සාම්ප්‍රදායික ගැහැනියක්, බිරියක්, මවක් ලෙස ඒකාකාරී දිවිපෙවතක් ගතකරමින් සිටි ඇයගේ දිවිය කොවිඩ් සමයත් සමඟ ඇයම නොසිතූවිරූ ලෙස විශාල පරිවර්තනයකට භාජනය විය. ඇය තුළ සැඟව තිබූ කලාකාමී අදහස් අකුරුවලට පෙරළී දක්ෂ ගීපද රචිකාවක් බවට පත්වීමට ඇයට හැකිවූයේ ද කොවිඩි කාලයේ ලද නිදහසත් සමඟිනි. ඇය අතින් ගෙත්තම් වූ “යශෝධරාවෝ” ඇගේ පළමු ගී පද රචනයයි. “යශෝධරාවෝ” කාගේත් සවන වැකෙනවාත් සමඟ මෙම නවක ගී පද රචිකාව පිළිබඳ කාගේත් කතාබහට ලක්වන්නට විය. ඇය නමින් ශිරෝමි කළුපහනයි. කොවිඩි නිසා ගී පද රචිකාවක් වූ ශිරෝමි සිය ගී පද රචනා කලා දිවිය පිළිබඳ කතාකිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.
කොවිඩ් කාලයේ ගී ලියන්න පටන්ගත් ඔබව දැන් කවුරුත් හඳුනනවා…?
කොවිඩ් නිසා ලැබුණු විවේක කාලය ඒතරම් දිගට නොලැබුණා නම් මේතරම් ගී පද මාලා රචනා කරන්න මට අවස්ථාවක්, ඉඩක් ලැබෙන්නේ නැහැ. ජීවිතය පුරාම එකඑක කාලවලට, විවිධ කාර්යයන්වලට අපට මුහුණදෙන්න වෙනවා. ඉන් බොහෝමයක් යුතුකම් හා වගකීම්වලින් පිරුණු අභියෝග. ළමා කාලයේ ඉගෙනුමටත්, අනතුරුව රැකියාවටත් පසුව විවාහය සහ දරුවන් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න වෙනවා. මේ නිසා ජීවිතය කාර්යබහුල වෙනවා. එය මා ඇතුළු කාටත් පොදුයි. ඒකාකාරී ජීවනරටාව තුළම ජීවිතය ගෙවාදමද්දි කවදාවත්ම මම සිතුවේ නැහැ මා තුළ ගී පද රචිකාවක් සැඟවී සිටිනවා කියලා. එතෙක් මා තුළ සිටි ලියන්නිය හෙවත් ගී පද රචිකාව මට මුණගැසුණේ කොවිඩ් විවේක සමයේයි. එකදිගට, එක තැනක නැවතිලා ගිමන් හැරගන්නට මේ කොවිඩ් කාලය උපකාරී වුණා. ඒ මාරාන්තික කොවිඩ් වයිරසය නිසා කම්පා වුණු, කම්පනය වූ මනසේ ඉපදුණු සිතුවිලි පොදි අස්සේ තිබුණු වචන, පෙළින්පෙළගස්වන්න මට නිදහසත් එක්ක හාත්පස පරිසරයම නිහඬකරලා දුන්නේත් කොවිඩිමයි.
ඔබේ මුල්ම ගීත නිර්මාණය වූ “යශෝධරාවෝ” ගැන සිහිකළොත් …..?
අරමුණක් නැතිව අහම්බෙන් ලියූ “යශෝධරාවෝ” පද පෙළ ගීතයක් වී මට ඇසේවි කියා මම හිතුවේවත් නැහැ . මම පූර්ණ සචින්තට ඒ වචනටික පෙන්නුවේ නිකමට වගේ. නමුත් පූර්ණ, සංගීතවේදී නවරත්න ගමගේ සූරීනුත් එක් කරගෙන එය අපූරු ගීතයක් බවට පත්කළා. ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් මට “යශෝධරාවෝ” ගීතය ඇසෙද්දී පුදුම සතුටක් දැනුණා. ඒ සතුට මෙහෙමයි කියා කෙටියෙන් ලියන්න, කියන්න බැහැ. “යශෝධරාවෝ”ගෙන් ලද උත්තේජනය තමයි මාව මේතරම් දුරක් රැගෙන ආවේ.
සාම්ප්‍රදායික ගැහැනියගේ, බිරියගේ, මවගේ භූමිකාවල සිටි ඔබ, කොවිඩ් සමඟ ගී පද රචිකාවක් වුණා. එකී පරිවර්තනය දෙස නැවත හැරී බැලුවොත් ……?
වෙලාවකට මටත් සිතාගන්න බැහැ මේ පරිවර්තනය ගැන.ශිරෝමි කළුපහන නමැති ගැහැනියව එතෙක් දැනගෙන සිටියේ නිවෙසේ අය, නෑදෑ හිතවතුන්, මිතුරන් පමණයි. “යශෝධරාවෝ” ගීතය සමඟ බොහෝ පිරිසක් මාව හඳුනාගත්තා. ගී පද රචිකාවක් නමින් මාව හැඳීන්වුවා. මා ලියූ ගීත රචනා මේවෙද්දී ගීතවලට පරිවර්තනය වී තිබෙනවා. මේ නිසා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක බොහෝ පිරිසක් ඇසුරු කරන්න ලැබුණා. මම ලියන කවිය, ගීතය ගැන මාධ්‍ය තුළින් නිතර කතාවෙන්න ගත්තා. සමාජයට යහපත් යමක් හිතේ හැටියට මුදාහරින්න යොදාගතහැකි හොඳම සහ කෙටිම මාර්ගය මෙයයි. අහම්බෙන් හෝ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ලැබීම ගැන අසීමිත තෘප්තියක් තියෙන්නේ . ඔබ කියූ බිරිය, මව භූමිකා තුළ සාර්ථකව තවදුරටත් නියැළෙන්න මේ කලාකාමී සිතුවිලි මට උපකාර වෙනවා
ගී පද රචනයට වස්තුබීජ සොයාගන්නේ කොහොමද …?
මගේ සිතෙන් මට ඕනෑම වේලාවක , ඕනෑතරම් මන:කල්පිත තේමා රූපණය කරන්න පුළුවන් . ඊට අමතරව කියනවානම් අද සමාජයේ අපේ ඇසට, කනට දෙන්නෙම ගී දහසක් ලියන්න පුළුවන් මාතෘකා . අනේකවිධ ප්‍රශ්න පිරි සමාජයක් හැමතැනම දකින්නේ. සංවේදනා එමටයි. සැදෑ සමය ගතකරන මවුපියවරුන්, ප්‍රේමයට ප්‍රේම කරනවා වෙනුවට ද්වේෂ කරන පෙම්වතුන්, බැලුබැලුඅත විවාහ දෙදරා යන ස්වාමි-භාර්යාවන්, දේශානුරාගය වෙනුවට දේශානුවෛරය. එකීමෙකී නොයෙක් මාතෘකා අද සමාජයේ අපි දකිනවා. ඕනෑම අයහපත් දෙයක් දිහා කලාකාමීව බලා යහපත් දෙයක් ලියන්න රචකයකුට පුළුවන් .
ගී පද රචනය නමැති විෂයක්ෂේත්‍රය ගැඹුරින් අධ්‍යයනයට යොමුව සිටිනවාද….?
දැනට නම් නැහැ
ගී පද රචනයේදී ඔබ ගුරුකොටගත් පිරිසකුත් ඇති…?
මගේ ගී පද රචනා කලාවේ මුල්ම ගුරුවරයා ලෙස සංගීතවේදී නවරත්න ගමගේ සූරීන් සිහිපත් කළ යුතුයි. ඔහු මගේ නිර්මාණ කිහිපයක් සංගීතවත් කරදෙමින් ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට උපදෙස් දෙනවා. අදටත් එය එසේමයි. විශාරද එඩ්වඩ් ජයකොඩි සූරීනුත් මට විශාල ලෙස ගුරුහරුකම් ලබාදෙනවා. “සිහින පැතුම” පද මාලාව ඔහු ගායනා කරමින් මගේ සංගීත ගමන ආලෝකවත් කළා. ඒවගේම මගේ මුල්ම ගීතය ගායනා කරමින් මට ගී පද රචිකාවක් වෙන්න මාර්ගය පෙන්වාදුන්නේ පූර්ණ සචින්තයි. ඔහු මට බොහෝ දේ ගැන අවබෝධය ලබාදුන්නා. ප්‍රවෘත්තියක් මඟින් රූපවාහිනියේ විවෘත ආරාධනාවක් කරමින් ලියන්න අවස්ථාව දුන් හිටපු අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාත් මට ගුරුවරයෙක් වුණා. කොවිඩ් සමයේ අලුත් නිර්මාණ ලිවීම උදෙසා සහතික පත්‍ර ප්‍රදානය කළේත් ඔහුයි. ඊට අමතරව හරේන්ද්‍ර ජයලාල් , නලින් පෙරේරා, නාමල් උඩුගම, ලක්ෂ්මන් හිල්මි, දිනේෂ් මුතුගල, තරංග දුමිඳු දිනේෂ් යන අයත් මට නොයෙක් ගුරුහරුකම් දීලා තියෙනවා
“යශෝධරාවෝ” සඳහා ගායකයකු හා සංගීතවේදියකු තෝරාගත්තේ කොහොමද …..?
විශේෂයෙන් තෝරාගන්න අවශ්‍ය වුණේ නැහැ. වචන පෙළ පූර්ණ සචින්තට නිකමට පෙන්නුවා. ඔහු තමයි නවරත්න ගමගේ සර්ව සම්බන්ධ කරගත්තේ
පාසල් සමයේ සාහිත්‍යයට, කලාවට තිබූ නැඹුරුව කොහොමද …..?
පාසලේ සිදුවන සෑම කලා කටයුත්තකටම සහභාගි වුණේ ඉස්සරහ වාඩිවෙලා ඉඳගෙන අත්පුඩි ගසන්න විතරයි. මොනවාහරි දෙයකට තෝරාගත්තම එදාට ඉස්කෝලේ යන්නේ නැහැ . හැබැයි පාසල් අවසන් වුණාම සවස නැවතිලා යාළුවෝ එක්ක සින්දු කිව්වා. සාහිත්‍යයට දැඩි ප්‍රියතාවක් තිබුණා. සාහිත්‍ය පොතපත වැඩිපුර කියෙව්වා. සාහිත්‍යය රසවින්ඳාා. විෂයයක් විදිහට හොඳීන් ඉගෙනගත්තා
නිර්මාණ සමාජගත කිරීමේදී සංගීත අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද ….?
ගුණාත්මක බවින් වැඩි නිර්මාණයක් බිහිවෙන්න නම් පද මාලාව, සංගීතය හා ගායනය සඳහා තෝරාගත් කටහඬ නමැති ත්‍රිත්වයම අතිශය වැදගත්. ගී පද රචිකාවක් ලෙස මම හැමවිටම උත්සාහ කරන්නේ උසස් රසවින්දනයක් සහිත අර්ථපූර්ණ පද මාලාවක් ගළපා ගැනීමටයි. දක්ෂ සංගීතවේදියකුගේ සංගීතය සහ ගීතයේ අර්ථයට ගැළපෙන හඬක් ඇති ගායන ශිල්පියකු සමඟ එකතුවී උසස් රසවින්දනයක් සහිත ගීත නිර්මාණය කිරීමටයි මම උත්සාහ කරන්නේ. රචනා කරන සෑම පද මාලාවකම, සෑම වචනයකම එහි අවසන් නිර්මාණයේ ගුණාත්මක බවට හානියක් නොවෙන්නත් මම වගබලා ගන්නවා
ගී පද රචකයා, ගායකයා, සංගීත අධ්‍යක්ෂවරයා යන භූමිකා ත්‍රිත්වයම දම්වැලක පුරුක් සේ එකිනෙකට බද්ධයි. එකී සම්බන්ධය ඔබ අර්ථවිග්‍රහ කරන්නේ කෙසේද ….?
ඒක හරියට දුම්රියක් වගේ. රේල් පීලි දෙක සහ රෝද කියන තුනම හරියාකාරව නොතිබුණොත් දුම්රිය පීලි පැනලා ඉදිරියට නොයා ගමන නවතිනවා . ගීත නිර්මාණත් ඒවගෙයි. පද රචකයාගෙන් උසස් පද පෙළක් සහ ඊටම ගැළපෙන කටහඬක් නිසි ලෙස සම්මිශ්‍රණය වීම අතිශය වැදගත් . මේ තුනෙක් එකක් හෝ නිසිපරිදි ගුණාත්මක බවින් අසම්පූර්ණ වුවොත් මා කලින් කියූ දුම්රියට වෙන දේ ගීත නිර්මාණයටත් සිදුවෙනවා
මේ වෙද්දි ඔබ ප්‍රවීණ ගායක ගායිකාවන්ටත් ගීත ලියා තිබෙනවා …..?
ඔව්, එය මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි ගායකයාණන් ගයන “සිහින පැතුම” ගීතයත් ලක්ෂ්මන් හිල්මි සංගීතවේදියා තනුව සහ සංගීතය සකසමින් ගායන කළ “පේරාදෙණි පාරාදීසේ” ගීතයත් ඒ අතර වෙනවා. නාමල් උඩුගම ගායනවේදියා ගැයූ “ශෘංගාරි” ගීතයත් විශේෂයි. අමිලා නදීෂානිගේ ” ගෙවුණු පෙර අත්භවෙක” ගීතයෙනුත් මා අසීමිත තෘප්තියක් ලැබුවා. නවක ගායිකා සඳමාලි දැකුම්පිටිය ගයන “ආල හී සර” ගීතයටත් මම ගොඩක් කැමැතියි.
ශිරෝමි කළුපහන නමැති ගායිකාවක් අනාගතයේදී දැකගන්න ලැබේද……?
අපෝ නැහැ , කොහොමත්ම නැහැ
සංගීත අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද …..?
ඒත් නැහැ . එය සංකීර්ණ කාර්යයක්.
ලේඛන කලාවට නැඹුරුව කොයිවගේද…….?
වැඩිපුරම ආස කරන මගේ කලාව ලේඛන කලාවයි. ප්‍රවීණ , නවක කතුවරුන්ගේ තොරතුරු දැනගැනීමටත් ඉන් මගේ ලේඛනයට අත්දැකීම් උපයෝගී කරගැනීමටත් මම ආසයි. ඉස්සරට වඩා සාහිත්‍ය පොතපත කියවන්න කාලය වැයකරනවා. ඒ තුළින් ලද,හැකි පාඩම් බොහෝමයි
තිර පිටපත් රචනයට යොමුවූයේ නැද්ද …..?
දීර්ඝ පිටපතකට තවම අත තියලා නැහැ . ඒකාංගික තිර පිටපත් නම් මේ වෙද්දි ලියා තිබෙනවා . තවම මම ඒ කටයුත්තට ආධුනිකයි කියා සිතෙනවා . හැබැයි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තිර පිටපත් රචිකාවක් හැටියට ඉදිරියට යන්නත්
සිනමාව සහ ටෙලිනාට්‍ය සඳහා දායකත්වය කොහොමද …..?
මම මේ යන ගමනේ තව බොහෝදුර යන්න වෙනවා ඒ අවස්ථාව ලබාගන්න. දවසින් දවස ලිවීමෙන් පරිණත වී , ගීත නිර්මාණ තුළින් දක්ෂකම් පෙන්නුවොත් ඒ අවස්ථාවත් ලැබෙයි කියා සිතෙනවා. එහෙම එනවානම් මගේ ලිවීමේ උපරිමය ඔයාලට දකින්න හැකිවේවි
වාණිජකරණය වූ වත්මන් සමාජ සංස්ථාව තුළ ගී පද රචනා කලාව තිබෙන්නේ කවර ස්ථානයකදැයි ඔබේ විග්‍රහය දැනගන්න කැමැතියි….?
ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියා මම සිතනවා . නූතන පරම්පරාවේ බහුතර ගේය පද රචකයන්ගේ භාෂා භාවිතය ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ . සුළු පිරිසක් විසින් මේ සුභාවිත සුභාෂිතය මුදල මත තබා පරිභව කරනවා. මුල, මැද, අග කිසිම සම්බන්ධයක් නැති බාල වචන සහිත ගීත මුදාහරිනවා . ඒ නිසා අප මතක තබාගතයුතු දෙයක් තිබෙනවා , ඒ තමයි අපි ගීතයක් ලියන්නේ එය සමාජයේ ලොකු, කුඩා කාගේත් මනසට යහපත් යමක් කාවද්දන පණිවිඩයක් සමඟයි . ඉතින් ඒ වචන ගීතයට නොගැළපුණොත් ශ්‍රාවක මනස සුවපත් වෙනවා වෙනුවට සිදුවන්නේ තවතවත් පිරිහීමයි.. මේ යහපත් භාෂිතය සමඟින් ගීතය ලියන්න පද රචකයා වගබලාගත යුතුයි…
ගී පද රචනා කලාවට යොමුවන තරුණ පිරිස ගැන ඔබේ දෘෂ්ටිය මොනවගේද …..?
මේ ප්‍රශ්නයටත් කලින් දුන් පිළිතුර අදාළයි. භාෂිතය සුරක්ෂිත කරමින් භාෂණය කරන ප්‍රවීණ, නවක පිරිස අතරේ භාෂාව විකෘති කරන සුලු පිරිසකුත් සිටිනවා
ඉදිරි නිර්මාණ පිළිබඳ ඉඟියක් දුන්නොත්…..?
“නෙතු පියන් අගිසි අග” ගීතය , ගායන ශිල්පි සුමීර සුමංග විසින් ගායනා කරනවා. එහි තනුවත්, සංගීතයත් තරංග දුමිඳු දිනේෂ්ගෙන්. “පාට ගාපු ගැහැනු මුහුණු” නමැති ඒකාංගික ටෙලි නාට්‍ය තිර පිටපතක් ලියා අවසන්. මා මෙතෙක් ලියූ කවි, ගීත, සඳැස්, නිසඳැස් එකතුව ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට නියමිතයි…
මනෝජ් රුක්මල් කුමාරසිංහ