Home » මෙය ඔබේම කතාව විය හැකියි

මෙය ඔබේම කතාව විය හැකියි

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

ගෙවීයන අපේ ජීවිත ජීවත් කරවන්න සතුට, සෙනෙහස, ආදරය අත්‍යවශ්‍ය බව නොරහසක්. සන්තුෂ් ගේ පවුල තුළ එය උපරිමව තිබුණා. බිරිඳ නිමේෂා සහ ඔවුන්ගේ එකම දරුවා සමගින් කාලය ගතකළේ අපරිමිත සතුටකින් හා අප්‍රමාණ සැහැල්ලුවකින්. නිමේෂා ලැබු සතුට, එක්තරා නිමේෂයකදී බොඳව යන්නේ, සන්තුෂ් ගේ ජීවන රටාවේ ඇය දකින, නුපුරුදු වෙනසත් සමඟයි. සන්තුෂ් වෙනත් කාන්තාවන් ඇසුරු කරන බවද ඇයට අනාවරණය වෙනවා. සියල්ල දෙස උපේක්ෂා සහගතව ඇය බලා සිටින අතර, ඔවුන්ගේ දරුවා අනපේක්ෂිත මොහොතක අතුරුදහන් වෙයි. ඒ අතරතුර, රොහාන් නැමැති හිටපු හමුදා නිලධාරියෙකු සමගින් සන්තුෂ් ආරවුලක පැටලෙන්නේ, නිමේෂාගෙ හිතට තවත් ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි. මේ සියලු අවුල් වියවුල් මැද නිමේෂාද අතුරුදන් වෙයි. මෙම අතුරුදන්වීම පසුපස සිටින්නේ කවුද ? ඔවුන් ගේ කැදැල්ල යළි එක්වේවිද ? ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කල, කාන්තාවකගේ ශක්තිය කෙබඳුවේද ? මෙයට පිළිතුර “රැයක් හෝ පැයක්” තුළ ප්‍රේක්ෂක ඔබට හමුවේවි.

90′ දශකයේදී ජනප්‍රිය සිනමා රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට එක්වූ ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි ” රැයක් හෝ පැයක් ” චිත්‍රපටය . ඔහු මෙයට පෙර ” සිංග මචං චාලි” (2015) වසරේදී සිනමා තිරයට රැගෙන ඒමට කටයුතු කර ඇත. ලාල් වීරසිංහ බාලවියේ සිටම රංගනයට ඇළුම් කරමින් සටන් හා නැටුම් කලාව පුහුණු වන අතර, ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාවේ පාඨමාලාව හා ඉන්දියාවේ මුම්බායිහී  “National Institute of Film – Television And Theaters ” ආයතනයේ පාඨමාලාව හදාරමින්, සිනමා ක්ෂේත්‍රය පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් හා හැදෑරීමකුන් අනතුරුව සිනමා ක්ෂේත්‍රයට පිවිසියෙකි. එහි අධ්‍යාපනය හදාරන අවධියේ, වර්තමාණයේ හින්දි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පි ගෝවින්දා ඔහුගේ සමකාලීනයෙක් වන අතර, ඔවුන්ගේ ගුරුවරයා වූයේ, මාස්ටර් රාහුල්‍ ය .මිතූන් චක්‍රබෝති හා රාජ් බම්බර් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගුරු හරු කම්ද ඔවුනට ලැබී ඇත .චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු, සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු, තිර පිටපත් රචකයෙකු ද වන ඔහු, වෘත්තියෙන් රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙකි. 1991 වසරේ තිරගත වූ “වැඩ බැරිනම් වැඩක් නෑ ” චිත්‍රපටයේ තරුණ ගායකයාගේ ප්‍රධාන භූමිකාවට පණපොවමින් රිදී තිරය ජයගත් ඔහු පසුවදී ,” විජේ සහ අජේ “, “ආසයි බයයි ” ,”සූරවීර චණ්ඩියෝ “, “ලව් 94 “, ” බොඩි ගාඩ් ” , “රඹා සහ මධූ”, ” සුන්දරයි ආදරේ “, ” ටැක්සි ඩ්‍රයිවර් ” ඇතුළු දේශීය චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය දක්වා ඇති අතර ,දකුණු ඉන්දීය සිනමාවේ , ” අන්ධ නිම්දම් ” ,” තුප්පාකි එන් කදෙයි ” හා ” එදිර් තනීර් ” වැනි නිර්මාණ සඳහාද දායකව ඇත. පුංචි තිරය ඔස්සේ ” සයුරෙන් එහා ” , ” සුදු පරවියෝ ” ,” අරවින්ද සහ ඉන්දු ” , ” හිමරාත්‍රි ” , ” ලොක්කි “, ” ප්‍රාර්ථනා ” ඇතුළු ටෙලි නාට්‍ය රැසක් මගින් ආලින්දයේ ප්‍රේක්ෂකයා අතරට ද පැමිණීමට ඔහුට හැකියාව ලැබී ඇත. මේ වන විට කලා කටයුතුවලට අමතරව, ශ්‍රී ලංකා ජාතික තායි බොක්ෂිං සම්මේලනයේ උප සභාපති ලෙස ද ඔහු කටයුතු කරනු ලබයි.

රංගන දායකත්වය

ලාල් වීරසිංහ, චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, රජිත හිරාන්, කුමාර ජයකාන්ත, නොෂින් ද සිල්වා, රුද්‍රා, සංජනා නයිදු, යෝගි රාම් ඇතුළු දකුණු ඉන්දීය රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායකව ඇත.

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – ලාල් වීරසිංහ

නිෂ්පාදනය – ධනුෂි ප්‍රේමරත්න

කතාව, තිර රචනය සහ සම්බන්ධීකරණ අධ්‍යක්ෂණය – ආර්. කුලන්දායි යේසු

කැමරා අධ්‍යක්ෂණය – තංගයියා මාඩසාමි

සංස්කරණය – එල්.වී.කේ. ඩොෂ් 5.1 ශබ්ද මිශ්‍රණය හා සැකසුම – කාවින්ද රංගන, එල්.වී.කේ.ඩොෂ්

සටන් අධ්‍යක්ෂණය – එස්.ආර්. මුරුගන්

කලා අධ්‍යක්ෂණය – එම්. සෙල්වරාජ්

අංග රචනය – රාමු

නැටුම් අධ්‍යක්ෂණය – රේඛා ඇන්ජලිනා

ඇදුම් නිර්මාණය – ප්‍රභූ කාර්ති කේයන්

නිශ්චල ඡායාරූප -ප්‍රවීන් කුමාර

නිෂ්පාදන කෘත්‍යාධිකාරී – මංජුලා ද සිල්වා, නිශාන්ත ප්‍රදීප්

පසුබිම් සංගීතය – සජිත් ඇන්ඩසන්, සම්පත් ප්‍රනාන්දු

ගීත පටිගත කිරීම – නදීක ගල්පාය

ගීත රචනය – සුනිල් ධර්මසිරි, හර්ෂ උඩකන්ද

ගීත ගායනය – නොයෙල් රාජ් පීරිස්, චම්පා කල්හාරි

ඉදිරිපත් කිරීම – එල්.ඩබ්ලිව්. ෆිල්ම්ස්

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT