Home » සරසවිය ජන කිරුළ පැලඳි නළු නිළියන්

සරසවිය ජන කිරුළ පැලඳි නළු නිළියන්

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

සිනමා කර්මාන්තයේ ජීව රුධිරය සේ සැලකෙන දහස් සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ හඳ බැඳගත් තිර තරු සඳහා තමන්ට මනාපය පළ කිරීමේ සුවිශේෂි අවස්ථාවක් සරසවිය සම්මාන උලෙළේ දී රසික ජනතාව සඳහා විවෘත විය. සරසවිය සම්මාන උලෙළ 1964 දී මුල්වරට ඇරැඹීමත් සමඟ එවැන්නක් රසිකයන් සඳහා විවෘතව නොතිබිණි. 1966 වසරේ පැවති තෙවැනි සරසවිය සම්මාන උලෙළේ සිට ජනතා සම්මාන පිරිනැමීමක් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා සරසවිය පුවත්පතේ පළ වූ කූපන්පත් මත ඡන්ද විමසීමක් සිදුකිරිමෙන් මුල්තැන ගත් නිළිය, නළුවා, ජනප්‍රිය නළුවා ජනප්‍රිය නිළිය සම්මානය සඳහා තෝරාපත්කර ගැනිණ.

වාර්ෂිකව පවත්වන මහෝත්සවයට පුර්වයෙන් වන වර්ෂයේ තමන්ගේ රුචිකත්වයට වඩාත්ම තදින් ඇද බැදගත් තිර තරු වෙනුවෙන් පාඨකයෝ මේ සඳහා තම ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ. ඡන්ද ප්‍රකාශය අතිශයින් උද්යෝගිමත් වූ අතර තරඟය බෙහෙවින් තියුණු මුහුණුවරක් ගනු ලැබිණ. තරඟය ආරම්භක වකවානුවේ පාඨක ඡන්ද ඇතුළත් තැපැල් පත් අඩංගු මලුවලින් පිරි ඉතිරි ගිය අතර වර්තමානයේ එය එස්.එම්.එස්. ක්‍රමයට තම මනාපය ප්‍රකාශ කරලන්නට සරසවිය පාඨකයන්ට අවස්ථාව උදා විය.

සරසවිය සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 36 වැනි වරටය. එය දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරසවිය සම්මාන උලෙළ දේශයේ මහා කලා මංගල්‍යයයි. මෙවර සරසවිය සම්මාන උලෙළ විශේෂ කලාපය සඳහා අප තේමා කොට ගනු ලැබුවේ සරසවිය සම්මාන උලෙළ ඉතිහාසයේ ජනතා මනාපයෙන් කිරුළ පැලඳි නළු නිළියන් වෙනුවෙනි.

1966 වසරේ සිට 1992 වසර දක්වා පැවැති සරසවිය සම්මාන උලෙළවලදී ජනපි‍්‍රය නළුවා, ජනපි‍්‍රය නිළිය වෙනුවෙන් සම්මාන ප්‍රදානයක් සිදු කෙරෙනු අතර එය 1993 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළේ සිට 1998 වසර දක්වා පැවති සරසවිය සම්මාන උලෙළ දක්වා මෙම සම්මානය ප්‍රදානය අත්හිටවනු ලැබීය. යළි 2002 වසරේ සිට ජනපි‍්‍රය නළුවා, නිළිය සම්මානය ප්‍රදානය කිරීම අරභා 2010 වසර දක්වා පැවති සරසවිය සම්මාන උලෙළවලදී ප්‍රදානය කරනු ලැබීය. යළිත් එය 2018 වසර දක්වා ප්‍රදානය කිරීම අත්හිටුවීමක් සිදුකළ අතර එය යළිත් 2019 වසරේ සිට 2020 වසර දක්වා ප්‍රදානය කිරිමක් සිදුකෙරිණි. මුල්වරට ජනපි‍්‍රය නළුවා ලෙසින් ජනකිරුළ පැලදිියේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාය. ගාමිණි පිට පිට අටවතාවක් ජනපි‍්‍රය නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවිය. ඉන් අනතුරුව විජය කුමාරතුංග පිට පිට හයවතාවක් ද රන්ජන් රාමනායක පිට පිට පස්වතාවක්ද සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ෆ්‍රෙඩී සිල්වා, ශෂි විජේන්ද්‍ර, චන්න පෙරේරා, විජය නන්දසිරි, උද්දික ප්‍රේමරත්න, කලණ ගුණසේකර එක් වතාව බැගින් ජනපි‍්‍රය නළුවා සම්මානයට උරුමකම් කීහ.

මුල් වරට ජනපි‍්‍රය නිළිය ලෙසින් ජනකිරුළ පැලදියේ ජීවරාණි කුරුකුලසුරියයි. ජීවරාණි දෙවතාවක් මෙම සම්මානයට පාත්‍ර වූවාය. ඉන් අනතුරුව අනුලා කරුණාතිලක පිට පිට තුන්වතාවක් මෙම කිරුළට හිමිකම් කියනු ලැබීය. නිළි රැජන මාලිනී ෆොන්සේකා පිට පිට හත්වතාවක් ජන කිරුළට උරුමකම් කියනු ලැබුවාය. සබීතා පෙරේරා දෙවතාවක් ද, ගීතා කුමාරසිංහ තෙවතාවක්ද, සංගීතා වීරරත්න හයවතාවක් ද, දිල්හානි ඒකනායක, අනර්කලී ආකර්ෂා, සෙනාලි ෆොන්සේකා, ඩිනක්ෂි පි‍්‍රයසාද් එක්වතාව බැගින්ද ජනපි‍්‍රය නිළිය සම්මානයට උරුමකම් කීහ.

2024 වසරේ පැවැති තිස්පස් වැනි සරසවිය සම්මාන උලෙළේ 2020 වසරේ ජනපි‍්‍රය නළුවා, නිළිය ලෙස ජන කිරුළ පැලඳි කලණ ගුණසේකර, ඩිනක්ෂි ප්‍රියසාද්ගේ රුවෙන් මෙවර සරසවිය මුල් කවරය හැඬගැන් වී ඇත.

 

සංස්කාරක

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT