රුව ඇති පමණින්, හැඩ ඇති පමණින් රංගන ශිල්පිනියන් විය නොහැකිය. හැඩරුව සමඟින් රඟපෑම් පිළිබඳ හුරුවක් හෝ අධ්‍යයනයක් තිබුණහොත් ටෙලි නාට්‍යය, වේදිකාවට, සිනමාවට පා තැබීමට අවස්ථාව උදා වේ. එහෙත් එහි අඛණ්ඩව රඳාපවතිනවාද නැද්ද යන්න අවබෝධය කරගත යුත්තේ තමාමයි. කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට නම් ඒ වෙනුවෙන් කැපවිය යුතුයි. රඟපෑම යන්න කුමක්ද යැයි හොඳීන් අධ්‍යයනය කළ යුතුයි. ඇතැම් දෙනා රංගන හැකියාව උපතින්ම උරුම කරගෙන ඒ සඳහා වරම් ලබන අවස්ථාද දකින්නට ලැබේ.
වර්තමානයේ සිනමාවට නවක නළු නිළියන් විටින් විට සිනමා නිර්මාණ ඔස්සේ තිරයට පැමිණි ආකාරය ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට දැකගත හැකිවිය.
මේ දිනවල තිරගත වන “හදගැස්ම ” චිත්‍රපටය තුළින් නැවුම් මුහුණක් සිනමාවට හඳුන්වාදීමට රංගන ශිල්පී, චිත්‍රපට අධ්යක්ෂ, තිර රචක අකිල සඳකැලුම් සමත් විය.
ඇය සුරූපී නිළි නයෝමි පීරිස්. මින් පෙර ඇය ටෙලි තිරයේ රංගනයෙන් දස්කම් පා තිබුණත් සිනමා නිළියක ලෙස සිනමාවට පා තබන්නේ “හදගැස්ම” චිත්‍රපටය තුළිනි.
“මම සිනමා නිළියක් ලෙස දොරට වඩින්නේ ” හදගැස්ම” චිත්‍රපටයෙන්. ඒත් මම මීට කලින් ටෙලි නාට්‍යවල රඟපාල තියෙනවා. ඒකාංගික නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා . අකිල සඳකැලුම් අයියගේ “ඉන්දීවරී” කියන ටෙලි නාට්‍යයේත් මම ප්‍රධාන චරිතයක් කළා.
“හදගැස්ම” මගේ පළමු සිනමා සම්ප්‍රාප්තිය. මම හරි සතුටින් ඉන්නෙ. ලැබෙන ප්‍රතිචාර නිසා. මුලින්ම ස්තුතිය පුද කරන්න ඕන අර්ජුන කමලනාත් අයියට සහ හදගැස්ම අධ්යක්ෂ අකිල සඳකැලුම් අයියට. ඒ වගේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් මා ගැන විස්වාසය තියාගෙන “සමාධි” කියන චරිතයට මාව තෝරා ගත්ත එකට පුංචි ආඩම්බරයක් තියෙනවා හිතට.
” අකිල අයියා පිටපත ලියනකොට මට කිව්වා චරිතයක් තියෙනවා ඔයාට කරන්න කියල. බය වෙන්න එපා මේ චරිතය ඔයාට කරන්න පුළුවන් කියලත් කිව්වා. නපුරු චරිතයක් නිසා”.
නයෝමි එසේ කීවේ සුන්දර සිනහවක් පාමිනි. ඇය රඟපෑමට පිවිසීමට පෙර බැංකු ක්ෂේත්රයේ රැකියාවක නිරත වූ තැනැත්තියකි. රංගන ශිල්පිනියක් වීමට දැඩිලෙස ආශාවකින් පසුවූ බව ඇය සරසවිය හමුවේ කියා සිටියාය. එසේ ආශාවක් ඇති වීමට එක් හේතුවක් ඇත.
” මගේ අම්මයි තාත්තයි දෙන්නම නිතරම චිත්‍රපටි බලන අය. ඉස්සර ඉදන්ම. එයාලගේ තරුණ කාලේ දෙන්නම ආසාවෙන් ඉදල තියෙන්නේ රඟපාන්න. තාත්තා තමයි වැඩියෙන්ම ආසාවෙන් ඉඳල තියෙන්නේ. ඒත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා නැහැ. මට නිළියක් වෙන්න ලැබුණ එක ගැන අම්මා තාත්තා සතුටින් ඉන්නෙ. මටත් ආඩම්බරයක් දැනෙනව එයාලගේ හීනය මට සැබෑ කරදෙන්න පුළුවන් වුණ එකට”.
මගේ දෙමව්පියෝ මට හොඳට ඉගැන්නුව. මමත් හොඳට ඉගෙන ගත්ත. ඒ නිසා තමයි මට බැංකු ක්ෂේත්රයේ රැකියාවක් ලැබුණේ. ඒත් කලාව මගේ ජීවිතය කරගන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. එකම ක්ෂේත්රයක කොටුවෙලා ඉන්න මම ආස නැහැ. නිළි වෘත්තීයට මම කැමැතියි. ඒ නිසා සමාජයේ විවිධ චරිත අපිට ඇසුරු කරන්න ලැබෙනව. කලාවට සම්බන්ධ චරිත. ඒක හරිම සුන්දර දෙයක් සහ වාසනාවක්.
අකිල සඳකැලුම් හදගැස්ම චිත්‍රපටයේ අධ්යක්ෂ ලෙස අත්පොත් තබද්දී නවක නිළියක් ද සිනමාවට හඳුන්වා දුන්නේය. අකිලගෙන් ලැබුණ ඒ අගනා අවස්ථාව ගැන සහ ඔහුගෙන් ලද සහය පිළිබඳ නයෝමි තම අදහස් ප්‍රකාශ කළාය.
අකිල අයියා මට හොඳ අවස්ථාවක් දුන්නා. ඔහු කාටත් සලකන්නේ එක විදිහට. මට රංගනය ගැන බොහෝ දේ කියා දුන්නා. මගේ චරිතය කෙසේ විය යුතුද කියා රූගත කිරීම් වලදී මාව නිතර දැනුම්වත් කළා. ඒ නිසා මට නිදහසේ රඟපාන්න පුළුවන් වුණා.
මේ වෙලාවේ මගේ රංගන ජීවිතයේදී මට මුහුණ දෙන්නට සිදුවුණ සිද්ධියක් මතක් වුණා. මම නම සඳහන් කරන්න නම් කැමැති නැහැ. මම ටෙලි නාට්‍යයක රඟපාන්න ගිය අවස්ථාවක ජ්‍යෙෂ්ඨයෙක් යැයි කියාගත්ත කෙනෙක් මගේ අතේ තිබුණ ස්ක්‍රිප්ට් එක උදුරගත්ත. අලුතින් ඇවිත් ස්ක්‍රිප්ට් එකත් තියාගෙන ඉන්නවා කියල.
ඒත් හදගැස්ම ෆිල්ම් එකේදි එහෙම දේවල් වලට මුහුණ දෙන්න වුණේ නැහැ. මට හැමකෙනාම හොඳීන් සැලකුවා.
“අර්ජුන අයියා, අකිල අයියා ශාලිකා අක්කා ඒ හැමදෙනාම මට හොඳ සහයෝගයක් දුන්නා. මගේ රඟපෑම් ඉහළ තත්ත්වයකට ගන්න. මමත් ඔවුන්ගෙන් අත්දැකීම් රාශියක් ලබාගත්ත”.
” ඔය අතරේ රසකතාත් තියෙනවා. රූගත කිරීමකදී තමයි ඒක සිදුවුණේ. සමාධි කියන්නෙ නිතර කෝපයෙන් ඉන්න චරිතයක්. රූගත කිරීමක් කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක අකිල අයියා ඇවිත් මට හොදටම බැන්නා. මට පුදුම හිතුණා. කිසිම වරදක් නොකර ඇයි මට බැන්නෙ කියල. ඒත් එහෙම කරල තිබුණේ මාව තරහ ගස්සන්න. එතකොට මම මගේ චරිතයට හොඳීන් ප්‍රවිෂ්ට වෙන්න රුකුලක් විදිහට තමයි අකිල අයියා එහෙම කරල තිබුණේ. ඒ වගේ උපක්‍රම කරල ඕනෑම කෙනෙක්ගේ රංගන දක්ෂතාවය ඉස්මතු කරන්න අකිල අයියට හැකියාව තියෙනවා”.
සිනමාවට නවක නිළියක් වුවත් සිනමාව ගැන ඇගේ උනන්දුව සහ කැපවීම ඉතා ඉහළයි. ඇගේ එකම බලාපොරොත්තුව අඛණ්ඩව සිනමාවේ රැඳී සිටීමටයි.
” මම දැනට නීතිය හදාරමින් ඉන්නෙ. අධ්‍යාපන කටයුතු කරන ගමන් රඟපෑම් කටයුතුත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අද වනවිට බොහෝ අය සිනමාවට එනව. ඒත් එහි දිගටම රඳාපවතින පිරිස අඩුයි. ඇතැම් අය කරන්නේ සිනමාවට ඇවිත් නමක් හදාගත් පසුව ඉන් ඉවත්වෙන එක. එහෙම කරන එක හොඳ නැහැ. තව ගොඩාක් දෙනෙක් සිනමාවට එන්න ආසාවෙන් ඉන්නවා. අපි අතර මඟ දාල ගියොත් ඒ අයට එන්න තිබුණ අවස්ථාවක් තමයි නැති වෙන්නේ. සමහරුන්ගේ හීනයක් නිළියක් වෙන එක. ඒක මටත් තිබුණා. ඒ වාසනාව ගොඩක් අයට ලැබෙන්නෙත් නැහැ. කාටත් අසාධාරණයක් නොවන අයුරින් සිනමාවේ රැඳී ඉන්න ආසයි.
නයෝමි පීරිස්ට සිටින්නේ බාල සහෝදරයෙක් සහ සහෝදරියක්. ඔවුන් අතර ඉතා හොඳ සහෝදර බැදීමක් තිබෙන බව ඇගේ කතාවෙන් වැටහුණි .
” අපි ඔක්කොම යාළුවො වගේ තමයි ඉන්නේ. එයාලත් හරි සතුටුයි මගේ රංගනය දැකල. අපි හරි එකමුතුවෙන් ඉන්නෙත්. එය තමයි සහෝදර සහෝදරියන් අතර තිබිය යුතු වන්නේ”.
“එතකොට ජීවිතය ශක්තියමත් ”
වර්තමානයේ ඉතා කනගාටදායක සිද්ධීන් ඇතිවෙන්නේ කවුරුත් නැතිව තනි වුණාම. ප්‍රශ්නයක් වුණත් තමන්ට ඒ ගැන කියන්න කවුරු හරි ඉන්නවා නම් ඒක හරි වටිනව.
සහෝදරත්වයෙන් ඉන්න කොට එකිනෙකාට ඇහුම්කන් දෙන්න ඕන. එසේ නොවීමෙන් වෙන්නෙ මානසික පීඩනයක් ඇතිවෙන එක. කොතරම් සහෝදර බැඳීම ශක්තිමත් වුණත් එක්තරා වයස් සීමාවකදී තමාට අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කරන්න වෙනව. ” හදගැස්ම ” චිත්‍රපටයේ කතාවත් ඒ වගේ තමයි. අයියා දැඩිලෙස නංගිට ආදරය කරනව. එයා නංගිට නීති දානව. නංගිගේ ආදර කතාව නිසා දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනව.
හොඳ තේරුම් ගැනීමකින් සිටියොත් ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම හරි අපූරුවට හදගැස්ම චිත්‍රපටයේ කතාව තුළින් ඔබට දැනගන්න පුළුවන් .
නයෝමි පීරිස් තම පළමු සිනමා නිර්මාණය කෙරෙහි දැඩි ආදරයකින් පසුවන්නියකි . රඟපෑම් කටයුත්තට පමණක් සීමා නොවුණු ඇය හදගැස්ම චිත්‍රපටයේ ප්රචාරක සහ එහි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ද දායකත්වය ලබා දෙන්නීය.
“ඔව් හදගැස්ම වෙනුවෙන් ප්රචාරක වැඩසටහන් වලට මම අනිවාර්යයෙන් සම්බන්ධ වෙනව. ඒක මගේ යුතුකම”.
අපේ නළුනිළි කණ්ඩායම සහ අකිල අයියා ” හදගැස්ම ” තිරගත වන සිනමා ශාලා වලට ගිහින් ආදරණිය ප්‍රේක්ෂකයින් හමුවෙනව”.
“ළඟදී අපි හරි අපූරු වැඩක් කළා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වල ” හදගැස්ම ” ෆිල්ම් එක පෙන්නුවා . ඒ වෙලාවේ අපි කේක් කපල ඔවුන් එක්ක සතුට සැමරුව.ඒ දරුවෝ ගොඩාක් සතුටු වුණා. ඒක හරිම සංවේදී අවස්ථාවක්. ඒ දරුවන් ආසයි සාමාන්‍ය දරුවන් වගේ ලෝකය දකින්න. අපේ හදගැස්ම මොහොතකට නතර වුණා වගේ දැනුණා. අපි ඉදිරියේදීත් එවැනි උතුම් කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා”.
නයෝමිට මේ වන විට තමාගේ රංගනය ගැන බොහෝ ප්‍රතිචාර ලැබෙන බව ඇය පැවසුවාය. සතුටත් සමඟ ගත කරන මේ මොහොතේ ඇයගේ අනාගත බලාපොරොත්තු ගැනද සඳහන් කළේ සිනහවකින් මුව සරසා ගෙනයි.
” මම දිගටම සිනමාවේ රැඳී ඉන්නවා. මගේ රැකියාවට සමුදුන්නෙත් නිළියක් විදිහට ගත කරන්න ආසාවක් තිබුණ නිසා. කලාවට ආදරය නිසා. දැන් ඒ හැමදේම ඉෂ්ට වෙලා තියෙනවා.
නීතිය හදාරන ගමන් රඟපෑමත් සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනව. මට අවශ්‍ය එකම රාමුවකට කොටු නොවී විවිධ චරිතයන්ට පණ පොවන්න. මට ලැබෙන චරිත මට ගැළපෙනවද කියල හිතල තමයි මම මුලින්ම හිතන්නේ. ඉදිරියේ දී මම ආසයි මානසික ආබාධයකින් පෙළෙන චරිතයක් කරන්න සහ ත්‍රාසයෙන් පිරි චරිතයකට පණ දෙන්න.
ඒ ඇගේ සිනමා ගමන් මඟේ තිබෙන හීන. හීන සැබෑකරගන්න ඇය ඇප්කැප වේවි. මේ කතාබහ අතර ආදරය ගැන නයෝමි මෙසේ පැවසුවාය.
“අපි කාටත් ආදරය අවශ්‍යයි. ආදරය ඇති තැන ජීවිතය සුන්දරයි. හදගැස්ම ෆිල්ම් එකෙත් කියැවෙන්නේ අසීමිත ආදරය ගැන”.
” ආදරය ගැන කතා කරපු වෙලාවේ අපේ ආදරණිය ප්රේක්ෂකයින්ටත් මම ආදරයෙන් අමතනව, ආරාධනා කරනව හදගැස්ම බලන්න එන්න කියල”.
හදගැස්ම ෆිල්ම් එක බලන කොට ඔබේ හදගැස්මත් මොහොතක් නතර වේවි”.
සිනමා අහස්තලය බබළවන්නට අලුතින් පෑයූ තාරකාවක්, නයෝමි…….
ඔබ ඉක්මනින් නිවී යන තාරකාවක් නොවී, සැමදා දීප්තියෙන් බබළන තාරකාවියක් වන්නට සරසවියෙන් සුබ පැතුම් !.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය