නූතන ගීත ක්ෂේත්රයේ පෙරළිකාර වෙනස්කම් හඳුන්වා දෙමින් ක්ෂේත්රය ට පිවිසෙන හැකියා පූර්ණ නිර්මාණකරුවන් සියුම් නිරීක්ෂණයන් ඔස්සේ අපට අහඹු ලෙස හමුවේ. ගායනය, නර්තනය වැනි ක්ෂේත්‍ර කීපයක් ඇසුරේ සිය නිසඟ හැකියා ඔස්සේ නූතන ලාංකේය ප්‍රසංග වේදිකාව වර්ණවත් කරන ඔලී ලිවානා පිළිබඳ වැඩි අවධානයක් එබඳු මොහොතක යොමු කළ හැකිය.
‘කොල්ලො මට ආදරේද කෙල්ලො මට ආදරේ ද’ ගීතය ඔස්සේ සිය ගායන හා නර්තන විලාසය මෙන්ම ඒ සියල්ලේම සම්මිශ්‍රණයෙන් ද සිය අනන්‍යතාව මේ දිනවල ලාංකේය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන ගායන ශිල්පිනී ඔලී ලිවානා සිය නිර්මාණ ක්ෂේත්රය පිළිබඳ කළ කතා බහකි.
ක්ෂේත්රයට ඔබේ පිවිසීම පැහැදිලි කරමු
මම ඔලී ලිවානා. මොනරාගල තමයි ගම. අභියෝග රැසක් මැද ආ ගමනක් මේ ගමන. අදටත් ඒ බොහෝ අභියෝග සමග ඉදිරියට යන්නේ. ඒ ගමනේ දී ජින්ජර් වයිට් අක්කගෙ ගීත තමයි මම මුලින්ම ගායනා කළේ. ඒ නිසා විය යුතුයි බොහෝ දෙනෙක් කියන්න පෙලඹුණා මම ජින්ජර් වයිට් අනුකරණය කරනවා ද කියලත්. නමුත් ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. මේ මම කැමැති විදිය. මගෙ අනන්‍යතාව. ඒ පැමිණි මඟ මේ වෙනවිට මගෙම ස්වතන්ත්‍ර නිර්මාණයක් දැන් මම ඉදිරිපත් කර තියෙනවා.
මේ නිර්මාණය ඉදිරිපත් කිරීම දක්වා වූ ගමනේ එය සැකසූ දේවල් මොනවාද ?
ඊතලයක් වගෙ පිටුපසට ගිහින් ආයෙමත් මම ඉදිරියට ආවෙ අපමණ ප්‍රතික්ෂේප වීම් නිසා. ඒ වගේම මේ ගීතය ට පසුබිම වුණේ නැතිනම් තේමාව වුණේත් මමමයි. මම ප්‍රේක්ෂකයන් ඉදිරියේ ගීතයක් ගායනා කරද්දී ඔවුන්ට දෙන ආදරය තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ඒ නිසා මගේ අනන්‍යතාව ට ගැලපෙන විදියට තමයි ඒ ගීතයත් නිර්මාණය වුණේ. මේ ගීතය ලියුවෙ සහ වීඩියෝ අධ්‍යක්ෂණය කළේ නලින් ගුණරත්න.
මෙහි තනු නිර්මාණය කසුන් චාමිකර, සංගීතය නිර්මාණය නිමේෂ් කවිෂාන්, ඒවගේම නර්තන අධ්‍යක්ෂණය ප්‍රදීප් රාජවික්‍රම විසින් නිර්මාණය වුණා.
ඉතින් මේ සියලු දෙනා නිසා තමයි මේ නිර්මාණය මේ තරම් ලස්සනට කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ ගීතය ට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියන්න කැමැති යි. හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් ටික් ටොක් ඔස්සේ.
සංගීතයට නැඹුරු වෙන්න බලපෑ හේතු මොනවාද ?
මූලික ව මා තුළ ඇති කැමැත්ත. චිත්‍ර අඳීන්නත් සංගීතයටත් තමයි පුංචි කාලෙ ඉඳන්ම හැකියාව තිබුණෙ. අදටත් මේ දෙකම මම කරනවා. හැබැයි වැඩිම කැමැත්ත තිබෙන්නෙ සංගීතයට. ඉතින් මියුසික්වලින් මට දෙයක් ලබාගන්න වගේම ප්‍රේක්ෂකයන් ට යමක් දෙන්නත් මම නිර්මාණ කරන්නෙ. ඒ වගේම නිරූපණ ක්ෂේත්රයටත් මගෙ කැමැත්තක් තියෙනවා. ඉදිරියේ දී ඊට නැඹුරු වී කටයුතු කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. නමුත් මේ වෙද්දී මම දුර බැහැර ඉන්න එක තමයි තිබෙන ලොකුම ගැටලුව. නමුත් ඒ සියල්ලත් මැඬගෙන මේ ගමන යන්න උත්සුක වෙනවා.
නිර්මාණ දිවියේ අභියෝගාත්මක අවස්ථා මොනවාද ?
මේ ගමනේ කිසිවක් පහසු නෑ. නමුත් ඒ හැමදේමත් මැද මගේ සින්දුවක් හෝ නිර්මාණයක් ඔස්සේ කෙනෙක් ට සහනයක් දෙන්න පුළුවන් නම්, මානසික සුවපත් භාවයක් ඇති කරන්න දායක වෙන්න පුළුවන් නම් ඒක මගෙ කැමැත්ත. විශේෂයෙන් මේ රටේ ගොඩක් දුක් විඳීන මිනිස්සු වෙනුවෙන් මම නිර්මාණ කරන්න කැමැතියි. මම ගොඩක් ම ගයන්නෙ එළිමහන් ප්‍රසංගවල. ඒවගෙ තැන්වලට එන මිනිස්සු ගොඩක් වෙහෙස වෙලා වැඩ කරන මිනිස්සු. ඔවුන් මහන්සි වෙලා ටිකට් එකක් අරන් මෙතනට එන්නෙ සතුටු වෙන්න. ඉතින් එයාලව සතුටු කරන්න තමයි මම මගෙ ගායනය වගේම නර්තන ශෛලීයත් යොදාගන්නෙ. මොකද මිනිස්සු එන්නෙ සතුටු වෙන්න. මිනිස්සු සතුටු වෙන විදිය වෙනස්. ඒක තේරුම් ගැනීම ගොඩක් වැදගත්.
වේදිකාවේ ශෛලිය ඔබේ සැබෑ දිවියේ නිරූපණයක් ද ?
මම වේදිකාවේ දී වෙනස්. දඟකාර කඩිසර වේග රිද්මය සහිත නර්තන විලාසයක් මා අනුගමනය කරන්නේ. හැබැයි මම ලෝකය ගැන අවබෝධයෙන් හා බැරෑරුම්වත් බලන කෙනෙක්. ඒ වගේම සැහැල්ලුවෙන් ඉන්න ඕන තැන සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. හැබැයි වේදිකාවේ මගෙ ශෛලිය නම් මම ආරෝපණය කර ගත් දෙයක් නෙවෙයි. එය මා තුළ තිබෙන රිද්මය. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගෙ ප්‍රේක්ෂකයන් ට මම ගොඩක් ආදරෙයි. එසේ නොවන අයටත් එහෙමයි. මගෙ නිර්මාණ ඔස්සේ කතා කරන්නේ ඔවුන් ට. පෙර කිව්වා වගෙම ගොඩක් මහන්සි වෙන දුක් විඳීන මිනිස්සු වෙනුවෙන් ලස්සන නිර්මාණ කරන්න යි ලොකුම කැමැත්ත.
මේ ගමනේ මේතාක් මට ශක්තිය දුන් හැම කෙනාටම විශේෂයෙන් මගේ ගෞරවයත් ආදරයත් පිරිනමන්න කැමැතියි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල