“ඇත්තම කීවොත් රංගනය කියන්නෙ බොහොම ගැඹුරු විෂයයක් බවට මට අවබෝධය ලැබුණේ වේදිකාවෙන්. ඒ වෙනුවෙන් ගාමිණී අබේසිංහ මහත්මයාට අවංකවම ස්තුතිවන්ත වෙනවා. ”
ඇය වරෙක රංගන ශිල්පිනියකි. තව වරෙක වෘත්තියෙන් ව්‍යවසායකයන් දිරිමත් කරවන පළපුරුදු උපදේශකවරියකි. සිය දිවිසිරිතෙහි අවස්ථා රැසකදී සම්මානිත වූ ඇය එංගලන්තයේ වෙසෙන ලුෂාණී කොඩිතුවක්කු මහත්මියය.
‘ මම එංගලන්තයට ඇවිත් අවුරුදු තිහකටත් වැඩියි. මේ අතරේදි විවිධ කලා ක්ෂෙත්‍රයනට සම්බන්ධ ලාංකිකයන් එක්ව පිහිටුවාගත් හෙළ කලා පරපුර සංසදයේ වේදිකා සිනමා නිර්මාණවලට දායකත්වය ලබා දෙන්නට මට අවස්ථාව හිමිවීමත් මගේ ජිවිතයේ ලද ලොකු ආශීර්වාදයක් කියලත් අද සතුටක් ලබනවා…”
ලුෂානී කියන්නීය.
කොළඹ, කැලණියේ උපත ලද ඕ ලුෂාණී දිලීකා මෙල්ලව පද්මපෙරුමගේ මවුපියන් එවක සිරිලංකාවේ අතිශයින් ප්‍රකට ආකේඩියා පාවහන් සමාගමේ හිමිකාර ලූෂන් මෙල්ලව පියාණන් සහ මව් සූරියකාන්ති දෙහෙරගොඩය. ඉෂානි දිමිත්‍රි මෙල්ලව පද්මපෙරුම ඇගේ එකම සොහොයුරියය.
කොලඹ විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියක ඇය පාසල් වේදිකාවට අවතීර්ණ වූයේ පාසලේ දෙවන පන්තියේදීය.
මා ඇයට සවන් දෙමි.
” රංගනය පිළිබඳව අතපොත් තැබුවේ විශාඛා විදුහලේ වේදිකාවෙන්. හයවන පන්තියට එනවිට නිවේදිකාවක හැටියටද පාසලේ හොඳ නමක් දිනා සිටියා. රඟපෑමට කුඩාවියේ පටන්ම ලොකු ඇල්මක් තිබුණු නිසාම මටත් නොදැනීම පාසලේ වේදිකාවට සමීප වුණා. ඔතෙලෝ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් නොමඳ පැසසුමට මා පාත්‍ර වුණා. පාසල් අධ්‍යාපනයත් සමගින් එංගලන්තයට එන්නට සිදුවීමත් මගේ ජිවිතයේ දෛවෝපගත සිදුවීමක්. ”
රංගනය සේම නිවේදිකාවක ලෙසින්ද කුසලතා ප්‍රකට කළ අපේ ආදරණිය ලුෂානී එංගලන්තයේ හෙළ කලා පරපුර සංසදයට එක්වීමෙන් පසු ගාමිණි අබේසිංහයන්ගේ වැලපුණේ ඔබ නිසයි කුමරියේ ‘ සිනමා සිත්තමට එක්වූවාය…
” ලුෂාණී සැබැවින්ම දක්ෂ නිළියක්…ඒ නිසාම ඇයව මගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්නට තීරණය කළා ‘
ඒ ටික කීවේ අපේ ගාමිණි අබේසිංහයන් ය.
ඇයගේ රංගන ජීවිතය මෙන්ම ඇය තුළින් මේ වනවිට ප්‍රකට වූ තවත් තොරතුරු ද ඇත්තේය.. ඒ ඇයගේ වෘත්තීය ජීවිතය පිළිබඳව ය.
සිය ජීවිතයේ බොහෝ දේ දිනාගත් තැනැත්තියක ලෙසින් ප්‍රකට ඕ මේ වනවිට එංගලන්තයට පමණක් නොව බොහෝ රටවල ජීවිතය දිනාගන්නට උපායමාර්ගික උපදේශිකාවක ලෙසින් කටයුතු කරමින් සිරිලකට ගෞරවය ගෙන දෙන කතකි. බොහෝ රටවල දැවැන්ත ව්‍යාපාරිකයන් පවා ලාංකික ඇය වෙතින් උපදෙස් ලබාගනිති.
විශාඛා විදුහලින් උසස් පෙළ හදාරා සරසවි වරම් ලබා තිබියදී 1994 දී එංගලන්තයට පිවිසි ලුෂාණී එහි විශ්වවිද්‍යාලයක උපාධිය හදාරා ශිෂ්‍යත්වයකට වරම් ලැබුවාය. ආර්ථික විද්‍යාව පිළිබඳව පළමු පෙළ උපාධියකින් පිදුමට බඳුන්ව අනතුරුව මුලින්ම ගණකාධිකාරි සමාගමක සුළු රැකියාවකට යොමුවූයේ තම සුදුසුකම් අනුව රැකියාවකට නොවේ. ඉමහත් කැපවීමකින් එහි සේවයෙහි නිරතව ඉන් ලද පන්නරයෙන් ලොව වෘත්තිය සේවා සපයනු ලබන එහි ප්‍රමුඛ පෙළේ ආයතනයක ගණකාධිකාරි උපදේශිකාවක ලෙසින් සේවය කළාය.
එය ඇයගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වෙමින් ඇය වෙත පැවරෙන්නේ ආයෝජනයන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශනය ලබාදීමටය. එම අභියෝගය ඕ සාර්ථක ව ජයගත් අතර ඇය ඇයගේම කියා ව්‍යාපාරයකට හිමිකම් කිියන්නට සමත් වන්නීය. ඒ 2011 දීය. එයට බොහෝ රටවල ව්‍යාපාරිකයන් ඇය සොයා උපදේශනය ලබාගැනුම පිණිස එති. ඇය ඒ සඳහා පර්යේෂණ මට්ටමින් විසඳුම් ලබාදේ. පළපුරුදු උපදේශකවරියක් ලෙස පත්වූ ඇය එංගලන්තයේ යුරෝපයේ මෙන්ම එක්සත් ජනපද ආයතනවල පවා ඇයගේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවී ඇත. වරින්වර සම්මානයටද පාත්‍රවූ ඇය 2023 – 2024 වසරවලදී fuku business women awards සම්මානයටද පාත්‍ර වන්නීය.
වේදිකාව මෙන්ම සිනමාවටද ප්‍රකට ලුෂාණී 1999 සිට විශාල සමාගම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, පුද්ගලික කොටස් ව්‍යාපාර ප්‍රාග්ධනය සහ ආයෝජනය කිරීමට නව වෙළඳපළට ප්‍රවිෂ්ට වීමට විවිධාංගීකරණය කිරීමට ඔවුන්ගේ ව්‍යාපාර උපාය මාර්ග සහ ව්‍යාපාර ආකෘති සැපයීමට අපේක්ෂා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ බැංකු වෙත සංකීර්ණ උපාය මාර්ග සැපයීමත් ඇය වෙතින් සිදුවේ.
ව්‍යාපාර සඳහා ඇවැසි මාර්ගෝපදේශනය ඇය විසින් සිදුකරනු ලබන කාර්යයකි.
‘ රංගන ශිල්පිනියක හැටියටත් මම කටයුතු කළත් මේ කාර්යයන් තුළින් මම ලොකු අධ්‍යාත්මික තෘප්තියකට පත්ව සිටිනවා…කෙනකුගේ විනය පරිවර්තනයක් සිදුකරන්නට වචන දෙකතුනක් වුවද සෑහෙන බව පවසන ලුෂාණී බුදුදහම ඇසුරින් මානසිකව හා ප්‍රායෝගිකව කළහැකි බොහෝ දේ ඇති බවද ඇය කියන්නීය.
මනබඳීන සිනාවෙන් පසුවන ලුෂාණී තවදුරටත් මෙසේද කියන්නීය.
” මම නිදහස ලැබෙන හැම වෙලාවෙම රඟපෑමේ නිරත වෙනවා. එංගලන්තයේ හෙළ කලා පරපුර සංසදයේ නිර්මාණ තුළින් අපේ ලාංකික අපට ලොකු ගෞරවයක් හිමිවෙනවා. ගාමිණි ෆොන්සේකා මහත්මයා ගැනද කියන්න ඕනෑ. එතුමා මාව බොහොම අගය කළා. මගේ රංගන කාර්යයෙද් අපේ ජනප්‍රිය කලාකරුවන් සමග වැඩ කරණකොට ඉන් ලබන තෘප්තිය වචනයෙන් කියන්න බැරිතරම්..
මම විවාහ වුනේ සංජය කොඩිතුවක්කු සමඟයි. අපට දරුවන් දෙදෙනකු ඉන්නවා. පද්මපෙරුම නම වෙනුවට දැන් මම කොඩිතුවක්කු . මගේ රංගන ජීවිතයට වගේම මගේ වෘත්තිය ජීවිතයටත් මගේ සැමියා සංජය ලබාදෙන සහයෝගය හරිම වටිනවා.
මම කලාවට ආදරෙයි..එංගලන්තයට එන්නට පෙර කලා නිර්මාණවල මම නිරතවුවත් එංගලන්තයට ඇවිත් හෙළ කලා පරපුර සංසදය සමඟ එක්ව කටයුතු කරද්දි ගාමිණි අබේසිංහ මහත්මයා ලබාදුන් ගුරුහරුකම් නම් හරිම වටිනවා..”
අපේ ආදරණිය කතබහ නිමවන්නට මොහොතක් තිබියදී සරසවිය පුවත්පතට වඩාත් කෘතවේදී වූ ඕ තොමෝ ඒ වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වන බවද කියන්නීය.
අමල් යශෝමන් ජයසිංහ