Home » අකටයුතුකම් නිසාම සභාපති වී සුදර්ශිය හදනවා කියා සිතාගත්තා

අකටයුතුකම් නිසාම සභාපති වී සුදර්ශිය හදනවා කියා සිතාගත්තා

- සුදර්ශි සභාපති සමන්ප්‍රිය මාරසිංහ

by Thanushika
June 27, 2024 11:49 am 0 comment

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් “සුදර්ශි”යේ වත්මන් සභාපති ධුරය හොඹවන සමන්ප්‍රිය මාරසිංහයන් 1975 වසරේ සිට වසර 45ක් පුරා සුදර්ශියේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වන අතර චිත්‍රපට මෙහෙයුම් ශිල්පියකු, ප්‍රදර්ශන කළමනාකරුවකු , දර්ශන සංවිධායකවරයකු ආදී භූමිකාවලට ද ජීවය දෙන්නෙකි. සිය සභාපති තනතුරෙහි ක්‍රියාකාරීත්වය සහ කලා ලොව තුළ ඔහුගේ ප්‍රායෝගික දායකත්වය සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ එක්විය.

මේ දිනවල සිදුවන ඔබේ නවතම කලා කටයුතු පිළිබඳ සඳහන් කළොත් …..?

ඇත්ත වශයෙන්ම මේ දිනවල කිසිම කලා කටයුත්තක මම නියැළෙන්නේ නැහැ. එයට හේතුව 2023 ජූලි 30 වැනිදා මම සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ආයතනයේ සභාපති තනතුරට පත්වූ දා සිට පූර්ණකාලීනව මේ වනවිට මාස 11ක් සම්පූර්ණයෙන්ම සුදර්ශියේ සංවර්ධන කටයුතු සඳහා කාලය යොදවන නිසයි

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියෙහි සභාපති ධුරය ලබාගත් මොහොතේ ඔබට දැනුණු හැඟීම කවරාකාරද ….?

මම මේ ආයතනයට සම්බන්ධ වී දැනට වසර 44ක් වෙනවා. ඒ කාලය තුළ මම ක්‍රියාශීලීව එහි කටයුතුවලට දායකවුණා. ඒ සමය තුළ මෙහි සිටි ප්‍රධානීන් පිළිබඳ මම කලකිරීමකින් හිටියේ. මේ ආයතනයට ඔවුන්ගේ කිසිම සැලකිල්ලක් තිබුණේ නැහැ. ආයතනයේ දියුණුවට කිසිම සංකල්පයක් ඔවුන් සතුව තිබුණේත් නැහැ. ඔවුන් තුළ තිබුණේ මෙය කිසිම වැඩකට නැති ආයතනයක් යන හැඟීමයි. ගඩොල් ගෙඩියකින්, සිමෙන්ති කොට්ටයකින් මෙහි ගොඩනැඟීම් ගැනවත් ඔවුන් සිතුවේ නැහැ. ඒ අතරදී මම ඔවුන් සමඟ සටන් කළා, රණ්ඩුවුණා මෙහෙම මෙහෙම දේවල් කිහිපයක් කරමුයි කියලා. මෙහි සභාපති තනතුරට එන්න මගේ කිසිම අදහසක් තිබුණේත් නැහැ.ඉහත කී අකටයුතුකම් නිසා තමයි මම මෙහි සභාපති වෙලා මෙය හදනවා කියන සිතුවිල්ල ඇතිකර ගත්තේ. එයට මට වසර 44ක් ගතවුණා. මේ වනවිට මම බොහෝ චිත්ත පීඩාත් වින්ඳා.මට මේ ආයතනයට ඇතුළුවීම පවා තහනම් කර තිබුණේ. උසාවි නියෝගයකුත් අරගෙන තිබුණා. ඔවුන්ට මාව හරිම කරදරයක් වෙලා තිබුණා. එහෙත් සියලු බාධක ජයගෙන මම සභාපති ධුරයට පත්වුණා. එහිදී මට මා ගැනටත් වඩා රටට, ජාතියට, සෞන්දර්ය විෂයයට ආදරය කරන මගෙන් යම් සේවයක්, උපකාරයක් කළ හැකියි නේද කියන හැඟීම ඇතිවුණා

එකී සභාපති තනතුර තුළ ඔබේ ඉදිරි වැඩපිළිවෙළ ගැන යම් විග්‍රහයක් කළොත්…..?

‘ මේ ආයතනය පිළිබඳ බොහෝ දෙනෙක්ට අවබෝධයක් තිබ්බේ නැහැ.ඔබ සිතන්න ලෝකයේ රටවල් කීයක නම් සංස්කෘතික මධ්‍යස්ථාන මේ රටේ තිබෙනවා ද කියලා. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රංශ, ඉන්දියානු, දමිළ, මුස්ලිම් ආදී සියලු සංස්කෘතික මධ්‍යස්ථානයන් තිබෙන්නේ කොළඹ 07 අවටනේ. ඔවුන් මේ රටට පැමිණ තිබෙන්නේ ඒ ඒ රටවල සංස්කෘතික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවයි. ඉන්පසුවයි ඔවුන් ලෝකයට පියමං කරන්නේ. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ. අඩුම ගණනේ අපේ එකවත් අපට හදන්න බැහැ. සංස්කෘතික අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව වෙනස් වෙනයි. සංස්කෘතික මධ්‍යස්ථානය වැනි ස්වාධීන ආයතන ලෝකයේ තිබෙනවා .අපේ සංස්කෘතික ආයතනය 1954 පටන්ගත්තේ… මේ වෙද්දි වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. එහෙත් එයින් කිසිම සේවයක් සිදුවී නැහැ. මේ ආයතනය සමඟ විශාල වැඩපිළිවෙළක් මට තිබෙනවා. එහි අන්තය කොහේ නවතියිද කියන්න බැහැ. රටක ජීවනාලිය සංස්කෘතියයි. සංස්කෘතික නැති නිසයි අද මේ රටේ මත්ද්‍රව්‍ය, අනාචාර, වංචා, දූෂණ, අපරාධ වෙන්නේ. මිනිස්සු තුළ සංස්කෘතිය සිතුවිල්ලක් නැතිකම මෙයට බලපානවා. සංස්කෘතික වින්දනයක් නැහැ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව ඔහුගේ “ර්ර අඥඤ ඛ්ධථපචඤඥ” චිත්‍රපටය සමඟ හොඳ සංකල්පයක් ගෙනාවා. සංස්කෘතියක් නැති මිනිහෙක්ගෙන් ඇති ඵලය කුමක්ද යන්නයි එයින් කියවෙන්නේ. සංස්කෘතියක් රහිත මිනිස්සු බිහිවීමෙනුයි මේ රටේ අනාචාර සිදුවෙන්නේ. අපේ වගකීම පැහැර හැරීමක් ලෙසයි මෙයනම් මා දකින්නේ. සාර්ථක සැමියකු, බිරිඳක වීමටත් මේ සෞන්දර්ය විෂයය බලපානවා. එකී සෞන්දර්ය ඉදිරියට ගෙනයෑමයි මගේ බලපොරොත්තුව වෙන්නේ….

සුදර්ශියේ සභාපති වීමට පෙර සුදර්ශිය සමඟ ඔබේ තිබූ සම්බන්ධය කවරාකාරද …..?

2000වර්ෂයේදී සුදර්ශි ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම හිටපු කණ්ඩායම්වලින් මුදාගත්තා. එතැන් සිට එහි සභාපති වුණේ එඩ්වින් ආරියදාස මහතා. ලේකම් ධුරයට පත්වුණේ නිමල් ලක්ෂපති ආරච්චි මහතා. මම උපලේකම් වුණා. එතැන් සිට වසර 23ක් සියලුම තනතුරු (ලේකම් ධුරය, භාණ්ඩාගාරික, අනු මණ්ඩල ලේකම් ධුර) මම දරා තිබෙනවා. මේ අතරතුර ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාව, සුගතපාල ද සිල්වා පුහුණු පියස, නිහාල් සිල්වා අනුස්මරණ එළිමහන් රංගපීඨය වැනි දෑ පිළිබඳ හිටපු නායකයින් සමඟ ගැටෙමින්, ඉතා සූක්ෂ්මව පෙරළිකාරව ඉහත කී භෞතික සම්පත් සංවර්ධනයක මම යෙදුණා. එසේ කළ දේවල්හි ප්‍රතිඵල ලෙසයි මම සභාපති ධුරයට පත්වෙන්නේ. මහසභාව කලාකරුවන් 400කගෙන් පමණ සමන්විතයි.. මේ 400ම බලාගෙන සිටියා මොකද වෙන්නේ කියලා. සුදර්ශියට මගේ කැපවීම, මගේ ආදරය ඔවුන් තේරුම් ගත්තා.ඒ තේරුම් ගැනීමත් සමඟ මාව සභාපති ධුරයට පත්කළා කිව්වොත් නිවැරදියි

සුදර්ශියේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සිටි ඔබ 1979 සිට මේ දක්වා වසර 45ක කාලය තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් හෝ පරිවර්තනයන් පිළිබඳ පැහැදිලි කළොත් …..?

1981දී සිදුවූ ඉතා හදකම්පා කරවන සිද්ධිය වුණේ එතෙක් වසර 11ක් පුරා ලේකම් ධුරය දැරූ විශිෂ්ට නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන සූරීන්ව මෙම ආයතනයෙන් ඉවත්කිරීම. එය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වුණා. එදා එතුමාට විරුද්ධ වුණු භාගෙට ඉගෙනගත් බකතපස් කණ්ඩායමක් සිටියා ආයතනය ඇතුළේ. එකල අදට වඩා තණ්හාව, ඊර්ෂියාව, කුහකකම වැනි හැඟීම් දරුණු ලෙස පැවැතුණා. දයානන්ද ගුණවර්ධනයන් දෙස ඊර්ෂියාවෙන් සිටි පිරිසක් එතුමාට නින්දිත ලෙස චෝදනා නැඟුවා. “කිසිදේකට කලබල වෙන්න එපා, අපි කතා කරලා විසඳාගනිමු”‘ කියලා ඔහු කිව්වා. ඉන්පසු එතුමාගේ බෑගයත් අරගෙන කාර්යාලයෙන් එදා එළියට බැස්සා. එයින් පසු කවදාවත් එතුමා මේ ආයතනයට ආවේ නැහැ. ඒ සිද්ධිය අදටත් මට මතක්වෙද්දී මගේ ඇසට කඳුළක් නැඟෙනවා. එතැන් සිට වසර 40කට ආසන්න කාලයක් මේ ආයතනය ඉතා දරුණු කඩාවැටීම්වලට ලක්වුණා. මෙය අකර්මණ්‍ය වූ ආයතනයක් වුණා. වැඩක් නැති ස්ථානයක් ලෙස පවසා කාට හෝ මෙය විකුණන්න දේශපාලන අධිකාරිය තීරණය කර තිබුණා. සුදර්ශිය නැවත රජයට අරන් විශාල මුදලක් සෙවීමට හැකි ආයතනයකට හෝ භාරදෙන්න දේශපාලන අධිකාරිය තීරණය කළා. අපට වෙනම ඉඩමක් දීලා ඈත පළාතකට යවලා සුදර්ශියේ ඉඩම දෙකට බෙදලා කොටසක් ජපන් රජයටත්, කොටසක් චීන රජයටත් ලබාදෙන්න තීරණයක් ගත්තා. ජපානයේ සසකාවා ආයතනයට මේ සුදර්ශිය දෙන්නත් තීරණයක් තිබුණා. පසුව අපට මේ ආයතනයෙන් එළියට යන්න වෙන තත්ත්වයක් උදාවුණා. එහෙත් මේ අපේ තැන. අපි මේක රැකගත යුතුයි කියලා සිතා අපි විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙනගියා. මමයි එහි මූලිකත්වය ගත්තේ. ඒ විරෝධයත් සමඟ මේ ආයතනය විකිණීමට තිබූ පසුබිම නවත්වා ගත්තා. එතැනින් පසුව තමයි මටත් සිතුණේ මේ ආයතනයේ සභාපති වියයුතුයි කියලා. 2000වසරේදී තමයි මෙහි සම්පූර්ණ භාරකාරීත්වය අපි යටතට ගත්තේ. මේ වෙනුවෙන් සාකච්ඡා සහ විධායක සභාවන් 200කට වඩා පවත්වා තිබෙනවා. එහෙත් එහි ක්‍රියාකාරීත්වය අල්ප වශයෙනුයි සිදුවුණේ.

සුදර්ශියේ ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාව, සුගතපාල ද සිල්වා පුහුණු පියස, නිහාල් සිල්වා අනුස්මරණ එළිමහන් රංගපීඨය ආදියෙන් කලාවට සිදුවන කාර්යභාරය සහ එයට ඔබෙන් ලද දායකත්වයේ වපසරිය කවරාකාරද …….?

ඇත්ත වශයෙන්ම මේ ආයතනය කියන්නේ පාසලක්.. සිංහල සංස්කෘතික ආයතනය (ධ්දඵබඪබභඤඥ ර්‍ණට ඉඪදඩචතච ඛ්භතබභපඥ) සිංහල සංස්කෘතිය ගැන ඉගෙනගන්න තිබෙන පාසලක් කිව්වොත් නිවැරදියි. මේ පුහුණුවීම් ශාලා නිර්මාණය වෙන්නේ ඒකයි. මුලින්ම පුහුණුවීම් ශාලා එකක් දෙකක් තිබුණේ. අද වෙද්දි ඉහත කී ඒවාට අමතරව දයානන්ද ගුණවර්ධන අනුස්මරණ ශාලාවත් සමඟ පුහුණුවීම් ශාලා රැසක්ම තිබෙනවා. ඊට අමතරව සුදර්ශි ප්‍රධාන ශාලාව නාට්‍යාගාරයක් බවට පරිවර්තනය කරමින් පවතිනවා. ඕනෑම මොහොතක නාට්‍යකරුවන්ට තමන්ගේ නිර්මාණය ප්‍රේක්ෂකයාට පෙන්විය හැකි පහසුකම්වලින් සමන්විත එය පරිපූර්ණ කරමින් පවතිනවා. ඊට අමතරව එරීනා තියටර් එකකුත් අපට තියෙනවා. ඒ කියන්නේ පේරාදෙණිය වළ වගේ අපි නුග ගස යට නිර්මාණය කර තිබෙනවා එළිමහන් රංගපීඨයක්. එහි 400කට පමණ අසුන්ගන්න පුළුවන්..මේවෙද්දි නාට්‍ය දර්ශන වාර රැසක්ම පවත්වා සාර්ථක ප්‍රතිඵල ලබාගෙනත් තිබෙනවා. එමෙන්ම මේ ආයතනයේ පුහුණුවීම් සමඟ ප්‍රසංග වේදිකාවන් දෙකකුත් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මාස 09 තුළ අපි ඒවා ශිඝ්‍ර දියුණුවකට ලක් කළා. මෙකී පුහුණුවීම් ශාලා සෑදීමේ කාර්යයේදී ඉතා කටුක අත්දැකීම් මට තිබෙනවා. ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාව හදද්දී බොහෝ අය ඊට විරුද්ධ වුණා. “තැන තැන කූඩාරම් හදනවා. මේවා බොරු වැඩ.” කියලා කිව්වා.ආයතනය තුළ කිසිවෙකුටත් පැහැදිලි සංකල්පයක් තිබුණේ නැහැ. ඒවගේම අද වෙද්දී එකී අනුස්මරණ ශාලාවේ බොහෝදෙනා පුහුණුවීම් වෙනවා. අද වෙද්දී ඉතා දැවැන්ත ආදායම් මේ පුහුණුවීම් ශාලාවලින් ලබා තිබෙනවා. මේවාට විරුද්ධ වුණු අයමයි අද මේවා ඇතුළේ පුහුණුවීම් කටයුතු සිදුකරන්නේත්..මට තිබෙන සතුටත් ඒකයි. විරෝධතා මැද සෑදූ එම ශාලාවලින් ප්‍රයෝජන ගන්නේත් මේවාට අකුල් හෙළපු අයමයි….

ඔබේ කලා දිවියේ අරම්භක අවධිය සිහිපත් කළොත් …..?

1978 වන තෙක් මම ඉගෙන ගත්තේ කොළඹ 08, කේරි විද්‍යාලයේ. එහි ඉගෙනගන්න ගමන් මට හිතෙනවා කලා ලෝකයෙන් තමයි මගේ ඉදිරි අනාගතය නිර්මාණය වෙන්නෙ කියලා. ඒ ඔස්සේ මම සුදර්ශියටද එනවා කලා කටයුතුවලට අවතීර්ණ වීමට. එසේ පැමිණ 1979දී තමයි මගේ කලා දිවිය ආරම්භ වෙන්නේ. එම වසරේ අගෝස්තු මාසයේ “කංකංබූරු”නමින් වේදිකා නාට්‍යයක් වේදිකාගත වුණා. අතුල ජයරත්න තමයි එහි අධ්‍යක්ෂ , පිටපත් රචක වුණේ. ඔහුගේ මගපෙන්වීමෙන් මගේ වේදිකා නාට්‍ය දිවිය ආරම්භ වුණා. ඉන්පසු ජයශාන්ත වානගුරුගේ “හමුදා බෑනා” වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා.ඊටපස්සේ සුදර්ශියේ දී නිහාල් සිල්වා මුණගැසෙනවා. ඒ හා සමගාමීව මගේ කලා දිවිය විකාශය වෙන්න පටන්ගන්නවා. මේ වෙද්දි වේදිකා නාට්‍ය 30ක පමණ රංගනයෙන්, නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් මම සම්බන්ධ වෙනවා. “පුන්තිලා” සහ “සාජන්ට් නල්ලතම්බි” වේදිකා නාට්‍ය මගේ වේදිකා නාට්‍ය දිවියේ සංධිස්ථාන කිව්වොත් හරි. මෙම නිර්මාණ ද්විත්වය අදත් ප්‍රේක්ෂක සිත්සතන්වල රැඳී තිබෙනවා. ඒ නිර්මාණ මගේ රංගන දිවියේ ඉතා විශිෂ්ට නිර්මාණ ලෙස ආදායම් අතින් සහ ප්‍රදර්ශනය අතින් ඉහළින්ම තිබෙන නිර්මාණ කියන්නත් පුළුවන්. මට නිහාල් සිල්වා හම්බවෙද්දි ඔහු වේදිකා නාට්‍ය 262ක රඟපා තිබුණා. 263 නෙයිනගේ සූදුව ,264 පුන්තිලා, 265 සාජන්ට් නල්ලතම්බි. මම ඔහු සමඟ සම්බන්ධ වෙන්නේ “පුන්තිලා” සහ “සාජන්ට් නල්ලතම්බි” වේදිකා නාට්‍ය දෙකේදී. ඉන්පසු මම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සඳහාත් සම්බන්ධ වෙනවා. එහෙත් ටෙලිනාට්‍ය සඳහා මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. සිනමාවේ නම් ලොකු ලොකු වාර්තා තියන්න පුළුවන් වුණා.

වේදිකා නාට්‍ය කලාව සහ සිනමාව තුළ ඔබේ භුමිකාව කවරාකාරදැයි පැහැදිලි කළොත් …..?

වේදිකා නාට්‍යවලින් තමයි මම කලා දිවියට අවතිර්ණ වෙන්නේ. “කංකංබූරු, අංගවිකල, පුද්ගලිකයි රහසිගතයි, පුන්තිලා, සාජන්ට් නල්ලතම්බි” වැනි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. වේදිකා රංගනයේ සහ නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් මම සම්බන්ධ වුණා. සිනමාවේ නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් දායක වෙනවා. ඒ අතර “බවදුක, බව කර්ම, අබා” චිත්‍රපට සුවිශේෂීයි. හේතුව “බවදුක, බව කර්ම” කියන්නේ ලංකාවේ දිගම චිත්‍රපටය සහ මගේ චිත්‍රපට අංශයෙන් ආදායම් ලැබූ වාර්තාගත චිත්‍රපටය “අබා”යි. එය මුදලින් ලක්ෂ 2500ක ආදායමක් ලැබුවා. රංගනයෙන් නම් සිනමාවේ ඉතා සුළු චරිතවලට දායක වුණේ. නිෂ්පාදන කළමනාකාරීත්වයේ නම් යෙදෙනවා. නිෂ්පාදන කළමනාකරුට චරිතයක් කරන්න බැහැ. හේතුව කොයිවේලාවෙත් දර්ශනතලයේ ඉන්න ඕන. එවැනි දේ මම නිසි ආකාරයෙන් කළ නිසා අදටත් මම එයින් සාර්ථකයි…

සමන්ප්‍රිය මාරසිංහ නම් වේදිකා නාට්‍ය , චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුගේ භූමිකාව වඩාත් අර්ථකථනය කරනවා නම්…..?

බොහෝ චිත්‍රපට සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට බලපාන තනතුරු දෙකක් තමයි නිෂ්පාදන කළමනාකරු සහ සහය අධ්‍යක්ෂවරයා කියන තනතුරු. මේ දෙන්නා තමයි නිර්මාණයක මව සහ පියා වෙන්නේ. මොවුන්ට නිර්මාණයක් තුළ විශාල වගකීම් රැසක් තිබෙනවා. මම මේ දේවල්වලට සම්බන්ධ වී තිබෙන්නේ ව්‍යාපෘතියක් වශයෙන්. “සාජන්ට් නල්ලතම්බි, අබා” මගේ සාර්ථක ව්‍යාපෘති. පිටපතේ සිට අවසන් දර්ශනය දක්වා ක්‍රියාවලියේදී මම ඒ කර්තව්‍යයේ ඉන්නවා.අදත් මම “අබා” දෙස බලා පුදුමාකාර සතුටක් ලබනවා. මෙම නිමාවට මම හරිම ප්‍රියයි. කැසට්පට ක්ෂේත්‍රයේ නිෂ්පාදන සැලසුම හා මෙහෙයුම මගේ. සේනානායක වේරලියද්දගේ ඔබ අසන සියලුම ගීත මිනිසුන් අතරට ගෙනගියේ, ඔවුන්ට ගෝචර කරවන්නේ කෙසේද යන්න මා විනිවිදභාවයෙන් සිදුකර තිබෙනවා. ඒ වගේම චිත්‍රපටයකට මගෙන් අශ්වයෙක් ඉල්ලුවොත් මම දී තිබෙන්නේ නියම තේජාන්විත අශ්වයෙක්. එහිදී මට කෙතරම් දුෂ්කර වුවත් නිර්මාණයේ සාර්ථකත්වය, ගුණාත්මකභාවය ගැනයි මා නිරන්තරයෙන් සිතන්නේ. “බවදුක” චිත්‍රපටය අවසානයේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා කිව්වා “බවදුක, බවකර්ම” චිත්‍රපට දෙකම අමතක වුණත් සමන්ප්‍රිය මාරසිංහව මට අමතක වෙන්නේ නැහැ කියලා. ඒවා තමයි අපිට ලැබෙන සම්මාන. ඒවා සිහිවෙද්දී හරිම සතුටක් දැනෙනවා. බොහෝ ප්‍රශ්නවලට මුහුණදුන්නත් නිර්මාණවලදී අපි ඒවා අතහැර ගියේ නැහැ. අවසානය දක්වාම මම රැඳී සිටියා. මිනිසුන්ගේ රසාස්වාදනය දැනගෙන මේවා කළයුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

“සාජන්ට් නල්ලතම්බි ” වේදිකා නාට්‍යය ඔබේ කලා දිවිය තුළ සුවිශේෂී කියා මා සිතනවා …..?

ඔව්, “සාජන්ට් නල්ලතම්බි” නිෂ්පාදනය වෙන්නේ “නෙයිනගේ සූදුව”වේදිකා නාට්‍යයෙන් නිහාල් සිල්වාව නෙරපීමත් එක්කයි. නිහාල් සිල්වා දවසක් සුදර්ශියේ නුග ගස යට වේදිකාවේ හඬමින් සිටියා. ඒ පිළිබඳ මම විමසුවාම ඔහු කිව්වේ ඔහුව “නෙයිනගේ සූදුව” වේදිකා නාට්‍යයෙන් ඉවත් කළා කියලා. මම ඔහුට කිව්වා දැන් ඒවා අමතක කර අපි “සාජන්ට් නල්ලතම්බි “නමින් වේදිකා නාට්‍යයක් කරමු කියලා. නිහාල්ගෙන්ම ලබාගත්තු මුදල් මම එකතු කරලා ගිණුමකට බැරකරලා තිබුණා. ඒ මුදල් රුපියල් 7500ක් වගේ තිබ්බා. ඒක ඒ යුගයේ විශාල මුදලක්. ඊටපස්සේ ක්ලයිව් මාටින්ස් , මංජු කාරියවසම්, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න ආදී මිතුරු කැල එකතුවී නාට්‍යය ලියා පුහුණුවීම් කර “සාජන්ට් නල්ලතම්බි “නමින් වේදිකාගත කළා. පළමු දර්ශනය දවසේ ෂෝස් 106ක් වෙන්කරලා තිබුණා. එසේ දර්ශන ප්‍රමාණයක් වෙන්කිරීමට හැකිවුණේ 1985දී නිෂ්පාදන කළමනාකරු ලෙස මම “සාජන්ට් නල්ලතම්බි ” වෙනුවෙන් කරගෙනගිය ප්‍රචාරණ කටයුතු නිසයි. නිහාල් සිල්වාගේ ජනප්‍රියත්වයත් ඊට හේතුවුණා කිව්වොත් හරි. 1985 ඔක්තෝම්බර් 29 වැනිදා “සාජන්ට් නල්ලතම්බි” වේදිකාගත කළා. එතැන් සිට 1989 දෙසැම්බර් 02වැනිදා නිහාල් සිල්වා මියයන තෙක්ම දර්ශන වාර 1300ක් පමණ වේදිකාගත කරන්න පුළුවන් වුණා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ දර්ශනවාර රැසක්ම ප්‍රදර්ශනය කළා. ඒ වගේම මාසයේ දින 31ම මේ වේදිකා නාට්‍යය වේදිකාගත වුණු අවස්ථා තිබෙනවා. පෝය දවසේත් නාට්‍යය පෙන්වලා තිබෙනවා. එම ප්‍රදර්ශනය ආසියානු වාර්තාවක් වෙනවා. ආසියාවේම වේදිකා නාට්‍යයක් කවුරුන් හෝ පෙන්වූවා නම් නිහාල් සිල්වාගේ “සාජන්ට් නල්ලතම්බි ” ඒ අතරට එක්වෙනවා..ප්‍රේක්ෂකයාගේ සම්මානය ලෙස ප්‍රේක්ෂක ආදරයත් නොඅඩුවම ලැබුණා. අදටත් ඒ ආදරය “සාජන්ට් නල්ලතම්බි “සඳහා ලැබෙනවා.. නිහාල් සිල්වා මියගොස් වසර 40කට ආසන්න වුවත් තවම ඒ වේදිකා නාට්‍යයේ ජනප්‍රියත්වය සහ නිහාල් සිල්වා නාමය ප්‍රේක්ෂකයා අතර තිබෙනවා. නිහාල් සිල්වාගෙන් පසුව නල්ලතම්බි චරිතය රඟපෑ 17දෙනෙක් මට හමුවී තිබෙනවා. විකට ඇඳුම් චරිතවලටත් සාජන්ට් නල්ලතම්බි චරිතය ගන්නවා. ඒ චරිතය අදටත් අනුකරණය කිරීම ගැන සතුටුයි. මෙම වේදිකා නාට්‍යය කලාවේ අති සුවිශේෂී නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්

වේදිකා නාට්‍ය කලාවට ඔබ අත්පොත් තැබූ ආකාරය සහ පාසල් අවධියේත් කලාවට නැඹුරුවක් තිබුණද යන්න පැහැදිලි කරනවා නම්……?

පාසල් අවධියේ මට නළුවෙක් වෙන්න ඕනේ කියලවත් කලාකාරයෙක් වෙන්න ඕන කියලවත් සිතුවිල්ලක් ඔළුවේ තිබුණේ නැහැ. වේදිකා නාට්‍ය කලාවට අත්පොත් තැබුවේ අතුල ජයරත්නගේ “කංකංබූරු” වේදිකා නාට්‍යයෙන්. එය දේශපාලන කතාවක් ඇතුළත් ප්‍රහසනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. වගකීම කියන දේ මට දැනුණේ මේ නාට්‍යයෙන්. දේශපාලනය නිවැරදිව විවේචනය කිරීමේ වගකීම වගේම හාස්‍යයට ලක්කිරීම සීරුවට කළ යුතු ආකාරය ගැන වගකීම මෙහිදී මම හොඳීන්ම ඉගෙනගත්තා. අතුල ජයරත්න ඒ දේවල් කරන ආකාරය මා බලාසිටියා.

ඔබ විශිෂ්ට සිනමා, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ධර්මසිරි බණ්ඩාරනායක සමඟ ද කලාවේ නිරතව තිබෙනවා .ඔහු සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූ ආකාරය කෙසේද……?

ඔව්, නිර්මාණය කෙරෙහි යුතුකමත්, වගකීමත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගත් කොතරම් අසීරු වුවත් එවැනි කටයුතු ඉතා ඉහළින්ම කිරීමට ඔහු පෙලඹෙනවා. ඔහුගේ උපරිම නිර්මාණ ශක්තිය යොදවලයි නිර්මාණයක් සිදුකරන්නේ. ඔහුගේ “ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ ” වැනි වේදිකා නිර්මාණවල ප්‍රදර්ශක සංවිධායකවරයා ලෙසත් රංගනයෙනුත් මම සම්බන්ධ වී තිබෙනවා. පුහුණුවීම් සිදුකරද්දී මට දැනෙනවා මෙවැනි නිර්මාණකරුවන් අතර ඉන්න මම කොයිතරම් පින් කරලද කියලා. “බවදුක, බවකර්ම ” චිත්‍රපටවලදී මට විශාල අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. එහි එක්තරා අවස්ථාවක් තිබෙනවා නෝනාහාමිගේ (මෙම චරිතය කළේ ස්වර්ණා මල්ලවාරච්චි ) ඇඟට ඌරෙක් පනිනවා, ඔහුට ඒ දර්ශනය ගැන සෑහීමකට පත්වෙන්න බැරිවුණා. මම එහිදී ඔහුට උදව් කර ඔහුට සහය දුන්නා. මට වගකීම් දැරිය හැකි බවට ඔහු එහිදී තේරුම් ගත්තා. ඔහු මගේ ජීවිතයට සුවිශේෂී පුද්ගලයෙක්. මගේ පුතාට නම දැම්මේත් ඔහුයි…පුතාට නම දාන්න “දි” අකුරයි තියෙන්නේ කිව්වාම එහෙනම් “දියනාත් මාරසිංහ “කියලා දාමු කිව්වා..මගේ සෑම දෙයකටම ධර්මසිරි බණ්ඩාරනායකයන් පියෙක්, සහෝදරයෙක්, ඥාතියෙක් වගේ ඉන්නවා. ඔහු දැන් තරමක් අසනීපයෙන් සිටියත් සුදර්ශියේ සභාපති තනතුරට මම තරග කරද්දී ඇවිත් මා වෙනුවෙන් ඡන්දයක් ලබාදුන්නා. ධර්මසිරි බණ්ඩාරනායකයන් කියන්නේ මගේ ජීවිතයට සුවිශේෂීම තැනැත්තෙක් .

නිෂ්පාදන කළමනාකරු , දර්ශන සංවිධායක යන තනතුරු ද්විත්වය තුළ වඩාත් වගකීම් සහගත කාර්යය වනුයේ කුමක්ද…..? එයට හේතු පැහැදිලි කරනවා නම් …..?

මේ තනතුරු දෙකම ඉතාමත් වගකීම් සහගතයි. නිෂ්පාදන කළමනාකරු නිර්මාණයට අවශ්‍ය ඉදිකට්ටේ සිට සෑමදෙයක්ම සපයා දිය යුතුයි. දර්ශන සංවිධායකත් ඒ හා සමාන වගකීම් සහගත තනතුරක්..නිර්මාණයක් කළාට වැඩක් නැහැ ඒක ප්‍රේක්ෂකයාට පෙන්වන්න ඕනේ.ප්‍රදර්ශනයේදී මම මගේ දිවියේ සියලුම වාර්තා තියලා තිබෙනවා. චිත්‍රපට, වේදිකා නාට්‍ය කලාවේ සහ කැසට්පට ක්ෂේත්‍රයේ දී…සේනානායක වේරලියද්දගේ කැසට්පට තමයි ලංකාවේ වැඩිම අලෙවිය සහ වැඩිම ආදායම් ලැබුවේ. එකල වේදිකාවේ ඒ ස්ථානය ගත්තේ “සාජන්ට් නල්ලතම්බි “වේදිකා නාට්‍යය. සිනමාවේ “අබා” චිත්‍රපටය. එය ලක්ෂ 2500ක් හොයලා තිබෙනවා. සිනමාවේ, වේදිකාවේ, කැසට්පට ක්ෂේත්‍රයේ වාර්තාගත ත්‍රිත්වයම මගේ.නිර්මාණයක් බිහිවෙන්න ඕනේ පොදු නිර්මාණ වශයෙන්.ආවටගියාට තමන්ට ඕන විදිහට හිතුවක්කාරකමට චිත්‍රපට හදලා පොදුවේ පෙන්වන්න බැහැ. එසේනම් එයට හරි පිටපතක් තියෙන්න ඕනේ. පිටපත ලැබුණාම මෙය නිර්මාණය කරන්න ඕනේ. ඉන්පසුව ප්‍රදර්ශනය කරන්න ඕනේ. එම ක්‍රියාවලීන් තුනම වගකීම් සහගතයි. ඔය දේ හරියාකාරව කෙරෙන්නේ නැති එක තමයි මේ අර්බුදවලට පළවැනි හේතුව ලෙස මම නම් දකින්නේ. ඒක අපි වටහාගත යුතුයි.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT