Home » සෙවණැලි කලාව ලංකාවට හඳුන්වාදීමේදී ස්පාඤ්ඤයෙන් උපදෙස් ලැබුණා

සෙවණැලි කලාව ලංකාවට හඳුන්වාදීමේදී ස්පාඤ්ඤයෙන් උපදෙස් ලැබුණා

- තමාෂා ජයසූරිය

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

ඇය විසින් ටෙලි විෂන් මාධ්‍යයට හා පුරා කියා අධ්‍යක්ෂණය කොට ඉදිරිපත් කරමින් නිර්මාණය කළ මිස් ට්‍රැවලර් වැඩසටහන සඳහා පසුගිය දා රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී ජුරියේ විශේෂ ඇගැයීම් සම්මානය හිමිවීම සුවිශේෂී සිද්ධියක් විය. සෑම සෙනසුරාදා දිනකම සවස 6.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන මිස් ට්‍රැවලර් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරනුයේ ද ඇයමය. කවුද මේ ඇය?

සැබැවින්ම ඇය මේ වනවිටත් මෙරට නාට්‍ය කලාවේ සුවිශේෂි චරිතයක් වී හමාරය. මෙරට සෙවණැලි නාට්‍ය කලාවේ පුරෝගාමී චරිතයක් වන ඈ නමින් තමාෂා ජයසුරියයි. 2012 වසරේ ෂැඩෝ ඩ්‍රාමා කලාව මෙරට තුළ බිහි කිරීමට පුරෝගාමී වූ තවත් සුවිශේෂි ගෞරවයක් තමන් සතු කරගනු ලැබුවේ මෙරට සෙවණැලි ආධාරයෙන් පැයකට අධික කාලයක් ඩ්‍රාමා එකක් කළ පළමු තැනැත්තිය මෙන්ම එවක ඒ වන විට සිටි ළාබාලතම නාට්‍ය අධ්‍යක්ෂවරිය ලෙස නාමයක් සනිටුහන් කරගනිමිනි.

ස්ටේජ් කලාවේ නොතිබු කලාවක් හඳුන්වා දෙමින් හා ටෙලි විෂන් මාධ්‍යයට කළ පළමු නිර්මාණ අධ්‍යක්ෂණයෙන්ම සම්මානනීය ඇගැයුමකට පාත්‍ර වූ තමාෂා හා බොහෝ දේ කතා කරමු.

ටෙලි විෂන් කලාවේ ඔබේ මුල්ම උත්සාහය ඇගැයුමට ලක්වීම ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් තියනවා. මගේ මුල්ම උත්සාහය ඇගැයුමකට පාත්‍රවෙන්න තරම් උසස් තත්ත්වයක තිබීම ගැන.

ටෙලි විෂන් මාධ්‍ය කලාවට මෙවැනි වැඩසටහනක් මතම විතරද ඔබේ හැකියාවන් ප්‍රදර්ශනයට ඔබ කැමැති?

එහෙම කියල මගේ විශේෂත්වයක් නම් නෑ. ටෙලි නාට්‍ය පැත්තේ නිර්මාණ සඳහා යොමුවෙන්න බලාපොරොත්තුවක් නෑ. මගේ තවත් එක හීනයක් තියනවා චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වීමට. දිගු ටෙලි නිර්මාණයක් නොකර මගේ හිතේ පුංචි ආශාවක් තියනවා ඒකාංගික ටෙලි නාට්‍යයක් කරන්න නැත්තම් ටෙලි ෆිල්ම් එකක් කරන්න.

අධ්‍යක්ෂිකාවක් ලෙස ඔබ ටෙලි විෂන් මාධ්‍ය හඳුනාගන්නා නිර්මාණය විශේෂ ඇගැයුම් සම්මානයකට ලක්වීම තුළ ඔබේ නිර්මාණ කුසලතාව ඇගැයීම ගැන මොකද ඔබට හිතෙන්නේ?

මම තවම අත්දැකීම් අඩු මේ ක්ෂේත්‍රයට නවක පුද්ගලියක්. ඒත් මගේ උත්සාහය තුළ ගුණාත්මක බව උපරීමයෙන් තිබුණ නිසානේ මාව විශේෂ සම්මානයකින් ඇගැයුමට පාත්‍ර කළේ. ඒක මම ලැබුව ලොකු ජයග්‍රහණයක්. තවත් මෙවැනි නිර්මාණත්මක වැඩසටහන් සමඟ සසදනකොට මගේ වැඩසටහන ඉහළ මට්ටමක තිබුණ නිසානේ මාව ඇගැයුමට ලක් කළේ. එතැනදි මගේ මුල්ම උත්සාහය මේක කියල මාව වර්ග කිරීමක් කළේ නැනේ. විනිශ්චයක් දීමේදී වුණත් මගේ මේ කුලුඳුල් නිර්මාණයන් මේ වගේම මාතෘකා තුළ නිර්මිත තවත් අයගේ නිර්මාණත් බලලනේ මට මේ සම්මානය පිරිනැමුවේ. ඒක මම මේ කෙටි කළක් තුළ ලබපු විජයක් ග්‍රහණයක් විධියටයි දකින්නේ.

මීට ප්‍රථම ඔබ ලංකාවට ෂැඩෝ ඩ්‍රාමා මාධ්‍ය කලාව හඳුන්වාදීමේ ගෞරවය හිමිකරගත් තැනැත්තියක්?

මෙය ස්ටේජ් ඩ්‍රාමා කියන කැටකරියට තමයි අයත් වන්නේ. ආලෝකය සහ සංගීතය මාධ්‍යලෙස භාවිත කරල ස්ක්‍රීන් එක පිටුපස අපේ හියුමන් බොඩි එක පාවිච්චයට ගෙන අපේ ශාරීරික හැඩතල ඔස්්සේ දෙබසක් පාවිච්චි කරන්නේ නැතිව ප්‍රේක්ෂකයන්ට අපි පණිවිඩයක් ලබාදීම සිද්ධ කරනවා. ඒක තමයි නාට්‍ය කලාවෙන් සෙවණැලි නාට්‍ය කලාව වෙන්වන ක්‍රමය වන්නේ. මෙන්න මේ කලාව තමයි මම මුලින්ම හඳුන්වල දුන්නේ.

2012 වසරේ ඔබ ෂැඩෝ නාට්‍යකලාව හඳුන්වාදෙන තුරාවට අපේ නාට්‍ය කලාව තුළ එවැන්නක් තිබුණේ නෑ කියලද ඔබ කියන්නේ?

මට රැගුම් පාලක මණ්ඩලයෙන් මේ සඳහා ඇගැයීම් සහතිකයක් ලැබුණා. මොකද මම මේ කලාව ගැන රැගුම් පාලක මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ අනුව එතෙක් මෙවැනි කලාවක් ගැන සඳහනක්වත් ඔවුන් සතුව තිබුණේ නෑ. ඒ පිළිබඳ ඔවුන් දීර්ඝ සොයා බැලීමක් සිද්ධ කිරීමෙන් අනතුරුව. මෙම කලාව මුල්වරට හඳුන්වා දෙන තැනැත්තා ලෙස ඔවුන් මාව නම් කරල සෙවණැලි ආධාරයෙන් පැයක පමණ කාලයක් සජීවිව ඩ්‍රාමා එකක් කළ පළමු තැනැත්තිය මම බවටත් එවක සිටි ළාබාලම නාට්‍ය අධ්‍යක්ෂිකාව මම බවටත් පිළිගෙන එම කරුණු කාරාණා තුන වෙනුවෙන්ම මට සහතිකයක් පිරිනමනු ලැබුවා.

ෂැඩෝ ඩ්‍රාමා කලාව හඳුන්වා දුන් ඔබේ මුල්ම නාට්‍ය නිර්මාණය වුණේ?

ද සකල් ඔෆ ලව් නමින් තමයි ඒ නාට්‍ය මම නම් කළේ.

ද සර්කල් ඔෆ් ලව් නාට්‍යය නිර්මාණය තමයි මෙරට සෙවණැලි නාට්‍ය කලාවේ ආරම්භක නිර්මාණය?

ඔව්. මගේ උත්සාහයෙන් බිහි වූ එම නාට්‍ය කෘතිය තමයි. මෙරට ෂැඩෝ ඩ්‍රාමා කලාවේ මුල්ම නිර්මාණය.

ඔබ විසින් හඳුන්වාදුන් මේ නාට්‍ය කලාව ආරම්භයකට පමණක් සීමා වුවක් වුණාද?

සෙවණැලි නාට්‍ය කලාව 2013 වසරේ සිට 2015 වසර දක්වා එක දිගටම කළා. මට අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සිදු වුණ නිසාවෙන් ඊට පස්සේ අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. මම බයෝසයන්ස් පැත්තෙන් තමයි උසස් පෙළ හැදැරැවේ ඒ නිසා ඉගෙනීම වෙනුවෙන් කාලය යෙදවීමට මට සිද්ධ වීම නිසාම මේ නාට්‍ය කලාවට විරාමයක් තියන්න මට සිද්ධ වුණා. මගේ නාට්‍ය කණ්ඩායම වයිටලයිස් (ඍඪබචතඪලඥ) ඒ විරාමයෙන් පස්සෙත් මාත් සමඟ එකතු වුණා. මේ නාට්‍ය කලාව නැවත කරගෙන යන්න.

ඔබේ මේ උත්සාහය සඳහා ලංකාව තුළ ප්‍රේක්ෂකාගාරය කොයිවගේ ප්‍රතිචාරයක් ද දැක්වුයේ?

මගේ උසස් පෙළ අධ්‍යයන කටයුතු වලින් පස්සේ නැවත මම (ඍඪබචතඪලඥ) කණ්ඩායම සමඟ කටයුතු කිරීම ඇරඹීමත් සමඟ මම උත්සාහ ගත්තා මේ කලාව විදෙස් රටවලට ගෙන යන්න. මොකද මේ රටතුළ මේ කලාව කිරීම සඳහා විශාල වියදමක් දරන්නත් සිද්ධ වුණා. ඒ නිසාම මම ලංකාවෙන් පිට මේ කලාව ගෙනයන්න උත්සාහ කළා. ඒ රට වල තියන ඉල්ලුමත් එක්ක. ස්කයිප් ඊමේල් හරහා මම ඒ රටවල් සමඟ මේ ගැන අදහස් හුවමාරු කළා. ඒක සාර්ථක වුණා. ඒ අනුව මගේ කණ්ඩායම සමඟ මේ කලාව රැගෙන මම කොරියාව, මාලදිවයින, ඉන්දියාව, සිංගප්පුරුව වගේ රටවල මේ නාට්‍ය කලාව පෙන්නුවා. ඒ වෙනුවෙන් මට වගේම මගේ නාට්‍ය කලාවේ නිරත ළමයින්ගේ හැකියාව වෙනුවෙන් හොඳ මුල්‍ය වටිනාකමක් ඔවුන් අපිට ලබාදුන්නා. ඒ අය ලබාදුන් මුදල අපේ ලංකාවේ දේශීය පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්න අමාරුයි. දේශීයව ගත්තොත් මේ සඳහා ඉල්ලුමක් ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් තිබුණා.

කණ්ඩායම තුළ සාමාජිකත්වය කොයි වගේ මට්ටමක් ද හිටියේ?

සියලු දෙනාම අවුරුදු තිහට අඩු පිරිසක්. ඔවුන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන අතරේ තමයි මේ සඳහා දායක වුණෙත් වැඩි වශයෙන් මේ සඳහා පුහුණුව ලැබුවේ රාත්‍රිකාලයේ පැය දහය පහලොව අපි පුහුණු වීම් සිද්ධ කළා. අමාරුවෙන් මම හොයාගත්ත කලාවක් වූ මේ ෂැඩෝ ඩ්‍රාමා කලාව මම බාල්දුවෙනවට කැමති නැති කෙනෙක්.

මෙවැනි කලාවක් සොයාගන්නට ඔබ පෙලඹෙන්නේ කොහොමද?

මම විද්‍යාඥවරියක් වෙන්න තමයි ඉගෙන ගත්තේ. දැන් මට බයෝ මෙඩිකල් ප්‍රැක්ටිස්වරියක් ලෙස කටයුතු කරන්නත් පුළුවන්. ඒ සඳහා සියලු විභාග මම සමත් වෙලා ඉවරයි. නමුත් මට ගෙදරින් තිබුණු පසුබිම තුළ මට කලාව පැත්තට නැඹුරුවෙන්න බැරි වුණා. මට ඕනෙ කළා හැමෝම නොකර දෙයක් කරන්න. ඒ නිසාම මම ඉන්ටර්නෙට් නිතර පරිශිලනය කරමින් අලුත් දේවල් හෙව්වා. මට අහම්බෙන් හමුවෙනවා මේ අතරතුර 2012 දී ස්පාඤ්ඤායේ ෂැඩෝ ඩ්‍රාමා එකක් කරපු පුංචි වීඩියෝ ක්ලිප් එකක් මේ ක්ලිප් එක බලල ගෙදර ලයිට් එක බිත්තියට ගහල පොඩි උත්සාහයක් කළා. නමුත් සාර්ථක වුණේ නෑ. මුලින්ම මම බල්ලෙක්ගේ අනුරුවක් හදන්න උත්සාහ කළා ඇගිලි ආධාරයෙන්. නමුත් ඒක ඇගෙන් හදන්න අපහසු වුණා. ඊට පස්සේ මම කීපදෙනෙකුට කතා කරල මේක කරන්න උත්සාහ කළා. රෑට ගෙදර පුහුණුවීම් කරමින්.

මේ සඳහා ගුරුවරයෙක් නොමැතිව ඔබම වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමම ප්‍රමාණවත් වුණාද නිසි අයුරින් මේ කලාව හදාරන්නව.

මේ කලාව මට නිසි ලෙස හදාරන්න මාස හතක් ගියා. මේ ගැන දැනගන්න මම ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් නාට්‍ය අධ්‍යක්ෂවරුන් සොයා ගියා. ඔවුන්ගෙන් මේ සඳහා උපදෙස් ලබන්න. නමුත් ඔවුන් මට කිව්වේ ඒ අය මේ වගේ නාට්‍ය කලාවක් කර නැති නිසාවෙන් මගේ ඉල්ලීම ඔවුන්ට ඉටුකරන්න බෑ කියලයි. ඊට පස්සේ මම කළේ ස්පාඤ්ඤායේ ෂැඩෝ ඩ්‍රාමා වීඩියෝ ක්ලිප් එකේ සිටි නාට්‍ය කණ්ඩායමේ ඊමේල් එක හොයාගෙන ඔවුන් සමඟ ස්කයිප් එකෙන් අදහස් හුවමාරු කරගත්තා.

එතනදි ඔවුන් මට කිව්වේ තමාෂා මේ කලාව කරන්න ඔබ උත්සාහ ගන්න. මේ කලාව අපි විතරක් නොවෙයි. අපේ පරම්පරාවේ මුතුන් මිත්තෝ කළ දෙයක් මේක අපේ පාරම්පාරික නාට්‍ය කලාවක් කියල ඒ වෙනකොට මම වයසින් කුඩා තැනැන්තියක් ඔවුන් මට කිව්වේ ඔබ උත්සාහ කරන්න කියන එක විතරයි.

ඒ කියන්නේ ස්පාඤ්ඤා නාට්‍ය කරුවනුත් ඔබේ ඉල්ලීම බැහැර කළා.

මම උත්සාහය අතහැරියේ නෑ. දිගටම මම මේක අත්හදා බලමින් යමක් ඉගෙන ගත්තා. ඔය අතරේ ස්පාඤ්ඤයේ මේ නාට්‍ය කලාව පිළිබඳ තියන වැඩමුළුවකට මට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. මේ කලාව ලෝකය පුරා ප්‍රචලිතව තියෙන්නේ. ඒ සඳහා කැමැත්තක් ආදරයක් තියන අය අතරේ එවැනි අය ලෝකයේ වෙනත් රටවලින් මේ වැඩමුළුව සඳහා ඉල්ලුම්පත් දමා සහභාගි වෙනවා. මට 2012 ගන්න උත්සාහය වෙනුවෙන් මම ස්පාඤ්ඤායට යන්න ලැබුණා. 2022 වසරේ ඔවුන්ගේ එක වැඩමුළුවකට සහභාගි වෙන්න ලැබුණා. ඔවුන් හා අදහස් හුවමාරු කර ගන්න අවස්ථාව ලැබුණා. ඒක මම ලබපු විශාල ජයග්‍රහණයක් මම ආස කළ කණ්ඩායම ඇස්දෙකෙන් බලාගන්න මට හැකිවුණා ඒ සතුට මට තියනවා. ඒ අය හමුවන්න විතරක් මට අවුරුදු දහයක් ගියා. නමුත් ඒ අයගේ වැඩමුළුවට සහභාගි වුණත් මට ඔවුන් සමඟ නාට්‍යයක් කරන්න බැරි වුණා. තවමත් ඔවුන් සමඟ ගනුදෙනු කරන්න. මම මුහුකුරා ගිහින් නෑ. කලාව කියන දේත් හික්මීම කියන දේත් ඉගෙන ගන්න ඒ අය ගොඩක් වටිනවා. ඒ මිනිස්සු ඒ කලාව ආවට ගියාට උගන්වන්න කැමැති නෑ. මුදල් හම්බ කරන පරමාර්ථයෙන් මේක කරනවා නම් ඒක කරන්න බෑ. ස්පාඤ්ඤා නාට්‍යකරුවා ඒ කලාව ඇහට ඔබ්බව ගෙන ආධ්‍යාත්මිකව කරන කලාවක් ඔවුන් කරන්නේ. අපි දෙගොල්ල ගත්තොත් දැනුම අතින් ඔවුන් ළඟට යන්න තව දුර ගමනක් අපිට තියනවා.

මේ වගේ නිහඬ කලා මාධ්‍යයක් සොයායන්න ඔබට දෙමාපියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණාද?

මට දෙවරක් උසස් පෙළ කරන්න සිද්ධ වුණා. නමුත් මට කැම්පස් යන්න ලකුණු මදි වුණා. මම ඔවුන්ට පොරොන්දුවක් දුන්නා මගේ උපාධිය සම්පුර්ණ කරගන්නවා. ඊට පස්සේ මට ඕනෙ දේ කරන්න ඉඩ දෙන්න කියලා මගේ දෙමව්පියන්ට ඉන්නේ මමත් අයියත් විතරයි. අයියා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ දෙමව්පියන්ගේ ඉල්ලීම ඉටු කළාට පස්සේ මට පුර්ණකාලීනව නිදහස දුන්නා. මම කැමැති දෙයක් කරන්න. හැබැයි මට ෂැඩෝ කලාවෙන් ලංකාව තුළ ලොකු මුදලක් සොයන්න අපහසු නිසා මට සිද්ධ වුණා මුල්‍යම අතින් ශක්තමත් වෙන්න වෙනත් යමක් වෙත සිත් යොමු කරන්න.

මිස් ට්‍රැවලර් වන්න ඔබ සිතුවේ?

මගේ නාට්‍ය කණ්ඩායමේ දරුවන් කීප දෙනෙක්ම විදෙස් ගත වෙලත් ඉන්නවා. මම විද්‍යා විෂයන් යටතේ අධ්‍යාපනයක් ලැබුවත් මගේ කලාව පිළිබඳ දැනුම අඩු මට්ටමක තිබුණ නිසා. මගේ ගමන යන්න අපහසු නිසා ගෙදර අයගේ ආශිර්වාදයත් අරන් මම ඉන්දියාවේ ෆිල්ම් සිටිවලට ගියා. අධ්‍යක්ෂවරියක් වන්නේ කොහොමද කියල හදාරන්න එහිදි මම සිනමාත්මක දැනුමක් ලැබුවා. බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ ඒ ගිය වෙලේ මට හැකි වුණා ඉන්දීය ජාතිකයන් කීප දෙනෙක් එකතු කරගෙන මගේ ෂැඩෝ නාට්‍ය කණ්ඩායමක් ගොඩනඟන්න. ඔවුන් මගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් කරගන්නත් මට පුළුවන් වුණා. අධ්‍යක්ෂවරියක් වෙන්න ඉගෙන ගන්න ගිහින් මම ෂැඩ්‍රෝ ඩ්‍රාමා එකක් කරන්නත් එහිදි මට හැකිවුණා. ඒ රටේ මැච් එකකට ටී.වී. කමර්ෂල් එකක් හදලා දෙන්න මට අවස්ථාව උදාවුණා. ෂැඩෝ ඩ්‍රාමා වලින් ඒ සඳහා මුල්‍යමය පැත්තෙන් මට හොඳ වටිනාකමක් ලැබුණා. ඒ මුදල මම ඉතිරි කරගෙන ඇවිත් තමයි මිස් ට්‍රැවලර් කියන ප්‍රෝගෑම් එක පටන් ගත්තේ.

මිස් ට්‍රැවලර් කිරීම තුළ ඔබට අභියෝග පැමිණියේ නැද්ද?

මගේ පෞද්ගලික මුදල් යොදවල තමයි මේ වැඩසටහන කළේ. මට මුලින්ම ආව අභියෝගය තමයි මම මේ උත්සාහය මොන චැනල් එකට ද දෙන්නේ කියලා. තෝරගත්ත චැනල් කීපයකට කතා කළා. මුලින්ම ගියේ ජාතික රූපවාහිනියට ඒකට හේතුව වුණේ ෂැඩෝ ඩ්‍රාමා මම පටන්ගත්තට පස්සේ ජාතික රූපවාහිනිය මට ගොඩක් ප්‍රෝගෑම්වලට කතා කළ නිසා මම ඒකට මුලින්ම ගියා. මම වයසින් හා අත්දැකීම් වලින් පොඩි වුණත් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලය මාව විශ්වාස කරල මට අවස්ථාව දුන්නා. විකාශය වෙනුවෙන් චැනල් එකට සල්ලි ගෙවන්න ඔයාගේ ප්‍රඩක්ෂන් කොස්ට් එක ඔයාම හොයාගන්න කියල. මට නිර්මාණ කරන්න මීට වඩා පුළුවන්. නමුත් අනුග්‍රාහකයෝ හොයන එක තමයි අමාරු කාර්ය. කොහොම හරි මම ඒ අභියෝගයත් ජයගත්තා. මට මුලින්ම චැනල් එකේ මුදල ගෙවන්න පුද්ගලික ආයතනයක් එකඟ වුණා. අදටත් ඒ ආයතනය ඒ මුදල දරනවා.

එතකොට ප්‍රඩක්ෂන් කොස්ට් එක ඔබ සොයාගන්නේ කොහොමද?

මුලින්ම මම ලංකාව තුළ මේ ප්‍රෝගෑම් එක කළා. රට තුළ ඇති වූ ඉන්ධන අර්බුදය සමඟ මට ලොකු අභියෝගයක් වුණා. මේ වැඩසටහන කරගෙන යන්න. ඒ අවස්ථාවේ මගේ පෞද්ගලික හැඳුනුම්කමක් භාවිත කරල බහරේන් වල හෝටලයකට මම කතා කළා. ඔවුන්ගේ හෝටලය ගැන. මගේ වැඩසටහන හරහා ප්‍රසිද්ධියක් දෙන්න ඒකට ඔවුන් කැමති වුණා. මම ඒ ඔස්සේ ඉන්ටනැෂනල් ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ට මේ වැඩසටහන හරහා ප්‍රසිද්ධියක් ලබාදුන්නා ඒ ඔස්සේ. ඔවුන් ළඟ තියන රැකියාවන් පිළිබඳ මම අපේ ජනතාව දැනුම්වත් කළා. මේ වනවිට මම රටවල් තිහක සංචාරය කරල තියනවා. මේ ආකාරයෙන් මම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක. දවසින් දවස අපුර්වත්වයක් සමඟ ගෙන එන කොට නිරන්තරයෙන් පේ‍්‍රක්ෂක ප්‍රජාවක් මගේ වැඩසටහන සමඟ එකතු වුණා.

අද වෙනකොට කොහොමද ඔබේ වැඩසටහන ඉල්ලුම සැදිලා තියෙන්නේ?

මම විදේශ රටවලට පමණක් සීමාවෙලා නෑ. දේශියවත් මේ වැඩසටහන කරනවා අද වෙනකොට දේශිය වශයෙන් වගේම විදේශිව වශයෙනුත් මට ආරාධනා තියනවා. වැඩසටහනට හෝටල් සම්බන්ධකර ගන්න කියලා. එතකොට මගේ වටිනාකම පහදල දීලා ඒකට එකඟ වන බොහෝ දේ මගේ අතින් ඉටු වෙනවා. ඔවුන්ගේ සමහර මාසවල වැඩ නැති අවස්ථාත් තියෙනවා. ඒ අවස්ථාවල මම අතින් පාඩු කරගෙන හරි මේ තුළ රැදිල ඉන්නවා. මම තැනකට ආවේ මේ වැඩසටහන හරහා වගේම ෂැඩෝ නාට්‍ය කලාව හරහානේ.

මිස් ට්‍රැවලර් ලැබුව සම්මානය ගැන මොකද හිතෙන්නේ?

ඒක මට ගොඩක් වටින දෙයක්. මේක මම තනිව ලබපු ජයග්‍රහණයක් නොවෙයි. මගේ අම්මා තාත්තා මගේ වයිටලයිස් කණ්ඩායම වගේම මගේ සංස්කරණ ශිල්පී පුබුදු ප්‍රනාන්දු, කැමරා ශිල්පී ප්‍රමෝද්‍ය රශ්මිත මට ලබාදුන් සහයෝගය විශේෂයෙන් මතක් කරන්න ඕිනේ. සමහර අවස්ථාවල මගේ කැමරා ශිල්පී සංස්කරණ ශිල්පී දෙපළ මගෙන් තියන දවසක මුදල් දෙන්න කියල මාත් සමඟ මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එකට සිටිය අවස්ථා තිබුණා. එහෙම නොවන්න මට මේ වැඩසටහන මේතාක් දුර කරගෙන එන්න ලැබෙන්නේ නෑ. අපි වැඩක් කරගෙනයන කොට ඕනෙ තරම් අය ඉන්නවා. වට්ටන්න ඒත් නැගිටින්න අතදෙන අය අඩුයි. මම වගේ පුංචි කෙනෙක් ගැන විශ්වාසය තියල අනුග්‍රාහක ආයතන වගේම මහා පරිමාන හෝටල් හිමිකාරිත්වය මාත් සමඟ විශ්වාසනීයව හිටගැනීම මේ සම්මානය සමඟ මම ලබල තියෙන්නේ සුවිශාල ජයග්‍රහණයක්.

මේ තුළම ඔබ කොටුවෙන්නද උත්සාහය?

මට තියෙන්නේ සෙමින් ගමනක්. මට තව අත්දැකීම් අවශ්‍යයයි. මට ඕනේ ඉන්ටනැෂනල් මට්මටමකට යන්න. ඇගැයීමකට පත් නොවුණොත් කවුරුවත් මාව විශ්වාස කරන්නේ නෑ. ඒකට අවශ්‍ය දේ ලබා ගන්න තමයි මම ප්‍රෝගෑම් එක හැදුවේ. දැන් මම ඒ උත්සාහය මේ සම්මානයත් සමඟ ජය අරන් තියනවා. අද මම යම් දෙයක් වෙනුවෙන් කතා කළ හැකි තැනක ඉන්නවා. මගේ ඊළඟ උත්සාහය නෙට්ෆ්ලික්ස් එකට චිත්‍රපටයක් හැදීම තමයි මගේ ඊළඟ උත්සාහය. ඒක කටින් කිව්වට බෑ. ඒ තැනට යන හැටි දැනගන්න මට මාස තුනක් ගියා. ඒක මගේ හීනයක්. වාණිජ චිත්‍රපටයක් කිරීම තමයි මගේ හීනය ඒකට අඩිතාලම විධියට තමයි ටෙලිවිෂන් කලාව අධ්‍යයනය කළේ. හැමවෙලාවේම මම උත්සාහ ගන්නේ සැලසුමක් ඇතුව වැඩක් කරන්න. පිටින් බලන කෙනෙක්ට දැනෙන්න පුළුවන් මම දඩබ්බර කෙනෙක් කියලා.

අද ඔබ සම්මානනීය අධ්‍යක්ෂවරියක් කොහොමද අද පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර?

මගේ අම්මා විදුහල්පතිනියක්. ඇය තෙරේසා ජයසුරිය. මගේ තාත්තා කල්‍යාණපි‍්‍රය ජයසුරිය. අයියා ප්‍රභාත් ජයසුරිය. මගේ අම්මා තමයි මගේ ළඟම හිටිය සෙවණැල්ල. තාත්තා මට මුල්‍යම අතින් උපකාර කළා රටවල සංචාර කටයුතු වලදී මම ලෝකේ තියන හොඳම සම්මානය ගෙනාවත් මගේ තාත්තාට වැඩක් නෑ. එයාල මම නිළියක් නොවී අධ්‍යක්ෂවරියක් වීම ගැන අකැමැත්තක් නෑ. මම මේ ආ ගමනේ වැටුණු තැන් බොහොමයි. ඒ හැම තැනම මගේ ශක්තිය වුණේ මගේ අම්මා. මට ඕිනේ නිළියක් වෙන්න නොවෙයි. හොඳ අධ්‍යක්ෂවරියක් වෙන්න. මම හරි ආසයි විවිධ රටවල ගෝත්‍රික ජනතාව පිළිබඳ පර්යේෂණ කරල ඔවුන් පිළිබඳ ප්‍රෝගෑම් කරන්න ඒ වගේ වැඩසටහන් කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ දේට තවම මම ස්ථාවර මදි. ඒඅතින් මම ස්ථාවර වුණොත් එවැනි වැඩසටහන් පවා මම කරනවා. අද වෙනකොට මම කොමර්ෂල් වැඩසටහනක් කරමින් මගේ මුල්‍යමය පැත්ත මා විසින්ම සොයා ගැනීම කරගෙන යනවා.

මේ වන විට මිස් ට්‍රැවලර් සමාජ මාධ්‍යයට මුදාහරින්නත් ඔබේ සුදානමක් තියනවද?

ඔව්. මේ වැඩසහටනේ නිෂ්පාදන අයිතිය මට තියෙන්නෙ. විකාශන අයිතිය තියෙන්නේ ජාතික රූපවාහිනියට. ඒත් ඔවුන්ගෙන් මට අවසර ලැබුණා එය යුටියුබ් හරහා සමාජ මාධ්‍යයට ඇතුලත් කරන්න. දැනට මෙවැනි වැඩසටහන් හැත්තෑපහක් මම කරල තියනවා. ඒ සියල්ල මම ඉදිරියේදී සමාජ මාධ්‍යයට මුදා හරිනවා.

ආව ගමන කරපු වැඩ ගැන ආපසු හැරිල බලනකොට ලබපු අත්දැකීම් සමඟ මොන අයුරින්ද සමාජයට පණිවිඩයක් දෙන්න හිතන්නේ?

මේ වන විට ලෝකයේ රටවල් තිහක සංචාරය කරල තිබුණත් මට ඒ කොහේදිවත් හමුවෙලා නෑ අපේ රට තරම් ස්වභාවික සෞන්දර්යෙන් පිරුණු රටක්. අපි කොච්චර ඒ රටවල් හොඳයි කිව්වත් ඒ රටවල මිනිස්සු එක්ක ඇත්තටම කතා කළොත් ඒ අය ඉන්නේ සතුටින් නොවෙයි. හැම වෙලාවෙම ඒ අය කියන්නේ අපේ රට කොච්චර හොඳ ද කියලා. අපේ රටට යන්න ඕනෙ කියලමයි. මම ඒ අදහස මගේ රට වෙනුවෙන් සංචාර ව්‍යාපාරය වෙනුවෙන් ඒ අය ලවාම කියවගෙන මගේ වැඩසටහනෙන් ඉදිරිපත් කරනවා. මාව මිනිස්සු දැනගත් කාලයක් ආ දවසට මගේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශය තමයි තමන් ආශා කරන දේට අවංක වුණොත් පරක්කු වෙලා හරි ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙනවා. කියන එක. මිනිස්සු හිතනවා නම් හරි ඉක්මනින් ඒ දේ ලබාගත හැකියි කියල. ඒක තාවකාලිකයි. අපි ඉගෙන ගෙන අත්දැකීම් ලබාගෙන වැරදිලා ඒ වැරදි හදාගෙන ගමනක් ගියොත් ආයෙ නැගිටින්න අපිට හයිය තියනවා. ඉක්මන් ගමන් හොයන් නැතුව තරුණ අයට මම කියන්නේ අමාරුවෙන් හරි ඉගෙන ගෙන තමන්ගේ ඉලක්කයට එන්න. එතකොට මම ලබපු අත්දැකීම් අනුව මට කියන්න තියෙන්නේ මේ ගමන අපිට පහසුවෙන් දිනන්න පුළුවන් කියලා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT