අනුව දශකයේ සිය කුලුඳුල් සිනමා රංගනයෙන් අතිශයින් ජනාදරයට පත් ඔහු ඉතා කෙටි කළක් තුළ සිනමා අඹරේ දිදුලන තරුවක් වූයේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය නොවඩුව ලබමිනි. 1991 වසරේ වැඩබැරි නම් වැඩක් නෑ. චිත්‍රපටයේ සිය කුලුඳුල් රංගනය ඉදිරිපත් කරමින් රිදී තිරයට එක් වූ ඔහු විජේ සහ අජේ, ආසයි බයයි, ලව් 94, සුරවීර චණ්ඩියෝ, බොඩිගාඩ්, රඹා සහ මධු, ටැක්සි ඩ්‍රයිවර්, සුන්දරයි ආදරේ ආදී චිත්‍රපට රැසක සිය රංගන දායකත්වය එක්කරනු ලැබීය. රංග ශිල්පියෙකු ලෙස හිදිමින්ම සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තැබූ ඔහු 2015 වසරේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් සිංහ මචං චාලි චිත්‍රපටය සිනමා තිරයට රැගෙන එනු ලැබිණි. දිගු නිහඩතාවයකින් පසු යළිත් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස සිටින ඔහු තව නොබෝ දිනකින් තම දෙවන සිනමා අධ්‍යක්ෂණය රැයක් හෝ පැයක් රැගෙන යළිත් ප්‍රේක්ෂකයන් අතරට එක්වන්නට මේ දිනවල යුහුසුලුව කටයුතු කරන අතරේ ඔහු හා කතාබහට අපි එක්වෙමු. ජනපි‍්‍රය රංග ශිල්පියෙකු චිත්‍රපට අධ්‍යක්වරයෙකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු තිර කතා රචකයකු වන ඔහු නමින් ලාල් වීරසිංහය.
ඉතිං ලාල් මේ දවස්වල තොරතුරු එහෙම කොහොමද?
හරිම බිසී රෑ වෙනව දවල් වෙනව කියලත් මට නිච්චියක් නෑ. ඔළුවෙ දහසක් වැඩ මොකද මගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය මේ මාසේ 23 වැනිදා තිරගත කිරීම අරභනවා රැයක් හෝ පැයක් නමින්. එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලා පණහක පමණ තිරගත කරන්න තමයි. මගේ බලාපොරොත්තුව.
‘රැයක් හෝ පැයක්’ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වගේම එහි කතා රචකයත් ඔබ?
ඔව්. මීට කලින් මම රඟ පෑ ටැක්සි ඩ්‍රයිවර්, විජය සහ අජේ, මම සම අධ්‍යක්ෂණය කළ දුවේ මං ආදරෙයි චිත්‍රපටවල කතා සංකල්පය මගේ එකක්. මේ මගේ අලුත්ම චිත්‍රපටය වූ රැයක් හෝ පැයක් නිර්මාණයේ කතාවත් මගේම නිර්මාණයක්.
ඔබේ සිනමා නිර්මාණය වූ රැයක් හෝ පැයක් මෙරට තිරගත වීම අරභන්නත් පෙර හොලිවුඩයේ ඔබේ චිත්‍රපටයට සමීප කතාවක් ඇතුළත් චිත්‍රපටයක් පේ‍්‍රක්ෂක උණුසුම මධ්‍යයේ තිරගත වෙනවා කියලත් ආරංචියි?
ඔව්. මේ මොහොත වන විට හොලිවුඩයේ එහෙම දෙයක් සිදුවෙමින් තියනවා. ඒකත් හරිම අහඹු දෙයක්. ලියනාඩෝ කැප්රියෝ, ඩෙල් ටෝරෝ ජනප්‍රිය නළු දෙපළ රංගනයේ නියැළෙන බැටල් ආෆටර්නදර් කියල චිත්‍රපටයක් මේ දවස්වල හොලිවුඩයේ තිරගත වෙනවා. කොටින්ම කිව්වොත් ඒ චිත්‍රපටයේ කතාවෙන් සියයට අනුනමයක්ම මගේ මේ චිත්‍රපටයේ කතාව වීම හරිම පුදුම සහගතයි. මේකෙ තියන පුදුම සහගත සිදුවීම තමයි මගේ මේ රැයක් හෝ පැයක් චිත්‍රපටයේ කතාව මම ලියන්නේ මීට අවුරුදු පහකට කලින් මටම හිතිල ලියන කතාවක්. ඒ විධියටම හොලිවුඩයෙත් ඒ වගේ කතාවක් අනුව චිත්‍රපටයක් තැනිල ප්‍රදර්ශනය වීමත් හරිම අහඹු සිදුවීමක්.
රැයක් හෝ පැයක් සිනමා නිර්මාණයේ කතා නිර්මාණය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?
ඉන්දියාවේ මේ හා සමාන සැබෑ සිදුවීම් මාලාවක් ඇතුලත් බී ටු කියල කන්සෙප් එකක් ජනපි‍්‍රය වුණා. ඒකත් යම්තාක් දුරට මේ චිත්‍රපටයේ කතාවට පාදක වුණා. විශේෂයෙන් මගේ මේ චිත්‍රපටය කාන්තාවන්ට පිදෙන දායාදයක් කිව්වොත් මම හරි. හැම ස්වාමියෙක්ම බිරිඳක්ම විශේෂයෙන් රැකියාවල නියුතු ස්වාමියෝ බිිරිඳෑවරු කාර්යාලවල රැකියාවේ නියුතු සෑම කාන්තාවක්ම නැරඹිය යුතුම චිත්‍රපටයක්.
ස්වාමියෝ කාන්තාවෝ නැරඹිය යුතුම චිත්‍රපටයක් කියල ඔබ බල කරලම කියන්න හේතුවක් තියනවාද?
අද සමාජයේ කාන්තාවන්ට නිසි තැන නැති වාතාවරණයක් දකින්න තියෙනවා. ඔවුන්ට ලැබෙන්න ඕන ගරුත්වය ලැබෙන්නෙ නෑ කියලා දකින්න තියෙනවා. කාන්තාව යනු සෙල්ලම් බඩුවක් නොවෙයි. ඇය මවකි නැගණියකි කියලා මම මේ නිර්මාණය හරහා සමාජයට පණිවිඩයක් දෙනවා. මේ චිත්‍රපටයේ කතාව කාලීන සිදුවීමක් මෙයට පාදක වූ සත්‍ය සිදුවීම වූණේ් මීට වසර පහකට පෙර.
චිත්‍රපටයේ කතාව ඔබේ වුණාට තිර රචනය විදෙස් තිර රචකයෙකුගේ නොවේද?
චිත්‍රපටයේ කතා තේමාව මගේ. පුලන් දේ රායප්පන් නැමැති ඉන්දීය ජාතික තිර රචකයා තමයි මගේ කතාව චිත්‍රපටයට තිර රචනය කරන්නේ. ඔහු මගේ මේ චිත්‍රපටයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයාත් වෙනවා. මම ඕනෑ තරම් තිරරචනය කරලා තියෙනවා. සීන් බයී සීන් නමුත් මගේ පහසුවට ඒවෙන කෙනෙක්ට ලබාදුන්නා මගේ නිර්මාණය පැය දෙකකට ආසන්න විනාඩි ගාණක් කුතුහලය දනවමින් ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය තුළ හරි අපූරු විදියට බද්ධ කරගෙන ඉන්න ආකාරයට චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා.
ඉන්දියානු සහ සම්බන්ධතාවක් ඇතුව මෙවැනි සිනමා නිර්මාණයක් කරන්න ඔබ අදහස් කලේ ඇයි?
අපේ සිනමාට වඩා එහා ගිය සිනමාවක් තමයි ඉන්දියාව තුළ තියෙන්නේ. මට අවශ්‍ය වුණා අපේ නව පරපුරට ඉන්දියාවත් අපත් අතර පාලමක් හදන්න. දක්ෂ නළුනිළියන් අපට ඉන්නවා. නමුත් ඔවුන්ට ඒ දක්ෂතා පෙන්වන්න අවස්ථාව නැහැ. අපේ නිර්මාණ වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ නිර්මාණය කිරීම මගේ අරමුණක්. මගේ මේ සිනමා නිර්මාණයේ දෙමළ කොපිය ළඟදීම අපි ප්‍රේක්ෂකයන්ට මුදා හැරීම සිදුකරනවා. එතකොට මුළු ලෝකයේම අය අපිව දකිනවා. අපි පුංචි රටක් වුණත් අපිට අවශ්‍යයි ලෝක වෙළඳපොළට යන්න. ලංකාව තුළ වෙළඳපොළ අපිට මදි. සල්ලි යොදවපු නිෂ්පාදකයෝ ඉන්නවා. ලක්එක නැතුව අපේ රටේ අතරමං වෙලා ඉන්දියාව සමඟ සමගාමීව චිත්‍රපටයක් කලාම චිත්‍රපටය මුදා හැරියාට පසු අපිට විවිධ තැන්වලින් ඒ නිර්මාණය අලෙවි කරගන්න වෙළඳපොළක් විවෘත වෙනවා. අපි ඉන්දියාවේ සිනමා සංගම් සමඟ ගිවිසුම් ගතවෙලා හිටියොත් විතරයි අපිට එවැන්නකට පාර විවෘත වෙන්නේ. මම මගේ කොම්පැනිය පවා ඒ රටේ රෙජිස්ටර් කරලා මේ පාලම තැනීම ආරම්භ කරලා තියෙන්නේ.
ඔබ සිංහල චිත්‍රපටවල පමණක් නෙමෙයි. දෙමළ චිත්‍රපට වල පවා රඟපෑ නළුවෙක්?
මම ඉන්දියාවේ දෙමළ චිත්‍රපට හතරක විතර රඟපෑවා. අන්ධ නිම්දම්, තුජ් පාකි එන් කදෙයි, එදීර් තනීර් වැනි දකුණු ඉන්දීය සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. දකුණු ඉන්දීය චිත්‍රපට එකොළහක් රඟපෑමට මාව තෝරා ගෙන තිබුණා. එයින් හතරක විතරයි මට රඟපාන්න ලැබුණේ. කොරෝනා ව්‍යසනය නිසාවෙන් අනිත් චිත්‍රපට කෙරෙන එක නතර වුණා. මගේ ඒ රටේ හිටිය දමිළ ජාතික චිත්‍රපට කළමනාකරු කොරෝනා රෝගයෙන් මිය ගියා. ඒ සමඟම ඒ රටේ මගේ ඔෆිස් එක වහන්න වුණා කළමනාකරු නොමැති වීම නිසා. ඉන්දීය නිළි ස්නේහාගේ පියා තමයි මගේ ඒ රටේ කළමනාකරු වශයෙන් වැඩ කළේ. කොරෝනා ව්‍යසනය සමඟ සිනමා කර්මාන්තය මුළු ලෝකය පුරා කඩා වැටුණා. ඒ කඩා වැටීම තුළ මටත් කලකිරීමක් ආවා. කොහොමහරි මම මලයාලම් චිත්‍රපට දෙකක් රඟපෑවා. ඉදිරියේදී ඉන්දියාවේ මගේ මිත්‍රයෝ ඉන්නවා චිත්‍රපට නිෂ්පාදකවරු ඔවුන් සමහර විට මට නිර්මාණයකට ආරාධනා කළොත් මම රඟපාන්න පුළුවන්.
ලාල් වීරසිංහ සිනමා නළුවෙක් සේම ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනූ නළුවෙක්?
මම මුලින්ම ටෙලි නාට්‍ය රංගනයට එක්වන්නේ බෙනට් රත්නායකගේ සයුරෙන් එහා ටෙලි නාට්‍යයට. ඊට පස්සේ සුදු පරවියෝ, අරවින්ද සහ ඉන්දු, හිම රාත්‍රි, පතිනි, ලොක්කි, ප්‍රාර්ථනා ආදී ටෙලිනාට්‍ය රැසක රඟපෑවා.
ටෙලිනාට්‍ය රංගනයට ඔබ අවතීර්ණවුවත් පසුකාලයේ එහි රඟපෑමෙන් ඔබ අයින්වෙලා හිටියානේද?
කවදාවත් සිනමා තිරයේ ලබන ජනප්‍රියත්වය පුංචි තිරයේ ලබන්න බෑ. සිනමාවේ ලබන ප්‍රතිරූපය දැවැන්තයි, මිනිසුන්ට සිනමා නළුවෙක් හීනෙනුත් පේනවා. ටෙලි නළුවෙක් හීනෙන් පේන්නේ නෑ. අන්න එතැනයි වෙනස. සිනමා ප්‍රේක්ෂකයා චිත්‍රපටයක් බලන්නේ අතින් සල්ලි දීලා ටෙලි නාට්‍යය තව කෙනෙක් සල්ලි දීලා නිර්මාණයක් හදලා ඒක ගෙදරට ගෙනත් පෙන්නනවා. ඒකයි මේ දෙකේ වෙනස. නමුත් කවදාවත් රූපවාහිනියෙන් ලැබෙන ජනප්‍රියත්වය ලැබෙන්නේ නැහැ සිනමාවෙන් ඒකත් කිව යුතුයි. අද මට එදාට වැඩිය මිනිස්සු ආදරය කරනවා.
ටෙලිනාට්‍ය නිර්මාණ රංගනයෙන් ඔබ ප්‍රේක්ෂක හද ඇද බැද ගත්තේ මොන නිර්මාණවල මොන චරිත ඔස්සේද?
ලොක්කිගේ කතාව නිර්මාණයේ නින්ජා ඒ චරිතයේ මම නිතර කිව්වා මගේ මූණ ලස්සනයි ඇතුළෙ ඉන්නේ යකෙක් කියලා. මේ දෙබස් කුඩා වැඩිහිටි කා අතරත් එදා වගේම අදත් ජනප්‍රිය වූ දෙබසක්. ප්‍රාර්ථනා නිර්මාණයේ අකලංක කියන අහිංසක ගුරුවරයා අදත් සමහර තැන්වලට ගියාම වයසක අම්මලා එහෙම කියනවා අනේ මේ අපේ අකලංක සර් නේ කියලා.
කලක් පුංචි තිරයෙන් දුරස්ව සිටි ඔබ අද නැවතත් පුංචි තිරයට පෙම් කරනවාද?
දැන් මගේ ජීවිතය වෙලා තියෙන්නේ පුංචි තිරය. දැන් මම පුංචි තිරයට ආදරේ කරනවා. දැන් මගේ ව්‍යාපාරය වෙලා තියෙන්නේ පුංචිතිරය. හර්ෂ උඩකන්ද කියන අධ්‍යක්ෂවරයා සමඟ මම සම නිෂ්පාදනයෙන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරනවා. තව නොබෝ දිනකින් දෙරණ නාලිකාවේ විකාශය අරඹන මං ආදරේ ටෙලි නාට්‍යයේ සම නිෂ්පාදක හැටියට වගේම එහි බච්චන් අයියා හැටියට මම චරිතයක් කරනවා. අමිතා බච්චන් විදියට අඳීන පලඳීන කතා කරන එයාව අනුකරණය කරන කෙනෙක් හැටියට. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂ උඩකන්ද.
ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් ගමනක් යන්නයි ඔබේ කැමැත්ත?
දැන් මගේ ව්‍යාපාරික සගයා හර්ෂ උඩකන්ද. ඔහුත් සමඟ මම ටෙලිනාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ප්‍රාර්ථනා හා මං ආදරෙයි ටෙලි නාට්‍ය දෙක. දැනට ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය විකාශය වෙලා අවසන්. මං ආදරෙයි විකාශයට නියමිතයි.
සිංහ මචං චාලි සිනමාවට ගේන ඔබ ඇයි රැයක් හෝ පැයක් නමින් ඔබේ දෙවන සිනමා අධ්‍යක්ෂණයට මෙපමණ කලක් ගන්නේ?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනයෙනුත් දායක වෙලා මුදා හරිනවා කියන්නේ පුදුමාකාර මානසික පීඩනයක්. ඒ පීඩනයට මුහුණ දෙන්න මට අමාරුයි. කොරෝනා ආවට පස්සේ අපේ ජීවිතත් කඩා වැටුණා. අපේ ආර්ථිකය විතරක් නෙවෙයි. රටේ ආර්ථිකයත් කඩා වැටුණා. මට තුන්වතාවක් කොරෝනා හැදුනා. මම අවුරුදු දහයක් විතර නිහඬව ඉඳලා තමයි යළිත් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ.
අවුරුදු පහක් විතර නිහඬව ඉඳලා ආයේ චිත්‍රපටයක් කරන්න ඉන්නකොට කොරෝනා ආවා. තවත් ටික කාලයක් ඉන්දියාවෙ ගිහින් හිටියා එහිදී චිත්‍රපට කීපයක්ම රඟපෑවා. රංග ශිල්පියෙක් ලෙස මම චිත්‍රපට විසිපහක විතර රඟපාලා ඇති.
ඔබේ මුල්ම සිනමා රංගනය වෙනුවෙන් සරසවිය සම්මානයට පවා ඔබ පාත්‍රවෙනවා නොවේද?
1992 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ජනප්‍රිය නවක නළුවා සම්මානය හා හොඳම නවක නළුවා සරසවි සම්මාන දෙකම එකවර ලැබුණා. වැඩ බැරි නම් වැඩක් නෑ චිත්‍රපටය වෙනුවෙන් මේ චිත්‍රපටය ආරම්භක සිනමා ශාලාවල දින එකසිය විසි පහක් තිරගත වුණා.
පළමු චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නළුවෙකු වන්නත් ඒ පළමු සිනමා රංගනය වෙනුවෙන් සම්මානනීය වන්නත් සුවිශේෂී හේතුවක් ඇතැයි ඔබ සිතනවාද ?
ඉන්දියාවේ බොම්බායේ national institute of Film Television and Theaters ආයතනයේ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ පූර්ණ හැදෑරීමක් කරලා තමයි මම සිනමාවට පැමිණියේ. කොහොමත් මම ඇහින්දාස් නළුවෙක් නොවෙයි. මේ ඉගෙනීම ලබල මම ලංකාවට ආපු විගසම වගේ තමයි මට වැඩ බැරි නම් වැඩක් නෑ චිත්‍රපටය රඟපාන්න ලැබුණේ. එවක පත්තර වලින් මට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ.ඩී රන්ජිත් කුමාර මහතා, අර්නස්ට් වඩුගේ මහතා, සෑම් පෙරේරා මහතා, ආනන්ද පද්මසිරි මහතා, උදය තෙන්නකෝන් මහතා ආදී එවක හිටිය පුවත්පත් කලාවේදීන් මට චිත්‍රපටය ලැබෙන්න ඉස්සර ඉඳලම ලොකු සහයක් ලබා දුන්නා. මාව ඔවුන් ඉහළින් ඔසවා තැබුවා. මිතුන් වගේ නළුවෙක් සිංහල සිනමාවට කියලා ඒ කාලේ මිතුන් චක්‍රබෝති හරිම ජනප්‍රියයි. ඒක තමයි මම වෙනුවෙන් ඔවුන් දාපු හෙඩිම. සරසවිය, සරසි, ආරාධනා පත්තර වලින් මට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා. සිංහල සිනමාවට හින්දි නළුවෙක් වගේ නළුවෙක් කියලා. ඕනෙම කලාකරුවෙක්ව මාධ්‍ය තුළින් උඩට දාන්න පුළුවන්. බිමට දාන්නත් පුළුවන්. ඒක පෑන් තුඩේ තියෙන බලවේගයක්. අද නැති උණත් එදා පි‍්‍රන්ට් මීඩියා පුදුම විදිහට අපිව ඔසවලා තැබුවා.
නිෂ්පාදකවරයෙක් සල්ලි දාලා අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණයක් කරපුවාම ඒ රඟපෑ. නළු නිළියන්ගෙන් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයේදී මාර්කටින් පැත්තෙන් සහයක් නොලැබෙන තත්ත්වයක් අපේ සිනමාව තුළ දකින්න තියෙනවා නේද?
මම දන්නෙ නෑ ඔබේ ප්‍රශ්නය සර්ව සාධාරණද කියල නමුත් මගේ මතය නම් රඟපෑ නළු නිළියෝ අධ්‍යක්ෂකට වගේම නිෂ්පාදකයටත් ප්‍රදර්ශනයේ දී ඔවුන්ට සහයක් ලබා දිය යුතු වෙනවා. මේ කර්මාන්තයේ පැවැත්මට ඉන්දියාවේ නම් මේ සහයෝගය උපරිමයෙන්ම ලැබෙනවාමයි. හැබැයි අද නව පරපුරයි අපි ගත්තාම ලොකු වෙනසක් තියෙනවා. අද නවපරපුර වගකීම කියන දේ තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. අපි ළඟ තියෙන ගරුත්වය නවපරපුර තුළ නෑ. ඒකට හේතුව ගුණාත්මක භාවය නොමැතිකම පවතින්න ඕනේ නම් මේ ක්ෂේත්‍රයේ විනය හා ගරුත්වය තියාගත යුතුමයි. ජ්‍යේෂ්ඨයන්ට ගරු කළ යුතුයි අධ්‍යක්ෂකට නිෂ්පාදකට ගරු කළ යුතුයි. මම ඉන්දියාවේදී දැකපු දෙයක් තමයි ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ගේ කකුල අල්ලලා වන්දනා කරනවා. මමත් එහෙම කරපු අවස්ථා තිබුණා. අපි ස්ටුඩියෝ එකට යනකොට සවුන්ඩ් ඉන්ජිනියර් නැගිටිනවා පපුවට අත තියලා ගුඩ් මෝනින් සර් කියනවා. මගේ මේ අලුත් චිත්‍රපටයේ කාර්මික වැඩ කටයුතු කළේ ඉන්දියාවේ. එතකොට මම ඒ දේ අත්වින්දා. ඉන්දියාවෙ කලා ක්ෂේත්‍රයේ විනය තියෙනවා. අපි ටෙලිනාට්‍යවල වෘත්තියට රඟපාන්න මෙහෙ ආපු නවකයන්ට ගුරු හරුකම් දීලා තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට එයාලට ඒක අමතකයි. ගරුත්වය නෑ. මම තමයි වැඩකරු කියලා හිතෙනවා. එතන තමයි කනගාටු තත්ත්වය අධ්‍යක්ෂකට නිෂ්පාදකට කෘතියට වෘත්තියට ගරු කරන්නෙ නැහැ. අපි සුහදවෙච්ච පලියට ඒගොල්ලොත් හිතන්න නරකයි මුන් නැතිවෙනවා අපි ඉන්නවා කියලා. නමුත් අපි නැතිවෙන්නේ නෑ. අන්තිමට ඒ අයම තමයි නැතිවෙන්නේ අන්න එතනයි වෙනස.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ ඇසුර ලබන්නත් ලාල් වීරසිංහ වාසනාවන්ත වුණා?
එතුමන්ගේ අවසන් කාලයේ මම ඒ භාග්‍යය ලැබුවා. මේ ළඟකදී රූපවාහිනී වැඩසටහනකදී එතුමන් ගැන සඳහන් කරන්න ගිහින් මට ඇඬුණා. දිනේෂ් ප්‍රියසාද් මම අපි දෙන්නා හවස් යාමයේ ගාමිණී මහතාගේ ජා ඇල ගෙදර යනවා. මම තෝරමාළු අරන් යනවා ගාමිණි මහත්තයා බ්‍රැන්ඩි බෝතලයක් ලෑස්ති කරනවා. අපි රෑ දෙගොඩ හරිය වෙනකන් කතාබස් කරනවා. ගාමිණී ෆොන්සේකා කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක් ඒ වගේ ලෙජන්ඩ් කෙනෙක් කවදාවත් සිංහල සිනමාවේ බිහි වෙන්නේ නෑ. ඒ දැවැන්තයාගෙන් පවා මම ගුරු හරුකම් ලබාගත් අවස්ථා තියෙනවා. එතුමාගේ කෙටි ඇසුර තුළ මම ලබාගත් දේ බොහොමයි. එතුමා ප්‍රතිරූපය හදාගත් නළුවෙක්.
ලංකාවේ වගේම ඉන්දියාවේත් ඔබට සිනමාවේ දැවැන්තයන්ගේ ඇසුර ලබන්නත් අවකාශ උදාවෙන්න ඇති?
මම එහෙ ඉගෙන ගන්න කොට විශේෂ පන්ති වල දේශන සඳහා පැමිණියා මිතුන් චක්‍රබෝති මහතා, රාජ් බබ්බර් රංග ශිල්පියා, හින්දි සිනමාවේ ජනපි‍්‍රය රංග ශිල්පී ගෝවින්දාගේ හා මගේ ගුරුවරයා වූ මාස්ටර් රාහුල් මම ඉගෙන ගත්ත කාලයේ ගෝවින්දා රඟපානවා නමුත් ඔහු වචන උච්චාරණය ඉගෙන ගන්න ඒ දවස්වල රාහුල් මාස්ටර් ළඟට ආවා.
අද ලොව ජනපි‍්‍රය තලයේ වැජඹෙන නළුවත් සමඟත් ඔබ සමීපව ගත කළ අවස්ථාත් තිබුණ ද?
ශාරුක් ඛාන් මට මුලින්ම හමුවුණේ බොම්බායේ ෆිල්ම් සිටි ස්ටුඩියෝවේ කාමරයක් තුළ. අපි දෙන්නා එහි ඇඳක වාඩිවෙලා එකට කෑම කෑවා. ශාරුක් ඛාන්ගේ දෙවැනි චිත්‍රපටය වූයේ කබී හා කබීනා චිත්‍රපටය ඒ චිත්‍රපටයේ රඟ පෑ අනික් නළුවා මගේ පන්තියේ යාළුවෙක්. ඔහු තමයි මම හඳුන්වා දුන්නේ මේ ශාරුක් ඛාන් කියල එතකොට ශාරුක් කළු කොල්ලෙක්. පොල් නහයක් තියන හැම තිස්සෙම සිගරැට් ගහන කෙනෙක්. මම ඔහුත් එක්ක එකට කාල පින්තූරයක්වත් ගත්තේ නෑ. කොහොමහරි මම ලංකාවට ඇවිත් ටික කාලෙකට පස්සේ ශාරුක් ඉන්දියාවේ මාරම නළුවෙක්. මම අදත් දුක්වෙනවා. එක කාල ෆෝටෝ එකක්වත් ගත්තේ නැති එක ගැනත් ඒ වගේම එදා මම ශාරුක්ව අවතක් සේරු කරපු එක ගැන.
රජිනි කාන්ත් එක්ක එකට තේ බීලා තියනවා. ඒත් පින්තුරයක් අරන් නෑ. ඒ වෙලාවේ රජිනි කාන්ත් හරි කැත මනුස්සයෙක්. අදත් මම දුක්වෙනවා ඒ සබඳතා තියා ගත්තේ නැති එක ගැන. කවදාවත් අපි කිසිම කෙනෙක් අවතක්සේරු කළ යුතු නෑ. මටම අත්දැකීම් තියනවා මම ටික කාලයක් සිනමාවෙන් ඈත් වෙලා ඉන්නකොට රසික රසිකාවියෝ ක්ෂේත්‍රයේ අය මාව අවතක්සේරු කළ හැටි මෙයා පැන්ෂන් ගිය පොලිස්කාරයෙක් කියලා. මගෙන් වැඩගත්තේ නෑ මාව අවතක්සේරු කළා. මාව නිතරම කොටු කළා විනෝදාත්මක චිත්‍රපටවලට පමණක් ඉන්දියානු චිත්‍රපට මගෙන් වැඩ ගන්න පටන් ගත්තා. මගේ කරුමෙට කොරෝනා ආවා. මට මේ හැම දේකින්ම කලකිරීමක් ඇතිවුණා. මම උදව් කරපු අය ඔවුන්ට අවස්ථාවක් ලැබුණ ගමන් ඔවුන් මාව ඒ අයගේ දේකට සම්බන්ධ කරගත්තේ නෑ. මගේ ජනපි‍්‍රයත්වයේ මට අවස්ථාව ආපුවහම මම උදවු කළ අය මට උදවු කළේ නෑ. මම අදත් මතක් කරනවා මගේ පළමු චිත්‍රපටය වැඩ බැරි නම් වැඩක් නෑ. නිෂ්පාදනය කළ ක්‍රිස්ටි ප්‍රනාන්දු මැතිව් ප්‍රනාන්දු මහත්තයලව අද මැතිව් ප්‍රනාන්දු ජීවතුන් අතර නෑ. මේ චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කළේ උදයතේන්නකෝන් පසුව රූපගතකිරීම් අවසානයේ මත ගැටුමක් මත ඔහු ඉවත්වෙලා උපාලි පියරත්න මහත්තයා තමයි වැඩ අවසන් කළේ. අද උපාලි පියරත්න ජීවතුන් අතර නෑ. එදා හැම කෙනෙක්ම මාව අවතක්සේරු කළා. මගේ කනට ඇහුණා සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් මගේ පිටුපස්සේ ඉඳල සැවෝයි සිනමා ශාලාවේදී කියනවා. මේ චිත්‍රපටය සුමානයක්වත් දුවන් නෑ කියලා. අද ඒ නිෂ්පාදකවරයට වැලේ වැල් නෑ අධ්‍යක්ෂවරයා නම් මියගිහින් මම කියන්නේ කවදාවත් කෙනෙක්ව අවතක්සේරු කරන්න එපා.
අත්දැකීම් ලැබු නළුවකු, අධ්‍යක්ෂවරයකු ලෙස ඔබට නව පරපුර වෙනුවෙන් දිය නැති පණිවිඩය මොකක්ද?
නව පරපුරට මම කියන්නේ කිසිම කෙනෙක් අවතක්සේරු කරන්න එපා. මේ කර්මාන්තයට ගරු කරන්න. කැපවීම තියා ගන්න. මේ කර්මාන්තයේ වෘත්තීය නළු නිළියන් හැටියට ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මතක තියාගන්න මේ වෘත්තීය ඔබේ ජීවිතයයි කියන හැඟීම තියාගෙන හැමමොහොතේම වැඩකරන්න. ඔබේ ජීවිතයට ප්‍රාණය දෙන්නේ මේ කර්මාන්තය කියන හැඟීම ඇති කරගන්න. කැපවීමක් නැත්නම් මේ කර්මාන්තයේ පැවැත්මක් නෑ. කැපවීම තමයි තමන්ගේ වෘත්තියේ ගමනාන්තය තීරණය කරන්නේ.
සේයාරූ – ශාන් රඹුක්වැල්ල
චන්දන දයාසිරිවර්ධන
