Home » අද්විතිය ගායකයාගේ සිනමාත්මක ප්‍රතිනිර්මාණය

අද්විතිය ගායකයාගේ සිනමාත්මක ප්‍රතිනිර්මාණය

- A complete unknown

by Thanushika
March 13, 2025 11:19 am 0 comment

චරිතාපදාන (Biography) ශානරය හොලිවුඩ් සිනමාවේ සුලබව දක්නට ලැබෙව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ගණයේ ශානරයක්. චරිතාපදාන ශානරයෙහි හොලිවුඩ් සිනමාකරුවන් වඩාත් අවධානය යොමු කරන්නේ සංගීත ලෝකය තුළ වඩාත් ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිත වෙතයි. සංගීත ලෝකයේ වඩාත් ජනප්‍රිය වූ ගායකයන්ගේ ජීවිත කතා පාදක කරගනිමින් චිත්‍රපට පෙළක් හොලිවුඩයේ නිර්මාණය වුණා. ඒ අතරින් ගායක ෆ්‍රෙඩී මර්කරිගේ චරිතය පාදක කරගෙන තැනූ ‘Bohemian Rhapsody’ (2018) චිත්‍රපටය, එල්ටන් ජෝන්ගේ චරිතය පාදක⁣ කරගෙන නිෂ්පාදනය කළ ‘Rocketman’ (2019) සහ එල්විස් ප්‍රෙස්ලිගේ චරිතය ඇසුරින් නිෂ්පාදනය කළ ‘Elvis’ චිත්‍රපටය ආදී වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතාපදාන චිත්‍රපට පෙළයි. ගායකයකු සේම අති දක්ෂ ගී පද රචකයකු වන ඇමරිකානු ජාතික ‘බොබ් ඩිලන්ගේ’ තරුණ ජීවිතයේ පැතිකඩ ආවරණය කරන ‘A complete unknown’ 2024 තිරගත වූ අපුරු චරිතාපදාන චිත්‍රපටයකි.

චිත්‍රපටය ආරම්භ වන්නේ ප්‍රේක්ෂකයා 1960 දශකය දක්වා දිගු කාලතරණයකට ප්‍රවේශ කරමින්. 1961 දී, බොබ් ඩිලන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වන්නේ ඔහු වඩාත් ප්‍රිය කරන ගායකයාවන ‘වුඩි ගුත්‍රි’ හමුවීමටය. වුඩි ‘හන්ටිංටන්ගේ රෝගයෙන්’ අසාධ්‍යව සිටින අතර මිය යෑමට ඉතා ආසන්නයේ සිටී. ඩිලන් ඔහුගේ සමීප මිතුරෙකු වන පීට් සීගර් සමඟ රෝහලේදී ගුත්‍රි හමුවෙයි. ඩිලන් ගුත්‍රි වෙනුවෙන් ලියූ ගීතයක් එම මොහොතේ ඔහු ඉදිරියේ ගායනා කරයි. මේ ගායනය ගුත්‍රිගේ සිත් ඇදගනී. ඩිලන් තරුණයා ගායකයකු ලෙස පියවර තබන්නේ මේ ගුත්‍රිගේ හමුවීමත් සමඟ ය. සිනමාපටයේ බොබ් ඩිලන්ගේ තරුණ දිවිය සහ ඔහු ගායකයකු ලෙස ඇමරිකානු ජනතාව අතර ජනප්‍රිය වන ආකාරය පිළිබඳ අවධානය යොමු කරයි. චිත්‍රපටයේ දැක්වෙන පරිදි ඔහු ආදරය කළ තරුණියන් දෙදෙනෙකු පිළිබඳ කියැවෙයි. ඒ ගායිකාවක සහ ගිටාර් වාදන ශිල්පිනියක වූ ‘ජෝන් බේස්’ සහ ‘සිල්වි රූසෝ’ ය. බොබ් මේ දෙදෙනාටම දැඩි සේ ආදරය කළේය. චිත්‍රපටයේ සිල්වි රුසෝගේ චරිතය පදනම් වී ඇත්තේ එවකට බොබ් ඩිලන්ගේ පෙම්වතිය වූ සුසේ රොටෝලෝ මත ය. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ඩිලන් විසින් අධ්‍යක්ෂක ජේම්ස් මැන්ගෝල්ඩ්හට රොටෝලෝගේ සැබෑ නම චිත්‍රපටයේ භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටි බවයි. සිනමාපටය පුරා බොබ් විසින් මේ ප්‍රේමවන්තියන් දෙපළ සමඟ තිබූ පෙමි ඇසුරෙහි ස්වභාවය වඩාත් තීව්‍රව නිරූපණය කරයි. ⁣චිත්‍රපටයේ එක් පසෙකින් එවකට ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර තිබූ සීතල යුද්ධය පිළිබඳව ද සඳහන් කරයි. විශේෂයෙන් කියුබානු මිසයිල අර්බුදය නිසා එවකට නිව්යෝර්ක් ජනතාව කැලඹීමට පත් වු ආකාරය වාර්තා කරයි. බොබ් ඩිලන් මේ කුරිරු දේශපාලනය දෙස ඉතා සීරුවෙන් බලා සිටින්නේ සංයමයෙන් යුතුවය. කලාකරුවකුගේ ජීවිතයට දේශපාලනය කෙතරම් බලපෑම් කරනවාද යන්න මේ සිදුවීමි හරහා ඉස්මතු කරයි. බොබ් ඩිලන්ගේ නිදහස් සිතුවිලි අවදි වන්නේ මෙවැනි කලබලකාරී වටාපිටාවක් ඇසුරෙනි.

‘A complete unknown’ චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ බොබ් ඩිලන් ජීවතුන් අතර සිටින අතරතුරය. ඔහුගේ දැන් වයස අවුරුදු 83කි. ජෑස්, සාම්ප්‍රදායික පොප් සංගීතය සහ ජන සංගීතය බොබ් විසින් ගීත නිර්මාණය කිරීම සඳහා ආභාසය කර ගත්තේය. ඔහුගේ වාද්‍ය භාණ්ඩය වූයේ ගිටාරයයි. ගිටාරය වයමින් ඔහු ගැයු අර්ථාන්විත ගීත ශ්‍රාවකයා අතර වේගයෙන් ජනප්‍රිය විය. ඔහු ගැයූ ගීත ඇතුළත් ඇල්බම් උණු කැවුම් මෙන් අලෙවි විය. බොබ්ගේ කඩවසම්බව නිසාම ඔහු වෙත තරුණියන් දහස් ගණන් පසුපස ඇදී ආහ. බොබ් ඩිලන් අතිශය ශූර වූයේ ගී පද රචනයටයි. ඔහු සාහිත්‍ය සහ ජන සංගීතය ඇසුරින් උකහාගත් සිතුවිලිවලින් ගී පද වැල් ලියුවේය. බොබ් ඩිලන්ගේ මෙම සුවිශේෂි රචනාව නිසාම සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

අද්විතීය සිනමාකරුවකු වන ‘ජේම්ස් මෑන්ගෝල්ඩ්’ විසින් ‘A complete unknown’ චිත්‍රපටයට අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු වඩාත් ප්‍රකට වන්නේ ක්‍රියාදාම චිත්‍රපට ශානරය වෙතටයි. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘ද වුල්වරීන්’, ‘ලෝගන්’, ‘ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි’, ‘ඉන්ඩියාන් ජෝන්ස් ඇන්ඩ් ද ඩයල් ඔෆ් ඩෙස්ටිනි’ කැපී පෙණෙ ක්‍රියාදාම චිත්‍රපට වෙති. බොබ් ඩිලන්ගේ තරුණ දිවිය සඳහා පණ පොවන හොලිවුඩයේ නවක නළුවකු වන ‘තිමොති චලමෙට්’ කදිම තෝරාගැනීමකි. විශේෂත්වය වන්නේ බොබ් ඩිලන්ගේ ගීත ඔහු විසින්ම චිත්‍රපටයේ ගායනා කිරීමයි. තිමොති විසින් බොබි ඩිලන්ගේ චරිතය මනා සාධරණයක් ඉටු කර ඇති බව විචාරකයන්ගේ අදහසයි.

ඇමරිකානු චිත්‍රපට ආයතනය සහ ජාතික සමාලෝචන මණ්ඩලය විසින් 2024 වසරේ හොඳම චිත්‍රපට 10න් එකක් ලෙස නම් කරන ලද ‘A complete unknown’ චිත්‍රපටය 97වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා (තිමොති චලමෙට්), හොඳම සහය නළුවා (එඩ්ර්ඩ් නෝර්ටන්) සහ හොඳම සහය නිළිය (බාබරෝ) ඇතුළු නාම යෝජනා අටක් දිනා ගත්තේය. 82 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී (හොඳම චිත්‍රපටය – නාට්‍ය අංශය) නාමයෝජනා තුනක්, 31 වන තිර නළු නිළියන්ගේ සංසද සම්මාන උළෙලේදී (තිමොති චලමෙට් සඳහා හොඳම නළුවා දිනා ගැනීම) සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙලේදී (හොඳම චිත්‍රපටය ඇතුළුව) සම්මාන හයක් හිමි විය. 1960 දශකයේ ඇමරිකානු ජන සමාජයේ හැඩය සහ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීම චිත්‍රපටයේ වැදගත් අංශයකි. පසුතල නිර්මාණය, ඇඳුම් පැලඳුම්, කොණ්ඩා විලාසිතා ආදී සියල්ලම චිත්‍රපටයේ එන කතාවෙි විශ්වසනීයත්වය ඉහළ දමන ආනුෂංගික අංගයකි. හොලිවුඩ් සිනමාකරුවන් විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී සිදු කරන පර්යේෂණාත්මකබව ලොව අන් කිසිදු සිනමාවකට ස්පර්ශ නොහැකි තරමට ඔවුන් චිත්‍රපටය වෙනුවෙන් යොදන ශක්තිය වඩාත් කැපී පෙනේ.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT