– ‘හඳ මාමා’ගුවන්විදුලි ළමා වැඩසටහනෙන් සුමනා ජයතිලක නාමය මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ තුඩ තුඩ නිරන්තරයෙන් රැව් දුනි
– සුමනාවන් කෙරෙහි පැවැති පරිකල්පන ශක්තියත් හඬ රංගන ප්‍රතිභාව සහ පරිචයත් සනාථ කරන ප්රත්යක්ෂ සාධකයක්
මගේ ගම වන කළුබෝවිල ගමෙන්ම බිහිවුණු උට්ඨාන වීර්යනේ සමන්නාගත තරුණ ග්රන්ථ ප්‍රකාශකයෙකු මෙන්ම සුකුමාරමතිකයෙකුද වන ජනක ඉණිමංකඩ මිතුරාණන් මහත් උද්යෝගයකින් පළ කළ මගේ ‘හිතක මතක’ කෘතියෙහි 10 වන පරිච්ඡේදය ‘නෑඹුල් සාහිත්‍ය දේශනය’ නම් වෙයි. එය වූකලී මගේ කුලුපග මිත්‍ර කේ.ජයතිලක නාමධේය නවකතාකරුවාණන්ගේ සාහිත්‍ය ධරයාණන්ගේ සමාශ්රය සම්පත්තිය අරබයා මා විසින් රචිත වූවකි. එහි එක් තැනක මේ අතීත ආවර්ජනය හමුවෙයි.
“එදා කේ.ජයතිලකයනුත් මාත් දොස්තොව්ස්කි ගැනත් ඔහුගේ ‘කැරමසෝෆ් සහෝදරයෝ’ නවකතාව හා වෙනත් නවකතා ගැනත් නොයෙක් දෑ කතා කරමින් සිටියදී එතනට පැමිණියේ යෞවන ශ්රීය වෑහෙන අභිරමණීය රූපශ්‍රීයෙන් උපශෝභිත සුමනාවන්ය. ඇගේ රත ලවන මත දිළුණේ ප්රශස්ත මන්දස්මිතයකි….. දැනුදු සුමනාවන් හමුවන හැම මොහොතකම එකල මා නව යොවුන් ඇය කෙරෙහි දුටු රුසිරු රූ සිරි අසිරිය යළි මා මනැස
අබියස දිස්ව යන්නේ ඉබේය.”
1952 අවුරුද්දේ ලංකා ගුවන්විදුලිය, කවි ගායනයෙහි ශූර වූ ශිල්පී ශිල්පිනියන් තෝරා ගැනීම සඳහා පරීක්ෂණයක් (ඒභඤඪබඪධද) පැවැත්විය. එම පරීක්ෂණයෙන් අන්තිමට තේරුණු පස් දෙනා ගැන සිතන විට එය මුල්ම ගුවන්විදුලි කවි ගායනා ශිල්පී පරීක්ෂණය විය හැකි යැයි සිතමි. එකී පස් දෙනාම එවක තරුණ වියේ පසුවූ හෙයිනි.
මර්වින් සේනාරත්න
එච් .ඩී. විජයදාස
එම්.ජී.සමරසේකර
ධර්ම ශ්‍රී ජේ දහනායක සහ එකල භද්‍ර යෞවනයට එළඹ සිටි එකම ලලනා රත්නය වූ සුමනා ජයතිලක යන පස් දෙනා එම අවසන් ජයග්රාහකයෝය.
පසු කලෙක මේ භාග්‍ය සම්පන්න දුර්ලභ පංච ප්රතිභාන්විතයන්ම ගුවන්විදුලිය ඒකාලෝක කළ ආලෝක ප්‍රභවයන් බවට පත්වීම ආශ්චර්යක් නොවේද! ප්රාතිහාර්යක් නොවේද!
කලකට පසු ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ඓතිහාසික නාට්‍ය මාලාවෙන් මර්වින් සේනාරත්න නාමයත් විශිෂ්ට ප්රශස්ත පුරෝගාමී ගුවන්විදුලි ප්‍රහසන වැඩසටහනක් වූ ‘විහිළු තහළු’ විනෝදාංගයෙන් එච්.ඩී.විජයදාස නාමයත් ගුවන්විදුලි නාට්‍ය මෙන්ම පද්‍යාවලිය ආදි වෙනත් විවිධ විචිත්‍ර වැඩසටහන් හා විශේෂයෙන් ‘හඳ මාමා’ ගුවන්විදුලි ළමා වැඩසටහනෙන් සුමනා ජයතිලක නාමයත් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ තුඩ තුඩ නිරන්තරයෙන් රැව් දුනි.
ඒ බැව් ඔබට රහසක් නොවුණත් එම්.ජී. සමරසේකර සහ ධර්ම ශ්‍රී ජේ දහනායක යන නාම යුගලය කවරේද යන්න අරබයා ඔබ තුළ කුහුලක් හා විමතියක් හට ගනු නිසැකය. ධර්ම ශ්‍රී ජේ දහනායක යනු මුල්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පී අතළොස්සට අයත් ශූර හඬ නළුවෙකි. ළයාන්විත පද්‍ය ගායකයෙකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ගුරු භවතෙකි.. පසු කලෙක මගේ ළෙන්ගතු මිතුරෙකු බවට පත් ඔහු ගුවන්විදුලි නාට්‍ය ශිල්පී අප පරපුරේ කීර්තිමත් ජ්‍යේෂ්ඨයෙකි. එම්.ජී. සමරසේකර කවුරුන්දැයි දැනගත් පසු ඔබ හැම එක් වරම මවිතයට පත්වනු නියත බැව් මම දනිමි. ඔහුගේ සම්පූර්ණ නම මහගමගේ සමරසේකරය. පසු කලෙක අසහාය ගීත රචකයෙකු ලෙස ගුවන්විදුලිය කීර්ති රශ්මියෙන් රංජමාන කළ මහගමසේකර යනු එම්.ජී. සමරසේකරයන්ගේ පුනරාවතාරය මිස අන් කවුරුන්ද? ගැඹුරු හඬක් තිබුණු සේකරයන් ගායනයෙහි කෝවිදයෙකු බව දැන සිටියේ ඔහු සමීපව ඇසුරු කළ අතළොස්සක් දෙන පමණි. ඔහුගේ ගේය පද මාධූර්යටත් එම සහජ ගායන කුසලතාව මහත් වූ ආවේශයක් වන්නට ඇතුවා නිසැකය.
ඉහත කී කවි ගායන ශිල්පී
ගුවන්විදුලි පරීක්ෂණයෙන් සමත් වූ එකම ලලනා රත්නය වූ සුමනාවන්ගේ පළමු ගුවන්විදුලි මාධ්‍ය ඉඳුල් ගැන්වීම එමඟින් සිදුවන්නට ඇතැයි සිතමි.
අද කොළඹ කුරුඳුවත්තේ බාන්ස් ප්ලේස් පාර මහේශාඛ්‍ය පවුල් බහුලව පදිංචිව සිටින මහා මාලිගාවලින් ගහන මුත් එක්තරා කලෙක එම පාරේ කෙළවර පෙදෙසක අල්පේශාඛ්‍ය පවුල්ද විසූ බව බොහෝ දෙන නොදන්නා අප්‍රකට කරුණකි. එකල මෙම පෙදෙසේ එකිනෙකට යාබදව පිහිටි කුඩා ගෙවල් දෙකකින් බිහිවූ ප්‍රතිභාන්විත දැරියන් දෙදෙනෙකු නිසා ගායන, නර්තන, රංගන යන ත්‍රිවිධ කලාක්ෂේත්ර මෙන්ම ශ්‍රේෂ්ඨ පුරුෂයන් දෙදෙනෙකුගේ ජීවිත දෙකක්ද ඒකාලෝක විය. යාබද ගෙවල් දෙකින් එකක විසුවේ කුරේ පවුලය. අනික් ගෙයි විසුවේ ගුණරත්න පවුලය. පවුල් දෙකේ පියවරු දෙදෙනා බඩ බැඳගත් මිතුරෝය. ඊට බලවත්
හේතුවක් වූයේ දෙදෙනාම එකල ප්‍රබල වාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති සහෝදරයන් වීමය. නිවෙස් දෙකේ විසූ සුමනා කුරේ සහ විමලා ගුණරත්න යන දැරියෝ දෙදෙනාම එකල මියුසියස් විදුහලේ නර්තන ගුරු වසන්ත කුමාර නම් කීර්තිමත් නාට්යාචාර්යවරයාගේ කුසලතා පූර්ණ ශිෂ්‍යාවෝය. කාලයාගේ ඇවෑමෙන් නර්තනය, වේදිකා රංගනය, ගුවන්විදුලි හඬ රංගනය, කවි ගායනය මෙන්ම ගුවන්විදුලි වැඩසටහන්ද මඟින් දනන් තුඩ තුඩ නම රැන්දූ එසේම කේ. ජයතිලක නම් මහාර්ඝ ලේඛකයාට නිරන්තර ආවේශය හා ආලෝකය ගෙන දුන් ඔහුගේ ප්‍රාණප්‍රිය පතිනියද වූ සුමනා ජයතිලක නම් පෞරුෂ්‍යය එනමින් පුනරුත්පත්තිය ලැබුවේ අර සුමනා කුරේ දැරිය තුළිනි. ජයතිලක දම්පතීන්ගේ එම සමවාය වූකලී එක්තරා දෛවෝපගත අවස්ථාවක භද්‍ර යෞවන සුමනාවන්ගේ නේත්‍ර රම්‍ය නර්තන මහිමය දැකීමෙන් කේ. ජයතිලක යෞවනයා තුළ උපන් මෝහනයේ ඉෂ්ට පලයක් නිසා සිදුවූවක් බව ඔහු සමීපව ඇසුරු කළ අපි දැන සිටියෙමු.
රජයේ නැටුම් විද්‍යාලයට පිවිසුණු විමලා ගුණරත්න දැරිය නාට්‍ය ගුරු පනීභාරතයන්ගෙන් නර්තනය හදාරා කීර්තිමත් නැටුම් ශිල්පිනියක හා ජන ගී ගායිකාවක ලෙස ප්රකටව සිට පසු කලෙක මහා සංගීතඥ අමරදේවයන්ගේ ජීවන සහකාරිය බවට පත්ව විමලා අමරදේව නමින් යළි උපන්නීය.
මා සුමනාවන් මුලින්ම හමුව හඳුනා ගත්තේ ගුවන්විදුලි නාට්‍යය මඟිනි. මා ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු බවට පත්වීම කෙතරම් භාග්‍යයක්ද! දිගු කලක් තිස්සේ ඇය සමග පෙම්වතුන්ගේ චරිත මෙන්ම වෙනත් විවිධ චරිතද එකට රඟ පෑමේ පරම ආස්වාද ජනක අවස්ථා කොතෙකුත් ඉන් උදාවූ බැවිනි. ඒවා අතරින් මගේ මනසේ තවමත් ජීවමානව රඟ දෙන ගුවන්විදුලි නාට්‍ය අත්දැකීමක් ඇත. එම අපූරු නාට්‍යය ප්‍රචාරය වූයේ ‘වැල්ලට ගිය ගැහැනිය’ යන නමිනි. කීර්තිමත් වේදිකා නාට්‍යවේදියෙකු මෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයෙක්ද වූ සුගතපාල ද සිල්වාණන් නාට්යාංශය භාරව ගුවන්විදුලියට පත්ව ඒමෙන් පසු ඔහුම ලියා නිෂ්පාදනය කළ පළමු නාට්‍යය වූයේ ‘වැල්ලට ගිය ගැහැනිය’ නම් හඬ නළුවයි. එය වූකලී එතෙක් ගුවන්විදුලිය මගින් ප්‍රචාරය වූ මුල මැද අග සහිත ගතානුගතික නාට්‍ය රීතිය උඩු යටිකුරු කොට දැමූ ඉන් පෙර නොලියැවුණු විරූ අසම්මත ගණයේ නාට්‍යයකි! එහි චරිතද අසම්මත ගණයේ විකාර ස්වරූපයක් (ඒඡඵභපඤ) ප්‍රකට කළේය. සුමනාවන් හා මා එහි ප්‍රධාන චරිත දෙක හඬින් පණ ගැන්වූයේ විකාර ආකාරයේ පෙම්වතුන් දෙදෙනෙකුගේ ලීලාවෙනි. චරිත තුනක නාට්‍යයක් වූ එහි ඉතිරි චරිතය රඟපෑවේ කීර්තිමත් නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිහුය. ගුවන්විදුලි හඬ රංගනයෙහිලා සුමනාවන් කෙරෙහි පැවති පරිකල්පන ශක්තියත් හඬ රංගන ප්‍රතිභාව සහ පරිචයත් සනාථ කරන ප්රත්යක්ෂ සාධකයක් ලෙස ‘වැල්ලට ගිය ගැහැනිය’ නාට්‍යය හැඳීන්විය හැකිය. ඔබට දැන් එය යූටියුබය මගින් ශ්‍රවණය කළ හැකිවීම වාසනාවකි.
සුමනාවන්ගේ වේදිකා රංගන කෞශල්‍යය බබළනු දැකිය හැකිවූ මාහැඟි නාට්‍යයක් මෙවේලේ මගේ සිහියට නැගෙයි. ඒ ‘මඟුල් ප්‍රස්තාව’ නමැති අනුවාදිත කෙටි වේදිකා නාට්‍යයයි. හෙන්රි ජයසේනයන් සමඟ ප්‍රධාන චරිත රඟපාමින් සුමනාවන් එම නාට්‍යයෙහිලා පෑ රංගන ප්රාතිහාර්යය මගේ මතකයෙන් කිසි දා මැකී නොයන්නකි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් තම
ඡාත්‍රයන් වන ගුණසේන ගලප්පත්තීන් හා පී. වැලිකලයන් ඇතුළුව කේ. ජයතිලක ආදි තවත් පිරිසක්ද සමග ‘ජනරංග සභා’ නමින් නාට්‍ය සංගමයක් පිහිටුවීමෙන් පසු එමගින් ‘මනමේ’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් වේදිකා ගත විය. එහිදී ප්‍රධාන චරිත හැර සෙසු චරිතවලට නව නළු නිළියෝ යොදා ගන්නා ලදහ. ඔවුන් අතරට ගුවන්විදුලි නාට්‍ය ශිල්පී පිරිසක් අයත් වූයේ
පී.වැලිකලයන්ගේ අභිමතය පරිද්දෙනි. සුමනාවනුත් මාත් ඇතුළු ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් කීප දෙනෙකුම ‘මනමේ’ දෙවන නිෂ්පාදනයෙහි රඟ පෑමට වරම් ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සුමනාවෝ සිය මධුරස්වරයෙන් ‘මනමේ’ ගායන කණ්ඩායම සප්‍රාණ කළහ.
ඒ වූකලී කීර්තිමත් සිනමා අධ්යක්ෂවරයෙක් වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සූරීන් ගුවන්විදුලි වෙළඳ සේවයේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස සේවය කළ කාලයයි. එකල ඔහු අලුත් වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඉන් එකක් ‘රේඩියෝ සඟරාව’ නම් සඟරා ස්වරූප වැඩසටහනයි. අනික කුඩා දරුවන් සඳහා වෙන් වුණු ‘හඳ මාමා’ වැඩසටහනයි. එහි ආරම්භයේ සිටම ඊට සහාය වූ දෙදෙනෙකි. ඒ සුමනාවන් සහ පියසේන උඩුකල යුවළයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මාධ්‍යවේදියාණන් ගුවන්විදුලිය හැර යාමෙන් පසු කලෙක ‘හඳ මාමා’ නිෂ්පාදිකාව ලෙස එම ළමා ගුවන් විදුලි වැඩසටහන ලැම්බර්ට් පෙම්මාවඩු කෘතහස්ත ගුවන්විදුලි ශිල්පියා සමග එක්ව අතිශය ජනප්‍රිය ළමා වැඩසටහනක් බවට පත් කළ පරම කීර්තිමතිය සුමනාවෝය. නව ළමා පරපුරක ආස්වාදන ශක්තිය හා නිර්මාණ කෞශල්‍යය පෝෂණය කිරීමෙහිලා ‘හඳ මාමා’ වැඩසටහන මගින් සුමනාවන් කළ සම්ප්රදානය මහාර්ඝ අධ්‍යාත්ම සම්පතක්මැයි!
බොහෝ ඈත එක්තරා භාග්‍යවත් දිනක මා නමෝ විත්තියෙන් භද්‍ර යෞවන සුමනාවන් කෙරෙහි දුටු රුසිරු රූ සිරි අසිරිය දිවි හිම් තෙක් මා මනසෙහි දිවමන්ව සුදිළෙනු කවර අරුමයෙක්ද !
කරුණාරත්න අමරසිංහ