– එදා ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු මගේ ගීතය අහල මගෙ අම්මයි තාත්තායි හැඬුවා
– ඒ කාලෙ හොඳ ගීත ඇසුණා
“මගේ දෑස ඔබේ කියා…
ඔබ පවසනවා…
මම සැනසෙනවා…”
එදා මෙන්ම ගුවන් විදුලියෙන් ඇසෙන මේ සොඳුරු ගායනයට හිමිවන රසික ප්‍රතිචාරය අදටත් අඩුවක් නැතැයි හැඟේ..
” ලන්ද දිගේ හැංගිහොරා සැඳෑ කාලයේ..
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ….”
අදටත් රසික ආදරයම මොනවට හිමිවන මේ එදා ඇසුණු ගී සිරිත රසාලිප්ත ස්වරයෙන් සිරිමත් කළ අපේ ආදරණිය ජ්‍යේෂ්ඨ ගායන ශිල්පිනිය අපට හමුවූයේ මහරගම…මන්දාරා උයනේ එස්.පී.කේ ගී නද සංගීත ආශ්රමයේදීය…ඕ වියපත්ව සිටියද ඇයගේ මුව විකසිත සිනහවට නම් වචන නැති…
” ඔබතුමිය මේ ආශ්රමයේ ඇයිදැයි විමසූ පැනයට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසිනි…
” මේ සංගීත ආශ්‍රමය මට විතරක් නෙවි..අපේ කාලයේ සමකාලීනයන්ගේද නවාතැනක් .. දරුවන් ට සංගීතය උගන්වන්න ආර්ථික දුෂ්කරතා තියෙන මවුපියවරුනට ශක්තියක් වෙමින් මේ ආශ්රමයෙන් නොමිලයේ සිදුකරන සද්කාර්යයට සහය දක්වන්න අපත් එකතු වෙනවා ..”
සරස්වතී මෑනියන්ගේ ආශිර්වාදයෙන් මට තවමත් හොඳට ගීත ගයන්න පුළුවන්..”
ඕ තොමෝ ඒ ටික කීවේද ඇසූ තවත් පැනයකදීය.
වයසින් අවුරුදු විසිඑක්වන වියෙහිදී ගුවන් විදුලියේ “බි ” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙසින් සමත්ව 1969දී පමණ හෙළ ගී කෙතට එක්ව…පසුකලෙක රසික හද වසඟකරනා හඬ සිරිතකින් රටක් සිය ගැයුමින් මෝහණය කළ ඕ තොමෝ ප්‍රකට ගායන ශිල්පිනිය නන්දා පතිරණය.
විතාන පතිරණගේ නන්දා පතිරණ උපන්නේ මහනුවර, අංකුඹුර නම් ගම්මානයේය. ඇයගේ මවුපියන් වූයේ සලමන් අප්පුහාමි සහ මැදගොඩගේ දෝන සීලවතී ය..
නන්දාට ඇයට බාල වයසේ පසුවන නැගණියන් දෙදෙනෙකි. ඉන් ලොකු නංගී මාලනී චන්ද්‍රලතා පතිරණ ය..දෙවැන්නී කල්‍යාණි පතිරණ ය..ඒ අනුව නන්දා පතිරණ පවුලේ වැඩිමල් දියණියය..
” මට තවමත් මතකයි..මං පුංචි කාලෙදිත් සංගීතයට ගායනයට හරිම ආසයි..මොන වැඩක සිටියත් මගෙ කටේ සින්දුවමයි..
අංකුඹුර විද්‍යාලයෙන් ඉගෙනුම ලද ඇයට පාසල් වේදිකාව හුරුපුරුදු තැනක්ම විය..ගැයුමට හපනියක ලෙසින්ද ඕ පාසලේ ජනප්‍රිය ශිෂ්‍යාවකද වූවාය..
සිසුවියකව සිටියදීම අංකුඹුර සරසවි කලායතනයේ සිසුවියක වූ නන්දා එහිදී ද ගායනය හැදෑරුවාය..
” ඔන්න ඉතින් ඒ කාලෙ ග්‍රාමීය අසන්නන්ගේ සමිති රටපුරා පිහිටුවා තිබුණා..අපේ අංකුඹුර ගමේත් තිබුණා.. ”
අංකුඹුර, ගම්මානයේ ශ්‍රී ජයවර්ධනාරාමයට ගම්මුන් එකතු වූයේ පෙර කී ග්‍රාමිය අසන්නන්ගේ සමිතියටය..ඒ 1969 දී පමණය..එදා එහි පැමිණියේ ගුවන් විදුලි සංස්ථාවේ දැවැන්තයන් දෙපළක් වන චිත්‍රානන්ද අබේසේකර සහ බර්ටි ගලහිටියාව යන මහත්වරුන්ය…
නන්දා ද පිරිස අතර වාඩි වී එදෙස බලාගත්වනමය.. තවත් ළමුන්ද එලෙසමය.
වාදක මඩුල්ලක් හෝ සංගීත ආම්පන්න කිසිවක් වේදිකාවේ නැත. අසුනින් නැගී සිටි බර්ටි ගලහිටියාව සභාව ඇමතීය..
” ගුවන් විදුලියට දක්ෂ ගායක ගායිකාවන් ඕනකරල තියෙනවා. හැබැයි..වාදන කිසිවක් නැතිව මෙහි ගායනා කරන අයව අප තෝරා ගන්නවා..”
” ඔව් ..එදා එතැන සංගීතයක් කියල මුකුත්ම තිබ්බෙ නැහැ..මමත් ඉතිං වේදිකාවට ගිහින් ගායනා කරල පෙන්නුවා..”
ඔවුහු එනවිට රැගෙන ආ යන්ත්‍රයකින් දරුවන් ගැයූ ගීත පටිගත කරගෙන පිටත්ව ගියහ..ඒ වනවිටද නන්දාගේ ගායනයට පැසසුම්ද හිමිවී තිබිණි.
එහෙත් ඇයගේ මවුපිය දෙදෙනා නම් පසුවූයේ නොරිස්සුම් ගතියකිනි..
“දැන් ඇති සින්දු කිව්වා…වෙන වැඩක් බලාගෙන ඉන්න එකයි ඇත්තෙ…” තාත්තා කියූ ඒ කතාවට අම්මා ද සිටියේ තාත්තාගේ පැත්තේය..එය අසා නන්දාගේ සිතද පෑරිණි.
” ටික දවසකින් මට ගුවන් විදුලියෙන් ලිපියක් ලැබුණා. සංගීතය සමඟ ගයන්න සූදානමින් එන්න කියලා…මම ඉතින් අඬල දොඩල කොහොම හරි අම්මා තාත්තා එක්කල ගුවන් විදුලියටත් එදා ගියා.”
එදින ගුවන් විදුලියේ වාදක මඩුල්ලක් ඉදිරියේ ඇයට ගයන්නට අවස්ථාව හිමිවිණි. සරල ගී පරීක්ෂණයකටද පෙනී සිටින්නට භාග්‍යවන්ත වූ ඇය “බී” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙසින්ද සාමර්ථ්‍යය ලද්දාය…
ගෙදරට පැමිණි මොහොතේ පටන් පෙරමෙන් දෝෂ නගන්නට වූ අම්මා තාත්තා තරයේ කියාසිටියේ සින්දු කීවා ඇති කියාමය..නන්දා මුහුණ හකුළාගත්වනම පසුවූවාය..
මේ අතරේදීය පෙරදාක ගුවන් විදුලියේදී ගයන ලද ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ…ගීතයට පෙර ඇයගේ නමද ප්‍රචාරය වී අනතුරුව ඇයගේ ගීතය ප්‍රචාරය විය..
” එදා ගුවන් විදුලියේ ගිය මගේ ගීතය අහල මගෙ අම්මයි තාත්තායි හැඬුවා. දෙන්නගෙම ඇස්වල කඳුළු පිරිල තියෙනව මම දැක්කා”
නන්දා පතිරණ කියන්නීය.
” එතකොට මට වයස විසි එකක් ඇති..පස්සෙ තාත්තා මාව ගුවන් විදුලියට එක්ක ගියා ”
ඇය ගැයූ ” මගේ දෑස ඔබේ කියා….ඔබ පවසනවා..” ගීතයෙන් ඕ ප්‍රසංග වේදිකාවටද පිවිසියාය..ඩෝල්ටන් අල්විස් මෙහි පද රචකයා විය..
” මං විවාහ වුණේ ධර්මසේන ගලබඩගේ කියන ව්‍යාපාරිකයකු සමඟයි..එයා ගුවන් විදුලියෙ හැමෝම එක්ක හරිම සුහදයි..මිතුරුයි. අපි ඒ කාලෙ පදිංචිය කැලණියේ..මගෙ මහත්තයා මට මුණගැසුණේ මගේ ළඟම මිතුරියකගේ මාර්ගයෙන්..එයා මගෙ කලා ජිවිතයට දියහැකි උපරිම සහය මට ලබා දුන්නා…”
ඇයගේ ආදරණිය සැමියා විසින් ගීත හතරක ගී තැටියක් නිෂ්පාදනය කරන්නට මුල්වී කටයුතු කළේය..එම ගීත තැටියේ ” ලන්ද දිගේ හැංගි හොරා ” ගීතයද සමඟින් මා අමතන්න එපා..” ගීතය සහ ටී.එම් ජයරත්න සමඟින් යුග ගී දෙකක්ද ගැයුවාය…
” කාලයක් අපට බොහෝ දුෂ්කරතා මතුවුණා .දේශපාලන නායකයින්ගෙන්…අපට බොහෝ දේ අහිමි වුණා..මගෙ සංගීත කටයුතු පවා නවතා දමා ඉන්නට සිද්ධ වුණා..”
සැමියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂක අංශයේ කටයුතු කළේය…නැවතත් තම පවුලට හුස්ම ගන්නට වාසනාව උදා වු බවද කී නන්දා අපට අහිමිව ගිය දේවලටත් වැඩියෙන් ලැබුණු බවද කීවාය..
” මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. සේලින්ද ගලබඩගේ, දර්ශන නයනකාන්ත ගලබඩගේ, සාරද රනාලි, සහ තිදසින්ද තරිඳු ගලබඩගේ දරුවනට මව වූයේ නන්දා ය.
ගීත අසූවක් පමණ ගයා ඇති නන්දා පතිරණ ගායන ශිල්පිනිය 2010 වසරේදී ගීත දහසයක් ඇතුළත් ගී තැටියක් කළාය.. එඩ්වඩ් ජයකොඩි සමඟද යුග ගායනා කළ ඇය තමන්ගේ පැරණි ගීත ඇතුළුව නවතම ගීත පහක්ද ඊට ඇතුළත් කළාය..
” බදුලු වෙලේ රණ මොණරා..! ගීතයට ඇය තුළද ඇත්තේ ආදරයක්මය.
සිය ගායන දිවිසිරිත දිනෙන් දින ඔපකළ ඇයට මුල්ම සම්මානය හිමිවූයේ උපන් ගම වූ අංකුඹුර ගමේදීය..එය මැදරට දිරිය වනිතා උපහාර උත්සවයේදී හොඳම ගායිකාව ලෙසින් පිදුමට බඳුන් වූවාය..
මහරගම තරුණ සේවා සභාවෙන් පිදුමට බඳුන් කළ ප්‍රසාදිනී සම්මානයෙන් සම්මානිත වූවාය..2017දී ඕ කලා භූෂණ සම්මානයටද පාත්‍ර වූ අතර තවත් සම්මාන රැසකටද ඇය හිමිකම් කියන්නීය.
” ඒ කාලෙ හොඳ ගීත ඇසුණා..හොඳ පද රචනා තිබුණා…කනට මිහිරි සංගීතය තිබුණා..අද ඇත්තේ වටිනාකමින් හීන ඉබාගාතේ යන සංගීත කලාවක්…ඒ කාලෙ වටිනා සංගීතය අද අසන්නට නැහැනේ ”
” මම ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වුණත් ප්‍රසංග වේදිකාවට ආරාධනයක් නැති තරමට කැපිල්ලක් මට තවමත් හොඳට ගයන්න පුළුවන්..”
” මගෙ ගීත වෙනත් අය ගයනවා .තරඟයකදී නම් ඒකට කමක් නැහැ කියමුකෝ.. වේදිකාවල මගේ ගීත ගයලා මුදල් ඉපයීම වැරැදියි..ඒ ගැන නම් තියෙන්නෙ හරිම කලකිරිමක් ..අපට විශ්‍රාම වැටුපක් කියල දෙයක්වත් නැතිකොට..
එදා වගේම අදත් ලැබෙන රසික ආදරය..ප්‍රතිචාර දැක්කාම ගායිකාවක් වන්න ලැබීම ගැන හිතේ තියෙන්නෙ ලොකු ම සතුටක්..”.
“සරසවිය පත්තරේට හදවතින්ම ස්තුතිවන්ත වන බව ඇයගෙන් සමුගන්නා මොහොතේදී සිනාපිරි මුවින් පැවසුවාය..
සරසවිය වෙනුවෙන් ඇයට අපි නිදුක් නිරෝගී සුව ජිවනයම පතමු.