Home » සර්කස්කාරයෝ පළමුවෙනි රංගනය අමුතු අත්දැකීමක් වුණා

සර්කස්කාරයෝ පළමුවෙනි රංගනය අමුතු අත්දැකීමක් වුණා

- නවක රංගන ශිල්පිනී හිරුණි ද සිල්වා

by Thanushika
July 17, 2025 10:33 am 0 comment

කලාව යනු ජීවිතයට නව අරුතක් සහ නව අරමුණක් ලබා දෙන සෞන්දර්යාත්මක මාධ්‍යයකි. කලාව යමෙකුගේ ජීවිතයට වැද පුද්ගලයා තුළ පවතින හැකියාවන්ට ශක්තිය නිරායාසයෙන්ම ලබා දෙයි. හිරුණි ද සිල්වා නවක රංගන ශිල්පිනියට ද එලෙස තම හැකියාවන්ට ජීවය වූයේ කලාවයි. ඇය නවක රංගන ශිල්පිනියක් ලෙස රංගනය පමණක් නොව නිවේදනය, රංගනය, පුවත්පත් ලේඛනය, අංගම් ශාස්ත්‍රය, ශාස්ත්‍රීය අධ්‍යාපනය ද හදාරමින් කලාව ජීවිතය කරගත් අපුරු කලාකාරිනියකි. ඇය මේ වනවිට ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ‘සර්කස්කාරයෝ’, ‘පිරිමි ළමයි’ යන ටෙලිනාට්‍ය ද්ව්ත්වය සඳහා රංගනයෙන් දායක වී තිබේ. මෙවර සරසවිය හරහා ඉඩහසර වෙන්වෙන්නේ නවක රංගන ශිල්පිනි හිරුණි ද සිල්වා සමඟ කළ කතාබහ සමඟිනි.

ඔබව ක්ෂේත්‍රයට හඳුන්වලා දෙන්න කැමැති කොහොමද?

මම හිරුණි ද සිල්වා. මම කලා ක්ෂේත්‍රයට එන්නේ මගේ සීයාගේ තාත්තා වන ‘රොමියුලස් ද සිල්වා’ නිසා. ඔහු ටවර් හෝල් ඉතිහාසයේ නොමැකෙන චරිතයක්. ඊටපස්සේ සීයා ස්ටැන්ලි ද සිල්වා ටවර් හෝල් එකේ හිටපු ලේකම්. එයා වෙිදිකා නාට්‍යය අධ්‍යක්ෂවරයෙක්. එතකොට මගේ තාත්තා ඉඳුනිල් ද සිල්වා චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මේ බලපෑමත් එක්ක මම කලාවට යොමු වෙනවා. විශේෂයෙන් සීයාගේ වේදිකා නාට්‍ය නිසා මගේ පාසල වන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉංග්‍රීසි වෙිදිකා නාට්‍යය සඳහා සම්බන්ධ වෙනවා. එහිදි ශේක්ස්පියර්ගේ නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ඔතෙලෝ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් පවා හිමි වුණා.

මම උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව නීතිවේදි උපාධිය හදාරලා උපාධිය සම්පුර්ණ කරනවා. ඒ අතරතුර මනෝව්ද්‍යාව සම්බන්ධයෙන් ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. මනෝව්ද්‍යාව උපදේශනය මාස්ටර් එක සම්පුර්ණ කරනවා. ඊටපස්සේ මට නිවේදන කලාව සම්බන්ධයෙන් වැඩිදුර හදාරන්න උවමනා වෙලා තිබුණ නිසාම ඉම්පාස් ආයතනයේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගේ නිවේදන පාඨමාලාවට සම්බන්ධ වෙනකොට අහම්බයෙන් ටෙලිනාට්‍ය රංගන පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතරතුර සද්ධාමංගල සර්ගේ ‘සර්කස්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව හිමි වෙනවා. මම දැනට රංගනය හදාරමින් ඉන්නවා සහ රංගන ශිල්පිනියක් විදියට මාව හඳුන්වලා දෙන්න කැමතියි.

වේදිකා නාට්‍යවලින් අනතුරුව ටෙලිනාට්‍යක රඟපෑම පළමු අත්දැකීම ඔබට දැනුනේ මොන විදියකටද?

මේ ඉම්පාස් ආයතනයේ රංගන පාඨමාලාව මෙහෙයවුවේ ප්‍රසන්න මහගමගේ සර්. ප්‍රසන්න සර්ගේ ඉගැන්වීම මට සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වුණා කොහොමද? කැමරාවක් ඉදිරියේ රංගනයක් කරන්නේ කොහොමද? කියන එක සම්බන්ධයෙන්. සර්කස්කාරයෝ නාට්‍යයේ පළමුවෙනි රංගනය ටිකක් විතර අමුතු විදියේ අත්දැකීමක් වුණා. සර්කස්කාරයෝ ටෙලිනාට්‍යයේ හිටියේ නිළියකට. සර්කස්කාරයෝ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම සම්බන්ධ වෙන්නේ පිරිමි ළමයි ටෙලිනාට්‍යයට. ඒ ටෙලිනාට්‍යයේ මම සම්බන්ධ වෙන්නේ පොලිස් කාන්තාවකගේ චරිතයට.

කලා කටයුතුවලට සමගාමීව අධ්‍යාපන කටයුතු කොහොමද? සමබර කරගන්නේ?

මගේ විෂය වෙන්නේ මනෝවිද්‍යාව. මම හිතන්නේ මනෝවිද්‍යාව කියන්නේ චරිතයක් සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්න පුළුවන් හොඳ විෂයක්. ඒක මගේ රංගන කටයුතුවලටත් ලොකු සහයක් ලැබෙනවා. පුද්ගලයන්ගේ මනෝභාවයන්, චරිත ලක්ෂණ අධ්‍යයනය කරන්නත් ලොකු උදව්වක් ලැබෙනවා. රංගනයක් කොහොමද? අව්‍යාජව චරිතයක් කරන්නේ කියන එක මම අධ්‍යයනය කරන මනෝවිද්‍යාව සහ රංගනය හැදැරීම අතර සෘජුව සම්බන්ධයක් ඇති වෙන නිසාම මට ප්‍රයෝජනවත් වෙනවා. මම මනෝවිද්‍යාව ඉගෙන ගන්නේ මම මිනිස්සු එක්ක වැඩ කරන්න කැමතියි. මිනිස්සුන්ට ශක්තියක් වෙන්න. මම ගොඩක්ම කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මනෝ චිකිත්සාව වෙනුවෙන්. වෘත්තියට වැඩිය සමාජ සද්කාර්යයක් විදියට මම මනෝවිද්‍යාව හදාරනවා. ඊට සමගාමීව මම රංගනය ඇතුළු කලා කටයුතුවල නියැළෙන්න වෙලාව සමබර කරගන්නවා.

සිනමාවට සම්බන්ධ වෙන එක ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?

අවස්ථාවක් ලැබුණොත් බාරගන්න කැමතියි. මම කැමති සංකීර්ණ චරිතයකට. විශේෂයෙන් අළු පාට තුළින් කළු චරිතයක් කරන්න. රංගනයක් ටිකක් සංකීර්ණව කරන්න පුඑවන් චරිතයක් කරන්න.

ඔයාගේ රංගන ජීවිතයට වැඩිපුරම බලපෑම් කරපු නළු නිළියන් කවුද?

ස්වර්ණා මල්ලවරාචිචි මහත්මියගේ චරිතාංග රංගන ස්වභාවයට සහ තරින්දි ප්‍රනාන්දුගේ රංගනයට වඩාත් කැමතියි. ඉන්දියාවේ ගත්තොත් ප්‍රියංකා චොප්රා සහ හොලිවුඩ් සිනමාවේ නිළියන් මර්ෆි සහ බ්‍රැඩ් පීට්ගේ රංගනයට කැමතියි.

රංගනයට අමතරව ඔයාට තියෙන හැකියාවන් මොනවද?

නිවේදනය, කියවීම, රචනය කියන දේට තමයි වැඩිපුරම කරන්නේ. දැනට මම මගේ අධ්‍යයන කටයුතුවලදී පර්⁣යේෂණ පත්‍රිකා සහ පුවත්පත් ලිපි ලියලා තියෙනවා. කියවන්න ලියන්න බැරි කෙනෙක්ට හොඳ කලාකරුවකු වෙන්න බැහැ කියන මතය මම විශ්වාස කරනවා. ඊට අමතරව අංගම් ශාස්ත්‍රයත් හදරලා තියෙනවා.

ඔයාගේ කලා ජීවිතයට උදව් කළ අය පිළිබඳ මතක් කරමු…

කලාව ගැන කිසිම දෙයක් දන්නේ නැති මම මුලින්ම අඩ්ය තියෙන්නේ සීයා වන ස්ටැන්ලි ද සිල්වා නිසා. පළමුව මගේ සැමියා විශාල ශක්තියක් වුනා මේ ගමනට. අම්මා සහ තාත්තා දෙදෙනාමත් මට විශාල සහයෝගයක් වුණා. ප්‍රසන්න මහ⁣ගමගේ සර්, සද්ධා මංගල සර්, සිවගුරුනාදන් සර් සහ වගීෂ වික්‍රමවංශ සර් මගේ කලා ජීවිතයට දුන්න සහයෝගය අමිලයි.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT