– ජර්මානු සම්මානනීය නිළි ‘සැන්ඩ්‍රා හුලර්’ විසින් ප්‍රශස්ත රංගනයක
– ජර්මානුවන්ගේ අමානුෂික ඝාතකාගාර ගැන කියැවෙන විශිෂ්ටතම චිත්‍රපටයක්
– සම්මානනීය මෙක්සිකානු අධ්‍යක්ෂ අල්ෆොන්සො කුරාන්ගේ අධ්‍යක්ෂණයක්
යමෙකු විසින් යටිගිරියෙන් මොරදීම, කෑගැසීම, මර ළතෝනි දීම යන විකෘතිමය සංසිද්ධිවල ගැබ්ව ඇත්තේ දැඩි ආතතිය (stress) වඩවන කම්පන සගහත තත්ත්වයකි. එය අනෙක් අතට අල්පෙනෙත්තක් වුව ද බිමට වැටෙන හෙඬහි සියුම් ශබ්දය දක්වා දෙසවනට නෑසෙන තරමට දැඩි නිහඬතාවයක් බවට පත් වූ විටත් ආතතියක් නිරායාසයෙන්ම නිර්මාණය වෙයි. සිනමාවට ශබ්දය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත්තේ ප්‍රේක්ෂකයාට මෙම සංසිද්ධි තුළින් නිර්මාණය වන මනෝභාවයන් සහ හැඟීම් සජීවි ලෙස සමීප කිරීමේ මෙවලමක් ලෙසිනි. 1927 වසරට පෙර සිනමාවට ශබ්දය පැමිණ තිබුණේ නැත. ප්‍රේක්ෂකයාට දැකගත හැකි වූයේ රූපය පමණී. නිහඬ සිනමාවට ශබ්දය පැමිණි විට සිනමාවේ එතෙක් තිබූ සියලු තාක්ෂණික කාරණා වෙනස් විය. 1927 දී හොලිවුඩයෙන් ලොව ප්‍රථම ශබ්දය සහ රූපය සමඟ සමපාතව පැමිණි ‘ජෑස් සිංගර්’ නමි ප්‍රථම කතානාද චිත්‍රපටය බිහි වන්නේ ප්‍රේක්ෂකයා මවිතයට පත් කරමින්. ඒ ආකාරයෙන් ශබ්දය චිත්‍රපටයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් විය.
ශබ්දය මිනිසාට අතිශය වැදගත් ය. ශබ්දය අපගේ ජීවිතයේම අවයවයකි. ආත්මීය ගනුදෙනුවකි. ශ්‍රවණය හරහා අපට ලැබෙන සියුම් ශබ්දවල සිට කන් බෙරය පුපුරා යන අන්දමේ ඉහළ පරාසයක ශබ්ද ඇසෙයි. දෙසවන සියුම් ය. දෙසවනට දරාගත ගත නොහැකි ශබ්ද පරාසය ඉක්ම වූ විට කන් බෙරය විනාශ වී යයි. දෙසවන මෙන් ජීවිතය ද ඉතා සියුම් ය. මනුෂ්‍යයෙකුගේ ජීවිතයට දරාගත නොහැකි බාහිර බලවේග පැමිණි විට විනාශයට පත් වේ. මරණය කරා පැමිණෙයි. ඇස් පියාගත්විට ශ්‍රවණය භාවනාවකි. ඒ නමුත් 2023 වසරේ තිරගත වූ ‘The Zone Of interest’ නම් සම්මාන පිට සමිමාන ලැබු බ්‍රිතාන්‍ය චිත්‍රපටයට ශ්‍රවණය කිරීම භාවනාවක් නම් නොවේ. එය සුන්දර එකක්ද? නොවේ. අහිංසක සිනමාපටයක්ද? නොවේ. එය ප්‍රේක්ෂකයාට ගෙනදෙන්නේ දැඩි කම්පනයකි. ජීවිතය පිළිබඳ කලකිරවනසුලු කම්පන දහරාවකි.
මේ වසරේ පැවති ලොව ප්‍රධානතම සිනමා උළෙල වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය (best foreign language Film) සහ හොඳම ශබ්ද සංස්කරණයට (best sound editing) පිදෙන සම්මාන ද්විත්වය ලබා ගැනීමට ‘The Zone Of Interest’ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට හැකි විය. ‘The Zone Of Interest’ චිත්‍රපටයේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ‘ජොනතන් ග්ලේසර්’ විසිනි. සම්මානනීය මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයකු වන අල්ෆොන්සො කුරාන් විසින් ‘The Zone Of Interest’ චිත්‍රපටය සියවසේ වැදගත්ම චිත්‍රපටය ලෙස නමි කළේය. හොලිවුඩයේ විශිෂ්ට සිනමාකරුවකු වන ‘ස්ටීවන් ස්පීල්බර්ග්’ පැවසුවේ තමන් අධ්‍යක්ෂණය කළ ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’ නම් යුදෙව්වන්ගේ සමූල ඝාතන ක්‍රියාදාමය පිළිබඳ කියැවෙන චිත්‍රපටයට පසුව ජර්මානුවන්ගේ අමානුෂික ඝාතකාගාර ගැන කියැවෙන විශිෂ්ටතම චිත්‍රපටය ‘The Zone Of Interest’ බවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘රුඩොල්ෆ් හොස්’ නම් ජර්මානු එස්.එස් නිලධාරියාගේ බිරියගේ චරිතය නිරූපණය කරන ජර්මානු සම්මානනීය නිළි ‘සැන්ඩ්‍රා හුලර්’ විසින් ප්‍රශස්ත රංගනයක් ප්‍රකට කරනවා. ඇය විසින් මේ වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී ‘Anatomy of a Fall’ නම් ප්‍රංශ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා පවා දිනා ගැනීමට සමත් වෙනවා.
චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වර්ෂ 1943දී දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන්ගේ අවුෂ්විට්ස් වධකාගාරය යාබදව වෙසෙන ජර්මානු නාසි පවුලක් වටායි. මෙම පවුල වනුයේ සැබෑවටම ජීවත් වූ අවුෂ්විටිස් වධකාගාරය සඳහා අණදෙන නිලධාරියා වන ‘රැඩොල්ෆ් හොස්ගේ’ නාසි පවුලයි. ඔහුගේ නිල නිවස තාප්පයකින් වට වී ඇත. ඉන් එපිට දිස්වන්නේ මිනිසකුට පහසුවෙන් පැන යා නොහැකි ලෙස ඉදි කරන ලද උස් තාප්ප සහ විෂ පොවන ලද කටු කම්බිවලින් වටකොට ඇති අවුෂ්විට්ස් වධකාගාරයයි. දෙවන ලෝක යුද සමයේ ජර්මානුවෝ විසින් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ගෑස් කුටීරවල ගාල් කර මරා දමමින්, අමු අමුවේ ශරීර පුලුස්සා දැමූහ. ‘The Zone Of Interest’ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා දකින අවුෂ්විට්ස් වධකාගාරය අසල පිහිටා ඇති ජර්මානු හමුදාවේ අණ දෙන නිලධාරියාගේ සුඛෝපභෝගී පවුල වෙසෙන නිවස පිළිබඳ දකින රූප සමුදායන් පෙළ ඔවුන් කෙරෙහි වෛරී සිතුවිලි පහළ කරයි. අණදෙන නිලධාරියාගේ සුඛෝපභෝගී නිවාසය දෙව්ලොවකි. නමුත් එහි යාබදව පවතින්නේ ජර්මානුවන් ඉදි කළ අපායකි. නාසි නිලධාරියාගේ නිල නිවස වටා විසිතුරු මල් සහිත පාත්ති, එළවළු වවා ඇත. මෙම මල් පාත්තිවල මල් විකසිත වන්නේ යුදෙව්වන් පුලුස්සා දැමූ මිනී අළු මතිනි. ඒ මිනී අළු විසින් නෙක නෙක පාටින් පිපුණ මල් පාත්තිවලට පොහොර වූ බව චිත්‍රපටය අපට සෘජුව ප්‍රකාශ නොකළ ද එය යුදෙව්වන් මරා දැමු ආකාරය පිළිබඳ ලියු ඉතිහාසයෙන් අපි දනිමු.
ජර්මානුවන් මේ තරම් යුදෙව්වන් සමඟ බද්ධ වෛරයක් ඇති කර ගත්තේ ඇයි? ද යන්න විමසා බැලිය යුතු ය. මිලියන ගණනක් යුදෙව්වන් ගෑස් කාමරවල සිරකල මරණයට පත්කිරීමෙන් අනතුරුව, මිනී කඳු ගණන් ගොඩ ගසා අමු අමුවේ පුළුස්සා දමන්නට තරමි වෛරයක් ඇති වුයේ මන්ද? ජර්මානුවන් සිතු පරිදි යුදෙව්වන් විසින් ඔවුන්ගෙන් කුමක් හෝ වටිනා දෙයක් සොරාගෙන ඇති බව ජර්මානුවන්ගේ අවිඥානික සිතේ පැළදියමි වීම මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වූ බවයි. එමෙන්ම ජර්මානුවන් සිතුවේ ඔවුන්ගේ ගැහැනුන් යුදෙව්වන් විසින් සොරකම් කිරීම වඩාත් ප්‍රචණ්ඩත්වයට පත් වීමට හේතු වු බවයි. හිට්ලර්ට යුදෙව් ජාතියේ නැඟී සිටීම උහුලන්නට නොහැකි විය. ඔවුන් මෙලොවින් අතුගා දමා මිහිපිටින් තුරන් කිරීමට පිඹුරුපත් සැකසූහ. ඔහුගේ දැඩි මතය වූයේ ඔවුන් සමූල ඝාතනය කර පණපිටින් පුලුස්සා දවා අළු කළ යුතු බවයි. හිටිලර් යුදෙව්වන් බහුතරයක් වාසය කළ පෝලන්තය පුරා යුදෙව්වන් පිලිස්සීමට ඝාතකාගාර ඉදි කළහ.
චිත්‍රපටයේ ගඩොලින් තැනු අවුෂ්විට්ස් නම් ඝාතකාගාර ගොඩනැගිල්ලේ අමු අමුවේ යුදෙව් සිරුරු දැවෙති. චිත්‍රපටයේ පසුබිම් ශබ්දවලට කන ළං කළවිට යුදෙව්වන් කෑ මොර දෙන ශබ්ද, වෙඩි හඬවල්, මර ළතෝනි දෙන සියුම් ශබ්ද සහ ගෑස් උඳුන්වලින් දැවෙන ශබ්ද, යන්ත්‍ර සුත්‍රවල ශබ්ද ඇසෙයි. එහෙත් චිත්‍රපටයේ කිසිදු තැනක එසේ වධබන්ධනයට ලක්වන රූප ප්‍රේක්ෂකයාට කිසිවිටකත් පෙන්වන්නේ නැත. චිත්‍රපටය විසින් මතුකරන පසුබිම් ශබ්දවලින් අපි සංකල්ප රූප ලෙස මවාගන්නෙමු. යුද්ධය හමුවේ පළමුවෙන්ම මිය යන්නේ මනුෂ්‍යත්වය යැයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත්, යුද්ධයේ කුරිරු ගිනිදැල් හමුවේ වුව ද මනුෂ්‍යත්වයේ සුවඳ යටපත් නොවේ. එය සතුරු මිතුරු දෙපාර්ශවයටම පොදු ධර්මතාවකි. මනුෂ්‍යත්වය පිළිබඳ අර්බුදයන් ද සියුම් තැන් ද චිත්‍රපටය පුරා ප්‍රකට කරයි. ‘The Zone Of Interest’ චිත්‍රපටය නරඹන්නට නම් දෙවන ලෝක යුද ඉතිහාසය කියවා තිබිය යුතුම ය. එසේ නොවුණහොත් ‘The Zone Of Interest’ චිත්‍රපටයට සවන් දීම නිශ්ඵල වෑයමක් බවට පත්වනු ඇත. ඉතිහාසය මඟින් අපට සැමවිටම ඇසෙන්නට සලස්වන්නේ මිනී පුළුටු ගඳීන් නික්මුණු කෑදර ලෝක සංග්‍රාමයේ අනිටු ප්‍රතිඵලයි. යුද්ධය සහ මනුෂ්‍යත්වයේ දියවීම පිළිබඳ සපථ කරන ‘The Zone Of interest’ යනු අපට මඟ නොහැර යා නොහැකි ගණයේ අපූරු චිත්‍රපටයක් බව කිව යුතුම ය.
ඉමල්ක විතානගේ