Home » සිනමාවේ ආකර්ෂණය නොඅඩුව ලැබුණු අනර්කලී ආකර්ෂා

සිනමාවේ ආකර්ෂණය නොඅඩුව ලැබුණු අනර්කලී ආකර්ෂා

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

අනර්කලී ආකර්ෂා ජයතිලක සිනමා රංගන ශිල්පිනියක ලෙස දෙදාහ දශකයේ මෙරට ජනප්‍රිය සිනමාවේ අවධානය දිනාගත් කලා ශිල්පිනියකි. කලා පවුලකින් පැවැත එන නිළියක වශයෙන් ද අපට ඈ හඳුනාගත හැකිය. ඒ ෆිල්ම් ලොකේෂන් සර්විසස් ආයතනයට සම්බන්ධව කටයුතු කළ ජයන්ත ජයතිලක හා හොලිවුඩ් චිත්‍රපටවල ඇඳුම් නිර්මාණය කළ ඉන්ද්‍රාණි ජයතිලක ගේ දියණිය වශයෙනි. ‘ඉටි පහන්’ ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් ඔස්සේ රංගන ක්ෂේත්‍රය ට පිවිසි ඇය, සුනිල් සෝම හා සුදේශ් වසන්ත නිර්මාණය කළ ‘ පිස්සු ට්‍රිබල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට එක්වූවාය. එසේම ‘වන්ෂොට්’ හා ‘ධනරින’ චිත්‍රපටවලින් රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂකයන් අතර අවධානය දිනා ගනු ලැබුවාය.

රංගන ශිල්පිනියක, ටෙලි නිළියක මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වශයෙන් ද කටයුතු කළ ඇය කලක් මෙරට දේශපාලනයටද සම්බන්ධ වී කටයුතු කළාය. ඒ දකුණු පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරියක වශයෙනි. ඒ අනුව කලක් කලාවේ මෙන්ම දේශපාලනයේද කාර්‍යබහුල වූ ඇය ආකර්ෂණීය බවත් ජනප්‍රියත්වයත් දෙකම නොඅඩුව ලැබූ රංගන ශිල්පිනියක වූවාය.

ඈ රඟ පෑ චිත්‍රපට අතර සිකුරු හතේ, කිං හන්තර්, මගෝ ඩිගෝ ඩයි, එතුමයි මෙතුමයි අවධානය දිනා ගනු ලැබූ චිත්‍රපට විය.

2005 වර්ෂයේ පැවැත්වූ 30 වැනි සරසවිය සම්මාන උලෙළේ 2004 වසරේ ජනප්‍රිය නිළිය සම්මානයෙන් පිදුම් ලබා ඇති අනර්කලී ආකර්ෂා රංගන ශිල්පිනිය, ඈ සම්බන්ධ වූ ‘අංජලිකා’ චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මාන හිමිකරගෙන ඇත.

ඇ රඟපෑ ටෙලි නාට්‍ය අතර ‘ඉටි පහන්’ ‘සිහිනයක් පාට පාටින්’ ‘රන්තාලිය වලව්ව’ වැනි ටෙලි නාට්‍ය වැඩි කතාබහට ලක් වේ.

2004 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දැරූ ඇය කලක් මෙරට කලා ක්ෂේත්‍රයේ කැපී පෙනුණු නිරූපණ ශිල්පිනියක ද වූවාය.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වශයෙන් ද කලක් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් ඈ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ දීර්ඝ කාලයක් විකාශය වූ ‘ අනර්කලී ඉන් ලයිව්’ රූපවාහිනී වැඩසටහන ඔස්සේ රසිකයන් හමුවේ පෙනී සිටියාය.

පිස්සු ට්‍රිබල්, වන් ෂොට්, හිරිපොද වැස්ස, අංජලිකා, නිලම්බරේ, එක මලක පෙති, සොඳුරු වසන්තේ, සිකුරු හතේ, මිස්ටර් ධන රින, තාරකා මල්, සර් ලාස්ට් චාන්ස්, මගෝ ඩිගෝ ඩයි, කිං හන්තර්, එතුමයි මෙතුමයි, ඉට්ස් අ මැටර් ඔෆ් ලව්, සංජනා, ජූලි හතයි, සිකුරු හතේ ආදි චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වූවාය.

 

සේයාරුව ටෙනිසන් එදිරිසිංහ

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT