2017 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම පූරක වූයේ ඇයයි. ඇය ඉදිරිපත් කළ වැඩසටහන් අතරින් “රිවිදින අරුණැල්ල, බුක් මාර්ක්” ප්‍රේක්ෂකයා අතර අදටත් කතාබහට ලක්වන්නේය. 17 වසරක් ජාතික රූපවාහිනියේ නිවේදිකාවක ලෙස සක්‍රියව කටයුතු කිරීමට සමත්වූ ඕ නමින් පාරමී රණසිංහයි. සරසවිය වෙනුවෙන් පාරමී සිය හඬ පෞරුෂය මුදාහැරියේ මෙලෙසිනි.
මේ දිනවල ඔබේ නිර්මාණ කාර්යයන් මොනවාද….?
මේ දවස්වල ගොඩක් වැඩ නවත්වලා තියෙන්නේ. දැනට එක වැඩයි කරන්නේ. ඒ “සිත් ඇසක සක්මන” නමින් මනෝ වෛද්‍යවරයකු සමඟ කරන සාකච්ඡාවක් කරගෙන යනවා. එය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. වැඩ බොහොමයක් නවත්වලා තිබෙන එකට විශේෂ හේතුවක් නැහැ. හොඳ වැඩකට කතා කළොත් මගේ දායකත්වය මම ලබා දෙනවා
ඔබ ඉදිරිපත් කළ වැඩසටහන් අතරින් “බුක් මාර්ක්” සඳහා ඔබේ වැඩි කැමැත්තක් තිබෙනවා කියා මට සිතෙනවා ….?
ඇත්තෙන්ම, “බුක් මාර්ක්” වැඩසටහනට මම වඩාත් කැමැතියි. ඒ වැඩසටහනින් අපට පොත්පත් පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් මනා දැනුමක් ලබාගන්න පුළුවන්. ඒ වැඩසටහනේදී යම් ලේඛකයෙක් මැදිරියට ගෙන්වලා ඔහු හෝ ඇය විසින් රචිත ග්‍රන්ථයක් ගැන ශාස්ත්‍රීය ලෙස සංවාදයට ලක්කිරීමයි සිදුකරන්නේ. එහිදී කුමන හෝ සම්මානයකට ලක්වූ හෝ සම්මාන සඳහා නිර්දේශ වූ පොතක් තමයි තෝරාගනු ලබන්නේ. නවකතා, කෙටිකතා, කවි ආදී විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ ලියවුණු පොතක් තමයි “බුක් මාර්ක්” වැඩසටහනට තෝරාගන්නේ. පාඨකයෙක් ප්‍රේක්ෂකයෙක් කිරීමක් මේ තුළින් සිදුවෙනවා. “බුක් මාර්ක්” වැඩසටහන ජාතික රූපවාහිනිය ඔස්සේයි විකාශය වුණේ. “බුක් මාර්ක්” සඳහා සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක ලෙස නිර්දේශ වුණා. කලාකෘතියකින් මිනිස් සමාජය විවරණය කිරීමක්නේ සිදුවෙන්නේ. එසේම පොතකින්ද මිනිස් සමාජය, ජීවිතය පිළිබඳ විවරණයක්නේ වෙන්නේ. “බුක් මාර්ක්” තුළින් අරුමැසි, විවිධ චරිත මට මුණගැසුණා. මේ වැඩසටහන වෙනුවෙන් මම පොත් 40ක් පමණ විශේෂයෙන් කියෙව්වා. පොත් තුළින් අලුත් මිනිස්සු වගේම නව දිශානතීන් ජීවිතයට සමීප කරගන්න හැකිවුණා. පොත් කියවීමෙන් ලද අත්දැකීම් තුළින් ජීවිතයට නව පන්නරයක් ලබාගන්නත් හැකිවුණා.
ජාතික රූපවාහිනියෙන් මාධ්‍ය දිවියේ ආරම්භය සිදුවූ ආකාරය පැහැදිලි කළොත් …..?
මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න කලින් ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මගේ නිර්මාණ භූමිකාව ඇරඹෙන්නේ හිරු ගුවන්විදුලියෙන්. ඒ කාලයේ ගුවන්විදුලි නාළිකා රැසක් තිබුණේ නැහැ. නෙත් එෆ්.එම්.නාළිකාව ආරම්භයේදී එයට සම්බන්ධ වුණා. සුළු කාලයක් ස්වර්ණවාහිනියේ වැඩසටහන් කළා අවුරුද්දක් දෙකක් වගේ. ඉන්පසුවයි ජාතික රූපවාහිනියට එක්වුණේ. වසර 17ක් පමණ ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සේවය කරනවා. රවී අබේවික්‍රම නමැති නිෂ්පාදකවරයායි ජාතික රූපවාහිනියට මට කතා කළේ. “සිත් ගත් ගී” වැඩසටහනට දායක වුණ. ඉන්පසුව “නුග සෙවණ, රිවිදින අරුණැල්ල” නමැති කෘෂිකාර්මික වැඩසටහන මෙහෙයවූවා. “සුසර දැහැන සංගීතමය වැඩසටහන, නැණ මිහිර, අපි අපි, චක්‍රාවාටය” ආදී වැඩසටහන්වලට තමයි ජාතික රූපවාහිනියේ මම දායක වුණේ. ඒවගේම ජාතික රූපවාහිනියේ “නුග සෙවණ” වැඩසටහන ආරම්භයේ සිටම මෑතක් වනතුරුම සම්බන්ධ වුණා
“රිවිදින අරුණැල්ල” බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතරට ගියා නේද……?
ඔව්, ඇත්තෙන්ම “රිවිදින අරුණැල්ල”ට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අදටත් තිබෙනවා. මෙහිදී අපි ගෙවතු වගාව, කාබනික තත්ත්වයන් යටතේ කොහොමද කරන්නේ කියා සොයාගෙන ගියා. උදය මහතා තමයි මේ වැඩසටහනේදී මාත් සමඟ පැහැදිලි කිරීම් සඳහා දායක වුණේ. සිරිමලී අලහකෝන් මෙහි නිෂ්පාදකවරිය. “රිවිදින අරුණැල්ල” මගේ මාධ්‍ය දිවියේ අමතක නොවන වැඩසටහනක් කිව්වොත් හරි.වගාව පිළිබඳවයි මෙහි කතා කළේ. ගොවිතැන කිව්වම මිනිස්සුන්ට ඉතා සමීප විෂයයක්. අනාධිමත් කාලයක සිට තිබූ කෘෂි කර්මාන්තය මූලික කරගෙන මේ වැඩසටහන ප්‍රචාරය වීම නිසා එයට අප කාගේත් නැඹුරුවක් තිබෙනවා . ඒවගේම මේ “රිවිදින අරුණැල්ල” තුළිනුත් මට ජීවිතයට විශාල අත්දැකීම් රැසක්ම ලබාගන්න පුළුවන් වුණා. සුනාමි ඛේදවාචකය නිසා මානසිකව ඇදවැටීමෙන් තමන්ගේ සිත හදාගන්න යම් වගාවන්වල නිරත වූ අය අපට මෙහිදී හමුවුණා.අලුත් මිනිස්සු එහිදී මුණගැසුණා. ඔවුන් සමඟ ඔවුන්ගේ කෘෂි ජීවිතය පිළිබඳ නොයෙක් අත්දැකීම් බෙදාහදාගන්න මට මෙහිදී අවස්ථාව උදාවුණා
ඔබ ඉදිරිපත් කළ වැඩසටහන් අතර විශේෂත්වයක් තිබූ වැඩසටහනුත් ඇති….?
“බුක් මාර්ක්”වලට මම ආස කළාදෝ කියා සිතෙනවා. මොකද ඒ වැඩසටහනේදී පොත් එක්ක මට ජීවත්වෙන්න ලැබුණේ. ඒ හරහා මට ශාස්ත්‍රීය මට්ටමේ මනා දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. “රිවිදින අරුණැල්ල” ප්‍රේක්ෂකයා අතරට ගියා. සෑම වැඩසටහනක්ම පාහේ මට නව අත්දැකීමක් වුණා කිව්වොත් නිවැරදියි
ඒ වැඩසටහන් සියල්ලටම එක් එක් ආකෘති තිබුණා
නිවේදන ක්ෂේත්‍රයේ සම්මානිත වූ අවස්ථාත් නැතිවෙන්න බැහැ …..?
මානව හිමිකම් සංවිධානයකින් හොඳම නිවේදිකාව ලෙස සම්මානයට ලක්වුණා 2017දී රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම පූරක වුණේ මමයි. රාජ්‍ය, සුමති ටෙලි සම්මාන උළෙලයන්හිදී හොඳම සම්ප්‍රවේශක විදිහට නිර්දේශ වීමත් විශේෂයි.
පාසල් සමයේත් මාධ්‍ය කලාවට යොමුවුණාද …..?
මම පාසල් ගියේ වත්තල යහපත් එඬේරා කන්‍යාරාමයට. පාසල් අවධියේ විශාල ලෙස බාහිර වැඩවලට සම්බන්ධ වුණා. නාට්‍ය, කථික තරග, ගායනා තරග, නිවේදන කටයුතු ආදියට එක්වුණා. ඒවා තුළින් ජයග්‍රහණත් ලබාගන්න පුළුවන් වුණා
රූපවාහිනිය සහ ගුවන්විදුලිය යන මාධ්‍ය ද්විත්වයේ නිවේදක භූමිකාව ඔබ කෙසේද දකින්නේ …..?
අසන්නා සහ ප්‍රේක්ෂකයා කියන්නේ මාන දෙකක්.. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය කියන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් මානයන්. ශ්‍රව්‍ය මාධ්‍යයේදී ඒ කියන්නේ ගුවන්විදුලියේදී අසන්නාගේ කනට ගිහින් ඔළුවට යමක් යනවා. රූපවාහිනිය නමැති දෘශ්‍ය මාධ්‍යයේදී ප්‍රේක්ෂකයාගේ ඇහැට ගිහින් ඔළුවට යමක් යනවා. ගුවන්විදුලි මාධ්‍යයේදී බොහෝ දේ ගැන සලකා බැලෙනවා. එහිදී හඬ පෞරුෂයේ සිටම සෑම දෙයක් ගැනම අවධානය යොමුවෙනවා. රූපවාහිනියේදී හඬ සමඟ රූපයත් බලපානවා. සම්ප්‍රවේශකයෙක්, පූරකයෙක් ලෙස කැමරාව ගැන අවබෝධයක් සහිතව සිටින්න ඕන වගේම සජීවී වැඩසටහනක් නම් ඒ පිළිබඳවත් අවබෝධයක් සහිතවයි තම කාර්යය සඳහා වාඩිවෙන්න ඕන. ඒවගේම බාහිර ස්වරූපය අතින් බැලුවොත් තමන්ගේ ඇඳුම, කොණ්ඩය පවා පිළිවෙළකට තිබිය යුතුයි. කටහඬ ආදියත් ඉතා වැදගත්. විෂය කරුණු නැත්නම්, අප්ඩේට් නැත්නම්, සාමූහිකව වැඩකළ නොහැකිනම් සම්ප්‍රවේශක භූමිකාව කරගන්න බැහැ. ශ්‍රව්‍ය-දෘශ්‍ය කුමන මාධ්‍යයක හෝ නිවේදක-සම්ප්‍රේෂක භූමිකාව ප්‍රබල වෙන්නේ එකී ගුණාංගයන් සහිතවුවොත් පමණයි
අද වනවිට පවතින මාධ්‍ය කලාව ඔබ දකින්නේ කෙසේද ….?
මාධ්‍යය නමැති නිර්වචනය වෙනස්වූ කාලයක් මේ කාලය. එකල ජනමාධ්‍ය කිව්වම හැඟෙන දේ වෙනස්. ජාතික ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් තමයි එකල පැහැදිලිවම ජනමාධ්‍ය කියන්නේ .අද වනවිට නව මාධ්‍යයේ ආගමනයත් එක්ක ඒ කියන්නේ සමාජ මාධ්‍යත් සමඟ බොහෝදේ වෙනස්වීම්වලට ලක්වෙලා. මාධ්‍යය කියන්නේ මේකයි කියන දේ සිතා ගැනීමට නොහැකි ලෙස වෙනස්වෙලා. එය කලින්කලට වෙනස්වෙවී ඇවිත් අද වෙද්දි අමුතුම හැඩයකට වෙනස් වෙලා තිබෙනවා. අපි කුඩා කල තිබූ මාධ්‍ය භාවිතය නෙවෙයි වත්මන් මාධ්‍ය භාවිතය. එහිදී නිවේදන කලාව පවා පැහැදිලි වෙනසකට ලක්වෙලා තිබෙනවා. එදා නිවේදන ක්ෂේත්‍රය තුළ කතා කළ මාතෘකා අද හාත්පසින්ම වෙනස්වෙලා. භාෂා භාවිතය, ප්‍රේක්ෂක ආමන්ත්‍රණය, ඇඳුම් පැලඳුම්වලින් නිවේදකයාගේ බාහිර පෙනුම පවා වෙනසකට ලක්වෙලා. වෙනස්වීම යන්න සිදුවිය යුතුයි. එහෙත් එකී වෙනස්වීම තුළත් මාධ්‍යකරණයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය රැකගන්න අවශ්‍යයි. මාධ්‍යයේ හරපද්ධතීන් විකෘති නොවිය යුතුයි. එකල පුහුණුව වගේම වැඩසටහන්වල ප්‍රමිතිය ගැනත් හොඳීන් සලකා බැලුවා. අද වනවිට යූ ටියුබ්වලින් ඕනෑම කෙනෙකුට නිවේදකයෙක් වෙන්න පුළුවන්. ඒකයි අද නව මාධ්‍යයන්හි ස්වභාවය වෙලා තියෙන්නේ. ඔවුන්ගේ හැකියාවන් පරිපූර්ණද කියා මට කියන්න බැහැ. ප්‍රේක්ෂකයා , ශ්‍රාවකයා එය තීරණය කරාවි
හඬකැවීම් ශිල්පිනියක් වශයෙන් ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ….?
ඔව්, ජාතික රූපවාහිනියේ හඬකැවීම් ආරම්භය සිදුවුණේ ටයිටස් තොටවත්ත මහතාගෙන්. ඔහුගේ ගෝලයා තමයි අතුල රන්සිරිලාල් මහතා. මට ඔහු මුණගැසී තිබෙනවා. ඒකාලයේ හඬකැවීම් කලාව ඉතා හොඳ ප්‍රමිතියක් සහිතව සිදුවුණා කියන්න පුළුවන්. හඬකැවීම් කලාවට සම්බන්ධ දැවැන්තයන් බොහෝමයක් මට මුණගැසුණා. ඔවුන්ගේ ගුරුහරුකම් මට මගේ හඬකැවීම් කලාව පෝෂණය කරගන්න ඉවහල් වුණා. සිරස ඊඍහි විකාශය වූ “ඹ්ධචපඤ ර්‍ණට බඩඥ අඪදඨ , ඛ්චබ චදඤ ච්ධඨ, මහගෙදර ” වැනි නිර්මාණවලටත් “ස්කුබි ඩූ” චිත්‍රපට මාලාවටත් මම හඬකැවීමෙන් දායක වුණා. “ඩැස්මී”හි ප්‍රධාන චරිතයත් දෙරණ නාළිකාවේ විකාශය වූ “දුවන ළමයා, සදහටම ඔබ මගේ” හි ඉෂාණි චරිතයටත් “රාවණා”කතාවේ පෙම්වතියටත් ජාතික රූපවාහිනියේ විකාශය වූ “ඊචතඥ ර්‍ණට ව්ඪඨඩබ ඊචතඥඤ” සඳහාත් හඬකැවීමෙන් මගේ දායකත්වය ලබාදුන්නා. ඒවගේම මේකත් කියන්න ඕනේ, එකල ජාතික රූපවාහිනියේ විකාශය වූ “ඔෂින්”හි හඬකැවීමට සිටියේ හඬකැවීම් ක්ෂේත්‍රයේ දැවැන්තයන්. ඒ පිරිස ගැන අපි අසා තිබෙනවා. ඔවුන් දේවකාරියක් සේ සලකා රාජකාරිය ඉටුකළේ. පසුකාලයේ සිටි හඬකැවීම් ශිල්පීන් සමඟත් මම වැඩකළා…ඔවුන්ව මම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. අද හඬකැවීම් කියනදේත් නව මාධ්‍යය සමඟ දුරස්වෙමින් යනවා දැයි විටෙක මට සිතෙනවා.
ලේඛනයට යොමුවුණේ නැද්ද….?
මම මගේ වැඩසටහන් සඳහා අවශ්‍ය දේ ලියනවා. මගේ තෘප්තිය උදෙසා ලියනවා. නවකතා, කෙටිකතා එහෙම ලියා පළ කර නැහැ
ඉදිරි නිර්මාණ කාර්යයන් මොනවාද…..?
මම යමක් කරද්දි තෝරාබේරාගෙනයි භාරගන්නේ. සමහර වේලාවට මට උචිත දේ නොලැබුණොත් නොපෙනී සිටීම සතුටක්..
ඔබේ සැමියාද මාධ්‍යයට සම්බන්ධයි.ඔහුගෙන් ලැබෙන සහය සහ පවුලේ විස්තර කියනවානම් …..?
සැමියා සජිත් රත්නායක. ඔහු සිරස රේඩියෝ නාළිකාවේ ප්‍රධානියා ලෙස සේවය කරනවා. පුතා අර්ථ සදෙස් රත්නායක. එයා කොළඹ ආනන්ද විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබනවා. ඔහුත් කවි පොතක් එළිදැක්වුවා “මා මෙන් දහස් ගණනකි ඔබ” නමින්. එය සන්ථව ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුවේ. මගේ සැමියා මේ ක්ෂේත්‍රයේ හතර මායිම හොඳීන් හඳුනනවා. ඔහුට මාධ්‍ය කලාව ගැන පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි දෙන්නා එකම ක්ෂේත්‍රයක සිටීම එයාගේ ප්‍රගමනයටත් මගේ ප්‍රගමනයටත් හේතුවක් වුණා
මනෝජ් රුක්මල් කුමාරසිංහ