Home » රැඟුමට, ගැයුමට, වැයුමට හපන් සංගීතඥයා

රැඟුමට, ගැයුමට, වැයුමට හපන් සංගීතඥයා

සුදේශ් මානාගොඩගේ

by Thanushika
September 18, 2025 11:44 am 0 comment

මීට කලකට ඉහතදී නිමල් තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ‘යක්ෂාවේශය’ නම් වූ චිත්‍රපටයක් මෑතකදී නරඹන්නට යෙදුණා. ඔහු මේ චිත්‍රපටය සඳහා අලුත් දර්ශන රූගත කරමින් එම කතාව අලුත් ආකාරයකට ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන තිබුණා. ඒ වෙනුවෙන් නව සංගීත සංයෝජනයක් සහ ගීතයක් ද නිර්මාණය කර තිබුණා. චිත්‍රපටයේ නාමාවලියත් සමඟ දිවගිය එම ගීතය මගේ අවධානයට ලක් වූ අතර, ඔහු කවුදැයි විමසද්දී දැනගන්නට ලැබුණේ ඔහු සුදේශ මානාගොඩගේ යනුවෙනි.

ඔහු පිළිබඳ තොරතුරු සොයත් දී මේ මොහොත වන විට ඔහු ජීවත් වනුයේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරය. එහෙත් ඔහු කාලාන්තරයක් පුරා මෙරට කලා ලෝකයේ විවිධ නිර්මාණයන්ට දායක වෙමින් සිටි කලා ශිල්පියෙක් බව දැනගත්තේ ඔහුත් සමඟ කළ කෙටි පිළිසඳරෙන් පසුවය.

සුදේශ් මානාගොඩගේ මෙරට කලා ලොවට ප්‍රවිෂ්ට වනුයේ ඔහු පාසල් ශිෂ්‍යයෙක්ව සිටියදීය. ඔහුට සංගීතය පිළිබඳ තිබුණේ පවුලේ හුරුවකි. ඔහුගේ පියාට ද විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් තිබිණ. තාත්තා නිතර සංගීතයත් සමඟ ජීවත් වූ නිසා මේ නිවස ද නිතර සංගීත ශිල්පීන්ගෙන් පිරී පැවතිණ.

“මම පුංචි කාලේ එච්.ආර්. ජෝතිපාලයන්, වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ වැන්නෝ නිතර අපේ ගෙදර එනවා යනවා. ඔවුන් එකතු වුණාම සිංදු කියනවා සාජ්ජ දානවා. මම ලොකු මහත් වෙන්නේ මේ වගේ පරිසරයක් මැද්දේ. ඒ නිසා මගේ හිතත් නිතරම ඇදී ගියේ සංගීතය පැත්තට තමයි.

අපේ කතාබහට එක් වූ සුදේශ් සිය අතීත දිවිය මතක් කරමින් පැවසුවා. ඒ කාලයේ සුදේශ්ගේ බාප්පා හට රෙකෝඩ් සෙන්ටර් එකක් ද විය. ඒ නිරන්තරයෙන්ම සිංහල ගීත මෙන්ම හින්දි ගීත ද වාදනය විය සුදේශ්ට අවුරුදු හතරක් වැනි ඉතාම ළාබාල වියකදී ඔහුගේ අත බැලූ අයෙක් කියා තිබුණේ විශේෂ නැඹුරුවක් ඇත්තේ සංගීතය පැත්තට කියාය. මේ නිසාම පොඩි කාලයේ සිටම සුදේශ්ගේ පියා සහ පියාගේ සහෝදරයන්ද ඔහුට සංගීත භාණ්ඩ රැගෙන දෙන්නට උනන්දු වූහ.

“මට අවුරුදු හතරක් පහක් විතර ඇති කාලෙක මම අම්මත් එක්ක බොරැල්ලේ හන්දියට ගියා. දාස බිල්ඩින් එක පැත්තේ මෙලෝඩිකා එකක් විකුණන්න දාලා තිබුණා. අම්මගෙන් ඒක ඉල්ලලා පාර මැද්දේ හර්තාල් කළා මට තාමත් මතකයි.

සුදේශ් කියන්නේ ඒ අතීතයට තමන් තවමත් ආදරය කරන බවය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කීවාක් මෙන් අද සුදේශ් ඉන්න තැන ගැන සිතන විට එදා හර්තල් කර තිබුණේ එතනට ළංවෙන ඉනිමං මත නඟින්නටය.

සුදේශ් සිය අධ්‍යාපනය ආරම්භ කරනුයේ කොළඹ අශෝක කනිෂ්ඨ විද්‍යාලයෙනි එවකට එය කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමිකය විය. ඒ යුගයේ කොළඹ පාසලකට දරුවෙක් දාගන්නවා යන්නද එක්තරා අන්දමක යුද්ධයකි. සුදේශ්ගේ පියා ද කවුරුන්දෝ කෙනෙකු අඳුනන මාර්ගයෙන් මන්ත්‍රීවරයෙකුගේද උදව් ඇතුව සුදේශ් අශෝක විද්‍යාලයට ඇතුළත් කළේය. එහෙත් දරුවන් ඇතුළත් කරගන්නා පළමු දිනයේදීම ඔහුට පාසලට යෑමට නොහැකි වූ අතර, ඔහු පාසලට යන්නේ සති කිහිපයකට පසුවය. නමුත් ඔහු පාසලට පිය නැගූ දවසේම ඉස් ඉස්සරලාම ඔහුට ලැබෙනුයේ සංගීත පාඩමය. සුදේශ් පන්තියට යන විට ටීචර් කෙනෙකු සර්පිනාවක් වාදනය කරමින් දරුවන්ට ගීතයක් උගන්වමින් සිටියාය.

ඇත්තටම මට අදටත් මතකයි ටීචර් උගන්වමින් සිටියේ ටින් ටින් ලේනා කියලා ගීතයක්. මමත් ඒ ගීතය ගායනා කරන්න පටන් ගත්තා. ටීචර් එදාම හවස තාත්තා ආවම කිව්වා මාව රේඩියෝ සිලෝන් එකට එක්ක එන්න කියලා ළමා වැඩසටහනකට. එදා අපේ සංගීත ටීචර් වුණේ අමිතා වැදිසිංහ මහත්මිය. මුලින්ම ගිහින් මල් කියන්නේ කාට කාට කියන ගීතය අපි ගායනා කළා. එදා ඉඳලම මම රේඩියෝ සිලෝන් එකේ විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ වුණා. කාලයක් යනකොට සල්ලිත් පොඩි පොඩි ගණන් ගෙවන්නත් වුණා. ඒ විදිහට අවුරුදු කීපයක්ම ගුවන් විදුලියත් එක්ක වැඩ කළා. අමිතා වැදිසිංහ ටීචර්ගෙන් පටන් අරන් ජීවිතේ විවිධ කාලවලදී මම විවිධ සංගීත ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලැබුවා. ඒ අය අතර ජයන්ති පීරිස්, ඩී ආර් පීරිස්, වෝල්ටර් ජයවර්ධන, ලයනල් රන්වල, මාලිනී බුලත් සිංහල, අයිවෝ ඩෙනිස්, සෝමසිරි ඉලේසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ප්‍රේමසිරි කේමදාස, සොලමන් ෆොන්සේකා (නාට්‍ය) වැන්නෝ ඉන්නවා.

ගායනයට අමතරව සුදේශ ගිටාර් වාදනයේ අතිශයින්ම ප්‍රිය කළ අයෙකි. ඒ අතරම ඔහු වයලීන් වාදනය ද ඉගෙන ගන්නේය. ඔහුට අවුරුදු පහළොවක් දාසයක් පමණ වන විටත් ඔහු විවිධ පටිගත කිරීම් සඳහා වයලීන් සහ ගිටාර් වාදනය කළේය. ඔහුගේ වාදන හැකියාව නිසාම ඔහුට කේමදාස මාස්ටර් ළඟට යෑමට අවස්ථාව උදාවන්නේය. සංගීත් කළුබෝවිල, සුරේෂ් මාලියද සහ සුදේශ් එදා මේ අවස්ථාව ලද්දෝ විය. ඔවුන් මාස්ටර් සමීපයට යද්දී මානසවිල ඔපෙරාවේ පළමු රිහර්සල් දිනය විය. අමරසිරි පීරිස් විජේරත්න රණතුංග වැනි ප්‍රවීණයෝ එදා එතැන සිටියා සුදේශ්ට මතකය. මුල් දින ටිකේම ඔවුනට සිදුවූයේ පුහුණුවීම් දෙස බලා සිටීමටය. පසුව ඔහුව කෝරස් කියන්නට එක්කර ගත්තේය. ඔය කාලයේම ඔහු වේදිකා නාට්‍ය සඳහාද සම්බන්ධ වූ අතර ආනන්ද විද්‍යාලයේ මෙරුන් නමින් සංගීත කණ්ඩායමක් ද නිර්මාණය කළේය. පාසල් අධ්‍යාපනය හමාර වූ විටම ඔහු රැකියාවකට අයදුම් කළේය එහෙත් ඔහුගේ සංගීත කටයුතු ඉන් නොනැවතුණි.

ළමා නාට්‍ය ශිල්පියෙකු ලෙසින් ඇරඹි නාට්‍ය ජීවිතය තුළද ඔහුට විවිධ අත්දැකීම් විය. රජ ගැටුම (ළමා) මා වැනි බිලින්දා (ළමා) නරි බෑනා (බල්ලා) පස්වැන්නා (දොරටුපාලයා) රැජන (ටෙලි නාට්‍ය) යම දොර (short film) ආදියට ඔහු දායකත්වය දැක්වීය කලකදී ඔහු ඇමරිකාවට සංක්‍රමණය වන අතර එහිදීද විවිධ කලා කටයුතුවල නියුතු විය විශේෂයෙන්ම ඔහුට මේ නිසා ඔහුගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කර ගැනීමට අවස්ථාව උදාවිය. ලොස්ඇන්ජලීස් හි පියර්ස් කොලේජ් වෙතින් ඔහු පියානෝ ගිටාර් සහ ස්ටුඩියෝ software recording පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළේය. එසේම California State University වෙතින් ශාස්ත්‍රීය ගිටාර් වාදනය පිළිබඳ අවුරුද්දක් පුහුණුව ලැබීය. හොලිවුඩයේ play house West වෙතින් නාට්‍ය හා සිනමා රංගනය පිළිබඳ වසර හතරක අධ්‍යාපනයක් ලැබීය.

ඒ සමඟම ස්පාඤ්ඤයට යන සුදේශ එහිදී ෆ්ලැමෙන්කෝ ගිටාරය පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ලබන්නේය.

ඔහු ලංකාවේ සිටියදී රජ ගැටුම (ළමා) මා වැනි බිලින්දා (ළමා) නරිබෑනා (බල්ලා) පස්වැන්නා, දොරටුපාලයා වැනි නාට්‍යවල රඟපෑවා මෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මානසවිල ඔපෙරාව සමූහ ගායනයටද ජයන්ත චන්ද්‍රසිරිගේ රැජන ටෙලි නාට්‍යයේ සහ නිමල් තෙන්නකෝන්ගේ යමදොර කෙටි චිත්‍රපටයටද දායක වූයේය.

ඇමරිකාවට සංක්‍රමණය වූ පසු එහිදීද නරි බෑනා නාට්‍යයේ සංගීතය කිසාගෝතමි සරච්චන්ද්‍රගේ එළොව ගිහින් මෙලොව ආවා. සොමි රත්නායකගේ රෝසමල් පාත්තියෙහි එම ප්‍රධාන චරිතයන් සහ ලින්ටන් සේමගේ මැස්සා හි සම ප්‍රධාන චරිතයක්ද ඔහු නිරූපණය කරන්නේය. ඉංග්‍රීසි වේදිකාවේ the pillow man, Orange flower water, yerma, Edmond, store proud Church, a social event වැනි නාට්‍යයන්හි ලීඩ් ගිටාර් වාදකයා වූයේ ඔහුයි. ඇමරිකාවේ නිෂ්පාදනය වූ uncle vinga, gangster apparet, The mother Courage With the hat, the night of the Iguana  ඇතුළු නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් එක්විය වර්තමානයේ ඔහු නිමල් තෙන්නකෝන්ගේ යක්ෂාවේෂය චිත්‍රපටයේ සංගීතය මෙන්ම මිචෙල් ෆොන්සේකාගේ අනෝරා වැස්සක් ටෙලි නාට්‍යයේ සහ අන්තිම පැය 24 චිත්‍රපටියේ සංගීත සංයෝජනයෙන් දායක විය. ටෙලි නාට්‍ය චිත්‍රපට මෙන්ම ගීත නිර්මාණ රැසක් ද ඔහු අතින් නිර්මාණය වී ඇති අතර ඉන්දිකා උපමාලි, දමිතා අබේරත්න, චම්පා කල්හාරි, රනිල් මල්ලවාරච්චි, සංජීවනී ඇඹුල්දෙනිය ඇතුළු ගායක ගායිකා පිරිසක් විසින් ඒවා ගායනා කර ඇත.

ඉදිරියේදී ද මෙරට කලා ක්ෂේත්‍රය සමඟ එක්ව මේ ගනුදෙනුව දීර්ඝව පවත්වාගෙන යෑම ඔහුගේ බලාපොරොත්තුවයි. විදේශයක ජීවත් වුවද තවමත් මෙරට කලාව වෙනුවෙන් ඔහුගේ සිතේ පවතින කැමැත්ත උනන්දුව පෙර පරිදිම වෙයි. ඉදිරියේදී තවත් බොහෝ නිර්මාණ මෙරට කලාකෙත පෝෂණය කිරීම වෙනුවෙන් ඔහු අතින් නිර්මාණය වීමට නියමිතය.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT