ප්‍රවීණ සම්මානනීය නිර්මාණවේදී ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණය කළ සිව්වැනි සිනමා නිර්මාණයයි “යාත්‍රා”. ඔහු මෙයට ප්‍රථම අරගලය (1994), ඉන්ද්‍රඛීලය (2000) හා තහනම් ගහ (2002)යන සිනමා නිර්මාණ ඉදිරිපත් කරන ලදී. වෘත්තාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට, වාර්තා සහ අර්ධ වෘත්තාන්ත චිත්‍රපට, ප්‍රාසංගික හා ඒකාංගික ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු මෙන්ම රූපවාහිනී වාර්තා වැඩසටහන් තිර රචකයකු වූ ඔහු ඉදිරිපත් කළ ප්‍රාසංගික ටෙලි නාට්‍ය අතර, අන්දරේ, පාවාඩ, තහංචි, දෙවැනි කැමැත්ත, වෙස්ගත්තෝ, සඳ කිඳුරු, මඟුල් සක්වළ, මහ ගෙදර, තුන් අවුරුද්ද, මාරකය, සභාවෙන් අවසරයි, විසිඑක් වන හෝරාව, අද අද එයි මරු, අබුද්දස්ස කාලෙට, නිම් වළල්ල, සිහිනයකි ඔබ, ගල් පිළිමය සහ බොල් පිළිමය, මේ වසන්ත කාලයයි, නිල් අහස, සිටු මැදුර, අහස් ගව්ව, අම්මාවරුනේ, ඇම්ඩන්, පාරාවළලු, රතු අහස, මොනර කඩදාසි, යකඩ කහවනු, මතුසම්බන්ධයි, ටී 20, ආගන්තුකයා, සකුණ පියාපත්, කුංචනාද වැනි නිර්මාණ රාශියකි. ඒකාංගික ටෙලි නාට්‍ය අතර ඉර හඳ පායන ලෝකේ, අග්නි වාසාව, ආටක නාටක, ෆොරින් කයි කතා, ජීවිත රෝදේ, රට යන ඇත්තෝ, සමාධි, මාවතේ අපි, සූරිය උදාවන තුරු, පොරොන්දු දේශය සහ විනිවිදිමි අඳුර යන නිර්මාණද වේ. බැද්දට මල් වරුෂා, පමා නොවී එමි අකුරට, පිය සටහන්, රන් හිරු රැස්, වන්නිල ඇත්තෝ, ඇතුළු වාර්තා චිත්‍රපට ද කඳුකරයෙන් කතාවක්, අත්වැල සාර භූමි, මිනිස් කඳවුර වැනි අර්ධ වෘත්තාන්ත චිත්‍රපට ද ඔහු විසින් නිර්මාණය කර ඇත.
ධීවර ගම්මානයක සිදුවන කතා පුවතක් යාත්‍රා සඳහා පාදකව ඇත. වයඹ වෙරළ තීරයේ එක්තරා ගම්මානයක වෙසෙන තෙරේසා සහ ඇන්ටනී අක්කා සහ මල්ලි වේ. ඔවුන්ගේ මව මිය ගොසිනි. පියා ෆැන්සිස් නම් ධීවරයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසුව, තෙරේසා නගරයට යන්නේ ඉංග්‍රීසි ඉගෙනීම පිණිසය. ඇන්ටනී ගමේ පාසලට යන අතර ඔහු චිත්‍ර ශිල්පයට දක්ෂයෙකි. තෙරේසාට වඩා විශාල වයස් පරතරයක් ඇති මාකස් තෙරේසාගේ අත පැතුවද ඇය අකමැති වෙයි. දිනක් මාකස් තෙරේසාව දූෂණය කර මුහුදට දැමුවද ඇය පිහිනා ගොඩට එයි. ඇන්ටනී මාකස්ගෙන් පළිගැනීමට මාන බලයි. දිනක් රාත්‍රියකදී මාකස් නිදා සිටි බෝට්ටුවට පෙට්‍රල් දමා ගිනි තියන ඇන්ටනී ගමෙන් පලා යයි. තෙරේසාගේ අත පතා සෙබල තරුණයෙකු ආවද, ඇය ඔහුටද කැමති නොවේ. ෆාරුක් නම් මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයෙකුගේ ආයතනයකට තෙරේසා රැකියාව පිණිස යයි. එම යුවළ අසරණ තෙරේසාට හොඳීන් සලකයි. දිනක් මංකොල්ලකරුවන් පිරිසක් එම ආයතනයට පැන සිදු කරන වෙඩි තැබීමකදී ෆාරුක් මිය යන අතර, ඊට පෙර වටිනා මැණික් මල්ලක් තෙරේසාට දෙයි. එතැනින් පලා යන තෙරේසා පසුව මැණික් ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වෙයි. ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් සඳහා තෙරේසාට නේපාලයට යාමට අවස්ථාව හිමි වෙයි. ඥාති සොයුරියක් වන පබෝදා සමගින් ඇය නේපාලයට යයි. එහිදී ඇයට රේවත නම් භික්ෂුවක් හඳුනා ගැනීමට හැකි වේ. සිය සොහොයුරා තෙරේසාට හමුවේද යනු යාත්‍රා තුළින් පහදා ගැනීමට හැකිවනු ඇත.
රංගන දායකත්වය
ශ්‍රියාණි අමරසේන, සෙනාලි ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, සාරංග දිසාසේකර, ශ්‍රීයන්ත මෙන්ඩිස්, පබෝදා සන්දීපනී, රොෂාන් පිලපිටිය, දිනෙත් ද සිල්වා, උදාරි පෙරේරා, කුමුදු නිශාන්ත, ඉන්දික කුමාර මදුරගේ, සැනට් දික්කුඹුර, දිවාන් ප්‍රේමතිලක (ළමා), රනිල් ප්‍රසාද්, රාජසිංහ ලෝලුවාගොඩ, අශිකා මෙත්තසේන
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
නිෂ්පාදනය – ශ්‍රියාණි අමරසේන, රුවන් ජයසිංහ
තිර රචනය – අරුණ ජයවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – මේඝ කොළඹගේ
කතා සංකල්පය – කුමාර් ද සිල්වා
සහය අධ්‍යක්ෂණය – අජිත් ලොකුගේ
දෙවැනි සහය අධ්‍යක්ෂණය – නලින්ද ධර්මසිරි, චමින්ද හේවාවසම්
අංග රචනය – ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්ෂණය – සුනෙත් නන්දලාල්
ශබ්ද පරිපාලනය – ඩිරාන් විජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය- නවරත්න ගමගේ
ගේය පද රචනය – බණ්ඩාර ඇහැළියගොඩ,
වසන්ත කුමාර කොබවක
නිෂ්පාදන කළමනාකරණය – සෝමදාස මල්දෙනිය
ගීත ගායනය – ඉන්දිකා උපමාලි, නෙළු අධිකාරි
සහය නිෂ්පාදනය – ලිලානි පෙරේරා, නිරංජලා සරෝජිනී
සම්බන්ධීකරණය – නිමල් විජේසිරි සේනාධීර
විශේෂ කලා නිර්මාණ – චන්ද්‍රසෝම කස්තුරි
ග්‍රැෆික් නිර්මාණය – ඩිරාන් විජයසිංහ
උපසිරැසි – වින්දන ආරියවංශ
සහය කලා අධ්‍යක්ෂණය – සුරත් හේමකුමාර
සහය අංග රචනය – ප්‍රසන්න ගමගේ
නිෂ්පාදන සහය – බන්දුල කරුණාරත්න
ප්‍රවාහන සේවා – පී.පී. වික්‍රමරත්න හංසි තාරකා, ගුණරත්න මංචනායක
ඉදිරිපත් කිරීම – ශ්‍රී අමර ෆිල්ම්ස්, රූ සිනමා ක්‍රියේෂන් හවුස්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු