නිවස විදෙස් සිනමා අජේ-කරන් ගැටුම අවසන්

අජේ-කරන් ගැටුම අවසන්

by Mahesh
October 10, 2024 12:30 am 0 comment

බොලිවුඩය කියන්නේ අතිශය තරඟකාරී ක්ෂේත්‍රයක්. කරන් ජොහාර් සහ අජේ දේව්ගන් ගත්තොත් බොලිවුඩ්වල ඉන්න ඒ වගේ පතාක යෝධයින් දෙපළක්. කරන් සිනමාපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය පැත්තෙන් කාර්යබහුල වෙනකොට අජය සිනමාපට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් කාර්යබහුල වෙනවා. දෙදෙනාම ඉන්නේ තරඟකාරී පරිසරයක. ඉතින් මෙහෙම පරිසරයක් ඇතුළේ හිත් නොහොඳකම් ඇතිවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. අජේ දේව්ගන්ගේ බිරිඳ තමයි 90 දශකයේ සහ 2000 දශකය තුළ අතිශය ජනාදරයට පත් අතිශය දක්ෂ නිළියක වන කාජල්. කාජල්ගේ හොඳම යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් ශාරුක් ඛාන්. අනිත් එක්කෙනා තමයි කරන් ජොහර්. කරන්ගෙයි අජේගෙයි හිතවත්කම කොහොම එකක් වුණත්, කාජල්ගෙයි කරන්ගෙයි නම් යාළුකම ගොඩක් ශක්තිමත් එකක්. ඒක ක්ෂේත්‍රයේ හැමකෙනෙක්ම වගේ දන්නවා.

කාලයක් තිබුණා, ප්‍රේක්ෂකයින් ශාරුක්වයි කාජල්වයි තිරයේ වැඩිපුරම දකින්න පෙරුම් පුරපු. මේ කාලෙ ඒකෙන් වැඩිපුරම ප්‍රයෝජනය ගත්තේ කරන් කීවොත් මම හරි. බාසිගර්, දිල්වාලේ දුල්හානියා මිල් ජායේගේ වලින් පටන් ගත්තු ඒ පිස්සුව කරන් කුච් කුච් හෝතා හේ වලින් තමන්ගේ අතට ගත්තා. ඊට පස්සේ කබි කුෂි කබි ගම් වලින් උත්කර්ෂයට අරගෙන ආපු මේ සුසංයෝගය එක තැනකින් කැඩෙනවා. ඒ තමයි කභි අල්විදානා කෙහෙනා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණේ ශාරුක්, අභිෂේක්, රාණි මුඛර්ජි එක්ක ප්‍රීති සින්ටා. නමුත් මෙහි රාණි වෙනුවට කරන්ගේ මුල්ම තේරීම වුණේ කාජල්. නමුත් කාජල් මේ චිත්‍රපටය ප්‍රතික්‍ෂේප කරන්නේ අඡේ නිසා. ශාරුක් සහ කාජල් පීක් එකේම හිටපු කාලයක් තමයි මේක. ඒ නිසාම එයාල දෙන්න ගැන කටකතා මාධ්‍ය පුරා ප්‍රචාරය වෙන්න ගත්තා. කොහොම වුණත් කිසිම ඇත්තක් නැති ඒ කතා ගැන ශාරුක් වගේම කාජලුත් මුනිවත රකිනකොට අජේ ටිකක් විතර කලබල වුණා. අන්න ඒ නිසා තමයි ඔහු කාජල්ට ශාරුක් එක්ක රඟපාන්න සීමා පැනවූයේ.

මේ අකමැත්ත නිසා ගොඩක් අපහසුතාවට පත්වුණේ කරන්. ඔහු ශාරුක් සහ කාජල් යොදාගෙන කරන්න හිටපු ගොඩක් ෆිල්ම් නතර කරලා දැම්මා. ඒ අජේගේ නොකැමැත්ත නිසා. හැබැයි මේ කාලෙ තමයි කාජල්ට තමන්ගේ පළමු දරුවා ලැබෙන්න හිටියේ. ඒ නිසා කාජල් ඒ පිටින් දාල ප්‍රශ්නය ටිකක් නිවෙන්න ඇරියා. කොහොම නමුත් අජේගේ මේ විරසකය කරන් එක්ක දිගටම තිබුණා. ඒ නිසාම වෙන්න ඇති කරන්ගේ චිත්‍රපටවල අජේ දකින්න නොලැබුණේ. කුච් කුච් හෝතා හේ වගේම කබි කුෂි කබි ගම් තිරගතවන කාලෙම අජය කාජල් එකට රඟපාපු සිනමාපටත් තිරගත වුණා. නමුත් ඒ චිත්‍රපට අර තරම් ජනතාව වැලදගත්තේ නැහැ. මේ දේවල් මොනවිදිහට තිබුණත් කාජල් නම් කරන් එක්ක තිබුණු යාළුකම ඒ විදිහටම තියාගත්තා. කිසිම වෙලාවක ඒක තමන්ගේ ආදරේටවත් යාළුකමටවත් බාධාවක් කරගත්තේ නැහැ. එක තමයි කාජල්ගේ දක්ෂකම.

දරු ප්‍රසූතියෙන් පස්සේ කාජල් තමන්ගේ සිනමාවේ දෙවන ගමන ආරම්භ කරනවා. හැබැයි ඒ ශාරුක් එක්ක නම් නෙවෙයි. අමීර් ඛාන් එක්ක. මේක ඒ දවස්වල කරන් ජෝහර්ට මරු පහරක් වගේ වුණා. මොකද ඔහු කාජල් වෙනුවෙන්ම කරපු නිර්මාණයක් ඇගේ දෙවන ගමන වෙනුවෙන් සූදානම් කරලා තිබුණා. නමුත් ඒ හැමදේම වෙනස් වුණේ ඇය අමීර් එක්ක ෆනා චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කරාට පස්සේ. ඒත් එක්කම තමන්ගේ චිත්‍රපටවල ආරාධිත රංගනයකට හෝ කාජල්ව යොදාගත්තු කරන් ඇයව ඒ සඳහාවත් යොදාගන්නේ නැතිව ඉන්න තීරණය කළා. අනිත් කාරණය තමයි කරන් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් මඳකට නැවතිලා නිෂ්පාදන කටයුතුවලට විතරක් සම්බන්ධ වීම. ෆනා චිත්‍රපටය අති සාර්ථක වුණා වගේම කාජල් ආයෙමත් පාරක් හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තේ ෆනා චිත්‍රපටයේ අන්ධ යුවතියක ලෙස කළ රංගනය වෙනුවෙන්.

ආයෙමත් සැරයක් කරන්, ශාරුක් සහ කාජල්ව එකට එකතු කරන්න උත්සාහ කළා. ඒ මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයෙන්. ඒ පාර නම් අඡේගෙ සැර බාල වෙලයි තිබුණේ. ඒ නිසා කාජල්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ චිත්‍රපටය බාරගන්න පුළුවන් වුණා. එවරත් කාජල් හොඳම නිළිය බවට පත් වුණේ ඇගේ දක්ෂ රංගනයෙන් වගේම කරන්ගේ නිවැරැදි තෝරාගැනීම නිසයි. හැබැයි ඉස්සර වගේ එයාලට මල්ගස් වටේ නටන චරිත නම් කරන්න ලැබුණේ නැහැ. මොකද ඒකට එයාලගෙ වයස ප්‍රශ්නයක් වුණා. පස්සෙ කාලෙක අඡේ දේව්ගන් ආයෙමත් කරන් එක්ක පැටලෙන්න හේතුවක් හැදුණා. ඒ තමයි අඡේ ගේ නිෂ්පාදනයක් වූ ශිවායි සිනමාපටය සහ කරන්ගේ චිත්‍රපටයක් වූ ඒ දිල් හේ මුෂ්කිල් එකම දිනයක මුදාහැරීම. මේ ගැන අඡේ හිටියේ ඒ තරම් සතුටකින් නම් නෙවෙයි. අන්න ඒ නිසාම කාජලුත් කරන්ව ටිකක් මඟහරින්න ගත්තා.

පස්සෙ කාලෙක ඔවුන් කරන්ගේ අතිශය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන කොෆී විත් කරන් වැඩසටහනට සහභාගීවීම පවා ප්‍රතික්‍ෂේප කරලා තිබුණා. හැබැයි ඔන්න දැන් ආයෙමත් කරන් සහ අජේ යාළුවො බවට පත්වෙලා කියලා බොලිවුඩ් වලින් ආරංචි වෙනවා. ඒ වගේම ඔහු පහුගිය දවසක කරන්ගේ කොෆි විත් කරන් වැඩසටහනටත් සම්බන්ධ වෙලා තියෙනවා. එහිදී කරන් ඔහුගෙන් පසුගිය කාලයේ ඔබ වැඩියෙන්ම තරහ වෙලා හිටියේ කා එක්කද කියලා අහපු ප්‍රශ්නෙට අජේ දීල තියෙන්න මෙන්න මෙහෙම උත්තරයක්. ඇත්තටම කාලෙකට කලින් ඒ ලිස්ට් එකේ උඩින්ම හිටියේ ඔයා. ඒ කියන්නේ දැන් ඒක එහෙම නැහැ කියලනේ. මේ උත්තරෙත් එක්ක කරන් අන්ද මන්ද වෙලා. ඒ වගේම වැඩසටහනින් පස්සේ දෙන්න එක්ක සමීප ජායාරූපයකට පෙනී සිටින්නත් අමතක කරල නැහැ. ගොඩක් අය කියන්නේ කරන් අජේ එක්ක වෙනස්ම විදිහේ චිත්‍රපටයක් කරන්න බලාගෙන ඉන්නවා කියලා. එහෙම වුණොත් ඒක ගොඩක් ලස්සන වැඩක් වෙයි.

බොලිවුඩ් ඇතුළේ මේ විදිහේ දේවල් නිතර නිතර සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සිනමාව ඇතුළෙ සදාකාලික හතුරෝ ඉන්න බැහැ කියලත් එයාල නොදන්නවා නෙවෙයි. ඒ නිසා ඉදිරි අනාගතයේ දවසක අජේ එක්ක කරන් කරන වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් ආපු දවසට ඔවුන් සදාකාලික මිතුරෝ වෙන එකත් කාටවත්ම වළක්වන්න බැරි වෙයි.

අමිල නුවන් මධුසංඛ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT