෙම කළේ රටේ අනාගත දරුවන් ගැන හිතලා. මම උඩුගං බලා පීනන්න ගියාට මටම තමයි අන්තිමට උඩ බලාගෙන ගල් ගහගෙන තියෙන්නේ. කොහොම නමුත් මම ටෙලි නාට්‍ය දෙකක් කරලා තිබෙනවා. ඉතින් තාම විකාශය වන මොහොතක් දන්නේ නෑ. මීට අවුරුදු දෙකකට කලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන රොහාන් මිරිහාගල්ල තමයි මේ නාට්‍යය නිෂ්පාදනය කළේ. දරුවො ඇයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ කියන තේමාවෙන්. ලංකාවේ දැනටත් තිබෙන බරපතළ ප්‍රශ්නයක්. පාතාලයට සම්බන්ධ වෙන්නේ ඇයි? කියලා. මේවායෙන් දරුවෝ ගලවා ගන්න නම් නිවැරදි සටන් කලාවක් ඉගෙන ගන්න ඕන කියන සංකල්පය දාලා එපිසෝඩ් දොළහකින් යුත් ටෙලි නාට්‍යයක් හැදුවා. ගහගන්න එක ගැන විතරක් නෙවෙයි. සමාජයට පණිවිඩයක් දෙන වැඩක්. මේක නාලිකා ඔක්කොටම වගේ දීලා තියෙනවා. නමුත් තවම තොරතුරක් නෑ. එක චැනල් එකක් නම් කිව්වා ඒගොල්ලන්ගේ විකාශය වෙන්න ටෙලි නාට්‍ය වලට මේක ගැළපෙන්නෙ නෑ කියල. මම දන්නේ නෑ ඩිරෙක්ටර්ලා ටෙලි නාට්‍ය හදන්න ඕන යන ඒවට ගැළපෙන්නද කියලා. මම දන්නේ යන ඒවට වඩා වෙනස් එකක් හැදුවොත් තමයි මාකට් වෙන්නේ කියලා. කොහොම වුණත් කලාවේ සෝදා පාළුවක් තමයි දකින්නට ලැබෙන්නේ.
ඇයි ඔබට සිනමාවේ හොඳ අවස්ථා නොලැබුණේ?
මම හොඳටම දැනුම්වත් මට එහෙම වුණේ ඇයි කියලා. මම මාර්ෂල් ආට් එක හොඳටම ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකට එන්නේ. කලින් හිටපු සටන් අධ්‍යක්ෂවරු වගේ නොවෙයි.
චරිතයක් කරන්න පුළුවන් පෙනුමකුත් තියාගෙන එන්නේ. ඒ කාලේ හිටපු ප්‍රසන්න ප්‍රියදර්ශනලා, කපිල කුමාර කාලිංගලා, ජයන්ත චන්ද්‍රසිරිලා, ඒක දැක්කා. දැකලා තමයි මගෙන් වැඩ ගත්තේ. නමුත් පස්සේ පස්සේ මම දැනගත්තා නළුවෙකුට හැකියාව විතරක් මදි කියලා. ඒකට විශේෂ සුදුසුකමක් විදිහට දීන මානසිකත්වයත්, ගැති බවක් තියෙන්න ඕන. අධ්‍යක්ෂවරයා හරි දේ කිව්වත් වැරදි දේ කිව්වත් ඒකට ඕකේ වෙන්න ඕන. එහෙම නැත්නම් නිෂ්පාදකවරුන්ට අලුත් කෙල්ලන් හඳුන්වලා දෙන්න ඕන. හවසට සෙට් වෙන්න ඕන. ඒ හැකියාවන් මට තිබුණේ නෑ.
සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මට මුලින්ම ලැබුණා. ඒකෙ නම සෙක්සි ගර්ල්. මම ඒකට ටිකක් බය වුණා. මේ චිත්‍රපටය ලැබෙන්නේ මට සුමති සම්මානය ලැබුණ අලුත. ඒ කාලේ ආචාර්ය ලෙස්ටර් පීරිස්ගේ වෑකන්ද වලව්ව චිත්‍රපටයේ රඟපාමින් කළේ. ලෙස්ටර් මහත්මයා නම් කිව්වා, සේනක කමක් නෑ අපි හැමදාම චිත්‍රපට කරන්නේ නෑනේ කියලා. ඔයාට හම්බවෙන ඕන චිත්‍රපටයක් කරන්න හැබැයි ඔයාගේ චරිතය හරියට කරන්න කියලා. ඊට පස්සේ මම ඒ චිත්‍රපටය කරන්න කැමති වුණා. නමුත් එහි කැමරාමන් දවසක් මට කතා කරලා අහනවා සේනක ඔයා අර ෆිල්ම් එකේ වැඩද? ඔයා කැමතිද ඒකට කියලා. මම ඇහුවා ඇයි කියලා. නැහැ ඒ ෆිල්ම් එකේ සරම ගලවල සෙක්ස් සීන් වගයක් තියෙනවා කිව්වා. ඒකට මම බය වුණා. මම සුනිල්සෝම පීරිස්ට බොරුවක් කියලා මට එන්න විදිහක් නෑ කිව්වා. මම මග ඇරියා. පස්සේ තමයි මට තේරුණේ ඔහුට අවශ්‍ය නළුවෙක් දාගන්න තමයි මට එහෙම කියලා තිබුණේ කියලා.
ඊට පස්සේ මට හම්බවුණා ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ කුමරි බඹසර හැඬූදා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ජානකී විජේරත්නව එදා ධර්ම ශ්‍රී වික්‍රමසිංහට හඳුන්වලා දුන්නේ මම. ඒකේ මම ප්‍රධාන චරිතය කළා. මට මතකයි අජිත් ගලප්පත්ති ලියලා තිබුණා මේ චිත්‍රපටය ජරාවක් කියලා. නමුත් සේනක විජේසිංහ මේකට මොකට සම්බන්ධ වුණාද කියලා තේරෙන්නේ නෑ. නමුත් ඔහුගේ වැඩේ හරියට කරලා තිබෙනවා කියලා. ඒක සිංහල සිනමාවේ දැකපු හොඳම අන්තිම ෆයිට් එක මේ චිත්‍රපටයේ තිබුණා කියලා.
අනික් පැත්තෙන් බැලුවහම ලෙස්ටර් මහත්මයාගේ චිත්‍රපටයක රඟපාපු කමල් ආරච්චිට වැඩ වැඩි වුණා. රන්ජන් රාමනායකට වැඩ වැඩිවුණා. නමුත් ලෙස්ටර් මහත්මයාගේ චිත්‍රපටයට දායක වුණු මට වැඩ අඩු වුණා. ඒක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. සමහර විට මට හිතෙනවා මම මේ ෆීල්ඩ් එකට එන්නේ මාර්ෂල් ආර්ට් ගුරුවරයෙක් හැටියට. එතකොට මට මගේ පෞරුෂය බලෙන් හදාගන්න ඕන නෑ. මම උත්පත්තියෙන්ම ගෙනාපු පෞරුෂයත් එක්ක මම එන්නේ. බය නැතිකම, කෙළින් කතා කිරීම ආදිය මම උප්පත්තියෙන් ගෙනාපුවා. මම නවක නළුවෙකු කියන එක ඒ කාලෙ මට අදාළම වුණේ නැහැ. ඒ නිසා මම කියන වැරදි චරිතය නිසාම මට වැඩ අඩු වෙන්න ඇති. ඒක එයාලගේ වරදක් නෙවෙයි.
ඔබේ ගුරු භූමිකාවට මොකද වෙන්නේ?
අදටත් මගේ ජීවිතේ සටන් කලාව. ඒකෙන් තමයි මම ආරක්ෂා වෙලා ඉන්නේ. මගේ දරුවෝ ටික හොඳට හැදිලා ඉන්නේ. මේවා දකිමින් තමයි මගේ දරුවෝ ලොකු වෙන්නේ. මට ඉන්නේ දූලා තුන්දෙනෙකුයි පුතෙකු යි. මගේ ගමන පටන් ගන්නේ ඉතාම අවම අඩියකින්. නුවර ඉදන් කොළඹට ඇවිත් ඉන්න තැනක් නැතුව කන්න දෙයක් නැතුව ජීවත් වෙන කෙනෙක්. මුල් කාලේ මට කමල් අද්දරආරච්චි වැන්නෝ හරියට උදව් කළා. ටෙලි ස්ටාර් බන්දුල වීරක්කොඩිලා ආදිය. කොහොම වුණත් අදටත් සේනක විජේසිංහ සටන් කලා ගුරුවරයෙක් විදිහට හඳුන්වනවාට තමයි කැමැති. ජීවිතයේ විවිධ ප්‍රශ්න ආවත් දරුවෝ ලොකු මහත් කරගෙන හොඳ දරුවන් විදිහට ඔවුන් සමාජයට දායාද කළා. දරුවෝ පිළිබඳ වෙනත් බොහෝ අයට තිබෙන ප්‍රශ්න මට නෑ.
අදටත් දරුවෝ ටික ඉන්නේ අපේ ඇස් මායිමේමයි. අනිත් කෙනා මගේ බීරිඳ. මාත් එක්ක ජීවිත කාලය පුරාම දුක සැප වළඳනවා. වෙන බිරිඳක් නම් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් මාව දාලා ගිහින්.
අලුත් කලා කටයුතු මොනවාද?
Flying bird කියලා ටෙලි නාට්‍යයක් කරලා තිබෙනවා. දැනට එපිසෝඩ් පහක් විතර කරලා තිබෙනවා. මේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේ මගේ පළවෙනි ටෙලි නාට්‍ය වූ ‘සිහින තොටුපළ’ ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතිය විදියට රඟපාපු වසන්ති ගුණරත්න. එයා මේ ටෙලිනාට්‍යයේ රංගනයටත් එකතු වුණා.
ඒ වගේම ඉදිරියේදී දැවැන්ත චිත්‍රපටයක් කරන්න පසුබිම සකසමින් ඉන්නවා. ඒක මවිසින් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ලංකාවට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට කරන්න හදන වැඩක්. ඉන්දියානු සමාගමක් සමග එකතුවෙලා කරන්න හදන වැඩක්. ඉදිරියේදී හමුවෙමු.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න