Home » ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය ජීවිතේ වැදගත්ම හා වැඩිම පරිච්ඡේදය

ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය ජීවිතේ වැදගත්ම හා වැඩිම පරිච්ඡේදය

- චිත්‍ර ශිල්පිනී මනූෂා ජයසිංහ

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

දෘශ්‍ය කලාව මානව වර්ගයාගේ පැරණිතම සහ වඩාත්ම ගැඹුරු කලාත්මක ප්‍රකාශනයන්ගෙන් එකකි. ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍රවල සිට නූතන ඩිජිටල් කැන්වස් දක්වා කතන්දර කීම, සමාජ සහ චිත්තවේගීය ප්‍රකාශනය සඳහා ප්‍රබල මාධ්‍යයක් ලෙස පවතී. මනුෂා ජයසිංහ ලිංගික අනන්‍යතාවය සහ ලිංගිකත්වය පිළිබඳ ගවේෂණය කරන සමකාලීන චිත්‍ර ශිල්පිනියකි. ඇගේ ප්‍රකාශන පැන්සල්, දියසායම්, ඇක්‍රලික්, තෙල් සායම්, ඩිජිටල් මාධ්‍යන්හි මිශ්‍රණයකි. පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලයේ ලලිත කලා උපාධිය හදරා ඇති ඇය මේ වනවිට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ කලා ඇකඩමියක යුරෝපීය ශාස්ත්‍රාලීය කලාව පිළිබඳ අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටී. සමකාලීන චිත්‍ර ශිල්පීනියක වන මනූෂා ජයසිංහ සමඟ සිදුකළ කතාබහ⁣ මෙවර සරසවිය අවකාශය හරහා ඉඩහසර වෙන්වෙයි.

චිත්‍ර ශිල්පිනියක් ලෙස ඔ⁣බ නිර්මාණකරණයේ යෙදෙන්න පසුබිම සහ ආරම්භය මොකක්ද?

චිත්‍ර ශිල්පියෙකු” හෝ “චිත්‍ර ශිල්පිනියක්” වීම කියන එක සරලව ඇඳීමේ ක්‍රියාවට පමණක් සීමා විය නොහැකි කාරණාවක් විදිහට මම දකින්නේ. නිරන්තර කතිකාව, බුද්ධිමය ගවේෂණය සහ ක්‍රමවත් පුහුණුව අත්‍යවශ්‍යයි. මේ මොහොතේ මම තවමත් “චිත්‍ර ශිල්පිනියක්” ලෙස හඳුන්වන්න බැහැ. නිර්මාණකරණයේ ආරම්භය සහ හැරවුම් ලක්ෂ්‍යය ලෙස මම දකින්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ලලිත කලා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම. ලලිත කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කිරීමෙන් විධිමත් තාර්කික පදනමක් මෙන්ම ශාස්ත්‍රීය පදනමක් ලබාගන්න හැකි වුණා. කලාකරුවෙකු ලෙස නියැළීමේදී කියවීම, විචාරශීලීව සිතීම, සහ විවිධ විෂයයන් සමඟ සංවාදයට ඇතුළත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සියල්ලම විශ්වවිද්‍යාල අධ්‍යාපනය මඟින් ලැබුණා සහ මගේ කාර්යය වන්නේ එය තවත් මුවහත් කරගැනීමයි. විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයෙන් පසුව ලලිත කලා දෙපාර්තමේන්තුවේ තාවකාලික කථිකාචාර්යවරියක විදිහට කටයුතු කිරීම ඇත්තෙන්ම මහඟු අවස්ථාවක් ලෙස මම දකින්නේ.

ඒ වසරක කාලය තුළ ලංකාවේ සමකාලීන ජ්‍යේෂ්ඨ කලාකරුවන් රැසක් හදුනාගන්න ලැබීම, ඔවුන් යටතේ වැඩ කරන්න ලැබීම සහ නිසි පුහුණුවක් ලැබීම අධ්‍යාපන ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන ලෙස දකින්නේ. ඒ අත්දැකීම් සියල්ලම අභාසය සහ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට පිටුවහලක් වුණා. මම දැනට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ කලා ඇකඩමියක යුරෝපීය ශාස්ත්‍රාලීය කලාව පිළිබඳ අධ්‍යයන කටයුතුවල නියැලමින් සිටිනවා. ඒ වගේම  ඉදිරියේදී මගේ ඉදිරි උපාධි කටයුතු ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා. මේ සියල්ල නිසා මම, මගේ ස්ථානය තවමත් ගොඩනගමින් පවතින්නේ. තවමත් ගමනක් ආරම්භ කර ඇති නවකයෙක්, තවමත් අධ්‍යයන කටයුතුවල නියැළෙන, තවමත් මගේ නිර්මාණකරණය; බුද්ධිමය හා සංස්කෘතික සම්භාෂණ අතර පිහිටුවාගැනීමට උත්සාහ කරන්නෙක්. පර්‍යේශණ මත පදනම් වූ කලාකරුවෙක් විදිහට ගොඩනැඟෙන්න උත්සාහ කරන්නෙක් විදියට හඳුන්වන්න කැමතියි.

ඔබ අඳීන ප්‍රකාශන සඳහා කේන්ද්‍රීය තේමාව ලෙස ලිංගිකත්වය ගවේෂණය කිරීමට ඔබව මුලින්ම පෙලඹවූ කාරණය කුමක්ද?

මගේ බොහෝ සිතුවම් සහ පර්යේෂණ සඳහා කේන්ද්‍රීය තේමාව ‘ලිංගිකත්වය’. ඒ විෂය පිළිබඳ ගවේෂණය කිරීමට මුල්ම පෙලඹවීම එක කාරණාවක් පමණක් නොවේ. පළමු මතකය මගේ පාසල් කාලයට යොමුවෙනවා. ඒ වනවිට මට වයස වයස අවුරුදු දොළහක පමණ වයසේ පසුවුණේ . කුඩා කාලයේ සිට චිත්‍ර කලාවට තිබූ උනන්දුව නිසාම පාසලේ දී විෂයක් ලෙස චිත්‍ර විෂය ඉගෙන ගන්නවා. එවකට පාසලේ චිත්‍ර ගුරුතුමියගේ මේසය මත තිබූ එක්තරා පොතක් මගේ ඇස ගැටුණා. ඒ ‘යුරෝපා කලාව’ පිළිබඳ පින්තූර සහිත පොතක්. කඩවසම් ශරීර සහිත පැරණි ග්‍රීක- රෝම ප්‍රතිමා, විනස් සහ අනෙකුත් නග්න කලාකෘති සහ සිතුවම් කුතුහලයක් ගෙනාවේ. ඒ වගේම පාසල් අධ්‍යාපනය තුළ මානව ශරීරය නැතිනම් නග්න ශරීර දකින්නේ අකැප වස්තුවක් විදිහට. එවැනි පරිසරයක ‘කුතුහලයක් – තිගැස්මක්’ පමණයි තිබෙන්නේ. ඒ කාරණය මම හරි ධනාත්මක ලෙස පවරාගත්තා කියන දේ මම විශ්වාස කරනවා. එය තමයි පදනමත්. ඉන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම තමයි එහි පුපුරා යෑම. ඒ කාලයේදී පොත් පත් කියවද්දී මුණ ගැහෙනවා කතුවරයෙක් සඳහන් කරපු පොතක් ගැන. පොත තමයි Chris Uhlenbeck සහ Margarita Winkel ගේ ‘Japanese Erotic Fantasies’ කියන කෘතිය.  නමුත් ඒ පොත ඒ වන විට අපගේ පුස්තකාලයේ තිබුණේ නැහැ. මිලදී ගන්නවා නම් සැළකිය යුතු මුදලක් වෙන්කරන්න ඕනේ නමුත් ලංකාවේ නැහැ. එතරම් මුදලක් වැය කරන්න තරම් මුදල් මා ගාව තිබ්බේ නැහැ සහ බාගත කරන්නත් පහසු නැහැ, ‘Licensed academic resourses’ යටතේ තියෙන නිසා. උනන්දුව නිසාම අපේ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්ට මම ඊමේල් ලිපිනයක් ලියනවා. ඇත්තටම එතුමා හැකි ඉක්මනින් ඒ පොත ලැබෙන්න සලස්වනවා. අදටත් එතුමාට මම කෘතඥ වෙනවා ඒ සම්බන්ධව. ඒ කෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට පෙර මම ගවේෂණය කළේ මනුෂ්‍ය ශරීරිය පිළිබඳ සෞන්දර්ය පමණයි. සඳහන් කළ කෘතිය අධ්‍යයනය කිරීමත් සමඟ මගේ එතෙක් උනන්දුව තිබූ පැතිකඩ බරපතළ ලෙස ලිංගික වෙනවා, මම මෙහිදී සඳහන් කළේ අධ්‍යයන විෂය සහ කෘති පිළිබඳ. එතැන තමයි උපරිමය ලෙස මම සලකන්නේ. මගේ කෘති සඳහා තේමාව හමුවන්නේ එතැන. ඉන්පසුව මම දර්ශනය සහ මනෝ – විශ්ලේෂණය ගැන ස්වයං කියවීමක නිරත වෙනවා. කියවද්දී මම තේරුම් ගන්න දෙයක් තමයි ‘ලිංගිකත්වය’ කියන්නේ හරියට අල්ලගන්න බැරිදෙයක් කියලා. කොච්චර උත්සාහ කළත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැහැ හරියට. හිස්තැනක් වගේ, ලැකාන් කියවද්දී ඔහු හරි ලස්සන පැහැදිලි කිරීමක් කරනවා මේ ‘අඩුව’ පිළිබඳව. ඒ අඩුව නිසා තමයි සංකෘතිය, කලාව සහ මිනිසුගේ හැසිරීම් රටාවන් හැදෙන්නේ කියලා. අපි කෘති නිර්මාණය කරන්නේ, සංස්කෘතික නීති හදාගන්නේ සහ අන් අය සමඟ සබඳතා ගොඩනගන්නේ මේ අඩුව නිසා කියලා. ඔය කියන කරණා සහ සන්ධිස්ථාන ඔස්සේ තමයි මගේ කෘති සඳහා වස්තු විෂය වෙන්නේ.

ලංකේය සමාජයේ ලිංගිකත්වය කියන්නේ තහනම් වූ විෂයයක්. නමුත් බටහිර කලාවෙහි ලිංගිකත්වය කියන්නේ විවෘත දෙයක්. ඔබ දකින විදියට ලංකාවෙි ලිංගිකත්වය කැන්වසය මත ගෙන ඒමේදි මුහුණදෙන අභියෝග සහ වෙනස්කම් මොනවද?

ලාංකේය සමාජය ගැන කතා කළොත් අතීතයේ අපට ඕනෑ තරම් නිදර්ශන හමුවෙනවා. එකල සමාජය අදට වඩා විවෘතව සංවාදයට ගත් බවට ඕනෑ තරම් නිදර්ශන තියෙනවා. දැරණියගල කැනීම්, නාලන්දා ගෙඩිගේ තිබෙන කුඩා කැටයම (තුන්දෙනෙකු අතර ලිංගික ක්‍රියාව), සීගිරිය, ඒ වගේම පැරණි විහාර බිතු සිතුවම් ඕනෑ තරම් නග්න ස්ත්‍රී සඳහා නිදර්ශන තියෙනවා. අල්ලපු රට චෙච්ච ඉන්දියාවේ කජුරාවෝ දෙවොල කියන්නේ කොතරම් ශෘංගාර කැටයම් සහිත දෙවොලක්ද? මම විශ්වාස කරන්නේ ඉතා මෑත කාලයේ සිට තමයි ලිංගිකත්වය පිළිබඳ මර්දනය කරමින් කතාකරන්නේ. ‘ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය ජීවිතේ වැදගත්ම හා වැඩිම පරිච්ඡේදය’. ඇයි අපි මේ තරම් සඟවන්න උත්සාහ කරන්නේ? ඒ වගේම ජාතක කතා පොත ගත්තොත් කොතරම් ඒ පිළිබඳ කතාකරපු ජාතක කතා තියෙනවාද? අපි ව්‍යවහාරයේදී කියන්නේ ජාතක පොත් වහන්සේ’ කියලා. එවැනි සැලකීමක් ලබන කෘතියක, ඕනෑතරම් ලිංගිකත්වය වස්තු විෂය කරගෙන ලියැවුණු කතා තියෙනවා.

නලීනි ජාතකය,අසතමන්ත ජාතකය, සංකප්ප ජාතකය, චුල්ලපලෝභන ජාතකය,…වගේ ජාතක කතා හතකට ආසන්න ප්‍රමාණයක් ගැන ලියැවිලා තියෙනවා. සරලව කිව්වොත් සංකප්ප ජාතකයේ තියෙන්නේ ලැබුණු රති සුවය අනික් පිරිමින්ට අත්වෙන්න බැහැ කියලා කඩුවත් අරන් වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියම කඩු ගාපු මනුස්සයෙක් විෂය කරගෙන ලියැවුණු කථාවස්තුවක්. ඒ වගේම කාම සූත්‍රය  කොටින්ම පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ පොදු ජීවිතය ගැන කතා කරන පළමු පොත. මිචෙල් ෆූකෝ පවා ගොඩක් අධ්‍යයනය කළ කෘතියක්. අනෙක් අතට බ්‍රාහ්මණයෙක්  ඒ පොත ලියන්නේ, ඉතිං ලිංගික ක්‍රියාව කියන්නේ කන බොන තරමට වැදගත් දෙයක්. අද ලිංගිකත්වය ගැන කතා කිරීම් අවහිර කළත් ඒ අවහිර කිරීම ගොඩක් සංකීර්ණයි.

ඒ අවහිර කිරිම ලිංගිකත්වය ගැන කතාබහ ශක්තිමත්  කරනවා. බටහිර හෝ ආසියාතික වේවා මේවා හැඟීම්. සිතීමේ ආකාර. ටැබූ කඩපු, කඩන අර්ටිස්ලා ඕනෑ තරම් ඉන්නවා..එගොන් ශිලේ, ගුස්ටව් කොර්බේ වගේම සමකාලීන කලාකරුවෝ ගත්තොත් කැරොලි ෂ්නිමන්…වගේ ඕනෑතරම් කලාකරුවෝ ඉන්නවා පරිකල්පනීය වශයෙන් නිදහස් වුණු. කැන්වසයට ගෙනෙනෙද්දී මුහුණ දෙන අභියෝග මම පෙර සඳහන් කරපු දේම තමයි. විශේෂයෙන්ම ප්‍රදර්ශයේදී මුහුණ දෙන ගැටලුවක්. සංස්කෘතික කාරණා තමයි මුහුණ දෙන ප්‍රබලම දේ. උදාහරණයක් විදිහට මම උඩරට සිතුවම් සම්ප්‍රදාය අනුගමනය කරමින් කල එකතරා සිතුවමක් සමාජ මාධ්‍යයේ බෙදාගත් නිසා ගොඩක් දෝෂාරෝපණ, තර්ජන වලට වැඩියෙන් මුහුණ දුන්නා. ඒ කාරණා ඇත්තෙන්ම ලංකාවේ සමාජයේ යටිපෙළ (අවිඥානය) තේරුම් ගන්න හොඳ සමාජ-මනෝවිද්‍යාත්මක කලාපයක්. මගේ වැඩවලට හරි පොසිටිව් දෙයක් විදිහට එය දකින්නේ..

ඔබේ මතය අනුව, ලිංගිකත්වය වටා ඇති නිශ්ශබ්දතාවය බිඳ දැමීමට චිත්‍ර කලාව විසින් ඉටු කළ යුතු කාර්යභාරය කුමක්ද?

ලිංගිකත්වය වටා නිශ්ශබ්දතාවයක් කිසිවිටෙකත් නැහැ කියලා මම විශ්වාස කරන්නේ. හීලෑ කිරීමට අපහසු, අවනත නැති දෙයක්, ඒ වගේම අනන්තය වගේ දෙයක්. අවිනිශ්චිතයි. හිර කරන් ඉන්නේ. අවිනිශ්චිතතාවයක් හටගන්නේ මෙන්න මේ අනන්තය ප්‍රකාශ කිරීමේ උත්සාහය තුළ. ඒ නිසාමයි මිනිස්සු ලිංගිකත්වය ගැන විවෘතව කතාකරන්න බිය වන්නේ, සෘණාත්මක ආකල්ප දරන්නේ, රහසින් කතාකරන්න දිරිමත් කරන්නේ, එතරම් මර්දනය කරන්නෙත් ඒකයි. ලිංගිකත්වය ගැන කතා කරනවා කියන්නේ දූෂණය ගැන කතා කරනවා වගේ. දුෂණය කියන්නේ කිසිසේත්ම ලිංගිකත්වයට අදාළ කාරණාවක් නෙමේ කියලා අවම වශයෙන් අපි දැනගන්න ඕනේ. ලිංගිකත්වය ගැන අධ්‍යයනය කළ යුතුයි.. අත්විඳීය යුතුයි. මිනිහෙක්ගේ ජිවිතයේ වැදගත්ම සහ දිගුම කොටස. එවැනි දිගුවක් නොසලකා හැරීම වැරදියි. සරලව පැවසුවහොත් පුරාණ ඊජීප්තුව පවා ලෝකය නිර්මාණය කිරීම පවා දැක්කේ ලිංගික කාරණාවක් විදිහට. මැවුම්කරු දෙවියන් (Atum) ස්වයං වින්දනය්යේ ක්‍රියාවකින් පළමු දෙවි පරම්පරාව නිර්මාණය කළා කියන එක පාකින්සන් පවා පෙන්වලා දෙනවා. චිත්‍ර කලාව කියන එක පෙර සඳහන් කලා වගේ ඔය සංකල්පීය ගැටුම ලෙහාගන්න පුළුවන් හොඳ මාධ්‍යක්. සමාජයට පණිවිඩයක් ලබාදීම වගේ දෙයක් නෙමෙයි ඒක. එහෙම පණිවිඩ ලබාදීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. චිත්‍රය කියන්නේ එවැනි දිගු කාලීන පදනම් නිර්මාණය කරන දෙයක් නෙමෙයි. ඒ මොහොතට පමණයි අදාළ. ඒක මිනිහෙකුව තෘප්තිමත් කරන මුහුවීමක්. සදාතනික පණිවිඩයක්, සම්බන්ධතාවක පදනම සැකසීම චිත්‍ර කලාවට අයිති දෙයක් නෙමෙයි. ලිංගිකත්වය ගැන කරද්දී කලාව එයට වඩාත් හොඳීන් ගැළපෙන්නේ ඒකයි. ලිංගිකත්වය පවා සදාතනික සම්බන්ධතාවය ගැන කතාකරන්න අයිති තැනක් නෙමේ.

ඔබේ ප්‍රකාශනයන් සඳහා බලපෑ කලාකරුවන්, ප්‍රකාශන මාධ්‍ය සහ වෙනත් සංස්කෘතීන් මොනවද?

ඇත්තෙන්ම මම ගොඩක් අධ්‍යයනය කළේ සහ කරන්නේ ජපන් එගො යුගයේ (1603-1868) කාල වකවානුවේ ජනප්‍රිය වූ ඉරෝටික් වුඩ්බ්ලොක් මුද්‍රණ චිත්‍ර. ඒ වගේම තොශියුකි එන්ඩෝ, හජිමේ සොරයම, තොෂියෝ සාඑකි,  එගොන් ශිලේ, ගුස්ටව් කොර්බේ වගේ සිතුවම් ශිල්පීන්ගේ ගේ කෘතීන් අධ්‍යයනය කරනවා. ඊට අමතරම මම ගොඩක් කියවන්න කැමතියි පෙර සඳහන් කලා වගේම. කලා ඉතිහාසය සමබන්ධයෙන්, දර්ශනය සහ මමෝ-විශේලේෂණය සමිබන්ධ බොහෝමයක් කෘති කියවනවා.

ඔබේ සිතුවම් ප්‍රකාශන සඳහා ඔබව යම් විශ්මයකට පත් කරන සංවාද ඇති වී තිබෙනවද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මම කාලෙකට ඉහතදී කරපු එක්තරා සිතුවමක් සමාජ මධ්‍යයේ ප්‍රචාරණය වුණා. උඩරට සිතුවම් ව්‍යාකරණය උපයෝගී කරගෙන ‘සංකප්ප ජාතකයේ’ එන කොටසක් තමයි මම චිත්‍රණය කළේ. එතැනදී විවිධ සංවාද මතුවුණා. ධනාත්මක ප්‍රතිචාර වගේම සෘණාත්මක ප්‍රතිචාර ආවා. ඒක කිසිසේත්ම සිතුවමට අදාළ කාරණයකුත් නෙමෙයි. සිතුවම් ව්‍යාකරණය පටලවා ගැනීමක් සහ වස්තුවිෂය සමබන්ධයෙන් අවබෝධය අවම වීම. මිනිස්සුන්ගේ ආකල්ප සහ චින්තනය අපිට ගොඩනගන්න බැරි දෙයක්, එය තම විසින් අත්පත් කරගත යුතු යමක් නිසා ඒ සම්බන්ධව විශේෂ දෙයක් කියන්න නැහැ. සමස්තයක් විදිහට ගත්තම මගේ සිතුවම් කියවීම සම්බන්ධයෙන් ලංකේය සමාජ සන්දර්භයේ නම් කොහෙත්ම ඉඩක් නැහැ. නමුත් මම දැන් ජීවත් වන්නේ බටහිර සමාජයක නිසා ඔවුන් එක හරි ලස්සන දෙයක් විදිහට දකිනවා. මම ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ගැලරියක සිතුවම් ප්‍රදර්ශනයක් පවත්වන්න සියලු වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නේ සහ එයට විශාල සහයෝගයක් ලැබෙනවා.

ඔබ අඳීන සිතුවම් මහජනතාව අතරට ගෙන යාමට ඔබේ ඉදිරි සැලසුම් මොනවද?

ප්‍රධානම දේ තමයි ‘ප්‍රදර්ශනය කිරීම’. චිත්‍ර ශිල්පියෙක් එළියට එන්නේ එතනින්. සඳහන් කළා වගේ ගැලරි අවකාශයේ ප්‍රදර්ශනය කිරීම තමයි වැදගත්ම වන්නේ. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පියෙක් ප්‍රදර්ශනයට පෙර විශාල කාලයක් ගන්නවා තමන්ගේ වැඩවලට, සහ එයට ගොඩක් කැපවෙනවා. පසුගිය අවුරුදු කිහිපයේ අධ්‍යයන කටයුතු සැලකිය යුතු ලෙස මඟ හැරුණා වගේම අඳීන එකත් නැවතුණා විවිධ හේතු නිසා. ඒ නිසා සිතුවම් ප්‍රදර්ශනයක් තියන්න අවධානය දෙන්න බැරි වුණා. නමුත් දැන් සියල්ල නැවත පටන් ගත්තා. දැන් සිතුවම් ප්‍රදර්ශනයකට කටයුතු සුදානම් කරමින් ඉන්නේ.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT