Home » අනුකාරක සිනමාව යටයන නිර්මාණාත්මක මුද්‍රාව තැබූ ධර්මයුද්ධය 2

අනුකාරක සිනමාව යටයන නිර්මාණාත්මක මුද්‍රාව තැබූ ධර්මයුද්ධය 2

by mavan
February 19, 2026 10:54 am 0 comment

ත්‍රාසය හා භීතිය පරයා යන හෝ බැහැර කරලන කුතුහලයම ඉස්මතු කෙරෙන පුවතක් වෘත්තාන්ත සිනමාවට නැඟීමේදී නිසැකවම සපුරා ගත යුතු වූවක් වනුයේ රසික විශ්වාසය නොබිඳෙන තාර්කික එළඹුමකි. මෙය පළමු කොටම සනිටුහන් විය යුත්තේ තිරනාටක අදියරේදීය. අනතුරුව එහි හැඩ රුව නොනසමින් රූගත කළ සියල්ල පෙළ ගස්වාලීම අත්‍යන්තයෙන්ම වැදගත් වේ. මෙතැනදී සිනමාකරුවා හා තිරනාටක රචකයා දෙදෙනෙකු වීමේ වාසිය අත්පත් කර ගැනීම ඒ දෙදෙනාගේම වගකීමකි. සිනමාපට කිහිපයක්ම මෙහෙයවමින් ඊට අදාළ අත්දැකීම් රැසක් ගොනු කරගෙන සිටින අරුණ ජයවර්ධනට මෙය එපමණ අභියෝගයක් නොවන බව පෙනේ.

මේ මොහොත වන විට අරුණ ජයවර්ධන හඳුනා ගැනෙන්නේ සිනමාව ආන්දෝලනාත්මකව හා ළගන්නා සුලු අන්දමින් භාවිතයට සූදානම් සිනමාකරුවකු ලෙසිනි. ‘නිකිණි වැස්ස’ එක අන්තයකය. අනෙක් අන්තයේ ‘1970 ලව් ස්ටෝරි’ තිබේ. එසේම මෙහිලා ඔහු විසින් පළ කරනු ලබන ස්වීයත්වයද අමතක කළ හැකි නොවේ. ගෙවුණු සමයේ තිරගත ‘මාරියා’ සිනමාපටයෙන් ඔහු සන් කරන්නේ වත්මන් සිරිලක සිනමාවේ කැපී පෙනෙන සිනමාකරුවකු බවට පත්වීම සඳහා වූ සිය සුදුසුකම්ය. මේ අනුව ‘මාරියා’ ත් සමඟ අරුණ ජයවර්ධන යන සිනමාකරුවා පිළිබඳ විද්වත් රසික පිරිස් තුළ මෝදු වන්නේ නිරවුල් ආකල්පයකි. එනම් ඔහු ඉදිරියේදීත් එබඳුම සිනමාපට නිමවුමක නිරත වන්නේය යන්නය. රසික සමාජය අපේක්ෂා කරන මේ මාදිලියේ ආකල්ප සමඟ පූර්ණ හෝ අඩ වශයෙන් එකඟතාවකට පැමිණීම අත්‍යවශ්‍ය නොවන්නක්ය යන වග වටහා ගැනීම අසීරු නැත. යම් සිනමාකරුවකුට රසික අපේක්ෂා නොතකමින් සිනමා නිමවුම් කාර්යයෙහි නිරත වන්නට ඇති හිමිකම යටපත් නොකළ යුත්තකි. එහිදී එබන්දකු නව රසික සහභාගිත්වයක් සහතික කර ගන්නට ඇති ඉඩ කඩ නොසලකා හැරිය යුතු නොවේ.

අරුණ සිය නවතම සිනමා මෙහෙයුම සේ ගෙන එන ‘ධර්මයුද්ධය 2’ සැලකෙන්නේ එසේ මෙතෙක් තමා පිහිටා සිටි තැන් වෙතින් මෑත්ව නව සිනමා මෙහෙයුමක් හා එක්වීමට දක්වන කැමැත්ත නිරූපිත අවස්ථාවක් ලෙසිනි. එසේම සිනමා නිමවුමේදී සිය නිදහස හිමිකමක් සේ භාවිත කරලන්නට දක්වන නොපැකිළීමක් ලෙසිනි.

‘ධර්මයුද්ධය 2’ එහෙම පිටින්ම අනුකාරක සිනමාපටයක්ය යන්න පැහැදිලිය. මෙහි එන පුවත අඩංගු සිනමාපට කිහිපයක්ම මේ වන විටත් ඉන්දියානු හා චීන සිනමා කලාප වෙතින් හඳුනා ගත හැකිය. විදෙස් සිනමාපට විකල්ප මං ඔස්සේ නැරඹීමේ හැකියාව යටතේ මෙම සිනමාපට සිරිලක සිනමා රසිකයන් කරාද පැමිණ ඇති බව සැබෑවකි. මෙහෙයින්ම ‘ධර්මයුද්ධය 2’ අපූර්ව සිනමාපටයක් වීමෙන් වැළකෙයි.

යම් සිනමාපටයක් ජනගත කරලීමේදී අපූර්වත්වය යන්න හැකි පමණින් සහතික කර ගත යුතු වුවමනාවක් සේ පෙනේ. එක්තරා ආකාරයකින් මේ සඳහන සියලුම මාදිලියේ සිනමා නිමවුම් සඳහා අඩු වැඩිවශයෙන් අදාළ වන බව පැවසිය යුතුය. ‘ධර්මයුද්ධය 2’ නිමවීමේදී අරුණ මෙකරුණ සම්බන්ධයෙන් දක්වා ඇති සැලකිල්ලේ තරම පැහැදිලි කර ගැනීම අපහසු නොවේ. එනම් ඔහු අනුකාරක සිනමාපටයක සිය නිර්මාණාත්මක මුද්‍රාව සලකුණු කරලීමට දක්වන අවධානයේ තරමයි.

රූප රාමුවෙන් රාමුවට පිටපත් කළ තිරනාටකයක් පාදක කරගෙන සිනමාපටයක් නිමවීම අතිශය සරල හා පහසු කටයුත්තක්ය යන්න බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. සුනෙත් මාලිංග ලොකුහේවා ලියූ ‘ධර්මයුද්ධය 2’ තිරනාටකය කිසිදු මඟ හැරීමකින් තොරව අදාළ මුල් තිරනාටක බඳුමය. සිනමාපටය ලාංකිකකරණය කෙරෙහි ඔහුගේ සැලකිල්ල සක්‍රියව ඇත්තේ මුළුමනින්ම නොවේ. එනම් ‘ධර්මයුද්ධය 2’ නරඹන විට අදාළ මුල් සිනමාපට නිරායාසයෙන්ම සිහියට නැඟෙන බවයි.

කෙසේ නමුත් සිනමාකරු අරුණ තමනට ලැබුණු මේ ඇරියුම අභියෝගයක් සේ සලකමින් කටයුතු කොට ඇත්තේ යම් වෘත්තීය වටිනාකමක්ද අඩංගු කරලමිනි. සිනමාපට කිහිපයක්ම නිමවා ලද පන්නරය සේම ඒ සඳහා ලැබුණු සාධනීය විචාර ප්‍රතිචාරද මේ පසුපස පවතී. සුනෙත් මාලිංග ලොකුහේවාගේ තිරනාටකය හඳුන්වා දෙන්නේ අනුවර්තනීය තිරනාටකයක් සේය. එය සැබෑවක් කරලීමේ වගකීම පැවරෙන්නේ සිනමාකරු අරුණටමය.

මුල් සිනමාපට සතු තිරනාටක වෙතින්ද ගැටලුකාරී තැන් දෙකතුනක්ම දත හැකිවේ. සුනෙත් ඉන් ඈත් වීමට පියවර සලසා නොගත් බවයි පෙනී යන්නේ. මේ රසික විශ්වාසය තීරණාත්මක අයුරින් පළුදු කරලන අවස්ථාය. සිනමාපටය දිවෙන්නේ මෙලොව මතයි. මෙලොවදී සිදුවිය නොහැකි දෙයක් දැක්වෙන්නේ නම් සිදුවන්නේ අබග්ගයකි. මෙයින් සිනමාකරු අරුණටද ගැලවීමක් නොවූ බව පෙනේ.

මෙම තතු ඉක්මවාලීමට ඇවැසි සහය අරුණ වෙත වැඩිපුරම ලබා දෙන්නේ බිමල් ජයකොඩිය. ඔහු සිනමාපටයේ ප්‍රමුඛතම චරිතය නොවැටී තබා ගනු පිණිස දරන්නේ ඉමහත් තැතකි.යම් පමණකට ඔහු මුල් සිනමාපට ඇසුරු කරන්නට ඇතැයිද සිතේ. ඒ වග සිනමාපටයේ මුල් සමයේදී හඳුනා ගැනීම පහසුය. එහෙත් සිනමාපටයේ අවසන් අදියර වෙතින් ඔහුගේ සුපුරුදු රූපණ සමත්කමේ ලකුණු දැක ගැනීම අසීරු නොවේ. මේ සඳහා බිමල් තමන් සමඟම අරගලයක නිරත වන්නට ඇත. සෙසු රූපණ කාර්යයන් අන් තලයක තිබියදී බිමල් වෙසෙසින් ඉස්මතු වීම එක අතකට සිනමාපටයේ වුවමනාවක්ද වේ. අරුණ මෙය මැනවින් වටහා ගෙන තිබෙන වග කිව යුතුය. මෙයින් තව දුරටත් කියවෙන්නේ කවර මාදිලියක සිනමාපට වුව නිමැවුමට තමා සමතකුය යන්න අරුණ අවධාරණය කරන බවය.

අරුණට රූපණය වෙතින් සහය වීමට අශාන් ඩයස්ද සූදානම් වන අයුරු පෙනේ. එක් තැනකදී වඩා සූර වනුයේ බිමල්ද, අශාන්ද යන පැනය උද්ගත වන්නේ කිසිදු අවහිරයකින් තොරවයි.

මුල් සිනමාපට කෙතෙක් සිනමා රසිකයා හමුවට පැමිණ තිබුණද ‘ධර්මයුද්ධය 2’ හි සිනමාශාලා ප්‍රදර්ශනය සවිමත් කරලීමට අරුණ අසමත් නොවීම පසුපස තවත් කරුණක්ද තිබේ. එනම් ‘ධර්මයුද්ධය 2’ හා එහි මුල් අදියර රැගෙන එන්නේ මැද පන්තික පවුලක් මුල් කර ගත් පුවතක් වීම යන්නයි. පියා, මව හා දියණියක් දෙදෙනෙකුගෙන් සමන්විත මේ පවුල ඉන්දියානුවදට සේම ලාංකිකයන්ටද අතිශයින්ම සමීපය. අනපේක්ෂ්ෂිත සිදුවීමක් නිසාවෙනි මේ පවුල අනපේක්ෂිත අර්බුදයකට මුහුණ පාන්නේ. මෙබඳු විටෙක පියකු සිය පවුලේ සුරැකුම වෙනුවෙන් ඉදිරිපත්වීම හා කැපවීම රසික බහුතරයකයේ ඒකායන පැතුමයි. මෙනිසාම අවසනදී තමා මෙන්ම තම පවුලද බේරා ගන්නට පියා සමත් වන බව රසිකයා කල්තියාම දැන ගනී.

මෙසේ විරුවාගේ ජය නියත බව වටහා ගැනීම තිබියදීම සිනමාපටය සඳහා රසික සහභාගිත්වය ගොඩනැංවෙන්නේ පවුලක සුරැකුම පිළිබඳ ඇති රසික පැතුම් සිනමාවෙන් පරිබාහිරව වුව නොනැසී පවතින නිසාය . සිනමාපටයේම වරක් දෙවරක් කියවෙන පරිදි විරුවා අගතියට පත්ව නිමවන සිනමාපට සඳහා වැඩි රසික ප්‍රසාදයක් හිමි නොවේ. අරුණ ඔවදනක් සේ ගුරු කොට ගෙන ඇත්තේ මෙකරුණයි.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT