Home » ‘සඳකත් පිනිදිය’සමඟින් ලයනල් අල්ගම සූරීන්ගේ අනූවැනි ජන්ම දිනය සැමරේ

‘සඳකත් පිනිදිය’සමඟින් ලයනල් අල්ගම සූරීන්ගේ අනූවැනි ජන්ම දිනය සැමරේ

සඳකත් පිනිදිය ප්‍රසංගය අද සවස 6.00 ට තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා

by Thanushika
April 24, 2025 1:58 pm 0 comment

හෙළ සංගීත කලාවට අනුපමේය මෙහෙයක් ඉටුකළ සංගීතවේදියකු ලෙස ලයනල් අල්ගම සූරීන්ව හඳුන්වා දිය හැකිය. තරුණ වියේදීම සංගීත කලාවට තම සිත යොමු කළ ලයනල් අල්ගමයන් සංගීතය පිළිබද දැනුම් සම්භාරයක් එක්රැස් කරගත් විශිෂ්ට සංගීතඥයෙකි. මේ ඔහුගේ අනූවැනි ජන්ම දිනය වෙනුවෙන් තබන සටහනකි.

ශ්‍රී ලාංකික සංගීතයට නොමැකෙන මතක සටහන් එක්කළ සංගීතවේදී ලයනල් අල්ගමයන් උපත ලබන්නේ 1935 මාර්තු 24 වෙනිදා ගම්පහදීය. අල්ගම කෝරළගේ ලයනල් කුමාරදාස පෙරේරා ලෙස උපතේදී සඳහන් වුවත් ඔහු ප්‍රකට වන්නේ ලයනල් අල්ගම ලෙසින්ය. ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම වැවිලි කරුවෙකි.

ගම්පහ, බ්‍රැන්ඩියමුල්ල පල්ලිය ආශ්‍රයෙන් මූලික අධ්‍යාපනය ලද ලයනල් අල්ගමයන් වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් තම ද්වීතික අධ්‍යාපනය හැදෑරුවේය. කුඩාකල සිටම ඔහු සංගීතයට ඇලුම් කළේය. ඒ නිසාම තම පුතුගේ හැකියාවන් දුටු පියා 1955 වසරේදී තම පුතාව ශාන්ති නිකේතනයට ඇතුළත් කළේය. ශාන්ති නිකේතනය ඔහුගේ සරසවිය ලෙස වරෙක ලයනල් අල්ගම සූරීන් කියා තිබුණි. එහි අවසන් වසර විභාගයේදී සිතාර් වාදනය විභාග කිරීමට පැමිණ ඇත්තේ මහා ගාන්ධර්ව රවී ශංකර්තුමාය. වාදනය අවසන් වූ විගස එතුමාගේ ආශිර්වාදය ලයනල් අල්ගමයන්ට පිරිනමා ඇත. ඔහු සිතාර් වාදනය ප්‍රගුණ කර ඇත්තේ පාසැල් සමයේ සිටය. ප්‍රවීණ සංගීතඥ එඩ්වින් සමරදිවාකර ඔහුගේ සිතාර් වාදක ගුරුවරයාය.

ලයනල් අල්ගමයන් දේශීය නාට්‍ය කලාවට දැක්වූ දායකත්වය සුළුපටු නොවේ. ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයේ ඇතුළත් ගීත එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂකයාගේ තුඩ තුඩ රැව් දෙන්නේය.

කුමටද සොබනියේ කඳුළු සලන්නේ
හේතුව මම නිදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්

මේ පද පේළිය නරිබෑනා වේදිකා නාට්‍යයේ එන ජනප්‍රිය ගීතයකි. එහි ගම දුව විසින් ගැයූ ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි සහ තෝව දෙන්නෙත් නරියටයි , ගමෙන් ඇවිදිල්ලා ගමෙන් ඇවිදිල්ලා යන ගීත ලයනල් අල්ගම සූරීන් විසින් නිර්මාණය වූ මියුරු ගීතයි. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළ දයානන්ද ගුණවර්ධනයන් ඔහුගේ සමකාලීන මිතුරෙකි. මෙම දෙදෙනාම ඉගෙනුම ලැබුවේ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේය. එපමණක් නොව ඔහුගේ සම වයසේ සිටි මිතුරු කැල වූයේ මහගමසේකර, චිත්‍රා බාලසූරිය, සූරසේන කළුගම්පිටිය, සෝමසිරි දෙහිපිටිය සහ දම්සිරි බාලසූරියයි. යොවුන් වියේ සිටි මෙම පිරිස කලාව, වේදිකාව, සිනමාව ගැන එක් රොක් වී කතා බස් කෙරුවේ චිත්‍රා බාලසූරියට අයත් ඡායාරූප ශාලාවේදීය. මෙම මිතුරු ඇසුර පසුකාකයේදී ඔහුගේ සංගීත දිවියට මහඟු අත්වැලක් විය. ශ්‍රී ලාංකික සිනමාවේ අති විශිෂ්ට සිනමා නිර්මාණයක් වූ පරසතු මල් හි සංගීත අධ්‍යක්ෂකවරයා වීමේ භාග්‍ය හිමිවූයේ ලයනල් අල්ගමටය. ඔහු අතින් සංගීත නිර්මාණය වූ චිත්‍රපට ගණන නවයකි.

පටාචාරා, පරසතු මල් , වසන්තා, ඉඳුනිල, ප්‍රදීපේ මා වේවා, අනූෂා, මයුරිගේ කතාව, බාඳුරා මල් , බඹර ගීතය ලයනල් අල්ගමයන්ගේ සංගීත නිර්මාණයෙන් හැඩවූ චිත්‍රපටයි.

1965 දී පැවති එක්සත් ලංකා රසික සංගමයේ තිළිණ ප්‍රධානයේ 1964 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂක ලෙස සම්මානය දිනා ගත්තේ ලයනල් අල්ගම සූරීන්ය. ඒ පාටාචාරා චිත්‍රපටය වෙනුවෙනි. එය ඔහුගේ පළමු චිත්‍රපටයයි.පරසතු මල් චිත්‍රපටයේ ඇතුළත් ගීත තුන ඔහුගේ චිත්‍රපට සංගීතයේ විශිෂ්ට තනු නිර්මාණ ලෙස සැලකිය හැකිය.

සඳකත් පිනිදිය දිය වී ගලනා
සීතල කඳු අතරේ
හද ගොළුවී ඉකිබිඳ ඔබ හඬනා හඬ මා සවනේ පෑරේ

මේ ඉන් එක් ගීතයකි.

පරසතු මල් චිත්‍රපටයේ එන අදටත් රසවිඳීය හැකි ගීතයක් වූ

පරසතු මල්වල සුවඳ අතීතේ
පරසතු මල්ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදාවේ.

මෙම ගීතය ගායනා කළ සුජාතා අත්තනායක හට හොඳම ගායිකාව ලෙස සම්මාන හිමි වී ඇත. ලයනල් අල්ගම සූරීන්ව පරසතු මල් චිත්‍රපටය සඳහා තෝරා ගත්තේ ඔහුගේ මිත්‍ර සමාගමේ සිටි ගම්පහ ප්‍රදේශයේම ජීවත් වූ චිත්‍රා බාලසූරිය විසිනි.

ලයනල් අල්ගම බටහිර චිත්‍රපට බැලීමට දැඩි ලෙස කැමැත්තක් තිබූ කෙනෙකි. ඔහුට ඉංග්‍රීසි භාෂාව මෙන්ම වංග සහ හින්දි භාෂාව හොඳීන් හැසිරවීමට හැකියාව තිබුණි. ඔහු හින්දි භාෂාව ඉගෙන ගෙන ඇත්තේ දරමිටිපොළ රතනසාර ස්වාමීන්වහන්සේගෙනි. චිත්‍රසේන වජිරා කලායතනයේ අනගි මුද්‍රා නාට්‍ය නිර්මාණයන් වූ කරදිය සහ නළ දමයන්ති හි උප සංගීත අධ්‍යක්ෂක වූයේද ලයනල් අල්ගම සූරීන්ය. ඔහුට පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට ඇතුළත් වීමට උපකාර කර ඇත්තේ එඩ්වින් සමරදිවාකර සහ ඩබ්ලිව්. චූලරත්න යන සංගීතඥයන්ය.

වේදිකාවේ, සිනමාවේ පමණක් නොව ඔහු ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර ඇත. සසර, මිහිකතගේ දරුවෝ, රන්මසු උයන, ඉමදියමංකඩ වැනි ටෙලිනාට්‍ය වල සංගීත අධ්‍යක්ෂකවරයා ඔහුය. ඉමදියමංකඩ ටෙලි නාට්‍යය සඳහා 2000 වසරේදී හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සඳහා සුමති සම්මානය දිනා ඇත.

ලයනල් අල්ගම සූරීන් විසින් හෙළ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ විශිෂ්ට නිර්මාණයක් ගැන නොකියාම බැරිය. ඔහුගේ ජීවිතයේ වසර 18 ක කැපවීමෙන් ඔහු ‘ ශ්‍රී වීණාව’ නමින් සංගීත භාණ්ඩයක් නිපදවීය. එයට මුලින්ම නම තබා ඇත්තේ ‘ සුර්තාර්’ යනුවෙනි. මෙම සංගීත භාණ්ඩය ඉතා ඉහළින් අගය කළ බෙංගාලි ජාතික සංගීත විශාරදයෙක් කියා ඇත්තේ මෙයට ලංකාවට උචිත නමක් යොදන ලෙසටය. ශ්‍රී වීණාව නමින් පසුව නම් කොට ඇත්තේ ඒ හේතුවෙනි.

ලයනල් අල්ගම සූරීන්ගේ විසින් සිදුකළ තවත් විශිෂ්ට කාර්‍යයක් වනුයේ පාසැල් කිහිපයකට පාසැල් ගීත නිර්මාණය කිරීමයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය සඳහා පාසැල් ගී නිර්මාණය කර ඇත්තේ ඔහුය. ඔහු තර්ස්ටන් විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස දිගු කලක් සේවය කර ඇත. එපමණක්ද නොව දහම් පාසැල් ගීතය වන සම්බුදු හිමිගේ සඳහම් සිසිලෙන් ගී තනුවද ඔහුගේ නිර්මාණයකි.

ලයනල් අල්ගමයන් විවාහ වී ඇත්තේ 1963 දීය. ඔහු අත ගත්තේ ගම්පහ ප්‍රදේශයේම පදිංචිව සිටි ශීලා ඔල්ගා පැට්‍රීෂයා වය. ඔහුට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතු චන්න සජීවනන්ද අල්ගම පදිංචිව සිටින්නේ එංගලන්තයේය. දෙවෙනි දියණිය යසසි මදාරා පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවෙය. බාල දියණියා අනුරාධා අල්ගමය. ඇය මොරටුව සොයිසාපුර මහල් නිවාසයේ පදිංචිව් සිටී.

හෙළ සංගීතයට මහඟු සේවයක් ඉටුකොට 2008 මැයි 18 වෙනිදා ජීවන ගීතයෙන් සමුගත් ලයනල් අල්ගම සූරීන් වෙනුවෙන් අද දින විශේෂ කටයුත්තක් සිදු කිරීමටට නියමිතයි. ඒ පිළිබද දැනුම්වත් කිරීමට අල්ගම පවුලේ බාල දියණිය අනුරාධා සරසවිය සමඟ එක්වූවාය.

අද දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ‘ සඳකත් පිනිදිය’ නමින් සංගීත සැදෑවක් පැවැත්වෙනවා. එය පැවැත් වෙන්නේ තාත්තාගේ අනූවෙනි ජන්ම දිනය වෙනුවෙන්. තාත්තාගේ උපන් දිනය 1935 මාර්තු 24 වෙනිදා. පසුගිය මාර්තු 24 මෙම ප්‍රසංගය පැවැත්වීමට මුලින් තීරණය වුවත් විවිධ හේතූන් නිසා එය කල් දැමීමට සිදු වුණා. මෙම සඳකත් පිනිදිය ප්‍රසංගය පැවැත්වෙන්නේ අද දින (අප්‍රේල් 24) සවස 6.00 ට විද්‍යාලීයය ප්‍රධාන ශාලාවේදී. මීට සමඟාමීව තර්ස්ටන් විද්‍යාලයේ 75 වන වජ්‍ර ජයන්තියද සමරනු ලබනවා. තාත්තා මිය ගියේ 2008 මාර්තු18 වෙනිදා. අවුරුදු 17 ක් ගතවුණා. මෙතෙක් ඔහු වෙනුවෙන් ගුණසමරු උළෙලක් පැවැත්වූයේ නැහැ. මම ස්තූතිවන්ත වෙනවා තර්ස්ටන් විද්‍යාලීයය ගරු විදුහල්පතිතුමා වන ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාට. එතුමාගේ මූලිකත්වයෙන් තර්ස්ටන් විද්‍යාලීයය පාසැල් සංවර්ධන සමිතියේ සියලුම සාමාජිකයන්ගේ එකමුතුවෙන් මෙම කටයුත්ත සංවිධානය කරනවා. මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ ජාතික ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයයි. සංගීත අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නේ විද්‍යාලයේ සංගීත ගුරුවරයා වන ලයනල් බණඩාර මහතායි. ඒ වගේම පාසැලේ සෞන්දර්ය අංශයේ සිසු දරුවනුත් මේ සඳහා ගායනයෙන් නර්තනයෙන් දායක වෙනවා. සුදත් සමරසිංහ, සමන්ත පෙරේරා, රොඩ්නි වර්ණකුල, දර්ශනි චන්ද්‍රසේන සහ අනුරාධා නන්දසිරි යන ගායක ගායිකාවන් ගීත ගායනයෙන් සහාය වෙනවා.

මට මගේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒක කියන්න වචන මදි. මට හිතෙන විදිහට ඔහුට නිසි ඇඟයීමක් සිදු වුණේ නැහැ. එනිසා තමයි මම මේ උපහාර උළෙල තියන්න තීරණය කළේ. ඒ සඳහා මට උදව් කළේ තර්ස්ටන් විදුහලේ විදුහල්පතිතුමා. මගේ තාත්තා තර්ස්ටන් විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස දිගුකලක් සේවය කර තිබෙනවා. ඒ වගේම පාසැලේ පාසැල් ගීතයත් එතුමා අතින් නිර්මාණය වුණා.

මෙම වටිනා කටයුත්තට උදව් උපකාර කළ සහයෝගය දුන් සෑම දෙනාටම මම මේ අවස්ථාවේ ස්තූතිය පුදකරනවා.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT