අර්ථ සම්පන්න වචනවලට කෙනෙකුගේ සිත සුවපත් කරන්නට හැකිය. නිර්මාණාත්මක පද ගළපා සංගීතයෙන් රටක් වසඟ කරන්නට ගී පද රචනාවකින් අපූර්වත්වය කරා රසිකයා, ශ්රාවකයා රැගෙන යන ගේ පද රචක රනිල් තරංග අපූරු කලාකරුවා සමඟ කරන ලද කෙටි පිළිසඳරකි.
ගායනාවක සංගීතය මුසුකරන වචනවලට පණ දෙන්න තරම් හැකියාව ඇති ඔබ කොහොමද ගීත රචනාවට අවතීර්ණ වුණේ ?
මම හිතන්නෙ මම පාසල් අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලම විශේෂයෙන්ම උසස් පෙළ කරන කාලයෙ ඉඳලම කවි ලියන එකට හුරු වෙලා උන්න. විශේෂයෙන්ම මගෙ මේ ලේඛන කලාවට හොඳ මඟ පෙන්වීමක් මගෙ උසස් පෙළ සිංහල ගුරුතුමා වූ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙන් ලැබුණ ඒ වගේම රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට තේරිලා එහි ගුරුවරයෙකු ලෙස පුහුණුවීම ලබපු වසර තුනක වගේ කාලය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ලැබුණ පන්නරයත් හේතුවක් උනා. විශේෂයෙන්ම මම මගෙ මුල් පත්වීම ලද එප්පාවල ශශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සේවය කරන කාලෙ මගෙ නිවසින් පිට පදිංචිය බොහෝ දුර හිටිය කාලෙ ලේඛනයට ටිකක් වැඩිපුර යොමු වුණා. එහිදී මට රජරට සේවයේ හිටපු පාලක දයානන්ද ලියනගම සර්ගෙ මඟ පෙන්වීම නිසා රංජිත් රූපසිංහ නම් ප්‍රවීණ ගේය පද රචකයා මෙන්ම ප්‍රවීණ නිවේදක මහතාගේ අපූරු ගුරු ඇසුර ලබන්න වාසනාව ලැබුණ එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මම ගීත රචනා කලාවට මුලින්ම යොමු වන්නෙ 2017 වර්ෂයේ පමණ
මේ වනවිට ඔබේ ජනප්‍රිය ම ගීය ගැන මොකද හිතෙන්නේ?
මේ වන විට මගෙ ජනප්‍රියම ගීතය ලෙස තියෙන්නෙ චන්දන ලියනාරච්චි අයිය ගායනා කරන සිත් දැහැනේ ගීතය ඒක තමයි මගෙ මුල්ම ගේය පද රචනාවත් ඒක ලියද්දිත් මට බොහෝ ගුරු හරුකම් ප්රවිණ ගේය පද රචක රංජිත් රූපසිංහ සර්ගෙන් ලැබුන. මොකද ඒක මගෙ පළමු ගේය පද රචනය නිසා. මේ ගීතය සඳහා සංගීතය හෙවත් තනු නිර්මාණය කරල දුන්නෙ හරි අපූරු සංගීතවේදියෙක් ඔහු නමින් විශාරද ලසන්ත රත්නායකයන් මම හිතන්නෙ මගෙ පද මාලාවට ඉතා වටිනා සාධාරණයක් ඔහු කළා. ඒ වගේම මේ ගීතයේ ජිව ගුණය චන්දන ලියනාරච්චි අයියගෙ අපූරු හඬ නිසාම අලංකාර උණා. ඇත්තටම ඒ ගැන මට තියෙන්නෙ පුදුමාකාර නිහතමානී සතුටක්…. මම හිතන්නෙ මගෙ අතින් පළමුව උනත් මේ පදමාලාව හරි අපූරුවට ලියවුණා කියල. ප්‍රේමය නොලැබුණත් ඒ සඳහා ආශිර්වාද කරන්න පුළුවන් ප්‍රේමවන්තයෙකුගේ අපූරු කියවීමක් තමයි මේ පදමාලාව ඇතුළෙ තියෙන්නෙ. මේකෙ වටිනාම කතාව මම මේ ගීතය ලියන්නෙ රෝහල් ගතවෙලා නේවාසිකව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් උන්න දින කීපයක එක දිනක ඇත්තටම මට ලබාගත්ත සායන පොතේ තමයි මම මුලින්ම මේ ගීතයේ මුල් පද පේළි ටික ලියන්නෙ. මම හිතුවෙත් නෑ එදා මේක මේතරම් ලස්සන ගීතයකින් අවසාන වෙයි කියල ඒ පිළිබඳව නිහතමානී සතුටක් අදටත් හදවතේ තියෙනව.
ඔබේ ගී පද බොහෝ ගායක ගායිකාවන් අතර ආදරයෙන් වැලදගන්න හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
මම හිතනව මගෙ භාෂා විලාසයක් එක ප්‍රධාන හේතුවක් වෙන්න ඇති කියල.ගීතයක් ලියනව කියන එක ඒ තරම් පහසු කාරනාවක් නෙමේ. ඒ සඳහා මනා හික්මීමක් හොඳ කියවීමක් අත්‍යවශ්‍යයි. මම හිතනව මම ඒ කාරණාව සඳහා තාමත් මහන්සි වෙනව කියල.ගීතයකදි හරි පරිස්සමෙන් වචන භාවිතා කරන්න ඕනෙ ඒ සදහා ඒඑ පිළිබඳව හොඳ කියවීමක් අවශ්‍යමයි. ඒක නිරන්තරයෙන්ම විය යුතු දෙයක්.
ඔබේ ගී පද රචනාවලින් සංගීතය රසවත් කරන ගායක ගායිකාවන් ගැන මොනවද කියන්න තියෙන්නේ ?
ඇත්තටම මගෙ ගේය පද රචනා අපේ රටේ ජනප්‍රිය ගායකයින් කීප දෙනෙක්ම කියනව. ඒම මට සතුටක් මගෙ පළමු ගීතය සිත් දැහැනේ ඒ ගීතය ගායනා කරන්නෙ චන්දන ලියනාරච්චි අයිය චන්දන අයිය වගේ ප්‍රවීණ ජනප්‍රිය කෙනෙක් මගෙ පද මාලාවක් ගායනා කරන එක ගැන හිතේ සතුටක් තියෙනව. ඒ වගේම මගේ දෙවන ගීතය ශශ්‍රී මහා බෝධිය ගැන ලියවුණ සැ රජු අබියස සුදුලෙන් බෝ රද… ඒක ගායනා කරන්නෙ තුරුණු ශක්ති වේදිකාවෙ මුල් අය අතරට පැමිණි කාංචනා ප්‍රියදර්ශනී හේරත් අක්ක.එයා සංගීත ගුරුවරියක් සේම අපි දෙන්න එකම පාසලේ වසර කීපයක් සේවය කළා. ඒකත් මට ගෞරවයක් සහ සතුටක් මොකද ඇයත් ප්රවිණ ගායන ශිල්පිනියක් නිසා. මගෙ තුන්වන ගීතය මව් ගුණ ගීතයක් පැල්පතේ මන්දිරේ නුඹේ සීමාවක් නැතී කියන ගීතය මේ ගීතය ගායනා කරන්නෙ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක අයිය. ක්‍රිෂාන්ත එරන්දක අයිය වගේ ප්‍රවීණ කෙනෙක් මගේ මේ ගීතය ගායනා කිරීම ගැන නිහතමානී ආඩම්බරයක් සතුටක් තියෙනව.ඒ වගේම මගේ සිව්වන ගීතය ගායනා කරන්නෙ ජාතික රූපවාහිනියෙන් රටට ශශ්‍රී ලන්කන් ලයිෆ් වැඩසටහනෙක් ලංකාවෙන්ම පළවෙනියට තේරුණ තුෂර ධනංජය. තුෂාරත් මම උගන්නපු පාසලේ ඒකාලෙ පාසල් ශිෂ්‍යයෙක්. අද ඔහු රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහු ගායනා කරන්නෙ මගෙ සඳ සිත්තමක් තරම් මා සිත් ආකාසේ කියන ගීතය…තුෂර ධනංජය මගෙ ගීතයක් ගායනා කරන එක ගැන අපූරු සංවේදී සතුටක් මට තියෙනව.
ඒ වගේම මගෙ අනෙක් ගීතය වන කඳුළු සිතුවම් මවා ගීතය ගායනා කරන්නෙ වෛද්‍ය අරුණ ඉන්දික ඔහුගේ ඒ අපූරු ගායනයත් ගීතයට හරි අපුරු සාධාරණයක් එකතු කරල තියෙනව. මගෙ අනෙක් ගීතය වන ඇසිපිය හෙළනා එක් සීමාවක ගීතය ගායනා කරන්නෙ ප්‍රවීණ ගායක ශිල්පී දයාන් විතාරණ අයිය.දයාන් අයිය වගේ ප්‍රවීණයෙක් මගෙ පද මාලාවක් ගායනා කිරීම ගැන තියෙන්නෙත් අපූරු නිහතමානී සතුටක්.
නව පරපුර අර්ථවත් ගීය කෙරෙහි රසවින්දනය කොයි වගේද?
ඇත්තටම නව පරපුරේ අර්තවත් ගීත රසවින්දනයක් නැතුවාම නෙමේ තියෙනව. ඒ විතරක් නෙමේ අපූරු අර්ථවත් ගේය පද රචනා ලියවෙනව නමුත් ප්රශ්නය තියෙන්නෙ ඒ බොහෝ නිර්මාණවලට ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ලැබෙන අවස්ථා හරි සීමිතයි. ඒ නිසාම ඒව ජනතාව අතරට යන ප්‍රමාණය අඩුයි. නමුත් දැන් සමාජ මාධ්‍ය තියෙන නිසා ඒ හේතුවෙන් යම් සමාජ ගත වීමක් සිද්ධ වෙනව නමුත් ඒ සඳහා ලැබෙන ඉඩ ප්‍රස්තාව අඩුයි. නව පරපුර දක්ෂයි ඔවුන් අදක්ෂ නෑ හැබැයි ඔවුන් තුළ යම් කියවීමේ අඩුවක් තියෙනව ඒ නිසාම අර්ථවත් ගීත රසවින්දනය සඳහා නව පරපුර යොමුවීමේ අඩු සම්භාවිතාවයක් දක්නට ලැබෙනව.
ඉදිරියේදී ඔබේ කලා කටයුතු මොනවගේද සැලසුම් කර තිබෙන්නේ ?
මගෙ මේවන කොටත් ලියවුණ ගීත කීපයක් තියෙනව ඒ ගීත වල වැඩකටයුතු අවසන් කරන එක එක සැලසුමක් ඒ වගේම වසර කීපයක් තිස්සෙ මගෙ අතින් ලියවුණ කවි රාශියක් තියෙනව. ඒ කවිටික එකතු කරල තව කවිටිකකුත් එක්ක කවි පොතක් කිරන්න මගෙ සැලසුමක් තියෙනව මම හිතන්නෙ ඒකට තව ටික කාලයක් අවශ්‍ය වේවි. ඒ කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කරගෙන යන අතරෙ ඉගෙනීම් කටයුතුත් තවදුරටත් කර්ගෙන යනව කැලණිය පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා
වත්මන් නව පරපුරට ගී පද රචකයෙක්, කලාකරුවෙකු හා ගුරුවරයෙකු හැටියට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද?
වතමන් පරපුරට මට ගුරුවරයෙකු විදියට ලබා දෙන්න තියෙන වටිනාම පණිවිඩය තමයි ඉවසීම දරුවො අතර ඉවසීම කියන සංකල්පය බොහොම අඩුමට්ටමක තියෙන්නෙ. ඒකට අපි සමාජයක් වශයෙන් හැමෝම වග කියන්න ඕනෙ.ඒ වගේම කලාකරුවෙක් විදියට මට දෙන්න තියෙන පණිවිඩය තමයි යෙදෙන ඕනෑම ආකාරයක කලාකටයුත්තක ඒ වෙනුවෙන් කරන කැපකිරීම, අභ්‍යාසයේ යෙදීම. මම නිරත වෙන කලා කටයුතු වෙන ගේය පද රචනා කලාවෙදි කියවීම අත්‍යවශ්‍ය සාධකයක් ඒ වෙනුවෙන් දවසෙ යම් කාලයක් වෙන්කර ගත යුතුමයි.ඒ වගේම සාමූහිකත්වය එකමුතුකම අපි ජාතියක් විදියට වර්ධනය කර ගත යුතුයි කියලයි මගේ අදහස එහෙම උණොත් අපිට ශශ්‍රී ලාංකිකයන් විදියට බොහෝ දුර ගමනක් යන්න පුළුවන්.
ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන
