“මේ ලෝකේ නවාතැන වේ..
දෙදිනයි මෙහි වාසේ…”
මායා මමතා හැරදා….
හෙට යන්නට සිදුවෙයි…”
කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ අතුරු සිදුරු නැතිව පිරීඉතිරී හුන් සම්මානිත චිත්‍රපට සංගීත අධ්යක්ෂ ..ගුවන් විදුලියේ විශිෂ්ට ගායන ශිල්පී දිවංගත සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ආදරණිය දෙපළගේ ගී මිහිරට පෙම්බැඳී ගීත ශ්‍රාවක පිරිස සමාධියට පත්ව ඇතිසේය…
1955දී පොඩි පුතා චිත්‍රපටයට සිසිර සේනාරත්නයන් එදා ගැයූ ගීත සේම එම දෙපල එතෙක් මෙතෙක් ගැයූ තෝරාගත් ජනප්‍රිය ගීත රැසක් ගායනයෙහි සමත් ශිල්පීන් ශිල්පිනියන්ගේ ගායන සිරිතෙන් සිරිමත් වූ මෙම ප්‍රසංගය ආදරණිය සිසිර සේනාරත්නයන්ගේ දසවන අනුස්මරණය වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කර තිබිණි..
” සිසිර සේනාරත්න නිල්මිණි දෑසේ” උපහාර ගී ප්‍රසංගය නමින් පැවැති මෙම අවස්ථාවට ආරාධනය ලැබ පැමිණි හෙළ සිනමාවේ ප්‍රථම කාන්තා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය ප්‍රවීණ ගායන ශිල්පිනිය සුජාතා අත්තනායක මහත්මිය සමඟින් සිසිර සේනාරත්නයන්ගේ පුත් සමීර සේනාරත්න සහ දියණිය සුභානි සේනාරත්න මහත්මිය ද ඇතුළු සම්භාවනීය බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විණි.
පැරැණි හින්දි ගීත සහ පැරණි සිංහල චිත්‍රපට ගීත රසික සමාජයේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත ගමගේ …එහි ලේකම් චතුර ජනා ශ්‍රී පතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම උපහාර ගී ප්‍රසංගය මෙහෙයවමින් නොමිලේ ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම උපහාර ප්‍රසංගයේ ආරම්භය සනිටුහන් කරමින් සිසිර සේනාරත්නයන්ගේ සේයාරුවට ප්‍රථමයෙන් අපේ සුජාතා අත්තනායක මහත්මිය පහන් දල්වාලනු ලැබූ අතර ඊට සමගාමීව සමීර සහ සුභානි දරු දෙදෙනාද සිය පියාණන්ගේ සේයාරුවට පහන් පිදීමෙන් අනතුරුව මෙම නිල්මිණි දෑසේ උපහාර ගී ප්‍රසංගය ඇරඹිණි.
ගුවන් විදුලි ගායන ශිල්පි චමත් ජයවර්ධන ඇතුළු ශිල්පිනියන් පිරිසක් එක්ව ” සිරිපා වඳීමු මුනිගේ…” ගීතයෙන් ප්‍රසංගය ආරම්භ කෙරුණු අතර ගුවන් විදුලියේ විශ්‍රාමික වාදක මණ්ඩල ප්‍රධානී විද්‍යාවේදී විශාරද ලලිත් ශාන්තප්‍රිය මහතා ප්රමුඛ වාදක මඩුල්ල ලැබදුන් පසුබිම් සංගිතයටද මෙහිදී හිමිවූයේ නොතිත් පැසසුමකි…
මෙහිදී ගීත ශ්‍රාවක පිරිස අමතමින් මෙම වැඩසටහනේ නිර්මාතෘ ප්‍රියන්ත ගමගේ මහතා..මෙසේ කීයේය…
“සිසිර සේනාරත්න මහතා හා අප අතර දිගු සබඳතාවකුත් තිබුණා වගේම අප කලකට පෙර පිහිටුවනු ලැබූ පැරණි හින්දි ගිත සහ පැරණි සිංහල චිත්‍රපට ගීත රසික අප සමාජයේ එතුමා අනුශාසක හැටියට වගේම අපේ සුජාතා අත්තනායක මහත්මියත් ජ්‍යේෂ්ඨ අනුශාසකත්වයේ හිඳීමින් අපට ගුරුහරුකම් ලබා දෙමින් විශාල කාර්යභාරයක යෙදී සිටියා.. ඒ වගේම මෙයට මුල් අවධියේදීම රටපුරා සාමාජික සාමාජිකාවන් පන්දහසක පමණ පිරිසක් ද අපට සිටියා…එය කෘතවේදිව සිහිපත් කල යුතුයි.. අපේ රටේ කලාව වෙනුවෙන් මෙහෙවර කළ කලාකරුවන් සිහිපත් කරමින් එම අයට උපහාර දැක්වීම පමණක් නොව අපේ මේ වැඩසටහන්වල අරුත වන්නේ මේ ගිත මතු පරපුරටත් මෙහි වටිනාකම් කියාදෙමින් මෙම ගීත තවදුරටත් ප්‍රචලිත කරවීමයි..සතපහක ලාභයක් බලාපොරොත්තු නොවී අපේ සහෝදර පිරිසගේද දායකත්වයෙන් අප මෙය සිදුකරන්නේ..මේ වනවිට අප රසික සමාජය ජෝති…ආර්.මුත්තුස්වාමි ඇතුළු දිවංගත කලාකරුවන් රැසක් වෙනුවෙන් අප මෙලෙසින් වාර්ෂිකව උපහාර උත්සව පවත්වනු ලබනවා..”
භාරතයේ මහා සංගීතඥයකු වන රවි ශංකර් ශර්මා මහතා මෙරටට කැඳවමින් සුගතදාස ගෘහස්ථ භූමියේදී එතුමාට උත්සවාකාරයෙන් උපහාර පිදූ බවද පැවසූ ප්‍රියන්ත ගමගේ මහතා භාරතයේ නෞෂාඩ්..මොහොමඩ් රාෆි..ආදී මහා සංගීතඥයන් කිහිපදෙනකු නමින්ද උපහාර පැවැත්වූ බවත් ගැයුමට වේදිකාවක් නොමැතිවූ අපේ මානව සම්පත් වෙනුවෙන් කටහඬ පරීක්ෂණයකටද බඳුන් කෙරෙමින් සිදුකරනු ලබන “සප්ත රංග පැරණි ගී පැදුරද සාර්ථක ව ඉදිරියට ගෙන යන බවත් මේ සියලු කටයුතු තමන්ගේ ඇවෑමෙන් පසුව අපට කවදත් සවියක් වන අප ලේකම් චතුර ජනා ශ්‍රී පතිරණ මහතා මේ සද්කාර්යයන් ඉදිරියට ගෙනයනු ඇතැයි තමන්ගේ එකම විශ්වාසය බවත් ඒ මහතා කීවේය..
අපේ සුජාතා අත්තනායක මහත්මිය තම ස්වාමියා සමඟින් මෙම ප්රසංගයේදී ලද විරාමයකදී ශ්රවණාගාරයෙන් පිටතට පැමිණියාය.. සභා ගැබේ රැඳී හුන් රසික සමූහයා වහා පැමිණ හිස නමමින් ඇයට දෙඅත් එකතුකොට ගෞරවය පුදන අයුරුද අපට දැකගන්නට ලැබුණු අතර එම අවස්ථාවේදී ඇය මදෙස බලා සිනාසී කීයේ. ..
” මේ තරම් සත්කාර ගී මිහිරටයි…ඒ වගේම හිතේ ඇති ගෞරවයටයි” කියාය..
එම රසික සමාජයේ ලේකම් චතුර ජනා ශ්‍රී පතිරණ මහතා අදහස් දක්වමින් මෙසේද කීවේය.
“අපේ ගුරුදේවයාණන් ප්‍රියන්ත ගමගේ මහත්තයා අපට මහා සම්පතක්..එතුමා නොවන්නට මේ අපේ යටගිය සංගීත කලාවේ විශිෂ්ටයන් වගේම විශිෂ්ට නිර්මාණවල වටිනාකම් අපේ රසිකයනට ලැබෙන්නේ යැයි සිතන්නටවත් බැහැ..තමන්ගේ අසනීප තත්ත්වයත් දරාගෙන කිසිම ආර්ථික වාසියකින් තොරවම එදාමෙදාතුර මේ වෙනුවෙන් ප්‍රියන්ත මහතා ඉටුකළ සේවාවන් රැසක්ම තියෙනවා…
අපේ සිංහල චිත්‍රපට සංගීතයට ඇපකැපවූ දකුණු ඉන්දීය සංගීතඥයන් වන එස්.එස් වේදා..එස්. දක්ෂිණමූර්ති..ටී. ආර් පාපා..ආදී දකුණු ඉන්දියානු සංගීතඥයන් අනුස්මරණ කැරෙමින් නොමිලේ පවත්වන උපහාර ප්‍රසංගය මාර්තු මස 09 දා මහජන පුස්තකාලයේදී පැවැත්වෙනවා..එම වැඩ සටහනද අපේ ප්‍රියන්ත ගමගෙ මහතාගේ සංකල්පනාවක්මයි..එයටද මෙලෙසින් සහභාගි වන්නැයි කියා ඔබ හැමෝටම ආරාධනා කරනවා..” යැයිද කීවේය..
සිසිර සේනාරත්න උපහාර ගී ප්රසංගයේදී පුත් සමීර සේනාරත්නයන්ද තම පියාණන් ගැයූ ගීතයක් ගායනා කළේය..
නොමිලේ පවත්වන ලද මෙම උපහාර ගී ප්‍රසංගය එදා සිසිර ඉන්ද්‍රානි ගැයූ ගැයුම් සිරිතෙන් ද වාද්‍ය වෘන්දයේ ලාලිත්යයෙන්ද ශෝභමාන වූ අතර මෙම සිසිර සේනාරත්න උපහාර ගී ප්‍රසංගය සපැමිණි ශ්‍රාවක පිරිසගේ නොඅඩු පැසසුමටද බඳුන් විණි.
අමල් යශෝමන් ජයසිංහ