මුස්ලිම් ජාතිකයකු ලෙස 1959දී මහනුවර, ගල්හින්නේදී උපත ලද ශෂී විජේන්ද්‍රගේ සම්පූර්ණ නම වනුයේ “මොහමඩ් අවුෆ් හනීෆා” ය. මෙරට සිනමාවේ “ශෂී විජේන්ද්‍ර” නමින් හැඳීන්වූ ඔහු අසූව, අනූව දශකයේ වාණිජ චිත්‍රපට ධාරාවේ ඉහළම ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටි රංගන ශිල්පියෙකි. චිත්‍රපට නැරැඹීමේ ආසාවෙන් පසුවූ ඔහු 1978දී “සත ජාතක” වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතය ද රඟමින් වේදිකාවට එක්විය. කලක් මැදපෙරදිග සිටි ඔහු මෙරටට පැමිණීමෙන් අනතුරුව සිනමා ලොවට් ප්‍රවිෂ්ට විය. ලාංකේය වාණිජ සිනමාවේ ජනප්‍රිය තරුවක් වීමේ භාග්‍යය හිමිකර ගත් ශෂී රඟපෑ පළමු චිත්‍රපටය වූ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටය අතිශයින්ම ජනප්‍රිය විය. මෙරට දින 128ක් (මාස 04කට අධික කලක්) අඛණ්ඩව තිරගත වෙමින් බොක්ස් ඔෆීස් ආදායම් ඉපැයීමට ද එම සිනමා පටය සමත්විය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා රංගනවේදිනී අනෝජා වීරසිංහ සමඟ ශෂී විජේන්ද්‍රයන් ද සුවිශේෂී දායකත්වයක් එක්කරනු ලැබිණි. නළු භූමිකාවට අමතරව චිත්‍රපට නිෂ්පාදන අර්ථපතීත්වයට ද ශෂී විජේන්ද්‍ර දායක වූ අතර, “ඔබට දිවුරා කියන්නම් ” ඔහුගේ පළමු සිනමා රංගනය සේම චිත්‍රපට නිෂ්පාදනය ද විය. 1986 වසරේ පැවැති 14 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේදී ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානය “ඔබට දිවුරා කියන්නම් ” චිත්‍රපටය වෙනුවෙන් අනෝජා සහ ශෂී විජේන්ද්‍ර ලබාගත්හ. (අනෝජා වීරසිංහ සම නිෂ්පාදිකාව විය.) එම චිත්‍රපටයේ ඔහු “ශෂී” නමින්ම ගායකයකුගේ චරිතයකට පණපෙවීය. ඔහුට “විජේන්ද්‍ර” යන නම තබන ලද්දේ 1979 සිට 1989 දක්වා සරසවිය කර්තෘ ධුරය හෙබවූ ග්‍රැන්විල් සිල්වා මහතාය. ශෂී රංගනයෙන් දායකවූ බොහෝ චිත්‍රපට වාණිජමය අතින් ඉතා සාර්ථක ආදායම් ඉපැයූ බව නොරහසකි. 1992 වසරේ පැවැති 20 වැනි සරසවිය සිනමා සම්මාන රාත්‍රියේදී හෙතෙම 1991 වර්ෂයේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය අත්කරගනු ලැබුවේ ඔහුගේ ජනප්‍රියත්වය ඉහළම තලයේ පැවැති සමයේදීය. ශෂී රඟපෑ “ඔබට දිවුරා කියන්නම්, සළඹක් හඬයි,
චෙයරියෝ ඩොක්ටර්, රජ දරුවෝ” ආදී චිත්‍රපට රැසක්ම ජනප්‍රියත්වය අතින් ඉහළම ආදායම් වාර්තා පිහිටුවීය. සරසවිය සිනමා සම්මාන උලෙළයන්ගේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ඉහළම ප්‍රේක්ෂක මනාප (පාඨක ඡන්ද) ලබාගැනීමට ඉහත කී සිනමාපටවලට හැකිවිය. ශෂීගේ සිනමා රංගනයේ
සුවිශේෂී සංධිස්ථාන වශයෙන් “උතුර දකුණ” (දෙමළ තරුණයා), “සළඹක් හඬයි” (රවී), ” බඹසර බිසව්” (ප්‍රභාෂ්), නොහඬන් කුමරියේ” (රුවන්) , “අඳුරු සෙවණැලි” (නලින්), “තහනම් ගහ”(විජේවර්ධන), ” වසන්තයේ කුණාටුවක්”(ද්විත්ව චරිත) ආදිය නම්කළ හැකියි. රංගනයට අමතරව නිෂ්පාදන අර්ථපතියකු වශයෙන් ද සිනමාවට ඔහු දායක වෙමින් “ඔබට දිවුරා කියන්නම්, ශක්තිය ඔබයි අම්මේ, විජේ සහ අජේ” චිත්‍රපට සඳහා නිෂ්පාදන අර්ථපතීත්වයෙන් දායක විය. සරසවිය සිනමා සම්මානවලට අමතරව අනෙකුත් සිනමා සම්මාන උලෙළයන්හිද ඔහු සම්මානයට පාත්‍රවී තිබේ.
සේයාරුව දයාන් විතාරණ
මනෝජ් රුක්මල් කුමාරසිංහ