Home » ‘සඳ තාරකා හඬාවී කඳු මීදුමෙන් එහා… ඔබ හා ගෙවූ අතීතේ මතකේ ලියා තියා….

‘සඳ තාරකා හඬාවී කඳු මීදුමෙන් එහා… ඔබ හා ගෙවූ අතීතේ මතකේ ලියා තියා….

by Thanushika
January 2, 2025 10:09 am 0 comment

නත්තල් හීතලත් ඒක්ක හී ගඩු පිපුණු දවසක ලැබුණු ආරංචිය ඒ් තරම් සුබ දායක නොවීය. ඒ් ආරංචිය රැගෙන ආවේ හැත්තෑව- අසූව දශකයන්හි මෙරට සංගීතලෝලි ශ්‍රාවක සිත් ආදරයේ මුදු පහසින් ඒකලු කල ගීත රැසක් ගායනා කළ ආදරණීය හඬ පෞරුෂයක් සදහටම නිහඬ වූ පුවතයි.

මේ ගීතවත් හඬ හිමි පුද්ගලයා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනයි.

අපේ රටේ ගීත සාහිත්‍යයට අපූරුතම නිර්මාණ රාශියක් ඉතිරි කර තබමින් ඔහු යන්නම යන්න ගිහින්. තම කලා ජීවිතේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේද සිය යුතුකම්, වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් රටට හෝ පවුලට ණය නැති මිනිසෙකු වශයෙන් ඔහු පසුගියදා අවසන් ගමන් ගියේය. සිය ජීවන මගේ අසූවියක් වැනි දීර්ඝ කාලපරිච්ඡේදයක ආයු වලදා සිය දූදරුවන්ගේ ආදර කරුණාව මැද සුපසන් සැදෑ සමයක් ගතකරමින් සිට ඔහු යන්නට ගියේ සුවහසක් මෙරට ශ්‍රාවකයන්ගේ හදවතේ මහා හිස් බවක් තැන්පත් කරමිණි.

ප්‍රියා ගේ හඬට සම කරන්නට වෙනත් හඬක් එදා සිටියේ නැතුවා මෙන්ම මෙදාද සොයා ගත නොහැකිය. ඔහුට තිබුණේ ඔහුටම වූ අනන්‍ය හඬකි. අපේ රටේ ගීත ශ්‍රාවකයන් ආදරේ කළේ ඔහු සතු වූ ඒ් ආදරණීය හඬටය. ඔහු හා සමවෙතොත් ඇත්තේ ඔහුගේ ආදරණීය පුතණුවන් වන ලක්ෂිත ගේ හඬ පමණකි. මෑත භාගයේ බොහෝ අවස්ථාවලදි ප්‍රියා ගේ අඩුපාඩුව ලක්ෂිත පුතු පූර්ණය කරනවා බොහෝ වැඩසටහන් වලදී දැක ඇත්තෙමි.

ප්‍රියා ගේ නාමයත් සමඟ මෙරට ගීතලෝලීන්ට මතක් වන ගීත කෙතරම් නම් වේද?

ඔහු ගැයූ ඒ් ගීත ගැන කොයි තරම් කතා කලත්, එහි රස බාවයන් ගැන කියා නිම කල නොහැකිය. ඔහු නත්තල් හීතලේම “මුදු සීත හිම මුදුන් අතරින්’”යන්නටම ගිහින්ය. අපේ රටේ එක්තරා යුගයක ආදර ගීත අතර වෙනම කලාවක් නිර්මාණය කළ ගායකයෙක් වූ ඔහුගේ ගීත කොටස් තම ප්‍රේමණීය ආදර ලිපියක සනිටුහන් නොකල ප්‍රේමවන්තියක් ප්‍රේමවන්තයෙක් නොසිටියා නම් එය පුදුමයට කරුණකි.

ඔහුට තිබුණේ ඒ් යුගයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි ගායකයන් ගෙන් වෙන්වූ වෙනමම අනන්‍යතාවයකින් යුතු හඬ පෞරුෂයකි. ඒ් තුළ බොහෝ දුරට වෑහුණේ ආදරය ප්‍රේමය, විරහව වැනි භාවයන්ය. මේ හඬ ඒ් යුගයේ තරුණ තරුණියන්ගේ භාවයන් කම්පනයට පත් කරන්නට සමත්වීමෙන් ඔහු වටා රොද බැඳුණු පිරිස අති විශාලය.

‘ඇසුරින් මිදිලා – ඔබගේ ලොවේහී

සැඟවී ඉදිමි මා වෙන්වී මෙසේ…

නොමැකී තියේනම් ඔබගේ සිතේහී…

මගේ ආදරේ මා යළි ඒනතුරා….’

එදා ඔහු ගායනා කල මෙවන් ගීතයන් සඳහා අති විශාල ශ්‍රාවක පිරිසක් සිය ආදරය ප්‍රකාශ කළේය.

‘සඳ තාරකා හඬාවී

කඳු මිදුමෙන් ඒහා… ඔබ හා ගෙවූ අතීතේ

මතකේ ලියා තියා….

වැනි ගීතයකින් මතුව ආ වෙන්විමේ ශෝකී ජනක භාවයන් ප්‍රියාගේ ආදරය කැටිවුන හඬින් ඇසෙද්දී ඒම ගීත ශ්‍රවණයට ඇබ්බැහි වෙන්නට තරම් ශ්‍රාවකයන් සංවේදි වූයේය.

මෙරට ශ්‍රාවක පිරිස වෙත ඉතාමත්ම මියුරු ගීත රාශියක් ඉතිරි කරමින් පසුගිය සතියේ අවසන් ගමන් ගිය ප්‍රියා සූරියසේන නම් මේ ප්‍රවීණ ගායකයා මෙතරම් දුරක් තම කලා ජීවිතය රැගෙන ආවේ මල් අතුල මාවතක් තුළම නොවිය. ඔහු උත්පත්තියෙන්ම රැගෙන ආ වාසනා මහිමිය මෙන්ම ගායනයට දැක්වූ උපන් හැකියාව මේ ගමන් මඟ සරසන්නට ඔහුට විශේෂයෙන්ම හේතු වූ කාරණාය. 1970 දශකයේ මෙරට මතුවූ ඔහු ගායනය වෙනුවෙන් සිය සිහිනය හඹා ඒනුයේ කුඩා දරුවකුව සිටි අවදියේ පටන්ය.

ප්‍රියා දස හැවිරිදි පාසල් දරුවකුව සිටි අවදියේ දී පවා සිය පාසල් සමිතියේ වේදිකාවට නැඟ කවි ගී ගැයුවේය. ඒකල මේ කුඩා දරුවා පාසල් සමිතියේ ගීත ගායනා කරන අයුරු ගුරුවරු මෙන්ම සිසු පිරිසද අසා සිටියේ ඉමහත් කැමැත්තකිනි. ඒ තරමට මියුරු සුගායනීය හඬක් ඔහු සතුව තිබිණ. ඒ් ඔහුගේ සුගායනීය බව සේම ඉදිරිපත් කිරීමේ හමුවේ ප්‍රකට කළ බුහුටි බවද එයට හේතු වූයේය. ප්‍රියා ගේ උප්පැන්නයේ සඳහන් සම්පූර්ණ නම වනුයේ සරත්චන්ද්‍ර ප්‍රියදර්ශී සූරියසේනය. (ප්‍රියා සූරියසේන) 1949 ඔක්තෝබර් 27 වැනිදාවක ඔහු නාත්තන්ඩියේදි මෙලොව එළිය දකින්නේය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ලද ප්‍රියා ගේ සංගීත සිහිනය සැබෑ කරන්නට මුල්වන ප්‍රථම පුද්ගලයා වන්නේ ඔහු ගේ පියාය. ප්‍රියා ගේ පියාට ඉතා හොඳීන් කවි ගායනා කිරීමේ හැකියාව ඇත්තෙකි. ඔහු එවකට ගමේ කවි මඩුවල පවා කවි ගායනා කල පුද්ගලයෙකු විය. ඔහුගේ මේ හැකියාව අඩු වැඩි වශයෙන් ප්‍රියාටද පිහිටා තිබිණ. උත්පත්තියෙන් හිමිවූ මේ හැකියාව තව දුරටත් වඩා වර්ධනය කරනුයේ ඒවකට මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරුන් වූ ඩී. වී. ඇල්. මහීපාල මහතා සහ බී. වී වීදාගම යන ගුරුවරුන්ය.

තාත්තාද සංගීතය ට වැඩි නැඹුරුවක් දැක්වූ පුද්ගලයෙක් වූ නිසාවෙන් ප්‍රියාව සංගීතය පැත්තට උනන්දු කරවීමේ වැඩි බලපෑම ඔහුට පියාගෙන් ලැබිණ. ප්‍රියා ගුවන් විදුලි සංස්ථාවට රැගෙන එන්නේ පවා ඔහු ගේ පියා විසිනි.

ප්‍රියා මුල්වරට ගීත ක්ෂේත්‍රයට පිවිසෙනුයේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකි. ඔහු ඒ ශ්‍රේණියේ ගායකයකු වශයෙන් සමත් වීමෙන් පසු ඔහුට ලැබෙන මුල්ම සරල ගී වැඩසටහනට ඔහු ගීත ගායනා කරන්නේ ප්‍රකට ක්ලැරිනට් වාදකයකු වූ එච්. ඒ. සහර්දීන් ගේ උනන්දුව නිසාය. ඔහු ගැයූ මුල්ම ගීත හතරේ ගී තනු නිර්මාණයදී ඔහුගේම විම මෙහිදි විශේෂත්වයකි.

‘අඳුර අඳුර මගේ

සොඳුර සොඳුර මගේ නොයනු මැනවි දා

තනිකර ඒළියේ….

හෙට දවසේ අප දෙදෙනා

අද වාගෙම හමුවිය යුතුවේ….

සරතැස නිවා…

දිවි කතරේ… සහ ‘ කිරි සයුරේ රැල්…. යන ගීත ඒදා ප්‍රියා සිය පළමු සරල ගී වැඩ සටහන සඳහා ගායනා කළ ගීතය. තරුණ නවක ගායකයකු ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි ඔහුට ඔහු ගායනා කළ මුල්ම ගීත 4ම ජනප්‍රියත්වයේ ඉහළම තලයක රැදීම ඔහුටද විශ්වාස කළ නොහැකි විය. ඔහු ආධුනිත ගායන ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රයට පැමිණෙන විටද මනා සංගීත ඥානයකින් හා ස්වර ඥානයකින් යුතුව පසුව ඔම ඔහුට සුවිශේෂ වාසියක් විය. තමන්ගේ ගීත වෙනුවෙන් තමන්ම සංගීතය නිර්මාණය කර ගැනීම ඉන් එක් වාසියකි. ඔහු ප්‍රවීණ සංගීතඥයන් වන ලයනල් අල්ගම සය දයාරත්න රණතුංගයන් සෙවණින් ගායන පුහුණුවද ලබා සිටියේය. මේ පුහුණුව හා හැකියාවන් ඔහු ඔහුගේ මුල්ම ගායනයන් ගෙන් ඔප්පු කොට පෙන්වූවාය.

ඒ යුගයේ ප්‍රියාට වැඩිමනත් ගීත රචනා කර ඇත්තේ ප්‍රේමකීර්තිද අල්විස්ය. මේ හැර ප්‍රේමසිරි විජේතුංග, කුඩාවැවේ රෝහණ ප්‍රනාන්දු, ඩෝල්ටන් අල්විස්, උපාලි ධනවල විතාන, කේ.ඩී. කේ, ධර්මවර්ධන, සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, වැන්නෝ වෙති. ඔහුගේම තනු නිර්මාණ හැරුණු කොට ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීත නිර්මාණය කරන ලද ‘රටකින් ඒහා ඉගිලී’, ඈත රන් විමන්, සැන්දෑ යාමේ සිහින විජිතයේ, ඔබ මට මට ඔබ වාසනා, වැනි ගීත ප්‍රියා සූරියසේනගේ ජනප්‍රියත්වය ඉහල තලයට ඔසවා තබන්නට හේතු විය.

එසේම ඔහු ඒකල තරංගා ලේබලයෙන් ගීත තැටියකට ගායනා කළ ගීත අතරින් සරත් දසනායක සංගීතවත් කළ ‘සුදු වත කමලේ, වතු සුදු මල්පෙති, ඇත හිමගිර වලලු යායේ, සඳසේ උදාවී, දුර කදුරැල්ලේ, සඳේ හැංගිලා බලා, ඉන්න බෑ, සුසුමේ කඳුලේ සසරේ ළං වීලා, ජීවිතේ මාවතේ ආදරේ චාරිකා වැනි ගීත ඒ් යුගයේ ශ්‍රාවක සිත් ආකර්ශණය කර ගන්නා ලදී.

ඔහුට ප්‍රවීණ සංගීතවේදි ස්ටැන්ලි පීරිස් ද අතිශයින් ජනප්‍රිය ගී තනු රැසක් නිර්මාණය කළේය. ‘ආදරණීය නේරංජනා, මගේ ළමැද සුව යහනක්, ඇසුරින් මිදිලා, ඔබගේ ලොවේහී, හදවත ඉල්ලා නොලැබුණු විටදී, සඳ තාරකා හඩාවී, මා දෑතේ වෙලී වැනි ගීත ඒ් අතර වේ.

මෙම ගීත කුලරත්න ආරියවංශ, වර්නන් පෙරේරා, චිත්‍රානන්ද අබේසේකර, ඩොනල්ඩ් අයිවන්, විජය රාමනායක, උපාලි ධනවල විතාන, ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කර ඇත.

ප්‍රියාගේ ජනප්‍රියත්වයත් සමඟ ඒ් යුගයේ නිර්මාණය වූ සිනමාපට කිහිපයකටද ගීත ගායනයෙන් ඒක් වන්නට ඔහුට අවස්ථාව හිමි විය. ඒ් අතර ‘සෙලීනාගේ වලව්ව, සහ ‘හරියනකොට ඔහොම තමයි’ වැනි චිත්‍රපට විය. ඒසේම ඔහු, සංගීතඥ සනත් නන්දසිරි ගේ සංගීත අධ්‍යක්ෂණයට ‘තුත්තිරි මල්’ චිත්‍රපටයෙත්, සරත් දසනායකගේ සංගීත අධ්‍යක්ෂණයට ‘මල් කැකුළු’ සහ ‘තනි තරුව යන චිත්‍රපටවලද ගීත ගායනා කළේය.

ප්‍රියා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි. ඔහු ඔහුගේ පළමු ගුවන්විදුලි වැඩ සටහනට ගැයු ගීත 4ම අතිශයින් ජනප්‍රිය වූ අතර, ඉන් පසු ඔහුට ගුවන් විදුලියේ ජී. ඒස්. බී රාණි පෙරේරා මහත්මියගේ වැඩ සටහනට ගීත ගායනා කරන්නට අවස්ථාව හිමි විය. ප්‍රණිත මී පැණි, සඳ මා ගාවයි නෑ, මායාවකි ඔබේ, ගී පොතේ යන ජනප්‍රිය ගීත ඒම වැඩ සටහනට ඔහු ගැයූ ඒ්වාය.

ඒ් කාලයේ ප්‍රසංග වේදිකාවට ද ඔහු නැතුවම බැරි ගායකයෙක් විය.. තරුණ තරූණියන්ගේ හදවතේ රැඳී ගායකයකු වශයෙන් ඔහු ගයන ආදර ගීත අසන්නට එවකට ප්‍රසංග වේදිකාවට තරුණ තරුණියන් රැස් වූයේ රැස්කකාය. ඒසේම ඒම යුගයේ අතිශයින්ම ජනප්‍රිය ස්ථානයක් වූ මහනුවර ලේක් ක්ලබ් ඒකේ ගී ගයන්නටද ප්‍රියාට අවස්ථාව හිමි විය. මුල්ම යුගයේ ඒහි ගී ගයනවාට ඔහුට රුපියල් පනහක මුදලක් ලැබිණ. ඒ කාලයේ හැටියට ඒය විශාල මුදලකි. වික්ටර් රත්නායක, නිහාල් නෙල්සන් වැන්නෝද ලේක් ක්ලබ් හි ගීත ගායනා කලවුන් අතර ප්‍රචලිතය.

ප්‍රියා ගායකයකු වශයෙන් පසු කළෙක වෘත්තීය ජීවිතය ඇරඹුවද, ඔහුගේ මුල්ම වෘතීය ජීවිතය වූයේ ගුරුකමයි. 1978 වර්ෂයේදි ඔහු සංගීත ගුරු ජීවිතය අරඹනුයේ කටුනේරිය මහා විද්‍යාලයෙනි. පසුකළෙක ඔහු කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයා වශයෙන්ද කටයුතු කර තිබිණ.

ප්‍රියා විවාහ වූයේද සංගීත ගුරුවරියක් සමඟය. ඇය තමරාය. ගුරු අධ්‍යාපනය ඒකට හදාරා , ගුරු පත්වීම්ද ඒකටම ලද ඔවුන් දෙදෙනා 1978 දී විවිාහ වින. ඒවකට ඇය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ත් පසුව විජේරාම විද්‍යාලයේත් සංගීත ගුරුවරිය වශයෙන් කටයුතු කළාය.

ප්‍රියාට දරුවන් සිවු දෙනෙකි. දියණියන් තිදෙනෙකු සහ ඒක් පුතණුවෙකි. ඔවුන් සියලු දෙනාම හොඳීන් අධ්‍යාපනය හදාරා වර්තමානය වනවිට ඉහල තලයේ වෘත්තිය ජීවිත ගත කරති.

සුදු පරෙවි රෑන සේ

පියා සලා…

පාසල නිම වී යොවුන් කුමරියන්

පෙළින් පෙළට ඒ්

ඈ තාම නෑ……..

මේ ගීතය ප්‍රියාගේ ගීත අතරින් ජනප්‍රියත්වයේ ඉහලම ස්ථානයක් දිනාගත් ගීතයකි. ඒසේම ඒ වෙනුවෙන් ඔහු නොයෙක් විවේචන හා මතබේදයන්ටද ලක්විණ.

‘ මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා

භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා

ඒ් යහනේ ඔබ සතපා

බිඟු ගී වැල් මුමුනනවා

සොඳුරු ලොවක අප දෙදෙනා

හෙට තනිවෙනවා…..

ප්‍රියා ගැයූ මෙවැනි ගී ඒදා පමණක් නොව, අද මේ මොහොතේද ආදරයේ චමත්කාරය සැබෑ ලෙසම හදවතට දනවන්නේය. ආදරයෙන්, ප්‍රේමයෙන් බැඳුණු දෙහදක සැබෑ ප්‍රේම ප්‍රාර්ථනය මෙය නොවන්නේද?

සොඳුරු ලොවක තනිවෙන්නට, ළමැද සුව යහනක් කරන්නට කොයි ප්‍රේමවන්තයාද, කොයි ප්‍රේමවන්තියද පෙරුම් නොපුරනුයේ. දෙසිතක බැඳී සැබෑ අව්‍යාජ සිතුවිලි ප්‍රියාගේ ආදරණිය හඬින් ගැයෙන විට ප්‍රේමය හැඟෙන, දැනෙන සියල්ලෝම ඒහි අයිතිකරුවන්ය.

ප්‍රියාගේ ගීතාවලිය ඇතුළත අපට අමතක කළ නොහැකිම ගීත රාශියකි. සැන්දෑ යාමේ (ප්‍රේමකිර්ති ද අල්විස්), මේ පාලු මාවතේ (කුලරත්න ආරියවංශ) ‘බිඟු වැලපිලා (කේ. ඩී. කේ ධර්මවර්ධන) ‘ මුළු මුහුදම හඬයි (ප්‍රේම කිර්ති) ‘හෙට දවසේ අප දෙදෙනා) ‘ඉස්සර මා ඔබ දකින්න ආවේ(කරුණාරත්න අබේසේකර) මගේ ළමැඳ (ඩොනල්ඩ් අයිවන්) මින් මැදුරේ ( වර්නන් පෙරේරා) සුදු පරෙවි රැන සේ (ප්‍රේමකිර්ති) ගෙල වට බැන්දා වු මුතු පොටේ (ප්‍රේමකිර්ති) පැතුම් පිරිලා (ප්‍රේම කීර්ති) ඔබ මුදු මදහස රැලි මාලා (ප්‍රේමකිර්ති) රටකින් ඒහා ඉගිලී (ප්‍රේමකිර්ති) සුදු වත කමලේ(උපාලිධනවල විතාන) මොහොතක සුවදෙන චංචල ලෝකයේ (රූකාන්ත) ආපසු ඒනවා (දයා ද අල්විස්) ඈත රන් විමන් (ඩොනල්ඩ් අයිවන්) ආදිය මෙරට ගීත ශ්‍රාවක සිත් සතන් ආදරයෙන් නැලවූ ගී නිර්මාණයන්ය.

මේ සියලුම නිර්මාණ අපටම ඉතිරි කර දැන් ඔහු නික්ම ගොස් හමාරය. 70-80 දශකයන්හි මෙරට තරුණ සිත් නැලවූ ආදරයේ, ප්‍රේමයේ ගීත රාවයෙන් තරුණ හදවත් කම්පනයට පත්කළ ගීත කෝකිලයානෙනි,

මේ ලොවෙන් එහා සිටන්

ඈත ලෝකයෙන් ඇවිත්

සනසන්න යළි…. ඔබේ ආදරණීය හඩින්

ගී පිපාසිත සුවහසක් ශ්‍රාවක සිත්

ඔබට සුබ ගමන්!

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT