Home » වෙනස් මඟක් ගත් අභිමානවත් ජාතියේ ප්‍රෞඪ මහා කලා සංස්කෘතික උලෙළ

වෙනස් මඟක් ගත් අභිමානවත් ජාතියේ ප්‍රෞඪ මහා කලා සංස්කෘතික උලෙළ

by Thanushika
June 26, 2025 12:32 am 0 comment

වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ශශ්‍රී ලංකාවේ “මහා කලා මංගල්‍යය” ලෙස ව්‍යවහාර කළ හැකි “සරසවිය සිනමා සම්මාන උලෙළ – 2025” මෙවරත් අති උත්කර්ෂවෙන්, අභිමානයෙන් පැවැත්වෙනුයේ 36 වැනි වරටය. ජුනි 24 වැනිදා පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජාතියේ ප්‍රෞඪ මහා කලා සංස්කෘතික උලෙළ සේද ගිණිය හැකි “කැලීන් – සරසවිය සම්මාන උලෙළට ප්‍රධාන අනුග්‍රහය සඳහා මෙවර “කැලීන්” එක් වීම පිළිබඳව මම මහත් සන්තුෂ්ටියට පත් වෙමි. එසේම ස්වර්ණ අනුග්‍රහයෙන් හොරණ වාසනා බේකර්ස්, සත්කාරක අනුග්‍රහයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල්ස්, විශේෂ අනුග්‍රහයෙන් රූපහල ද ටෙලිවිෂන් සහ ඩිජිටල් මාධ්‍ය සහකාරීත්වයෙන් ටී.වී සුපී‍්‍රම් ද කෙටි පණිවුඩ බලගැන්වීමෙන් ටෙක්ස්වෙයාර් ද මේ උලෙළ සඳහා අත්වැල් බැඳ ගැනීම කෙතරම් නම් ආහ්ලාදයක්ද ?

2024 වසරේ තිරගත වුණු ශශ්‍රී ලාංකේය චිත්‍රපට 38 ක් මෙවර උලෙළට ඇතුළත් වූ අතර ඉන් එක් චිත්‍රපටයක් එනම් ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “පැරඩයිස්” පමණක් විනිශ්චය මණ්ඩලයේ අවධානයට පාත්‍ර නොවූයේ මෙය මුළුමනින්ම ශශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ලෙස සැලකිය නොහැකි බව අධ්‍යක්ෂකවරයා අපට දැනුම් දුන් බැවිනි. ඒ අනුව චිත්‍රපට 37 ක් මෙවර උලෙළෙහි සම්මාන සඳහා තරඟ වැදිණ. මේ සඳහා ස්වාධීන , අපක්ෂපාතී , සිනමාවේ විවිධ අංශ අරභයා මනා දැනුම් සම්භාරයක් ඇති , අන්තර්ජාතික සිනමා උලෙළ පිළිබඳවද අත්දැකීම් සම්භාරයක් ඇති විනිශ්චය මණ්ඩලයක් ලේක් හවුස් පාලන අධිකාරියේ අනුමැතියෙන් පත්වී ඇත.

පෙර සිරිත පරිදිම මෙවරත් ,

හොඳම චිත්‍රපටය

හොඳම අධ්‍යක්ෂණය

හොඳම නළුවා

හොඳම නිළිය

හොඳම සහාය නළුවා

හොඳම සහාය නිළිය

හොඳම තිරරචනය

හොඳම කැමරා අධ්‍යක්ෂණය

හොඳම සංස්කරණය

හොඳම කලා අධ්‍යක්ෂණය

හොඳම ශබ්ද පරිපාලනය

හොඳම වේශ නිරූපණය

කුසලත සම්මාන

හොඳම ජන ආකර්ෂණීය චිත්‍රපටය

හොඳම නවක නළුවා

හොඳම නවක නිළිය

යන සම්මාන යථෝක්ත විනිශ්චය මණ්ඩලය අපට තෝරා දෙනු ඇත.

ජනප්‍රිය චිත්‍රපටය තෝරා ගනු ලබන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත් කරන ලද ආදායම් වාර්තා අනුවය.

ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය මෙන්ම මෙවර අලුතෙන් හඳුන්වා දෙන ජනප්‍රිය චිත්‍රපට ගීතය යන සම්මාන පාඨක ග්‍රාහක කෙටි පණිවිඩ (ඉර්ඉ) මනාපයෙන් තෝරා ගන්නා අතර එහිදී ජනප්‍රිය නළුවාට හා ජනප්‍රිය නිළියට මෙන්ම වැඩියෙන්ම කෙටි පණිවිඩ (ඉර්ඉ) යොමු කරන පාඨක ග්‍රාහකයාට සිනමන් ග්‍රෑන්ඩ් හෝටෙල්ස් වෙතින් සුවිශේෂ පැකේජයක් ලබා දීමට නියමිතය.

සරසවිය ප්‍රධාන කර්තෘවරයා ලෙස නිහතමානී ආඩම්බරයක් මෙවර මා සිතට දැනෙනුයේ , මඳ කලක සිට මා සිතෙහි තිබුණු අහිනව සම්මාන 7 ක් මෙවර උලෙළ සමඟ හඳුන්වාදීමට හැකිවීමය. මෙකී නව සම්මාන 7 පිළිබඳ මගේ යෝජනාවට ලේක් හවුස් ආයතනයේ පාලනාධිකාරිය ඒකමතිකව එකඟ වී එය මෙවර උලෙළේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දීම පිළිබඳව මෙරට සිනමාව වෙනුවෙනුත් සියලු කලාකරුවන් වෙනුවෙනුත් කෘතවේදීත්වය මම පිරිනමමි. ඒ අනුව මෙවර සිට,

හොඳම ප්‍රතිවීර නළුවා

හොඳම හාස්‍යෝත්පාදක නළුවා

හොඳම රංග වින්‍යාසය (එනම් හොඳම ක්‍රියාදාම හෝ නර්තන අධ්‍යක්ෂ)

හොඳම වස්ත්‍රාභරණ නිර්මාණය

හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය

සහාය අධ්‍යක්ෂවරයකුට පිරිනැමෙන, ජීවිතේ එක් වරක් පමණක් හිමි වන ඇගැයුම් සම්මානය, හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග යන අභිනව සම්මාන සරසවිය උලෙළ හා එක්වෙමින් එය සෑම අංශයක්ම ආවරණය කරමින් පරිපූර්ණ භාවයට පත්වෙයි. එසේ හෙයින් මෙවර 36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළ පෙර පැවති සම්මාන උලෙළ තිස්පහටම වඩා අභිනව වෙනස් පරිපූර්ණ මුහුණුවරක් ගැනීම ඉමහත් සතුටට හේතුවකි.

“නැවුම් දේශයක සිනමා අභිෂේකය” යන මෙවර තේමාව වචනයේ පරිසමාප්ත අරුතෙන්ම කුළුගන්වන උලෙළක් බවට එය පත්වීම පිළිබඳව මා මෙහිදී අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉහත දැක්වෙන නව සම්මානවලින් සහාය අධ්‍යක්ෂවරයකුට පිරිනැමෙන ඇගැයුම් සම්මානය හැර සෙසු සියලු සම්මාන විනිශ්චය මණ්ඩලයෙන් තෝරාපත් කර දෙනු ලැබේ.

සිනමාවේ ඕනෑම ක්ෂේත්‍රයක දීර්ඝ කාලීනව මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන ද්වයක් පිරිනැමීමත් ලේක් හවුස් ආයතනයේ කීර්තිමත් සභාපතිවරයකු වූ රණපාල බෝධිනාගොඩ මහතා අනුස්මරණය කරමින් සිනමා සාහිත්‍යයට මහා මෙහෙවරක් ඉටුකළ කලාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය පිරිනැමීමත් පෙර සිරිත පරිදි මෙවරද සිදු කෙරේ.

ලේක් හවුස් සභාපති, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වරුෂමාන මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා, මෙහෙයුම් අධ්‍යක්ෂ, සම්මානනීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ චාමර පීරිස් මහතා, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා සහ මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – (දැන්වීම්) චින්තක යාපා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – (මූල්‍ය) ඩී.එම් ධනසේන මහතා ඇතුළු සංවිධායක කමිටුවටත් මගේ ගෞරවනීය කෘතවේදීත්වය හිමි වේ.

මේ මහා කර්තව්‍යය සඳහා මා හට නිබඳ සහයක් ලබා දෙන සරසවිය කර්තෘ මණ්ඩලයට කෘතඥතාව පළ කිරීමට මම අමතක නොකරමි. එහි මගේ දකුණත සහ වමත බඳු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදනී හේමාලි විජේරත්න සොහොයුරිය විනිශ්චය මණ්ඩලයේ සම්බන්ධීකරණ කටයුතු ඉතා උසස් අයුරින් ඉටු කළ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන දයා සිරිවර්ධන සොහොයුරා විශේෂ මුද්‍රිත පුවත්පතෙහි බර මුළුමනින් කරට ගෙන එය ප්‍රශස්ත අයුරෙන් නිම කළේය. තමන්ට පැවරෙන කාර්ය අතිශය සැලකිල්ලෙන්, කල්පනාවෙන් ඉටුකරන ජේ්‍ය්ෂ්ඨ මාධ්‍යවේදනී සමුද්‍රිකා වර්ණකුල සොහොයුරියගේ හා නිදහස් ලේඛකයකු ලෙස මෑතදී සරසවිය හා එක් වූ, රංගන ශිල්පී, ගායන ශිල්පී හා මාධ්‍යවේදී අමල් යශෝමන් ජයසිංහ සොහොයුරාගේ සුසංයෝගය එක වගේම පත්‍රයට අවැසිය. සරසවිය කර්තෘ මණ්ඩලයේ “උනන්දුවෝ” දෙදෙනෙකි. ඡායාරූප අංශයේ සිටියත් සරසවියේ කර්තෘ මාණ්ඩලිකයකු සේ වැඩිපුර ඊට සේයා රූ හා ලිපි සම්පාදනය කරන නිශ්ශංක විජේරත්න සොහොයුරා එක් උනන්දුවෙකි. අනෙක් උනන්දුවා මෑත කාලීනව නිදහස ලේඛිකාවක ලෙස සරසවිය කර්තෘ මණ්ඩලයට එක් වූ, කලාවේ පිය උරුමය ලැබීමට භාග්‍යවන්ත වූ නයනාංජලි දෙහිපිටිය (ප්‍රකට රංග ශිල්පී සෝමසිරි දෙහිපිටිය මහතාගේ දියණිය) සොහොයුරියයි. පුවත්පතේ ප්‍රගතිය වෙනුවෙන් මේ දෙදෙනාගේ වැඩි උනන්දුව නිසාම ඇතිවන සිදුවීම් රසාලිප්තය. මෑතකදී නිදහස් ලේඛකයකු ලෙස සරසවිය කර්තෘ මණ්ඩලයට එක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හදාරන මලින්ත විතානගේ දීප්තිමත් අනාගතයක් ඇති විද්‍යාර්ථියෙකි. ලේක් හවුස් ආයතනයේ සෝදුපත් අංශයේ සේවය කරන රුක්මල් මනෝජ් සොහොයුරා ලිපි සම්පාදනයෙන් නිබඳවම සරසවිය හා බැඳී සිටියි.

සරසවිය කර්තෘ මණ්ඩලයේ සියල්ලන්ටම සමන්ති කුලසේකර දියණියගේ උපකාරය නැතිවම බැරිය.

රූ රටා සැලසුම් නිර්මාණ ශිල්පියා ලෙස සරසවියට අනර්ඝ මෙහෙවරක් ඉටු කරන චක්සු අබේවික්‍රම සොහොයුරා කතුවරයාගේ අධ්‍යාත්මය වටහා ගත හැකි ශූර නිර්මාණ ශිල්පියෙකි. කතුවරයා ලෙස මට අවැසි දේ ක්ෂණිකව වටහා ගන්නා ඔහු ස්වකීය ප්‍රතිභාවයන්ද එය ආලෝකවත් කරයි. නිලක්ෂි ආරියරත්ත සොහොයුරිය බොහෝ ලිපි ලේඛන පරිගණක අක්ෂර සංයෝජනයෙන් මැනවින් සකස් කොට දෙන්නීය.

ලේක් හවුස් ඩිජිටල් අංශයේ ගයාන් රත්නායක සොහොයුරා දිවා රෑ නොබලා වෙහෙසෙමින් සරසවිය විද්‍යුත් පුවත්පතටත් ඒ හා සබැඳී සමාජ මාධ්‍ය ජාලා පද්ධතියටත් ඉටු කරන්නේ අනල්ප මෙහෙවරකි. එසේම ඩිජිටල් අංශයේ මංජුල මහින්ද සොහොයුරාත්, තනුෂිකා සොහොයුරියත්, ජාතික රූපවාහිනියේ ප්‍රකට නිවේදක චානක ඉනෝජ් සොහොයුරාත් කෘතවේදීව මම සිහිපත් කරමි. ඡායාරූප කර්තෘ තිලක් පෙරේරා සොහොයුරාත් ශාන් රූපස්සර සොහොයුරාත් සරසවිය පුවත්පත සොඳුරු සේයාරූවලින් හැඩ කරති. එසේම දැන්වීම් අංශයේ එරන්ද එදිරිමාන්න සොහොයුරාට ද, රෝයි, ජයමහ, දර්ශා, චන්න, අමිල, මනීෂා, චතුරිකා, තිස්ස ධම්මික, චින්තක වාස්, ක්‍රිෂෝලි, ශෂිණි, ටිකිරි, නවෝද්‍යා, භාග්‍යා, නිෂ්පාදන අංශයේ සමන්ත, වෙළෙඳ මුද්‍රණ අංශයේ රජිත යන සහෘද කැලට හා තරුණි කර්තෘ චතුර ගීතනාත් සොයුරාට, අපට සහය ලබාදුන් සියලු විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා සහෘදයන්ට ස්තුතිය මම පිරිනමමි.

යම් රටක සම්මාන උත්සව කිහිපයක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් පැවැත්විය හැකි නමුත්, “සිනමාවේ මහා කලා මංගල්‍යය” ලෙස ව්‍යවහාර කළ හැකි වන්නේ එයිනුදු ඉතා ප්‍රශස්ත ලෙස පිළිගැනෙන්නා වූද, අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන්නා වූද දීර්ඝ කාලයක් අඛණ්ඩ ලෙස පවත්වා ගෙන යමින්, කලාකරුවන්, රසික සහෘදයන් අතරෙහි කීර්ති නාමයක් හිමි කර ගත්තා වූද එක් සම්මාන උත්සවයක් සඳහා පමණි. ලෝක මට්ටම අනුව සලකා බැලුවහොත් සම්මාන උත්සව රාශියක් අතරින් යුරෝපයේ කෑන්ස් සම්මාන උලෙළ ද හොලිවුඩ් පුරවරයේ ඔස්කාර් සම්මාන උලෙළ ද බොලිවුඩ් පුරවරයේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ ද සිනමාවේ මහා කලා මංගල්‍යයක් ලෙස හැඳීන් විය හැක්කේ මේ අයුරෙනි. ලෝක මට්ටමෙන් තුලනය කළ කල්හි ඉතා කුඩා පරිමාණයේ සිනමා කලාවක් හා කර්මාන්තයක් තිබෙන, දශක අටක් ඉක්ම වූ සිනමා ඉතිහාසයකින් සමන්විත මේ ශශ්‍රී ලංකාද්වීපයෙහි එකල පැවැත්වුණු සහ දැනට පවතින සකලවිධ සිනමා සම්මාන උත්සව අතරින් “සිනමාවේ මහා කලා මංගල්‍යය” ලෙස හැඳීන්විය හැක්කේ කුමක්ද?

මා විසින් නඟන ලද මේ පැනයට මෙරට සියලු කලාකරුවන්ගේත්, විචාරකයන්ගේත්, ප්‍රේක්ෂකයන්ගේත් ඒකමතික පිළිතුර වන්නේ “ සරසවිය සම්මාන උලෙළ” බවට කිසිදු සැකයක් නොමැත.

මෙරට සිනමා සම්මාන උත්සව ඉතිහාසය අනුව බැලූ කල්හි සරසවිය උලෙළ යනු ප්‍රථම ලාංකික සිනමා සම්මාන උත්සවය නොවේ. එහෙත් පළමු වරට මෙරට සිනමා ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට පුරෝගාමී වූයේ සරසවිය උලෙළ ද සංවිධානය කරන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) බව දන්නෝ දනිති. ලේක් හවුස් ප්‍රකාශනයක් වන දිනමිණ පුවත්පත මෙහිලා මූලික විය. “දිනමිණ රඟමඬල චිත්‍රපට තරඟය” ලෙස හැඳීන් වූ මෙය මවිසින් පූර්වයෙහි ම ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලෙස හඳුන්වන ලද්දේ මෙහිදී පාඨක ඡන්දයෙන් තෝරා ගත් කලා ශිල්පි, ශිල්පිනීන්ට සම්මාන වෙනුවට වටිනා ත්‍යාග ප්‍රදානය කළ බැවිනි. 1956 මාර්තු 2 වැනි දා කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ දී මේ ත්‍යාග උත්සවය පැවැත්විණ.

මේ ලිපියෙහි මුඛ්‍ය ප්‍රස්තුතය වන “සරසවිය “ සම්මාන උලෙළ ඇරඹුණේ 1964 මැයි 9 වැනිදා සිනමා සම්මාන උත්සව ඉතිහාසයේ පස්වැනි සිනමා උලෙළ ලෙසිනි.

එදා මෙදා තුර මෙරට සිනමා සම්මාන උත්සව 16 ක් පැවැති බව පෙනේ. සරසවිය උලෙළ ඇරැඹුණේ පස්වැනි සිනමා සම්මාන උත්සවය ලෙසිනි. 1964 වසරේ සිට අද දක්වාම පැවැත එන මේ උලෙළ දැනට ලංකාවේ තිබෙන පැරැණිතම සිනමා උලෙළ බව මේ වන විටත් ඔබ දන්නවාට සැක නැත. අනෙක් අතට සිනමා පුවත්පතක් ඇසුරෙන් එදත් මෙදත් මෙරට පැවැත් වූ එකම සිනමා සම්මාන උලෙළ ද මෙය වේ.

Film Fare සිනමා සඟරාව 1952 වසරේ දී ආරම්භ විය. එහි ආභාසය ලැබීම නිසාවෙන් 1952 ජුලි 1 වැනිදා “සිනමා” නමින් මෙරට ප්‍රථම සිනමා පුවත්පත ඇරැඹුණු අතර “තරුව“ නමින් 1952 නොවැම්බර් පළමු වැනිදා මෙරට පළමු සිනමා සඟරාව ඇරැඹිණ. එතැන් සිට සිනමා පුවත්පත්, සඟරා රාශියක් වරින් වර ඇරැඹි නැවතුණු අතර අද දක්වා අඛණ්ඩව ඉන්ද්‍රකීලයක් සේ වැජඹෙනුයේ සරසවිය පුවත්පත පමණකි. ඉන්දීය Film Fare සඟරාවේ ආභාසය ලැබ 1963 අප්‍රේල් 10 වැනි බදාදා පත්තර මහ ගෙදර සිනමා පුවත්පත ලෙස ඇරැඹුණු සරසවියට පසුගිය අප්‍රේල් 10 වැනිදාට වසර 62 ක් සපිරිණි. Film Fare සඟරාව සිනමා සම්මාන උලෙළක් පැවැත්වීම ද සරසවිය මඟින් සිනමා උලෙළකට මුල පිරීම සඳහා ආභාසයක් වූ හැටි සිතිය හැකි ය. ප්‍රකට කවියකු, ලේඛකයකු හා චිත්‍රපට කතා රචකයකු වූ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් විසින් “සරසවිය” යන නාමය පුවත්පත සඳහා තබන ලද අතර, පසුව ඒ නමින්ම සම්මාන උලෙළ ද හැඳීන්විණි. සරසවිය උලෙළ ඇරැඹුණේ එවක ලේක් හවුස් සභාපති ධුරය හෙබ වූ රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුවය. රණපාල බෝධිනාගොඩ, විමලසිරි පෙරේරා, ධර්මපාල වෙත්තසිංහ, ඩී. එෆ්. කාරියකරවන, නිමල් පෙරේරා, ඩී.සී. රණතුංග යන මහත්වරු මේ සම්මාන උලෙළෙහි ඇරැඹුමට මූලිකව ක්‍රියා කළහ. එදා මෙදා කලාකරුවන්ගේ අතිශය ගරු බුහුමනට පාත්‍ර වූ සරසවිය සම්මානය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ මූර්ති ශිල්පී ආචාර්ය තිස්ස රණසිංහයන් විසිනි.

සරසවිය සම්මානයෙන් දැක්වෙන කාන්තා රූපයෙන් සකල කලාවන්හි අධිපතිනිය වූ සරස්වතී දේවිය සංකේතවත් වන අතර සංගීතය, නර්තනය ආදී කලාවන් ද ලාලිත්‍යය හා සෞන්දර්යය ද මනාව එහි සුසංයෝගී වී ඇත.

1964 මැයි 9 වැනිදා කොළඹ අශෝකා සිනමා ශාලාවේ පළමු සරසවිය සම්මාන උලෙළ පැවැත්විණ. 1964 සිට 1970 දක්වා අඛණ්ඩව හත් වරක් සරසවිය උලෙළ පැවැති අතර 1971 – 1978 අතර කාලයේ එය නොපැවැත්විණ. 1979 වසරේ යළි ඇරැඹීමට මුලික වූයේ එවක පත්තර මහගෙදර සභාපති ධූරය හෙබ වූ රණපාල බෝධිනාගොඩ මහතාය. එතැන් සිට වර්තමානය දක්වාම එය තිස් පස්වතාවක් පවත්වා ඇත.

සරසවිය වූ කලී ආරම්භයේ සිටම ඉන්දු- ලංකා සංස්කෘතික සබඳතාවට මා හැඟි රුකුලක් ලබා දුන් උලෙළකි. 1966 සුනිල් දත්, නුටාන්, ශෂිකලා යන ප්‍රකට හින්දි නළු නිළියන් ද ෆිල්ම් ෆෙයාර් සඟරාවේ එවක සංස්කාරක බී.කේ. කරංජියා ද, 1968 ප්‍රකට හින්දි නිළි මීනා කුමාරි ද 1970 ප්‍රකට හින්දි නිළි සාධනාද 2003 දී ප්‍රවීණ ඉන්දීය සිනමාකරු මනිරත්නම් ද 2004 දී ප්‍රවීණ ඉන්දීය සිනමාකරු අදුර් ගෝපාල ක්‍රිෂ්ණන් ද 2005 දී ප්‍රකට දකුණු ඉන්දීය ගායිකා ජමුණා රාණි ද සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

ආරම්භක සරසවිය උලෙළේ සිටම හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු ප්‍රධාන සම්මාත පිරිනැමූ අතර කලින් කල ඔස්කාර්, ෆිල්ම් ෆෙයාර් වැනි සම්මාන උත්සවවල ආභාසය ලබමින් මේ උලෙළට නවාංග එක් කෙරිණි. ඔස්කාර් සම්මාන උලෙළේ දී සම්මාන පිරිනැමිමට ප්‍රථම අනුගමනය කරන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීම, ඒ අරභයා සනිදර්ශිත චිත්‍රපට කොටස් (Film Clips) පෙන්වීම වැනි අංග සරසවිය උලෙළට එක් කෙරුණේ 1986 වසරේ සිට ය.

එතැන් සිට සරසවිය උලෙළේ නිර්දේශ වීම ද ප්‍රමිතියක් බවට පත් විය. Oscar, Film Fare සම්මාන උලෙළ ද්වයෙහිම දක්නට ලැබෙන ජීවිතයේ එක් වරක් පමණක් දිනා ගත හැකි සිනමාව වෙනුවෙන් දිගු කාලයක් කැප වු ජ්‍යේෂ්ඨයන් සඳහා පිරිනමත “Life Time Achivement” සම්මානය පූර්වාදර්ශයට ගනිමින් සරසවිය උලෙළ රණතිසර සම්මානය පිරිනැමීම ඇරැඹුවේ ද 1986 වසරේදීය. ඒ වෙනුවෙන් අදාළ කලා ශිල්පියාගේ සිනමා දිවියේ පියසටහන් පිළිබඳ කෙටි දර්ශන පෙළක් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමය ද ඒ ආකාරයෙන්ම සරසවියෙහි ද භාවිතයට ගැනිණ. “Film Fare” සම්මාන උලෙළේ දක්නට ලැබෙන වසරේ හොඳම හාස්‍යෝත්පාදක නළුවාට සහ වසරේ හොඳම ප්‍රතිවීර චරිතය රඟපෑ නළුවාට පිරිනැමෙන සම්මාන යුගල සරසවිය උලෙළට මෙවර සිට එක් වී ඇත. මේ අතර ම ර්‍ණඵජචප හා Film Fare උලෙළ දෙකෙහි නො දක්නා ලැබෙන සුවිශේෂ අංග වෙත සරසවිය උලෙළේ අවධානය යොමු විය. එනම් සිනමා සාහිත්‍යය ඇතුළත් වීම හා සහාය අධ්‍යක්ෂට සම්මානයක් පිරිනැමීමය.

අපේ උරුමය, සම්ප්‍රදාය සමඟ නවාංග ද සහසංකලනයෙන් ක්‍රමික ව් උත්කර්ෂවත් භාවයට අද්‍යතනයෙහි පත් ව තිබේ. එහි ගෞරවය මෙහි ආරම්භයේ සිට නූතනය දක්වා පත්තර මහගෙදර මුල් පුටුව හෙබ වූ සභාපතිවරු ප්‍රමුඛ ලේක්හවුස් කළමනාකාරීත්වයට ද මීමන ප්‍රේමතිලකගෙන් ඇරැඹි විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ, අරුණ ගුණරත්න යන සියලු සරසවිය ප්‍රධාන සකසුවන්ට ද හිමි විය යුතු ය.

මෙරට සිනමා පුවත්පත් ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සිනමා පුවත්පත සරසවිය වේ. 1972 දී එහි අලෙවිය දෙලක්ෂය ද ඉක්ම විය. අද සරසවිය විද්‍යුත් පුවත්පත හා බැඳුණු සමාජ ජාලා පද්ධතිය සමඟ මිලියන 5ක් පමණ දෙස් විදෙස් ග්‍රාහකයෝ අත්වැල් බැඳ සිටිති. මෙරට කලාත්මක සිනමාවෙහි සේ ම ජනප්‍රිය සිනමා කර්මාන්තයෙහි ද ප්‍රමිතිය ඉහළ නැංවීමේ ගෞරවය, වැඩි ම පිරිවැයක් දරා වාර්ෂික ව සංවිධානය කරනු ලබන සරසවිය සම්මාන උලෙළටත් හිමි වන බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු ද?

36 වැනි සරසවිය සම්මාන උලෙළ ද මේ ප්‍රමිතිය ඉහළින්ම තහවුරු කරනු නිරනුමානය.

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

සරසවිය ප්‍රධාන කර්තෘ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT