Home » අධි පරිභෝජනවාදයේ රුදුරු ප්‍රතිවිපාක අත්විඳිමු

අධි පරිභෝජනවාදයේ රුදුරු ප්‍රතිවිපාක අත්විඳිමු

Buy Now! The Shopping Conspiracy

by Thanushika
December 12, 2024 2:22 pm 0 comment

අප වැඩිපුර පරිභෝජනය කරන තරමට ජීවිතයත්, අප අවට වෙසෙන පරිසරයත් විනාශ මුඛය කරා ඇද දමන බව නොවේද? Buy Now! The Shopping Conspiracy’ වාර්තා චිත්‍රපටය වසරේ නැරඹිය යුතු ම චිත්‍රපට ගොනුව අතරට එක්විය යුතු චිත්‍රපටයක් ලෙස හැඳින්වීම උචිත ය.

ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට ආශාවක් ඇති වෙන්න හෝ පොලඹවන්න එක හේතුවක් තියෙන්න විදියක් නෑ. ෆේස්බුක් පෝස්ටුවක්, වට්ස්ඇප් ස්ටේටස් එකක්, ටික්ටොක් ඇඩ් එකක්, ටෙලිවිෂන් ඇඩ් එකක් එහෙමත් නැත්නම් තමන් ආසම ගායිකාව හෝ නිළිය ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක සහ පැලඳගෙන ඉන්න සපත්තු ජෝඩුවක් වෙන්නත් පුළුවන්. මේ යුගයේ තාක්ෂණික ධනවාදය (Techno-capatilism) විසින් අත්කරල තියෙන කුරිරුතම දේවල්වලින් එකක් තමයි භාණ්ඩවලට දැඩ්ව ආශා කරන විදියේ ඩිජිටල් මාධ්‍යයේ සිදු කරන කූට ප්‍රවර්ධනය. විශේෂයෙන් මේ යුගයේදී මිනිසුන්ගේ ආශාව වැඩි කරන දේවල්වලට සෘජුව වගකියන ආයතන කිහිපයක් තිබෙනවා.

නිදර්ශනයක් විදියට කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය වූ අලුත්ම යම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් අද වෙළඳපොළට පැමිණ තිබෙනවා. ජංගම දුරකතනයෙන් හෝ ටෙලිවිෂන් වෙළඳ දැන්වීමක් හරහා නිතරම ඔබ මෙම ඉලෙක්ට්‍රොනික උපකරණය දකිනවා. ඉන්පසු ඔබ මෙය මිලදී ගන්න දැඩි ආශාවක් ඇති වෙනවා. ඉන්පසුව ඔබට වෙළඳපොළට යන්න අවශ්‍ය නෑ. ඔබ මේ දැඩිව ආශා කරන භාණ්ඩය ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරය මත එක ස්පර්ශ කිරීමකින් (touching) හෙට ඔබේ දොර අසලට ගෙනැවිත් දෙන්න තරමි තාක්ෂණික ධනවාදය විසින් අවශ්‍යතාව අති සරල කරලා තිබෙනවා.’Buy Now! The Shopping Conspiracy’ නමැති 2024 වසරට අදාළව දැනටමත් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටය වැදගත් නිරික්ෂණ කිහිපයක් ගෙන එනවා. නුතන පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ පරිභෝජනවාදය (Consumerism) සමිබන්ධයෙන්. වාර්තා චිත්‍රපටය සැමවිටම යථාර්ථය ග්‍රහණය කර ගැනීමට වෙර දරනා සිනමා ශානරයක් ලෙස ප්‍රකට ය. මෙම වාර්තා චිත්‍රපටය තුළ අන්තර්ගත වන තේමාව මේ මොහොත තුළ අත් දකින යථාර්ථය (reality) පිළිබිඹු වෙයි.

වාර්තා සිනමාපටය තුළ විශේෂයෙන් අධි පාරිභෝජනය කිරීම (Hyperconsumerism) තුළ ඇති අඳුරු කලාපය ⁣එළිපෙහෙළි කරයි. පරිභෝජනවාදය යනු නොසිදෙන ආශාවන් ඉදිරියේ ඉන්ද්‍රියන් හික්මවා ගත නොහැකි වීමක් ලෙස බුද්ධ දර්ශනයේ ඇත. එය සැබැවකි. මෙම වාර්තා චිත්‍රපටය හරහා ලොව පුරා බිලියන අටකට අධික ජනහනයක් වෙත ආමන්ත්‍රණය කරන විශ්වීය ගුණයෙන් හෙබි කාරණා කීපයක් පිළිබඳ සාකච්ඡාවට ගැනෙයි. ඒ අසීමිත ලෙස භාණ්ඩ නිෂ්පාදනය විසින් මේ මොහොත තුළ පවා ස්වාභාවික ආපදාවලට මෙම භාණ්ඩ නිෂ්පාදනය විසින් කරනු ලබන බලපෑම පිළිබඳ ගොඩනඟන එක උපන්‍යාසයකි. විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට සෘජුව වගකිවයුතු මෙම භාණ්ඩ නිෂ්පාදනය විසින් ප්‍රතිචක්‍රිකරණයට (Recycling) යොමු කළ ⁣නොහැකි තරමට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කඳු පිටින් පෘතුවි තලය විනාශ කර අවසන්. ඇමරිකාව සහ යුරෝපාකරය තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පාවිචිචි කර අවසානයේ කසළ ලෙස අප්‍රිකානු කලාපයේ පිහිටි දුප්පත් රටවලට නැවිගත කරයි. විශේෂයෙන් පාවිචිචි කරන ලද ඇඳුමි, සපත්තු, ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපාංග ආදිය කන්ටේනර් පෙටිටි තොග ගණනින් මෙම තුන්වැනි ලෝකයේ දුප්පත් රටවලට අපනයන කරන බව වාර්තා චිත්‍රපටය විසින් හෙළිදරව් කරයි.

වාර්තා චිත්‍රපටයක ඇති මුලිකාංග සතර පිළිබඳ ‘Buy Now! The Shopping Conspiracy’ සිනමාකෘතිය සමඟ සමිබන්ධ කළහොත්,

1. වාර්තා කිරීම, අනාවරණය කිරීම,

සංරක්ෂණය කිරීම

2. පොලඹවාලීම

3.විශ්ලේෂණය කිරිම හෝ ප්‍රශ්න කිරීම

4.අදහස් පළ කිරීම

යථෝක්ත මුලිකාංග “Buy Now! The Shopping Conspiracy” වාර්තා චිත්‍රපටය තුළ පිහිටා ඇත. මෙම වාර්තා චිත්‍රපටය පෘථිවි තලයේ ඇති වත්මන් ජීවන වපසරියන් පිළිබඳ අලුත් ජනසමාජයක් සහ නව පරමිපරාවක් වෙත හඳුන්වා දෙන්නට අනාගතයට ඉතිරි කරන මහාර්ඝ නිර්මාණයකි. ශ්‍රව්‍ය හා දෘශ්‍ය මානවවංශ ලේඛනයකි. සත්‍ය ජීවන අඩවි වෙත කැමරාව දල්වන “Buy Now! The Shopping Conspiracy” චිත්‍රපටය පැයකුත් විනාඩි 42ක් පුරා පෘථවියේ නූතන සාරය කැටිකර දක්වයි.

ලොව විශාලතම බහුජාතික සමාගමක් (Multinational Company) වන ‘යුනිලීවර්’ හි හිටපු විධායක ප්‍රධානියකු වන ‘පෝල් පොල්මන්’ (2009-2019 දක්වා) පවසන්නේ සමාගම විසින් නිෂ්පාදනය කරන ෂැමිපු, සබන් කුඩු, කන්ඩිෂනර්, විවිධ කොලෝන් වර්ග, සනීපාරක්ෂක සේදුම් දියර වැනි භාණ්ඩ ⁣දිනකට ලොව පුරා බිලියන තුනකට ආසන්න පාරිභෝගිකයන් අතරට පැමිණෙන බවයි. මෙම දියර වර්ග ඇසුරුම් ලෙස පැමිණෙන්නේ ප්‍රතිචක්‍රිකරණයට ලක්කළ නොහැකි ලෙස ඝන ප්ලාස්ටික් බෝතල් තුළ ය. පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල් ඇසුරුම් අවසානයේ විසිවී යන්නේ මුහුදටය. මුහුදු පතුලේ මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තැන්පත් වන්නේ ද නැත. අවසානයේ මුහුදු ජීවින්ගේ ජීවිතවලට තර්ජන එල්ල කරන අතරම වෙරළට කඳු පිටින් ගොඩ ගසයි. වාර්තා චිත්‍රපටය තුළ මෙම සම්මුඛ කරවයි.

පාරිභෝගිකයන් මෙම භාණ්ඩ මිලදී ගන්නට මෙතරම් උනන්දු වන්නේ ඇයි? යන්න ඔහු විසින්ම නඟන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ දිරිමත් කිරීම නොහොත් පෙලඹවීම යන්නයි. ප්‍රේක්ෂකයාට කිසිසේත්ම අතවශ්‍ය නොවන මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීමට දැඩිව පොලඹවන්නේ විවිධ වෛවර්ණ ගැන් වූ ඇස ගිනිකන වැටෙන වෙළඳ දැන්වීමි ය. සිත් ඇදගන්නා වෙළඳ දැන්වීම් ප්‍රචාරණයන් මිනිසුන්ව තව තවත් භාණ්ඩ මිලදී ගැනීමට දිරිමත් කරයි, සහ භාවිතා කරන නිෂ්පාදිත භාණ්ඩය දිගු කාලයක් පාවිච්චි කිරීම වළක්වමින් කැඩෙන්නට සැලැස්වීම මෙම සමාගම් ක්‍රියා කරන බව වාර්තා චිත්‍රපටය නිරූපණය කරයි. වාර්තා චිත්‍රපටය සඳහා පෙනී සිටින ඇපල් සමාගමේ හිටපු සේවකයෙකු වන ‘නිරාව් පටෙල්’ පවසන්නේ ගෝලීය වශයෙන් දිනකට දුරකතන මිලියන 13ක් පමණ ඉවත දමන බවයි. සෑම පැයකටම වරක් සපත්තු මිලියන 2.5 ක් නිෂ්පාදනය කෙරේ. අවසානයේ මෙම සපත්තු මිලියන ගණනම පාරිභෝගිකයන් මිලදී ගෙන කෙටි කාලයක් පාවිච්චි කර ඉවත දමා පරිසරයට කසළ ලෙස එකතු කරයි. ⁣මේ කරුණු අසා ගණන් නොගෙන දේශගුණික විපර්යාසවලට අප පිළිතුරු සොයයි.

වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘Nic Stacey’ විසිනි. ලොව ප්‍රමුඛතම සන්නාමවල ඇති කූට උපක්‍රම විසින් අප සියල්ලන්ම නිමාවක් නොමැති වූ භාණ්ඩ මිලදී ගැනීමේ චක්‍රයක සිර කර තැබීමට භාවිතා කරන සැඟවුණු උපක්‍රම සහ රහසිගත උපාය මාර්ග හෙළි කරන මෙම වාර්තා චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාගේ චින්තනය පුළුල් කරයි. “වැඩිපුර දේවල් එක්ක මැරෙන කවුරුත් දිනන්නේ නෑ.” කියන අදහස චිත්‍රපටය අවසානයේ පැවසෙයි. එයින් අදහස් වන්නේ අප වැඩිපුර පරිභෝජනය කරන තරමට ජීවිතයත්, අප අවට වෙසෙන පරිසරයත් විනාශ මුඛය කරා ඇද දමන බව නොවේද? ‘Buy Now! The Shopping Conspiracy’ වාර්තා චිත්‍රපටය වසරේ නැරඹිය යුතු ම චිත්‍රපට ගොනුව අතරට එක්විය යුතු චිත්‍රපටයක් ලෙස හැඳීන්වීම උචිත ය. එය අපගේ නූතන පැවැත්මේ දුෂ්ට බව සහ නරුමත්වය ප්‍රකාශ කරයි.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT