මේ දිනවල අති සාර්ථක ව තිරගත වන වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ විසල් ආදරේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ගේ නොමඳ අවධානයට ලක් වී ඇති චිත්‍රපටයක් බව අප දනිමු
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් ගණනාවකගේ රංගන දායකත්වයෙන් ආලෝකවත් වූ විසල් ආදරේ චිත්‍රපටයේ තාදි වෙත නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමිව ඇති බවද රහසක් නොවේ.
රිදී තිරයේ ඒ තාදිගේ ආදරය දිනාගත් ඇය, රශිප්‍රභා සංදීපනී, ඒ ආදරණීය නිර්මාණය පිළිබඳ කළ කතා බහකි මේ.
මේ දවස්වල ප්රේක්ෂතයන්ගේ ආදරය ඉහළයි නේද?
ඔව්. මේ දවස්වල හැමෝම කතා වන චිත්‍රපටය තමයි විසල් ආදරේ. චිත්‍රපටය දැනට මේ කෙටි කාලය තුළ විශාල පේ්රක්ෂක ආදාරයක් විසල් ආදරය චිත්‍රපටයට ලැබී තියෙනවා ඒ ගැන ගොඩක් සතුටුයි.
විසල් ආදරේ චිත්‍රපටයේ තාදී ඇතුළු අයගේ කතාව කොයි විදියටද ඔබ දකින්නේ?
මේ චරිතයට මම සම්බන්ධ වන්නේ වාසව බදුගේ මහත්මයාගේ (විසල් ආදරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ) ආරාධනයෙන්.
ඇත්තටම පේ‍්‍ර්ක්ෂකයන් මේ චිත්‍රපටය වැලඳ ගත් විදිය හා ඔවුන්ගෙන් මේ චිත්‍රපටයට ලැබෙන ආදරේ දුටුවාම මෙම චිත්‍රපටයට සම්බන්ධ වන්න ලැබීම ලොකු වාසනාවක් විදියටයි මම දකින්නේ.
විශේෂයෙන් ආදර ශානරය කියන රාමුව ඇතුළේ බොක්ස් ඔෆිස් වාර්තාවක් පවා මේ වන විට තබා තිබෙන චිත්‍රපටයක්. ආදරේ කියන්නේ මොකක්ද කියන එක දකින්න මේක හොඳම චිත්‍රපටියක්. එකිනෙකා සමඟ අපි ආදරය බෙදාගන්න විදිය ආදරයට නිදහසේ පවතින්න ඉඩ හරිනවාද කියන එක හරිම ලස්සනට මේ චිත්‍රපටය ඇතුලේ කතා කරනවා. මේ කතාව ලියන්නේ දිල්ෂි තත්සරණි. ඇය හරි ලස්සනට ඒක ලියලා තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේ චිත්‍රපටයේ මාත් එක්ක වැඩ කළ ඩිනක්ෂි ප්‍රියසාද්, සචින් නිමේෂ් විරංග ආදි අපි ඔක්කොම මේ නිර්මාණ කාර්යයේදී එක පවුලක් විදියට කටයුතු කළේ ඒ චිත්‍රපටය ඇතුළේ අපි ඔක්කොම එකට වැඩ කරද්දි බෙදා හදා ගත් ආදරයත් ඇත්ත ආදරයක්.
විසල් ආදරේ චිත්‍රපටය ඇතුළේ ඉන්න තාදී කොයි වගේද?
තාදි හරි සරල ගැහැනු ළමයෙක්. තාදී අපි හැමෝම ඇතුළෙ ඉන්නවා. මා තුළත් තාදි ඉන්නවා. මම වටහා ගන්නේ එහෙමයි. තාදී හරි සංවේදී ගෑනු ළමයෙක්. ඉතින් තාදිගේ චරිතය ඇතුලේ තියෙන ඒ ගතිගුණු මටත් හරිම සියුම්ව නිරූපණය සිදුවුණා කියලා මම හිතනවා.
නිර්මාණයක් ඇතුළේ ඔබේ දායකත්වයට තිබෙන පෙර සූදානම කොහොමද?
ටෙලි නාට්‍යයක් වේවා චිත්‍රපටයක් වේවා පිටපතක් ලැබුණම අනිවාර්යෙන් ඒක අධ්‍යයනය කරනවා. මොකද චරිතයක් කියන්නේ විශාල පරාසයක විහිදුණු ජීවන අවස්ථා හා භාවයන්වල එකතුවක් වැනි දෙයක්නෙ. ඉතින් මේක ගැන මම ගොඩක් හොයන්න ඕන. පිටපත රචකයා එක්ක මේ ගැන කතා කරන්න ඕන. ඒ චරිතයට බද්ධ වන අනිත් අයගේ චරිතවල අවස්ථා සම්බන්ධය ගැන අධ්‍යයනය කරන්න ඕන ඊට පස්සේ තමයි ඒ චරිතයට පණ දෙන්න ඕන මේ දේවල් ටික හරියට පෙළ ගැහුණාම තමයි ඒ චරිතයේ හොඳ රිද්මයක් ගොඩනැඟෙන්නේ.
මට චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගේ ලැබුණු කමෙන්ට් එකක් තමයි මගේ රංගනය හරි තාත්විකයි කියන එක. ඒ නිසා ඔවුන්ට දැනුණෙ ඔවුන් ඒ චරිතේ ඇතුළෙ ජීවත් වෙනවා වගේ කියන එක. ඒක මට හරි වැදගත්. එතනදි මගේ අනෙකුත් සහෝදර රංගන ශිල්පීන්ට මම ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපි එකිනෙකා තමන්ගෙග කොටස් ටික හරියට නොකළා නම් අපි කවුරුවත් සාර්ථක වන්නේ නැහැ. ඉතින් ඒ සහාය එකමුතුකම අපේ කණ්ඩායම් ඇතුළේ. ඉතා හොඳීන් තිබුණා. මූලිකව කණ්ඩායමක් විදියට අපි අතරේ ගොඩනැගුණ ඒ ආදරයත් මේ චිත්‍රපටය සාර්ථක වෙන්න බොහෝ සෙයින් බලපෑවා කියලා මට හිතෙනවා.
රංගනය පිළිබඳ ඔබේ හැදෑරීම කොයි වගේද?
මම කුඩා කාලයේ සිටම ඊට නැඹුරුවක් තිබුණා. පාසැල් යන කාලයේ සිට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඒ වගේම වේදිකාවට සම්බන්ධයක් තිබුණා. විශේෂයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම සමඟ සාමාජිකයෙකු විදියට තිබුණු සම්බන්ධය.
සිංහබාහු, මනමේ, පේමතී ජායතී සෝකෝ. රත්නාවලී ආදී වේදිකා නාට්‍යවල ප්‍රධාන භූමිකාව වසර ගණනාවක් මම නිරූපණය කරලා තියෙනවා. එයින් ලබාගත් අත්දැකීම් ප්‍රමාණය ඉහළයි. ඒ වගේම ක්ෂේත්රයේ වසර දොළහක් දැන් මම. ඉතින් ඒ සෑම අත්දැකීමක් සමඟම ජීවිතයේ අවසානය තෙක් රංගනය ගැන මම ඉගෙන ගන්නවා.
ඔබ ඉන්දීය සිනමාවටත් දායක වෙන්න අපේක්ෂාවෙන් ඉන්න බව දැන ගන්න ලැබුණා?
ඔව්. ඉදිරියේදී ඒ නිර්මාණ කාර්යයන් කිහිපයකටත් දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දි ලංකාවේ මම දායක වන නිර්මාණ නිමකර ඒ කටයුතු ආරම්භ කරන්න අපේක්ෂා කරනවා.
ඔබේ ටෙලි නිර්මාණ ගැනත් කතා කරමු
‘සිහින ගෙනෙන කුමාරියේ’ සහ ‘සර්කස්කාරයෝ’ තමයි මේ දවස්වල විකාශය වෙන්නේ. ඒ අතර තවත් අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් කිහිපයකුත් දැන් ආරම්භ කර තියෙනවා. එයත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි කියා විශ්වාස කරනවා.
මුලින්ම ක්ෂේත්රයට පිවිසෙන්නේ?
ස්වාධීන රූපවාහිනි සේවයේ ළමා නිවේදිකාවක් විදියට 2007 වර්ෂයේ දී. එතකොට මම පාසල් යන අවදියේ. මම මුලින්ම ටෙලි නාට්‍ය රංගනයට එක්වෙන්නේත් පාසල් අවධියේමයි. ඒ අවධියේම තමයි මම මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම සමග සම්බන්ධ වී කටයුතු කරන්නෙත්.
රංගන ශිල්පිනියක විදියට ඔබේ සමාජ කියවීම හා බෙදාගන්න කැමති පණිවිඩය මොකක්ද?
මේ යුගයේ සියලුම අංශයන්හි නවීකරණය සමඟින් විශේෂයෙන් සමාජ මාධ්‍ය හා තාක්ෂණයේ දියුණුව සමඟ මිනිස්සු වෙනස් වී ඇති බව මට දැනෙනවා. තමා ගැන පමණක් සිතා කටයුතු කරන බවක් තේරුම් යනවා. ඒක හරිම දුකයි. මොකද මිනිස්සු ඒ තරම් ආත්මාර්ථකාමී වෙන්න වෙන්න ලෝකයක් විදියට අපට ඉදිරියට යන්න හරි අමාරුයි. මොකද අපි තව කෙනකුට උදව් කරන එක, ඒ තුළ ආදරය බෙදාගන්න එක ඇතුළේ තමයි ලෝකයක් ලස්සන කරන්න පුළුවන්. නමුත් ආදරයට පවා අද වටිනාකමක් නැතිවී තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ තාක්ෂණික නවීකරණයත් එක්කයි තාක්ෂණය සමඟ නව පරපුර තනි තනිවයි කටයුතු කරන්නේ එතනදි ඔවුන්ට දැනෙන්නේ තමාව පමණයි තව කෙනෙකුට වන බලපෑම ඔවුන්ට දැනෙනවා අඩුයි.
හැබැයි තනිව කටයුතු කිරීම ගැටලුවක් නොවන බව පිළිගන්න පිරිසකුත් සිටිනවා?
එහෙම වෙන්න නම් ඒකට හොඳ මානසික ශක්තියක් තිබිය යුතුයි. ඊළඟට ආර්ථික ශක්තිමත් බව. තව සමහර විට තනිවීමට අදහස් කිරීම ඇතුළේ තවත් හේතු තිබෙන්න පුළුවන්.
මොනවද ඒ
තමාට නොගැළපෙන තැනක විඳවීමකට ලක්වීමට වඩා තමන් සමඟ පමණක් තමාට සතුටින් ඉන්න පුළුවන් කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ඔවුන් ඒක දකින්නෙ මානසික සැනසීමක් විදියට.
ඊළඟට මේ නූතන අවධියේ වෙනස්වීම කියන දේ ශීඝ්‍රව දකිනවා. ඒ තුළත් විශ්වාසය පිළිබඳ මිනිසුන්ට ගැටලු තියෙනවා. තමාට හොඳ ආදරයක් පවත්වා ගැනීම හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීම හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා. මේ වාගෙ දේ නිසා තනිකමට ගොඩක් මිනිස්සු හුරුවෙන්න උත්සාහයක් තියෙනවා.
අවබෝධයෙන් තනිකමට හුරු වීමත්, තනිකමට ගොදුරු වීමත් වෙන වෙනම කාරණා නේද?
අනිවාර්යයෙන්ම. තමාට තනිකම ඇතුළේ තනියක් දැනෙනවා නම් කවදාවත් තනිවෙන්න එපා. මොකද ඒක එච්චර නිරෝගි නැහැ.
තනිකම ඇතුළෙ අවබෝධයක් ඇතිව තමන්ට ආදරය කරන මිනිසුන්ට තනිකමක් දැනෙන්නෙ නැහැ.
නමුත් තනිකම තුළ ගොදුරක් වෙමින් ඉන්නවා නම් ඒක යහපත් නැහැ. මොකද අනුන්ව සතුටට පත් කරන්න පෙර තමන් තෘප්තියට පත්වී සිටිය යුතුයි. එතනැදි තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කරන්න පුළුවන් නම් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
අපේ සිනමාවේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වීම, ඒ වගේම එතැනින් එහාට ගොස් ජාත්‍යන්තරයේත් එලෙසම යම් හොඳ දෙයක් කරන්න ලැබුණොත් ඊටත් දායක වන්න ඒවා තමයි මුලික බලාපොරොත්තු.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල