Home » අද වෙද්දි මෙරට මියුසික් වීඩියෝ කලාව තිබෙන්නේ

අද වෙද්දි මෙරට මියුසික් වීඩියෝ කලාව තිබෙන්නේ

වෙනම මානයක සංගීත අධ්‍යක්ෂ, ගායන ශිල්පී කසුන් ඕපාත

by Thanushika
February 20, 2025 12:09 pm 0 comment

සංගීත අධ්‍යක්ෂවරයකු, ගායකයකු , ගීපද රචකයකු , රූප රචනා අධ්‍යක්ෂවරයකු වන ඔහු ආදරවන්තයන්ගේ දිනය දා පෙම්වතුන් ආමන්ත්‍රණය කළේ “ඔබ පෙම් කතාවක්” හරහාය. කසුන් ඕපාත නම් වන ඔහුගේ එකී නිර්මාණ කාර්යය සහ සංගීත දිවිය පිළිබඳවත් කතාකිරීමට මෙසේ එක්විය…

ආදරවන්තයන්ගේ දිනයේ අලුත් වැඩක් කළා නේද….?

ඔව්, ආදරවන්තයන්ගේ දිනය යෙදුණු පසුගිය 14 වැනිදා අලුත් ගීත නිර්මාණයක් එළිදැක්වූවා . “ඔබ පෙම් කතාවක්” නමින් එය නම්කළේ. එය විරහ ගීතයක් ලෙස හඳුන්වන්නත් පුළුවන් . මගේ පළමු විරහ ගීතය මේකයි කිව්වත් වරදක් නැහැ .යූටියුබ් හරහා ඕනෑම කෙනකුට මෙය රසවිඳීන්න පුළුවන් . එහි පද රචනය, සංගීතය , තනු නිර්මාණය මා විසින් සිදුකළේ. ඇත්තෙන්ම ඒක ලස්සන වැඩක්. හැමෝටම ආරාධනා කරනවා “ඔබ පෙම් කතාවක්” රසවිඳ එහි ගුණදොස් දක්වන්න කියලා

පසුගිය දා ඔබේ “කලදසාව” ප්‍රේක්ෂකයාට දායාද කළා. ඒ ගැනත් මතක් කළොත් …..?

“කලදසාව” කියන්නේ මා ගායනා කළ ගීතයක්. එහි පද රචනය කළේ පැතුම් අගම්පොඩි අයියා. මෙහිත් සංගීත අධ්‍යක්ෂණය , තනු නිර්මාණය හා ගායනය මගේ. “කලදසාව” කියන්නේ සමාජයට විශාල පණිවිඩයක් දෙන ගීතයක්. එසේම මේ ගීතය කෙටිකලකින් බොහෝ ජනප්‍රියත්වයට පත්වුණා

කලාදිවියේ ආරම්භය සිදුවන්නේ කොහොමද …?

මගේ කලාදිවිය ආරම්භ වෙන්නේ පාසල් අවධියේ. මම පාසලේ 06 වසරේ ඉගෙනගනිද්දී තමයි සංගීතය විෂයයක් විදිහට හැදෑරුවේ. උසස්පෙළ දක්වා විෂයයක් විදිහට හැදෑරුවා. ඉතා ආසාවෙන් කුඩා කාලයේ ඉඳන්ම සංගීතය හැදෑරුවා. පාසලේ 10 වසරේදී කණ්ඩායම් සංගීතයට එකතු වෙනවා. ඒ කීබෝඩ් වාදකයකු ලෙස. ඒ විදිහටයි මගේ සංගීත ගමන ඇරඹුණේ.

මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණයට හිත යොමුවුණේ කොහොමද …?

මට නිකමට හිතුණා වීඩියෝ අධ්‍යක්ෂණය කියන දේත් කරලා බලන්න ඕනේ කියලා. වීඩියෝ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ආසාවකුත් තිබුණා. ඒ අංශයෙන් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. අධ්‍යක්ෂණ කාර්යය කිරීම සම්බන්ධයෙන් මා තුළ සතුටක්, තෘප්තියක් තිබෙනවා

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරා මුල්වරට මියුසික් වීඩියෝවක රඟපෑවේ ඔබේ නිර්මාණයක නේද….?

ඔව්, ජ්‍යේෂ්ඨ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා මහතා “හුස්ම මගේ අප්පච්චි ” ගීත රූප රචනාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. මෙහි විශේෂත්වය ඔහු රංගනයෙන් දායක වූ පළමු මියුසික් වීඩියෝවත් මේකයි. මෙය ඔහුටත් සුවිශේෂියි. “හුස්ම මගේ අප්පච්චි” ආදර්ශවත් ගීතයක්. ඒ නිසාමයි ඔහු එහි රංගනයට කැමැති වුණේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය, තනු නිර්මාණය සහ ගායනය මා විසින් සිදුකරන්නේ.

“හුස්ම මගේ අප්පච්චි” ට තේමා වුණේ සත්‍ය සිදුවීමක් කියා මම කිව්වොත්……?

ඔව්, ඔබ නිවැරදියි .මේකට තේමා වුණේ සත්‍ය සිද්ධියක් . අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ජීවිතය විනාශ වෙන්න ගිය පුද්ගලයකුව රෝහල්ගත කර සුවපත් කරගැනීමේ සත්‍ය සිදුවීමක් මෙයට අන්තර්ගත වන්නේ. අංගොඩ මූලික රෝහලේ තමයි මෙහි රූගතකිරීම් කළේ. මේ ගීතය ගැන කතා කරද්දී විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ ප්‍රසන්න හේරත් මහතාට . ඔහු තමයි මෙහි පිටපත රචනා කර මා සමඟ ඒ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළේ. ඔහුත් මෙහි රඟපානවා . සමාජයට විශාල පණිවිඩයක් දීමේ අරමුණින් තමයි “හුස්ම මගේ අප්පච්චි” ගීතය අපි නිර්මාණය කළේ.

කසුන් ඕපාත නම් ගායන ශිල්පියාව ඔබට දැනෙන්නේ කොහොමද …..?

ඇත්තෙන්ම මම බොහෝ සංවේදී පුද්ගලයෙක් . ඒ නිසාම හදවතට කතා කරන සංවේදී ගීත ගායනයට මගේ කැමැත්තක් තියෙනවා .මගේ නිර්මාණ සංවේදීත්වයට බරයි. හැඟීම්වලට නැඹුරු වූ ගීත තමයි වැඩිපුරම මා විසින් ගායනා වෙන්නේත්, සංගීත අධ්‍යක්ෂණය කෙරෙන්නේත්. හදවතින්ම ගීත රසවිඳීන ජනතාව මගේ ගීත ආදරයෙන් වැලඳගෙන තිබෙනවා . මගේ ගීතවල පළමු රසිකයාත් මමයි. මගේ රසිකත්වයට, රුචිකත්වයට ගැළපෙන රසිකයන් පිරිසක් මට හමුවී තිබෙනවා

අධ්‍යක්ෂවරයාගේ භුමිකාව තුළ ඔබ තෘප්තිමත් ද….?

අධ්‍යක්ෂණ කාර්යයේදී සංගීත අධ්‍යක්ෂණයයි මම මුලින්ම කළේ . තවමත් එම කාර්යයේ නිරතවෙනවා. හරිම සතුටින් සංගීත අධ්‍යක්ෂණ කාර්යයේ යෙදෙන්නේ. මියුසික් නිර්මාණය කරන්න, නවතම ශබ්ද සොයන්න මම කැමැතියි. ස්වාභාවික ශබ්දයන්ට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. ඒවගේම වීඩියෝ අධ්‍යක්ෂණය කියන්නේ විශාල පරාසයක විහිදුණු කාර්යයක්. එකී කාර්යය පිළිබඳ මම තවමත් ඉගෙනගනිමින් ඉන්නවා. එසේ ඉගෙනගත් දේ තුළින් පොඩිපොඩි වීඩියෝ නිර්මාණ අධ්‍යක්ෂණය කරනවා.

අධ්‍යක්ෂණ කාර්යයේදි මුලින්ම මම මට ඕන දේ කියා සිටිනවා. එසේම වීඩියෝ නිර්මාණවල රංගන ශිල්පීන්ගේ අදහස්වලටත් ඉඩදෙනවා. ඔවුන්ගේ අදහස් ගැනත් සාකච්ඡා කරනවා. ඒ තුළිනුත් මම මගේ අධ්‍යක්ෂණ කාර්යයට යම් යම් දේ උකහාගන්නවා. එසේ බොහෝම සහයෝගයෙන් අපි මේ කාර්යය සිදුකරන්නේ

ඔබේ යූ ටියුබ් චැනලය ගැනත් දැනගන්න ප්‍රේක්ෂකයා කැමැති ඇති…..?

” ර් ර්‍ණනචබඩච” තමයි මගේ යූ ටියුබ් චැනලය. දැනට එහි මගේ ගීත 09ක් ඇතුළත් කර තිබෙනවා. යූ ටියුබ් චැනලය මෑතකාලයේ තමයි ආරම්භ කළේ. මගේ සියලුම නිර්මාණ මේ යූ ටියුබ් චැනලය ඔස්සේ නරඹන්න පුළුවන්.

ඔබේ නිර්මාණ දිවියේ ගුරුවරුන් ලෙස සැලකිය හැකි පිරිස සිහිපත් කළොත්…..?

මෙහිදී මට සංගීතය උගන්වපු පාසල් ගුරුවරුන් මතක් කරන්න කැමැතියි. හර්බට් සර්, සරත් සර්, හංසමාලි මිස්, ඒවගේම මම කණ්ඩායම් සංගීතය ඉගෙනගත්තේ ලක්ෂිත සර්ගෙන්. ඔවුන් විශේෂයෙන් මෙහිදී සිහිපත් කරනවා.

සංගීත අධ්‍යක්ෂණ කාර්යයට ඔබේ දායකත්වය මොනවගේද ….?

සංගීත අධ්‍යක්ෂණය මම බොහොම ප්‍රියකරන දෙයක්. තවමත් මටම කියලා ශබ්දාගාරයක් නැහැ. මගේ මිතුරන්ගේ ස්ටුඩියෝවලට ගිහින් මගේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරගන්නවා. ඒවගේම මම එක්තරා යූ ටියුබ් චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ වෙනුවෙන් ගීත 02ක් නිර්මාණය කළා. චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට මගේ ලොකු ආසාවක් තිබුණා. යූ ටියුබ් චිත්‍රපටයකින් හරි ඒ දේ කරගන්න ලැබීම ගැන සතුටක් තිබෙන්නේ. මට සෑහීමකට පත්විය හැකි මට්ටමට එය සාර්ථක වුණා.

ගීත රචනයටත් යොමුවී ඉන්නවා නේද….?

“හාල් මිටකට” ගීතය රචනා කරමින් තමයි ගීපද රචකයට මම පිවිසුණේ. ආදරවන්තයන්ගේ දිනය දා එළිදැක්වූ “ඔබ පෙම් කතාවක්” ගීතයත් මගේ රචනයක්. “කලදසාව”ත් මගේ රචනයක්. මම රචනා කළ ගීත කිහිපයක් ඉදිරියේදී ඔබට දැකගන්න ලැබේවි.

රංගනයට එන්න අදහසක් නැද්ද ….?

රංගනය පිළිබඳවනම් මගේ හැදෑරීමක් නැහැ. මම හිතන්නේ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා.

අද වෙද්දි මෙරට මියුසික් වීඩියෝ කලාව තිබෙන ස්ථානය ගැන ඔබේ අර්ථකථනය මොනවගේද …. ?

ලංකාවේ මියුසික් වීඩියෝ අද වනවිට වෙනමම මානයක තිබෙන්නේ. හොඳ රසවින්දනයක් සහිත ගීතත් බිහිවෙනවා. පසුගිය වකවානුවේ හොඳ මියුසික් වීඩියෝ නිර්මාණ රැසක්ම බිහිවූ බව දකින්න ලැබුණා

ක්ෂේත්‍රයට එන නවකයන් පිළිබඳ තියෙන්නේ මොනවගේ අදහසක්ද……?

මමත් නවකයෙක්. අපි ක්ෂේත්‍රයට ඒමේදී යම් හැදෑරීමක් සහිතව පැමිණෙනවා නම් එය ඉතාමත් වටිනවා. නැත්නම් අප අතින් නිර්මාණ බිහිවෙන්නේ අවබෝධයකින් තොරවයි. හැදෑරීමත් සමඟ ක්ෂේත්‍රයට පැමිණීම අපේ අනාගත නිර්මාණ සඳහා විශාල පිටිවහලක් වෙනවා. ගායක ගායිකාවන් ලෙස ක්ෂේත්‍රයට ඒමේදී සංගීතය විෂයයක් වශයෙන් හදාරා අඩියෙන් අඩිය ඉදිරියට එනවානම් හොඳ ගමනක් යා හැකියි කියා මම විශ්වාස කරනවා

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කිව්වොත්…..?

ඉදිරියේදී වෙනස්ම වැඩ කිහිපයක් ඔබට දැකගන්න ලැබේවි. ඒවා එක් එක් ශෛලීන්වල ගීත නිර්මාණ කිව්වොත් නිවැරදියි

කලා දිවියට අතහිත දුන් පිරිස සිහිකළොත් ….?

මගේ අම්මා, තාත්තා, ගුරුවරුන්, මිතුරන් මගේ කලා දිවියට බොහෝසේ අතහිත දුන්නා. ඒවගේම මා ගායනා කළ ගීත රචනා කළ, සංගීතය සැපයූ, කැමරාකරණය කළ, සංස්කරණය කළ සියලු සහෝදර සහෝදරියන් මෙහිදී සිහිපත් කරනවා. ඒවගේම මාධ්‍ය මිතුරනුන් සිහිපත් කරනවා ඔවුන්ට මම සදා ණයගැතියි

ඔබේ නිර්මාණ දිවියට පවුලේ අයගෙන් ලැබෙන සහාය මොනවගේද ….?

අම්මා, තාත්තා, අක්කලා දෙන්නා, දරුවන් දෙදෙනා, බිරිඳ ආදී පවුලේ සියලුම දෙනාගෙන් මගේ කලා නිර්මාණ දිවියට ලොකු ලැබෙනවා සහායක්.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT