Home » අජිත් තිලකසේන සේවනය, කියැවීම සහ ස්ථානගත කිරීම

අජිත් තිලකසේන සේවනය, කියැවීම සහ ස්ථානගත කිරීම

by Thanushika
December 12, 2024 11:56 am 0 comment

අද්‍යතනයෙහි අනූ එක් හැවිරිදි විය ඉක්මවා සිටින අජිත් තිලකසේනයෝ දශක හයක් පුරා සාහිත්‍ය කලා පයුරුපාසනයෙන් කල් ගෙවා ඇත්තාහ. ස්වකීය ප්‍රගල්භ චින්තනයෙන් යුතු ප්‍රතිභානය, ස්වීය අනන්‍යතාවයෙන් හෙබි නව්‍යවාදී සාහිත්‍ය සම්ප්‍රදානය, ප්‍රාරබ්ධ කළ පිළිනව සාහිත්යික භාෂාත්මක, කාව්‍යාත්මක ප්‍රවණතා හා අභිනව කලා කල්ප මඟින් ඉටු කළ අනන්‍යසාධාරණ කාර්යසාධනය අගයනු වස් පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලය සාහිත්‍ය සූරී (ච්.ඹ්ඪබබ.) හෙවත් ගෞරව සම්මාන ආචාර්ය උපාධියෙන් ඔහු සම්භාවනාවට පාත්‍ර කිරීමට උත්සුක විය. තිලකසේනයෝ මෙය කෘතඥතා පූර්වකව ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළහ. අජිත් තිලකසේනයන් දිගු කලක සිට හඳුනන මම ඔහුගේ මේ තීරණය පිළිබඳ පුදුමයට පත් නොවෙමි.අජිත් තිලකසේනයන්ගේ කලාකල්ප මතු නොව ක්‍රියා කල්පද වෙනස් මඟක් ගන්නා හෙයින් මා මවිතයට පත් වනුයේ ඔහු මෙය පිළිගත්තා නම්ය. කෙසේ වෙතත් මේ අයුරින් ගෞරවනීය ආචාර්ය උපාධියකින් ඔහු සම්භාවනාවට පාත්‍ර කිරීමට උත්සුක වීම පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයට මම කෘතවේදී ප්‍රසාදය පිරිනමනු කැමැත්තෙමි.

මෙරට බොහෝ කලාකරුවන් , සාහිත්‍යවේදීන්, ප්‍රාඥයන්, කලා විබුධයන් සේම අජිත් තිලකසේනයන්ද මා කුඩා කල සිටම හඳුනා ගැනීමේ භාග්‍යය උදාවූයේ ඔහුත් මගේ පියාණනුත් (ඒ.ඩී.රංජිත් කුමාර) අතර පැවති සමීප ගුරු – සිසු ඇසුර හේතු කොටගෙනය. මගේ පියාණන් කොළඹ කේරි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරන සමයේ හයවෙනි ශ්‍රේණියේ (1959) ඔහුට විද්‍යාව උගැන්වූ ගුරුවරයා වූයේ අජිත් තිලකසේනයන්ය. එකී පන්තියේ ළමයින්ගේ අත්දැකීම් අලළා ලියූ කෙටි කතාවක් ඔහුගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය වූ “සතුරෝ” (1960) හී දක්නා ලැබේ. එහි එන “පියසෝම කොච්චර හොඳ ළමයෙක්ද ? “නම් කෙටි කතාවේ දඟකාර ළමයකුගේ චරිතයට පාදක වූයේ මගේ පියාණන්ය. තාරුණ්‍යයෙහි සිටම ජනප්‍රියත්වය පසුපස හඹා යෑමට මැළි වූ අජිත් තිලකසේනයෝ නව්‍යවාදී සාහිත්‍ය නිර්මාණ පළ කරමින් නිහඬ අරගලයක නියැළුණාහ. ඉන් ඔබ්බට යමින් ස්වකීය නව්‍යවාදී , විප්ලවීය භාෂා සාහිත්යික මතවාද ජනගත කිරීමට එතුමෝ උත්සුක නොවූහ. එබඳු පසුබිමක තම ගුරුවරයාගේ නව්‍යවාදී කලා කල්ප ජනගත කරනු පිණිස අජිත් හා සංලාපයේ, සම්භාෂණයේ යෙදෙමින් ඒවා සංස්කරණය කොට ග්‍රන්ථ වශයෙන් පළ කරන ලද්දේ ඔහුගේ ප්‍රිය ශිෂ්‍ය, ඒ.ඩී.රංජිත් කුමාර විසිනි. 1974 සිට 2008 දක්වා පළ වූ ඒවා මෙසේය.

1. නව දෙබස අංක 1 – කලාවයි හුදෙකලාවයි : අජිත් තිලකසේන සමඟ – සංස්කරණය – ඒ.ඩී. රංජිත් කුමාර (1974)

2.නව දෙබස අංක 2 – විනෝදයයි වින්දනයයි : අජිත් තිලකසේන සමඟ – සංස්කරණය – ඒ.ඩී.රංජිත් කුමාර (1982)

3.නව දෙබස අංක 3 – කලා කල්ප සහ බස ගැන කතාබහක් : අජිත් තිලකසේන සමඟ – සංස්කරණය – ඒ. ඩී රංජිත් කුමාර (1999)

4.සම්ප්‍රදාය හා නවීකරණය – අජිත් තිලකසේන සමඟ – සංස්කරණය ඒ. ඩී. රංජිත් කුමාර (2008)

70 දශකය වූ කලී කල්පනා ලෝකවාදී සාහිත්‍ය විචාරයට එරෙහිව කලාව සමාජය උදෙසාය යන මතවාදයට නැඹුරු වූ අපෝහක භෞතිකවාදී සාහිත්‍ය විචාරය (සයිමන් නවගත්තේගම, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය පියසීලී විජේගුණසිංහ යනාදීන් ඔස්සේ) නැඟඑමින් තිබූ සමයකි. එබඳු පසුබිමක කලාව කලාව උදෙසා යන ආස්ථානයේ ප්‍රගල්භ ලෙස පිහිටා සිටි අජිත් තිලකසේනයන්ගේ මතවාදවලට සමාජසත්තාවාදී සාහිත්‍ය ව්‍යාපාරයෙන් විවේචන, විරෝධතා එල්ල වීම අරුමයක් නොවුණි. කලාව කලාව සඳහා යන මතය අද්භූතවාදයෙන් හට ගත් බවත්, සමාජය හා ගැටීමට නොහැකි වූ හුදෙකලා මනෝ ලෝකවල සිටි ලේඛකයන්ගෙන් බිහි වූ බවත් ඇතැම් විචාරකයෝ පැවසූහ. අජිත් තිලකසේනයන්ගේ මතවාද සමාජගත කිරීමට ගොස් වරෙක මගේ පියාණන්ගේ රැකියාවද අවදානමකට ලක් වූ සිදුවීමක් තාත්තා අවසන් වරට ලියූ “කොස් ගස්හන්දියේ කොලු ගැටයා” (2022) ග්‍රන්ථයේ (පිටු 162, 163) “අජිත් තිලකසේන නිසා අමාරුවේ වැටුණු හැටි” යන සිරස් තලයෙන් ඔහු මෙසේ ලියා ඇත.

“මේ කාලයේ අජිත් තිලකසේන මා හමුවූ අවස්ථාවක ජනතාවාදී සාහිත්‍යයට එරෙහිව අදහස් දක්වමින් කතා කළේය. අපි අවන්හලකට ගොස් මේ ගැන පුළුල් ලෙස කතා කළෙමු.

“සර්, අපි මේ අදහස් ටික පුංචි පොතකට ගහමු” මම යෝජනා කළෙමි. අජිත් මගේ ගුරුවරයෙකි.

“මේ අදහස් ටික මට සමාජයට දෙන්නයි ඕනෑ” ඔහු කීවේය. මා දන්නා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් දැන්වීම් ටිකක් ඉල්ලාගෙන අපි මේ පොත මුද්‍රණය සඳහා ගුණරත්න සමාගමට බාරදුනිමු. එවකට ඩී.සී. රණතුංග මහතා ලංකා දුම්කොළ සමාගමේ ප්‍රචාරක අධ්‍යක්ෂවරයාය. ඔහු කලාකරුවන්ට හැමවිටකම උදව් කළේය. පොතේ බර පැන ගෙවීමට ඔහුගේ දැන්වීම් බෙහෙවින් ඉවහල් විය. “කලාවයි හුදෙකලාවයි” නමින් “නව දෙබස අංක 1” ලෙස අජිත් තිලකසේන සමඟ මා පැවැත් වූ සාකච්ඡාව පොත් පිංචක් සේ එළිදැක්කේය. කුලරත්න ආරියවංශ මගේ සහායට සිටියේය. එඩ්වින් ආරියදාස මහතා මේ පොත ගැන දිනමිණ පත්‍රයේ විචාරයක් පළ කර දුන්නේය. පොත ගැන අගය වඩා පළ කළේ බෙනඩික්ට් දොඩම්පෙගම මහතාය. එහි කොටස් කිහිපයක් නවයුගයේ පළ කරන්නැයි සුබසිංහ මහතාට කීවේය.දිනක් සභාපතිතුමා (අධිනීතිඥ ඒ.කේ.ප්‍රේමදාස මහතා) ළඟ සිටින පේදිරික් මා අසලට පැමිණ “චෙයාර්මන් මහත්තයා කතා කරනවා “යි කීවේය. පේදිරික් කිසිදාක සුබවාදී පණිවිඩ ගෙනෙන කෙනෙක් නොවේ. අස්වීම්, මාරුවීම් ලිපි ගෙනෙන්නේ බොහෝ විට ඔහුය. එදින ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතාද ඇත්තේ නැත.

“රංජිත් කලබල නොවී යන්න අපි මොකක්ද කියලා බලමු.” සෝමවීර සේනානායක මට කීවේය. මම සභාපතිතුමාගේ කාමරයට ගියෙමි. ඔහු තම කාමරයේ ඇති කවුළුවකින් රීගල් සිනමාහල පැත්ත බලා සිටියේය.රීගල් සිනමාහ‍ලේ පෙන්වන “Seven Nights in Japan” චිත්‍රපටයේ අකුරු බාගෙට මට පෙනේ.

“තමාගේ නම රංජිත් කුමාරද ? ”

“ඔව්”

“තමා ලියන පල්හෑලි මොනවද ?” ඔහු අජිත් තිලකසේන හා මා ලියූ පොත් පිංචත් ඒ සමඟ වූ ලිපියත් මා වෙත විසි කළේය. ලිපිය ලියා ඇත්තේ ඔරුවල බන්දුය.

“සර් මේ පොත දේශපාලනය ගැන ලියපු එකක් නෙවෙයි”

“මේක ඇතුළෙ තමා දේශපාලනය කළොත් මම එළියට දානවා. දැන් තමා යනව ජයකොඩි මහත්තය ගාවට”

මම ධර්මසිරි ජයකොඩි මහතාගේ කාමරයට යන විට එහි කරුණාරත්න සපුතන්ත්‍රීද විය.”කෝකටත් රංජිත් මේ වගේ සාහිත්‍ය මතවල පැටලෙන්න යන්න එපා. ඕව අවුස්සන මිනිස්සුත් ඉන්නවා” ඔහු කීවේය.”

තාත්තා වරක් අජිත් තිලකසේනයන් හමුවීමට කඩවත ඔහුගේ නිවසට ගිය අවස්ථාවක මාද කැටුව ගියේය. 2002 වසරේදී සිරිල් බී.පෙරේරා අනුස්මරණ විචාරක තරඟයේ හොඳම සිනමා විචාරකයා ලෙස මා සම්මානයට පාත්‍ර වෙද්දී එකී සම්මානය දෙපා නමැද අජිත් තිලකසේනයන් අතින් ලබා ගැනීමට මම භාග්‍යය ලැබුවෙමි. ඔහු එදා මෙදා තුර නිහඬව තමන්ගේ ග්‍රන්ථ පළ කොට ඇතත් ඒවා ජනගත කිරීමට උත්සව සංවිධානය නොකළේය. එසේම විරලව අවශේෂ ලේඛකයන්ගේ ග්‍රන්ථ ජනගත කිරීම්වලට සහභාගි වී ඇතත් ඒ කිසිදු සම්මන්ත්‍රණයක දේශකයකු ලෙස, සම්පත් දායකයකු ලෙස දායක නොවූයේය. ඔබ ගුවන්විදුලි සාකච්ඡාවක ඔහුගේ හඬ අසා තිබේද ? නොසේනම් රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවක ඔහු දැක තිබේද? අජිත්ගේ පුත්‍ර සුමින්ද තිලකසේන ජාතික රූපවාහිනියේ ප්‍රතිභාපූර්ණ, ජ්‍යේෂ්ඨ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ ඇරැයුමකින්වත් අජිත් තිලකසේනයන් රූපවාහිනියේ සාහිත්‍ය සාකච්ඡාවකට ගොඩවැදී නැත. එසේම අජිත් පුවත්පත් සාකච්ඡා සඳහා තමාට ලැබුණු ඇරැයුම් ප්‍රතික්ෂේප කළේය. සම්මාන, ගරු බුහුමන්, ඇගැයුම් කවදත් ප්‍රතික්ෂේප කළ ඔහු නොබෝදා සම්මාන ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කිරීම අරුමයක්ද ? මේ ඔහුගේ “හැටිය” කියා බාහිරෙන් සරලව බලන්නකුට සිතෙන්නට පිළිවන. ඊට හේතුව සැබැවින්ම දන්නේද ඔහුමැ පමණකි. අජිත්ගෙන් විමසීමෙන්ද කිසිවෙකු හට ඊට පිළිතුරක් ලබාගත නොහැකිමය. “මා ලිවිය යුතු දේ ලියා ඇත” යැයි නිතොර ඔහු පැවසුවේය. අජිත්ගේ සාහිත්‍ය නිර්මාණ හෝ මතවාද නිර්දය ලෙස විවේචනය කරන්නෙකු හට වත් ඔහුගෙන් ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිපිළිතුරු නොලැබේ. එසේම ඒවා ඇතැමුන් උත්කර්ෂවයට නැංවූවත් ඔවුන්ට ඒ සඳහා ඔහුගෙන් ලැබෙන ස්තුතියක් නැත. ආර්ය තුෂ්ණිම්භාවය හෙවත් උසස් ලෙස නිහඬ වීම ඔහුගේ ස්වභාවයකි. එහෙත් ආර්ය තුෂ්ණිම්භාවයෙහිද අරුත් ද්වයක් ඇත. එනම් ‍යම් මතවාදයකට එකඟතාව නිසාද නිහඬ විය හැකිය. නොඑසේනම් ප්‍රතික්ෂේප කිරීම නිසාද නිහඬව සිටිය හැකිය. අජිත් බොහෝ තැන්හීදී නිහඬ වනුයේ පිළිගැනීම නිසාද? ප්‍රතික්ෂේප කිරීම නිසාද ? යනු දන්නේද ඔහුමැ පමණකි. අජිත් එබඳු විරල ගණයේ කලාකරුවෙකි. 1977 අජිත් “පාරදිගේ” මැයෙන් ප්‍රශස්ත තිරපිටපතක් ලියනු ලැබූවත් එය සිනමා ශිල්පීන්ට යොමු කොට චිත්‍රපටයක් බිහිකිරීමට උනන්දු නොවුණි. එය මුල්වරට කියැවුයේ ඔහුගේ ප්‍රිය ශිෂ්‍ය ඒ.ඩී.රන්ජිත් කුමාරය. මෙහි චන්දරේගේ චරිතය කෙරෙහි බෙහෙවින් පැහැදී සිටි මගේ පියා ඊට ගැළපෙන රූපණවේදියාණන් වූ විජය කුමාරතුංගයන් හමු වී ඔබ නිෂ්පාදනය කරමින් හෝ රඟපෑ යුතු චිත්‍රපටයක් බව ඒත්තු ගැන්වූයේය. එය එකහෙළාම පිළිගත් විජය විසින්, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට මේ තිරපිටපත යොමු කරනු ලැබ “පාරදිගේ” (1980) සිනමා කෘතිය ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි විය. ඒ.ඩී.රංජිත් කුමාරයන්ගේ උනන්දුව නොවන්නට “පාරදිගේ” චිත්‍රපටය බිහි නොවන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එබඳු ප්‍රශස්ත සිනමා කෘතියක තිරපිටපත් රචකයා වූවත් ඔහු ඉන් ඉක්බිතිව කිසිදු චිත්‍රපටයක තිර පිටපත් ලිවේ නැත. 1985 “පාරදිගේ” තිරපිටපත ග්‍රන්ථයක් ලෙස එළිදුටුවේය.

“අපි හරියට වීසි කරන්න දාපු එරඬු දඬු වගේ. අපිට මුල් නෑ; ඒත් දලු එනවා…අපි අපේ ජාතික වීරයෝ හඳුනන්නේ නෑ” එහි එන උක්ත දෙබස් ඛණ්ඩ අමතක කළ හැක්කේ කාහටද ? “පාරදිගේ” හී චන්දරේ , යුරෝපීය සාහිත්‍යයේ ආභාසයෙන් ධර්මසිරි වික්‍රමරත්නගේ “සහන් එළිය” නාට්‍යයේ සයිමන් නවගත්තේගම රඟපෑ භූමිකාවෙන් මුල්වරට ලාංකේය වේදිකාවට හඳුන්වා දුන් “පිටස්තරයා” (Outsider)  හී දිගුවක් ලෙස මම දකිමි. අනෙක් අතට “පාරදිගේ” කියැවීමේදී මා හට සිහිපත් වූයේ ඇමරිකානු ලේඛක ජැක් කෙරොවැක්ගේ”On the Road” (1957) නවකතාවය.

අජිත් තිලකසේනයෝ වරක් ස්වකීය නිර්මාණ සාහිත්‍යය අරභයා මෙසේ කීහ.

“මම ලියන්නෙ මොනවද කියලා මම පැහැදිලිවම දැනගෙන හිටියා නම් මගේ කෙටි කතා නොලිය වෙන්නත් ඉඩ තිබුණ. කොටින් මම ලියන්නෙ මොනවද කියලා මම දන්නේ නෑ මගේ ලිවීමේ පදනම ඒකයි. නිර්මාණ මඟින් මට කියන්න දෙයක් නෑ. මට ඇත්තේ කීමේ විලාශයක් විතරයි.”

සාම්ප්‍රදායික කතා කලාව බැහැර කොට රූපය හා ශබ්දය හෝ රූපය පමණක් ආත්මය කොටගත් නුමුහුන් සිනමා රීතියක්, භාෂාවක් සකස් කර ගැනීමට අන්ද්‍රේ තර්කොව්ස්කි, නිකලස් රෝග් වැනි ශූර සිනමාවේදීන් දැරූ පර්යේෂණාත්මක ප්‍රයත්න අජිත් තිලකසේනයන් මෙරට සාහිත්‍ය ඔස්සේ සිදු කළ විප්ලවීය අත්හදාබැලීම් එකිනෙකට සාම්‍යය වේ යැයි මට සිතේ. එනම් අජිත් තිලකසේන නුමුහුන් සාහිත්‍යයක් සොයා ගියේ යැයි මම සිතමි.

හපුආරච්චිගේ අජිත් තිලකසේන 1933 ඔක්තෝබර් 7 වැනිදා රත්නපුරේදී උපත ලැබුවේය. රත්නපුර ෆර්ගියුසන් පාඨශාලාවේත් , කැලණියේ ශාන්ත පාවුළු පාඨශාලාවේත් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු රත්නපුරේ ඇලෝෂියස් විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වූයේය. කැලණියේ මිශ්‍ර පාඨශාලාවේ (වත්මනෙහි කැලණිතිස්ස විද්‍යාලයේ) ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස හා කොළඹ කේරි විද්‍යාලයේ විද්‍යා හා ගණිත ගුරුවරයකු ලෙස සේවය කළ ඔහු කල්කටා විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ගණිතය හැදෑරීය. පසුව ඔහු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට බැඳී එහි සේවය කොට ඉන් විශ්‍රාම ලැබුවේය. “සතුරෝ” (1960), “පිටුවහල් කර සිටිද්දී” (1964), “සුන්නද් දුලි” (1970), “රාත්‍රියේ පූර්ව භාගය” (1976), “සුබ රාත්‍රියක් අහවරයි” (1984), “සාදය” (1992), “වන්දනාව” (1996), “සුසුම සහ පීඩාව” (2000), “අරුණැල්ල වැටෙන කොට විතර” (2004),”පස් වසරක්” (2010), “තෝරාගත් කෙටි කතා”(2024) යන කෙටි කතා සංග්‍රහ පළ කළ ඔහු සිංහල අක්‍ෂර මාලාවේ සිදු කළ විප්ලවීය වෙනස නොදන්නෝ කවරහුද ?

1978 දී අජිත් “මල් වැනි ගල්” නම් වූ ප්‍රථම සංයුක්ත කාව්‍ය සංග්‍රහය පළ කළේය. සංයුක්ත කවි (Concrete Poetry)  යනු කවියෙහි වාංමාලාව දෘශ්‍ය රූප මැවෙන සේ මුද්‍රිත පිටුවෙහි අතුරා තබන කව් කලාවකි. ජෝන් අප්ඩයික් වැනි ඇමරිකානු කවීන් හරහා ප්‍රකට වූ මේ කාව්‍ය ශෛලිය මෙරට මහගම සේකර, අජිත් තිලකසේන වැනි විශිෂ්ට සාහිත්‍යවේදීන් කෙරෙහි බලපෑ බැව් පෙනේ. “රැලි සුළි”(1991), “මාරියාව”(2008), “එළැඹෙන අගෝස්තුව” (2015), “මොනතරම් අවුලක්ද” (2019) යන කාව්‍ය සංග්‍රහ පළ කළ ඔහු “මඳ විරාමය” මැයෙන් නාට්‍යයක් ලීවේය. “සංස්කෘතික කාන්තාරයක් කරා” (1978), “ජාතික අර්බුදය ආශ්‍රිත ප්‍රශ්න සමහරක්” (1995), “දේශපාලන යෝජනාවලිය සහ භාෂා ප්‍රශ්නය” (1996), “භාෂා අර්බුදයේ ගමන් මඟ” (1998), “නව ලේඛන රීතිය” (2002), “මැදිවහර අත්පොත” (2015) ඔහු රචනා කළ භාෂා, සමාජ සංස්කෘතික විමර්ශන කෘති වේ. “අදට ඔබින බස” (1997), “හේතුවාදී ලිපි” (2013) ග්‍රන්ථ ඔහුගේ සංස්කරණ වේ.

අජිත් තිලකසේනයන්ට නිර්මාණ කාර්යයෙහිදී වඩාත් බලපෑවේ පශ්චාත් නව්‍යවාදයට (ර්‍ථධඵබ ථධඤඥපදඪඵථ) වඩා මානව වාදය (ඩ්භථචදඪඵථ) හා නූතනවාදය (ර්ධඤඥපදඪඵථ) යැයි මම සිතමි. සාහිත්යික පක්ෂයෙන් විමසූ කල්හි නූතනවාදය හා පශ්චාත් නූතනවාදය අතර පැහැදිලිව කැපී පෙනෙන විෂමතා රාශියක් දක්නා ලැබේ. ඉන් නූතනවාදීන් ගත් මඟ මෙසේය.

1. සමාජ අපටිපාටිය හේතු කොට උද්ගත වන භෞතික මානසික ව්‍යාකූලත්වය හා එහි ඵලයක් වශයෙන් මතුවන සංක්ෂෝභය කෙරෙහි ස්වකීය අවධානය යොමු කිරීම.

මෙම කාලීන සමාජ අපටිපාටිය තුළින් සමාජ පටිපාටියක් දැක ගත හැකි වන බව ඔවුන්ගේ විශ්වාසය විය.

2. මානව ජීවිතය බහුවිධ, සංකීර්ණ ලක්‍ෂණවලින් යුක්ත වූවත් මෙම බහුත්වය ඇතුළත ගැඹුරු ඒකත්වයක් දක ගත හැකිි බව.

3. තාර්කිකත්වය (Rationality) මිනිසාගේ ප්‍රගතියට අත්‍යවශ්‍ය වන අතර එය සාර්වත්‍රික බව.

4. සාහිත්‍ය නිර්මාණ ඔස්සේ මිනිස් ජීවිතයත්, සමාජයත් ගැඹුරින් විවරණය විය යුතු බව.

5. උසස් සාහිත්‍ය කෘතියක් පරිසමාප්ත, සංවෘත වස්තුවක් ලෙස සැලකීම.

6.සාහිත්‍ය කෘති කිසියම් සීමාවක් තුළ යථාර්ථවාදය, අද්භූතවාදය ආදී වශයෙන් වර්ගීකරණය කොට දැක්වීමට උත්සුක වීම.

7.විදග්ධ කලාව හා ජනප්‍රිය කලාව අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන අතර උසස් රුචියකින් යුත් සහෘදයන් විදග්ධ කලාව අගයන බව.

8.ආකෘති විෂයෙහි විවිධ අත්හදාබැලීම් සිදු කළද ආකෘතිය පිළිබඳ සංකල්පයෙන් බැහැර නොවීම.

9. සාහිත්‍ය නිර්මාණයක නිශ්චිත අර්ථයක් ඇතැයි යන මතය පිළිගැනීම.

10.ලේඛකයා තම අභිමත අරුත් ජනනය කරනු ලබන්නේ වචන මඟිනි. මේ වචන සූචකය ලෙස හැඳීන්විය හැකි අතර එමඟින් නිරූපිත අරුත සූචිතය නම් වේ. මෙයින් නූතනවාදී විචාරකයන්ගේ අවධානය සූචිතය කෙරෙහි යොමු වීම.

පශ්චාත් නූතනවාදීහු යථෝක්ත නූතනවාදී මතවලට ප්‍රතිපක්ෂ මතවාද අනුගත්තෝය. එනම් මෙලෙසිනි.

1.සමාජ අපටිපාටියේ හා එකී ඵලයන් වශයෙන් මතුවන සංක්ෂෝභය කෙරෙහි තම අවධානය යොමු කළද එමඟින් සංවිහිත සමාජ පටිපාටියක් දැකගත නොහැකි බව පෙන්වා දීම.

2.සමාජ ජීවිතයේ බහුත්වය තුළ ඒකීයත්වයක් ප්‍රත්‍යක්ෂ කොටගත නොහැකිය. එනම් බහුත්ව තුළින් තව තවත් බහුත්ව බිහිවනු විනා ඒකත්වයක් මතු නොවන බව දැක්වීම.

3.තාර්කිකත්වය එක් එක් යුගයන්හි කාලීන අවශ්‍යතා අනුව නිර්මාණය වන්නක් විනා සාර්වත්‍රික ධර්මතාවක් නොවේ.

4.මානව ජීවිතේ ගැඹුර සොයනු පිණිස එහි ආගාධයට කිමිදිය යුතු නැත. මේ වෙනුවට සමාජයෙහි මතුපිට මිනිස් ජීවිතයේ දක්නට ලැබෙන බහුවිධතාව, සංකීර්ණත්වය විමසීම ප්‍රමාණවත් බව.

5.සාහිත්‍ය කෘතියක් යනු විවෘත වස්තුවකි. මේ නිසා ඒ ඒ යුගයට අනුකූලව මෙහි අර්ථය විපරිණාමයට ලක්විය හැකිය. අනෙක් අතට ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන් සම්මත සීමා අතික්‍රමණය කරමින් නව්‍ය නිර්මාණ බිහිකිරීමට පෙලඹෙන බව.

6.විදග්ධ කලාව හා ජනප්‍රිය කලාව වෙනුවට සංස්කෘතික නිෂ්පාදිතය යන සංකල්පය ගෙනහැර පෑම. යම්කිසි සංස්කෘතික සන්දර්භයක කලා කෘතියක් බිහිවී එය යම් රසික සමාජයක ප්‍රකට වන ආකාරය විමර්ශනය කිරීම මෙහිදී වැදගත්කොට සැලකේ.

7.ආකෘතිය යන සංකල්පය බැහැර කොට ප්‍රතිආකෘතිය යන සංකල්පය කෙරෙහි අවධානය යොමු කිරීම. ඔවුහු සම්මත ආකෘති බිඳ දමනු ලැබුවත් නව ආකෘති නිපදවීම පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූහ.

8.සාහිත්‍ය නිර්මාණයක නිශ්චිත අරුතක් තිබිය නොහැකිය. එහි නා නා විධ අර්ථ ඇතුළත්ව තිබිය හැකි අතර එක් එක් පාඨකයන්ගේ බුද්ධිය, පරිකල්පන ශක්තිය අනුව එම අරුත් විවරණය කෙරෙන බව.

9.සාහිත්‍ය කෘතිවල භාෂා පරිහරණය කරනු ලබන විලාසය අනුව ක්‍රීඩාශීලිත්වයක් ප්‍රකට කිරීම.

10.භාෂා භාවිතයේදී සූචිතයට වඩා සූචකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. විසංයෝජනවාදයෙහි (Deconstruction) ආදි කර්තෘවරයා වූ ජැක් ඩෙරිඩාට අනුව සූචකයකින් සූචිතයක් බිහිවීම වෙනුවට සිදුවනුයේ එක් සූචකයකින් තවත් සූචකයක් බිහිවීම පමණි.

පශ්චාත් නව්‍යවාදය මානවවාදයට (Humanism)  පිළිමල් වූ ගවේෂණ පථයක් ලෙස ඇතැම් විචාරකයෝ සලකති. මිනිසාගේ ස්වාධිපත්‍යය, නිදහස මානවවාදයෙහි මූලික ලක්ෂණයකි. අධි මානුෂික බලවේගවල මහිමයෙන් නොව මානවයා ස්ව උත්සාහයෙන් ඉටු කරන ක්‍රියාවල ඵලයක් වශයෙන් මානවයාගේ, සමාජයේ ප්‍රගතිය උදාවන බැව් මානවවාදීහු විශ්වාස කළහ.

බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සභ්‍යත්වයක් අප උරුම කර ගත් බැවින් මානවවාදයට නැඹුරු සංස්කෘතියක් මෙරට දක්නට ලැබිණ. මිනිසාට ස්වාධීනව සිතාමතා ක්‍රියා කිරීමට පළමුවෙන් අනුබල දෙන ලද්දේ ග්‍රීක චින්තකයන් විසින් යැයි ඇතැම් අපරදිග උගතුන් සිතූහ. එහෙත් අප මෙකී චින්තන නිදහස ලැබුවේ වර්ෂ 2568 කටත් පෙරාතුව බුදු දහමේ අනුබලය ලැබීමෙනි. කාලාම, ලිච්ඡවී භද්දිය, විමංසක සූත්‍ර දේශනා මීට දුෂ්ටාන්ත වේ. බුදු දහමින් හික්මුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බහුතර විචාර ලිපිවලින් ගුරුකුලවාද ඉක්මවූ බෞද්ධ යථාර්ථවාදයෙහිත් මානවවාදයෙහිත් වැදගත්කම අවධාරණය කෙරිණ.

බටහිර රාජ්‍යයන්හි පහළ වූ ලිබරල් චින්තනයත් මානවවාදයත් සහසංකලනය වීමේ ඵලයක් වශයෙන් ලිබරල් මානවවාදය බිහිවිය. පශ්චාත් නව්‍යවාදීන් ප්‍රතික්ෂේප කළ මානවවාදයෙහි ලක්ෂණ මේය.

1.උසස් සාහිත්‍ය නිර්මාණයක දේශ, කාලසීමා ඉක්මවූ සනාතනික අගයක් පවතින බව.

2.සාහිත්‍ය කෘතියක අරුත එම කෘතිය තුළම ගැබ් වී ඇත. එහි අරුත් වටහා ගැනීමට සාහිත්‍ය කෘතියට පරිබාහිර සමාජ, ආර්ථික දේශපාලන කාරණා ගෙනහැර පෑම අනවශ්‍ය බව.

3.විචාරකයා සාහිත්‍ය නිර්මාණ විමසීමේදී පූර්ව නිශ්චිත මතවාද , සංකල්ප බැහැර කොට එය ස්වතන්ත්‍ර වාංමය නිෂ්පාදිතයක් ලෙස සැලකිය යුතු බව.

4.උත්තම ගණයේ සාහිත්‍ය නිර්මාණ තුළ සර්වකාලීන පොදු මානුෂිකත්වයක් මතුවන බව.

5.පුද්ගල ස්වාධීනත්වයට මුල් තැන දීම ඔස්සේ සාහිත්‍ය කෘතියක ස්වීයත්වය අගය කළ යුතු බව.

6.සාහිත්‍ය කලාවෙහි ප්‍රණිධානය මිනිසා හා සමාජය පිළිබඳ ගැඹුරින් විවරණය කිරීම හා සාරධර්ම ප්‍රසාරණයට අනුබලයක් දීම බව. එහිදී මෙම අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ ප්‍රචාරාත්මක විලාසයෙන් නොව කලාත්මක ස්වරූපයෙනි.

7.සාහිත්‍ය කෘතියක ආකෘතිය, අන්තර්ගතයෙහිම ක්‍රමික විකාශනයක් වන අතර එම අංග ද්වය අතර සමාවාය සබඳතාවක් ඇති බව.

8. සාහිත්‍ය කෘතියක නිශ්චිත අරුතක් තිබෙන අතර එය වටහා ගැනීම සහෘදයා හා විචාරකයා සතු කාර්යයක් බව. රචකයාත් පාඨකයාත් අතර පාලමක් ඉදිකරමින් කෘතියේ අභිමතාර්ථ පාඨකයන්ට පැහැදිලි කර දීම විචාරකයාගේ කාර්යයකි.

(වැඩිදුර විස්තර සඳහා – මහාචාර්ය විමල් දිසානායකයන්ගේ “පශ්චාත් නව්‍යවාදය : කෙටි හැඳීන්වීමක්” ග්‍රන්ථය කියවනු මැනවි)

යුරෝපීය පශ්චාත් නව්‍යවාදයේ බලපෑමට ලක් වූ කොටස් දෙකක් මෙරට සිටිති. එක් පිරිසක් සාහිත්යික සංකල්පයක් ලෙස මෙය ගැඹුරින් විමසා, ඊට වහල් නොවී සාධනීය, නිශේධනීය, අපට උචිත, අනුචිත තැන් මැනවින් ග්‍රහණය කොට ගත්හ. මේ පිරිසට අයත් වූවෝ අතේ ඇඟිලි ගණනෙන් ගිණිය හැකි විද්වතුන් අල්පයකි. අනෙක් බහුතර පිරිස මෙය මතුපිටින් අල්ලාගෙන, ව්‍යාජ මෝස්තරයක් බවට පත්කොට ගත්හ. ඔවුන්ට මෙහි සාධනීය, නිශේධනීය, උචිත, අනුචිත, සරු නිසරු තැන් වෙන් කොට ගත නොහැකි වූයේද මතුපිටින් අල්ලා ගැනීම හේතුකොට ගෙනය. අනෙක් අතට මෙරට සම්ප්‍රදාය හරි හැටි නොදැන නූතනවාදීන් වීමට වෙර දරන්නෝ නිසැකවම මංමුළාවන්නෝය. අජිත් තිලකසේනයන් සැබෑ නව්‍යවාදියකු, මානවවාදියකු වූයේ මෙරට සම්ප්‍රදාය මනා පරිශ්‍රමයෙන් හැදෑරූවකු වූ බැවිනි. පෙර කී රැල්ලට ගසා ගිය පිරිසෙන් ඇතැම්හු තම ගුරුකුල නායකයා ලෙස අජිත් තිලකසේනයන් හුවා දැක්වූහ. මෙය අජිත් තිලකසේනයන් කිසිලෙසකින් හෝ ප්‍රිය නොකළ, ප්‍රතික්ෂේප කළ දෙයක් බව මා හට පසක් වූයේ වරක් ඔහු මා හට අහඹු ලෙස හමු වී පැවසූ මේ කියුම හේතු කොටගෙනය.

“මාව ඔවුන්ගේ මතවාදවල පුරෝගාමියා ලෙස හඳුන්වා, එක් එක් අයගේ ගුරුකුලවලට ඇදලා ගන්න උත්සාහ කළත්, මම මේ රටේ කිසිදු සාහිත්‍ය ගුරුකුලයකට අයිති නැති ස්වාධීන ලේඛකයකු බව කවුරුත් දැනගත යුතුයි.”

විදග්ධ කලාව හා ජනප්‍රිය කලාව අතර භේදයක්, පරතරයක් නොමැති බවත් ඒ වෙනුවට සංස්කෘතික නිෂ්පාදිතය යන සංකල්පය වැදගත් බවත් පශ්චාත් නව්‍යවාදීහු දක්වති. උසස් රුචිකත්වයකින් යුත් රසිකයන් විදග්ධ කලා කෘති අගයන බවත් පහත් රුචියකින් යුත් රසිකයන් ජනප්‍රිය කලා කෘති අගයන බවත් නූතනවාදීන්ගේ ආකල්පය විය. අජිත් තිලකසේනයන් මෙහිදී පිහිටා සිටියේ පශ්චාත් නව්‍යවාදී මතයේ නොව නූතනවාදී මතයේ වන බව සනාථ කරන ඔහුගේ කියුමක් මේය.

“බහුතරය පිනවන, ඔවුන් ඕවිල්ලේ සතප්පන ජනප්‍රිය කලාව සත්‍ය වශයෙන් කලාව නෙමේ. කලාව යනු සහෘදයන් යැයි ගැනෙන ටික දෙනා හා හෘදය සංවාදයක යෙදෙන්නක්. ඔවුන් හට වින්දනය සපයන්නක්. ජනප්‍රිය කලාව ජනතාව වෙත සපයන්නේ විනෝදයයි. ඒක කෑමක් බීමක් වගේ ගිල දමා වහා අමතක කළ හැක්කක්. කලාකරුවාගේ නිර්මාණ ඒවා කලාකෘති වීම නිසා හානිකර වන්නේවත් අසභ්‍ය වන්නේවත් නෑ. අසභ්‍ය හෝ හානිකර දේ මොන නමින් හැඳීන්වූවත් කලාව නොවන නිසයි. සහෘදයන්ගේ වින්දනය සඳහා පවත්නා කලාව උදාත්ත කාර්යයක්. ඒකෙන් උත්පාතයක් මිසක්වා නිපාතයක් සිදුවන්නේ නැහැ”

(විනෝදයයි වින්දනයයි – නව දෙබස අංක 2 – 1982 හා කලාවයි හුදෙකලාවයි – නව දෙබස අංක 1- 1974)

සාහිත්‍ය කෘතියක් ප්‍රචාරාත්මක ලක්‍ෂණ හා කලාත්මක ලක්‍ෂණ අතර සම්මිශ්‍රණයක ඵලයක් ලෙස පශ්චාත් නූතනවාදීහු සලකති. එහෙත් කලාව කලාව සඳහාය යන මතවාදයේ ස්ථිරව පිහිටා සිටි අජිත් කිසිදු විටෙක ස්වකීය සාහිත්‍ය නිර්මාණ කිසියම් මතවාදයක් ප්‍රචාරණය කරනු පිණිස පරිහරණය නොකළේය. මේ අරභයා ඔහු පළ කළ කියුමක් උදුරා දක්වනු කැමැත්තෙමි.

“කලාකරුවෝ සේවය කරන්න ඕනෑ කා සඳහාද යන්න දේශපාලනය දෙසට සිත් ඇදී ගිය විචාරකයන් අපට පෙන්වා දී තියෙනවා. ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශ කලාකරුවන්ට කරන අණ කිරීම් බඳුයි. ඔවුන්ගේ අභිප්‍රාය කලාව සටන් අවියක් වෙනු දැකීම. ඔවුන් මතු කරන ප්‍රශ්න කලා ඉමෙන් පිට දේශපාලන භූමියේ සාකච්ඡා කළ යුතු ඒවායි. කලාවෙන් පරිබාහිර වූ කිසිම ව්‍යාපාරයක් සඳහා කලාව දර දිය අදිනවා දකින්න මම කැමැති නෑ. කලාව කිසිම බලවේගයක් ඉදිරියේ දණ ගහනවා දකින්නත් මම කැමැති නෑ. මනුෂ්‍යයාගේ අභිප්‍රාය විය යුත්තේ කෑම, බීම වාසස්ථාන ආදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම, මනා ලෙස සංවිධානය වීම, මතු අනාගතය සඳහා ආහාර පානාදිය ගබඩා කර තබා ගැනීම, ප්‍රජාව නොනැසී පවත්වා ගැනීම ආදිය පමණක් නම් අපට ආදර්ශ ගන්න තියෙන්නේ කුඹීන්ගෙන්. එහෙත් මිනිසාට කලාවන් අවශ්‍ය වෙනවා. කල්පනා ලෝකවල සැරිසරන්න අවශ්‍ය වෙනවා. ගවේෂණය කරන්න, ගවේෂණයකදී දුටු අරුම දර්ශනයක් හමුවේ කුතුහලයෙන් ඇලළී නැත්නම් ගල් ගැසී බලා සිටින්න අවශ්‍ය වෙනවා. මා මුළුමනින්ම තෘප්ත කළ කලාව පිළිබඳ නිර්වචනයකට මම මේ වනතුරු එළඹිලා නෑ. කලා කෘතියක අර්ථය ඒ සමස්ත කෘතියමයි. කලාකරුවා පණිවිඩ දියත් කරන්නෙක් නෙමේ.”

(නව දෙබස අංක 2 – විනෝදයයි වින්දනයයි)

අජිත්ගේ යථෝක්ත කියුම අනුව කලා කෘතියක නිශ්චිත අරුතක් (කෘතිය තුළම) තිබෙන බව ඔහු පිළිගන්නා බැව් පැහැදිලි වේ. මේ අනුවද අජිත්ගේ මතවාද වඩාත් නෑ කම් කියන්නේ පශ්චාත් නූතනවාදයට නොව මානවවාදයටය.

විචාරකයා සාහිත්‍ය නිර්මාණ විමසීමේදී පූර්ව නිශ්චිත මතවාද, සංකල්ප බැහැර කොට එය ස්වතන්ත්‍ර වාංමය නිෂ්පාදිතයක් ලෙස සැලකිය යුතුය යන්න මානවවාදීන්ගේ ප්‍රකට මතවාදයක් බව ම විසින් ඉහතද දක්වන ලදි. අජිත් තිලකසේනයන්ගේ මතු දැක්වෙන කියුම පූර්වෝක්ත මානවවාදී මතවාදයට කෙතරම් නම් සාම්‍යය වන්නේදැයි විමසනු වටී.

“විචාරකයා බොහෝවිට පොතක් අතට ගන්නේ පූර්ව නිශ්චිත මිනුම් දඬු ඇතුව. නවකතාවක් නම් මෙසේ විය යුතුයි, කෙටි කතාවක් නම් මෙසේ විය යුතුයි, කවියක් නම් මෙසේ විය යුතුයි කියා කලින්ම හිතාගෙන. තමා අතට ගන්නේ නවකතාවක් නම් තමුන්ගේ මිනුම්දඬුවලට අනුව ඒ ගැන විනිශ්චයක් දෙන්න හදනවා. විචාරය කියන එක එහෙම කරන්න පුළුවන්ද ? යම් කෘතියක් විනිශ්චය කිරීමට යොදා ගත යුතු මිනුම් දඬු මොනවාද කියන එක ඒ කෘතියම පෙන්නුම් කරනවා නොවේද ? ඒ මිනුම් දඬු වලංගු වන්නේත් ඒ කෘතිය සඳහා පමණයි.”

රටක ජීවනාලිය බඳු තරුණ පරපුර පිළිබඳ අජිත් වරක් පැවසූ මතු දැක්වෙන කියුම මෙකල මිථ්‍යා මතවාද සමඟ රැල්ලට ගසාගෙන, අයාලේ යන බොහෝ තරුණ තරුණියන්ගේ හිත සුව පිණිස ඔවුන්ගේ අවධානයට යොමු කරනු වටී.

“පැරැන්නන් ගිය මඟට නවකයෝ මීට වඩා ගෞරව දැක්විය යුතුයි කියා මම හිතනවා. සම්ප්‍රදාය උල්ලංඝනය කළ යුත්තේ එය බාධකයක්, අවහිරයක් වෙන විට විතරයි. එහෙම අයගෙන් සම්ප්‍රදාය යන්නට නව අරුත් ලැබෙනවා. කඩාබිඳ දැමීමෙන් පමණක් අලුත් යමක් බිහි වෙන්නේ නෑ. ඇතිවෙන්නේ සුන්බුන් ගොඩක් පමණයි. ඉවසිල්ල, සංයමය, දැනුම්වත් බව හා නිරන්තර අභ්‍යාසය තුළින් මිස කෙටි මාර්ග අනුගමනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්න බැහැ. එක හෙවණැල්ලක් රූගත කරන්න සැතපුම් දහස් ගණන් ගිය අධ්‍යක්ෂකවරුන් ගැන අපි අසා තියෙනවා. භාෂා, සාහිත්‍ය පිරිහුණු යුගයේ වැලිවිට සරණංකර හිමියන් වනගත බිමක සිරගත කර සිටියකුගෙන් අවශ්‍ය දැනුම ලබාගන්න දිනපතා කඳු බෑවුම්වල ඇවිදිමින් කටුක දුක් වින්ද අන්දම අපි ඉතිහාසයේ කියවා තිබෙනවා. මේවා අපිට අනුප්‍රාණ සපයන දේයි. ඉරට්ට පැනුමකින් සියල්ලන් අබිබවා යන්න ගන්නා උත්සාහයද නිශ්ඵලයි. වෙළඳාමක් වුණත් හරිහැටි කරන්න නම් වෙළඳාම පළමුව දත යුතුයි. වෙළඳාමේ කට්ට සූත්තර යොදා ගත යුත්තේ දෙවනුවයි. වෙළඳාමේ කට්ට සූත්‍තරවලින් වෙළඳාම පටන් ගන්න හදන කෙනාට වැඩි කලක් වෙළඳාමේ රැඳී ඉන්න පුළුවන් වෙන්නේ නෑ. ජැක්සන් පොලොක් බිම අතුරපු කැන්වසය මත බාල්දි ගණන් සායම් හැලුවා. ඔහු එසේ කළේ ගහක් ගහක් හැටියට, ගලක් ගලක් හැටියට අඳීන්න පුළුවන්කම තියාගෙන.”

(කලා කල්ප සහ බස ගැන කතාබහක් – පිටු 4, 5)

සිංහල භාෂාව, මෙරට සභ්‍යත්වයේ උරුමය, සම්ප්‍රදාය හොඳීන් උගෙන එය නව්‍යකරණය කළ යුතු ආකාරය පිළිබඳ කෙතරම් නම් වටිනා ලිපි ලේඛන, ග්‍රන්ථ (උදා – සංස්කෘතික කාන්තාරයක් කරා, භාෂා අර්බුදයේ ගමන් මඟ, ජාතික අර්බුදය ආශ්‍රිත ප්‍රශ්න සමහරක්, අදට ඔබින බස) අජිත් තිලකසේනයන් ලියා තිබේද? ඔහුගේ දැක්මෙහි, හදවතෙහි ගෞරවනීය ස්ථාන හොබවන මෙරට සභ්‍යත්වය, භාෂාව, සංස්කෘතික උරුමය හා සම්ප්‍රදාය ආදියට ගර්හා කරන ඇතැමුන් තම පරමාදර්ශීය වීරයා ලෙස අජිත් තිලකසේනයන් සැලකීම ගැන අජිත්ටද ඇත්තේ පුදුමයකි. අජිත් ව්‍යාජ ආකාරයට පිදීම වෙනුවට ඔහු ඉතා නිවැරැදිව කියවීමට වෙර දැරුවේ නම් ඔවුන්ගේ දැක්ම සබුද්ධික, රටට ඵලදායී, ප්‍රගතිශීලි, නව්‍යවාදී හා සමාජයට හිතකර වන්නට ඉඩ තිබිණ. අජිත් සැබෑ ලෙසම කියවා අනාගතයේදීවත් ඔවුන් යහ මඟට යොමු වේවා !

අජිත් තිලකසේනයන් සාහිත්‍යයෙහි විවිධ කලා ප්‍රවණතා හැදෑරුවකු බවට ඔහුගේ නිර්මාණ දෙස් දේ. එහෙත් “Don’t make isms a Prison යන ඉංග්‍රීසි කියුම මෙන් ඒ කිසිදු වාදයක් හේ වධයක් කොට ගත්තෙක් නොවේ. අජිත්ගේ මානවවාදී මතවාද කෙරෙහි බලපාන්නට ඇත්තේ බටහිර ලිබරල් චින්තනයද නොඑසේනම් බෞද්ධ දර්ශනයෙන් අප ලද නිදහස් සසුන් පත දැයි දන්නේ ඔහුමැ පමණකි. සිංහල අක්‍ෂර මාලාව පිළිබඳ අජිත් දරන ආකල්ප පවා ඔහුගේ ප්‍රගල්භවූද ස්වාධීන වූ ද අස්මීමානය හෙළි කරන චින්තනයෙහි ඵලයකි. ලේඛන වහරට සේම මනාව සකස් කරගත් කටවහරටද ඔහු අනුබල දුන්නේය. පූජ්‍ය යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ, මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය සිරිපාල ලීලාරත්න වැනි විද්වතුන් ලේඛනයේදී අනුදත් සකස් කරගත් කටවහරට අජිත් තිලකසේනයෝද ප්‍රිය කළහ. අජිත් තිලකසේනයන් සමඟ මා එකඟ නොවන ඔහුගේ චින්තනය හා බද්ධ වූ වෙසෙස් කරුණක්ද මෙහිදී දක්වනු වටී. එනම් ඒබ්‍රහම් ටී.කොවුර්ගේ හේතුවාදයේ (Rationalism) ආභාසය ලබමින් ඔහු ලෝකායතවාදී (Materialism) හා උච්ඡේදවාදී (Annihilationism) දෘෂ්ටියක පිහිටා සිටින අයුරු වරෙක දක්නට ලැබීමය. භෞතිකවාදියා හෙවත් ලෝකායතවාදියා විද්‍යාත්මක උපකරණවලට හා පියවි ඇසට හසු නොවන කිසිවක් පිළිබඳ විශ්වාස නොකරන්නෙකි. එහෙයින් ලෝකායතවාදියාට ග්‍රහණය කර ගත හැක්කේ විශ්ව යථාර්ථයෙන් අර්ධ සත්‍යයක් පමණකි. අජිත් තිලකසේනයන්ගේ “සංස්කෘතික කාන්තාරයක් කරා” ග්‍රන්ථයේ එන උච්ඡේදවාදී නොඑසේනම් චාර්වකවාදී කියුම් මේය.

“මගේ පිළිගැනීම්වලට අනුව පව් පින් වශයෙන් ගත හැකි දේ කිසිවක් නැහැ” (පිට 158)

“මේ ජීවිතයේ මා සතු විඥානය (සිහි බුද්ධිය) වත් මා රැස්කරපු කර්මය (කරපු ක්‍රියා) වත් තවත් භවයකට ගමන් කරන බවක් හෝ එය ඊළඟ හෝ ඉන් එහා භවයකදී මට ප්‍රතිඵල ගෙන දෙන බවත් මම විශ්වාස කරන්නේ නෑ. එනම් මිනිසා අතීත භව සහ අනාගත භව සන්තතියක වර්තමාන භවය ගත කරන්නෙක් හැටියට මම විශ්වාස කරන්නේ නෑ.” (පිටුව 160)

බුද්ධ කාලයේ විසූ අජිත කේශකම්බලීගේ උච්ඡේදවාදී දෘෂ්ටිය මෙහිදී මා හට සිහිපත්වීම වැළැක්විය නොහැකිය. අජිත් තිලකසේනයන් කෘතහස්ත සාහිත්‍යවේදියකු, මෙරට නව්‍යවාදී සාහිත්‍ය විප්ලවයක පුරෝගාමී කැරැලිකරුවකු මතු නොව බහුශ්‍රැත ප්‍රාඥයකු ලෙසද මම දකිමි. එහෙයින් උච්ඡේදවාදී මතවාද හේතුකොට අජිත් තිලකසේනයන් ස්වකීය ප්‍රඥා පාටවයට හානියක් සිදු කර ගනු දැකීමට මම කිසිලෙසත් කැමැති නොවෙමි. සැබැවින්ම අජිත්‍ යනු පරම්පරා ගණනාවක් යළි යළිත් කියවා හැදෑරිය යුතු මහා ග්‍රන්ථයක් බඳු, විරල ගණයේ විද්වතෙකි ;

ශූර සාහිත්‍යවේදියෙකි. එතුමා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළද ලබා දුන් ගෞරවනීය ආචාර්ය උපාධියට රුහුණු විශ්වවිද්‍යාලයට යළි යළිත් මගේ ශීර්ෂ ප්‍රණාමය. ලංකා “University College”මුලින්ම ස්ථාපිත කොට, එහි සිංහල ඉගැන්වීම ඇරැඹෙද්දී සහ සිංහල ශබ්දකෝෂ සම්පාදනය වෙද්දී මහා හෙළ භාෂා පඬිවර කුමාරතුංග මුනිදාසයන්ගේ උපදේශකත්වය ලබා නොගත් සරසවි ඇදුරන් සිටි රටකි මෙය. මෙරට විශ්වවිද්‍යාලයක මානව විද්‍යා අධ්‍යයන අංශයක් මුලින්ම ස්ථාපිත කරද්දී එහිලා දිගු කලක පටන් හඬ ගෑ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපදේශකත්වය ලබා නොගත් සරසවි ඇදුරන් සිටි රටකි මෙය. මෙබඳු විශ්වවිද්‍යාල ඉතිහාසයක් තිබෙන පසුබිමක ස්වාධීන විද්වතකු වූ අජිත්ට ආචාර්ය උපාධියකින් ගරු කිරීමෙන් රුහුණු විශ්වවිද්‍යාලය සම්භාවනාවට පාත්‍ර වූ බව මා අමුතුවෙන් කිව යුතුද ?

අජිත් තිලකසේන සූරීනි….චිරං ජයතු

(මේ දීර්ඝ ලිපියේ අජිත් තිලකසේනයන්ගේ උද්ධෘත පාඨ උපුටා දැක්වීමේදී ඔහුගේ අක්‍ෂර ශෛලිය වෙනුවට පොදු ජන සම්මත අක්‍ෂර ශෛලිය අනුගමනය කළේ හුදෙක්ම පරිගණක අක්ෂර සංයෝජනයේ පහසුව සඳහා බව සහෘද ඔබ කරුණාවෙන් සලකනු මැනව. ඊට සහෘදයෝ කමත්වා !)

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT