ඉකුත්දා වේදිකාගත වුණු ‘තකදොම්බේ’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු වන හෙක්ටර් කුමාරසිරි සිය නිර්මාණ කලා දිවිය පිළිබඳ කතා කිරීමට ඉකුත්දා සරසවිය හා සම්මුඛ වූයේ මෙලෙසිනි.
ඔබේ නවතම වේදිකා නාට්‍යය ඉකුත්දා වේදිකාගත වුණා නේද……? “තකදොම්බේ” තමයි එම වේදිකා නාට්‍යයේ නම. එය පසුගිය 13වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය හෙවත් නාඩා ආයතනයේදී වේදිකාගත වුණා. මම මෙහි අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වෙනවා. සනත් විමලසිරි , සංජීව දිසානායක, ශාලිකා එදිරිසිංහ ආදීන් රැසක් මෙයට රංගනයෙන් දායකවෙනවා.
“තකදොම්බේ” නිර්මාණයේ නිර්මාණ සංකල්පය පැහැදිලි කළොත්….?
නීතිගරුක, යුක්තිසහගත, සාධාරණ සමාජයක අවශ්‍යතාව මේ රටට තිබෙනවා. මේ රට විසින් එහෙම සමාජයක් ඉල්ලා සිටියා.එහෙම සමාජයක් වර්තමානයේ නැහැ. දැන් තියෙන්නේ දූෂිත සමාජයක්. මේ සමාජය තුළ මනුස්සයෙක් ලෙස සිතන්න පුරුදු කරලා, මිනිසත්කමේ වටිනාකම පෙන්වලා යහපත් රටක් ගොඩනැඟීමයි මේ “තකදොම්බේ” වේදිකා නාට්‍යයේ අරමුණ වෙන්නේ. අද වෙද්දි මිනිසා තුළින් මිනිසා පලාගිහින්. මිනිසා විසින්ම තමන් තුළ සිටි මිනිසාව පලවාහැර තිබෙනවා. මේ පලවාගිය සහ පලවාහැරිය ඛේදවාචකය මේ “තකදොම්බේ” තුළින් කතා කෙරෙනවා. ඒ පලවා හැරි මිනිසාව අපි නැවත ගෙන්වාගන්න ඕන. දැන් තියෙන්නේ මස් සහ කටු ගොඩක්.එහෙම දෙයකට මිනිසා කියන්න බැහැ. මිනිසා පලාගියේ ඇයි..? මිනිසාව පලාහැරියේ ඇයි කියන දේ මෙම වේදිකා නාට්‍යය තුළින් කතාවෙනවා. මෙකී ඛේදවාචකය කතා කරන අතරේ නැවත මිනිසාව ගෙන්වාගැනීමේ දැවැන්ත ක්‍රියාවලියක මෙම වේදිකා නාට්‍යය නිරතවෙනවා
එසේ පලාගිය මිනිසාව ගෙන්වාගන්න ක්‍රමවේදයක් මේ නාට්‍යය තුළිනුත් කියවෙනවා ….?
ඔව්. එකී මිනිසා ගෙන්වාගන්නේ කෙසේද…? සමාජවාදයෙන්ද……? ප්‍රජාතන්ත්‍රවාදයෙන්ද….? ධනවාදයෙන්ද…….? ලිබරල්වාදයෙන්ද…..? බුදුදහමෙන්ද……? කතෝලික ආගමෙන්ද…..?යන අන්තර්ගතය මෙහි සාකච්ඡා කෙරෙනවා .මෙකී සංකල්පය “තකදොම්බේ” තුළින් කතා කෙරෙනවා වගේම ඒ පිළිබඳ වඩාත්ම කතා කෙරෙනවා “ආණ්ඩු” වේදිකා නාට්‍යයේදී. එකී නිර්මාණය ඉදිරියේදී වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා
“තකදොම්බේ” නිෂ්පාදන අර්ථපතීත්වය ගැන කතා කළොත් …? ඔව්, මේක වඩාත්ම වැදගත් ප්‍රශ්නයක්. නිෂ්පාදකවරයෙක් නැත්නම් නාට්‍යයක් වේදිකාගත කරන්න බැහැ. මෙහි නිෂ්පාදකවරුන් 04දෙනෙක් දායක වෙනවා. නිෂ්පාදන අර්ථපතීත්වයෙන් මූලික වෙන්නේ නොයෙල් ජයසුන්දරයි. ඔහු මගේ කලින් වේදිකා නාට්‍යයක් වූ “දෙව්ලොව දෝණි” වේදිකා නාට්‍යයේත් නිෂ්පාදකවරයා. ඔහු මාත් සමඟ චිත්‍රපටයක් කරන්නත් සූදානමින් ඉන්නේ. එරංග වීරරත්න මෙහි සහාය නිෂ්පාදකවරයෙක්. ඔහුත් මගේ චිත්‍රපටයකට නිෂ්පාදන දායකත්වය සපයන්න සූදානමින් ඉන්නේ..අනෙක් නිෂ්පාදිකාව ස්වර්ණා වික්‍රමසිංහ. ඇයත් ඉහත කී කාරණාවලට අදාළයි. අනෙක් නිෂ්පාදිකාව ශෂිනි වෙත්තසිංහ.
“තකදොම්බේ” සඳහා දායක වෙන ශිල්පීන් ගැන මතක් කළොත් ….? “තකදොම්බේ” වේශ නිරූපණයෙන් වසන්ත විට්ටච්චි දායකවෙනවා. ඔහු මේ දවස්වල අසනීප තත්ත්වයෙන් ඉන්නේ… “තකදොම්බේ” චරිතයත් ඔහුමයි රඟපාන්න හිටියේ. දැන් ඒ වෙනුවට සංජීව දිසානායක එකී චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව සනත් විමලසිරි, ශිරාණි ගමගේ, ශාලිකා එදිරිසිංහ, චරිත් ඒකනායක, දයානන්ද හේවගේ, දමයන්ත පෙරේරා, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත්, ජයතිලක ඇඹුල්දෙණිය වැනි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
ඔබේ වේදිකා නාට්‍ය අතරින් ඉතා ජනප්‍රිය වූ “දෙව්ලොව දෝණි” ගැනත් කතා කරමු….?
“දෙව්ලොව දෝණි”ට වසර 50ක පමණ ඉතිහාසයක් තිබෙනවා .”දෙව්ලොව දෝණි” මුලින්ම වේදිකාවට ගොඩවෙන්නේ “සතරවරම් රජ දරුවෝ” නමින් 1974දී. පළමු නිර්මාණයට රංගනයෙන් සොමී රත්නායක, ජයසේකර අපොන්සු, ශ්‍රියාණි ෆොන්සේකා, ප්‍රේමසිරි කල්පගේ, රංජිත් සුරංග, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, විමල් වික්‍රමාරච්චි, ප්‍රසන්න ෆොන්සේකා වැනි පිරිස දායක වුණා. මෙහි දෙවැනි නිෂ්පාදනය 1984දී ඒ කියන්නේ පළමු නිෂ්පාදනයෙන් වසර 10කට පසු වේදිකාගත වුණා. එහිදී “සතරවරම් රජදරුවෝ”, “දෙව්ලොව දෝණි” නමින් වේදිකාවට එනවා. මේ නම යෙදුවේ විශිෂ්ට නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ශූරීන්. එම දෙවැනි නිෂ්පාදනයට මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, අජිත් ජිනදාස, ග්‍රැන්විල් රොඩ්‍රිගෝ, ප්‍රසන්න ෆොන්සේකා ආදීන් රංගනයෙන් එක්වුණා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ ඔස්ටින් මුණසිංහ. “දෙව්ලොව දෝණි”තුන්වැනි නිෂ්පාදනය 1990 දශකයේ වේදිකාවට ආවේ. වසර හරියටම මතක නැහැ. ප්‍රසන්න ෆොන්සේකා තුන්වැනි නිෂ්පාදනයේත් රඟපෑවා. ඉන්දියන් ජාතික ආචාර්ය අංජලී මිෂ්රා නමැති සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරිය එයට රංගනයෙන් දායක වුණා. මෙහි නිෂ්පාදන අර්ථපතීත්වය දැරුවේ සුනේත්‍රා ඩී. සිල්වා. අංජලී මිෂ්රාට පසුව මගේ බිරිය ශිරාණි කුමාරසිරි ප්‍රධාන චරිතය රඟපෑවා. ඉන්පසුව මර්සි එදිරිසිංහ නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායකවෙනවා , “රෝසා” නමැති ප්‍රධාන චරිතයයි ඇය රඟපෑවේ. ඒවගේම සරත් පීරිසුත් “දෙව්ලොව දෝණි” නිෂ්පාදන කිහිපයකටම දායකවුණා…
“දෙව්ලොව දෝණි” නව නිර්මාණය ගැන කීවොත් ….?
ඔව්. මේ නව නිර්මාණය ආරම්භ වුණේ 2022දී. මෙහි නිෂ්පාදන අර්ථපතීත්වය නොයෙල් ජයසුන්දරගෙන්. මෙහි අමිත්ත වීරසිංහ, රොඩ්නි වර්ණකුල, ජයනාත් වරකාගොඩ, දමයන්ත පෙරේරා, ඉෂාර වික්‍රමසිංහ, සංජය මුරමුදලි, හිරුණි රණසිංහ ආදීන් නව නිෂ්පාදනයට එකතුවෙනවා. මෙහි “රෝසා” ලෙස ප්‍රධාන චරිතය රඟපාන්නේ හිරුණි රණසිංහයි.. සංජය මුරමුදලි රෝසාගේ සැමියා ලෙස රඟපානවා. මේ සියලුදෙනාම අති දක්ෂයෝ. “දෙව්ලොව දෝණි” මියුසිකල් කොමඩි පොලිටික්ස් ප්ලේ එකක්. මෙහි සංගීත අධ්‍යක්ෂණය මෙහෙවවන්නේ කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන්. දැනට මෙහි දර්ශනවාර 4000කට ආසන්න ප්‍රමාණයක් වේදිකාගත වී තිබෙනවා
අද කලාව පිළිබඳ ඔබේ දෘෂ්ටිය මොනවගේද ….?
ප්‍රශ්නය තිබෙන්නේ වේදිකා නාට්‍යවල පමණක් නොවෙයි. මුළු රටම ඛේදවාචකයක ඉන්නේ. අපි ඉන්නේ බංකොලොත් රාජ්‍යයක. යකඩ ගිනිගත් තැනක පුළුන් ඉතිරිවේද කියා අහනවනේ…ඒවයේ රටක් ගිනිගන්නා තැනක අන් සෑම ක්ෂේත්‍රයක්ම ගිනි ගන්නවා. මා මුලින් කියූ විදිහට මිනිසා තුළින් මිනිසා පලාගිහින්. ආත්මාර්ථය, ඊර්ෂියාව, කුහකකම ඉහවහගිය සමාජයක අපි ඉන්නේ. මේ සමාජය සුවපත් කිරීමයි අවශ්‍ය වෙන්නේ. එය දේශපාලනික කාරණාවක්. මිනිසා ආගම් අදහනවා, ඒත් ඒ තුළ මිනිසා නැහැ. තමන් වන්දනාමාන කරන දේ තුළ මිනිසා නැහැ. මෙතැන තිබෙන්නේ රැවටීමක්.කලාව කියන්නේ අද අධිවේගී තරගයක දුවන මිනිස්සුන්ට මොහොතක් නතරවී බලන්න තිබෙන දෙයක්. මේ කලාව ඉතා ප්‍රශස්ත විය යුතුයි. එය ප්‍රඥාසම්පන්න විය යුතුයි.. ඇමෙරිකානු ජාතික කවියකු වන රොබට් ෆොස්ට් කියන පරිදි කලාව ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙළවර විය යුතුයි. මිනිසා තුළ මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීමක් ඇතිවෙන්න ඕන…එදත් අදත් අවරගණයේ වේදිකා නිර්මාණ බිහිවුණා..එයත් දේශපාලනික ප්‍රශ්නයක්..ඒ අවරගණයේ නිර්මාණ අතරට ප්‍රශ්සත නිර්මාණත් බිහිවෙනවා. සමහරු කරන්න දෙයක් නැතිව නාට්‍ය කලාවට එනවා. නමුත් ඔවුන් නාට්‍ය කියන්නේ, කලාව කියන්නේ මොකද්ද කියා දන්නේ නැහැ. ඔවුන්ට මූලාශ්‍ර නැහැ . කලාකරුවාගේ පරමාර්ථ දන්නේ නැහැ. සමහරු තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න, ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් ප්‍රතිරූපයක් ගොඩනඟාගන්න එන්න පුළුවන්. එහෙත් කලාකරුවා යනු විශිෂ්ටතම පුද්ගලයෙක්. විදෙස් ලේඛකයන් ලෙස ලියෝ තෝල්ස්තෝයි නමැති අග්‍රගණ්‍ය ලේඛකයා ගත්තොත්, දොස්තොවුස්කි ගත්තොත් ඔවුන් නිතරම කතා කළේ මිනිස් අධ්‍යාත්මය වර්ධනය කර පෝෂණය කිරීම ගැනයි..අපේ රටේ නාට්‍ය කලාව ගත්තත් එහිදී ශේක්ෂ්පියර් ගත්තත් ඔහුගේ නාට්‍ය අදත් මුළු ලෝකයේම වේදිකාගත වෙනවා. බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් මේ මොහොතේත් වේදිකාගත වෙන්න පුළුවන්. ඒවාගේ කතාකරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳව, සමාජ ප්‍රගමනය පිළිබඳ, සමාජය වෙනස් කිරීම පිළිබඳවයි…. ශේකෂ්පියර්ගේ නාට්‍ය අපේ ජාතක කතා පොත් වගේ..ඔහුගේ නාට්‍යවල මිනිස් සිත ක්‍රියාකරන ආකාරය ගැන කියවෙන්නේ. මිනිස් චින්ත සන්තානය ක්‍රියාකරන අයුරු ඒවගේ පෙන්වනවා. බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල තිබෙන්නේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතිය ආදිය පිළිබඳ අන්තර්ගතය.. දොස්තොවුස්කි කියනවා මනුෂ්‍යත්වයේ මහා මන්දිරය ගොඩනඟන්න එක් ගලකින් හෝ දායකවෙන්න කියලා . ඒවගේ මනුෂ්‍යත්වයේ මහා මන්දිරය ගොඩනඟන්න අපට වැලි ඇටයකින් හෝ දායක විය හැකිනම් එයට දායක වෙන්න ඕනේ..එවැනි උත්සහයක් තමයි මගේත් තිබෙන්නේ. කලාව සමඟ අපට සෙල්ලම් කරන්න බැහැ. කලාව විහිළුවක් නෙවෙයි..කලාව තුළ බොරුව කරන්න බැහැ . නාට්‍යයක් නරඹන පැය 02ක කාලය තුළ මිනිසාට ඉතා වැදගත් අර්ථසම්පන්න යමක් දිය යුතුයි…නාට්‍ය ශාලාවට ඇතුළු වූ ප්‍රේක්ෂකයා නෙවෙයි නාට්‍ය ශාලාවෙන් එළියට එන්න ඕනේ. යම් අර්ථසම්පන්න මිනිසකු ලෙසයි එළියට එන්න ඕනේ…ඒවගේම මිනිසා ඊළඟට සිතන්න පටන්ගන්නවා…අපි ප්‍රේක්ෂකයාට සිතන්න දෙයක් නාට්‍ය කලාව තුළින් දෙන්න ඕනේ…ඉන්දියානු භාරතීය පඬිවරයෙක් කියනවා රසවින්දනය පෙරභවයේ සිට රැගෙන ආයුතු වාසනා ගුණයක් එය විශේෂ ඥානයක් කියලා. තවත් ඉන්දියානු පඬිවරයෙක් කියනවා රසවින්දනය නැති කෙනා අං තට්ටුවක් සහ වලිගයක් නැති ගොනකුට සමානයි කියලත් ඇත්ත ගොනුන්ගේ වාසනාවට මේ ගොනුන් තණකොළ සහ පුන්නක්කු බුදින්නේ නැහැ කියලත්….එනිසා අපි නිතර සිතන්න ඕන කලා කෘතියකට් රසවින්දනය අවශ්‍ය බව…ඒ රසවින්දනය ඇතුළේ ප්‍රඥාව තිබිය යුතුයි…ඒවගේම දේශපාලනඥයා පසුපස කලාකරුවා යා යුතු නැහැ. “තකදොම්බේ” වේදිකා නාට්‍යය තුළිනුත් එය කතා කෙරෙනවා
කලාවට තරුණ පිරිසගේ දායකත්වය මොනවගේද කිව්වොත්…..?
සමස්තයක් ලෙස තරුණ පිරිසගේ කැපවීම, පරිත්‍යාගය ප්‍රතික්ෂේප කරන්න බැහැ. අගය නොකර ඉන්න බැහැ. අපි ඒක පිළිගන්න ඕනේ. අගය කළ යුතුයි. අතරින්පතර කිහිපදෙනෙක් එවැනි තත්ත්වයක නැහැ. එයත් දේශපාලනික සහ අධ්‍යාපනික ප්‍රශ්නයක් ලෙසයි මම නම් දකින්නේ..
ඔබේ සිනමා ආගමනය ගැන කතා කළොත් …..?
සිනමාවට මම පළමුවෙන්ම එන්නෙ 1981දී…..ඒ “නික්මයාම” නමින් විනාඩි 19ක කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින්..එහි සයිමන් නවගත්තේගමයි රඟපාන්නේ…ඉන්පසු මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ගියත් ඒ චිත්‍රපටය වෙනත් කෙනෙක් අරගෙන එයා එයාගේ නමින් අධ්‍යක්ෂණය කළා.. ඒ සිද්ධිය පසුව හෙළිදරව් කරන දැවැන්ත සොරකමක්… ඒ චිත්‍රපටය සම්මානත් ගත්තා.. එහෙත් ඒ චිත්‍රපටය මගේ කියලා ඔප්පු කරන්න සාධක මා ළඟ තිබෙනවා …ඒක මම අධ්‍යක්ෂණය කරන්න තිබූ චිත්‍රපටයක් .. ඒ චිත්‍රපටයට මම නම දාලා තිබුණේ “ඔටුන්න හිමි කුමාරයා” කියලා. නම වෙනස් කර් අදාළ තැනැත්තා ඔහුගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.. මම මේ සම්බන්ධව ඉදිරියේදී පොතක් ලියලා ඒ සොරුන් පිළිබඳ හෙළිදරව් කරනවා. ඉන්පසු වසර ගණනකින් මම “අභිනික්මන” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා…මෙහි ජෝ අබේවික්‍රම, අයිරාංගණී සේරසිංහ, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි ආදීන් රඟපෑවා…2022දී “අරුණ උදයම්” නමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ළමුන් තිදෙනෙක් සිදුකරන වීරක්‍රියාවක් එයට අන්තර්ගත වෙනවා .ඒවගේම රටේ පැවැති අරගල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නිසා එය රූගතකිරීම් සිදුකරගන්න බැරිවුණා. එහෙත් ඉදිරියේදී එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා..
ඔබේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ සිහිපත් කළොත්…..?
“දික් කසාදය” නමින් කෙටි ටෙලිනාට්‍යයක් මම අධ්‍යක්ෂණය කළා..ඉන්පසු ටෙලිනාට්‍ය පිළිබඳ මම උනන්දුවක් දැක්වූයේ නැහැ ….මම කොහොමත් ටෙලිනාට්‍ය නරඹන්නේ නැහැ. ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් ලියා තිබෙනවා
කලාකරුවෙක් ලෙස ඔබ ආ ගමන්මඟ දෙස ආපසු හැරී බැලුවොත් …..?
ඔව්, මගේ කලා ගමන ගැන ආපසු හැරී බැලුවොත් සතුටක් ඇතිවෙනවා .මගේ කලා දිවියට දැන් වසර 50ක් වෙනවා…මට ඇත්තටම මීටවඩා වැඩගොඩක් කරන්නත් තිබුණා. එහෙත් විවිධ හේතු නිසා ඒ වැඩකටයුතු නතරවුණා..කොහොමත් පසුතැවිල්ලක් නැහැ. අපි යම් හොඳ දෙයක් දෙද්දී එය භාරගන්න යම් ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා…ඒ ගැන සතුටුයි .
ඉදිරියේදී තිරගත වීමට නියමිත “අනෝරා” ගැනත් කතා කරමු…..?
“අනෝරා” චිත්‍රපටයත් මගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයක්.. “අනෝරා” ලංකාවේ බිහිවෙන සුවිශේෂී චිත්‍රපටයක් වේවි…එවැනි නිර්මාණයක් මෙතෙක් ලංකාවේ බිහිවෙලා නැහැ. ලිංගික විපර්යාසයක් පිළිබඳ කියවෙන චිත්‍රපටයක් කතාවට අනුව. එක්තරා කොම්පැනියක් නර්තන ප්‍රසංගයක් සංවිධානය කරනවා. ඒ සඳහා රටේ විවිධාකාර නර්තන කණ්ඩායම් ඉදිරිපත් වෙනවා…එහි එක් කණ්ඩායමක් “ආකාශ්” සහ “අනෝරා” ගේ කණ්ඩායම. ආකාශ් ඒ කණ්ඩායමේ නායකයා. අනෝරා ඔහුගේ පෙම්වතිය. ආකාශ් ජපානයේ සිට එන්නේ..මෙහිදී අනෙක් අය ඉදිරිපත් වෙද්දි අනෝරා හැංගෙනවා වගේම විවාහයටත් ඇය මඟහරිනවා…ඒ ඇය පිරිමියකු බවට පත්වේගන එන නිසා…ඇය ලිංගික විපර්යාසයකට ලක්වෙමින් පවතිනවා. මෙය නර්තන හා සංගීතමය චිත්‍රපටයක්. ක්‍රිස් වික්‍රමසිංහ මෙහි නිෂ්පාදකවරයා…ඔහු ජපන් භාෂාව උගන්වන ආචාර්යවරයෙක්… හෙක්ටර් බෙත්මගේ නිෂ්පාදනයට වගේම රංගනයටත් දායක වෙනවා. සුනිල් දිසානායක, සරත්, ප්‍රේමදාස වැනි පිරිසත් නිෂ්පාදනයෙක් සම්බන්ධ වුණා. “අනෝරා” ඔක්තෝබර් මාසයේ රිද්මා මණ්ඩලය ඇතුළු සිනමාශාලා රැසක ප්‍රදර්ශනයට නියමිතයි..
මෙවැනි තේමාවක චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට විශේෂ හේතුවක් තිබුණද……?
මම “අරුණ උදයම්” අධ්‍යක්ෂණයට සූදානම් වෙද්දී ලංකාවේ ළමා චිත්‍රපට 05ක් රූගතකිරීම් කරනවා…..ඒ නිසා මම කල්පනා කළා “අරුණ උදයම්” පසුවට රූගත කරන්නත් “අනෝරා” මුලින්ම රූගත කරන්නත්…..ඒ හැර වෙනත් විශේෂ හේතුවක් තිබුණේ නැහැ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ