Home » මෙය පම්පෝරියක් නෙවෙයි ආදර්ශවත් චරිත කතාවක්

මෙය පම්පෝරියක් නෙවෙයි ආදර්ශවත් චරිත කතාවක්

- ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැලියගොඩ

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

දශක අටක ප්‍රේමසිරි මතකාවර්ජන අභිනන්දන උළෙල ජුනි මස 25 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන හා අලෙවි ක්ෂේත්‍රයේ මෙන්ම හෙල කලාවේ ප්‍රගමනය උදෙසා එච්. ඩි. ප්‍රේමසිරි නම් මානව හිතවාදියා විසින් කරනු ලැබූ මෙහෙවර ඇගැයීම මෙම උළෙලේ මූලික අරමුණ වේ.

මෙම උත්සවයට සමගාමිව බණ්ඩාර ඇහැළියගොඩ විසින් රචිත ‘ සරසවි ප්‍රේමසිරි‘ දශක අටක මතකාවර්ජන ග්‍රන්ථය එළි දැක්වීමත්, පියසේන වික්‍රමගේ සම්පාදනය කළ ‘ව්‍යවසායක සිතුවිලි’ ග්‍රන්ථය එළි දැක්විමත්, සුදත් රෝහණ සහ ලලිත් රත්නායක විසින් නිර්මාණය කළ වාර්තා වැඩසටහන් ත්‍රිත්වයක් එළි දැකීමත්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පවත්වන ලද ඇගැයුම් දෙසුමත් , ප්‍රේමසිරි මහතා විසින් දායකත්වය ලබාදුන් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයන්හි ප්‍රාසංගික අංශ රාශියක් ඉදිරිපත් කිරිමත් මෙම ප්‍රසංගයේදි සිදුවේ.

එතුමන්ගේ චරිතාපදානය රචනා කල ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩයන් සමඟ පසුගියදා කරන ලද සාකච්ඡාවකි මේ.

එච්. ඩී ප්‍රේමසිරි මහතාගේ චරිතාපදානය රචනා කරන්නට ඔබට අවස්ථාව හිමුවූයේ කොහොමද?

ප්‍රේමසිරි මහතා මේ වගේ දේවල් වලට කැමැත්තක් දක්වන කෙනෙක් නොවෙයි. ඔහු ප්‍රසිද්ධියට හරිම අකමැති කෙනෙක්. මේක සිද්ධ වුණේ බන්දුල ඒකනායක මහතා සහ චන්න ප්‍රනාන්දු මහතා කළ යෝජනාවක් නිසයි. ඔවුන් දවසක් මුණගැහිලා කිව්වා අපි ප්‍රේමසිරි මහතා ගැන පොතක් කරමුද කියලා. මම මුලින්ම කිව්වේ ඒ සඳහා ප්‍රේමසිරි මහතා කැමැති කර ගන්න කියලයි. යම් යම් මට්ටමින් ඔහු ගැන දන්නා කරුණු අනුව ඔහු මේ දේ කරන්න ඉතාම සුදුසු පුද්ගලයෙක් බව මම දැනගෙන හිටියා. ප්‍රේමසිරි මහත්තයාව කැමැති කර ගන්න වැඩේ බන්දුල ඒකනායක බාර ගත්තා.

මීට ප්‍රථමයෙන් මම මෙවැනි පොත් 5ක් රචනා කරලා තිබෙනවා. ඒකම නිසා වෙන්න ඇති ඔවුන් මට මේ වැඩය බාරදෙන්න හිතුවේ. ඒ අය තමයි ජයලත් මනෝරත්න, එච්. කේ ධර්මදාස, මැලිබන් මුදලාලි කරුණාජිව මහත්මයා සහ පණිභාරත මහත්මයා. මේ අය ගැන මම ලියලා තියෙන නිසා තමයි බන්දුල ඇවිත් මට මේ යෝජනාව කළේ. දින කීපයකට පසු මට කිව්වා ඔහු කැමති කරවා ගත්තා කියලා. ඒ අනුව මම ඔහුට කතා කළා. ඔහු කැමැති කර ගන්නට මටත් සෑහෙන උත්සාහයක් දරන්න සිදුවුණා. මම විශේෂයෙන් ඔහුට කිව්වේ ඔහුගේ පම්පෝරියක් ලියන්නට මේ පොත කරනවා නොවෙයි, අනාගත පරපුරට කිසියම් ආදර්ශයක් දීමට මේ පොත ලියන බවට. ඒ අනුව ඔහු පොත ලියන්න එකඟ වුණා.

මම කතාව ලියන්න පටන් ගත්තා. 1944 ජුනි මාසේ 24 වැනිදා ඔහු ඉපදිලා තියෙන්නේ. මිවනපලාන ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය ලබල තියෙනවා. ඔහුට අවුරුදු පහේදි අම්මා නැතිවෙනවා. අවුරුදු එකොළහක් වෙනවිට තාත්තා අන්ත්‍රා වෙනවා. පවුලේ ළමයි තුන් දෙනයි. තාත්තාගේ මරණින් පස්සේ මේ පවුල සීසී කඩ විසිරෙනවා. ඔන්න ඔය ආකාරයට එතුමා මට ඔහුගේ ජීවිත කතාව කියන්න පටන් ගන්නවා. ඔහු ගමෙන් ආවට පස්සේ හැදී වැඩෙන්නේ වටරැක ප්‍රදේශයේ. ඔහුගේ මිතුරන් හැටියට අපට කතා කරන්න සිද්ධ වුණේ ඔහු හංවැල්ල මධ්‍ය විද්‍යාලයට ඉගෙන ගන්න ආවට පස්සෙ ඔහුට හමුවුණ මිතුරොයි. එතන දි හමුවුණ අය තමයි මහාචාර්ය සිරිනිමල් විතාන, සිරිසේන කුරුප්පු වැනි අය. ඔහු පාදුක්කේ සිරි පියරතන විද්‍යාලයේත් ටික කලක් අධ්‍යාපනය ලබලා තියෙනවා. එහිදි හමුවුණ මිතුරෙක් තමයි චන්ද්‍රසේන පෙරේරා. මේ අය සමඟ කතා බස් කිරීමෙන් ඔහුගේ පාසල් කාලය පිළිබඳ යම් යම් තොරතුරු හොයා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඔහුගේ කාර්යාලයේ ඉන්න පැරැණිම සේවකයො ගෙනුත් යම් යම් කරුණු ගත්තා. ඔවුන් මුල් කාලයේ සිටම ඔහුත් සමඟ හිටිය අය. පවුලේ අයගෙනුත් යම් යම් තොරතුරු එකතු කර ගත්තා. ඒ අනුව ඔහුත් සමඟ කළ දිර්ඝ සාකච්ඡා වන්ට අමතරව මේ පිරිසගෙනුත් තොරතුරු රැසක් මේ සඳහා ලබා ගත්තා.

මුලින්ම මම කළේ පිටු 40ක් විතර ලියලා ප්‍රේමසිරි මහතාට මේ පොත පෙන්විමයි. ඔහු ඒ ටික බලලා හරියට සතුටු වුණා. ඔහු ඒ කතාවට කැමැති වුණා. ඊට පස්සේ මේ කතාව දිගටම ලියාගෙන ආවා. මම හිතන්නේ මට ඒකට අවුරුද්දක විතර කාලයක් ගියා. ඔහු සරසවි පොත්හල තනි ශාඛාවකින් පටන් ගත්තේ 1973දී නුගේගොඩදී. වර්තමානය වනවිට එය ශාඛා 33ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඊට අමතරව ගබඩා සංකිර්ණ, මුද්‍රණ අංශය වගේ වෙනත් දේවලුත් මේ ව්‍යාපාරයට එක් වෙලා තියෙනවා. ඒ සමඟම ඔහු චිත්‍රපට 18ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි 1985 පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඔවුන් පටන් ගන්නේ 15 දෙනෙකු ගෙන් යුතු පිරිසකගෙන්. එතුමා එහි ආරම්භක සාමාජිකයෙක්. හෝටල් ක්ෂේත්‍රයටත් පසුකාලීනව ඔහු සම්බන්ධ වෙනවා. මේ විදියට ඔහුගේ ජිවිතයේ බොහෝ කරුණු අද දක්වාම එකතු කරමින් තමයි මේ ග්‍රන්ථය මම ලිව්වේ. ඒ අනුව මේ ග්‍රන්ථය නම් කළේ ‘සරසවි ප්‍රේමසිරි‘ කියලයි. සරසවි කියන නම යෙදුවේ ඔහුගේ පොත් හල් නිසාම නොවෙයි. සරසවි ඇල්ම බැල්ම ඇතුව විවිධ කලා මාධ්‍යවල නිරත වෙලා ඉන්න නිසයි. මේ නමට මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර වැන්නෝ පවා හරියට කැමැති වුණා.

ඔහුගේ කතාව ආකර්ෂණීය කතාවක් විදියට මම ගොඩනැඟුවා. අන්තිමට පිටු 300ක් පමණ පොතක් වුණා. ප්‍රේම් දිසානායක මහතා තමයි රූරටා සැලසුම් කළේ. ඔහුගේ පැරැණි ඡායාරූප රැසකුත් මේ ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. ඇත්තටම කිවුවොත් ප්‍රේමසිරි මහත්මයා පිළිබඳ කවුරුත් නොදන්න කරුණු රැසක් මේ පොතට ඇතුළත් වෙනවා.

ඔබ හා ප්‍රේමසිරි මහතා අතර වන සම්බන්ධය කොයි කාලෙද ඇති වෙන්නේ?

මම හිතන්නේ 2001 වසරෙදි විතර වෙන්න ඕන. 2001 වසරෙදි පණ්ඩිත් අමරදේවයන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වෙනුවෙන් අපි උත්සවයක් සංවිධානය කළා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ. මේක අපි කරන්නේ සංගමයක් පිහිටුවලා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා තමයි එහි සභාපති වෙන්නේ. මම සහ බන්දුල පද්මකුමාර තමයි ලේකම්වරු වශයෙන් කටයුතු කරන්නේ. රෝහණ වීරසිංහ සහ බන්දුල ඒකනායක ජාතික සංවිධායකවරුන් හැටියට කටයුතු කළා. පණ්ඩිත් අමරදේවයන් මැග්සේසේ සම්මානය රැගෙන දිවයිනට පැමිණි දාට පසුවදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන පඩිපෙළේ මෙම උත්සවය පවත්වනවා. ඒ මොහොත වනවිට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. ප්‍රේමසිරි මහත්මයා සහ අමරදේව මහතා අතර තිබුණෙත් සමීප සම්බන්ධතාවයක් එතුමන් මේ උත්සවයට ගොඩක් උදව් කළා. ඒ අනුව තමයි ඔහුගේත් මගේත් ඇසුර පටන් ගන්නේ. එතැනින් පස්සේ සෑම පොත් ප්‍රදර්ශන උත්සවයකදිම විවිධ සංස්කෘතික වැඩසටහන් සඳහා ඔහු මාව සම්බන්ධ කර ගත්තා. පුරා වසර 13ක් මම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ වැඩසටහන මම කළා. ඒ වගේම රජත පුස්තක සම්මාන උළෙල වැඩ සටහනත් මම කළා. එදා ඉදලා ඇතිවුණ ඒ සබැඳීයාව වර්තමානය දක්වාම තිබෙනවා.

ඔහු සාමාන්‍ය හුදු ව්‍යාපාරිකයකු වශයෙන් ඔබ දකින්න නැතුව ඇති. ප්‍රේමසිරි මහතා පිළිබඳ ඔබේ දැක්ම කවරේද?

ප්‍රේමසිරි මහත්මා ඇත්තටම ව්‍යාපාරිකයෙකුට එහා ගිය කෙනෙක්. ඔහු 1966 දි තමයි මහරගම පිහිටි ඔහුගේ සුළු පියාගේ පොත් සාප්පුවට එන්නේ. ඒඉස්කෝලෙ ගිහින් ඉවුරවුණු, විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණ කෙනෙක් විදියට. සුළු පියාගේ ව්‍යාපාරය තුළ තිබුණේ පොත් විතරක් නොවෙයි. ඊට අමතරව ඇළුමිනියම් බඩු, බෙහෙත් බඩු ආදියත් කිබුණා. ප්‍රේමසිරි මහත්මයා හිමින් හිමින් පොත් ටික විතරක් බේරගෙන අනෙත් ඒවා අයින් කර ගන්නවා. පොත් වලට විතරක් මුල් තැන දීලා ඔහු කටයුතු කරන්න පටන් ගන්නවා. ඔහු ජිවිතය පටන් ගන්නේ එතැනින්. ඒ වගේම ප්‍රේමසිරි මහත්මයාගේ විශේෂත්වය තමයි වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය වෘත්තීන්වල ඉන්න කණ්ඩායම් යාළුවෝ බවට පත්කර ගැනීම. චිත්‍රපට පිළිබඳ කතා කරන්න රෝහණ වෙත්තසිංහ එනවා. එතැනින් ගියාම ජි. ඩි එල්. පෙරේරා, වික්‍රම බෝගොඩ වගේ කෙනෙක් එකතු වෙනවා. ඡායාරුප ශිල්පය ගැන කතා කරන්න යසසිරි විජේසේකර, සරණපාල පමුණුව, නිමල් අසංක සිරිවර්ධන වැනි කණ්ඩායමක් එකතු කර ගන්නවා. ඔහු ඡායාරුපකරණයට හරි කැමැති කෙනෙක්. ඔහුට ගුරුවරයෙක් නෑ. ඔහුට කැමරාවකුත් නෑ. නමුත් ඔහු ඩාක් රුම් එකක් උඩ තට්ටුවේ හදාගෙන විවිධ අත්හදා බැලීම් කරනවා. ඊට අමතරව පොත් පත් සම්බන්ධයෙන් පියසේන වික්‍රමගේලා, රන්ජන් පෙරේරාලා වැනි අයත් ඉන්නවා. ඒ සමඟ වටපිටාවේ ඉන්නවා මහාචාර්ය ඒ. වි. සුරවිර, මහාචාර්ය නන්දසේන රත්නපාල වැන්නොත් ඉන්නවා. ඒ වගේම සෝමවීර සේනානායකලා, චන්ද්‍රසේන පෙරේරා වැන්නොත් ඔහුට සම්බන්ධ වෙනවා. මේ විදියට විවිධ කලා කටයුතුවල නියදුණු පිරිස් සමඟ සම්බන්ධකමක් ගොඩනඟා ගන්නවා. එහෙම නැතුව පොත් සාප්පුවේ ඉන්න පොත් විකුණන මුදලාලි කෙනෙක් නොවෙයි ඔහු. ගොඩක් අය ප්‍රේමසිරි මහත්තයව හම්බවෙන්නේ එන්නේ මෙන්න මේ බහුවිධ සම්බන්ධකම් නිසා. පියසේන වික්‍රමගේ මෙතනට එන්නේ හංස පොත් ප්‍රකාශකයන්ගේ ‘ ඇන්ටන් චෙකොෆ් සහ ලංකාව‘ කියන පොත මේ පොත් සාප්පුවට දාන්න. එයා මෙතනට ඇවිත් බලනකොට මෙතන පොත් සාප්පුවක ට එහා ගිය තැනක්. මෙතන හරියට සෞන්දර්යය නිකේතනයක් වගේ තැනක්. ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවම එකතු වුණ තැනක්. මෙතන තිබුණ උඩ තට්ටුව හදලා අරගෙන තමයි ඒ කාලේ පොඩි පොඩි සාකච්ඡා පවත්වන්නෙ. ඒ නිසා ඔහු කවදාවත් මුදලාලි කෙනෙක් විදියට හඳුන්වන්න බෑ.

කලාකටයුතුවලට නැඹුරු වුණු සෞන්දර්යාත්මක පුද්ගලයෙක් හැටියට තමයි මුල ඉදලම කටයුතු කළේ. අද දවස දක්වාමත් ඔහු කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්මයි. කලාවට සම්බන්ධ අපිත් ඔහුත් සමඟ තිබෙන ගනුදෙනුව ඉවර කරගන්නේ නැත්තේ ඒ නිසයි. ඔහු හුදු ව්‍යාපාරිකයෙක් නොවෙයි. ඉන් එහා ගිය දාර්ශනිකයෙකුගේ තත්ත්වයේ ඉන්න කෙනකු හැටියට තමයි මම ඔහු අවබෝධ කරගෙන ඉන්නේ.

දැන් සරසවි පොත් හලට වසර 50ක් සපිරෙනවා. ඒ වගේම මේ වනවිට දිවයින පුරා එහි ශාඛා 33ක් පවතිනවා. මේ සාර්ථකත්වයේ රහස කුමක්ද කියලද ඔබ හිතන්නේ?

ඒකට හේතු කීපයක් තිබෙනවා. පළවෙනි හේතුව විදියට මම දකින්නේ ඔහු කුඩා කාලයේ වින්ද අසීමිත දුක් කරදර. ඒ වින්ද දුක්වල හැටියට වෙනත් කෙනෙක් නම් එක්කෝ සිය දිවි හානි කරගෙන. එහෙම. නැත්නම් ඔහු සමාජයට වෛර කරන පුද්ගලයෙක් බවට පත්වෙලා. ඔහුට මුලින්ම අම්මා නැතිවෙනවා. ඊට පස්සේ තාත්තාගේ දැඩි දඬුවම් වලට යටත් වෙනවා. ඊට පස්සේ තාත්තා නැවත විවාහයක් කර ගන්නවා. වාසනාවකට ඇය සාම්ප්‍රදායික කුඩම්මා කෙනෙක් වෙන්නේ නෑ. ඊට පස්සේ තාත්තා නැති වෙනවා. තාත්තා අන්ත්‍රා වුණාට පස්සේ පවුල විසිරෙනවා. සහෝදරයන් තුන්දෙනා හැදෙන්නේ තුන් අතක. මල්ලි අරන් යනවා මාමා කෙනක්. නංගි අරන් යනවා පුංචි අම්මා. ප්‍රේමසිරි මහත්මයා අරන් යනවා තාත්තාගේ යාළුවා. ඒවෙනවිට ඔහුටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පවුලක තමන්ගේ දරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන එක සාමාන්‍ය දෙයක්. මුල් කාලයේ ප්‍රේමසිරි මහත්තයා ට මේවා ටිකක් දරා ගන්න අමාරු වෙලා තියෙනවා. නමුත් පහුවෙනකොට ඔහු තේරුම් ගන්නවා. ඔහු විභාගය කරන්නේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ බලාපොරොතතුවෙන්. නමුත් ඒ බලාපොරොත්තුව ඔහුගේ සුන් වෙනවා. මේ සියලු දේවල් එක්ක ඔහුගේ ජිවිතේ පිටු පස්සේ තිබිලා තියෙන්නේ අහිමිවිම පමණයි. මේ දේවල් වලට වෙන කෙනෙක් මුහුණ දුන්නා නම් ජිවිතේ අහිමිකර ගන්න ඉඩ තිබුණා. නැතිනම් සමාජයෙන් පළි ගන්න තිබුණා. නමුත් මේ සියල්ල දරාගෙන ආපු එක තමයි ඔහුගේ දියුණුවේ සාර්ථකත්වයේ රහස හැටියට මම දකින්නේ. අනෙක් පැත්තෙන් ඔහු සෞන්දර්යකාමියෙක් වීම. ඔහු හුදු මුදලාලි කෙනෙක් නොවීම. ඔහු සෞම්‍ය මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා. ස්වෝත්සාහයෙන් නැඟී සිටින්න උත්සාහ කරනවා. ජීවිතයේ තමන් වින්ද දේවල් මේ සියල්ලටම පන්නරයක් කර ගන්නවා. තමුන්ගේ ජිවිතේ නොලැබුණු දේවල් ගැන හිතන්නේ නැතුව ඒවා තමන්ගේ උරුමය කියලා හිතාගෙන ඒ පන්නරය ලැබගෙන ඔහු ජීවිතයට මුහුණ දෙනවා.

ඔහු පළවෙනි පොත් සාප්පුව 1973 දි ගන්නවිට ඔහුගේ අතේ මුදල් තිබුණේ නැ. ඔහු තමන්ගේ සුළු පියාගේ පොත් හලේ වැඩ කළේ පඩියට නොවෙයි. සුළු පියා ආගිය වෙලාවකදි යම් මුදලක් දෙන්න ඇති. මේ වෙලාවේ තමයි ලෝටස් පොත් හල රුපියල් විසිපන්දහසක මුදලකට විකුණන්න තියනවා කියන ආරංචිය ඔහුට එන්නේ. සුළුපියාගේ සීට්ටුව ඔහු ඉල්ලා ගන්නවා. සුළු පියා ඔහුට ඉදිරියට ගෙවාගෙන යන්න ඒක දෙනවා. ඒකෙන් තමයි ඔහු ලෝටස් පොත් සාප්පුව මිලදි ගන්නේ. එහෙම තමයි ජිවිතේ පටන් ගන්නේ. අනෙක් පැත්තෙන් ඔහු ව්‍යාපාර දියුණු කරන්න තරම් ව්‍යාපාර පරිපාලනයක් කරපු කෙනෙක් නොවෙයි. ඔහු ඉගෙන ගන්නේ විද්‍යා විෂයන්. ඔහුට ව්‍යාපාර දැනුමක් ලබන්න හෝ කියා දෙන්න කෙනෙක් හිටියේ නෑ. සුළු පියා කියන්නෙත් මුදලාලි කෙනක් මිස නවඋපක්‍රම දන්න කෙනෙක් නොවෙයි.

ඔහුගේ පියාටත් තිබිලා තියෙන්නේ කඩයක්. නමුත් හැමදාම බංකොලොත්. ඒ නිසා තාත්තාගේ අභාසය ඔහුට කොහොමටත් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ ඔක්කොම ඔහු ලබා ගන්නේ අත්දැකීමෙන්මයි. හිතලා බලලා, ක්‍රියාත්මක කරලා තමයි ඉගෙන ගන්නේ. ඒක තමයි විශේෂ රහස.

කුඩා කාලයේ විඳී අසීමිත දුක්, ඒ වගේම තමාගෙ අරමුණ කරා යන්නට තිබුණු නොසැලෙන ශක්තිය, අධිෂ්ඨානය වගේම ඔහු සතුවන අසීමිත මානව ගුණාංගයනුත් මේ ගමනට ඔහුට හේතු සාධක වෙනවා.

අනිත් කාරණාව තමයි කොයි තරම් මිල මුදල් යාන වාහන ලැබුණත්, කෙතරම් දියුණුවට පත් වුණත්, ඔහු තමාගේ පවුලට ලැදිව කටයුතු කරපු මිනිසෙක්. ඔහුට ඉතාම හොඳ පවුල් ජිවිතයක් තිබුණා. ඒ අතිනුත් ඔහු සමාජයට යහපත් පණිවිඩයක් දෙනවා.

ඔහුට ආඩම්බරයෙන් සිහිපත් කළ හැකි ළමා කාලයක් නෑ. ජීවත්වෙන්න පටන් ගත්දා සිටම තියෙන්නේ අහිමිවීම් පමණයි. අවුරුදු 11න් පස්සේ තමන් ජිවත් වු ගමෙනුත් ඈත් වෙනවා. ඒනිසා ඔහුට ගමකුත් නැති වෙනවා. නැදෑයන් සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන් ඈත් වෙනවා. නමුත් ඔහු තමාගේ ජීවන මගේ ඉහළම තැනට ගියාට පස්සේ මේ හැම දෙනාම සොය සොයා ගිහින් ඔවුන්ට තමන්ට පුළුවන් ආකාරයෙන් උදව් කරනවා. එහෙම කරන්නේ කෘතවේදිත්වය පිළිබඳ සලකලා නොවෙයි. ඔහුට සත පහක උදව්වක් නොකළ කෙනෙකුටත් ඔහු උදව් කරනවා. ඒ තමයි ඔහු සතුවන මානව ගුණාංග.

ඔහු කවදාවත් තමා පිළිබඳ ආඩම්බර වු මිනිසෙක් නොවෙයි. ඔහු හැමදාමත් තමන් කරපු දේවල් තමන් ළඟම තබාගෙන නිහඬව ජිවිත්වුණු කෙනෙක්. ඔහුට තිබෙන්නේ නිහඬ, සංවර, හික්මුණු ජීවිතයක්.

 

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT