” පාන් ගෙඩියක් ගේන්ඩ කියල පොඩි එකාව කඩේට ඇරියාම ඒකාවත් රවට්ටගෙන සල්ලි අරන් සූදූවට පුරුදු කරනවා..
අතපය හොඳට තියාගෙන කුලිමලියක් කරල නම්බුකාරව ජිවත්වන්න පුළුවන් කම තියෙද්දි ලැජ්ජා නැති වැඩ කරනව මදිවට පාන් ගෙඩියක් ගේන්න යවපු පොඩි එකාගෙ සල්ලිත් අරන් ඌවත් සූදුවට පුරුදු කරනවා…”
පොඩ්ඩේ (ගාමිණී ෆොන්සේකා) ලින්ටන් (සේනාධීර රූපසිංහ) විජේ (විජය කුමාරතුංග) (ජගිරියා) ඇන්තනී සී. පෙරේරා නන්නත්තාරේ ඇවිද යන පිරිස අතරට කඩා වැදුණු කටකාර..කටසැර සුමනා එසේ බැණ වදින්නේ ලින්ටන්ටය..පාන් ගෙඩියක් රැගෙන එන්නට කඩයට යැවූ තම පොඩි මල්ලි ද සූදුවට එකතු කරගැනීම සුමනාගේ බැණඅඬගැසීමට හේතුවය..
” මෙහෙමවත් අවවාදයක් දීල හරිපාර පෙන්වන්න කෙනෙක් මට නැති හින්දා මේ වැරදි මගෙන් සිද්ද වුණේ..මට සමාවන්න සුමනා..” යි බිමබලාගත්වනම කියූ ලින්ටන් ගැන පැහැදුණු සුමනා ලින්ටන්ට පෙම් බඳීන්නේ එතැන් සිටය..
අතිශය ජනාදරයට පාත්‍ර වූ හතර දෙනාම සූරයෝ සිනමා සිත්තමේ ඒ කටකාර සුමනා දැන් මා සමීපයේ සුවපහසු අසුනකට බරදී එදාවාගේම මනබඳීනා සුලු සිනාවෙනි..
එදා හෙළ සිනමා රිදී තිරය සිය රූ සෝභාවෙන් සේම එකකට එකක් වෙනස් රංගන ප්‍රතිභාවෙන් සිනමා රසිකයාගේ සිත්සතන් පැහැරගන්නට සමත් වූ ඕ තොමෝ අග්‍රා සජීවනී අල්විස්ය..
කාලෙකට පස්සෙ හරි මෙහෙම මාව මතක්වීම ගැන සරසවිය ට ප්‍රථමයෙන් ස්තූතිවන්ත වූ ඈ අපි කතා කරමු යැයි කියන්නීය..
ඇයගේ උප්පැන්නයේ නාමය ඇනස් සංජීවනී අග්‍රා අල්විස් ය…කඩුවෙල ..දැඩිගමුවේ සුදු මහත්වරුන් යටතේ ආයතන කිහිපයකම රැකියාවෙහි නිරත ව සිටි කංකානම්ගේ ටෙරන්ස් බෙනඩික්ට් අල්විස් සහ බමුණුආරච්චිගේ ඇලිස් මෝනා මවුපිය දෙපලට හුන් දූ දරුවන් හයදෙනාගෙන් තෙවැන්නිය වූයේ ඇයයි..
“එදා නිළියක් වුණේ කොහොමද කියන එක ගැන සිතන කොට අද පුදුමයකුත් හිතට දැනෙනවා..මොකද… ඒ කාලේ ගැහැනු දරුවකුට ගෙදරින් එක එක තහංචි දාලනෙ තිබුණෙ… අද වගේ නෙමෙයිනෙ.. ගැහැනු ළමයකුට නිදහස එදා එහෙමට ලැබුණෙ නැහැනෙ..ඔය රඟපාන්න යනවා කියන දේට නම් තාත්තා හිටියෙ බොහොම සැරේට…තාත්තා කැමැතිම නැහැ…ඉතින් ..අම්මාට කෙඳීරි ගාලා තාත්තාගෙ හිත හදලා ඔන්න ඔහොම තමයි අමාරුවෙන් පාර හදාගත්තෙ..මවුපියන් සිනමාවට කැමැතිම නැහැ..”
” අපේ ගම් පළාත්වල සිංහල අවුරුදු කාලෙට අවුරුදු කුමාරි තරඟ තිබුණාණෙ…අම්මා මාවත් හැඩට අන්දවලා ඒ තරඟවලට එක්ක යනවා..ඉතින් මාව ඉහළින්ම තේරෙනවා..තෑගිබෝග හෙමත් ලැබුණා…”
රිදී තිරයෙන් දුටු සිනහව ඈ වෙතින් පළවෙයි..
අපේ කතා නායිකාව අග්‍රා සජීවනී අල්විස් මුවපුරා හිනැහෙන්නීය…ඇයගේ සිනමා රංගනයට එදා ආශක්තව බලා සිටියදී දුටු ඇයගේ අහංකාර බැල්මද කතා සිරිතද මට මතක් වෙයි…
ඇය බොහෝ සන්සුන්ය…
කඩුවෙල ..රනාල ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඕ පාසලේ විවිධ ප්‍රසංග…වේදිකා නාට්‍ය සාහිත්‍ය උත්සව ආදියේදී කැපී පෙනුණාය..
“පාසල් කාලය අදත් හිතට මිහිරක්…රංගනය කියන දෙයක් මට ලබාදුන්නෙ…එයට මාව අගය කරමින් තල්ලු කළේ අපේ පාසලේ සාහිත්‍ය විෂය භාර ව සිටි පේළිආරච්චි ගුරු මහත්මියයි..එතුමිය අපිව නාට්‍ය බලන්න පවා රුගෙන ගියා…මටත් ඒකෙන් යම් උත්තේජනයක් ලැබුණා කීවොත් හරි…”
ශ්‍රී දේවමිත්ත විද්‍යාලයේ වේදිකා නාට්‍යවල රඟපෑ අග්‍රා පාසලේ ඉහළම ජනප්‍රියත්වයකට හිමිකම් කීවාය..
” පාසලේ නාට්‍ය ..කෙටි නාට්‍ය ලියුවෙත් මමයි..අධ්‍යක්ෂණයත් මමයි…නළු නිළියන් තේරුවෙත් මමයි.. කොටින්ම පාසලේ වේදිකා නාට්‍ය කටයුත්තකදී හැම කටයුත්තක්ම කෙරුණේ මගෙන්මයි…එයට හැමෝගෙන්ම මට සහාය ලැබුණා …ඇත්තෙන්ම ඒ කාලය හරිම රසවත්..”
පාසල් වේදිකාවෙන් අනතුරුව ඇය පිවිසියේ ප්‍රසිද්ධ වේදිකාවටය…” හෙටත් හිරු පායයි..” වේදිකා නාට්‍ය ඇතුළු තවත් නාට්‍ය රැසකම ඕ විවිධ චරිත නිරූපණයෙන් නමක් දිනා ගන්නට සමත් වූවාය..
” මේ කාලෙදි මටත් නිළි පිස්සුව හොඳටම තිබුණා ..ඉතින් …කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා මහත්තයාගෙ ලොකුම හිනාව චිත්‍රපටයට ප්‍රධාන චරිතයට අලුතින් නිළියක් සොයනවා කියලා දැන්වීමක් දාලා තිබුණා ..ඒක දැකපු ගමන් මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා…එතැන කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්මයා සමඟ ලෙනින් මොරායස් මහත්මයාත් හිටියා..
හඬ බැලුවා..කොටසක් දීලා කරල පෙන්වන්න කීවා…සිනමා කැමරාවෙන් බැලුවා…කොහොම කොහොම හරි මම ලකුණුත් ගත්තා…
ඕ සිනාසෙන්නීය..
අපේ සිනමාවේ නම්දැරූ නීල් රූපසිංහ පුවත්පතක දැන්වීමක් පළකර තිබුණේ මේ කියනා කාලයේදීමය…
ඒ ඔහුගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට නිළියක් අවශ්‍ය බව කියමිනි.
“මටත් දැන් නිළි පිස්සුවනෙ…මේ දැන්වීම මම දැකල ඊට සහභාගි වෙන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්න කොට අපේ ගමේ අයියා කෙනෙක් මට මේ වැඩේට සහය දුන්නා…”
” හතර දෙනාම සූරයෝ” චිත්‍රපටය මට වාසනාව ගෙනාවා කිවොත් ගොඩාක් හරි…ඒක හිට් චිත්‍රපටයක්…ගාමිණී ..ශ්‍රියානි …විජය..සේනාධීර …ඇන්තනී වගේ දැවැන්ත චරිත එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ.. ඒ කාලේ මාලනී නැඟී එන නිළියක්..”
ඇයට එම චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ එවක ප්‍රකට රංගවේදී සේනාධීර රූපසිංහයන් සමඟිනි.. ඔහු එහි මදාවි ගතිලක්ෂණ පෙන්නුම් කළ ඉබාගාතේ ඇවිදයන තරුණ පිරිසේ තවත් එක් අයෙකි…ඔහුගේ පෙම්වතියගේ චරිතයට හිමිකම් කි අග්‍රා එහි රඟපෑවේ මුඩුක්කුවක වෙසෙන කටසැර කෙල්ල සුමනා ලෙසිනි.
” මට සේනාධීර රූපසිංහ අයියාව එතකොට එහෙමට මතක තිබුණෙත් නැහැ..හොඳ උස මහත පෙනුමැති කෙනෙක්. ඒ වගේම එතුමා මට මගෙ පළමු චිත්‍රපටයෙදි ලබාදුන් සහය මෙච්චරයි කියල නිම කරන්න බැහැ…ඒ මනුස්සකම මට තවම මතකයි..හරියට සහෝදරයෙක් වගේ..ඒ නිසා මට ඔහු සමග රඟපාන්න චකිතයක් ආවෙත් නැහැ…කොහොමත් එදා නළු නිළියන් හරි එකමුතුයි. අද ඊට වඩා තත්ත්වය වෙනස්…”
එතැන් සිට ජනප්‍රිය නිළියක ලෙසින් ඉදිරියට ම පිය නැඟූ අග්‍රා තවත් සිනමා නිර්මාණවලටද එක්වූවාය.
“මම චිත්‍රපට 15 ක වගෙ රඟපෑවෙ..ඇත්තෙන්ම මම අදටත් නිළියක වීම ගැන තෘප්තිමත් ..ගාමිණී මහත්තයා රඟපෑ චිත්‍රපටවල වැඩියෙන් රඟපෑවෙ..හොඳයි නරකයි..සූරයා සූරයාමයි. හුලවාලි වගේ චිත්‍රපට කිහිපයකම හිටියා..”
අග්‍රා කියන්නීය..
ඇය විසින් තැනූ ” සුගන්ධි ” සිනමා සිත්තමද අදටත් බොහෝ දෙනකුට මතකය..
” සුගන්ධි හැදුවෙ මමනෙ..එයටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා”
” මම මගෙ පුතා ලැබුණාට පස්සෙ රංගනයෙන් ඉවත්වන්න තීරණය කළා..මට හැමදේටම වඩා මුල්වුණේ මගෙ පුතා..දැන් පුතා විවාහ වෙලා පදිංචි ව ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ..ඉතින් පුතා මාව බලන්න ලංකාවට එනවා…පුතා නිසාම රඟපෑමෙන් ඉවත් වුණත් අදටත් ඒ ගැන හිතේ කනගාටුවකුත් නැහැ.. මගෙ පුතා මට ලැබුණෙ 1979දී.”
තමන් රඟපෑ චරිත අතුරින් හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ සුමනාගේ චරිතයට වඩාත් ඇලුම් කරනා බවද අග්‍රා කියන්නීය..
” පුතා වෙනුවෙන් මම ඉන්පසු මගෙ කාලය වැයකළා…ඒ සතුට ජිවිතයටම දැනෙනවා ” යි ඇය බිමබලාගත්වනම පසුවන්නීය..
යළි මදෙස බැලූ ඕ කීයේ “මගෙ මහත්තයා අද එක්තැන් වුණු ජීවිතයක් ගත කරන්නේ. එයාගෙ කටයුතු දැන් කරන්නෙ මම..මගෙ මහත්තයාට ඇවිදින්න බැරි වෙලා අවුරුදු හතක් …මාව එයාගෙ මේ ජීවිතයට කොටු වුණා…”
ඔහු…සංචාරයටම ඇරුණු නිදහස් අයෙකි..වන සම්පතට ප්‍රේමනීය හෙතෙම ඒ වෙනුවෙන් තම බිරිඳ අග්රාද කැටුව වනපෙත්හි ඇවිදින්නේය..වසරකට කිහිපවරක් එතෙර ගොස් මවුබිමට එන්නේය..මේ සියල්ල එකතැනම ඇනහිට ඇත්තේය..නොසිතූ අයුරින් ඔහු එක්තැන්ව කිසිවක් තමන්ටම කියා කරගත නොහැකිව යාමෙන් ඔහු ගෙවූ නිදහස් ජිවිතය උඩුයටිකුරු වී ඇතිවාසේය..
” දැන් අපට කොහිවත් යන්න බැරි නිසා පුතා එනවා අපි දෙන්නව බලන්න..මහත්තයා හැම තිස්සේ ම කියන්නෙ මං හිතුවෙ නැහැ මට මෙහෙම වෙයි කියලයි..ෆිෂින් හන්ටින් ගිය හැටි…මියුසික් කළ හැටි…විමෝදයෙන් එයා මා එක්ක කාලය ගෙවූ හැටි අද අපට හීනයක්….දැන් එයාට අයිති රෝද පුටුව..”
අග්‍රා බිම බලාගත්වනම ය..
මම වෙනතකට අපේ කතාව යොමු කරවා කළ විමසුමකදී ඕ මෙසේ කියන්නීය.
” මගේ සුගන්ධි චිත්‍රපටයෙ මම ගීත ගායනා කළා..ජෝති එක්ක යුග ගායනා දෙකක් කළා..සිහිනයේ දුටුවා මනාලියක් වි…දෑසෙ රැඳුණාවේ…තවත් ගීත කිහිපයක් ම ගායනා කළා .”
පුතු හර්ෂණ නමින් ඇය හර්ෂණ පුතුනේ…ඔබ මා තුරුළේ ගීතය ඈ හඬින් අයි.ටී.එන් නාළිකාවේ විකාශය වූ බවද ඕ කියන්නීය.
මම ඇයගෙන් සමුගන්නට අසුනින් නැගිට සිටියෙමි.
ඇය මදෙස බලා සිටින්නීය.
” ලොකු ගෙවල්..යාන වාහන සැප සම්පත් මේ මොනවා තිබුණත් මේ එකකවත් සැබෑ සතුට නැහැ. සතුට හදාගන්න ඕනෙ හිතේ…භෞතික සම්පත්වලින් නෙමෙයි..මේ සම්පත් වලින් ලබන සතුට බොහොම තාවකාලිකයි..”
ඇය මට සමුදෙන්නීය..
ඇයට ..අපි චිර ජීවනයම පතමු.
අමල් යශෝමන් ජයසිංහ