Home » වේදිකාව සිනමාවට ගේන එක වැරැද්දක්ද?

වේදිකාව සිනමාවට ගේන එක වැරැද්දක්ද?

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක

by Thanushika
March 13, 2025 9:28 am 0 comment

මෙරට ප්‍රකට සිනමා වේදියකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක කවදත් සිංහල සිනමාවට තම සිනමා නිර්මාණයන් එක් කරනු ලැබුවේ විවිධ වූ සිනමා ශෛලීන් ඔස්සේය. සිනමා නිර්මාණකරණයේ පර්යේෂකයකු ලෙසින් කවදත් සිනමා නිර්මාණකරණයේ යෙදෙන සෝමරත්නයන් එදා මෙදාතුර රැගෙන ආ සියලුම සිනමා නිර්මාණයන් හුදෙක් ඔහුගේ පර්යේෂණාත්මක සිනමා ගමනේ කඩඉම් සලකුණු විය. එකිනෙකට වෙනස් ශෛලියේ විවිධ වූ දිශානතියන් ඔස්සේ සිනමා නිර්මාණකරණයේ නියැළෙන සෝමරත්නයන් කවදත් පෙනී සිටියේ ප්‍රේක්ෂකයා වෙනුවෙනි.

සිනමා කර්මාන්තයේ නොයෙකුත් ගැටලුකාරී වටපිටාවන්වල සෘජුව හඬක් අවධි කළ සෝමරත්නයන් එක්තරා වකවානුවක සිනමා ශාලා ප්‍රේක්ෂකයා විසින් ප්‍රතික්ෂේප කර තිබු අවධියක තම නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා නැවත සිනමා ශාලා කරා රැගෙනවිත් වවුලන්ගේ ලැගුම් පොළවල් වී තිබූ සිනමා ශාලා යළිත් නගාසිටුවීමට හඬක් අවදි කළ සිනමාවේදියකු ද වේ. සෝමරත්න දිසානායක කියූ සැණින් ඔහු කළ සිනමා නිර්මාණයන් මතකයට එක්කරලන්නට තරම් මේ සිනමාවේදියා මෙරට කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සිත්සතන් සොරාගෙන අවසන්ය. කවදත් පේ‍්‍රක්ෂකයාට හිතන්න යමක් ගෙන එමිත් සමාජ ශෝධනයට පණිවිඩයක් රැගෙන ආ සිනමා නිර්මාණකරුවෙකු වූ සෝමරත්නයින් තව නොබෝ දිනකින් පේ‍්‍රක්ෂකයාට තවත් අලුත්ම අත්දැකීමක් තිළිණ කරන්නට මේ වනවිටත් සූදානම් වී අවසන්ය. තම දොළොස්වැනි සිනමා නිර්මාණය මෙවර ප්‍රේක්ෂකයන්ට රැගෙන එන්නේ මෙතෙක් පේ‍්‍රක්ෂකයා නොවිදි අත්දැකීමක් සමඟින් වීම විශේෂත්වයකි. කවදත් අපුර්වතම අත්හදා බැලීම් ඔස්සේ නිර්මාණකරණයේ නියැළෙන සෝමරත්නයන් මෙවර රැගෙන එනුයේ සංගීතමය වේදිකා සිනමා පර්යේෂණාත්මක නිමැවුමකි. මෙය හුදෙක් මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් වනවා නොවනු මානය. ලොව වෙනත් රටවල මෙවැනි ගණයේ සිනමා කෘති මේවන විටත් නිර්මාණය වී තිබුණද ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයක සිනමා නිර්මාණයන් තැනෙන ප්‍රථම අවස්ථාවද මෙයම වේ. ‘සරෝජා’ සිනමා නිර්මාණයෙන් සිනමාව ස්පර්ශ කළ සෝමරත්නයන් තමන් මෙතෙක් අවසන් වරට පේ‍්‍රක්ෂකයාට තිළිණ කළ සිංහබාහු සිනමා කෘතිය දක්වා සිදුකළ නිර්මාන ක්‍රමවේදයෙන් බැහැරව අපූර්වතම සිනමා අත්දැකිමක් මෙතෙක් තමන් වටාරොද බැඳි සිනමා ලෝලීන්ට රැගෙන එයි. තම දොළොස් වැනි සිනමා නිමැවුම ඔහු මෙවර නම් කොට ඇත්තේ ‘කපුටු කොහෝ’ නමිනි. ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ මේ කතාබහේ දිගහැරුම ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ‘කපුටු කොහෝ’ ගැනය.

මෙවර ඔබේ දොළොස්වන සිනමා දිග හැරුම වන්නේ?

‘කපුටු කොහෝ’

නම ඇහෙන කොටම අපේ මතකයට එන්නේ පුංචි කාලේ අපි අසා ඇති කපුටු කුඩුවේ කොහා බිත්තර දාන කතාව?

ආයෙ තව හිත හිත ඉන්න දෙයක් නෑ. අපි පුංචි කාලේ. අහපු අපේ පරිසරයේ අදටත් සැබෑ ලෙසම සිද්ධ වෙන ඒ කථාව තමයි මම මේ කපුටු කොහෝ චිත්‍රපටය කරන්නත් පාදක කරගත්තේ. කොහා කපුටු පලහිලව්ව පාදක කරගෙන ‘සහෝදරත්වය ජාතික සමගිය, සහජීවනය, මේකතාවට යටිපෙළ අර්ථයක් එකතු කරමින් තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ.

කපුටු කොහෝ කවදද ප්‍රේක්ෂක ජනතාවට දැකගන්න ලැබෙන්නේ?

වැඩි ඈතක නෑ. කපුටු කොහෝ සිනමා නිර්මාණය මහජන ප්‍රදර්ශනය සඳහා අපි මාර්තු මාසයේ දෙවන සතියෙන් පසු ඒ අවස්ථාව උදාකරන්න තමයි මේ වනවට සැලසුම් කරල තියෙන්නේ. ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලාවල තමයි අපි මෙය ප්‍රදර්ශනය සඳහා සැලසුම් කරල තියෙන්නේ දැනට. ප්‍රදර්ශනය වන රාණි චිත්‍රපටයෙන් පසු මගේ කපුටු කොහෝ සිනමා තිරය ආක්‍රමණය කරයි.

ඊ.ඒ.පී.මණ්ඩලයේ සිනමා ශාලාවලට පමණක් සීමා කරනවාද කපුටුකොහෝ?

නෑ. දැන් තියන මණ්ඩල ක්‍රමවේදය අනුව කුමක් හෝ මණ්ඩලයක් ප්‍රධාන වෙන්න ඕනේ. අපේ ප්‍රධාන මුදාහැරිමේ මණ්ඩලය වන්නේ ඊ.ඒ.පී. මේ මණ්ඩලය මඟින් අනෙකුත් සිනමා ශාලා මණ්ඩල වල සිනමා ශාලාත් අරගෙන මේ කටයුත්ත සිද්ධ කරනවා.

මාර්තු අගභාගයේ පේ‍්‍රක්ෂකයාට රසවිදින්න ඔබ රැගෙන එන ‘කපටු කොහෝ’ මොනවගේ තේමාවක් ඔස්සේ ද නිර්මාණය කරල තියෙන්නේ?

මේ චිත්‍රපට නිර්මාණය අත්හදා බැලීමක්. මේක පර්යේෂණාත්මක නිර්මාණයක්. කපුටාගේ කුඩුවේ කොහා බිත්තර දාලා ඊට පස්සේ ලොකුවෙන කොට කොටල පන්නලා දානවා. ඒක ඇත්තටම සිදුවන දෙයක්. මමත් ඕක කුඩා කාළේ අත්විඳි දෙයක්. දැකපු දෙයක්. මම මේ සිද්ධිය ගැන හිතුවා නිර්මාණකරුවෙක් විදියට අපේ රටේ තියන ජනවාර්ගික අර්බුදය ගැන අදහසක් දක්වන්න මේක හොඳ පසුතලයක් කියා. මොකද එක කුඩුවේ පැටව් හැදෙනවා. කපුටුපැටව් දෙන්නයි කොහෝ පැටව් දෙන්නයි උන් දන්නෑ මොන ජාතියේද මොන භාෂාවද කතාකරන්නේ කියා. ලොකු වෙනකොට කොහෝ පැටව් කොහෝ කොහෝ කියනවා. කාක් පැටව් කාක් කාක් කියනවා. එතකොට තමයි කොටල පන්නා දමන්නේ. මෙතනදී මම කියනවා එකට හැදුණු පැටව් සහෝදරයෝ වගේ දැන් ඉන්නවා ඔවුන් කියනවා අපිට වෙන් වෙන්න බෑ. අපි හැදුණේ එකට උපන්නේ එකට. අපිව කවල පොවල හැදුවේ එකට. ඔයාලගේ ජාති භේද භාෂා ප්‍රශ්න අපිට ප්‍රශ්න නොවෙයි. අපිට වෙන්වෙන්න බෑ. අපිට එකට ඉන්න ඕිනෙ කියලා. ඔන්න ඕකනේ වෙන්න ඕනේ. අපේ රටෙත් සිංහලද දෙමළද, මුස්ලිම් ද කියන එක නොවෙයිනේ. එකට ඉපදුණා නම් එකට ඉන්න ඕනේ. කපටු කුඩුව ලංකාව කියල හිතන්නකෝ. එහෙම හිතල මම කිව්ව කතාව එකට ගළපල බලන්නකෝ. මේ චුටි ළමයින්ගේ ප්‍රශ්නය චුටි ප්‍රශ්නයක් නොවෙයි. ඒක් අපේ ජාතික ප්‍රශ්නයක්. මේ චිත්‍රපටයට මම පාදක කරගත්ත කතාව සුළු කතාවක් නොවෙයි. මේක දැවැන්ත කතාවක්. මේකට අපි ගන්න පසුතලය සුූළු දෙයක් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ තවමත් සෝමරත්නයන් අත්හදා බලන සිනමාකරුවෙක් කියනඑකද?

ඔව් මම අත්හදා බැලීම අත්හරින්නේ නෑ. ඕනෙම කෙනෙක් මම ඉගෙන ගෙන ඉවරයි. අධ්‍යයනය කරල ඉවරයි. කියල හිතන එකක් නෑ. අපි දවසින් දවස මොනව හරි දෙයක් අත්හදා බලනවා. මම කරල තියන නිර්මාණ අනුව මම වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. ඊට පස්සේ ටෙලි නාට්‍ය කළා. ඊට පස්සේ සිනමාව අධ්‍යයනය කළා. ඉන්පසු මම සිනමා නිර්මාණ කරන්න පටන් ගත්තේ. කපුටු කොහෝ නිර්මාණය වේදිකාව සිනමාව කියන දෙකේම සංකලනයක්. සම්මිශ්‍රණයක්. වේදිකාවක් කොහොමද සිනමාවට ගේන්නේ කියන දේ තමයි මගේ පර්යේෂණය ඕඩියන්ස් එක මේක විදින්නේ කොහොමද මේක ලංකාවට නුහුරු දෙයක්. පිටරට වල මේ වගේ නිර්මාණ තැනෙනවා. මම පිටරට දී මගේ පශ්චාත් උපාධිය සඳහා මෙම සිනමා ක්‍රමවේදය අධ්‍යයනය කළා. තාම මේ දේ ලංකාවට හුරු නෑ. විදෙස් රටවල තිබුණ සිනමා ක්‍රමවේදයක් මම ලංකාවට දෙන්න තමයි මේ අත්හදා බැලීම සිද්ධ කළේ.

මම මුලින් කිව්ව වගේ මෙවැනි සිනමා නිර්මාණ මේ වනවිටත් ලෝකයේ තියනවා. පේ‍්‍රක්ෂකයෝ රසවිඳිනවා. මෙහෙමයි මේ වනවිටත් වේදිකාවේ යම් යම් කොටස් අරගෙන නිර්මාණය වූ චිත්‍රපට තැනිල තියනවා. නමුත් මුළු නිර්මාණයම වේදිකාවක කෙරුණු නිර්මාණයක් මෙතෙක් කෙරිල තිබුණේ නෑ. ඒ අවස්ථාව පළමු වරට මෙරට සිද්ධ කරන්නේ මම.

අපි වේදිකාවක දකින සාම්ප්‍රදායික නාට්‍යයක් ඔබ සිනමාශාලාවක පෙන්වනවා. චිත්‍රපටයක් විධියට කියල කිව්වොත්? එහෙම නැත්නම් මේ ආකාරයේ අර්ථයකින් කවුරු හරි ඔබට චෝදනාවක් ගෙන ආවොත්?

මම හිතන්නේ එහෙම චෝදනාවක් කළොත් ඒක කිසිම සාධාරණයක් නැති පදනම් විරහිත චෝදනාවක්. වේදිකා පේ‍්‍රක්ෂකාගාරයක ඉඳලා වේදිකාවක තියන සිනමාව අපි සිනමා ශාලාවේ හිදිමින් තිරයෙන් බලන්න සලස්වනවා නම් ඒකෙ කිසි වැරැද්දක් නෑ. අපි තාක්ෂණයේ එකම තැන හිරවෙලා ඉන්න ඕනේ නෑ. වේදිකා නාට්‍ය හැදුණේ සිනමාව එන්න කලින් වේදිකාවක් මුලින් තිබුණේ නෑ. කමත්වල, හංදි වල, ගස්යට තමයි මුලින් නාට්‍ය පෙන්නුවේ. ඊට පස්සේ ඒක වේදිකාවට ආවා. එතනදි කාටහරි චෝදනා කරන්න පුළුවන්නේ මේ කමතේ කරපු නාට්‍ය ශාලාවලට ගෙනියනවා අපේ නාට්‍ය සම්ප්‍රදාය කඩ කරනවා කියලා එදත් චෝදනා කරන්න තිබුණේ. මේක තමයි අත්හදා බැලීම කියල කියන්නේ. කාගෙන්වත් තහනමක් තියනවාද? සිනමා ශාලාවේ ඉඳගෙන සිනමා තිරය මත අපිට වේදිකා නාට්‍යයක් බලන්න බැරිද?

එතකොට සෝමරත්නයන් කපුටු කොහෝ කරන්නෙත් වේදිකා නාට්‍යයක් විදියට සිනමා තිරය මත පෙන්වීමට පමණක්ද?

කෙලින්ම වේදිකා නාට්‍යයක් රූපගත කරල මෙතනදී පෙන්වන එක නොවෙයි කරන්නේ. සිනමා තාක්ෂණය මෙතනට ඇතුළත් කරගන්නවා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක් කරන කොට සිනමා තාක්ෂණය අපි භාවිත කරන්නේ නෑනේ. නමුත් මෙතනදී අපි සිනමාකරණය භාවිත කරමින් කැමරා කෝණ සමීප රූප. මධ්‍ය රූප දුර රූප විශේෂයෙන් හඬපටය වේදිකා නිර්මාණයක හඬපටයක් කොහෙත්ම නෑනේ. වේදිකාවෙන් ඇහෙන දේ විතරනේ අපිට ඇහෙන්නේ. නමුත් මෙතනදී ඩොල්බි සරවුන්ඩ් ශබ්දය අපිට ඇහෙනවා. මේ නිර්මාණකාර්ය සිනමා තාක්ෂණය හා වේදිකා ශිල්පය මිශ්‍රණයක් ඒකයි මේක අලුත් අත්හදා බැලිමක් කියලම කිව්වේ. මේක රසවිදින්නම ඕනේ විදලම බලන්න ඕනේ. දැනුණද නැද්ද කියලා.

ඔබ වේදිකාවේ තියන පින්තුර සිනමාවට ගෙනත් කියලා මම කිව්වොත්?

මම ඒකට දෙන උත්තරය ඔව්. ඇයි ඒක වැරැද්දක් ද? වේදිකා ශිල්පීය ක්‍රමවලින් වේදිකාවේදී පේ‍්‍රක්ෂකයාට සමීප කරන්න අසීරු තැන් තියනවා. අපි එතනදි වේදිකා නිර්මාණයකදී එය පිරිමසා ගැනීමක් කරනවා. නමුත් සිනමා රූපීයව එය කිරිමේදී අපිට දර්ශනයක සමීප රූප ගෙන මුහුණේ ඉරියව්වක් ඇහිපිල්ලම් ගැසිමක් පවා ප්‍රේක්ෂකයාට දැනෙන්න දකින්න සලස්වන්න පුළුවන් කැමරා චලනයන්ට ගිහින් රූප බද්ධ කිරීම්වලට අපිට යන්න පුළුවන්. මේ වගේ දේවල් කිරිම මත පේ‍්‍රක්ෂකයාට වඩාත් සාධාරණයක් වේදිකා සිනමා නිර්මාණයෙන් නිර්මාණකරුවාට කරන්න පුළුවන්.

වේදිකා නාට්‍යයක් සිනමාවේ පෙන්වනවා කියල කවුරුහරි චෝදනා කරනවා නම් මම කියනවා. ඔව් ඇයි ඒකේ වැරැද්ද. පේ‍්‍රක්ෂකයාට ඒක විදින්න පුළුවන් නම් ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් ඒකේ තියන වරද මොකක්ද? හැබැයි පේ‍්‍රක්ෂකයාට දැනෙන්නේ නැත්තම් පේ‍්‍රක්ෂකයාට විදින්න බැරි නම් ඒක වේදිකා නාට්‍යයක් වුණත් වැඩක් නෑ. චිත්‍රපටයක් වුණත් වැඩක් නෑ.

දැවැන්ත සිනමා නිර්මාණයන් කළ සෝමරත්නයන් ඇයි මෙවැනි උත්සාහයක නියැළියේ. ප්‍රේක්ෂකයෝ වුණත් ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඔබ කරපු නිර්මාණයන්ගෙන් එහාට ගිය තවත් නිර්මාණයක් නොවෙයිද?

නිර්මාණයක් දැවැන්ත හෝ සුළු වෙන්නේ අපි ඉදිරිපත් කරන කතා සංකල්පයෙන් නොවෙයි. සමහරවිට අපිට කුඩා සංකල්පයකින් දැවැන්ත නිර්මාණයක් කරන්න පුළුවන්. දැවැන්ත බව එන්නේ අපි කරන ප්‍රකාශය මොකක්ද, ප්‍රේක්ෂකයා එයින් ලබාගන්නේ මොකක්ද ඔහු මේක කොයි තරම් දුරට විදිනවාද කියන දේ මත තමයි. එය දැවැන්ත ද සුළු ද වෙන්නේ ඉතා සුළු දේකින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්.

සෝමරත්නයන් සිනමාකරුවකු ලෙස මීට කලිනුත් ජනවාර්ගික ප්‍රශ්නයකට අදාළව සිනමානිර්මාණ කරමින් සමාජයට හිතන්නට ඉඩ හරසර විවර කරවු නිර්මාණකරුවෙක්. එයට කදිම උදාහරණයක් ඔබගේ ‘සුනාමි’ චිත්‍රපටය පුංචි සුරංගනාවි චිත්‍රපටය, සරෝජා චිත්‍රපටය හැමදාමත් ඔබ මේ ප්‍රශ්නය ගැන විවිධ අයුරින් නිර්මාණ හරහා කතා කළා. මේ වනවිට කපුටු කොහෝ නවතම සිනමා නිර්මාණයත් එහෙමයි. නිර්මාණකරුවෙකු ලෙස ඔබ ගත් උත්සාහය යම් අයුරකින් සමාජය නව දැක්මකට ඔසවා තැබුවා කියලා ඔබට සතුටුවෙන්න පුළුවන්ද?

නිර්මාණකරුවෙකු හැටියට මම ගත්ත වෑයමේ ප්‍රතිඵල මිනිස්සුන්ට දැනිල තියෙනවා. නිර්මාණයකින් පස්සේ සියලු ප්‍රශ්න විසදෙනවා කියලා මම කියන්නේ නෑ. මිනිස්සුන්ට හිතන්න දෙනවා ඒක තමයි කලාකාරයා කරන්නේ සිනමාවෙන් විතරක් නොවෙයි කවිය, කෙටි කතාව, නවකතාව, වේදිකාව, චිත්‍ර, මුර්ති, සංගීතය මේ හැමදේකින්ම අපි කරන්නේ ප්‍රේක්ෂක ජනතාවට හිතන්න යමක් දීම. ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ මම කරන හතරවැනි චිත්‍රපටය මේක. මීට පෙර සරෝජා, පුංචි සුරංගනාවි, සුනාමි චිත්‍රපට මම කරලා තිබුණා. මේ හැම කතාවකින්ම මම කතා කළෙත් ජාති ආගම් භේදය ඒකෙම දිගුවක් හැටියට තාක්ෂණය ඇතුළේ වෙනම සංකල්පයක් මත මම කපුටු කොහෝ නිර්මාණය කළා.

සිනමා තාක්ෂණයේ උපරීමය පේ‍්‍රක්ෂකයාට අත්විදින්න මීට කලින් නිර්මාණයන් කළ ඔබ අද වෙනකොට ඒ තාක්ෂණය ඔබේ නිර්මාණයන්ගෙන් බැහැර කරලද? කපුටු කොහෝ සිනමා නිර්මාණය තාක්ෂණයේ උපරිමය අත්විදිය හැකි නිර්මාණයක් හැටියටද ඔබ නිර්මාණය කොට ඇත්තේ?

සිනමාවේ තාක්ෂණය අපිට විවිධ පැතිවලින් නිර්මාණයට ගේන්න පුළුවන්. හඬ පටය ගත්තොත් කපුටු කොහෝ සඳහා මම ගීත පැත්තෙන් මගේ අනෙකුත් චිත්‍රපට නිර්මාණවලට වඩා එහා ගිහින් තියනවා. මේ චිත්‍රපටයේ ගීත තියනවා 26ක් ඒ සියලු ගීත ඩොල්බි ඩිජිටල් 7.1 තාක්ෂණය යටතේ නිර්මාණය කරල තියෙන්නේ. ඒ නිසා මගේ අනෙක් චිත්‍රපට වලට වඩා එහාගිය හඬ පටයක් මෙහි තියනවා. මගේ මේ චිත්‍රපටයට අවශ්‍ය නොවන බොහෝ දේ මම අයින් කරල තියනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග මම අරගත්තේ නෑ. ඇඳුම් ආයිත්තම් එතරම් අවශ්‍ය වුණේ නෑ. වේදිකා පසුතල මට අවශ්‍ය වුණේ නෑ. නිර්මාණයට අවශ්‍ය නොවුණ නිසා බලෙන් ඔබ්බන්න ගියේ නෑ.

තමාගේ චිත්‍රපට නිර්මාණයේ කොලිටිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වූ සිනමාකරුවෙක් වශයෙන් ඔබ මීට පෙර අවස්ථාවලදී දැඩි තීන්දු තීරණමත හෝල් හිමියන් සමඟ ගනුදෙනු කළ කෙනෙක්. ඒ ස්ථාවරය කපුටු කොහෝ නිර්මාණයටත් අදාළ ද?

ඔව්. ම් ච්ර්‍ථඛ් තාක්ෂණය තියන සිනමා ශාලාවලට මම කිසිදු විවාදයකින් තොරව මේ චිත්‍රපටය මුදා හරිනවා. නමුත් 2ම් නැති සිනමා ශාලාවකට මගේ නිර්මාණය දෙනවා නම් ඔවුන්ගේ තාක්ෂණික පහසුකම් ගැන අධ්‍යයනයක් කර ඉන්පසුව මම සෑහීමකට පත්වෙනවා නම් පමණයි මගේ නිර්මාණය මම දෙන්නේ. අපි තියන ඉහළම තාක්ෂණය දාල චිත්‍රපට කරනවා පේ‍්‍රක්ෂකයා පැත්තෙන් හිතලා. නමුත් ඒ දේ චිත්‍රපටශාලා වලින් ඉටුවෙන්නෑ නම් අපේ උත්සාහයෙන් ඇති වැඩක් නෑනේ.

මෑතකදී සිනමා ශාලාවල තිරගත වී අවසන් වූ සිංහබාහු සිනමා නිර්මාණයේ අවසානයත් සමඟ ද ඔබ කපුටු කොහෝ නිර්මාණය වෙත යොමුවුණේ?

මම මේ චිත්‍රපටයේ පිටපත ලිව්වේ මීට අවුරුදු හතරකට පහකට පෙර නමුත් මේ චිත්‍රපටය මට කලින් කරන්න අවශ්‍ය වුණා. නමුත් අපේ කණීඩායමේ සමහරුන්ට තිබූ දිනවාකවානු ප්‍රශ්න නිසා විශේෂයෙන් ජැක්සන් ඇන්තනී නිසාවෙන් සිංහබාහු චිත්‍රපටය පළමුව නිර්මාණය කරන්න සිද්ධ වුණා. මට ජැක්සන් ඕනෙ වුණා සිංහබාහු චරිතයට. ඒ නිසාම ජැක්සන්ට තිබුණ කාර්ය බහුලත්වය මත මගේ අනෙකුත් වැඩ පස්සට දාලා සිංහබාහු මුලින් කළා. එහෙම නොවෙන්න මීට අවුරුදු පහ හයකට කළින් කපුටුකොහෝ නිර්මාණය වෙන්න තිබුණේ.

යම් අයුරකින් ‘කපුටුකොහෝ’ නරඹපු කෙනෙක් කිව්වොත් අපි සෝමරත්නයන් ගෙන් බලාපොරොත්තු වුණේ සිංහබාහු සිනමා නිර්මාණයට එහා ගිය. සිනමා අත්දැකීමක් අත්විදින්න කියලා.

චෝදනා එයි. ලෝකයේ තියන ඉහළම තාක්ෂණයෙන් නිර්මාණයක් කළත් අපිට ඔය තරම් තාක්ෂණයක් ඕනෙ නෑ කියලා. මීට කලින් මම සුනාමි චිත්‍රපටයට ඩොල්බි ඩිජිටල් සරවුන්ඩ් ශබ්දය දැම්මා. එතකොට සමහරු මට චෝදනා කළා. මෙච්චර තාක්ෂණයක් ලංකාවට ඕනෙ නෑනේ කියලා ඒ වෙනකොට ලංකාවේ සරවුන්ඩ් සවුන් තිබුණු සිනමාශාලා තුනයි ලංකාවට තිබුණේ. සැවෝයි 3ච් කැන්ඩි සිටි සෙන්ටර් ර්‍ථඍඅ සිනමා ශාලා විතරයි. ඊට පස්සේ නව සිනමා ශාලා කීපයක් හැදුණා. සුනාමි වෙනුවෙන් මම ගත්ත උත්සාහයේ ඉහළම ප්‍රතිඵලය අත්විදින්න ලැබුණේ ඔය සිනමා ශාලා තුනේ චිත්‍රපටය නරඹපු පේ‍්‍රක්ෂකයන්ට විතරයි.

දැන් අද වෙනකොට ඒ ඉහළ තාක්ෂණයට ඔබ යන්නැද්ද?

ඒකට විශාල මුදලක් වැය කරන්න ඕනේ සරවුන්ඩ් සවුන්ඩ්වලට යනකොට අපි ට්‍රැක් 64ක් කරන්න ඕනේ. දැනට අපි යන්නේ 7.1 5.1 සරවුන්ඩ් සවුන්ඩ් ලංකාවේ කරන්න අපහසුයි ඉන්දියාවට යන්න ඕනේ. ඒත් කමක් නෑ ලංකාව පුරා ඒක පේ‍්‍රක්ෂකයන්ට රසවිදින්න පුළුවන් නම් එහෙමත් නැතුව අච්චර වියදමක් කරල අතළොස්සක් ප්‍රේක්ෂක්යන්ට එය ලබාදීම වියදමත් එක්ක වටින්නේ නෑ. දැන් මම යන්නේ 7.1 ඒක ලංකාවට ඇති. එහෙම කරලත් වැඩියි කියන අය ඉන්නවා. නමුත් මගේ ප්‍රතිපත්තියක් තියනවා මම චෝ්දනා වලට ප්‍රශ්න වලට බය නෑ එහෙම බයවෙලා වැඩ කරන්න බෑ. දැනටත් මගේ මේ චිත්‍රපටය එන්න කලින් ඉදලම කොටසක් බලන් ඉන්නවා. ප්‍රශ්න කරන්න චෝදනා කරන්න. හැබැයි ඒ හැම එකකටම මම ළඟ පිළිතුරු තියනවා. මගේ පේ‍්‍රක්ෂකයෝ මගේ නිර්මාණ බලනවා නම් ඒ මට හොඳටම ඇති. මම නිර්මාණ කරන්නේ විචාරකයන්ටත් විනිශ්චය මණ්ඩල වලටත් පඩිවරුන්ටවත් නොවෙයි. මම මගේ නිර්මාණ හදන්නේ මේ රටේ පේ‍්‍රක්ෂක ජනතාවට මම ඔවුන්ගේ බුද්ධියට කතා කරනවා. ඔවුන්ට වැදගත් දෙයක් දෙනවා ගෙදර ගෙනියන්න. පුංචි දරුවන්ට සිනමා රසයෙන් කිසියම් පණිවිඩයක් දෙනවා ගෙදර ගෙන යන්න.

කපුටු කොහෝ හරහාත් මම කතා කරන්නේ පොඩි ළමයිගේ ප්‍රශ්නයක් නොවෙයි. වැඩි හිටියන්ගේ ප්‍රශ්නයක්. ජාතිවාදය, භාෂා ප්‍රශ්නය මත ඇන කොටා ගන්නා එක මේ රටේ තියන ප්‍රශ්නයක්නේ. මැතිවරණ දිනන්න ආයුධයක් කරගත්ත දෙයක්නේ ජාති වාදය වර්ගවාදය මේ ගැන දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ආනන්දය වගේම ප්‍රඥාවත් ලබාදෙනවා චිත්‍රපටය සමඟින්.

ඔබේි සිනමා ශෛලියේ වෙනසක් ඇතුව නිර්මාණය කළ ‘කපුටු කොහෝ’ සිනමා නිර්මාණයේ දැකිය හැකි සුවිශේෂී වෙනස්කම් මොනවාද?

ප්‍රධාන වශයෙන් මෙහි මම භාවිත කරන සංගීතය විශේෂයි. අපේ දේශීය සංගීතනාද රටා ආශි‍්‍රත සංගීත රටාවන් මෙහි දකින්න තියනවා. වන්නම්, ශාන්තිකර්ම, පැල්කවි, කරන්ත කවි, පතල් කවි උඩරට පහතරට ගායනා ශෛලින් මේක තමයි මේ චිත්‍රපටයේ සංගීත රටාව ඒත් ඉතාම වැදගත් දේ තමයි. මුළු චිත්‍රපටය පුරාම තියෙන්නේ දේශීය නාද රටා මේකත් අත්හදා බැලීමක් මහාචාර්ය සමන් පනාපිටිය තමයි මෙහි සංගීත නිර්මාණය කළේ. ඉතා වෙහෙස මහන්සි වී ගීත විසි හයක් වෙනුවෙන් ඔහු සංගීත නිර්මාණය කළා. ගීත 26 ක චිත්‍රපටයක් ලංකාවේ මීට පෙර තැනිල නෑ.

ඔබ කියන්නේ ලංකාවේ ගීත 26ක් ඇතුලත් චිත්‍රපයටයක් හදපු පළමු නිර්මාණකරුවා ඔබ කියලද?

ඔව්. මීට කලින් කවුරුවත් කරල නෑ. මීට පෙර වැඩිම ගීත ප්‍රමාණයක් අඩංගු වෙලා තිබුණ චිත්‍රපටය වුණේ සෑඩ සුළං එහි ගීත 15ක් අඩංගු වෙලා තිබුණා. මම ගීත 26ක් සමඟ චිත්‍රපටයක් කළා කියල ආඩම්බර වෙන්නෑ. ඕනිනම් තවකෙනෙකුට ගීත තිහක් දාලා චිත්‍රපටයක් කරන්නත් පුළුවන්. මේ ගීත සියල්ලම රචනා කරන්නෙත් මම.

සෝමරත්නයන් සිනමාකරුවෙක් පමණක්ම නොවෙයි. ගීත රචකයෙක් ලෙසත් කීර්තිය අත්කරගත් ගේය පද රචකයෙක්?

මෙතෙක් මම තැනුව වේදිකා ටෙලි නාට්‍ය චිත්‍රපට සියල්ල වෙනුවෙන් ඇතුළත් සියලු ගීත මගේ ගී රචනා. ගීත රචනය කියන දේ මම පි‍්‍රය කරන තවත් කලා මාධ්‍යයක්. ගීත රචනය හා කවිය මගේ පි‍්‍රයතම විනෝදාංශයක්. මගේ පාසල් සමයේ කාව්‍ය රචනයටත් මට සම්මාන ලැබිල තියනවා. සිනමාවට වගේම කාව්‍ය රචනා වලට මගේ පාසල් සමයේ මට සම්මාන ලැබිල තියනවා.

අද ඔබ සිනමාකරුවෙක් කියන නාමමාත්‍රයෙන් ඔබේ දක්ෂතා කොටුකරගෙන ද ?

ගීත රචකයා, වේදිකා නාට්‍යකරුවාම, ටෙලි නාට්‍ය නිර්මාණකරුවා කියන හැමදේම යටපත්වෙලා අද සෝමරත්න දිසානායක සිනමා වේදියෙක් ලෙස හඳුන්වන්න පටන් අරන්. කොහොමත් යුගයේ කරන වැඩත් කියන දේත් එක්කනේ. හන්වඩුව ගහන්නේ.

ගීත 26ක් ඇතුළත් ‘කපුටු කොහෝ’ සිනමා සිත්තම තිරයේ දිගැහැරෙන්නේ. කාව්‍යම දෙබස් ස්වරූපයෙන්ද?

අතරින් පතර සාමාන්‍ය දෙබස් එනවා. ගීත වලින් සම්බන්ධීකරණය වෙනවා. සම්පුර්ණයෙන්ම ගීත පමණකින් කියවෙන චිත්‍රපටයක් නොවෙයි. මෙහි ඇතුළත් ගීත රචනා කරන්න සාමාන්‍ය ගීත රචනයක් කරනවාට වඩා අසීරු කර්තව්‍යයක් වුණා. ජන සංගීත රටා පිළිබඳ දැනුමක් ඇතුව තමයි මෙහි ගීත රචනය කරන්න සිදුවුණේ. ජන සංගීත නාද රිද්ම රටාව දැනගෙන තමයි මට ගීත රචනයේ නියැළෙන්න සිදුවුණේ. එහෙම නොවෙන්න. මම ලිව්ව දේට තනුව දානකොට, ගායනා කරනකොට නොයෙක් ගැටලු ඇතිවෙන්න තිබුණා. එවැනි දැනුමක් නොමැතිව ලිව්වා නම් දේශීය නාද රටා බොහොමයක් මේ චිත්‍රපටයට ඇතුළත්. දේශීය නාද රටාවන්ට බොහොම අභිරුචියක් දක්වන කෙනෙක් මම.

කපුටුකොහෝ සිනමා අත්දැකීම කොපමණ කාලයක් පුරා ගලාගෙන යනවාද?

පැය එකකුත් විනාඩි තිහක්

පර්යේෂණයක් බව පවසමින් ඔබ මේ කපුටුකොහෝ සිනමා නිර්මාණය කළත් එය නොසිතූ ලෙස පේ‍්‍රක්ෂකයා වැලඳ ගත්තොත් මෙතෙක් ඔබ රැගෙන ආ ආකාරයේ සිනමා නිර්මාණයන් වෙත නැවත නොයනවාද?

නෑ. මේක සාර්ථක වුණා කියලා ඊට පස්සේ කරන ඒවා මෙහෙම කරන්නෙ නෑ. මේකෙන් පසුව කරන්න මට තව පිටපත් කීපයක් තියනවා. මෙවැනි ආකාරයේ දෙයක් හුගාක් පසුවට කරන්න බැරිකමකුත් නෑ. මම කැමැතියි මම කරපු මේ පර්යේෂණය අපේ රටේ ඉන්න දක්ෂ නාට්‍ය නිර්මාණකරුවන් තවත් ඉදිරියට ගෙන යයි කියලා. මම ආරාධනා කරනවා මේ රටේ වේදිකාවේ ඉන්න නිර්මාණකරුවන්ට තමන්ගේ වේදිකා නිර්මාණය සිනමාවට ගේන්න කියලා. ඒක නිර්මාණකරුවන්ටත් හොඳයි. ප්‍රේක්ෂකයන් පැත්තෙනුත් හොඳයි. අපිට වේදිකාවේ පෙන්නන්න බැරි දේ සිනමාවේදී සවිස්තරාත්මකව පෙන්වන්න පුළුවන්.

සිනමා කර්මාන්තයේ නියැළෙන්නන් වශයෙන් ඔබලාට ගැටලු රාශියක් තිබුණා. ඒවා මේ වෙන කොට විසදිලා ද?

තවම නෑ. අපි අපේ පැත්තෙන් කරුණු කාරණා කියල ඉවරයි. රජය පැත්තෙන් වෙන්න ඕනේ දේ වෙනකත් අපිත් කාලයක් දීල තවම බලන් ඉන්නවා. සිනමාවේ අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ ශාලාහිමියෝ බෙදා හරින්නන් මේ හැමෝම එකුතුවෙන් හදපු යෝජනා වලියක් තියනවා. එහි පිටපත් රජයට ලබාදීල තියනවා. අපි කියන්නේ සාකච්ඡා ඕනේ නෑ. ඒක ක්‍රියාත්මක කරන්න කියලා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT