Home » වෙස් ගැන්වීමේ වසන්තයක නිමාව

වෙස් ගැන්වීමේ වසන්තයක නිමාව

වියෝ වූ මිතුරා ගැන ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ මතකාවර්ජන

by Thanushika
March 6, 2025 10:49 am 0 comment

ප්‍රවීණ අංග රචනා ශිල්පියකු සහ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි පසුගියදා දිවි රඟමඬලින් බැස ගියේය.

ඔහු මුලින්ම කලා ක්ෂේත්‍රයට පා තබන්නේ රංගන ශිල්පියෙක් ලෙසය. 1975 වකවානුවේ පාසැල් සමය නිමවීමෙන් පසුව ඔහු සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියානු භාෂා ඩිප්ලෝමව හදාරන්නට විය. එහිදී ඔහුට රංගන වරම් ලැබෙන්නේ ඔහුගේ මිතුරෙකුගේ මාර්ගයෙනි. ඔහු නිමල් පතිරණය. ඔහු නිර්මාණය කළ රත්තෝ වේදිකා නාට්‍යයේ ලූකස්ගේ චරිතයට පණ පොවමින් වසන්ත විට්ටච්චි වේදිකාවට පිවිසියේය. තව දුරටත් රංගනය පිළිබඳ හැදෑරිය යුතු යැයි සිතූ ඔහු ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට එක්විය. එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, බන්දුල ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍ර වැනි ප්‍රවීණ නාට්‍යවේදීන්ගෙන් දැනුම් සම්භාරයක් සහ අත්දැකීම් රාශියක් ලබා ගන්නට ඔහුට හැකිවී ඇත.

දේශීය නාට්‍යකරුවන්ගෙන් මෙන්ම විදේශීය නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් ද ගුරුහරුකම් ලබා ගැනීමට ඔහුට අවස්ථාව සැලසී ඇත. ඔවුන් යටතේ වේදිකා නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වූ වසන්ත විට්ටච්චි හට 1983 දී පින්ලන්තයේ පැවති ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගේ සම්මේලනයට සහභාගී වීමට වරම් හිමි වී ඇත. එකල ප්‍රවීණ වේශ නිරූපන ශිල්පියෙක් වූ ශේෂා පලිහක්කාරයන්ගේ සහය අංග රචනා ශිල්පියා ලෙසින් සිනමාවට යොමු වීමට ඔහුට අවස්ථාව උදාවී ඇත. ඒ සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ ආදර කතාව චිත්‍රපටයේ සහය අංග රචනා ශිල්පියා ලෙසය. එසේ ආ ගමන් මඟෙහි ඔහු නතර වන්නේ වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන අංශ තුනෙහිම වේශ නිරූපණය පිළිබඳ ප්‍රවීණයෙකු වීමෙනි. එමෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකුද වීමෙනි. වසන්ත විට්ටච්චි සම්මානනීය අංග රචනා ශිල්පියෙකි. අංග රචනය පිළිබඳ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත් ශිල්පියා වසන්ත විට්ටච්චිය. ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන , ස්වර්ණ සංඛ , දෙරණ සිනමා සම්මාන වැනි සම්මාන උළෙල ගණනාවකින් පිදුම් ලැබීමට ඔහු සමත් වී ඇත. 1989 දී සිරිමැදුර චිත්‍රපටයෙන් සිනමා රංගනයට අවතීර්ණ වූ ඔහු චිත්‍රපට විසිපහකට පමණ දායකත්වය සපයා ඇත.

වැඩ බැරිනම් වැඩක් නැහැ (1991), මාරුතය( 1995), සුදු සෙවණැලි ( 2002), අරුමෝසම් වැහි ( 2002), සිකුරු හතේ ( 2007), මාතා (2012), පත්තිනි (2016), ඝරසර්ප (2018), කදිර දිව්‍යරාජ ( 2023), කතුරු මිතුරු (2023) ඔහු රඟපෑ චිත්‍රපට වලින් කිහිපයකි.

1986 දී පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමා අංග රචනයට පිවිසි ඔහු චිත්‍රපට 18ක පමණ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කරඇත.

සිරි මැදුර, ගුරුගෙදර, අයෝමා, සිහින දේශයෙන්, චන්ද කින්නරී, ජුලියට්ගේ භූමිකාව, මිල්ලේ සොයා, උඩුඟං යාමය, උප්පලවණ්ණා, අබා, මාතා, විජය කුවේණි, කුසපබා, සමනළ සංධ්වනිය, ඇහැලේපොළ කුමාරිහාමි, කොස්තාපල් පුඤ්ඤසෝම, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ඔහු වේශ නිරූපන කටයුතු සිදුකළ සිනමා නිර්මාණ අතරින් කිහිපයකි.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ කඩඉම ටෙලි නිර්මාණය ඔස්සේ ඔහු ටෙලිනාට්‍ය රංගනයටද පිවිසියේය. ජාතික රූපවාහිනියේ විකාශය වූ බුමුතුරුණු, තාරාදේවි, දඬුබස්නාමානය සහ වෙද හාමිනේ ඇතුළු ටෙලි නාට්‍ය රාශියක ඔහු රංගනයෙන් දායක වී ඇත.

මෙතනින් මාරු වෙනු, ඒකා අධිපති, පුන්තිලා, හිට්ලර්, මෝරා, සොක්‍රටීස්, ඔත්තුකාරයා, යක්ෂාගමනය සහ සුබ සහ යස ඔහුගේ රංගනය විදහා දැක්වුණු වේදිකා නාට්‍ය වේ.

වසන්ත විට්ටච්චි කලා ක්ෂේත්‍රයේ කා අතරත් ආදරය දිනාගත් චරිතයකි. හිත හොඳ මිත්‍රයෙකි. ඔහුගේ මිතුරුන් අතරින් ඉතා සමීපව ළබැඳී මිතුරෙකු ලෙසින් සිටි ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් තම ආදරණීය සඟයා වසන්ත විට්ටච්චි වෙනුවෙන් කතාබහ කිරීමට සරසවිය සමඟින් සම්බන්ධ වුයේය.

වසන්තව මට හමුවන්නේ ඈත අතීතයේ. අපි වේදිකාව සොයාගෙන ගිය කාලයේ. වේදිකාව , රඟපෑම යන විෂයයන් පිළිබඳ පරීක්ෂණ කරමින් ගැඹුරින් අධ්‍යයනය කරමින් ගිය යුගයේදී මේ අපූරු චරිතය මට මුණගැසුණා. වේදිකා නාට්‍ය වැඩමුළුවකදී. මා සමඟ කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා සිටියා. අපි එක කණ්ඩායමක්. වසන්ත පැමිණියේ වෙනත් පැත්තකින්. අවසානයේ වසන්තත් අපේ කණ්ඩායමට එක් වුණා. එහෙම තමයි අපේ ඇසුර ගොඩනැගෙන්නේ. ඔහු මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගන ශිල්පියෙක් ලෙසින්. පසුව ඔහු දක්ෂ අංග රචනා ශිල්පියෙක් බවට පත්වෙනවා.

අංග රචනා ශිල්පය පිළිබඳ ඔහු තුළ තිබුණේ පුදුම හැකියාවක්. එය සුවිශේෂයි. මා එසේ පවසන්නේ එක්තරා හේතුවක් නිසා. ඔහු කෙනෙක්ව වෙස් ගැන්වීමේදී රංගන ශිල්පියාගේ හිස කෙස්වල සිට දෙපයේ මහපට ඇඟිලි දක්වා හොඳීන් නිරීක්ෂණය කරනවා.

ඉන්පසු ඔහු රංගන ශිල්පියා ඇඳුම් නිර්මාණ ශිල්පියා සහ කලා අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරනවා.

” කොණ්ඩෙ මෙහෙම තිබුණොත් හොඳයි නේද ”

” රැවුල මෙන්න මේ විදිහට දැම්මොත් හොඳයි”

එහෙම පවසලා ඇඳුම් නිර්මාණ ශිල්පියාටත් කියනවා මෙන්න මේ වගේ ඇඳුමක් මොහුට ගැළපෙනවා කියලා. ඒ තමයි මම ඔහුගෙන් දුටු සුවිශේෂ හැකියාව. අංග රචනයට පමණක් සීමා වෙලා නැහැ. ඒ ගැන ඔහු පෙර සූදානමක් වෙනවා. තමන් කරන කාර්යය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුවයි ඔහු වෙස් ගැන්වීම පටන් ගන්නේ.

මම දන්නා තරමින් වසන්ත තමයි ලංකාවේ වැඩිපුරම සම්මාන හිමිකරගත් වේශ නිරූපණ ශිල්පියා. ඔහු වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව යන මාධ්‍යයන් ත්‍රිත්වයේම දස්කම් දැක්වූ කෙනෙක්. ඒ වගේම ඒ අංශ ත්‍රිත්වය සඳහාම සම්මානනීය වූ වේශ නිරූපණ ශිල්පියෙක්. එහෙම ශිල්පීන් විරලයි. මේ මාධ්‍ය තුනේදීම ඔහු මාව වෙස් ගන්වලා තියෙනවා. කෙටියෙන් සඳහන් කළොත් වේදිකාවේදි සුබ සහ යස, හංකිති දහතුන, ඇතුළු වේදිකා නාට්‍යවලත් , දඬුබස්නාමානය ඇතුළු ටෙලි නිර්මාණ ගණනාවකත් , කොස්තාපල් පුඤ්ඤසෝම, ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්මය ඇතුළු චිත්‍රපට කිහිපයක වසන්ත මාව වෙස්ගන්වා තිබෙනවා. දැවැන්ත නිර්මාණවල ඔහු වැඩ කළා. මේ හැම දෙයක් අතරේම රසබර කතා බොහෝමයි. මම එයින් එක් සිද්ධියක් සඳහන් කරන්නම්. ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය කියන්නේ අනූව දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ ගුණාත්මක බවින් යුක්ත වූ ටෙලි නාට්‍යයක්. එය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරැදියි. මම එහි ආරච්චිල කියන භූමිකාව නිරූපණය කළා. මගේ ස්වරුපය වෙනස්ම ආකාරයෙන් පෙන්නුම් කිරීමට වසන්තට අවශ්‍ය වුණා. ඔහු මට මෙසේ පැවසුවා.

“ශ්‍රියන්ත අපි මුළු රැවුලම කපමු. කපල අලුතින් රැවුලක් දාමු. ටිකක් ඝනකම එකක් දාමු ”

ඔහු එසේ පවසල මාව වෙස් ගන්වන්න පටන් ගත්තා. කියපු විදිහට රැවුල සකසන්න පටන් ගත්තා. ඒත් උඩු රැවුලට ගත්තෙ මොකක් ද කියන එක ප්‍රශ්නයක්. ඒක ටිකක් ලොකු රැවුලක්. හරියට විපරම් කරල බැලුවහම තමයි තේරුම් ගියේ වසන්ත මට දාල තියෙන්නේ සයිඩ් බර්න්ස් දෙකක් කියලා. එහෙම වුවත් එය අගේට තිබුණා. ආරච්චිල කියන චරිතයත් ගාම්භීරව තිබුණේ ඒ රැවුල නිසා වෙන්නත් පුළුවන්. ඒ චරිතයත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. එදා එතන සිටි කිසිම කෙනෙක් අදටත් දන්නෙ නැහැ ඒ දාල තිබුණේ සයිඩ් බර්න්ස් දෙකක් කියලා. එවැනි රසබර සිදුවීම් තිබුණා අපි අතරේ. වසන්තට හැකියාව තිබුණා අංග රචනයේදී ඉතා සූක්ෂම ලෙස වැඩ කරන්න. එවැනි සූක්ෂම උපක්‍රම වලින් ඔහු සන්නද්ධ වෙලා හිටියා.

වසන්තයි මමයි ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ දෙදෙනෙක්. මම නිර්මාණය කළ පාදඩ අසපුව වේදිකා නාට්‍යයත් රැගෙන අපි ලෝකයේ බොහෝ රටවල සංචාරය කළා. පිටරට වලට වේදිකා නාට්‍ය රැගෙන යාමේදී එයට සම්බන්ධ සියලුම ශිල්පීන්ට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සීමිත පිරිසක් තමයි අරගෙන යන්න පුළුවන්. වේදිකා පසුතල පවා රැගෙන යාමට නොහැකියි. ඒ අවස්ථාවේ පිහිටට ඉන්නෙ වසන්ත. ඔහු ලොකු බාස්. මම උපදෙස් දෙන්නා.

” වසන්ත මෙන්න මේක මේ ආකාරයට අවශ්‍යයි කී විට ඔහු අපි නවාතැන් ගන්න නිවසේ නිවැසියන් සමඟ කතාබහ කරගෙන අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගන්නවා. ඉන්පසු ඔහු හරි අපූරුවට පසුතලය නිර්මාණය කරනවා. ඉතා කෙටි කාලයකින් පසුතලය නිමකරන්නත් ඔහුට හැකියාව තිබුණා. ඔහු ඉතා ක්‍රියාශීලි පුද්ගලයෙක්.

මා වටා ඉන්න පිරිස ඇතැම් අවස්ථාවල කියල තියෙනවා වසන්ත මගේ පුරෝහිතයා කියලා. එය සත්‍ය වෙන්න පුළුවන්. වෙලාවකට ඔහු මාව මෙහෙයවනවා.

” ශ්‍රියන්ත ඔය දේ කරන්න එපා.

” මේ විදිහට කළොත් වරදින්න පුළුවන් ”

එවැනි දෑ මට ඔහු නිතරම කිව්වා. ඇත්තටම ඔහු මගේ පුරෝහිතයා වගේ තමයි. ඉතාමත් සුන්දර විදිහට, අර්ථවත් ලෙස විනෝදයෙන් ගෙවී ගිය අපේ මිතුදම හරිම ශක්තිමත්. මම ඉතාමත් සංවේදී වූ අවස්ථාවක් වසන්ත රෝගාතුර වීම. ඔහු ඔහුගේ අසනීප තත්වය ගැන සැලකිලිමත් වුණා මදි කියන සිතුවිල්ල මගේ හිතේ තියෙනවා. ඔහු මුල්තැන දුන්නේ ඔහුගේ වෘත්තියට. වෙස් ගැන්වීමක් යෙදිලා තියෙනවා නම් ඒකට කෙසේ හෝ ගියා. වෛද්‍ය ප්‍රතිකාර පසුවට තියාගත්තා. ඔහු මහන්සි වුණා වැඩිදෝ කියලත් මට හිතෙනවා.

අපි මේ මොන දේ කීවත් ලෙඩ වීම මරණය කියන්නේ කාටත් පොදු දෙයක්. ඔහු රෝගී තත්වයෙන් හිටියා කියලා අප දෙදෙනා අතරේ තිබූ මිතුදම ඈත් වුණේ නැහැ. පුළුවන් සෑම විටම ඔහු වෙනුවෙන් සිට ගත්තා. ඔහුගේ සැපදුක් සොයා බැලුවා. කෙනෙක්ට උදව් කරල ඒ ගැන ප්‍රසිද්ධ කරන කෙනෙක් නෙවෙයි මම. බොහෝම නිශ්ශබ්දව උදව් කරන කෙනෙක් මම. කලාකරුවන් අසරණ වූ විට ඔවුන්ට අතහිත දීමට වැඩපිළිවෙළක් තියෙනවා දැයි සරසවිය නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු නිසා මම ඒ ගැන පවසන්නම්.

වසන්ත වෙනුවෙන් අපි බොහෝ දේ කළා. විශේෂයෙන් මම කැමතියි කලාකරුවන්ට පිහිට වෙන්න. මට අවශ්‍ය වුණා වසන්ත වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් කරන්න. ඒ වෙනුවෙන් අපි සයිමන් නවගත්තේගම ශූරීන්ගේ සුබ සහ යස වේදිකා නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකා ගත කළා වසන්ත වෙනුවෙන්. මේ දේ සඳහන් කළ යුතුයි. එහි රංගනයෙන් දායක වූ ශිල්පීන් කිසි කෙනෙක් මුදල් අය කළේ නැහැ. ඒ මුදල් සියල්ල වසන්ත වෙනුවෙන් වෙන්කළා. ආලෝකකරණ ශිල්පියා, ශබ්ද පරිපාලන ශිල්පියා මුදල් අය කළේ නැහැ. මෙහි සෙට් එක රැගෙන ආ ලොරි රථයේ රියදුරු මහතාවත් මුදල් ගත්තේ නැහැ. එයින් පෙනී යන්නේ කලාකරුවන්ට මිනිසුන්ගේ හිතවල තියෙන ආදරය. එකතු වූ මුදල් අපි වසන්තට පරිත්‍යාග කළා. මගේ මස්සිනාත් මුදල් පරිත්‍යාගයක් කළා. පසුගිය දිනෙක විදේස් රටක සිට මගේ මිත්‍රයෙක් පැමිණියා. වසන්ත අවසන් හුස්ම හෙළීමට හෝරා කිහිපයකට කලින් ඔහුටත් හැකිවුණා වසන්තට මුදල් පරිත්‍යාගයක් කරන්න.

මේ සියලු දේ වසන්ත වෙනුවෙන් ඉටුකළා. යමෙකුට පිහිට විය යුත්තේ ඔහු හෝ ඇය අඩපණ වූ මොහොතක. එවැනි අවස්ථාවක අපි පිහිටට ගියේ නැත්නම් අපි මිනිස්සු නෙවෙයි. මම කරන මේ දේවල් එකතු වෙන්නේ මගේ පිං පොතට.

මේ අවස්ථාවේ විතර නෙවෙයි මම මීට පෙර සිටම මෙවැනි කටයුතු කරල තියෙනවා.

මම කාලයක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළා. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපති ධූරය දැරුවා. කලා මණ්ඩලයේ සිටියා. මම රාජ්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරය හොබවන සමයේ නළු නිළියන්ට දෙන ත්‍යාග සහ මුදල් ත්‍යාග දෙගුණ කළා. තාමත් ඒ තත්වය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සිටි අවධියේ ශිල්පීන් විසිදෙනෙකුට පමණ වියළි ආහාර පාර්සල් දුන්නා. රෝද පුටු බෙදාදීමේ ව්‍යාපෘතියකටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනකොට රෝද පුටු පහළොවක් පමණ ලබා දීලා තියෙනවා. සහන සරණ නමින් ආයතනයක් තියෙනවා. ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි රෝද පුටු ලබා ගන්නේ. මම මේ දේවල් වලින් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේ දී කාට හෝ කලා ශිල්පියෙක් අසරණ වූ විට ඒ වෙනුවෙන් අපි ඔවුන් ගැනත් බලනවා. මේ ලිපියේ මේ දේවල් සඳහන් කළෙත් ඒ නිසා.

වසන්ත විට්ටච්චි කියන්නෙ හොඳ මිනිසෙක්. හොඳ ස්වාමිපුරුෂයෙක්. ආදරණීය පියෙක්. ඔහු කාටවත් නැහැ බැහැ කිව්වෙ නැහැ. ඔහුට කවදාවත් තරහ යන්නේ නැහැ. බොහෝම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක්. අපි නාට්‍ය දර්ශන වලට යනවිට ඔහු රැගෙන එනවා දිග හම් බෑග් එකක්. එහි තියෙන්නේ අංග රචනය සඳහා අවශ්‍ය බඩුමුට්ටු. ඒ බෑග් එකේ කොනක තියෙනවා සතිඅන්ත පුවත්පත. අපි බොහෝ වෙලාවට සති අන්තයේ තමයි නාට්‍ය දර්ශන සඳහා යන්නේ. බස් එකට කට්ටිය ගොඩ වූ ගමන් ඒ පත්තරයේ පිටු තියලා බහින්නේ. එකිනෙක අනෙක් අය ගන්නව කියවන්න. බස් එකෙන් කට්ටිය බහින කොට සීට් උඩ පත්තර පිටු. වසන්ත තමයි අවසානයේ ඒ පිටු එකතු කරගන්නේ. එම නිසා ඔහුට තරහ යන්නේ නැහැ . අපි හැමෝම කැමැති මිලදී ගත්ත අලුත් පුවත්පත මුලින්ම කියවන්න.

ඒත් වසන්තට හිමි වුණේ හැමෝම කියවපු පත්තරේ. එසේ කළා කියල ඔහු කාටවත් දෝෂාරෝපණය කරලත් නැහැ.ඔහු විනෝදකාමී පුද්ගලයෙක්. කතා ගොතල කියන්න රුසියෙක්. අපේ පරම්පරාවේ යාන්ස් රජු ඔහු. නාට්‍ය බස් එකේ යනවිට එහි යන අය විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා.

දේශපාලන, කලාව, ආගම, ආදරය වැනි විවිධ මාතෘකා. වසන්ත හොඳ හොඳ රසකතා මවන්නෙක්. ඔහු හැම අංශයක් ගැනම කතා මවන්න දක්ෂයෙක්. නාට්‍ය බස් රථය කියන්නේ විශ්ව විද්‍යාලයක්. වසන්ත තමයි එහි උපකුලපති. වසන්ත සතු දැනුම් සම්භාරය අතිමහත් .

ඔහු ටවර් හෝල් පාසැලේ කථිකාචාර්‍යවරයෙක් විදිහට කටයුතු කළා. ඒ වගේම නාට්‍ය වැඩමුළු සංවිධායකවරයෙක්. මම ඔහුත් සමඟ යාපනය, වව්නියාව, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රාශියක වැඩමුළු සඳහා සහභාගී වෙලා තියෙනවා. ඔහු, ඔහුගෙන් පසු පරම්පරාවටත් දැනුම දුන් කෙනෙක්. වේශ නිරූපණ අංශයෙ පුරෝගාමියෙක් විදිහටත් වසන්තව හඳුන්වන්න පුළුවන්.

අපි කවුරුත් හිතුවේ නැහැ වසන්ත මෙතරම් ඉක්මන් අපෙන් ඈත් වෙයි කියලා. එහෙත් මරණය කියන දේ කොයි වෙලාවේ පැමිණේවිද කියන්න අපහසුයි. ඔහුගේ අවසන් කටයුතු කලාකරුවන්ගේ මූලිකත්වයෙන් ඉතාමත් ගෞරවාන්විතව සිදු කෙරුණා.

වසන්ත විට්ටච්චි යනු කලාව, රංගනය , අංග රචනය යන විෂයයන් කෙරෙහි පුළුල් දැනුමක් තිබූ පුද්ගලයෙක්. වේශ නිරූපණයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තුවෙන් සහ ඒ ක්ෂේත්‍රයේ නියැළී සිටින තරුණ පරපුරෙන් මම ඉල්ලා සිටිනවා ඔහු ගැන සොයන්න. ඔහු වේශ නිරූපණය කළ නිර්මාණ සොයාගෙන නරඹන්න. වසන්ත විට්ටච්චිව කියවන්න.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT