Home » රෝස මලට ගී ලියූ වියපත් නොවූ බඹරා

රෝස මලට ගී ලියූ වියපත් නොවූ බඹරා

ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

ගීතයකින් රසික හදවත් වැලඳ ගැනීමට, ස්පර්ශ කිරීමට හැකිවීම ගායකයා, ගායිකාව, සංගීතඥයා මෙන්ම ගීතයේ රචකයා ද ලබන ජයග්‍රහණයකි. ඉතා සියුම් ලෙස රසිකයාට ළංවීමට ගීත රචනය ඉවහල් වන බව කිව යුතුයි. එහෙත් එය රසබර මෙන්ම අරුත්බර පද වියමනකින් සමන්විත වීම විශේෂයි. ජීවිතයට සතුට, දුක, ආදරය, විරහව දැනුණු මොහොතක බොහෝ දෙනා ගීතයක් අසා එය සමසේ විඳ දරා ගැනීමට පුරුදු වී සිටිති. එයට ගීතයේ පදවැල් අර්ථවත් වීම වැදගත් කොට සැලකිය යුතුයි. හැකියාව තිබූ පමණින් කුමන හෝ වචන ටිකක් එක්කොට ගීතයක් ලියූවත් එහි හොඳ අරුතක් නැත්නම් ගීතයක් ලෙස පිළිගත නොහැකිය.

සාහිත්‍ය සම්මාන දෙකකින් පිදුම් ලැබූ “මගේ පුංචි රෝස මලේ” ගීතය ශ්‍රී ලංකාව තුළ අතිශයින් ජනප්‍රිය විය. එම ගීතයත් සමග මියුරු ගීත රැසක් රචනා කොට ගීත ලොවට දායාද කළ ඒ සොඳුරු ගී පද රචකයා ධම්මික බණ්ඩාරයන්ය. ඔහු ප්‍රවීණ ගීත විචාරකයෙක් ද වේ.

හන්තානට පායන සඳ, සඳ කුමාරි මගේ මනාලි, ශ්‍රී දේවී වගේ නටන්න බැරි හින්දාම, ඔබ එදා නම්, වැනි ගීත රැසක හිමිකරු වන ධම්මික බණ්ඩාර මහතා “සරසවිය” සමගින් එක් වූයේ හද පිරි සතුටින් බව කිව යුතුයි.

මේ සොඳුරු ගීපද රචකයා සරසවිය සමගින් එක්වීමට විශේෂ හේතුවක් ඇත. ඔහුගේ මෙහෙයවීමෙන් “ගීතාලංකාරය” වැඩසටහන ලේක්හවුස් ආයතනයේ පවත්වන ලදි. එදින කාටත් අමරණීය දිනයක් විය.

ලේක්හවුස් ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය විසින් ආයතනයේ සේවක සේවිකාවන්ගේ මානසික සැහැල්ලුව උදෙසා ගීත විචාරාත්මක වැඩසටහනක් සංවිධාන කරන ලදි. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඒ සඳහා තෝරාගෙන ගත්තේ ධම්මික බණ්ඩාර මහතාගේ ගීතා ලංකාර වැඩසටහනයි. මෙය පසුගිය 23 අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්විණ. නිහතමානීව එතුමාටම ආවේණික වූ සුන්දර සිනහවක් සමඟින් ධම්මික බණ්ඩාර මහතා අප හා කතාබහට මුලපිරුවේය.

බොහෝ දෙනා ඔහු ගැන දැන සිටියත්, ඔහුගේ ජීවිතයේ විවිධ වූ හැලහැප්පීම් සමඟින් මේ දක්වා ආ ගමනේ දුක් මුසු, රස මුසු තැන් ආවර්ජනය කිරීමට ධම්මික බණ්ඩාර මහතා නොපැකිළව ඉදිරිපත් විය.

“මගේ දෙමව්පියන් ගුරු වෘත්තියට සම්බන්ධ වෙලා හිටියේ. මගේ අම්මා තාත්තා එකතු වෙලා තියෙන්නේත් ගුරුවරු වූ නිසයි. තාත්තගෙ ගම උණේ මහනුවර පළාතේ උඩුව කියන ගම්මානය. අම්මා මීගමුව පළාතේ. මම ඉපදිලා තියෙන්නෙත් මීගමුවේ. මම ඉගෙන ගත්තේ යාපහුව ආසනයේ අති දුෂ්කර පාසලක් වුණ පන්නිලව විදුහලේ. ඒකෙ තිබිල තියෙන්නෙ එක ගොඩනැඟිල්ලයි. අලුතින් හදපු ගුරුනිවාසය විවෘත කරන්න අම්මා මාව එක්කන් ගිහින් තියෙන්නේ එයාගේ දෝතට තුරුලු කරගෙන. ඉතින් මම අධ්‍යාපනය ලබන්නෙත් ඒ පාසලේමයි. මම ඉගෙන ගන්න දක්ෂයා, මට පුළුවන් වුණා ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්දයට ඇතුළත් වෙන්න. මම දක්ෂයෙක් උණත් මාව වැටුණේ ඊටත් වඩා දක්ෂයෝ ගොඩක් මැද්දට. දුර ඉඳලා ආපු නිසා මට හොස්ටල් එකේ නවතින්න වුණා. ඇත්තටම ඒ හොස්ටල් ජීවිතයේ මුල් අවුරුද්ද ඉන්න හරි අමාරු උණා. ගෙදර මතක් වෙනවා. අම්මා තාත්තා මතක් වෙනවා. ගෙදර දුවන්නටමයි තමයි හිත. ගෙදර යන්න නිතරම හේතු හැදුවා. බොරු උණ බොරු බඩේ අමාරු වගේ දේවල් නිතරම තිබුණා. ඒත් පසුකාලීනව මම හොස්ටල් ජීවිතේට ඉබේම හුරු වුණා.

අපේ හොස්ටල් එක ඉස්සරහම තිබුණේ බාස්කට් බෝල් කෝට් එක. අපිට ක්‍රිකට් ගහන්න යන්න විදිහක් තිබුණේ නැහැ. සල්ලි නැති නිසා. මම හොඳට බාස්කට්බෝල් සෙල්ලම් කරපු නිසා මාව ටීම් එකට තේරුණා. කණ්ඩායමේ උප නායකයා වුණේ මම. වයස අවුරුදු පහළවෙන් පහළ ශූරතාවය දිනා ගන්න අපට හැකි වුණා. දිගින් දිගටම ක්‍රීඩා කරපු නිසා අධ්‍යාපනය තරමක් පහළ වැටුණා. ඒ හේතුව නිසා ගෙදරින් බලපෑම් කරන්න පටන් ගත්තා බාස්කට් බෝල් නවත්තන්න කියලා. ඒත් මම ඇහුවේ නැහැ. මම අපොස සාමාන්‍ය පෙළ හොඳීන් සමත් වුණා. උසස් පෙළ කළේ විද්‍යා විෂයන්වලින්. ඒකාලේ අර්ජුන රණතුංග අපේ ඉස්කෝලේ ක්‍රිකට් ක්‍රීඩා තරුවක් වෙලා හිටියා. උසස් පෙළ කරන කාලේ තමයි අපේ දඟකාරකාලේ. අපි ඉතින් ගෑණු ළමයි එක්ක ආදර සම්බන්ධතා එහෙම පටන් ගත්තා. යාළු වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා. ඔය විදිහට තමයි උසස් පෙළ ගෙවිලා ගියේ. අපේ තිබුණ දඟකාර ගති නිසාම උසස් පෙළ අධ්‍යාපනය තරමක් පසු බහින්න පටන් ගත්තා. මම දෙපාරක් උසස් පෙළ කළා. දෙවැනි පාර පාස් වුණත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඒත් අපි මොනවා හරි කරන්න ඕන කියලා හිතන නිසා ගුවන් හමුදාවට ඉල්ලුම් පත්‍ර දැම්මා. මගේ යාළුවා ප්‍රේමසිංහත් සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා ගියා ගියා. හිතට දුකක් දැනුණු අවස්ථාවක් වුණා මට; වෛද්‍ය පරීක්ෂණයෙන් මාව නොතේරුණු නිසා. ඒකට හේතුව වුණේ මගේ ඇස්වල පොඩි දුර්වලතාවයක් තිබුණ නිසා. වාසනාවකට මගේ යාළුවාව තේරුණා. ඔහු ගුවන් හමුදාවේ වින්ග් ජධථථචදඤඥප තනතුර දක්වා ගියා.

ධම්මික බණ්ඩාර මහතාගේ තරුණ කල විවිධ වූ අත්දැකීම් හැල හැප්පීම් ගැන කතා කලත් ඒ අවස්ථාවේ ඔහුගේ මුහුණේ ප්‍රසන්න භාවය නම් අඩුවක් තිබුණේ නැත. ප්‍රශ්න අසමින් බාධා කරනවට වඩා ඔහුගේ කතාවට මා සවන් දී සිටියේ කන් පිනවන ගීතයට සවන් දී සිටින්නාක් මෙනි. ඔහුගේ කතාවත් තාලයකට ගලා යන ගීතයක් වැනිය.

“ගුවන් හමුදාවට නොතේරීම හේතුවෙන් මම කල්පනා කරන්න පටන් ගත්තා මම ගත යුතු ඊළඟ පියවර ගැන. ගෙදර යන්නත් බෑ. අම්මා තාත්තා මහන්සිවෙලා උගන්නලා කොළඹ එවලා මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක ගැන දුක් වෙයි කියලා හිතුනා. දොස් කියයි කියන සිතුවිල්ල මගේ හිතේ හොල්මන් කළා.

ඒත් කොහොම හරි හිත හයිය කරගෙන ගෙදර ගියා. ගිහින් අම්මාටයි තාත්තාටයි කිව්වා මගේ තීරණය. ඒ වෙනකොට මම තීරණයක් අරගෙන තිබුණේ නැවතත් උසස්පෙළ කරන්න කලා විෂයන් වලින්.

ඒ තීරණය නිසා තමයි මම කුරුණෑගල පිරිවෙනට ඇතුළත් වෙන්නේ. අවුරුදු දෙක ඇතුළත මම හොඳීන් ඉගෙන ගත්තා. සිංහල,බෞද්ධ සංස්කෘතිය, තර්ක ශාස්ත්‍රය සහ ආර්ථික විද්‍යාව තමයි මම තෝරා ගත්තේ. හොඳ ප්‍රතිඵල සහිතව මම උසස් පෙළ විභාගය සමත් වුණා. නීතිය හදාරන්න සුදුසුකම් තිබුණා. ඒකාලේ අපේ හිතේ තිබුණ හිතුවක්කාර ගති නිසා මම ඒක තෝරගත්තේ නැහැ. නීතිය හැදෑරුවනම් ඔප්පුවක් හරි ලියාගෙන ඉන්න තිබුණා.

ඔහු එසේ පැවසුවේ සිනාසෙමිනි. ඇත්තෙන්ම ධම්මික බණ්ඩාර මහතා නීතිය හැදෑරුවේ නම් මෙතරම් මනරම් ගීත අපට අසන්නට නොලැබෙන්නටත් ඉඩ තිබුණි.

අත්තනායක එම් හේරත් මහතා මට කතා කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්න කියලා. ඒ කාලේ නාට්‍ය පිස්සුවක් තිබුණා. ඒ නිසා මම කොළඹ විශ්වවිද්‍යාලය තෝරා ගත්තා. නාට්‍ය බලන්න පහසු නිසා. මට පොඩි ආදර සම්බන්ධයකුත් තිබුණා ඒ කාලෙ. පසුව එය අතහැරුණා. ඒ නිසා ඇති වුණ තනිකම වේදනාව මගහැරෙන්නත් එක්ක කවි ලියන්න පටන් ගත්තා. ඒ කවි මුලින්ම අගය කරපු තැනැත්තෙක් හිටියා. ඒ තමයි මහාචාර්ය උදය රණවක මහතා. එතුමා තමයි ලංකාවේ සිටින හොඳම ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා. එතුමා මම ලියපු කවිය ඉහළින් අගය කළා. වර්ණනා කළා. මට තව තවත් ලියන්න කියලා පෙලඹුවේ උදය රණවක මහතා. විජිත කුමාර විජේරත්න සහ ප්‍රසන්න ප්‍රියදර්ශන කියන මගේ හිතවතුන් දෙපළත් මාව දිරිමත් කළා ලියන්න කියලා.

ධම්මික බණ්ඩාරයන්ගේ කවි ලිවීමේ දක්ෂතාවය නිසාම ඒවා රසවිඳී තවත් එක් තැනැත්තියකගෙන් ලියන්නට ඔහුට ආරාධනා ලැබී තිබුණි.

අපේ විශ්වවිද්‍යාලයේ තිබුණා වින්දන කලා කේන්ද්‍රය නමින් සංගමයක්. ඒකෙ සභාපති විදිහට වැඩ කළේ මහාචාර්ය තිලක් රත්නාකාර මහතා. එතුමන්ගේ දියණිය සචී රත්නාකාර මට ආරාධනා කළා කවි ලියන්න. එතුමිය කියවලා තිබුණා මම ඒ දවස්වල බිත්ති පුවරුවේ ලියල අමුණලා තිබුණ කවි පන්ති. ඔය අතරේ පද්‍ය, ගීත රචනා, කෙටිකතා තරගාවලියකට මම ඉදිරිපත් වුණා.

මම අංශ තුනටම ඉදිරිපත් වුණා. පද්‍ය රචනා සහ කෙටිකතා අංශ දෙකෙන්ම දෙවැනි ස්ථානයත්, ගීත රචනා සඳහා පළමු ස්ථානයත් හිමි කරගන්න මට හැකි වුණා.

එතුමාගේ කවි රචනා සඳහා මෙතරම් ඇගයුමක් ලැබුණා නම් ගීත රචනා සඳහා ඉහළම ඇගයුමක් හිමිවිය යුතු යැයි ඔබටද සිතෙන්නට පුළුවන.

ධම්මික බණ්ඩාර මහතාගේ මේ අපූරු කතා අත්දැකීම් කොතරම් නම් රසවත්ද? ඒ රසවත් බව නිසාම වන්නට ඇති අතිශයින් ජනප්‍රිය ගීත රාශියක් ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ.

නැවතත් ඔහු කතාව ඇරඹුවේය. අපි කවුරුත් දන්න උපුල් ශාන්ත සන්නස්ගල මට වඩා අවුරුද්දක් වැඩිමහල්. ඔහු විශ්වවිද්‍යාලයට ආවේ එයාගෙ අයියාගේ ගෙදර ඉදන්. මම හිටියේ හොස්ටල් එකේ. දිනක් මට සන්නස්ගල යෝජනාවක් ගෙනාවා එයත් එක්ක අයියලාගේ ගෙදර නවතින්න කියලා. මමත් ඒකට කැමති වෙලා ඔහුත් සමඟ අයියලාගේ ගෙදර නැවතුණා. බණ්ඩාරගම ප්‍රදේශයේ. ඔහුට තිබුණා කලාකරුවන් සමග ඇසුරක්. මටත් ඒ ඇසුර ලැබුණා ඔහුත් සමඟ හිටපු නිසා. අපි එකට ඉන්න අතරතුර මම සන්නස්ගලව උනන්දු කළා ලියන්න. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි සන්නස්ගල අතින් “සරසවි දියණියෝ” ලියවෙන්නේ.

ධම්මික බණ්ඩාරයන් සහ උපුල් ශාන්ත සන්නස්ගල දෙපළ අපූරු සුසංයෝගයක් යැයි කිව හැකිය එය එතරම්ම අපූරු මිතුදමකි.

අපේ ජීවිත ඔය විදිහට ගලාගෙන යද්දි ඇතැම් අවස්ථාවල සිදුවුණ සිදුවීම් නිසා විශ්වවිද්‍යාල වැසී ගියා. අපේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර වුණා. අපේ හීන බලාපොරොත්තු බොඳ වුණා. මම ආයෙමත් ගමට ගියා. ඒ අතරේ මට කුඩා කල සිට ශක්තියක් වුණ ආදරණීය අම්මා අපෙන් සමුගත්තා. මගේ ජීවිතය මානසික ඇද වැටීමකට වගේම අපේ පවුලේ ආර්ථික මට්ටමත් පහළට වැටුණා.

කෙතරම් පුදුම සහගතද? අමාරුවෙන් ගොඩනගා ගත් ජීවිතයේ නැවතත් හැල හැප්පීම් වලට ලක් වූ සැටි. ඔහු අතින් රචනා වූ ගීත රසවත්ය. එහෙත් ජීවිත ගීතයට සිදු වූ බාධක බොහෝය.

මදක් නිහඩව සිටි ඔහු නැවතත් තම හඬ අවදි කරන්න විය.

නැවතත් විශ්වවිද්‍යාලය ආරම්භ වුණා සන්නස්ගල ඒ වෙනකොට පියවර කිහිපයක් ඉදිරියට තියලා තිබුණා. ඒ කියන්නේ දියුණු වෙලා. ඔහු දෙල්කඳ ප්‍රදේශයෙන් කාමරයක් ගත්තා. ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා සමඟ ඇසුරක් තිබුණා සන්නස්ගලයන්ට. ඒ නිසා ඒ මහතාගේ අරලිය පත්තරේට ලියන්න අවස්ථාව ඔහුට ලැබුණා. උපුල් ශාන්ත සන්නස්ගලයන් අතින් වස්සාන සිහිනය ලියැවෙන්නේ ඒ අවස්ථාවේ තමයි. මටත් ලියන්න ලැබුණා; විශ්වවිද්‍යාලයේ යම් යම් සිද්ධීන් ගැන. ඒ අනුව තමයි සරසවි “සරසවි දැහැන” මා අතින් ලියැවෙන්නේ. කවි ලියන්නත් අවස්ථාව ලැබුණා. ඒ කවි, පොතක් විදිහට එළි දක්වන්න තීරණය වූ නිසා “අහෝ මිත්‍රවරුනි” නමින් ඒ පොතට නම් තිබ්බා. උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “සරසවි දියණියෝ” පොතත් මගේ “අහෝ මිත්‍රවරුනි” කවි පොතත් එකම දිනයේ කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ජනගත කලා.

පසු කාලයකදී විවිධ හේතූන් මත අප දෙදෙනාගේ මිත්‍රත්වය ටිකක් ඈත් වුණා. සන්නස්ගලයන් ටියුෂන් ලෝකේ උපරිමයට ගියා. මමත් ග්‍රාමීය මට්ටමින් පන්ති කළා. ඒ නිසා ටික කාලයකට කලාවෙන් ඈත් වෙන්න සිදු වුණා. ඒත් කලාව පැත්තෙන් තිබූ බලාපොරොත්තු අත් නොහැර ඒවා හිත තුළම රඳවාගෙන ජීවිතය ගෙන ගියා.

මෙතෙක් ධම්මික බණ්ඩාර මහතා කතා කළ තමාගේ ජීවිත විත්ති ගලා ගිය ආකාරය ඉතා හොඳීන් පැහැදිලි කර දුන්නේය. ඉන්පසු ඔහුගේ ඊළඟ පියවර ගැන කතා කිරීමට එතුමා කැමැත්තක් දැක්වීය.

“මට එක්තරා අවස්ථාවක ප්‍රවීණ ගායකයෙක් වන නිමල් ගුණසේකර මහතා මුණගැහුණා. එතුමා මට යෝජනා කළා සීඩී එකක් කරමු කියලා. අපි ඒ අනුව සීඩී එකක් නිර්මාණය කළා. ඒත් ඒක අලෙවි කරගන්න බැරි උණා. එම සීඩී පටයේ නිර්මාණ ධාරිතාව වැඩි බව කියමින් කිසිම කම්පැනි එකකින් බාර ගත්තේ නැහැ. ඉතින් අපි මහත් අපහසුතාවයට පත්වුණා. ලංකාවේ සිටින ප්‍රවීණතම ගායක ගායිකාවන්ගේ ගීත ඒ සීඩී එකේ අඩංගු වෙලා තිබුණා.

ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී නොසිතූ ලෙස විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදුවේ. එහෙත් වාසනා ගුණය හේතුවෙන් නැවතත් නැඟී සිටීමට හැකිවන අවස්ථාද නැතුවා නොවේ.

මුල් සීඩී එකේ පසුබෑවත්, නැවතත් මට සීඩී එකක් කරන්න ලැබෙනවා. රජයේ ආයතනයක ඉහළ නිලයක් දරන මහත්මයෙක්ගෙන්. එතුමා තමයි ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කළ කීර්ති ධර්මසිරි මහතා. ඒ මහත්මයා කියා සිටියා “සල්ලි දෙන්නම්, සීඩී එකක් කරන්න.” කියලා. ඒ අවස්ථාව තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මම ලියපු ජනප්‍රියම ගීත වන”හන්තානට පායන සඳ”, “මගේ පුංචි රෝස මලේ”, “ඔබ ආයෙමත් ඇවිදින්”, ශ්‍රී දේවී වගේ නටන්න බැරි හින්දාම” යන ගීත ටික ඇතුළත් සීඩී එක කළා. ඒක නොසිතූ විරූ ලෙස ජනප්‍රිය වුණා. රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, පුවත්පත් ආදියෙන් මට ආරාධනා කළා; සම්මුඛ සාකච්ඡා ආදිය සඳහා. ඒ වෙනකොට මම කිසිම මාධ්‍ය ආයතනයකට ගියේ නැහැ ප්‍රචාරයේ ඉල්ලගෙන. ඒත් විශේෂයෙන් “සරසවිය” පුවත්පත මම ගැන ඉහළින් අගය කළා. වර්ණනා කළා. මා වෙනුවෙන් විවිධ දේ පළ කළා.

මගේ ගීත ඉන්පසු අතිශයින් ජනප්‍රිය වුණා. ඒ නිසා මට අවස්ථාව ලැබුණා නායකත්ව පුහුණු වැඩසටහනක් කරන්න. එයට නායකත්වය ගත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දාපු ඉල්ලුම් පත්‍රයක් මඟින් තමයි මාව ඒ වැඩසටහන සඳහා තෝරාගත්තේ. මම පොඩි කණ්ඩායමක් හදාගත්තා. දයානාත් බණ්ඩාර මහතා සහ වාදකයෙක්, නිවේදකයෙක් ලෙස කටයුතු කරපු සෑම් විමලධර්ම යන මහත්වරු මා සමඟ සම්බන්ධ වුණා. එය දෙපළට ගායන හැකියාව හොඳීන් පිහිටලා තිබුණා. අවුරුදු තුනක් ඇතුළත හමුදා කඳවුරු 35ක අපි වැඩසටහන් කළා. ඒවා අති සාර්ථක වුණා.

දැනටත් ජනප්‍රිය හරවත් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකි “ගීතා ලංකාරය” වැඩසටහන ආරම්භ කිරීමට එතුමා තීරණය කරන්නේ ඒ අනුවයි.

ඉන්පසුව අපි පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදා ගත්තා. “ගීතාලංකාරය” නමින් ඒ වැඩසටහන නම් කළා. මේ වෙනකොට දාහක් ඉක්මවලා කරලා තියෙනවා. පාසැල්වල ආයතනවල ඇඟලුම් කම්හල්වල සමිති සමාගම්වල අපි මේ වැඩසටහන කරලා තියෙනවා. ඒ මඟින් අපිට හොඳ රසික පිරිසක් ඇති කරගන්න පුළුවන්.

“ගීතා ලංකාරය” වැඩසටහන කරන අතරතුර මම කරපු ව්.ඹ්ඕ. ප්‍රාර්ථනා වැඩසටහන නිසා මට ලෝකය දකින්න වාසනාව ලැබුණා. ඒක කළේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. මුලින්ම මට රෝමයට යන්න ලැබුණා. ඉන් පසුව ඕස්ට්‍රේලියාව, කොරියාව, ඩුබායි වගේ රටවලට ගියා. සංගීත වැඩසටහන්වල පූරක විදිහට. අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, සශිකා නිසංසලා, සුනිල් එදිරිසිංහ වගේ දක්ෂ ජනප්‍රිය ගායක ගායිකාවන් තමයි ඒ වැඩසටහන්වලට සම්බන්ධ වුණේ.

ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ජීවිතය ගලාගෙන ගියේ.

ඇත්තෙන්ම ධම්මික බණ්ඩාර මහතා තම ජීවිතයේ මුහුණ දුන් දුක්කම්කටුලු, රසමුසු තැන්, ජයග්‍රහණ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට කිසිදු මැළිකමක් නොදැක්වීම අගය කළ යුතුයි.

වර්තමානයේ අපට ඇසෙන හරසුන් ගීත පිළිබඳව මම ඔහුගෙන් විමසූ විට ධම්මික බණ්ඩාරයන් පිළිතුර දුන්නේ මෙසේය.

“ඇත්තටම ඔය පැනයට පිළිතුරු දෙන්න අමාරුයි. අද තරුණ පිරිස යොමු වෙලා ඉන්නේ ජනපි‍්‍රය සංස්කෘතියට බොහෝ අය තුළ සාහිත්‍ය දැනුම නැහැ. ඒත් ඔවුන්ට වැරැද්දක් කියන්නත් බෑ. පොඩි කාලේ පාසැල් හරහා සාහිත්‍ය පිළිබඳව, වින්දනය පිළිබඳව දැනුමක්, හඳුන්වාදීමක් කලා නම් මේ තත්ත්වය බොහෝ දුරට මඟ හැරෙන්නට තිබුණා. අද සමාජයේ හොඳ ගීත රචනා කරන්න හැකි, උසස් රස වින්දනයක් ඇති තරුණ පිරිසකුත් ඉන්නවා. ඒත් ඒ අයට ඉදිරියට එන්න බැරි කමක් තියෙනවා. හැකියාව තිබුණත් හමුවෙන බාධක කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් තමයි ඔවුන්ට සාර්ථක වෙන්න පුළුවන්.

ධම්මික බණ්ඩාර නම් මේ සොඳුරු ගීත රචකයා අතින් සිනමාවට හෝ ටෙලි නාට්‍ය සඳහා ගී රචනා කර නොමැති වීම පුදුමයට කරුණකි. කොළඹින් බැහැරව සිටීම නිසා ඒ සම්බන්ධතා පවත්වාගෙන යාමට අපහසු වීම හේතුවෙන් එසේ ගීත රචනා නොවීමට හේතුව බව ඔහු පැවසීය.

ඔහු අතින් රචනා වූ ගීත එහෙත් තවමත් අපට නෑසුන ගීත බොහොමයක් ඇත කෙදිනක හෝ එම අපූරු ගීත රචනා අපූරු සංගීතයක් සමඟ මුසුව ගීතවලට පෙරලෙනවා නම් කොපමණ අගේද?

කොතරම් හරසුන් ගීත ඇසුනත් රචනා වුවත් හරවත් අර්ථවත් ගී වලට සවන් දෙන රසික පිරිසක් ඇති කිරීමට වෙර දරන එයට මඟ කියා දෙන ප්‍රවීණ ගීත රචක විචාරක ධම්මික බණ්ඩාර මහතාට සුවිශේෂී ඇගයුමක් කළ යුතුමයි.

අපේ කතා බහ නොදැනීම ගලාගෙන ගියද කාලය හරස්වීම නිසා ඔහු සමඟ කළ රසවත් හරවත් කතාබහට විරාමයක් තැබීමට සිදුවීම තරමක කනගාටුවට කරුණකි. මන්ද ධම්මික බණ්ඩාර ගීත රචකයා සතුව අපට වැදගත් කතා රාශියක් ඇති බැවිනි ධම්මික බණ්ඩාරයන් අතින් තව තවත් රසාලිප්ත ගී රැසක් රචනා කිරීමට හැකි වේවා යැයි සරසවියේ පැතුමයි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT