“පුතා ඔයා රටේ ඉහළම තැනකට එනවාමයි කියූ ජෝතිපාල මහත්මයා අප්පච්චිගෙ පලා මිටි ඔක්කෝම මිලදී ගත්තා…”
“අප්පච්චි කොච්චර සැරපරුෂ වුණත් ඉක්මනින් නිවෙන අප්පච්චිගෙ හිතේ ආදරණිය බව වැඩියි..”
“ජීවිතේ කිසිම දවසක සැපක් නොවින්ද…හරියකට ඉන්න තැනක්වත් නැතිව තැනින් තැනට යමින්…සීයා නැතිවුණාට පස්සෙ පවුලේ බර කරට ගත්ත අනේ අපෙ අප්පච්චිගෙ ඒ අත්දෙක ඒ තරම් රළුයි..ගොරෝසුයි…ඒත් අපෙ රත්තරන් අප්පච්චිට ජිවිතයේ ඉලක්කයක් තිබුණා ..”
මෙවර සරසවිය පාඨක ඔබට කියන්නට අපේ මවුපිය වරුණ වෙනුවෙන් කතාබහට මුල්වූ ඔහු ඔබට අමුත්තකු නොවේම යැයි හැඟේ…ඔහු එතරම් කොයිකාටත් වඩාත් ප්‍රියමනාප ය..ඔහු ඔහුට ම අනන්‍ය වූ ආශක්ත චරිතයක් යැයිද කීම අතිශයෝක්තියක් නොවේ..
සුමට මටසිළුටු ළගන්නා සුලු සිනාබර ඔහුගේ බස්වහර ආකර්ෂණීයය..සිනමාව ..රූපවාහිනිය..වේදිකාව සේම විශ්වවිද්‍යාලීය භූමිකාවේද ඔහු තබාගිය මතක සලකුණු මතුමත්තේද පවතිනු ඇති…
කෝට්ටේ.. විසූ ගිනි නිවන ආයතනයක කළ රැකියාවෙන් ඉක්බිති කුලීරථ රියදුරකු ලෙසින් ගෙදරට බත සරිකළ අර්මෝලිස් අප්පුහාමි සහ කරුණාවතී විජේසේකර මවුපිය දෙපළට පුතුන් දෙදෙනෙකි..එක් දියණියකි. අපේ කතා නායක තෙමේ මේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවාය. නොඑසේනම් ඔහු මහ එගොඩගේ ජයලාල් රෝහණය..ඊළඟට දියණිය නිලන්ති වන අතර බාලම පුතු ජනක සුසන්තය..
1964ක්වූ නොවැම්බර් මස 01 දා මෙලොව එළිය දුටු ජයලාල් රෝහණයන් පාසල් අධ්‍යාපනයට මුල්වරට පිවිසියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයටය..ඉගෙනුමට වඩාත් හපන්කම් පෑ හෙතෙම ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය.
අපේ ආදරණිය ජයලාල් රෝහණයන් පිළිබඳ සරසවිය සමඟ කතාබහ කරන්නට දැන් මා සමීපයේම පසුවන්නේ සිය පියාණන් ගත්මගම යමින් ක්ෂෙත්‍ර කිහිපයකින්ම සපන්කම් පානා විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවකද වන මහ එගොඩගේ පූජනී ජනුසිකා දියණිය ය…
ඕ සිය කටහඬ අවදි කරන්නීය..
“අපෙ අප්පච්චිගෙ හැමදේම අපට අද වගේ මතකයි..අප්පච්චි හරිම ආදරණියයි…කෙළින් කතා කරන සැරපරුෂ ගති හෙම තිබුණාට අපට සැරවැර වෙලා.. අනේ..එයාම පස්සෙ අපි එක්කල හුරතල් වෙනවා…අප්පච්චිට ජීවිතයේ ලොකුම සතුට හිමිවුණේ මම ඉපදුණු දවසෙයි කියල අප්පච්චි මටත් කියල තියෙනවා..ඒ ටික එයාගෙ දිනපොතෙත් ලියා තියෙනවා..මවුපියන් දරුවන් හදද්දි සැර වෙන්න එපායැ..අපට ආවේගයට කතාකළත් එහෙම කෑ ගැහුවෙ නැහැ වගෙ පස්සෙ හුරතල් වෙනවා..කේන්තිය සෝඩා බෝතලේ වගේ…”
” අපෙ අප්පච්චි දැනුම හොයන්නයි ..ඉගෙන ගන්නමයි ආසාකළේ…ඉගෙන ගන්නට මට මහා පුදුම උණක්නෙ තියෙන්නෙ කියල අප්පච්චිම හිනාවෙවී කියනවා…”
” අපෙ අප්පච්චි සාමාන්‍ය උපාධිය එක්ක එම්.ඒ. උපාධි තුනක් ලබා තියෙනවා.. නාට්‍ය හා රංග කලාවටත් එම්.ඒ. එකක් තියෙනවා.. මොරටුව සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාවටත් උපාධියක් ලැබුවා …බාහිර කථිකාචාර්යවරයකු හැටියටත් කටයුතු කළා ..
ඉගෙනුමට ආසාවුණාට පාඩම් කරන්න කිය කිය අප්පච්චි අපට නම් බලකරලම නැහැ…පූජනී ඔයත් හොඳට ඉගෙන ගන්න කියලනම් කියල තියෙනවා..”
දියණිය පූජනී බිමබලාගත්වනම ය..ඈ අත තම පියාගේ සේයාරු කිහිපයකි..මින්පෙරදී ඒවා දැක නැතිවාක් මෙන් ඒ පින්තූර දෙස ඕ බලා හිඳී..
අපේ සොඳුරු කතා නායක තෙමේ ගෙදර ඉන්නා දවසක නම් නිතර ඔහු අත රැඳෙන්නේ කොස්සය..
“අප්පච්චිට ඕන නිතර ගේ අතුගාන්න..”
අලුයම හතරට පමණ පුරුද්දට මෙන් අවදිවන ඔහුගේ පළමු කාර්යය නම් පිරිත් හා ශ්ලෝක දැමීමය. ඒ සමගම හේ බාත්රූම් එක සුද්ධපවිත්‍ර කර…නිවසම පිරිසුදු කරන්නේය..අනතුරුව ආලින්දයේ සිට බාත්රූම් එක දක්වා සුවඳැති හඳුන්කූරු දහයක් පමණ තැන තැන දල්වා තබන්නේය..
උදෑසනින් විවර කළ කවුළු පියන්පත් සවස් වනවිට වැසිය යුතුය..දරුවන් වේලාවට අවදි විය යුතුය..තවත් ටිකක් නිදන්ට අවශ්‍ය නම් එයට ඉල්ලීමක් කළ යුතුය..තමන් සතුව ඇති සෑම ලියවිල්ලකම එහි කොපියක් ළඟ තබා සිටීම අනිවාර්ය වන අතර එයම දරුවන්ටත් කීයේය.බැණුම් අහන්න නැතිවෙන්න වැඩ කරන්න…ඒ ඔහු දරුවන් ට කියාදුන් තවත් දෙයකි.
” අපි තවමත් අපෙ අප්පච්චි කියල දුන්න පිළිවෙළට අනුකූලවමයි කරන්න හුරු වෙලා තියෙන්නෙ..”
පූජනී කියන්නීය.
එකදිගට මා සමග කතාබස් කළ දියණිය පූජනී දැන් ගොළුවතිනි…ඈ මට රහසේ නෙත පිරි කඳුළක් පිටඅත්ලෙන් පිසදා ගන්නීය…
“අපෙ රත්තරන් අප්පච්චි ජිවිත කාලෙ වැඩිහරියක් සැපක් වින්ද කෙනෙක් නෙවි..සීයා නැතිවුණේ අප්පච්චිට වයස අවුරුදු දහතුනේදි විතරලු..අගහිඟකම් එමටයිලු…අප්පච්චිගෙ අම්මා …ඒ කීවෙ අපෙ අත්තම්මා වෙලට ගිහින් පලා නෙළාගෙන ඇවිත් මිටි බැඳල අප්පච්චිට දෙනවලු..අප්පච්චි එයාගෙ නංගි එක්ක ගිහින් මහ පාර අයිනෙ තියන් විකුණනවලු…”
මෙලෙසින් අපේ කතා නායකයා මහපාර අද්දර පලා මිටි විකුණමින් සිටියදී එතැනටම පැමිණ නතරකළේ මෝටර් රථයකි. ඉන් බැසගත් අව්කණ්ණාඩි පැලැඳී දේහධාරී තැනැත්තකු අපේ කතා නායක කොලුවාගේ හිස අත ගා වං හුං විමසුවේය..කොලුවාද දන්නා තරමින් තම කතාවද කීයේය..තවත් ඔහුගේ හිස අත ගෑ හේ “ඔයා හොඳට ඉගෙන ගන්න පුතේ…ඔයා කවදාහරි මේ රටේ ඉහළම තැනකට එනවා ” යනුවෙන් අනාවැකියක්ද පළකැරෙමින් මමත් පුතාට ආශීර්වාද කරනවා ” යැයි පවසා තම සාක්කුවෙන් ගත් මෝට්ටු කිහිපයක් එහෙමම කොලුවා අතට දී මිලදීගත් පලාමිටි ගොඩම තම රියට දමාගත්තේය…වාහනයට නගින්නට පෙරද කොලුවාගේ හිස නැවතත් ආදරයෙන් අත ගෑ හේ රියට නැගී යන්නට ගියේය..
” ඒ වෙන කවුරුවත් නෙමෙයි…රටම දන්න එච්.ආර්. ජෝතිපාල මහත්තයා ..!”
දියණිය පූජනී කියන්නී පිරුණු සිනාවකිනි.
තාත්තා අහිමි වූදා පටන් පවුලේ අගහිඟකම් ඔඩු දුවද්දී අපේ කතා නායක තෙමේ ගොඩනැගිලි හදන තැන්වලට යමින් එහි මේසන් බාස්වරුන්ගේ ගෝලයා වූයේය..සිමෙන්ති ඇනුවේය..වැලි ඇද්දේය..ගල් ඇද්දේය.. ඇතැම් දින බැණුම්ද අසමින් හේ වැඩ කළේය..වැටුප රුපියල් විසිපහකි.. එය ඔහුට සම්පතකි..මේ කටුක මඟ ඔස්සේද ගියද ඔහු ඉගෙනුම නම් අත්නොහළේය..තව තවත් දැනුම සෙව්වේය…පොතපත මත්තේම හුන්නේය..ඉන් ඉදිරියට ම ගිය හේ විභාගාදියෙන්ද සම්මානිතව ප්‍රසිද්ධ වේදිකාවට ද පිවිසෙමින් නාට්‍ය රංගනයෙහිද කැපී පෙනුණේය .
මම දියණිය පූජනී දෙස බලමි.
” අප්පච්චි පාසලේ හත්වන පන්තියෙදි පන්ති බාර ටීචර්ගෙ උවමනාවට නාට්‍යයක ගොවි චරිතයකට අරන් තියෙනවා…පහුකාලෙකත් අප්පච්චි ඒ ටීචර්ව ගෞරවයෙන් සිහි කරනවා ..ආ…අපෙ අප්පච්චිට ගෙදර ලොකු පුස්තකාලයක් තියෙනවනෙ…අප්පච්චි කියවල නැත්තෙ අල් කුරානයයි…අභිධර්මයයි විතරයි…අලුත් අලුත් දේ ඉගෙන ගන්න එක අප්පච්චිට වගේම මටත් තියෙන උණක්…මොනව හරි දෙයක් ගැන සොයද්දී ” පූජි මේක ඔයා දන්නවද කියල විමසන පුරුද්දක් අප්පච්චිට තිබුණා..”
සංගීතයටද මහත්සේ ඇලුම් පානා ජයලාල් රෝහණයන් දැන් රටම දන්නා පිළිගත් චරිතයකි. වෘත්තීයෙන් වරෙක ඔහු පාසල් ගුරුවරයෙකි..විශ්වවිද්‍යාලයේ සහ නන්තැන්හි වියත් දේශකයෙකි.. වරෙක කථිකාචාර්යවරයෙකි. ප්‍රකට වේදිකාවට බට සුවිශේෂී රංගවේදියෙකි….ගුවන් විදුලියේහි හඬකැවීම් ශිල්පියෙකි..රූපවාහිනීයේ දොරමඩලාව..ටෙලිවිෂන් ඉස්කෝලේ ආදී වැඩසටහන්වලදී ඉදිරියෙන්ම සිටි කථිකයෙකි..නාට්‍ය..අංග රචනය වැඩමුළු ආදියෙහි ප්‍රකට ගුරුවරයෙකි…
” අප්පච්චිට හරිහමන් නිවාඩුවක් කියල දෙයක් ලැබුණෙ කොරෝනා කාලයෙදි තමයි…අනේ එතකොට ගෙදර හරිම විමෝදයි..සංගීතයට නම් එයාගෙ මහපුදුම ආසාවක් තිබුනෙ”
හින්දි ගීතයට නොතිත් ඇල්මෙන් පසුවූ අපේ කතා නායක තෙමේ ගෙදර හැමෝටම නරඹන්නට පොඩිපහේ ප්‍රොජෙක්ටරයක් ගෙනාවේය..රාත්‍රි අහරින් පසුව සියල්ලෝ හින්දි චිත්‍රපට නරඹති…පවුලේ අය හින්දි බස නොදන්නා නිසාදෝ චිත්‍රපටයේ පියවරින් පියවර ඔහු එහි තේරුම් කියා දෙන්නේය.
තම දියණිය පූජනී පිළිබඳ මහත් බලාපොරොත්තු තබාහුන් හෙතෙම ඇය යන මාවත දෙස සතුටින් බලාසිටියා පමණක්ම නොව ඈ සන්තකයට ඇවැසි දේ නොපමාවම රැගෙන දුන්නේය..පසුකලෙක එතෙර රැකියාවකට ගිය පුත් නිසල් ආදිත්‍යයටද තිබුණේ නොදෙවැනි ආදරයකි..දැන් අපේ කථානායක එක්තරා හිතවතකුගේ නිවසකට යන්නේය..එන්නේය…ඔහු හැමදාමත් සැරසී එන එකම ටී ෂර්ට් එකත් එකම කලිසමත් දැක එහි හුන් රුවැති යුවතියක් අනේ පව් කියා සිතී එය සෝදා දුන්නේලු. ඔහු මේ රුවැත්තිය හා කුලුපග බව කෙතරම් ද යත් ඔහු ඇය නාට්‍ය නැරඹීමටද කැඳවා යන්නේය..තම මාමාගේ හොඳම යහළුවකු නිසාම මුලදී ඔහුට මාමේ යැයි ඇමතූ ඕ තොමෝ පසුව එය නිවැරදි කොට අයියේ කියා අමතනවිටදී නොදැනීම ඇයත් ඔහුත් එකිනෙකාට ආදරය කරන්නට වී වසර දහයකට ද ආසන්න වී තිබිණි.
අපේ ආදරණිය කථානායක ජයලාල් රෝහණයන්ගේ ජීවන සහකාරිය වූයේ ද ඇයමය..
දැනටත් කැප්පෙටිපොල මහා විද්‍යාලයේ නැටුම් හා රංග කලාව පිළිබඳ ආචාරිණි ලෙසින් සේවය කරනා ඇය පී.පී.ඩී. මේනකා ප්‍රියානි මහත්මියය…
” අපෙ අම්මාත් අප්පච්චි වගේම වැඩ කටයුතුවලදී ජවසම්පන්නයි…එතුමියත් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන්නියක්.. අම්මාගෙයි අප්පච්චිගෙයි හමුවීමත් ඇත්තටම හරිම හොඳයි.”
තම දියණිය පූජනී සංගීත අංශයෙන් ඉදිරියටම යනවාට හිත්පුරා සතුටු වූ හේ ඇයට වාද්‍ය භාණ්ඩ රැසක්ම රැගෙන දුන්නේය.. පාසලේ උසස් පෙළ අවධියේදී ම පූජනී සංගීත විශාරද විභාගයෙන් වාද්‍ය විශාරද සමත්ව ඕ මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා විෂයද ප්‍රගුණ කරමින් හින්දි විශාරද පරීක්ෂණය සඳහා සූදානම්ව සිටින්නීය..
වයලීනය වාදනයෙහි ඉහළින්ම සමත් දියණිය බණ්ඩාරනායක සමරු රඟහලේ වේදිකාව මත වයලීන වාදනය කරනා අපූරුව දැක හේ පිනාගිය සතුටින් අත් වැනුවේය..
තම ගැයුම් සිරිත සිරිමත් කරනු රිසියෙන් ගී ගයන අපේ කතා නායකයා ගැයුම නවතා දියණියට කියන්නේ
“පූජනී මට මේ සින්දුවෙ පිච් එක අල්ලලා දෙන්නකෝ ..මං හොඳද ගායනා කරනවා.. ” අසන්නේය…දියණිය බිම බලා සිනාසෙන්නීය.
ටෙලි නාට්‍යය රංගනයටද පිවිසි ඔහු ඒ අතුරින් ඔහු රඟපෑ “ඉසුරු යෝගය” හි මුතුමිණ නම් ඡ්‍යෝතිෂ්‍යට වහල්කම් පෑ අපූර්ව චරිත නිරූපණය නිසාම හේ අතිමහත් ජනාදරයකට පාත්‍රවූයේය.. ඉන්පසුව හෙතෙම ඡ්‍යෝතිෂ්‍ය …හස්ත රේඛා ශාස්ත්‍රයද හදාරන්නට වූයේය..කලෙකදී අපේ ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රකට නිවෙිදිකා රසාදරී පීරිස් මහත්මියගේ පියාණන් වෙතින්ද එම ශාස්ත්‍රය හැදෑරූ බවද අපට මතකය.
දිනෙක ගෙමිදුලට පැමිණි කුඩා දරුවකු පලා මිටි කිහිපයක් රැගෙනවිත් ඔහුගේ බිරිඳට පෑවේය…ඇය ඒවා මිලදීගෙන ගෙතුළට ගියාය..අපේ ආදරණිය ජයලාල් හිඳසිටි අසුනේම දෑතින් තම මුහුණ වසා කුඩා දරුවකු මෙන් හඬන්නට වූයේය..බිරිඳ වහා පැමිණ ආදරණිය සැමියා අස්වසන්නට වී…
“මං දුක්විඳපු මගෙ ළමා කාලය මතක් වුණා මේනු…”
ඕ තොමෝ ඔහුට සැනසුම් බස් කියන්නීය.
“අනේ ඉතින්..නවත්තන්නම බැරිවුණානෙ අප්පච්චිගෙ දුම්පානය.. අපට හොරෙන් දුම් බොනවා..මං එයා ළඟට ගිහින් අප්පච්චි දුම් බොනව නේද කියා අහද්දි ” නැහැ පූජනී..මං දුම් බිව්වෙ නැහැ” කියනවා…. ඒ වුණාට පස්සට කරන් හංගන් ඉන්න අතින් මෙන්න දුම් යනවා…”
පූජනීගේ හඬ බිඳුණු ස්වරයක්සේ මට ඇසේ..ඇය දිගු සුසුමක් හෙළන්නීය..ඈ දෑස රත්පැහැගැන්වී පෙනේ..
” ඔව්..අප්පච්චි යාළු මිත්‍රයො එක්කල නම් මදුවිතට එකතු වෙනවා…අප්පච්චි රට රටවල් ගානෙ යනවනෙ..වටිනා මත්පැන් බෝතල් හෙම ගෙනාවට යාලුවන්ට දෙනව මිසක් කවදාවත් අප්පච්චි ගෙදර තනිවම බොන්නෙ නැහැ..”
දැන් ස්වාධීන රූපවාහිනීයේ ප්‍රකට දොරමඩලාව ..ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩ සටහන්වලදී ඔහු සන්තක දැනුම් සම්භාරය රටටම තිළිණ කරන්නේය..
” ඒ වැඩසටහන්වලදි අප්පච්චි කලින්ම මාතෘකාව අහගන්නවා. අපි හිතමු ඉරිසියාව කියලා.කඩදාසියක් එක්ක පෑනක් අරන් අප්පච්චි කුස්සියට ඇවිත් ඉරිසියාව ගැන ඔයා දන්න දේ මොනවද මේනු කියල අම්මාගෙන් අහනවා..ලියා ගන්නවා. පස්සෙ මගෙනුත් අහනවා. අප්පච්චි ළඟ තියෙන ඒවත් එකතු කරල ටී.වී වැඩ සටහනේදි එකේදී කියනවා..”
පූජනී කියන්නීය.
කිසිම ගමනකදී තම ඇඳුම මැදගෙන යෑමේ සිරිතක් නැති හෙතෙම පූජනී ඇඳුම් මදිනවිට නම් “ඔයාල මාව ලස්සනට එළියට යවන්ඩකෝ” යි සිනාසී කියමින් තමන්ගේ ඇඳුම්ද පූජනීට ගෙනැවිත් දෙන්නේය..
“තැපැල් පියුන් ආවත් එයාව වාඩිකරවල අප්පච්චි කෝපි එකක් හරි දීලමයි පිටත් කරවන්නෙ..අප්පච්චිට දැනුණොත් කෙනෙක් ඉන්නෙ ගැටලුවක කියලා උදව් ඉල්ලන්නත් කලින් උදව් කරන සිරිත නම් නිතරම තිබුණා ..”
එය කීවේද පූජනීය.
අපේ ආදරණිය ජයලාල් රෝහණයන් දැන් දැන් රෝගාතුරවය…හේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයකින් පෙළෙන්නට වී..නිසි ප්‍රතිකාර ලබා ඉන් සුවය ලැබ සුපුරුදු චර්යාවෙහි යෙදුණද තවත් වසර කිහිපයකින් හෙතෙම නැවතත් රෝගාතුර වූයේය.
” අපෙ අප්පච්චිගෙ හාර්ට් එක දුර්වල වෙලා කියා වෛද්‍යවරු කිව්වෙ..හුස්ම අපහසුවත් ආවා…එදා උදෙත් අමාරුව වැඩිවුණා.. රෝහලට එක්ක යන්න හැදුවාම අපට කිව්ව..” අද මළත් අද මගේ ලෙක්චර් ටික ඉවර කරලයි මං මැරෙන්නෙ කියල අප්පච්චි තරහින් වගෙ කිව්වා..අප්පච්චි රෝහලට යන්න බයයි. ඉන්ජෙක්ෂන්වලට බයයි..බෙහෙත් බොන්න බයයි.. මං අප්පච්චි ළඟම හිටියා..මගෙන් ඇස්ප්‍රින් පෙත්තක් ඉල්ලුවා..මම දුන්නා..මෙහෙමත් අප්පච්චි කිව්වා..”
” පුතේ..මගෙ පුතේ…මට ඉඳගෙන ඉන්නත් බැහැ..නිදාගෙන ඉන්නත් බැහැ..හිටගෙන ඉන්නත් බැහැ..”
කියූ ඔහු දියණියගේ උකුළ මත හිස තබා ගත්තේය..ඔහු ගත සීතලය..පූජනී ඔහු අමාරුවෙන් වත්තම් කරගනිමින් ඇඳමත දිගාකරවූවාය..
“මට..මට තව විනාඩියක් දෙන්ඩකො ”
රෝහලට ඉක්මනින් යමු යැයි කී හැමවිටකදීම ඒ වචන ටිකම ඔහු කියන්නේ රෝහලට යාමට ඇති තැතිගැන්මෙනි.
” අනේ අපෙ අප්පච්චි ඒ වෙලාවෙ මං දිහා අසරණව වගෙ බලාගෙන හිටිය හැටි මට දැනුත් මැවී පේනවා…අප්පච්චිගෙ ඒ බැල්මෙ තිබුණෙ අම්මාවයි මල්ලිවයි බලාගන්න දුවේ කියන ඉල්ලීමක්මයි කියල මට හොඳටෝම විශ්වාසයි..මට ඒ වෙලාවෙ අප්පච්චිට මුකුත් ම කියාගන්න බැරිව ගියා..”
පූජනීගේ දෑසේ තෙතමනය මට පෙනෙයි.
” ජයලාල් රෝහණ කියන්නෙ රටට කලාතුරෙකින් පහළ වන කලාකරුවෙක්..ඔහු සතුව තිබූ කලාව පිළිබඳ පරාසයන් හඳුනාගෙන වසර දෙකහමාරකටත් වැඩියි..රංගන ශිල්පියෙක් හැටියට ඔහු ගැන වඩාත් රට හඳුනන්නේ..ඔහුගේ සබයේ විදුලි විලක්කුව ..රංගාලෝකය ගැන ලියූ පොත ස්වාධින රූපවාහිනී සේවයේ මගේ වීමංසා වැඩ සටහනේදි මම හඳුන්වා දුන්නා..අන්න එදා ඔහු කතාබහ කළ ස්වරූපය දෙස බලාහුන් මම ඔහුව දොරමඬලාවට එකතු කරගත්තා..
ඔහු සැබැවින්ම ශාස්ත්‍රීය විද්වතෙක්..හැකියාවන් ගොඩක්ම තිබුණා. ටෙලිවිෂන් ඉස්කෝලෙ මගේ වැඩසටහනට ඔහුගේ දායකත්වය ලබාගත්තා.. ඔහුගේ ප්‍රහසනාත්මක ගුණය නම් හරිම වටිනවා..සහෝදරයෙක් වගේ අප සමඟ එකට වැඩ කළා…ආකර්ෂණීය විදිහට දරුවන්ටත් දැනෙන විදිහට කතා කිරීමේ ගුණය ඉහළින්ම තිබුණා ..දැනුම ප්‍රකාශනය තමන්ටම අනන්‍ය වූ හැකියාවන් ඇති අය විරලයි. කොටින්ම ගැඹුරු දෙයක් වුවත් ඉතාමත් සරලව ප්‍රේක්ෂකයාට කියාදෙන ගුණය විශිෂ්ටයි…”යැයි අපේ කතා නායකයා පිළිබඳ එසේ කීවේ ස්වාධීන රූපවාහිනී සේවයේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චිය..
තවමත් පූජනී දියණිය අප්පච්චි දෙස බලාගත්වනම ය.. අප්පච්චි කිසිත් කතාවක් නැති..
පූජනී එක්වරම “අනේ අප්පච්චි” කියා කෑ ගසන්නීය…ජයලාල් රෝහණයන සිහිවිසඥව ඔහු හිස පහළට කඩා වැටිණි.
රාගම රෝහලට යන අතරමඟදී… මෙතුවක් තමන් හා පෙමැති කාහටවත් කිසිවක් නොකියාම අපේ සොඳුරු කතා නායකයා යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේය…ඒ වනවිට වයසින් ඔහු සිටියේ 57 වන වියේය…
රටක් ආදරය කළ ඒ සොඳුරු රසවතා නික්ම යන්නට වූයේ 2021 ක්වූ පෙබරවාරි මස 11 වනදාය…
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ