Home » හාස්‍යෝත්පාදනයේ උල්පත

හාස්‍යෝත්පාදනයේ උල්පත

ෆ්‍රෙඩී සිල්වා

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

මොරටුවේ උපත ලද හල්පේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු හෙවත් ෆ්‍රෙඩී සිල්වා හෙළ සිනමාවේ හා ගුවන් විදුලියේ දශකත්‍රයටත් එහා යමින් සිය ආධිපත්‍යය පතුරුවාලීමට සමත්ව ගායන ක්ෂෙත්‍රයේ ද ඉහළම නමක් දිනා ගත්තේය.

පැදුරු සාජ්ජයක ඔහුගේ ගැයුම් සහ රැඟුම් දුටු සර් ජෝන් කොතලාවල මහතා මඟින් ගුවන් විදුලියේ හාපුරා කියා ගායන ශිල්පියකු වූයේ ඇලන්සන් මෙන්දිස් ලියූ ඉමහත් ජනාදරයකට පාත්‍රවූ බාර්..බාර්..බාර් එකෙන් බීලා… නමැති ගීතයෙනි. හාපුරා රංගනයට ෆ්‍රෙඩී පිවිසියේ මි.මී 16 තරුණ විය විත්ති කථා චිත්‍රපටයෙනි. අනතුරුව කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ සුහද සොහොයුරෝ චිත්‍රපටයේ රඟමින් හා ගයමින් ජනප්‍රිය නළුවකු ලෙසින් දිගු සිනමා ගමනකට මුල පිරුවේය..

එමෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ‘ අලුත් කලාවක් ‘ ගීතය ගයමින් ඔහු රඟපෑවේ ජෝ දේව් ආනන්ද්ගේ ‘සුජීවා’ චිත්‍රපටයෙන්ය. ඉන් ඔහු වඩ වඩාත් ඉහළටම නැඟිණි.

ඇතැම් සිනමා නිර්මාණවලදී තමන් රඟනොපාමින් අන් ශිල්පීන් වෙනුවෙන් ගැයූ ගීත අතර ‘පරණ කෝට්’ ගීතයද හැඳීන්විය හැකිය.

මොරටුව මෙතෝදිස්ත සහ ශාන්ත සෙබස්තියන් විදුහලින් අධ්‍යාපනය ලද හෙතෙම කුඩාවියේදී හා ගැටවරවියේදී කාගේත් අවධානයකට ලක්වූ තැනැත්තකු බවද පැවසේ.

ක්‍රමයෙන් හෙළ සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළටම නැගී ආ ෆ්‍රෙඩී ඔහුගේ විකට රංගනයන් නිසාම එම චිත්‍රපට ඉහළම ආදායම් වාර්තා තබා ඇති බවද කියැවේ.

ගායන ශිල්පියකු, රංගන ශිල්පියකු සේම පසුව චිත්‍රපට නිෂ්පාදකවරයකු ද වූ ෆ්‍රෙඩී සිල්වා ජනප්‍රිය නළුවා ලෙසින් සරසවිය සහ එකම විකට නළුවා ලෙසින්ද රණතිසර හා ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබු අතර අංජානා චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයටද පාත්‍ර විය.

1991වසරේ පැවැති 19 වැනි සරසවිය සම්මාන උලෙළේදී ෆ්‍රෙඩී සිල්වා 1990 වසරේ ජනපි‍්‍රය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන්ම 1990 වසරේ පැවැති 17 වැනි සරසවිය සම්මාන උලෙළේදී ෆ්‍රෙඩී රණතිසර සම්මානයට පාත්‍ර විය.

ඔහුගේ ගායන දිවියේ බොහෝවිට එම ගීත උපහාසාත්මක රසය මොනවට ගැබ්වී තිබිණි. විකට චරිතයෙන් මිදුණු අවස්ථාවක් ලෙසින් දැක්වෙන්නේ ෆ්‍රෙඩී රඟපෑ ළසඳා චිත්‍රපටයයි.. සූකිරි කෙල්ල චිත්‍රපටයේ අංගවිකල තරුණයකුගේ චරිත නිරූපණය ඔහුගේ කුසලතාව ඉස්මතු කළ සුවිශේෂී බවක් පළකළ චිත්‍රපටයයි.

සිංහල සිනමාවට දැක්වූ දායකත්වය සහ සිනමාවේ අවි⁣යෝජනීය අංගයක්සේ සැලකෙන හාස්‍යොත්පාදක රංගනය වෙනුවෙන් ඔහු ලද ජාතික කතෝලික සිනමා පර්ෂදය පිරිනැමූ ප්‍රණාම සම්මානය ඔහු සිය ජීවිතයේදී ලද මුල්ම සම්මානය වේ.

චරිත රංගාලි, ඔක්කොම හොඳටයි චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු පසුකලෙක ‘මන්ත්‍රී’ නමින් වේදිකා නාට්‍යයක්ද තනමින් එහි රඟපෑවේය. පසුකලෙක පුංචි තිරයටද රංගනයෙන් එක්වූයේය..

ෆ්‍රෙඩීගේ රංගන දිවිය දෙස හැරී බලන කල ඔහු රඟපෑ චිත්‍රපට ගණන 210 ක් පමණය..වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑ නළුවා ලෙසින් වාර්තාවක් තබන්නටද හෙතෙම සමත් වූ අතර ගැයූ ගීත සංඛ්‍යාව ද 2000කට වැඩිවේ.

 

සේයාරුව දයාන් විතාරණ

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT