මේ දිනවල තිරයට පැමිණි නවතම සිනමා නිර්මාණය වනුයේ ‘බෆලෝ ට්රැවල්ස්ය. එය දම්මිත් ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ප්‍රථම සිනමා නිර්මාණයයි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ එකම පුතු වන ඔහු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වන මොහොතේ සිනමා පටය පිළිබඳත්, ඔහුගේ සිනමා දිවියේ ඉදිරි තොරතුරුත් පිළිබඳ කළ කතා බහකි මේ.
බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය මේ දිනවල තිර ගත වෙනවා. මොනවගේ ප්‍රතිචාරද ඔබට ලැබෙමින් පවතින්නේ?
ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය මම නිර්මාණය කළේ පොඩි පර්යේෂණාත්මක පැත්තකුත් එක්කයි. ඒ නිසා හැම තිස්සෙම ප්‍රේක්ෂකයෝ මීට දක්වන ප්‍රතිචාර මොනවද කියන එක ගැන අවදියෙන් හිටියා. අපි මේ චිත්‍රපටය නිදහස් කරන්න කලින් ටෙස්ට් ඕඩිටන්ස් එකකටත් පෙන්නුවා. ඒ ප්‍රතිචාරත් බලලා තමයි අපි සංස්කරණ කටයුතු අවසන් කළේ. ඉතින් අපි හිතපු විදියට, ඒ හිතපු තැන්වල ඒ ප්‍රතිචාර තිබෙනවා. මම සතියක් දෙකක් ඇතුළත ලබපු ප්‍රතිචාර වලින් මට කියන්න තිබෙන්නේ ඉතාම හොඳ මට්ටමක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා කියලයි. කොහොමටත් අද අපේ චිත්‍රපට කර්මාන්තයේ පවතින බොහෝ ගැටලුකාරි ස්වභාවයනුත් මේ සඳහා දැඩි ලෙස බලපානවා. සිනමාශාලාවල පවතින අර්බුදය, ෂෝ ටයිම් වල තිබෙන විධාකාර ප්‍රශ්න නිසා විවිධ ගැටලු වලට මුහුණ දීමට වෙනවා. සමහර අවස්ථාවල අපේ ප්‍රේක්ෂකයන්ට නරඹන්න ගිය චිත්‍රපටය නොවෙයි ශාලාවේ නරඹන්න තිබෙන්නේ. එවැනි ගැටලුකාරි වාතාවරණයන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ දිනවල වැහිබර කාලගුණයක් පවතින්නේ. ඒවත් චිත්‍රපටයක සාර්ථක අසාර්ථක භාවයට බලපානවා. මේ සියලු දේත් එක්ක අපේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමේ තත්ත්වය හොඳයි. ලංකාව පුරාම තිබෙන සිනමා ශාලා 10-15ක් අතර ප්‍රමාණයකට මම නියෝජිතයකු යවලා යම් යම් දත්ත ප්‍රමාණයන් ගෙන්වා ගත්තා. ඒ විස්තර අනුව නම් ඉතා හො ප්‍රතිචාර තිබෙනවා. අනෙක් චිත්‍රපටත් සමඟ තරගකාරිත්වයකින් මගේ චිත්‍රපටයත් ප්‍රදර්ශනය වෙන තත්ත්වයක් තමයි මට නිරීක්ෂණටය වෙන්නේ. ඉදිරියේදි මේ තත්ත්වය මිට වඩා හො තත්ත්වයකින් ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා.
ඔබම පැවසුවා මෙය කිසියම් පර්යේෂණාත්මක චිත්‍රපටයක් බව
ඒ වගේම වර්තමානයේ අප දකින සිනමාවෙන් තරමක් දුරට බැහැරට ගිය සිනමා නිර්මාණයක් ‘බෆලෝ ට්‍රැවල්ස්’ කියන්නේ. ඒ පිළිබද අපි කතා කළොත්?
මෙහෙමයි, බන්දු සමරසිංහ මහත්මයා චිත්‍රපටයක ඉන්නවා නම් ටෙනිසන් කුරේ මහත්මයාත් ඉන්න ඕන කියලා මතයක් නිර්මාණය වෙලා තිබුණා. දෙවැනි කාරණය තමයි අපේ විකට චිත්‍රපට කියලා නිර්මාණය වුණු චිත්‍රපටවල යම් ආකාරයක ‘රිළා නටවන ගතියක් තිබුණා. (මේ වචනය පාවිච්චි කරාට කමක් නෑ කියලා මම හිතනවා) අන්න ඒකෙන් බැහැර වෙන්න තමයි මට ඕන කළේ. බිම පෙරළිලා, දගලලා හිනාවෙන්නේ නැති ක්‍රමයක් (මම ඒ ක්‍රමයට අගෞරව කරනවා නොවෙයි) ඒවා අපේ පරිණාමයේ කොටස්. එදා තිබුණ දේ වෙනසකට බඳුන් කරන්න තමයි මට ඕන කළේ. එදා ඒ චිත්‍රපට කර්මාන්තය සාර්ථක වුණා. ඒ සාර්ථකත්වයත් එක්ක, පසු කාලයකදී ඒක ප්‍රතික්ෂේප කරන මට්ටමකටත් ආවා. මම එය කාරණා බලලා තමයි හිතුවේ මේ චිත්‍රපටය වෙනස් විදියකට නිර්මාණය කරන්න. මම හිතුවා මේ චිත්‍රපටයේ කතාවට මම මුල් තැන දෙනවා කියලා. හාස්‍යය කියන දේ දෙවැනුවට තැබුවා. හාස්‍යය බලෙන් ගේන්න හදනවට වඩා, හාස්‍යය ඒ තුළින්ම ඇති වෙන්න ඉඩ හරින්න තමයි මට ඕන වුණේ. ඒ වගේම බන්දු සමරසිංහ මහත්මයාගේ රංගනය පැත්තෙනුත් යම් වෙනසක් මම අපේක්ෂා කළා. එතුමන් සමඟත් සාකච්ඡා කරලා තමයි මේ චිත්‍රපටයේ වැඩ අපි ආරම්භ කළේ.
ඔබ බන්දු සමරසිංහ සමඟත් එක්ව වැඩ කරන ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඕන?
ඔව්. මම එතුමා සමඟ වැඩ කරලා තිබුණේ නෑ. මගේ තාත්තා තමයි ඔහුත් සමඟ එකට වැඩ කරලා තිබුණේ. නමුත් අපේ පවුලේ සමීප හිතවතෙක් විදියට අපි දිර්ඝ කාලයක් ආශ්‍රය කරලා තිබෙනවා. තාත්තාගේ සහෝදර කලාකරුවෙක් විදියට අපි අතර සමීප හිතවත් කමක් ගොඩනැඟී තිබුණා. ඒ ඇසුර හරහා මට යම් නම්‍යශීලී බවක්, සහයෝගයක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණා. නමුත් එහෙම කියලා එතුමා මේක සරලව ගත්තේ නෑ. මගේ චිත්‍රපටය විකට චිත්‍රපටයක් ලෙස හඳුන්වනවාට හෝ ඒ ගණයට දාන්න මම කැමැති වුණෙත් නෑ. මම කළේ චිත්‍රපටයක්. ඒකේ ගුණ අගුණ ප්‍රේක්ෂකයන්ගේ ආදරය, වැලඳ ගැනීම හෝ ප්‍රතික්ෂේපවිම සාමාන්‍ය චිත්‍රපටයක් හැටියට මම දකින්න කැමැතියි.
අධ්යක්ෂණ කාර්යයේදි ඔබට අත්වැල වුණේ කුමක්ද?
පුර්වාදර්ශ වුණේ ඔබේ පියාද? එහෙමත් නැතිනම් ඔබ විදේශිය චිත්‍රපට නරඹන්නකු නිසා එවන් පුර්වාදර්ශ තිබුණද?
මෙහෙමයි. අපි ඇත්තටම කිවුවොත් පිටරටින් සිනමාව ඉගෙන ගත්ත අයනේ. ඒක හංගන්න දෙයක් නොවෙයි. ඇමරිකානු චිත්‍රපට, ඒකාලේ නම් බ්‍රිතාන්‍ය චිත්‍රපට ඊට පස්සේ දකුණු ඉන්දියානු චිත්‍රපට, පස්සේ කාලෙක මුම්බායි චිත්‍රපට කර්මාන්තයටත් නැඹුරු වුණා. ඒ හැම දෙයක්ම අඩුවැඩි වශයෙන් බලපාන්න ඇති. ඒක අරගෙන අපේ කතා කියන එක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ඉතින් කොහේ හරි තැනක කොපි කිරිල්ලක්, සංකලනයක්, ආභාසයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. කතන්දර හැටියට ගත්තම අපි තව කෙනෙකුගෙන් උකහා ගන්නා අවස්ථා තිබෙනවා කැමරා කෝණ පවා ගන්නා අවස්ථා තිබෙනවා. නමුත් මගේ චිත්‍රපටයේදී විශේෂයෙන් මම බොහෝ සිනමා උළෙල නරඹන කෙනෙක් විදියට කැමරා කෝණයක් පවා වෙන අය තියන්නේ නැති තැනක තියන්න උත්සාහ කළා. වෙන කෙනෙක් කරන ආරෙට යන්නේ නැතුව ඒ වැඩේ කරන්න මම උත්සාහ කළා. ඒ අතරතුරේම ප්‍රේක්ෂකයන් බන්දු සමරසිංහ දැක බලා ගන්න, ඔහු වෙනුවෙන් නිර්මාණය වුණු ආවේණිකත්වය දැක බලා ගැනීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා. ඒ බලාපොරොත්තුත් සුන් නොකර මගේ පරීක්ෂණාත්මක දේවලුත් කරන්න මට සිද්ධ වුණා. මේක මහා ගැඹුරු විශ්වවිද්‍යාලයක ගිහින් ලියන පර්යේෂණාත්මක නිබන්ධයක් වගේ දෙයක් නොවේ. අපි දැකපු සිනමාවේ වෙනස් දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ දරපු එක තමයි මම කළේ. ඒවා සරල වෙනස්කම්. නමුත් මට සතුටක් තිබෙනවා ඒවා දැකපු සියලු දෙනා ඒ සියුම් තැන් දැකලා ඒ ගැන කතා කරපු එක. මේක බලපු බොහෝ අය විවිධ ප්‍රතිචාර දක්වලා තියෙනවා. විවිධ තරාතිරමේ පුද්ගලයන්ට මම මේ චිත්‍රපටය පෙන්වලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය හැම දෙනාටම එක සේ රසවිඳිය හැකි චිත්‍රපටයක් කියලා.
සිනමාව සම්බන්ධයෙන් ඔබ විශ්වාස කරන හා අදහන දේ පිළිබඳ අපි කතා කළොත්?
අපේ තාත්තා මට චිත්‍රපට හදන්න කවදාවත් කියලා දීලා නෑ නමුත් එතුමා කතා කරනවිට, එතුමාත් සම වාඩිවෙලා අපි කතා බහ කරන විට අපි එතැනින් නැඟිටින්නේ ලොකු දැනුම් සම්භාරයක් අරගෙන. සිනමාව ගැන විතරක් නොවෙයි, පරිසරය, දේශපාලනය, ගහකොළ, සතා සිවුපාවා ඇතුළු බොහෝ දේ ගැන ඔහුගේ කතා බහෙන් අපි එකතු කර ගන්නවා. එතුමා මේ හැම විෂයක් ගැනම බොහෝ විශාල පරාසයන් ගෙන් කතා කරනවා. ඉතින් ඒ ආශ්‍රිතව ඉගෙන ගත් දේවල් තමයි මට තියෙන්නේ නැතුව ඔහු මට වෙනම පාඩමක් දිලා නෑ. අධ්‍යක්ෂණය කරන්නවත්, මේ විදියට චිත්‍රපට හදන්න කියලවත් මට කියලා නෑ.
ඔබ කලාවට සම්බන්ධ විය යුතුයි කියන බලාපොරොත්තුව එතුමාට තිබුණද?
කිසිම විදියේ බලපෑමක් ඔහු මට හෝ මගේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්ටත් කරලා නෑ. මම සිනමාවෙන් මඳක් ඈත් වන්න මම විසින්ම තිරණය කරලා ඒ බව තාත්තාට දන්වනකොට ඔබේ තීරණය ඒක නම් ඒක කරන්න කියලා කිව්වා. කවදාවත් මට තාත්තාගෙන් එහෙම බලපෑමක් ආවේ නෑ. මම වගේ රඟපාන්න ඕන, මම වගේ අධ්‍යක්ෂණය කරන්න ඕන කියලා ඔහු කවදාවත් හිතුවේ නෑ. ඒක මට විතරක් නොවෙයි. අපේ පවුලේ කාටවත් තාත්තා එහෙම බලපෑමක් කළේ නෑ. අපිට හැදෙන්න ඉඩ හැරියා. හැබැයි ජීවිතේ හො තැන්, නරක තැන් කියලා දුන්නා. ඒ දේවල් කියලා දුන්නේ අර මම කියලු හැන්දැවරුවල වාඩිවෙලා ඔහේ කතා කරකර ඉන්න අවස්ථාවල. ඒවා අපිට ජිවිතේට හරියට වැදගත් වුණා. ඒ වගේම තාත්තාගේ සාමාන්‍ය ජිවිතේ තිබුණු ගති පැවතුම් ළමයි විදියට අපි හිතුවා ඒ කාලේ හරි දරුණුයි කියලා. නමුත් දැන් හිතෙනවා අපිට ඒක තමයි හරි කියලා. විශේෂයෙන් ඇතැම් නළු නිළියන්ගේ දරුවෝ විතරක් නොවෙයි, ඇතැම් දේශපාලනඥයන්ගේ දරුවෝ පවා විනාශ වෙලා තියෙන්නේ මං හිතන්නේ ඒ වගේ ගුරු හරුකම් ලැබිච්ච නැති නිසා අද කොයි තරම් අපහසුතාවලට පත් වෙලා තිබෙනවාද? මම හැම තිස්සෙම කියන දෙයක් තමයි අපේ තාත්තා පාර්ලිමේන්තුවේ කථානායක විදියට හිටපලු කාලේ අපිට පාවිච්චි කරන්න වාහනයක් තියා පෑනක්, පැන්සලක්වත් පාර්ලිමේන්තුවේ සල්ලි වලින් හෝ රජයේ සල්ලි වලින් කවදාවත් දීලා නෑ. එතුමා හැමදේම කරන කොට කිරලා බලලා ඒක හොඳ, නැද්ද, නීත්‍යනුකූලද නැත්ද කියලා හොයලා බලල තමයි කළේ. ඒක මම විතරක් නොවෙයි, තාත්තා සමඟ වැඩ කරපු හැම දෙනෙක්ම කියන කතාවක්.
බෆලෝ ට්‍රැවල්ස් කතා තේමාව වෙනත් කෙනෙකුගේ නේද?
ඔව්, මේ චිත්‍රපටයේ කතා සංකල්පය රාජ් රණසිංහගේ. ඒ ඇසුරින් තමයි තිර රචනය කළේ. මේ තිර රචනය මගේ සහාය අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත වීරසිංහගේ. ඒ ගෞරවය මම ඔහුට දෙනවා. නමුත් මේ චිත්‍රපටය කරත්දි තිර පිටපතටම මම රූගත කිරීම් සිදු කළේ නෑ. ඒ ඒ අවස්ථාවන්වලදී දර්ශන ගතකිරීම්වල වෙනස් කම් සිදු කළා. ඒ නිසා සීයට සීයක්ම තිර පිටපත මතම මේ චිත්‍රපටය රූ ගත වුණේ නෑ.
මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ බොහොම පොඩි කතාන්දරයක්. මේකෙන් චිත්‍රපටයක් කරන්න තරම් මේකට ඔබ ඇලුම් කළේ ඇයි?
අපේ සිනමා ඉතිහාසයේ බොහෝ තැන් එහෙම තිබෙනවා. උදාහරණයක් විදියට ආචාර්ය ලෙස්ටර් පීරිස් ගේ නිධානය ගත්තත් ඒක නිර්මාණය වුණේ පිටු 14ක කුඩා කෙටි කතාවකින්. ඒ වගේම තමයි පරසතු මල් චිත්‍රපටයක්. කතාව කුඩා වුණාට සිනමාත්මකව එය ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. ගැඹුරු කතාන්දරයකට වඩා මම කැමතියි සරලව දකින්න.
බෆලා් ට්රැවල්ස්වලින් පස්සේ ඔබේ සිනමා ගමන කොහොම වෙයිද?
තාත්තා මට කියපු කතාවක් තමයි අදහසක් ආවොත් පමණක් යමක් කරන්න කියලා. ඉතින් ඉස්සරහට අදහසක් ආවොත් චිත්‍රපට නිර්මාණය කරයි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න