මේ දිනවල ස්වර්ණවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය වන “මා” ටෙලි වෘතාන්තයෙහි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයකුගේ චරිතය නිරූපණය කරන ඔහු වේදිකා පාලකයෙකු, නිෂ්පාදන කළමනාකරුවෙකු, නළුවෙකු, වේශ නිරූපණ ශිල්පීයෙකු, අභිරූපණ ශිල්පීයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු හා වේදිකා සැරසිලි නිර්මාණ ශිල්පියෙකු වශයෙන් විවිධ භූමිකා නියෝජනය කරමින් කලාවෙහි දස්කම් පාන්නේ ඔහු නමින් ප්‍රවීණ රංගන ශිල්පී සැනට් දික්කුඹුරගේ.
මේ දවස්වල ඔබේ වැඩකටයුතු මොනවාද ?
පසුගිය 17 වෙනිදා සිට ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනීයේ රාත්‍රී 8.30ට විකාශය වන ” මා” නාට්‍යයෙහි රංගනයෙන් දායක වෙනවා. මත්තේගොඩ තැපැල් කන්තෝරුව අසල එය රූපගත කරන්නේ.
ඒ ඇරුණහම මුනිදාස කුමාරතුංග කතුවරයාගේ” හීන් සැරය” කෘතිය නාට්‍යානුසාරයෙන් බොරැල්ලේ නාට්‍යකරුවෙක් වන අජිත් හේමසිරි මහතා පෙන්වනවා.එහි මං ගොවියෙකුගේ චරිතයක් නිරූපණය කරන්නේ.ඒක පාසැල් නාට්‍යයක් නිසා පාසැල් කාලයේදී පෙන්වන්නේ. ඉතින් මේ දෙක ඇරුණහම වෙන කලා වැඩ මුකුත් ලැබුණේ නෑ.
ඔබ වෘත්තීයෙන් චරිතාංග රංගන ශිල්පියෙක් නේද?
මං චරිතාංග රංගන ශිල්පියෙක්ද කියන එක තීරණය කරන්නේ මගේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ. දවසක් ඛ්ඊඕ බස් රථයක ගමන් ගත් මගියෙක් මාව දැකලා ඒ බස් එකේ කොන්දොස්තරට කිව්වා” ඔහු රටට සම්පතක් ඒ නිසා ඔහුගෙන් ටිකට් ගන්න එපා කියලා.” ඒ නිසා මම රගපාන චරිතවලින් මං සෑහීමකට පත් වෙනවා. මොකද මිනිස්සු මට ගොඩාක් ආදරෙයි. උදේ රාජකාරීයට ඇවිත් හවසට ගෙදර යන කාර්යාල සේවකයෙකුගේ වැටුපට වඩා මූල්‍යමය වශයෙන් නැති වුණත් මේ නළු රස්සාව නිසා මං සිත සතුටින් ඉන්නේ. ප්‍රධාන චරිත නම් මං රගපාලා නෑ. ඒ කාලේ උස, ලස්සන තියෙන අයට එවැනි චරිත ලැබුණේ.
රංගන ශිල්පියෙක් නොවුණා නම් කුමන ක්ෂේත්‍රය ද තෝරා ගන්නේ?
පාඩම් වැඩවලට අදක්ෂ නිසා පාසැල් කාලේ දී හැමදාම තාත්තාගෙන් ගුටිකෑවා. මම චිත්‍ර අදින්න දක්ෂයි. වෙසක් කාලේට තොරණක් පවා මං ගෙදර හැදුවා. මම ඉඉඛ් විභාගේ චිත්‍ර විෂය විතරයි සමත් වුණේ. ඒ ප්‍රතිඵල අනුව මට කිසිම වෘත්තියකට අවතීර්ණ වෙන්න අසීරු වුණා.
එදා රංගන ශිල්පියෙක් නොවුණානම් මගේ පියාගේ රැකියාව තමයි මං කරන්නේ. “දයාලතා” පින්තූර රාමු කිරීමේ ආයතනය, දෙහිවල ” දයාලතා” පොත්හල,”දයාලතා” වෙසක් සැරසිලි භාණ්ඩ නිෂ්පාදන සහ “ශ්‍රී ලංකා” හෝටලය ඔහුගේ ව්‍යාපාර වුණා.ඔහු වඩුවැඩත් කළා.ඊට අමතරව ඔහුට වැල්ලවත්තේ දුම්රියපළ පාරේ “කල්‍යාණි පස්ගෝරස” නමින් කිරිපැණි කඩයකුත් තිබුණා.පසුකාලීනව බාබර් සාප්පුවක් කළා. අපේ තාත්තා කොළඹ ඇවිත් බොහොම දුක් මහන්සියෙන් තමයි මේවා ගොඩනැගුවේ. තාත්තාගේ ඒ තැනට එන්න අපිට අමාරුයි. ඉස්සර පින්තූර රාමු කිරීමට තාත්තා මාව ගෝලයාට ගෙනිච්චා. ඒවා ඔක්කොම අතහැරලා මම රගපෑමට යොමු වුණේ. තාත්තාගේ වෘත්තීයට එච්චර කැමැත්තක් මට ඇති වුණේ නෑ.
1969 හෝ 1970 දී විතර කාලේදී මං ලයනල් වෙන්ඩ්ට් එකේ තිබුණු රංග ශිල්ප ශාලිකාවට ගියා.එදා මගේ ගුරුවරු වුණේ ධම්ම ජාගොඩ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, එස්.ඒ.ප්‍රේමරත්න, චන්ද්‍රසේන දසනායක, අර්නස්ට් මැකින්ටයර්, මනෝ බ්‍රෙකන් ප්‍රාරිච්, ගුණසේන ගලප්පත්ති,හෙන්රි ජයසේන, ගාමිණී හත්තොටුවේගම, ගාමිණී විජේසූරිය, ගාමිණී වික්‍රමසූරිය, පත්ම කුමාර එදිරිවීර, මහාචාර්ය විමල් දිසානායක, මහිලා සෙල්වදොරේ. ඒ කාලේ මාසික පාඨමාලා ගාස්තුව රුපියල් 5 යි.එහෙම තමයි කලාවට සම්බන්ධ වුණේ. ධර්මසේන පතිරාජගේ පිටපතක් වන ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ “කෝරා සහ අන්ධයා” නාට්‍යයෙහි වේදිකා පාලක වුණේ මං. ඒවගේම නාමෙල් වීරමුණි රචනා කළ වික්‍රම බෝගොඩ අධ්‍යක්ෂණය කළ “නැට්ටුක්කාරී” වේදිකා නාට්‍යයෙහි වේදිකා පාලක වුණෙත් මං.එස්.කරුණාරත්නගේ “ගගට උඩින් කොක්කු ගියා” නාට්‍යයේ මම වේදිකා සැරසිලි කළා. ධම්ම ජාගොඩගේ “වෙස්මුහුණු” නාට්‍යයත්, අයිරාංගනී සේරසිංහ මහත්මිය අධ්‍යක්ෂණය කළ “පරස්තාව” වේදිකා නාට්‍යයෙහිත් වේදිකා පාලක විදිහට මං කටයුතු කළා.මූලිකවම කලාවට අඩිතාලම වැටුණේ “පරස්තාව” නාට්‍යයෙන්.එදා දිග ලියුම් කවරයක දැමූ රුපියල් 15 ක් මට ලැබුණා.
ජීවිතේ ආපසු හැරී බලද්දී අද දවසේ ඔබට දැනෙන හැගීම් මොනවගේද?
මම සන්තෝෂයෙන් ඉන්නේ.මාධ්‍යවේදියෝ වුණත් මාත් සමග සාකච්ඡා පවත්වන්නේ මම හොද නිසානේ. මට ජීවීතේ පසුතැවිලි වීමට දෙයක් නෑ. පසුතැවිලි වෙනවා නම් ඒ මුදල් වලට තමයි. මම සමාජවාදයට කැමති කෙනෙක්. නමුත් ලංකාව කොමියුනිස්ට්වාදී කිව්වාට වැඩක් නැහැ ඒක කතාවට විතරයි. නොමිනිස් අය ඉන්නේ.
ඔබේ වෘත්තියට සරිලන නිසි ඇගයීමක් මේ දක්වා ලැබුණේ නැද්ද?
ඒ ඒ නිර්මාණ වෙනුවෙන් නිසි ඇගයීමක් මේ දක්වා ලැබී නැහැ.වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය , සිනමාව හෝ වේවා අධ්‍යක්ෂකවරු අපෙන් අවශ්‍ය දේ කර ගෙන පස්සේ ආපසු හැරී බලන කට්ටිය නෑ.හැමෝම ව්‍යාපාරිකයෝ වගේ තමයි.හර්ෂ ගොඩකන්දගේ “කොළඹ සන්නිය” ටත්, ප්‍රියන්ත කොළඹගේ තිරගත වීමට නියමිත චිත්‍රපටියටත්, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ “සක්කාරං” චිත්‍රපටියටත් රංගනය වෙනුවෙන් සෑහීමකට පත් විය හැකි මුදලක් ලැබුණා.
රිදී තිරය,පුංචි තිරය සහ වේදිකාවේ ඔබ නිරූපණය කළ චරිතයන්ට වඩා ප්‍රේක්ෂක මතකයේ වඩාත් රැදෙන්නේ වෙළඳ දැන්වීම් හරහා නේද?
දැනට වෙළඳ දැන්වීම් 7ක් හෝ 8 ක් මං පෙනී ඉදලා තියෙනවා.
වේදිකා නාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයන්ට මතක සිටින චරිතයක් වුණා මං.පරාක්‍රම නිරිඇල්ලගේ “සෙක්කුව ” නාට්‍යයේ ගෝලපාලගේ චරිතය කා අතරත් ජනප්‍රිය වුණා.සෙක්කුවේ මං චරිත 5 ක් කළා.ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” වේදිකා නාට්‍යයේ බාර්මන්ගේ චරිතය සහ පීටර් වෙදමුනිගේ “අම්බලමක නඩේ” වේදිකා නාට්‍යයෙහි විප්ලවාදී තරුණයෙකුගේ චරිතයත් ප්‍රේක්ෂක හදවතේ රැදුණා.මේ නාට්‍ය තුනෙහි චරිත කාටවත් කරන්න බැහැ. උප ප්‍රධාන චරිත මං කළේ.ඒ නාට්‍යවල පැවැත්මක් තිබුණා.
ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ “මෝරා” වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයන්ට මතක තියෙනවා.1988 වසරේ දී හොදම අංගරචනයට හිමි සම්මානය ” මෝරා” නාට්‍ය වෙනුවෙන් මට ලැබුණා.එම නාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් හොදම නළුවා වුණේ මගේ අතින් වේශනිරූපණය කරලා.
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ “එයා දැන් ලොකු ලමයෙක් ” සිනමා පටයේ මං රගපෑවා.සීගිරියේ විනෝදගමනක් යන දර්ශනය වෙනුවෙන් වික්ටර් රත්නායක සහ ප්‍රේඩී සිල්වා ගායනා කළ ගීතයේ මාත් සමග මාලනී ෆොන්සේකා පසුබිම් රංගනයෙහි යෙදුණා.ඒ චිත්‍රපටියේ මගේ චරිතය ප්‍රේක්ෂකයන්ට මතකයේ තියෙනවා.
ජනප්‍රිය නිළියකගේ නංගී කෙනෙක් එක්ක මං යාළුවෙලා හිටියා.සුදර්ශීයෙහි නාට්‍ය පුහුණුවීම් කරන කාලේ මට ඇයව මුණ ගැසුණේ.එයා අවසාන වතාවට මට කමිසයක් දුන්නා.ඒ කාලේ විවාහ වෙන්න ගෑනූ ලමයින්ට හදිස්සියක් තියෙනවා නේ.එහෙම බදින්න කැමති පිරිමිත් ඉන්නවා අකමැති පිරිමිත් ඉන්නවා.ඒ පවුලත් ලොකුයි.දෙමව්පියෝ අමාරුවෙන් නේ දරුවෝ උස්මහත් කරන්නේ.දූවලාට දේපළක් හෝ එහෙම නැත්නම් ලස්සන තියෙන්න ඕනේ.එයා කුරූණෑගල පැත්තේ ඉඩකඩම් තියෙන කෙනෙක් සමග පසුව යාළු වී දෙමාපිය කැමැත්ත ඇතිව විවාහ වුණේ.මමත් ඒ විවාහ උත්සවයට සහභාගි වුණා.ඇය විවාහ වුණාට පස්සේ අපි දුරස් වුණා.
පස්සේ කාලේක දී දකුණු පලාතේ අවුරුදු 22 ක කෙනෙක් මාව බදින්න කැමැත්තෙන් සිටියා.එයා වැදගත් වෙද පරම්පරාවක කෙනෙක්.පවුලේ එයා විතරයි.වැල්ලවත්තේ කාර්යාලයක එයා රැකියාව කරේ. මම පාරේ යනවිට ඇය දැක කතා කළා. ඈ මගේ රසිකාවියක්.එහෙම තමා අපි හමුවුණේ. අපි සන්තෝෂයෙන් වෙන් වී ඉමු කියා නිළියගේ නංගීට කී දෙයම මම ඇයටත් කිව්වා.එයා දැන් විවාහ වී දියණියක් සිටින මවක්.අවුරුද්දකට වතාවක් ඇය මට කතා කරනවා.
හුදකලාවේ හිටියත් මං ආදරේ තවම විදිනවා.
දැනට ඔබ සිනමාවේ,වේදිකාවේ සහ ටෙලිනාට්‍යවල කොපමණ රංගනයෙන් දායක වී තියෙනවාද?
දැනට චිත්‍රපටි 70 ක විතර රංගනයෙන් දායක වී තියෙනවා.සිරි කුලරත්නගේ “වස්තුව” චිත්‍රපටියේ මුලින්ම රගපෑවේ.ඒ කාලේම ධර්මසේන පතිරාජගේ “අහස් ගව්වේ” සිනමා පටයේත් සුළු චරිතයක් මං රගපෑවා.ඒ 1972 දී විතර.එය තිරගත වුණේ 1974 .මේ සිනමා පටයේ සහාය සංස්කාරක ලෙස ද මං කටයුතු කළා.
83 හෝ 84 වසරේදී වරාගොඩගේ “බත් දංකුඩ” නාට්‍යයට (නරියා ලබු කිරිබත් කන කතාව) සම්මානයක් ලැබීම සදහා රට යෑමට තිබුණ අවස්ථාව මට අහිමි වුණා. සිනමාව සහ ටෙලිනාට්‍යය වෙනුවෙන් මෙතෙක් සම්මාන හිමි වී නෑ.
රූපගත කිරීම්වලදී රසබර මතක අවදි කරොත් ?
ප්‍රියන්ත කොළඹගේ තිරගත වීමට නියමිත අලුත් චිත්‍රපටිය වෙනුවෙන් මම ගැරේජ් බාස් කෙනෙකු හැටියට චරිතයක් නිරූපණය කළා. එහිදී ගැරේජ් බාස් ලෙස වාහනේ යට මං වැඩ කර කර සිටින විට පුබුදු චතුරංග වාහනය ඵබචපබ කරගෙන යනවා.ඒ දර්ශනයට පෙනී සිටින්න එපා කියලා හැමෝම මට කිව්වා.ඒක අභියෝගාත්මක භයානක වැඩක්. මාව මීටර් 100 ක් ඇදී ගියා.ඒක රසබරත් නෙවෙයි. දුක් බරත් නෙවෙයි. කාටවත් කරන්න බැරි අසීරු වැඩක් මං කළ නිසා සතුටු වෙනවා.
ජයන්ත චන්ද්‍රසිරිගේ “අත් ” වේදිකා නාට්‍යයේදී ශ්‍රියන්ත මෙන්ඩිස් නම් නළුවා බිහි වුණේ මං නිසා. ඒ නාට්‍යයෙහි ශ්‍රියන්ත බාර් එකට ඇවිත් එයාට කේන්ති ගිහින් මාව උස්සලා පොළොවේ ගහනවා.එයා ඉනෙන් ඔසවන විට උඩ යන්නේ මං.මාව වැටෙන්නේ නැතුව බිම තබන්න බැලන්ස් කරන්නේ එයා.මේවා තමයි වේදිකා නාට්‍යවල මතක තියෙන සිදුවීම්.
ටෙලිනාට්‍යය වලදී රසබර මතක නෙවෙයි දුක්බර මතක තියෙන්නේ.උදේ වරුවේ මං රඟපෑමේ කටයුතුවල නිරත වී අවසන් වුවත් අනෙක් අය රගපානකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. අන්තිමට තම තමන්ගේ ගෙවල් වලට ඇරලවන්න රඟපාන කට්ටිය ඔක්කොම වාහනයක දාගෙන යනවා .මේ නිසා කාලය අපතේ යනවා.
සැනට්, ඔබ කොහොම කෙනෙක්ද?
කෙලින් කතා කරන කෙනෙක්. හැබැයි මං කියන වචන වරදින්න පුළුවන්. නමුත් ඒ වචන හදාගන්න පුළුවන්. මිනිස්සු අපහසුතාවයට පත් නොකිරීමටත්, උදව් අවශ්‍ය කැමති කෙනෙකුට උදව් කරන්නත් කැමතියි. මට මුදල් නැත්නම් උදව් කරන්න විදිහක් නෑ. කෙනෙකුගේ ආසාවට උදව් කරන්න කැමතියි. ඒවගේම කාටවත් කරදරයක් නැතුව ජීවත් වීමට කැමතියි.මම කාත් කවුරුවත් නෑ කියා වැලපෙන්නේ නෑ. මානසික සුවයටත් එහෙම හිතන එක හොදයි. පළවෙනි චේතනාව සිතුවිලි වලට වහල් නොවී සිටීම. ජීවිතේ හොද දේවල් කරලා තිබෙන නිසා දැන් මට ජීවත් වුනා ඇති කියලා හිතෙන අවස්ථා තියෙනවා.
ඔබේ පවුලේ විස්තර දැන ගන්න කැමතියි.
මම ඉපදුණු වෙලාවේ රෝහලේ හෙදියක් සැනට් කියලා මට නම දැම්මා. ඉතින් ඩී.සොයිසා රෝහලේ ඉපදුනු නිසා ඒ ප්‍රදේශය තමයි මගේ ගම. කළුබෝවිල මගේ ගෙදර තියෙන්නේ.මම බෞද්ධ.වැල්ලවත්තේ ශ්‍රී සුභූති විද්‍යාලය (පැරණි නම- විහාර ලේන් විද්‍යාලය), දෙනියායේ රෝමානු කතෝලික විද්‍යාලය (වත්මන් නම- රාජපක්ෂ විද්‍යාලය), කරගම්පිටිය මෙතෝදිස්ත විද්‍යාලය යන පාසැල් තුනෙහිම මම අධ්‍යාපනය හැදෑරුවා. තාත්‍තා දයානන්ද දික්කුඹුරගේ. ඔහු ව්‍යාපාරිකයෙක්.1973 දී තාත්තා බම්බලපිටියේ රිය අනතුරකින් නැති වුණා. මගේ සියාත්, තාත්තාත් කලාවට ලැදියි. මගේ තාත්තා වෙසක් කාලේට රැලි කර බකට් සැදීම සහ වෙසක් කූඩුවල චිත්‍ර ඇදීම සිදු කළා. මගේ සීයා ඩී.අරුණෝලිස්. ඔහු මාතර නූර්ති පෙන්වන විට දෙතුන් සැරයක් රගපාලා තියෙනවා.මගේ සීයා 1950 ගණන්වලදී ආලවකට රගපෑවා.මගේ අම්මාගේ නම හේවා දික්කුඹුරගේ ලුසි නෝනා හෙවත් මැගලින් නෝනා.ඇය ගෘහණියක්. දැන් ඇයත් ජීවතුන් අතර නෑ.අපේ පවුලේ 6 දෙනෙක්.මං පවුලේ දෙවෙනියා. මගේ ලොකු අක්කා දැන් ජීවතුන් අතර නෑ.එයාගේ නම දයාලතා දික්කුඹුරගේ.ඇයගේ නමින් තමයි තාත්තා ව්‍යාපාර කටයුතු කළේ.මගේ පවුලේ තුන්වෙනියාගේ නම නාලනී සෙනෙහෙලතා දික්කුඹුරගේ.ඇය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් විවාහ වී ඉන්නේ.
මගේ මල්ලී විජේනන්ද දික්කුඹුරගේ.එයාත් ජීවතුන් අතර නෑ.ඔහු උසාවියේ ලිපිගොනු භාරව සිටින නිලධාරියෙක් විදිහට රැකියාව කළා. පවුලේ පස්වෙනියා පූර්ණලතා දික්කුඹුරගේ.දැන් ජීවතුන් අතර සිටින මල්ලීගේ නම ලීලානන්ද දික්කුඹුරගේ.
ඔබගේ ජීවිතය බෙදා හදාගෙන හිසට සෙවණක් දෙන්න කැමති පිරිස් ඇති.ඔබේ ලිපිනයත් සදහන් කරමු.
ජීවිතය බෙදාහදා ගන්න කැමති ඕනම කෙනෙකුට මම කැමතියි.හැබැයි වදකාගාරයට ඇදගෙන යන්න හිතේ තියෙන කට්ටියට මම කැමති නෑ.උදාහරණයක් විදිහට මාව බිල්ලට දී ඔටුන්නක් ගන්න පුළුවන් කියා කාටහරි හිතෙනවා නම් ඒ බිල්ලට යන්න මම කැමති නෑ.කෙනෙකුගේ වාසනාවට මං බිලි වෙන්න කැමති නෑ.මගේ ලිපිනය සදහන් කරන්න කැමතියි.මට සෙවණක් දෙන්න කැමති නම් එය තුලනය කරගෙන සතුටින් බෙදා හදා ගන්න කැමති කෙනෙකුට මං කැමතියි.ඒ කෙනා යම් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් මම අකමැතියි.
නො.99, සැනට් දික්කුඹුරගේ,ශ්‍රී ගුණාලංකාර පාර, කළුබෝවිල,දෙහිවල.
ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ වෘත්තියේ තව අවුරුදු කීයක් ඉන්න පුළුවන් ද කියලා මං දන්නේ නෑ. මං ජීවතුන් අතර ඉන්න කාලේ පුළුවන් උපරිමව සේවය කරනවා කියලා මං හිතේ තියාගෙන ඉන්නවා. හෙට දවස ගැන ස්වභාධර්මයට බාරයි.
වසුන්දරා කුමාරී ධර්මරත්න